ඔබ ගැන කුමක් හෝ ලියන්නැයි යතුරු පුවරුව බල කරයි. ලියනවාද? නැද්ද කියලා හිතලා හිතලා අන්තිමට ලියනවාමයි කියලා හිතුවා.. මේ සටහන අන්තිමයා ගැනයි. කොටින්ම කීවොත් උෂාන් පුෂ්ප කුමාර පෙරේරා ගැනයි. මේ තියෙන්නෙ, ඒකාගෙ බ්ලොග් එක මේ තියෙන්නෙ බුකි පොත
ඔය
මම සන්නස්ගල සර්ගෙ පන්තියට ගිය මුල් සතියෙ සර් පන්තියට පොල්ලක් තිබ්බා. ඉන් පස්සෙ සතියෙ මම පිටි පස්සෙම ඉඳගත්තා. තුන්වෙනි සතියෙ.. මට කාඩ් එක අමතක වුණා... ඔය දවසෙ වුණ පොඩි පහේ සිද්ධියක් මූලික වෙලා සර් මාව හොයාගෙන පිටිපස්සට ඇවිත් කීවා.. අග පෝලිමේ ඉන්නෙ.. #$%&* කෙල්ලො. උඹ ඉස්සරහට වරෙන් කියලා.. ඕම තමයි මම සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහට එන්නෙ.. ඉස්සරහට ආවාමයි දැක්කෙ. අපේ හෙණ සෙට් එකක් ඉස්සරහ.. ඉතිං හතරවෙනි සතියෙ ඉඳං මට ස්ථානයක් රෙඩි වෙලාම තිබ්බා... සමුද්‍ර දේවියෙ සොයුරියො තමා රොටරියෙදි සීට් අල්ලන්නෙ. කොහොම හරි. පන්තියට ගියෙ ජනවාරියෙ. පෙබරවාරියෙ 23 වෙනිදා වැටුණෙ සඳුදාවක්.
එදා අපේ නිලන්ති ගිහිං ඉස්සරහ පෝලිමට කොල්ලෙක් එක්ක කතා කළා. උගෙන් පාටියක් ඉල්ලුවා. මාවත් ඔය වටරවුම් පාටියට නිලන්ති ඇදන් ගියා... ඒකෙ තිබ්බෙ මාලු පානුයි නෙස්කැෆෙයි. මම කිරි ගෑවිච්ච තැනක් වත් බොන්නෙ නෑනෙ. ඔය වෙලාවෙ,
මටයි උෂාන්ටයි වෙලා තියෙන පිස්සු වැඩ රටේ ලෝකෙ මිනිස්සු දන්නෙ බෝම ටිකයි.
පොත් ප්‍රදර්ශන බලන්න ගියාම අපි දෙන්නාගෙ ආසම වැඩේ තමා අවට මිනිස්සු නොමඟ ඇරීම. අපි එක පාරට ලොකු පොතක් අරගෙන, මේවා ගෙදරක තියෙන්නම ඕනෙ පොත් කියලා..අපි දෙන්නටම ඒ සබ්ජෙක්ට් එක පුළුවං වාගෙ රඟපානවා.. පස්සෙ හෙමින් එතනින් එහොට වෙලා, වෙන දේ බලං ඉන්නවා. අපි ගියාට පස්සෙ වට පිට බලන මිනිස්සු එකා දෙන්නා අර පොත ළඟට එනවා.. දාගෙන පොත පෙරළනවා. සමහරු නොතේරුණත් ගෙදර අරන් යනවා. අපි මක් කරන්නද? අපි ඒ අයට ඒක ගන්න කීවෙ නෑනෙ..
සමහර වෙලාවට බස් වල යද්දි මිනිස්සු අපි දිහා කන්න වාගේ බලන් ඉන්නවා. සමහර විට අපි කතා කරන මාතෘකා ඒ අයට අවුල් ඇති. අපි කතා කරන්නෙ රටේ ලෝකෙ කෑම කඩ ගැන.. බෝඩ් ලෑලි ගැන.. නාට්‍ය ගැන.. එහෙම නැත්තම් කලින් හම්බවුණ මිනිස්සුන්ගෙ චර්යා රටා ගැන..
