මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/29/13

-234- හුදකලා රස්තියාදුවේ ආනිශංස


ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ බර පොතක කියලා තියෙනවා කියලා මම ඉගෙන ගත්තෙ තුනේ පන්තියේ වාක්‍ය හයේ රචනාව ලියන්න පටන් ගත්ත මුල්ම දවස් වල. කොහොම වුණත්, ඇවිදීම.. තරම් සතුටක් ජීවිතේ නැතිම තරම්. ඇවිදීම කියන දේ ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. එක අවශ්‍යතා පිණිස ඇවිදීම, දෙක ව්‍යායාමයට ඇවිදීම. හැබැයි වැදගත්ම ඇවිදීම තමයි රස්තියාදුවට ඇවිදීම. ජීවතේ අරමුණු තියෙන්නෙ අවශ්‍යතා වලට ඇවිදීමේදී, ජීවිතයේ පැවැත්ම තියෙන්නෙ ව්‍යායාමයට ඇවිදීමේදී.. එහෙත් ජීවිත් වීම කියන කාරණාව තියෙන්නෙ රස්තියාදුවට ඇවිදීමෙදී. අන්න ඒ නිසයි ගැටවර වයසේ සිට මිය යනතුරුම රස්තියාදු ගැසීම ලිංග බේදයකින් තොරව කළ යුතු දෙයක් බව මම තරයේ විශ්වාස කරන්නෙ.

රස්තියාදුවෙදි, ඕනෙම තැනක ඔබට නතර වෙන්න පුළුවන්. ඕනෙම තැනකදි ආයෙත් ඔබට හැරෙන්න පුළුවන්.. සෑම වැසුණු දොරක් ළඟදිම සිකුරුටිවරුන් සහ වරියන් සමඟ දොඩමළු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් වැසුණු දොර ගැන තරහ නොගෙන ඉන්න පුළුවන්. ක්ෂණිකව සිතුණු විගස අලුත් තැනකට යන්න පුළුවන්..

ට්‍රැෆික් එකක පවා රසය විඳින්න පුළුවන් දෙයක් තිබෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. නැවතුමක හිඳගෙන යන එන කාන්තාවන් සහ පිරිමින් දෙස බලා සිටීමේ ප්‍රීතිය ඔබ සමහර විට නොදන්නවා ඇති. පළතුරු කඩයක වේගයෙන් සිදුවන වෙළඳාම අතර, හුවමාරු වෙන කුණු පළතුරු ඈත සිට ගණන් කිරීමේ ප්‍රීතිය ඔබ නොදන්නවා ඇති. උයනක ලිය ගොමු වල තුරුළුව සිටින සෑම පෙම්වතුන් ජෝඩුවකටම ගීතයක් බැගින් නම් කිරීමේ ප්‍රීතිය විඳලා නැතිව ඇති.

රස්තියාදුවෙදි මේ හැම දේම ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්.

අරමුණක් පිණිස ඇවිද්දොත්, වසා ඇති දොරවල් , ට්‍රැෆික් , දිග පෝලිම් ඔබව නිරන්තරයෙන් තරහ ගස්සනවා. කොහොම වුණත් හුදකලාවේ රස්තියාදු ගැසීමේ ආනිශංස දන්නෙ එහෙමත් කෙනෙක්ම විතරයි. කොහොම වුණත්, අද දවසේ ශේෂය ඉදිරියට ගෙනයන්න.. තැන් කිහිපයකින් සිද්ධියක් දෙකක් ඔබට කිව යුතුමයි කියලා හදවත යෝජනා කරනවා. ඒවා සුන්දර සහ අසුන්දර කියන අන්ත දෙක අතරෙ තියෙන පුදුමාකාර සිද්ධි.

පළමුවැන්න සිදුවුණේ 154 බස් රථයක් තුළදි..

ඇය මධ්‍යම පන්තියෙ, තරමක් නවීන පෙනුමක් ඇති කාන්තාවක්. මැදි විය ඉක්මවා යාමට ආසන්නව තිබුණත්, සුන්දර භාවයේ නටබුන් මුහුණේ තිබුණා. සැහැල්ලු මළු දෙකක් අතේ තිබුණත්, බසයට නැග්ගාට ඇයට එය පාලනය කරගන්න හැකියාවක් තිබුණෙ නෑ. බසයේ අසුන් සියල්ල පිරී තිබුණා. නමුත් රථය තුළ කිසිවෙක් සිටගෙන හිටියෙ නැහැ.

