මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/13/13

-217- සෙනෙවි | Best of Me

හැමදාම උදේට ඉර එළිය අරන් එන්නෙ අපේ ගෙදර කුස්සිය. ඒ වුණාට නැගෙනහිර තියෙන්නෙ ඒ පැත්තෙ නෙවෙයි කියලා අම්මා නිතරම කියනවා. ඒත් ඉස්සල්ලාම කැම්පස් ගිය දවසෙ මං කිරිබත් කෑවෙ ඉර පායන කුස්සියෙ තියෙන ලෑලි බංකුව උඩ ඉඳගෙන. මම උදේට ගොඩක් කන්නෙ, දවල්ට කන එක නුපුරුදු නිසයි.  විජේරාමෙ පාර දිගේ ඉහළට ඕන තරම් බත් කඩ තිබුණත්, මම දවල්ට නොකන්න පළවෙනි දවසෙම තීරණය කළා.

ඒ මම ජයවර්ධනපුර ගිය පළවෙනි දවස නෙවෙයි. මං පත්තරේට සම්බන්ධ වුණේ සරසවි ප්‍රවේශය ලබන්න ඉස්සර නිසා  උද්ඝෝෂණයක විස්තර ගන්න, මං දවස් කීපයක්ම රාවය පත්තරෙන් එහෙ ගියා. ඒත් මේ දවස තමයි මම සරසවි ශිෂ්‍යයෙක් බව මට දැනුණ දවස.

පිළිගැනීමේ කතා අටෝරාසියකට පස්සෙ දහවල් විවේකය ලැබුණු තැනින් තමයි, හරි නම් මේ කතාව පටන් ගන්න ඕනෙ. ඒත් මං කවුද කියලා නොකියා කතාව කියං යන එකේ තේරුමක් නෑ. කොහොම හරි දවල් දොළහට ආසන්න වෙලාවක මමත් අනික් පිරිවර එක්ක තල්ලු වෙලා ශ්‍රී සුමංගල ශාලාවෙන් එළියට වැටුණා.. මමයි , ඒ මොහොතෙ අඳුන ගත්ත ගැහැණු යහළුවො කිහිප දෙනෙකුයි එකටම ඕපන් කැන්ටිම පැත්තට ආවා.

ඕපන් කැන්ටිම තියෙන්නෙ සුමංගල ශාලාවෙන් දකුණු පැත්තෙ. එ්කෙ ඉහළ තට්ටුවෙ තියෙන්නෙ මහා ශිෂ්‍ය සංගම් කාමරය. පහළ තියෙන්නෙ  අපි පාඩම් කරන්නයි කන්නයි හදපු කැෆටේරියා එක. ඒවා හැම දේම පස්සෙ දැන කියාගත්ත දේවල්.
එදා එතෙනදි මම මුලින්ම දැක්කෙ කොන්ක්‍රීට් බිත්තියෙ, පාට ගිය තීන්ත උඩ මුණිවත රකින රූප පේළියක්. 

ඒ රූප පෙළ හරි මැද, සරසවියෙ ඈතම කොනට ඇස් යොමාගත්ත කෙනෙක් මුල්ම වතාවට මගේ ඇස් තුරුළු කරගත්තා. මුල්ම වතාවට මම මේ ලෝකෙ ලස්සනම මන්දස්මිතය ඔහුගෙන් දුටුවා. 

එතකොටත් මගෙ පිටිපස්සෙ හිටපු මං වගේම අලුත් කෙල්ලො මට හිනා වුණා. ඔවුන්ට ඒ පින්තූර ගැන කිසිම හැඟීමක් නැති නිසා වෙන්න ඇති.  ඒත් ඒ මොහොතෙ ඈත ඉඳන් කෙනෙක් මගෙ ළඟට ආවා. පිරිමි ළමයෙක්. පස්සෙ එයා තමුන්ව අඳුන්නා ගත්ත විදිහට ජේෂ්ඨ උත්තමයන්ගෙන් කෙනෙක්.

" අඳුනන කෙනෙක්ද?" ඔහු ප්‍රශ්නය අහපු විදිහම, මාව රතු කළා. ඒත් ඔහු මඳක් කරුණාවන්ත හඬකින් මම උත්තර නොදුන් ප්‍රශ්නයට, පුංචි පිළිතුරක් එක් කළා.

