මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/21/13

-232- ඇය සහ ඇය අතර තනිවීමි




ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?

මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.

ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ.  අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා. 

ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.

ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද? 

ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?

මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.


එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.

එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා. 

මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්,  මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත්  මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.

වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....

විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...

සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...

ගීතය අහන්න

11/1/13

-231- මට හමුවූ සුන්දරම යුවතිය



ඇයව මට හමුවුණේ කොහුවලදි, නිල් මල් ඉහුණු සුදු වන් රෙද්දකින් දෙදණ තෙක් වැසුණු ගැමි පන්නයෙ ගවුමකින් ඈ සැරසී සිටියා. එහෙත් ඈ අගනුවර යුවතියක් විය යුතුයැයි මට සිතුණා. සැකසු ඇහිබැමත්, ලේයර් හැඩැති හිස කෙසුත් නිසා.

මා සමඟම ඇය බසයට ගොඩ වුණා. බසයේ කොණකට ඇති ආසාවෙන් ඇය ඉක්මන් වුවත්, පුංචි දරුවෙක් ඇයව තල්ලු කළා. ඇය සුන්දරව සිනාසුනා. මේ අපූරු යුවතිය මේ දරුවාට බසයේ පෙම් මුල්ල දුන්නා. දැන් ඔවුන් බර කතාවක. අපූර්වත්වය නම් ඒ කුඩා දරුවා භාෂාවක් කතා නොකිරීමයි. ඇය කිසිම අපහසුවකින් තොරව හදිසියේ හමුවූ ඔහු හා කතා කරන විලාසය මාද ඇතුළුව බසයේ හැමෝම බලා සිටියා. ඇය එයින් අපහසු තාවයට පත් වූ බවක් දැක්කෙ නැහැ.

ඇය ගොළු යුවතියක නොවූ බව බසයම දැන ගත්තෙ, පාර වැරදුණු මිත්තණියක් බසයෙන් බස්සවන්න ඇය කොන් දොස්තරට කතා කළ වෙලාවෙ. ඒ හඬ එතරම්ම ගීතවත්.

ඇය ඉන්පසු නැවතුමෙන් බැස්සා. මේ අපූරු යුවතිය යන මඟ ගැන සොයාගන්න ආශාවක් මට තිබුණා. පාර හදන තැනකින් බැසගත් ඇය, වැඩකරන මිනිස්සු දෙස බැලුවෙ දන්නා හඳුනන අය දෙස බලනවා වගේ.

කාන්තාවක් ඇය අඳුරලා වගේ මල් දහයක් තෝරා ඇය අතට දුන්නා. නිල් මහනෙල් මල් පොකුර අතට ගත් ඇය හීන් හිනාවක් මටත් දුන්නා. මමත් මල් දෙකක් අරන් ඇය එක්කම කතාවට වැටෙන්න ඇය ළඟින් ගමන් කළා. මම කතා නොකරම ඇය කතා කරනවා.

“ පටන් ගන්න තැනම අයට බිස්නස් අඩුයි. පන්සල ගාවට වෙන්න වැඩියි. මෙතන රස්නෙ නිසා මල් ඉක්මනින් පර වෙනවා. “

මගෙන් උත්තරයක්වත් තව අලුත් කතාවක් වත් ලැබෙන්නට පෙර, ඇය දිගු පාර අසබල වෙලක ලියැද්ද ළඟ නැවතුනා. පොරි පැකට් එකක් දමාගෙන දැන් ඇය මාලු එක්ක කතා කරනවා. එතැනින් පසු ඇය කිසිම කෙනෙක් නොදුටු ගාණට තමන්ටම මුමුණමින් පන්සලට ගියා.