සැහැල්ලු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඳලා, අයි පොඩ් එකක් කනේ ගහගෙන හිටි මා අද්දර අසුනක හිඳ සිටි යුවතියක් ඇය කියවමින් සිටි පොත ඇගේ බෑගයට දැම්මා. අඩුම තරමේ ලිප්ස්ටික්වත් ගාලා නොහිටියත්, නාගරික බව පෙනෙන්න සාධක ඇය ළඟ තිබුණා. ඇය මේ කාන්තාව දිහා බලනවා කිසිවෙක්වත් දකින්න නැතිව ඇති. මොකද ඇය දිහාවෙ ඇහැක්වත් මේ යුවතිය නොහෙලූ නිසා. හැබැයි අනික් හැමෝම මේ මැදි වියේ කාන්තාවගේ අසමබරතාවය දෙස දිහා බලා හිටියා. තත්පර තුන හතරකින් පමණ, යුවතිය අයි පෝඩ් එක ගලවලා බෑගයට දමා ගත්තා. එක වරම නැගිටලා බසයේ හිට ගත්තා. දැන් ඇය හිඳ සිටි අසුන හිස්.. ඉතින් මැදිවියේ කාන්තාව වහාම හිස් වූ අසුනේ හිඳ ගත්තා..

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟින් බොහෝ දෙනෙක් බැස ගියා. එහෙත් යුවතිය බැස ගියේ නෑ. හිස් වූ ඉදිරි අසුනක නැවත ඇය  හිඳ ගත්තා. එවිට බසයේ සියලුම දෙනාගෙ අවධානය ඇයට යොමු වුණත්, කිසිවක් නොකළ ඈ යළිත් අයි පොඩ් එක කනේ ගහගත්තා.

මැදි වියේ කාන්තාව ඉදිරියට නැවී යුවතියට තට්ටු කළා.

 “ මම හිතුවෙ ඔයා බහින නිසා නැගිට්ටා කියලා. අනේ ස්තූතියි මට මේ සීට් එක දුන්නාට.“

කාන්තාව එහෙම කිව්වා. ඉදිරි අසුනෙහි සිට මඳක් පිටිපස හැරුණු යුවතිය දෙනෙත් දල්වා හරිම හැඩට සිනාසී යළිත් ඉදිරිය බලාගත්තා.

මැදිවියේ කාන්තාව දෙනෙතේ කඳුළු පුරවා ගනුත්, අනතුරුව දෑස් පිසදමන අයුරුත් දකින්න තිබුණා. කඳුලට හේතුව සිතන්නටත් ‍පෙර ටොරින්ටන් වෙත බසය පැමිණියා. මම වගේම, යුවතියත් බසයෙන් බැස්සා. මම හීලෑ අශ්වයෝ සහ හිමාලි අක්කා හොයාගෙන යන්න අවශ්‍ය බව සිහිපත් වීමෙන්, යුවතිය ගැන සිතීම අත්හැරියා. මැදිවියේ කාන්තාවගේ කඳුළු සහ අසුන අතර සම්බන්ධයක් නැතත්, යුවතියගේ සිනහව සහ ඇගේ කඳුළ අතර සම්බන්ධයක් ඇති බව සිතන්නට මේ මොහොතේ පවා සිතිවිලි පරම්පරාව බල කරනවා.




ආර්ෆිකෝ කියන්නෙ රස්තියාදුවෙදි, නොවරදින තැන් දෙකෙන් එකක්. අනික තැන තමයි සරසවිය. මේ දවස් වල නත්තල් සිරියෙන් ඇලලිලා ගිය ආර්ෆිකෝ එකේ, චොක්ලට් අංශෙන් පොත් කියවීම වඩවන චොක්ලට් දෙකකුත් නිරායාසයෙන්ම අරගෙන මම උඩට ගියෙ ලස්සන භාණ්ඩ අතර ටිකක් තනි වෙන්න හිතාගෙනමයි.