"එයා ඔයාට කලින් ජීවත් වුණ කෙනෙක්"  මඳ සිනාවක් පා ඔහු කැන්ටිමෙන් පිට වුණා. අදටත් හිනාවෙන්න තරම් කාරණාවක් මගේ සරසවි ජීවිතයෙන්, මගේ යහළුවන්ට ඉතිරි වුණේ එහෙමයි.


ඒත් එදා ඒ වෙලාවෙන් පස්සෙ මම ඒ පින්තූරෙ ඉන්න කෙනා ගැන ගොඩක් කල්පනා කළා. හැබැහින් කිසි දාක නුදුටු ඒ හුරුපුරුදු තරුණයාට හැම උදේ පාන්දරකම මං ගුඩ් මෝර්නිං කියන්න පුරුදු වුණා. කවදාවත් මට උත්තර නොදුන්නත් එයා මා එක්ක කතා කරන බව ටික කාලයක් ගත වෙනකොට මට දැනෙන්න ගත්තා. බකට් එකට ඉස්සර කොකු ගහන කාලෙ එයා මගෙ හිත කවුරුවත් ළඟට යන්න ඉඩ නොදී රැක බලා ගත්තා. ඒත් බකට් එක දවස් වල ඔය පාට ගිය බිත්තියෙ එල්ලා තියෙන්නෙ විරු සිසු පින්තූර‍ෙ කියලා දැන ගත්ත දවසෙ, මම එයා එක්ක තරහ වුණා. මම ටික දවසක් එයා දිහා නොබලාම හිටියා. මං අන්තරේ එක්ක තරහින් හිටියෙ. ඉතිං එයා එක්කත් මං තරහ වුණා.

අපි ආයෙත් යාළු වුණේ, මම හුඟක් කැමැත්තෙන් හිටපු කෙනෙක් මගේ හිත හොඳටම රිදවපු දවසක. එයා ආයෙම හිනා වුණා. ඔයාට කවුරුත් මං තරම් ආදරය කරන්නෙ නෑ කියනවා වගේ, එයා හිනා වුණා. අපි තීරණය කළා දේශපාලනය ගැන කතා නොකරන්න.

එයා මිනිස්සුන්ට හුඟක් ආදරේ කළා.  හිතාගන්න බැරි තරමට, එයා විශ්වාස කළා හැම මනුෂ්‍යයෙක්ම යදම් නැති ලෝකයක ජීවත් විය යුතු බව. එයා බය වුණේම, හිත් හිර කරන ඇඩ්මන්ටයින් දම්වැල් වලට. එයාට මිනිස්සු වෙනුවෙන් කරන්න හුඟක් දේවල් හිතේ තිබුණා.  එයා කිව්වෙ හැම වෙලාවකම, එකම දෙයක්.  " මට වෙලාව මදි වුණා" කියලා.  සරසවි කාලෙ ඉවර වුණා. මට එයාගෙන් සමුගන්න වුණා. ඒත්  සතියකට දවසක් හරි හීනෙන් එන විත්තියට එයා පොරොන්දු වුණා. එයාගෙ මන්දස්මිතය නිතර හමු නොවුණත්, එයයි මමයි හැමදාම හීන වලදි මුණ ගැහුණා.

 ඒත් දෙදහස් එකොළහේ නොවැම්බර් මාසෙ අන්ධකාර එක දවසක උදේ පාන්දර අසුබ ආරංචියක් ආවා.  අපි සරසවිය ළඟට යනකොටත්,  වීර ඇස් අයාගෙන දම්වැල් බිඳින්නට තැත් කළ, විරු සිසු ප්‍රතිමාව විනාශ  කරල තිබුණා. මහා ශිෂය කාමරේ කඩා දාලා... පාට ගිය මකුළු දැල් බැඳිච්ච පින්තූර අලු කරලා තිබුණා. එයාව ඒ අලු අතරින් අඳුන ගන්න මට බැරි වුණා. දෙවනි වතාවටත් එයාව මරා දාලා තිබුණා.

එයා මගේ හිතෙන් නොමැරුණ නිසා, මං එයාව හෙව්වෙ නෑ.. ඒ නිසාම හමුවුණෙත් නෑ.. හීනෙක ඇරෙන්න පින්තූරයක්වත් හොයාගන්න තිබ්බෙ නෑ.

හැබැයි එයාව දෙවනි වතාවට මරපු දා ඉඳන් මම දේශපාලනය ගැන සහ දේශපාලකයො ගැන හිතන්න පටන් ගත්තා. ඒ ගැන විස්තර හොයන්න පටන් ගත්තා.. කාලය ගෙවිලා ගියා.