කඩේකට ගියාම ඒ කඩේ ඉඳි ආප්ප තියෙනවා නම් උෂාන් වෙන මුකුත් කන්නෙ නෑ.. ඉඳි ආප්පයි උළුඳු වඩෙයි ඇරෙන්න. හැබැයි තෝසෙ ගිලින්නයි... මාලු බනිස් කන්නයි උපන් හපනා.. උෂාන් හැම වෙලාවෙම කියන්නෙ අකාලෙ මරණය හොඳ නෑ කියලා.
උෂානුයි මමයි කොහෙ ගමනක් ගියත් ලෝක නෝණ්ඩි ගොඩකට මුහුණ දෙනවා. දවසක් නවලෝක ඉස්පිරිතාලෙ ළඟ ටොෂිබා එකක් හොයන්න යන වෙලාවෙ..කකුල් රිදෙනවා කියලා බස් එකක නැග්ගා.. නැඟලා කිව්වා අපිව නවලෝකෙන් බස්සන්න කියලා. එතකොට ඩ්‍රයිවර් කියපි.. ඔයාලා නැග්ගෙ නවලෝකෙන් තමා කියලා... ඉතින් බස් එකේ දන්න එකෙක් උන්නා නම් ඉවරයි..
දවසක් අපි ජෝන් කීල්ස් එකට ගිහින් ලැප්ටොප් තියෙනවාද කියලා ඇහුවා.. උන් කියපි ඒක බිස්කට් කම්පැණියක් කියලා..
දවසක් අපි MC එකට ගියා මොනාහරි ගන්න.. මිනිස්සු එක මිනිහෙක් ළඟ වට වෙලා.. ඒ මිනිහාව හිනැස්සුවාම තෑගි දෙනවාලු.. අනේ ඉතින්, අපිත් බලාගෙන හිටියා මුන්ගෙ විකාර ටිකක්. හැබැයි අපි දැක්කෙ නෑ.. හිනස්සවන්න ඕනෙ එකා මොකාද කියලා. අපි බඩු ටික අරන් ආයෙ එනකොට එතන මිනිස්සු ඉවත් වෙලා. හැබැයි.. ගෝල්ඩ් පාට ඇඟ පුරාම ගා ගත්ත මිනිහෙක් පිළිමයක් වාගෙ ඉන්නවා. අපි දෙන්නා ඒ මිනිහා දිහා බලාලා.. මූවද අර 100ක් විතර හිනස්සවන්න දැඟලුවෙ කියන බැල්මෙන් අපි දෙන්න දිහාම බලාගෙන හිනා වුණා.. යකෝ අර මිනිහා අපිට හයියෙන් හිනා වුණා.. ඔප්පු කොරන්න කෙනෙක් නෑ.. නැත්තං අපරාදෙ තෑග්ගක්.. :D
අන්තිමයයි මමයි කවදාවත් එක මතයක නෑ.. ඒත් බැලුවාම මත දෙකකත් නෑ...