උඩ සෙල්ලම් බඩු අංශයේ බාබි ඩෝල් කෙල්ලන් අතර එකෙල මෙකෙල වෙන අංකල් කෙනෙක් මගේ ඇස් මායිමට වැටුණා. මගේ රස්තියාදුව නිමා කරලා නැවත පහළ මැගසින් කොටසට මම එනකොට ඔහුත් එතැන ඉන්නවා මම දුටුවා.. මැගසින් එකින් එක අල්ලමින්, සුන්දර නිරූපිකාවන්ගේ රූප ඇසින් කටපාඩම් කරනවා ද කියලා හිතෙන තරමට ඔහු ඒවාගෙ ඇලී ගැලී සිටියා. එතනම ආසාන්නයේ තිබූ මුදල් අයකැමි කොටසේ යුවතියන්, වරින වර ඔහු දෙස බැලුවෙ සල්ලාලයෙක් දිහා බලන ගාණට.

කොහොම වුණත් ටික වෙලාවකට පස්සෙ එක මැගසින් එකක්වත් නොගත්ත ඔහු ස්වයංක්‍රීය දොරින් පිට වුණා.. ඒ අංකල් එහෙම කළේ ජීවීතේ සුන්දර රාත්‍රීන් සදාකාලයටම මඟ හැරුණ සොවින්ද, කලින් තිබුණත් දැන් එහෙම ලස්සන දේවල් නොපෙනීම නිසා ඇති වේදනාව හේතුවෙන්ද, නැත්තම් ඇත්තටම එහි හරය තේරුම් ගැනීමේ ඕනෙ කමින්ද කියන්න දන්නෙ නැතත්, කාන්තා රසකාමියෙක් බව නම් පෙනෙන්න තිබුණා.

අංකල් ගෙ ප්‍රශ්නෙ මොකක් වුණත්, හෙට දවසෙත් ශෘංගාරය පිළිබඳව රික්තයකින් පිරි හදවත් වල නිමාවක් නැති බව නම් අදම අවටම පෙනෙන්න තිබුණා. ටොරින්ටන් චතුරස්‍රය හරහා ඇවිදගෙන යද්දි, ලංකාවෙ ප්‍රේමණීය යෞවනයේ සාම්ප්‍රදායික වර්තමානය ගැන කියා ගන්න බැරි වේදනාවක් හදවතට කාන්දු වෙනවා. කාමරයක් සහ උද්‍යානයක් පටලා ගැනීම ට ප්‍රධානම හේතුව මුදල් ද , ආරක්ෂාවද,  පෞරාණික චාරිත්‍ර වල ප්‍රගමනය කියලා හරියට වටහාගන්න විසි හතරෙ මොළයට බැරි වුණත් ඒ හැම මුහුණකම තිබුණෙ ආදරය බලෙන් පවරාගත්තු බවක්. මහ පොකුණ අසල හිටියා මහළු වියේ කෙළවරක දෙදෙනෙක්. එවන් දෙදෙනෙක් මෙවන් තැනක දැකීමත් ප්‍රීතියක්. එහෙත් ඔවුන්ගෙ මුහුණේ තිබුණේ තෘප්තියකටත් වඩා විශාල විඩාවක්. සමහරවිට ස්වර්ණ ජුබිලියකට පෙර බලෙන් පවරාගත් ප්‍රේමයේ වේදනාව වෙන්නත් බැරි කමක් නෑ.



For once you have tasted flight you will walk the earth with your eyes turned skywards, for there you have been and there you will long to return.

Leonardo da Vinci 



12/24/13

-233- ඒක එහෙම වෙන්න ඕනෙ..

ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ ඒක එහෙම වෙන්න ඕනෙ හින්දා. එහෙම නැතිව තමන්ට ඒක කරන්න ඕනෙ නිසාම නෙවෙයි. ඒක මොකක් වුණත් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ එහෙමයි. අපේ ලොකු අයට එයාලාගෙ ලොකු අයත්, එයාලාගෙ ලොකු අයට එයාලාගෙ ලොකු අයත් කියලා දීලා තියෙන්නෙ එහෙමයි. ඒකට තමයි සම්ප්‍රදාය කියන්නෙ.

