මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ මාමාගෙ දුව. එයා බොහොම ඉහළින් සාමන්‍ය පෙල සමත්.. ඉතින් ඔය ගැන කතා වෙවී ඉන්න අතරේ, අවුරුදු 6කට කලින් විභාගෙ කරපු මගේ ප්‍රතිඵලත් ආයෙ කතා බහට ලක් වුණා. මම සමාජ අධ්‍යනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි දැක් වූ උනන්දුව පෙන්වලා, නංගිගෙ B එකට බනින්නත්.. එයාලා අමතක කළේ නෑ..
කොහොම කළත්, මගේ A 8 ට තාම නෑදෑයෝ අතර තැන වැඩියි වගේ... (පොර ටෝක් එකක්)
මෙතනින් එහාට කියන්න සුදානම් වෙන්නෙ.. ඉතාම සත්‍ය සිද්ධියක්. ඒක පාසලේ කවුරුවත් දන්නෙ නෑ.. හැබැයි අද දැන ගනී. මගේ හැම යාලුවෙක්ම. ගණිතය කියන්නෙ හැමදාටම සාමන්‍ය පෙළ විභාගෙ ඇතුළේ, බොහොම වටින විෂයක්. මොකද ගණං නැති වුණොත්, ඒ ලෙවලුත් නැති නිසා. දවස 2005 වසරේ දෙසැම්බර් 15 ( මතක විදිහට) එදා උඳුවප් පුර පෝය. පහුවදා ගණිතය නිසා අත්තාම්මාගේ සහ අත්තප්පාගේ වාර්ෂික දානෙට ගියෙ නෑ.. ඒත් ඊට සහභාගි වුණ අප්පච්චි, මට දානෙ ගෙදරින් බත් මුලක් ගෙනවා.
මම හරි ආසාවෙන් , ඒ බත් මුල කෑවා. පහුවදා උදේ, මට හදිස්සියෙ ආසාවක් ආවා.. පොල් රොටි කන්න. ගෙදර පිටි තිබුණෙ නෑ. අම්මා කවදාවත් නැතුව, අල්ලපු ගෙදර බැඳපු නැති ආච්චිලාගෙ ගෙදරින් පිටි ගෙනත් මට රොටි පුච්චලා දුන්නා.
මම රොටි කකා ඉද්දි ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. මාලා අම්මාගෙන්. කතා කළේ අප්පච්චිට..
" මල්ලි ඊයේ දානෙ මාලු ටිකක් හරි මදි වගේ.. පොඩි එකාට දුන්නෙ නෑ නේද? "
මොන පිස්සුද? පොඩි එකා බඩ ජාරියා වාගේ මාලු ටික කාලා. දැන් මොකක් කරන්නද? කෝකටත් කියලා අම්මා ග්රයිෆ්ෆෝටර්, ටිකක් දුන්නා..
දැන් බස් එකේ මරදානට වෙනකං ආවා.. පහසුවක් නැතත්, අපහසුවක් තිබුණෙ නෑ.. ඒත් බඩ නං හරි නෑ කියලා තේරුණේ, ටයර් කඩේ ගාවදි. මුලු අඟම දාඩිය දාන්න පටන් ගත්තා.. ඒක පුදුම වෙහෙසක්. මම ඉස්කෝලෙට ගිය ගමන් එක පාරක් වොෂ් රූම් ගියා. විභාගෙ 9 ට නෙ. ආයෙ. අටයි දහයටත් වොෂ් රූම් ගියා. මම පාචනයත් හැදුණ කෙනෙක් නිසා, අම්මා එදා ගේට්ටුව ළඟම හිටියා. කොහොම හරි එදා 16 වෙනිදා.
හරියටම දෙවනි පේපරේ දුන්නා. පළවෙනි ප්රශ්නය කොටස් 11 යි. අනිවාර්යයි. පළවෙනි ප්රශ්නය ඇතුළුව, ප්‍රශ්න 8 ක් කරන්න තිබුණා. ව්‍යුහය මතක වුණාට ඉලක්කම් හරිද වැරදිද කියලා දැන් මතක නෑ. අවුරුදු හයක්නෙ. (දින පොත් නොබලා ලියන්න හිතුණෙ මතකයෙන්.)
පළවෙනි ප්‍රශ්නයෙ, පළවෙනි කොටසවත් ලියන්න, හිතා ගන්න බෑ... ඒක මහ පුදුමයක්. ගාන හිතනකොට, අනිත් පැත්තෙන් යනවා. ඒ තරම්ම අසාධ්‍යයි. මට බය හිතුණා. ගඳ දැනුණොත්, මාව එතනින් ඉවත් කරයි කියලා. ලැජ්ජාවක් නෑ. ඔක්කොම ගැහැණු ළමයි. ඒත් විභාගය. මම ගණිතය හරි ආසාවෙන් ඉගෙන ගත්තා.