මම විවේකයෙන් හිටපු ඊයෙ, අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ආයෙත් මට එයාව මුණ ගැහුණා. පුංචි වීඩියෝ කෑල්ලකින්. මං එයාව කවදාවත් නොයන්න, මගේ ළඟට ගත්තා. කාලෙකට පස්සෙ අපි ඇත්තටම හිනා වෙනවා කියලා මට හිතුණා. ආයෙ කවමදාවත් එයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියලා මං පොරොන්දු වුණා. දැන් අපි සතුටින් ඉන්නවා.. අපි තවමත් හිනා වෙනවා.  ජීවත් වෙනවා.





6/5/13

-216- ත්‍රීවීල් අංකල්



ජයවර්ධනපුර සරසවියට එකසිය තිස් අටේ යන ඕනෙම කෙනෙක් විජේරාම හන්දියෙං බහිනවා.
දූවිලි පිරුණ විදූරු අස්සෙන් පැන්සල් පෙට්ටි හිනාවෙන ඡායාව පත්තර කඩේ ළඟ ඉඳන්ම පේනවා. පාරෙ බෙන්ඩ් එකක් තියෙන හින්දා, වාහන කොහොමත් එන්නෙ ටිකක් විතර හෙමින්. කොහොමත් එක පොකුරට පාර පනිනකොට කැම්පස් ළමයි කියලා දැනගෙනම, වාහන හෙමින් අරන් යනවා කියලාත් වෙලාවකට හිතෙනවා. එකෙක්ගෙ හරි ඇඟේ සයිඩ් කණ්නාඩිය හරි ගෑවෙනවා කියන්නෙ, එතන තුන්වන ලෝක යුද්ධෙ පටන් ගැනීම බව ඒ මිනිස්සුත් අපි වාගෙම ඉවෙන් වාගෙ දන්නවා.

හැමදාම උදේට පාර එකම වගෙයි. හමුවෙන්නෙත්, වෙනදා හමුවෙන අයමයි. හුළඟ වුණත් එකම පේස්ට්‍රි සුවඳයි.

ඒත් මේ කියන දවසෙ මම, ඔරලෝසුවට අනුව ටිකක් පරක්කුයි. ඒ නිසාම වෙනදා දකින පුරුදු මුහුණු පාරෙදි මම දැක්කෙ නැහැ. පෙස්ට්‍රි සුවඳත් ටිකක් විතර බැහැලා.. දවල් මස් හොද්දට තුන පහ බඳින සුවඳ වැඩියෙන් දැනෙන්න පටන් අරන්.

එකසිය තිස් අටෙන් බැස්ස ගමන් පාර පැන්නත්, අපේ සරසවිය තිබුණෙ කිලෝමීටර් බාගෙකට ආසන්න දුරින්. ඒ නිසාමයි, මම හන්දියෙ ගාල් කරපු ත්‍රීවීල් රථයකට ගොඩ වුණේ.

මට පුංචි හිනාවකින් සංග්‍රහ කරන ගමන්ම ත්‍රීවිල් අංකල් ස්ටාර්ට් කරන්න හැන්ඩල් එකේ දෙපැත්ත තද කරලා.. ඒ මැද්දෙ ගහලා තිබ්බ හඳුන්කූරූ තුන, දකුණු පැත්තෙ සයිඩ් කණ්ණාඩිය යට ගැහුවා.

හරි බරි ගැහිලා ඉඳගෙන උගුර පාදපු විදිහට, අංකල් කතා කරන්න සූදානම් බව මට තේරුණා. මම ආසයි කතා කරන්න. නමුත් කෙනෙක් පටන් ගන්නකං කතාව පටන් ගන්න මම කැමති නැහැ. කොහොම වුණත් අංකල් පාරට දානකොටම එයාගෙ හඬ අවදි කළා.

අපි කරන්නෙ මිසී, මිනිස්සු ගණන් ගන්නෙම නැති රස්සාවක් තමයි. ඒත් මේ රෝද තුන උඩත් රටේ ලෝකෙ ගණන් ගන්න මිනිස්සු යනවා. ඒත් අපිව දැක්කම සිකුරුටි උන්නැහෙලා සලකන්නෙ, මහ පොළව උඩ ඉන්න අනික් මිනිස්සුන්ට වාගේ නෙවෙයි.