මේ අපූරු යුවතිය හොයන්නෙ මල් අඩු බුදුවරු. ඇය මල් තිබ්බෙ එවන් පිළිම ළඟ. මඳක් තම පිළිවෙතෙහි යෙදුණු ඇය එන්න පිටවුණා. මල් ආසනයක වියළි මල් පර වෙලා. ඇය තම ගමන පසෙක තබා මල් අසුන පිරිසිදු කරන්න පටන් ගත්තා. තරුණයො කිහිප දෙනෙක් තනි ඇයට උසුළු විසුලු කරනවා. ඇයට ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. ඇගේ කාන්සියට පැමිණි පුංචි හිතවතෙක් ඇය සමඟ ලොකු කතාවක. පුංචි පූස් හිතවතාට කන්නට දෙයක් දෙන්නට නැතිවීම ගැන නම් ඇය උන්නෙ දුකින්.

ඇය දැන් යළිත් ඇගේ ගමනේ ඇවිද යනවා. මේ අපූරු යුවතිය නිතරම කළ එකම එක දෙයක් තිබුණා. ගවුමෙ රැලි සාක්කුවෙන් දුරකථනයක් ගෙන ඇමතුමක් හෝ යමක් බලාපොරොත්තු වුනා. පුදුමය නම් එය එතෙක් වේලා නොලැබීම නොවෙයි. ඇගේ ඇස් වල දිගින් දිගටම කාන්තිය එකතු වීමයි. ඇයගේ පාර ගොඩක් දුර ඇති. එහෙත් ඇගේ ළඟ ජීවිතය තිබුණා. අපූරු ඇස් දෙකක් සහ සිනහවක් තිබුණා.

වෙහෙසට පත් නොවන දෙපයක් තිබුණා. ඇය අවසන අතරමඟ සිටි බර කිරන්නෙකුට කියා තම බර කිරවා ගත්තා.

පුංචි නෝනා 65 යි.. ඔහු කීවා..

අංකල්ට කියන්නෙ BMI එක තියෙන්නෙ නූලෙන්. 58 ට බැස්ස දාට මම අංකල්ට උළුඳු වඩේ අරන් දෙනවා..

කලු පැහැ මුහුණ තුළ රූ රාජිණියකගේ පෙනුම නැතත්, දීප්තිමත් ඇස් සහ සුන්දර හිනාව අනික් අය අතරින් ඇය ඉහළට ගෙනාවා. බර කිරන දුප්පත් මිනිසා අපිරිසිදු දත් එළියට දමා පිරිසිදු සිනාවක් පා කළා. සමහර විට ඒ දවසටම ඒ මිනිසා සිනා සුණු පළවන වතාව විය නොහැකිද?

කඩයක කූඩුවක සිටි මයිනෙකුට කතා කළ ඇයට කතා කළ අත්තම්මා කෙනෙක් පිරිත් නූලක් නිවස තුළින් ගෙනැවිත් ඇයට ගැට ගැහුවා. ඇය දකින සැම කෙනෙකු සමඟම සිනා සුනා. ඇය පසුකරමින් බුම්මාගෙන ගියෙක් නැති තරම්. සිනාසෙන මුහුණ ඇගේ ස්වාභාවයදැයි මට හිතුණා. ඇය ඈතට ගියා. අපූරු සිංදු කිරිල්ලියක්. සුන්දර යුවතියක්.
ඇයට කවදාහරි ඇය වටා සිටිනා ලෝකයටම සතුට ගෙනෙන්නට හැකි වේවා කියා මම බෝධිය දෙස බලා ප්‍රර්ථනා කළා..

අද මම ඇය ගැන ලියන බව ඇය නොදන්නවා ඇති. මට දුක නුඹට කියන්නට අවාසනාවකට ඇගේ නම අසාගන්නට බැරි වීම ගැනයි.

10/25/13

-230- දැරියක්, දරුවෙක් සහ තවත් දරුවෙක්


ඊයෙ පටන් ගත්තු research එකක අන්තිම කොටස ලියලා ඉවර වුණාම දැනෙන්න පටන් ගත්තෙ හිස් කමක් එක්ක එකතු වුණ අමුතු පාලුවක්. පුංචි පහේ හැන්දෑ රසිතියාදුවකට හිත දෙන මේ වගේ අපූරු අවස්ථාවක් මඟ හරින එක අපරාධයක් නිසා, සැහැල්ලු ඇඳුමකුත් ඇඳගෙන මම කණ්ණාඩිය ළඟට ආවා.