තව අඩ පැයකින් නත්තල ලබනවා. එක, එක රටට රෑ දොළහ වෙන, වෙන, වෙලාවට ඒ  ඒ රටවල් වල ඉන්න කාට කාට වුණත් ළඟම පල්ලියෙ ඝාන්ඨාරය නාද කරනවා අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රතිඥ්ඥා පත්තු වෙන හඬත් අහන්න පුළුවන්. ඒවා හැම නත්තලටම  එහෙම වෙනවා. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. හැම නත්තලටම නත්තල් ගහ වුණත් එහෙමයි... ගව ලෙනත් එහෙමයි.. වෙනස් වෙන්නෙ, විලසිතා විතරයි.

කොහොම වුණත් නත්තලට තෑගි ලැබෙන එක හොඳ දෙයක්. නුගේගොඩ බොරැල්ල කොටුව පිටකොටුව වගේ නාගරික තදාසන්න ඉසව් වල ඇවිද්දා නම් තමන්ටම පුළුවන් තමන්ට ඕනෙ කරන තෑගි මිලට ගන්න. මොකද කියනවා නම්, හරියටම වෙනින් කවුරුවත් දන්නෙ කොහොමද හරියටම අපිට ඕනෙ කරන්නෙ මොනවද කියලා. 

ඒත් අනුන් මත පවතින දේවල් වලත් සුන්දරත්වයක් නැතුවාම නෙවෙයි. මිනිස්සු ගොඩක් දෙනෙක්ගෙ අත්‍යාවශ්‍යම දෙයක් තියෙන්නෙ, අනුන් මත. මොකක්ද මේ අත්‍යවශ්‍යම දේ කියලා ඔයා දැන් හිතනවා ඇති. ඒ තමයි ප්‍රහර්ෂය. සතුට, ප්‍රීතිය ,උද්දාමය , තෘප්තිය වගේ නොයෙක් වචන දුන්නත්, ඒ හැඟීම නිර්වචනය කරන්න.. සද්ද කරන්න තියෙන ලස්සනම වචනය ප්‍රහර්ෂය.
ඒක තියෙන්නෙ ගොඩක් වෙලවට වෙන අය මත. හැබැයි පුදුමය කියන්නෙ හැඟීම අයිති අපට.

මට හැම වෙලාවෙම ඒක දැනෙන්නෙ පුංචි නිදිකුම්බා මලක් වගේ. පොළවට ඉතාම කිට්ටුවෙන් පොළවට නොගැවී.. මුලෙන් විතරක් පොළවට සම්බන්ධ වුණ .. හැම වෙලාවෙම විසිරිලා යන්න බලාගෙන ඉන්න, පුංචි ගැස්මකටත් අවිනිශ්චිත වෙන, කොළ අතර හැංගුණ පුංචි නිදිකුම්බා මලක් වගේ. 

ඒත් ඉතින් වේදනාව හරියට ඉහළ අහස වගේ.. වැඩිපුරම පේන්න තියෙනවා. මිදෙන්න අමාරු තරමටම හැම තැනකම පැතිරිලා තියෙනවා.

දැන් පුංචි ප්‍රශ්නයක් මතු වෙනවා. පුංචි නිදිකුම්බා මල් කොහොමද, මහ පොළවත් අහසත් අතර ඉඳගෙන අහසින් මහ පොළව ආවරණය කරන්නෙ කියන එක ගැන. ඇත්තටම කවදාවත් ඒක කරන්න බෑ. ඒත් අහසට වඩා සමීපයෙන් තියෙන්නෙ නිදිකුම්බා මල් බව පොළව හොඳාකාරවම දන්නවා. අනනුකම්පීය අහස කොයි තරම් විශාල වුණත්, නිදිකුම්බා මල් වල හදගැස්ම සමීපවම මහ පොළවට සදාකාලිකව දැනෙනවා..