ඊයේ මෙහෙ ලොකු මහත්තයෙක්ගෙ වාහනයක් නුගේගොඩ හයිලෙවල් හරියෙදි කැඩිලා. මම හයර් එකක් යන ගමන් එහෙන් දාලා ආවෙ, මෙතන අවුරුදු ගාණක් ත්‍රීවිල් පාක් කරන මට, මේ පාරෙ යන හැම මූණම වාගෙ හොඳට හුරුයි. ඉතින් මම නවත්තලා ඇයි කියලා බැලුවා. අනේ ඒ මහත්තයාට හොඳටම පරක්කුයි. ඉතින් ඔය රක්ෂණේටත් කෝල් කරලා. වාහනේ උන්ට දුන්න ගමන් මගේ වාහනේට නැග්ගා. කෙටි පාරකින් දාලා මමත් ආවා. කැම්පස් එක ඇතුළට දාන්න හදන කොටම, මොකද මේ කියාගෙන මහ සද්දෙන් කඩං පැන්නෙ,  නැද්ද සිකුරුටිලා. අර මහත්තයා එබිලා බැලුවා විතරයි. කටවල් වැහුණා.

මම තවම වචනයක්වත් කතා කළේ නෑ. අංකල් දන්නවා මම කැම්පස් එකට යන්නෙ කියලා. පාර හරි නිසා මම සද්ද නැතුව අහගෙන හිටියා.

මිසී, නීතිය තියෙන්න ඕනෙ තමා. ඒත් සල්ලි තියෙන මිනිස්සුන්ටයි, නැති මිනිස්සුන්ටයි දෙවිදිහක් ඇයි? එහෙම කරන එක හරිද? දැන් කැම්පස් එක ළඟටම ත්‍රීවීල් එක ඇවිත්. සිකුරුටි කුටිය පේන මානෙ ත්‍රීවීල් එක නැවැත්තුවා. මම බැහැලා රුපියල් පහනක් ඇද්දා. තවම අංකල් කතා කරනවා.

මම ආයෙ ඕකුන්ගෙ මූණ බලන්නෙ නෑ මිසී. 

නිල්පාට කොළය අංකල් ට දිගු කරන ගමන්, මම මෙතෙක් පැවතුණ සිනහව ටිකක් වැඩි කළා. 

“ අංකල්, අර තරාදිය අල්ලන් ඉන්න උසාවි අක්කාගෙ ඇස් දෙක බැඳලා. එයා දන්නෙ බර කිරන්න විතරයි. අංකල් ඕවා ගණන් ගන්නෙපා. මං කියනවාට අයිස් ක්‍රීම් එකක් කන්න. මේ හරි රස්නෙ දවස්.“

ඔහුගෙ තරහින් පුපුරන මුහුණට එක පාරටම හිනා රේඛාවක් ආවා. සමහරවිට ඔහුට හිතෙන්න ඇති මෙච්චර වෙලා මා එක්ක කතා කළේ අපරාදෙ කියලා. ඒත් තරහක් හෝ කහටක් හිතේ නැතුවම අංකල් මට, බුදුසරණයි දුවේ කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ, ලෙක්චරර්ලාත් එහෙමම කියනවා නම් කියලා විතරක් මට හිතුණා. ඒ එක්කම පොඩි ඇරුණ ගේට්ටුවෙන් මම ඇතුළට ගියා

හැමදාම පුරුදු විදිහටම සිකුරුටි අයියා මගෙ අයි ඩී චෙක් නොකරම හිනා වුණා. 

5/31/13

-215- පරක්කු වුණ ජීවිත


සමහර දේවල් වලට ජීවිතේ මහ ලොකු ඉඩක් දෙනකොට, තවත් සමහර වටිනා කියන දේවල් ජීවිතයෙන් ඈත් වෙලා යන්න ඉඩ තියෙනවා කියලා හිතෙන්න පටන් ගන්නවා. එහෙම හිතෙන්නෙ මහ ලොකු ඉඩ වෙන් කරපු දේ නැති වෙලා යන බව මොළයට සංඥා කරන කොට. ඒක එකක් පස්සෙ එකක් සිදුවෙන වැලක් වගේ සිදුවීම් පෙළක්. 


අපි කාලය එක්ක කොයි තරම් තරඟ කළත්, ඉස්සරහට මිසක් පස්සට යන්න කවදාවත් ඉඩක් නෑ. ඒ නිසාම අපිට අතීතයේ වුණු වැරදි නිවැරදි කරගන්න කවදාවත් ඉඩක් ලැබෙන්නෙ නෑ. එදා ඒ වෙලාවෙ එතැනදි එහෙම නොවුණා නම් කියලා ජීවිතේ එකම වතාවකදි හරි නොහිතුණ කෙනෙක්,
ඉන්නවා නම් ඒ බොහොම අඩුවෙන්.