කණ්ණාඩියෙන් දකින මගේ මුහුණේ වෙහෙස, මට මාවම ඉක්මනට එපා කරපු නිසා අරමුණක් නැති හැන්දෑ සවාරියට හදිස්සියෙම අරමුණක් එකතු වුණා.  සැලෝන් එකට යාම නිසා මගෙ මූණ ලස්සන වීම කොහොම වෙතත්, මගෙ හිතට ඒවායෙන් සැනසීමක් දෙනවා කියලා දවසක් ඔහු කියපු දේ සිතට නැගිලා ආපු හිනාවත් එක්කම මම එළියට බැස්සා.



හන්දියෙන් හැරෙන මොහොතෙ, වයස අවුරුදු දහයක විතර දරුවෙක්, බස් රථයෙන් බැස්සා. පාසැල් ඇඳුම පිටින්. ඒ මොහොතෙ ඔහු ජංගම දුරකථනයෙන් ගේම් එකක් ගහනවා. පාරේ ගලක්, ගහක් වැලක් මනුස්සයෙක් ගැන කිසිම අවධානයක් යොමු නොකර තමන්ගෙ ජංගම දුරකථනය දෙස බලාගෙනම ගමන් කළත්, කිසි අතුරු ආන්තරාවක් නැතුව ඔහු පාර දිගේ යනවා. සෙසු දරුවන් කිහිප දෙනෙක් ඔහුව පසු කරගෙන ගියත්, ඔවුන් ගැන කිසිම තැකීමක් මේ දරුවාට තිබුණෙ නෑ. ජංගම දුරකථනය ඔහුගේ අවධානය ඒ තරම්ම ග්‍රහණය කරගත්තා. නොපෙනී යන තෙක් ඔහු දෙස බලා සිටිව මම, නැවත මගේ ගමන ආරම්භ කළා.

සැලෝන් එකේ පඩිපෙළ ළඟදි, මම වේගයෙන් ආපු දෙදෙනෙකුට ඉඩ දුන්නා. මැදිවියේ මවක් සහ වයස අවුරුදු අටක පමණ දැරියක්, හීනි පඩිපෙළේ මාව පෙරළගෙන ඉහළට ගියා. ඔවුන් පසු පසින් ගිය මමත් සැලෝන් එකට ඇතුළු වුණා.

ඒ දැරියට පාසලෙන් කොණ්ඩෙ ගොතන්න කියලා ගැමි ළඳකට ඇය අද රඟපානවලු.. කොස්ටියුම් එක ගෙදරින් එනකොට ඇඳගෙනම එන්න කියලා. ජාත්‍යන්තර පාසල් එහෙමයි තමයි. මොකද එක ළමයෙක්ව එක Item එකකට වඩා තියන්නෙ නෑනෙ. අනික ඇඳුම කලින් නිර්මාණය කරලා දුන්නාම අම්මාට තියෙන්නෙ අන්දාගෙනම එක්කගෙන එන්න.

මේ අම්මා කොණ්ඩෙ ගොතන්න දන්නෙ නැති නිසා දරුවාගෙ කොණ්ඩෙ ගොතා ගන්න සැලෝන් එකට ඇවිල්ලා. කොහොම වුණත් එහෙන් මෙහෙන් කෑලි කැපූ දැරියගෙ කොණ්ඩය සෑහෙන ප්‍රරිශ්‍රමයකින් එකතු කළ අයුරු පෙන්වලා, කොණ්ඩෙ ගොතලා රුපියල් පන්සියයක් ගන්න සැලෝන් අක්කා දිහා මම උපේක්ෂා සහගතව බලාගෙන හිටියා.

කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගැනීම ජාත්‍යන්තර පාසල් සිසුවියන්ට අත්‍යාවශ්‍ය නැති නිසා, මෙහෙම අවස්ථාවකට රුපියල් පන්සියයක් වියදම් කිරීම කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගන්නවට වඩා ලෙහෙසි ඇති බව මට හිතුණා. සල්ලිකාර මවකට, ඒක අනික සුළු දෙයක්.

ඉතින් තමන්ගෙ වැඩේ කරගෙන ඔවුන් පිටවෙලා ගියා. ඉන්පස්සෙ මට අවශ්‍ය දේවල් ටිකත් හෙමින් සීරුවෙ කරවාගෙන පැයකට දෙකකට පස්සෙ මමත් නැවත පාරට ආවා.

ගෝ එකක් ගන්න ඕනෙ කමටයි රස්තියාදු ගැසීමටයි ඇති හොඳම තැන් වලින් එකක් වෙච්ච ෆුඩ් සිටි එක ඇතුළට ඉන්පස්සෙ මම රිංගුවා.

භාණ්ඩ අතර ඇවිදිමින් එහෙත් ඒ කිසිදු දෙයක් නාල්ලමින් සිටි දරුවෙක් මගෙ ඇසට හමුවුණා. ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටිය මම , මට අවශ්‍ය මැගසින් එක අරගෙන පිට වෙනකොට..ඔහු තනියම ෆුඩ් සිටියෙන් පිට වුණා දැක්කා...වයස අවුරුදු දහයක් පමණ වූණු ඒ දරුවා මගේ පාරෙම මට සමාන්තරව දැන් මා හා ඇවිද යනවා. අවට පෝස්ටර් කියවමින්, කඩ ලෑලි අතර නවතිමින් ඉතාම විමසිල්ලෙන් එහෙත් හෙමින් ඔහු ඔහුටත් නොදැනී ඉදිරියට යනවා...

මේ මොහොතේ මගේ මග ඔහු යන මග නොවූ නිසා මම හන්දියෙන් හැරුණා. ඔහු තවත් ඉදිරියට ගියා.. ඒත් මම ඒ පාර දිගේ ගියොත් නිතරම නවතින හාවො විකුණන කඩේ ළඟ ඔහුත් බාග වෙලාවට නවතින්න ඇති කියලා මට හිතුණා.



මගේ ළමා කාලය පටන් ගත් අවධියේ ම වෙන්ව ගිය  වෙල් යාය, පිණි කැකුළු, නෙළුම් පෙති, මදටිය ගාල හෝ නීල කොබෙයියන්  ඔහු මෙන්ම පසු පරම්පරාද කිසි දිනෙකත් නොදකින බව ප්‍රත්‍යක්ෂ නිසාවෙන් එම ගීයෙන් මෙපමණක් ලියා තබමි.


ඔහුට මුවාවී...පාසල් යන්නේ.......

මා දැයි නිකමට මට සිතුනා.........

10/18/13

-229- Just Another Story


ලියන්න කියලා හදවත බල කරන අවස්ථා වල නොලියා සිටීමට මම පුරුදු වුණේ ලියන්නට පටන් ගත්ත මුල් කාලයෙ. ඒකට හේතුව මා ලියන දෙයින් මා එළියට එයි කියලා මට ම දැනෙන අස්ථානගත බයද ලැජ්ජාවද එහෙම නැත්තම් වෙන මොකක් හරි දෙයක් ද කියලා වැඩි දුර හිතන්න වුවමනාවක් තිබ්බෙම නෑ.  ඒ කොහොම වුණත් ලියන්න බල කරන හැම වෙලාවකම චිත්‍රපටියක් එහෙමත් නැත්තම් පොතක් පෙන්නලා මගෙම හිත රවට්ටලා දාන්න පුළුවන් කුරිරු හැකියාවක් සහජයෙන්ම මට ලැබිලා තිබුණා. අඩුම තරමෙ ඒ කිසිවක් විසින් මගෙ ලිවීම සම්පූර්ණයෙන් නතර කිරීම නොකළත් ඒ දේවල් වලට සෑහෙන්න හැකි වුණා මගෙ ලිවීම විකෘති කරන්න. ඒ කතාව එතැනින් ඉවරයි.