මම දන්නවා ඒරියල් සුරදූතයා කවදාවත්, මගේ ජනේලයෙ පඩිය උඩ ඉඳගෙන මට ජීවිතේ ගැන ඔය විදිහට කියාදෙන්නෙ නැහැ කියලා. එහෙමයි කියලා ඒ ගැන දුක් වෙන්න කිසිම හේතුවක් මට පේන්න නැහැ. නත්තල් සුවඳවල් නැතත්, නත්තල් ගහක් ගෙදර නැතත්, මට තව ටිකකින් පල්ලියෙ ඝන්ඨා සද්දය අහන්න පුළුවන්.. ඒ එක්කම මට පුළුවනි, ගෝඩර් ලියපු සිසිලියාගෙයි ඒරියල් සුරදූතයාගෙයි කතන්දරය කියවන්න. ඒක හොඳ තෑග්ගක් නෙවෙයිද? නත්තලත් උපන්දිනයත් අතර ලැබුණ හොඳම පොත නිසා, ඒක උපන්දින තෑග්ගක් කියලා සතුටු වෙන්න පුළුවන් වගේම නත්තල් තෑග්ගක් කියලා සතුටු වෙන්නත් පුළුවන්... බලන්න ප්‍රහර්ෂය කොයි තරම් සැහැල්ලුද කියලා. හරියට සමනළ තටුවක් වගේ. 


“ The inner fire is the most important thing mankind possesses.” 
-Edith Sodergran-



11/21/13

-232- ඇය සහ ඇය අතර තනිවීමි




ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?

මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.

ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ.  අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා. 

ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.

ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද? 

ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?

මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.


එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.

එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා. 

මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්,  මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත්  මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.

වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....

විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...

සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...

ගීතය අහන්න

11/1/13

-231- මට හමුවූ සුන්දරම යුවතිය



ඇයව මට හමුවුණේ කොහුවලදි, නිල් මල් ඉහුණු සුදු වන් රෙද්දකින් දෙදණ තෙක් වැසුණු ගැමි පන්නයෙ ගවුමකින් ඈ සැරසී සිටියා. එහෙත් ඈ අගනුවර යුවතියක් විය යුතුයැයි මට සිතුණා. සැකසු ඇහිබැමත්, ලේයර් හැඩැති හිස කෙසුත් නිසා.

මා සමඟම ඇය බසයට ගොඩ වුණා. බසයේ කොණකට ඇති ආසාවෙන් ඇය ඉක්මන් වුවත්, පුංචි දරුවෙක් ඇයව තල්ලු කළා. ඇය සුන්දරව සිනාසුනා. මේ අපූරු යුවතිය මේ දරුවාට බසයේ පෙම් මුල්ල දුන්නා. දැන් ඔවුන් බර කතාවක. අපූර්වත්වය නම් ඒ කුඩා දරුවා භාෂාවක් කතා නොකිරීමයි. ඇය කිසිම අපහසුවකින් තොරව හදිසියේ හමුවූ ඔහු හා කතා කරන විලාසය මාද ඇතුළුව බසයේ හැමෝම බලා සිටියා. ඇය එයින් අපහසු තාවයට පත් වූ බවක් දැක්කෙ නැහැ.

ඇය ගොළු යුවතියක නොවූ බව බසයම දැන ගත්තෙ, පාර වැරදුණු මිත්තණියක් බසයෙන් බස්සවන්න ඇය කොන් දොස්තරට කතා කළ වෙලාවෙ. ඒ හඬ එතරම්ම ගීතවත්.

ඇය ඉන්පසු නැවතුමෙන් බැස්සා. මේ අපූරු යුවතිය යන මඟ ගැන සොයාගන්න ආශාවක් මට තිබුණා. පාර හදන තැනකින් බැසගත් ඇය, වැඩකරන මිනිස්සු දෙස බැලුවෙ දන්නා හඳුනන අය දෙස බලනවා වගේ.

කාන්තාවක් ඇය අඳුරලා වගේ මල් දහයක් තෝරා ඇය අතට දුන්නා. නිල් මහනෙල් මල් පොකුර අතට ගත් ඇය හීන් හිනාවක් මටත් දුන්නා. මමත් මල් දෙකක් අරන් ඇය එක්කම කතාවට වැටෙන්න ඇය ළඟින් ගමන් කළා. මම කතා නොකරම ඇය කතා කරනවා.