දවසක් අපි ගමනක් යනකොට දැක්කා හෙන වෙඩිං සෙට් බැක් එකක්. ඉන් පස්සෙ උෂාන් පටන් ගත්තා කනත්තක කවුරු හරි ජෝඩුවක් වෙඩිමක් ගත්තොත් කෝමද කියලා විග්‍රහ කරන්න. එතකොට, මල්බොකේ වෙනුවට මල් වඩං ලු. පවුලේ සුසාන බූමියක පෝරුව සෙට් කොරනවාලු. ජෝති පාලගෙ කුළුණ කේස් ස්ට්‍රක්චර් එකට ගන්නවාලු. සෙටි බැක් එකට ජෝඩුවක් එකට මැරිලා හදපු සොහොන් කොත් දෙකක් ගන්නවාලු.. ඉතිං මම ඇහුවා. එතකොට මනමාලිගෙ ඇඳුමට මේකප් එකට මොකෝ කරන්නෙ කියලා.. මූ කියපි.. ආ.. ඒකට මිනී වලට අන්දන සාරි හොඳයි.. මේකප් එකත් මිනියෙ විදියටම එන්න ඕනෙ.. අර අක්කාගෙ වගේ කියලා අපි ළඟින් ඇවිදන් ගිය අක්කා කෙනෙක්ව පෙන්නපි. කරුමෙට අක්කාට ඇහුණා. අක්ක ගින්දර බැල්මක් දුන්නා.. බය වෙච්ච පාර අපි ලොවි ගහෙත් නෑ..ගහ වටෙත් නෑ.. හැබැයි අපි හදපු තීම් එක සර්ව සම්පූර්ණයි..
උෂාන්ගෙ ප්‍රියතම ආහාරය බිත්තර ඔම්ලට්. උෂාන්ට ලෝකෙ තියෙන ලොකුම අඩුපාඩුව ඉඳි ආප්ප වලට පරිප්පු නොතිබිම. කේක් වලින් ඕකා කන්නෙ, චොක්ලට් අයිසිං, කොෆි අයිසිං විතරයි. මං වාගෙම පිටි කිරි කටේ තියන්නෙ නෑ.. ඕකා හැබැයි දවසක් පිස්සු ගෑණු කෙනෙක් දුන්නොත් ඕනෙ දෙයක් බොනවාලු. ගෙවල් වලට ගියාම ඒ ගෙදර ගෑණු කෙනා ඇතුළට යනකොටම අනේ, තේ හදනවා නං කහට හොඳයි කියලා උෂාන් කියනවාලු. සමහර වෙලාවට තේ හදන්න නොහිටපු ගෙවල් වලින්ත් තේ හම්බෙනවාලු. ඊට වඩා දුක කාරණේ.. කමක් නෑ පුතා පිටි තිබුණා කියලා සමහරු පිටි කිරිම හදාගෙන එන එකලු.
මඩ ගහලා ඉවරයි... දැන් හොඳ ටික කියන්නද? එපා වෙන දවසක කියනවා මට ඒවා කියන්න හිතක් නෑ අප්පා.. ඒම කීවාම මූ උඩ යනවා.. මට පැරිෂුට් එකක් ගේන්න වෙනවා ඕකාව පහලට ගේන්න.. කෝමහරි මට තියෙන්නෙ එක පැතුමයි. උෂාන් මැරෙන්න දවසකට හරි කලින් මං මැරෙන්න ඕනෙ. මොකද ඒ දර්ශනය දකින්න තරම් මගෙ හිතේ හයියක් නෑ..
අනේ ඉතිං!! ඔය මොන දේ කිව්වාත් උෂාන් නැති වුණාම නිකං පරිප්පු නැති හෝටේල් එක වාගේ.. සාම්බාරු නැති තෝසෙ වගේ.. දවසකට පාරක් හරි හලෝ පාරක්වත් දැම්මෙ නැත්තං නිකං කෑවෙ වගේ. මම උෂාන්ට එටේ ලෝකෙ හැම සතාගෙම සර්පයාගෙම විද්‍යාත්මක අවිද්‍යාත්මක නම් වලින් කතා කරනවා. උෂානුත් එහෙමයි. මම නොසෑහෙන්න උෂාන්ට බනිනවා. ඒත් ඌට වෙන කිසි එකෙක් බනිනවාට මම කැමති නෑ. ඒම එක එක ඒවා කියන්න දෙන්න පුළුවන්ද මගෙ ලාලුවාට..සමහර දාට මු මට වැඩ පවරලා රෝන්ද ගහනවා. ඒ වෙලාට මට මූව මරන්න හිතෙනවා. තව මීට වඩා උෂාන්ට වෙච්ච අලකලංචි ගොඩාක් තියෙනවා... ඒත් ඒවා කුජීත නිසා මෙතන කියන්න නරකයි. අනික පෝස්ට් එක දිග වැඩි වෙනවා...