අපි ජීවත් වෙන්නෙ වර්තමානයේ. අනාගතය නිර්මාණය කරන්නෙ වර්තමානය. ඒත් අපි ජීවත් වෙන්නෙ අතීතය විසින් නිර්මාණය කරලා දීපු වර්තමානයක නේද? එතකොට ඒක උඩ ඉඳගෙන අලුත් අනාගතයක් නිර්මාණය කරන්න, තියෙන හැකියාවෙ ප්‍රමාණය කොච්චරද? නිරායාසයෙන් කල්පනා කරලා බැලුවොත්, අතීතය තමයි හැමදේම නිර්මාණය කරන්නෙ.

අනාගතය අලුතින් හදන්න. හිත අලුත් වෙන්න ඕනෙ.. දවසක් කෙනෙක්ට හිතුණා අලුත් වෙන්න.
ඉතින් එයා අතීතයේ ආස්‍රය කළ හැම කෙනෙක්ගෙන්ම වෙන් වෙලා, ලියකියවිලි හැම දෙයක්ම විනාශ කරලා, හැම බඩු භාණ්ඩයක්ම විනාශ කරලා, අලුත්ම නමකින් අලුත්ම තැනක අලුත්ම මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් අතීතයෙන් මිදෙන්න බෑ. එතැන තමන් ඉන්න නිසා.


ඕනෙම මනුස්සයෙකුට අමතක කිරීම කරන්න පුලුවන් එක ප්‍රමාණයකට විතරයි. ජීවිතේ හැටි. ඒක තමයි. පුලුවන් තරම් පසුතැවිලි නොවෙන්න ජීවත් වෙමු. එතකොට අතීතෙ වැරදි, වර්තමානයේ සතුටකින් වහගෙන අනාගතේ දුක නොදිකන ලෝකයක්, කඳුලු යට කරලා උඩින් හදා ගන්න කාට කාටත් පුලුවන් වෙයි. ඒ දේ කරන්න පරක්කු වෙන්න එපා..

අපි හිරු දකින්නට වේලාසන අවදි වන කිසි විටක හිරු පායා නොතිබෙන්නට පුලුවන. එහෙත් කලින් හිරු පෑයූ දිනක ඔබ වේලාසන අවදි වී සිටීම ප්‍රයෝජනවත් වනු ඇත. මෙහෙම කිව්වෙ, රෝහණ විජේවීර මහත්මයා. දේශපාලනය කුමක් වුවත්, මේ ප්‍රකාශය සදාකාලිකව හදවතට  වලංගුයි. ඉතින් ඉක්මන් කරන්න.. අපේ අනාගතය අපි ගොඩ නගමු, අතීතය උඩින්.. වර්තමානය මැදින්.


4/25/13

-214- සිතිවිලි කොත්තුවක්!!



මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා..

ඔයාටත් දැනෙනවා ඇති, මේ දවස් වල රට ජාතිය ගැන හුඟක් දේවල් ෂෙයාර් වෙනවා. Face book එකේ.. Twitter එකේ.. කොටින්ම web වල blog වල පවා.. පුදුම ආවේගයකින්, රට ජාතිය ගැන කතා කරනවා... මත අනුව ගත්තම පක්ෂව හා විපක්ෂව මේ අදහස් ගොඩ නැගෙනවා..

මේ ලිපිය මා අතින් ලියවෙන මේ වෙලාවෙත්  මානුෂවාදී සහ ජාතිවාදී කියලා හදාගත්ත නම් දෙකකින් බෙදුණු දෙපිරිසක්, දෙපිරිසේම පහුගිය යටගියාවේ සහ වර්තමානයේ කුණු අදිමින් දෙපැත්ත වටේම ගඳ ගස්සගන්නවා.

ඔන්න ඔය ඔස්සේ මම දිගින් දිගටම කල්පනා කළා.. මම කොහොම කෙනෙක්ද කියලා....ඒ කියන්නෙ මම ජාති වාදියෙක්ද, මානුෂ වාදියෙක්ද කියලා. කල්පනා කරගෙන කරගෙන යනකොට ඔන්න.. මට හිතුණා එකපාරටම මම ජාති විදියෙක් කියලා...  ඒ වෙලාවෙ මම ඇහුවෙ මෙන්න මේ ගීතය...