“ පටන් ගන්න තැනම අයට බිස්නස් අඩුයි. පන්සල ගාවට වෙන්න වැඩියි. මෙතන රස්නෙ නිසා මල් ඉක්මනින් පර වෙනවා. “

මගෙන් උත්තරයක්වත් තව අලුත් කතාවක් වත් ලැබෙන්නට පෙර, ඇය දිගු පාර අසබල වෙලක ලියැද්ද ළඟ නැවතුනා. පොරි පැකට් එකක් දමාගෙන දැන් ඇය මාලු එක්ක කතා කරනවා. එතැනින් පසු ඇය කිසිම කෙනෙක් නොදුටු ගාණට තමන්ටම මුමුණමින් පන්සලට ගියා.

මේ අපූරු යුවතිය හොයන්නෙ මල් අඩු බුදුවරු. ඇය මල් තිබ්බෙ එවන් පිළිම ළඟ. මඳක් තම පිළිවෙතෙහි යෙදුණු ඇය එන්න පිටවුණා. මල් ආසනයක වියළි මල් පර වෙලා. ඇය තම ගමන පසෙක තබා මල් අසුන පිරිසිදු කරන්න පටන් ගත්තා. තරුණයො කිහිප දෙනෙක් තනි ඇයට උසුළු විසුලු කරනවා. ඇයට ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. ඇගේ කාන්සියට පැමිණි පුංචි හිතවතෙක් ඇය සමඟ ලොකු කතාවක. පුංචි පූස් හිතවතාට කන්නට දෙයක් දෙන්නට නැතිවීම ගැන නම් ඇය උන්නෙ දුකින්.

ඇය දැන් යළිත් ඇගේ ගමනේ ඇවිද යනවා. මේ අපූරු යුවතිය නිතරම කළ එකම එක දෙයක් තිබුණා. ගවුමෙ රැලි සාක්කුවෙන් දුරකථනයක් ගෙන ඇමතුමක් හෝ යමක් බලාපොරොත්තු වුනා. පුදුමය නම් එය එතෙක් වේලා නොලැබීම නොවෙයි. ඇගේ ඇස් වල දිගින් දිගටම කාන්තිය එකතු වීමයි. ඇයගේ පාර ගොඩක් දුර ඇති. එහෙත් ඇගේ ළඟ ජීවිතය තිබුණා. අපූරු ඇස් දෙකක් සහ සිනහවක් තිබුණා.

වෙහෙසට පත් නොවන දෙපයක් තිබුණා. ඇය අවසන අතරමඟ සිටි බර කිරන්නෙකුට කියා තම බර කිරවා ගත්තා.

පුංචි නෝනා 65 යි.. ඔහු කීවා..

අංකල්ට කියන්නෙ BMI එක තියෙන්නෙ නූලෙන්. 58 ට බැස්ස දාට මම අංකල්ට උළුඳු වඩේ අරන් දෙනවා..

කලු පැහැ මුහුණ තුළ රූ රාජිණියකගේ පෙනුම නැතත්, දීප්තිමත් ඇස් සහ සුන්දර හිනාව අනික් අය අතරින් ඇය ඉහළට ගෙනාවා. බර කිරන දුප්පත් මිනිසා අපිරිසිදු දත් එළියට දමා පිරිසිදු සිනාවක් පා කළා. සමහර විට ඒ දවසටම ඒ මිනිසා සිනා සුණු පළවන වතාව විය නොහැකිද?

කඩයක කූඩුවක සිටි මයිනෙකුට කතා කළ ඇයට කතා කළ අත්තම්මා කෙනෙක් පිරිත් නූලක් නිවස තුළින් ගෙනැවිත් ඇයට ගැට ගැහුවා. ඇය දකින සැම කෙනෙකු සමඟම සිනා සුනා. ඇය පසුකරමින් බුම්මාගෙන ගියෙක් නැති තරම්. සිනාසෙන මුහුණ ඇගේ ස්වාභාවයදැයි මට හිතුණා. ඇය ඈතට ගියා. අපූරු සිංදු කිරිල්ලියක්. සුන්දර යුවතියක්.
ඇයට කවදාහරි ඇය වටා සිටිනා ලෝකයටම සතුට ගෙනෙන්නට හැකි වේවා කියා මම බෝධිය දෙස බලා ප්‍රර්ථනා කළා..

අද මම ඇය ගැන ලියන බව ඇය නොදන්නවා ඇති. මට දුක නුඹට කියන්නට අවාසනාවකට ඇගේ නම අසාගන්නට බැරි වීම ගැනයි.