අපි ඔබ පෙනුමට රණ්ඩු වුණාට ඇත්තට හෙන ෆිට් කියලා නෙ ඔයාලා හිතා ඉන්නෙ. මොන පිස්සුද අපි අවස්ථාවක් ලද සැමවිටකදිම එකිනෙකා මරා ගන්නවා.. හැබැයි අපි දෙන්නා තමා මේ ලෝකෙ හොඳම යාලුවො දෙන්නා...
හැපි බර්ත් ඩේ ටූ යූ උෂාන්!!!!!!!!!!!!!!! ලබන ආත්මෙවත් මට නිදහසේ ඉන්න දීපං.. අලේ රබ්බා මෙරා පාගල් හෝ ගයා...පොඩිද අපහාසෙ!!!
මට ඔය ප්‍රසිද්ධියෙ අක්කා කියලා සමහර වෙලාවට අපහාස කළාට ඕකා මට වඩා මාස 8 ක් නාකියි. ලෝකයා මේවා දන්නෙ නෑනේ..
උෂාන් 24 වැනි වියට නාකි වෙන උපන්දිනය උදෙසා ලියා ප්‍රසිද්ධ කොරන ලදි.
දයාබර යාළුවේ /ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/උලමා/ හිකනලා
මේ අහස කිසිදිනෙක නොදන්නා
පුංචි උඳුපියලි මල් අහුරකින්
මුලු හිතම සරසවා ලියන්නෙමි
පුංචි හැඟුමක් හදේ ඉපදිච්ච....
හෙට වාගේ තව හුඟක් කාලයක්
හෙට උදේ විලසින්ම නුඹ වෙතට
රැගෙන එමි දඟකාර සුබ පැතුම
යෙහෙළියක් සොයුරියක් විලසින්ම...
අපි හුඟක් වයස ගිය කාලයක
ආයෙ එන හෙට වාගෙ දවසකම
විභාගත් නැති වේවි මේ වගේ
පාඩමුත් නැති වේවි පොත් ගණන්
උණු උණුවෙ හඳපු ඉඳි ආප්පයි
තෙම්පරාදුවෙ දාපු පරිප්පුයි
හදමු අපි උඹ කැමති ඔම්ලට්
එක්ක මං පෙරේතම කට්ලට්
දාමු අපි ටිකක් ලොකු පාටියක්
ගේමු මයිලෝ පෙට්ටි විසිපහක්!
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
හිනාවෙයි නොවුණ වගෙ, එදාටත්
ගේමු මයිලෝ පෙට්ටි විසිපහක්!
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
හිනාවෙයි නොවුණ වගෙ, එදාටත්
හැමදාම රණ්ඩු වන බව පේන
කිසි දිනෙක තරහා නැති යාලුවෝ
අතරමග හැමදාම පැටලිච්ච
අගට එක මග දුවන යාලුවෝ..
සමහරක් විට ඈත දවසකදි
උඹට මා අමතකව ගියෝතින්
වරෙන් අපෙ රොටරියේ පන්තියට
එතැන ඇති නෙස්කැෆේ වටරවුම
නුඹ හිනාවෙන විටක ළඟ නැතත්
නුඹට දුක ඇති විටක ළඟට එන
නුඹේ හද ගැස්මෙන්ම පණ අදින
නුඹේ යෙහෙළිය නුඹට හිඳින වග
සදාකල් මතකයේ තිබුණදෙන්
ඒ නැතත් කිසි විටක උඹ එක්ක
තරහා නොවෙනා කෙනෙක් වේවි නම්
අපූරූම යෙහෙළි මම තමයි..
වයස ගිය දවසකදි හිනාවී
කියාපන් දැන් කියන විලසින්ම
“අරේ රබ්බා මෙරා පාගල්
හෝ ගයා මැස්සා ගිය උඩ බොලං“
මම නෙරංජි
මම නෙරංජි