එතකොට එකපාරටම මගෙ ඇඟේ ලේ වලට මහ පුදුමාකාර දෙයක් දැනුණා.. ඒ මම සිංහල නිසා වෙන්න ඇති...කියලා මට හිතුණා.



ඉන් පස්සෙ, මම ලොකු වතුර ජොග්ගුවක් බිව්වා... රත් වෙච්ච ඇඟ තත්පරෙන් තත්පරයේ, වතුර උගුරෙන් උගුරට හීතල වුණා... මට ඒ වෙලාවෙ මතක් වුණා.. දේවල් ගොඩක්.. පේළියෙන් ඵේළියට මම ඔයාට ඒවා කියන්නම්.

ඉස්කෝලෙ යන කාලෙ මට වැඩියෙන්ම ආදරේ කරපු... උදේ පාන්දර මාව හොයාගෙන දුව ගෙන එන, කොටින්ම හැම උපන්දිනේටම හැමෝටම ඉස්සල්ලා මට wish කරන මගෙ හොඳම යෙහෙළියව මට මුලින්ම සිහි වුණා. එයා ෆාතිමා සෆියා නිසාම්ඩීන්.. එයා මුස්ලිම්.. මම හිතන්නෙ, මොනම හේතුවක් නිසාවත්, මම එයාට හිරි හැර කරන එකක් නෑ.. අපේ පාසලේ මුස්ලිම් සිසුවියන් තවත් හිටියා... ඔවුන්ගෙ වරදක් මට පෙනුණෙ නෑ..

ගිය පාරට කලින් සැරේ.. මාව ඉස්පිරිතාලෙ නැවැත්තුවාම, එහා පැත්තෙ ඇඳේ හිටිය රෝගියාට මට තරම් අශක්තියක් තිබුණෙ නෑ.. එයා ඇන්දෙම සුදු.. සුව අතට හැරුණු  එයා  හැම වෙලාවෙම මගේ ළඟට ඇවිත් මොන මොනවාද හෙමින් මුමුණලා ආමෙන් කිව්වා... ටිකක්, ඇඟට පණ ඇවිත් එයා එක්ක කතා බහ කරද්දි තමා මම දැන ගත්තෙ ඇය කතෝලික සිස්ටර්වරියක් බව... ඇය කිව්වා.. දෙවියන්ට ආගමක් නැති බව.. දෙවියන් හැමටම ආදරය කරන බව.. ඉතින් මම ඇයට හිතවත් වුණා... මොනම හේතුවක් නිසාවත් මම ඇයට හිරි හැර කරන එකක් නෑ... කියලා මට හිතෙනවා.

මෙහෙම හිතද්දි මට දැනුණ එකම දෙය, තමයි.. මම මිනිසුන්ට පොදුවේ ආදරය කරනවා යන්න.. සිංහල ජාතියෙ වුණත් නොවුණත් මට ආදරේ අයට මම ගොඩක් ආදරෙයි. ඉතින් එතකොට මම මානුෂවාදියෙක්? ඔන්න ඒ වෙලාවෙ මට හිතුණා මේ සිංදුව අහන්න.. මම ඇහුවා වාගෙම ඔයත් අහන්න..



ඒත් තව මොහොතකට පස්සෙ මගේ රටට සිංහල නොවන කෙනෙක් ගෙන් විනයක් වන වග  ඇහුණොත්, මට ජාතිවාදි වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම.. ඒ වින කටින්නා සිංහලයෙක් නම් මම මානුෂ වාදී වෙයි.. මගෙ හදවතට වැඩියෙන්ම ආසන්න, හොඳ දේ කරන කොයි කෙනත් මට හොඳ අය.. කරක දේ කරන කොයි කෙනත් මට නරකයි. ඒ ක තීරණය වන්නෙ මම අනුව.

අපේ හිත නම් හරි පුදුමයි.. ඒක හිතාගන්න බැරි තරම්ම චංචලයි. ඒත් මම ඔයාට ආරාධනා කරනවා. කවුරුවත් කියන විදිහට නැතුව හිතට හිතෙන විදිහට හිතන්නට ඉඩ දෙන්න කියලා. කවුරු හරි කියන දෙයක්, ඒ ආකාරෙන්ම නැවත නැවත ස්වයංක්‍රීයව share කරන මනසක්, අද වෙනකොට අපිට ලැබිලා ඉවරයි.