මට ඒ වෙලාවෙ හිතුණා, පේපරේ කොහොම හරි ලියනවා. මේක හිතලා පරිස්සමට කරන්න ගියොත්, මට කරන්න වෙන්නෙ නෑ කියලා. පෑන තද කරලා අතින් අල්ල ගත්තා. මට ඒ වෙලාවෙ, මතක් වුණා.. ගණං පන්තිය. මම ආසාවෙන්ම ගිය පන්තිය ඒක. ගණිතයට ආසා වීම වාගෙම ඒකටත් හේතුවක් තිබුණා. ( වැඩිපුර හොයලා බලන පිරිමි ළමයෙක් ඉන්න එක.. එහෙම නැතුව, ප්‍රේමයක් නම් නෙවී.)
ගණං සර්.. අපේ සීයාගෙ යාලුවෙක්. එයා මට පුදුම ආදරෙයි. සර් ළඟට ගිහිං ගණං වලට B කියන්න මට බෑ. කොටින්ම එදාට එයා එන නිසා, ඒක කොහොමත් කියන්න බෑ. අනික මේම දෙයක් වුණා කියලා, එයා දැන ගන්න එක ලැජ්ජාවක්නෙ.. කොටින්ම පොදු පාසැල් එකට ආරංචිය ගියොත්, වස විළි ලැජ්ජාවක් වෙන්නෙ. මගෙ ඇස් දෙකට කඳුලු ආවා.
දැන් පැය තුනෙන් විනාඩි 35 ක් ගිහිං ඉවරයි. මට කියන්න කිසි කෙනෙක් නෑ. මට ගාණ කියවන්නවත් බෑ. මේක ස්ට්‍රෙස් එක නෙවෙයි. මට අපහසුවෙන් හරි වැඩේ කරන්න පුළුවන්. ප්‍රශ්නෙ අනිත් පැත්තෙන් යන එක. මොළය සහ බහිස්රාවීය පද්ධතිය අතර ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුණෙ එදා.
හිතට වෙර ගත්තා. පෑන අතා ගත්තා.. මම මුලු ලෝකෙම අමතක කළා... එක දිගට මම ලිව්වා... පැයක් ඇතුළත, කිසිම ප්‍රශ්නයක් අත් නොහැර අත් ඇරිය යුතු ගණන් පවා හැදුවා. ඒක කළේ හිතට ආපු ආවේගයට.. පැයක් ඔලුව ගහන් හිටියා.. බඩ පෙරළවනවා.
පේපර් එකතු කළා. වෙනදාට පේපරේ ගන්න මොහොත වෙනකං හැඩ කර කර ගණන් හදන නෙරංජි ට මොකද වුණේ කියලා ළමයි හිතන්නැති. මම කාටත් උත්තර දෙන්න ඉස්සර වොෂ් රූම් දිව්වා.. ගවුම හෝදලා තෙත ගවුමම ආයෙ ඇඳගත්තා.. පළවෙනි පේපර් එක ලිව්වෙත් ඒ විදිහටම තමයි.
මගෙ වෙනස කාටවත් තේරුණේ නෑ.. මම විඵාගෙ ඉවරවුණ ගමන්, ගේට්ටුවට දිව්වා.. අම්මා, මාව එහෙම්ම ත්‍රීවීල් එකක දාගෙන ගෙදර ආවා.. අම්මා ඒ ඇඳුම් පවා පිච්චුවා. හිතා ගන්න බැරි කාටත් ඒක නොදැනිච්ච එක. බෙහෙත් ගත්තා.. දොස්තරලාත් ඉතා කාර්යක්ෂමව හොඳ වෙන්න බෙහෙත් දුන්නා..
දන්න කියන නෑයො සහ ගෙදර අය කිව්වෙ, ගණන් ආයෙත් ගන්න වෙයි කියලා. කවුරු නැතත් අප්පච්චි කිව්වා... පුතේ, ඔයා මේ සාමාන්‍ය පෙළ ගණිතය විභාගෙන් S එකක් ගත්තොත්, ඔයා ලංකාවෙන් පළවෙනියා වුණාට වඩා ආඩම්බර වෙන්න ඕනෙ කියලා.
රිසල්ට් ආවා මේ වාගෙම අප්‍රේල් මාසයක. හිතන්න මට ගණිතය A ... මට ම පුදුමයි. මම කර්ම ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තෙ එදා. එතෙක් මෙතෙක් නොදන්න හැම කෙනෙක්ටම, මම උපරිමෙන් දන්න දේ කියා දුන්නා. ඒ වෙනුවෙන්, මට අමාරු වුණ වෙලාවෙ විශ්වයේ ශක්තියක් මං දිහා බැලුවා...
අදටත්, මම අනික් සබ්ජෙට් අටටම ගත්ත A වලට වඩා ගණිතය A එකට ගරු කරනවා. ආදරය කරනවා. හැම සාමාන්‍යෙපළ විභාගයකදිම, මම ඒ A එක ගැන හිතලා අප්‍රමාණව සතුටු වෙනවා.
අද එයාගෙ උපන්දිනේ. මම එයාට විශ් කරන්න ඕනෙ.. එයා මේ කතාව දන්නෙත් නෑ.. අදටත් අපි හොඳ යාලුවො. දැන් එයාට වඩා මං උසයි. අවුරුදු 6ක් අපි වයසට ගිහිං
ඒත් සාමන්‍ය පෙළ විභාගය තාම තරුණයි.
මම ගණිතය A එකට හැමදාම ආදරෙයි...