හුඟක් වෙලාවට හදවත නිදහස් කරන කෙනෙකුට තාම තුළම කල්පිත නිර්මාණය කිරීමේ සීමාව තමන් නොදන්න ඉසව්වක් කරා වේගෙන් රැගෙන යන්න පුළුවන් කියලා මම සෑහෙන්න විශ්වාස කරනවා. කෙනෙක් ඒ වාගේ මනඃකල්පිතයක් ඇතුළෙ කොයි තරම් දුර ගියත් අතරමං වෙනවා කියලා කවදාවත් මම හිතන්නෙ නෑ. ඒත් පෙරේදා හවස හතරහමාරට මගෙ ඒ විශ්වාසය බිඳුණා..

හැබැයි මෙන්න මෙහෙම ප්‍රත්‍යක්ෂයකට මම පැයක් ඇතුළෙ දි ආවා.

තමන් විසින් නිර්මාණය කරගන්නා කල්පිතමය සිතුවිලි හුයක ඕනෙකමකින් පැටලෙන කෙනෙකුට කවදාවත්, ඉන් මිදෙන්නට බැරිකමක් නෑ. ඒ ආරම්භයේ සහ අවසානයේ නිර්මාතෘ එක්කෙනෙක්ම නිසා. ඔහු හෝ ඇය එයින් මිදෙන්න අවශ්‍යද නෑ.

එහෙත් ඔබ මනඃකල්පිත ගොඩනැගීමක සිටිනා බව අනෙකෙකු දැන ගැනීම, ඔබේ කල්පිතයේ ඔබ අතරමං වී ඇති බවට අනෙකා විශ්වාස කරන ප්‍රධාන රීතියක් ඔබ වටා ගොඩ නගනවා.

තමන්ගෙ පරිකල්පනික සීමා අනෙකා සමඟ හුවමාරු කර ගැනීම නිසා තම සීමාව තමාට අහිමි වීම වගේම තව හුඟක් දේ වෙන්න පුළුවන්. ගොඩක් ඔබව පෙනෙන අයට තියෙන ගැටලුවක් මේ දෙක අතර වෙනස හඳුනා ගැනීමට ඇති නොහැකියාව. මොකද ඒ අය ඔබව දකින්නට උත්සාහ නොකරන නිසා.

යථාර්ථයේ තියෙන නරුමවාදි ගතිය සරලවම කියනවා නම් ස්වකීය ආත්මයේ තිබෙන සැර ඇත්ත බාල කරන්න අරුමැසිවාදයට පුළුවන්. හරියට අරක්කු වලට දමන සරක්කු වගේ. හැබැයි අරුමැසිවාදය එළි දැක්වීමේදි පරිස්සම් නොවුණොත්, කෙනෙක් එය අපේ යථාර්ථය ලෙස භාර ගනීවි. ජීවිතේ මිනිස්සු පරිස්සම් විය යුත්තෙත්, පරිස්සම් නොවෙන්නෙත් ඔතනදි.

ඔය වගේ හුඟක් දේවල් එක පෙළට හිත ඇතුළට ආ හැටි කල්පනා කරන මට හිතුණෙ, තමන් තුළ ගොඩ නැගෙන සිතුවිලි වල විශ්වාසය බිඳ වැටෙන හැම වෙලාවකම කළ හැකි හොඳම දේ, මෙලොව තමන්ගේ සිතුවිලි වැඩියෙන්ම තේරුම් ගෙන ඇති පුද්ගලයාට කතා කිරිම කියලයි.
සමහර විට ඇය හෝ ඔහු ඔබේ කවුරු වුණත්...
.
.
.

Please think twice before updating your life as a Facebook status. Because it will be useful to others to understand your distance of fantasy & reality.