දන්නවාද? මම පොඩි කාලෙ ඉඳන් පන්සල් යන්න වගේම, පල්ලියට යන්න ආසයි. මට නත්තල් ගස් හදන්න ආසයි. වෙසක් කූඩු හදන්න ආසයි. ඒ වගේම නෝම්බි අරින හැටි බලන්නත් ආසයි. ඒවායෙ දෙන කෑම කන්න ආසයි..කුර්තාටොප් අඳින්නත් ආසයි. මම කතෝලික පල්ලියක විවාහ වෙන්න ආසයි.. ඒ මුණට වේල් එක දාන්න ආසා නිසාද..අර සත්ප්‍රසාදයට දෙන, මාංශය කන්න ආස නිසාද කියලා.. ඔයාට හරියටම කියන්න මට තේරෙන්නෙ නෑ.. ඔය වගේ හිතිවිලි ගොඩක් එක්ක, මම එක එක වෙලාවට හැම දෙයටම ආස කරනවා. ඒ නිසාම සමහර වෙලාවට, මම බැනුම් අහනවා.. තවත් අයගෙන් හොඳ අහනවා.


ඔහොම ටිකක් කල්පනා කර කර ඉන්නකොට මට හිතෙනවා ඉන්දියාවෙ ජාතික ගීය අහන්න. මම ලංකාවේ ජාතික ගීයට වඩා එයට හුගක් ඇලුම් කරනවා.

ඒත් ඒ මොහොතෙම, මෙන්න මේ ගීතය.. මට ඇහුණොත්,





මට දැනෙනවා, මගේ රට ඇතුළෙ ඉන්න මම කොයිතරම් වාසනාවන්තද කියලා.. ඒ මොහොතෙම, හිම වැටිච්ච පින්තූරයක් දැක්කොත් මට එතනට යන්න හිතෙන්න පුළුවන්. හිත ඒ වාගෙයි.. ටිකක් හිතට තට්ටු කරලා බලන්න.. ඔයත් එහෙමයි.

ඒ වෙලාවෙම, හුළඟක් හමනවා.. මම මගේ පෙනහළු පුරා හුස්මක් ගන්නවා. ඒ වෙලාවෙ..මම මේ ගීය අහනවා.. මුහුණු පොතට ගිහින් අහන්නකො...

මෙතනින්


ඒ ගීතය ඇහුවාට පස්සෙ මට හිතෙනවා.. දේශපාලනික ලෙස , ජාතින් ලෙස එකිනෙකා කල්ප කාලාන්තරයකට පෙර බෙදාගත් මේ හැම රටටම වඩා.. මේ හැම රටක්ම දරා සිටින මහ පොළව හුඟක් උතුම් කියලා...වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න, හැමෝටම හැමදෙයක්ම දීලා තියෙද්දි, දුන්නු දේ බෙදා ගන්න බැරිව අපි පොරකනවා කියලා.. මට හිතෙනවා මහ පොළව අපිට හිනා වෙනවා කියලා.. එතකොටම ඔන්න ලෝක මිහිතල දිනය ඇවිත්.. එතකොට මම හිතෙනවා මම පොළවට අයිති දැරියක් කියලා..

දාහක් දෙනා ප්‍රතික්ෂේප කළත්, කවදාවත්, මහපොළව අපිව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.. කියලා... හිතාගෙන  මම මෙන්න මෙහෙම මහ පොළවට කියනවා...


ඒත්, ගහ කොළ සතා සීපාවා හොඳ අසන්නො වුණාට, ප්‍රතිචාරකයො නෙවෙයි. මම ලෑස්ති වෙන්නෙ ඔයාට දැන් ප්‍රතිචාරකයො ගැන කියන්න.. මතකද 21 අපි හමු වුණා.

අපි ඉස්සරහ හිනා වෙලා කතා කරන අය, අපි ගැන අනුන්ට කියන දේ සහ, ඒ අනුන් ගැන අපිට කියන දේත්, අහගෙන ඉඳලා, සමහරු ගැන හදවතින්ම කලකිරෙන්න එදා පුළුවන් වුණා.... සමහර අය සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු මට්ටමක හිටියා. සමහරු තව තවත් ළං කර ගත යුතු මට්ටමක හිටියා. සමහරු මූණෙන් හිනා වෙලා, හිත යටින් එරෙව්වා... සමහරු හිත යටින් හිනාවෙලා, මුහුණින් හැඟීමක් පළ නොකර හිටියා..

ඒත් මම හැම වෙලාවෙම, නරක දාහක් තියෙන කෙනෙක්ගෙ වුණත් එක හොඳකට සලකන්න කැමතියි. මොකද මමත් වැරදි කරන, වැරදි වුණු සහ, අනාගතයේ දී වැරැද්දක් සිදුවිය හැකි කෙනෙක් නිසා.

ඔබ බලාපොරොත්තු වන සහෝදර කම් ඔබට ඔබ හා සිටින්නන්ගෙන් නොලැබෙනවා නම්, ඔබට ඔවුන්ගෙන් ඈත් වීම තුළ අලුත් සහෝදරයන් ලැබේවි. මට ඔබට ඒ ගැන කියන්න පුළුවන් එච්චරයි.

කොහොම වුණත් අපි මැරෙනකං ජීවත් වෙනවා. ඒ ජීවිත පැය ටික වෙන්නං වාලෙ ජීවත් වුණොත්, ලොකු අපරාදයක්. අපි හැම කෙනෙක්ම හැම කෙනෙක්ගෙන්ම වෙනස්. එහෙම වුණේ නැත්තම් අපි ඔක්කොම එකයි. අපි එකිනෙකාගෙ වෙනස අපි හුඟක් වෙලාවට අවබෝධ කරගන්නෙ නෑ.

මතක තියා ගන්න.. හැම කෙනාම අපි වාගෙ වෙන්න ඕනෙ නෑ.. නමුත් වැඩි නොගැළපීම තුළ මිත්‍රත්වය, ආදරය ගොඩ නැගෙන්නෙත් නෑ... නොගැළපෙන අය ටිකක් ඈතින් ඉන්න එක, ක්‍රෝධය වෛරය අඩු කරගෙන, ලේ පිරිසිදු කරගන්න ඉවහල් වෙනවා. හැබැයි.. ආත්මයෙන්, ආත්මයක් බද්ධ වෙන්න, DNA ගැළපෙන්න ඕනෙ නෑ.. සහජය සහ හුරුපුරුද්ද කියන දෙකට දැනුම ටිකක් එකතු වුණාම, අපි ට අනික් අයගෙ ජීවිත හොඳට තේරෙනවා.

කොහොම වුණත්, සිංහල බ්ලොග් කරණය ඇතුළෙ මේ විදිහට, මම අවුරුදු 4 ක් ගෙවලා නිම කරලා තියෙනවා.. මේ පස් වෙනි අවුරුද්ද, පරණම බ්ලොග් එකට ලොග් වෙන ඊමෙල් එකවත් මට මතක නෑ. හැබැයි.. මට බ්ලොග් ලිවීම මතකයි. නිසි නින්දේ වැඩුණු මගෙ සිතිවිලි මතකයි.


මම මේ බ්ලොග් එකෙන් ලබපු දේවල් හුඟක් තියෙනවා.. අද ඉන්න මගේ සහ එදා හිටි මගේ වෙනස තේරුම් ගන්නම මේ බ්ලොග් කරණය කොයි තරම් ඉවහල් වුණාද? ඒකම සතුටුවෙන්න දෙයක් හොයාගන්න හොඳටම ඇති නේද? සමාජීය හුදකලාවෙ 4 වැනි අවුරුද්ද ඉවරයි...

මම හිතන්නෙ, පස්වෙනි අවුරුද්දට නම වෙනස් වෙන්න ඕනෙ.. ඒ නීනු ගෙ බ්ලොග් වල හැටි.  හැම මාසයකටම එක පෝස්ට් එකක් හරි, අවමව මම ලිව්වා.. මොන දේ තිබුණත්, මම ලිවීම අතහරින්නෙ නෑ.. මම ලිවීමට ආදරෙයි.. මට හිතෙනකම් මම ලියනවා.. මම මැරෙනකම් මම හිතනවා..

නීනුගේ නිශාවෙන්, රෝස වලාකුළටත්, රෝස වලාකුළෙන්, සාෂා ගේ සටහන් වලටත්, සාෂාගේ සටහනින් ඉර ඇහැරෙන ඉසව්වටත් ආ.. නීනුවා, නීනු සත්‍යාංගනා, නද්යා, සාෂා, නෙරංජි සුලක්ඛනා, හෙටත් මේ බ්ලොග් එකම ලියනවා... අලුත් මුහුණුවරින්, අලුත් නම් වලින්, අලුත් විදිහකින්, එන්න එන්නම මම අලුත්... ඒ 89 ළමයින්ගෙ හැටි!!