මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/14/12

තරහ අවසර මඟුල් පොටෝ මහත්වරුනි,


මේ ලිපිය ලියන්න මම හිතුවෙ පුංචි පුංචි කාරණා කීපයක් කියන්න තියෙන නිසයි, අපේ සදාදරණීය දක්ෂ ඡායාරූප ගන්න ඔබ හැමටම මේ ලිපියෙන් සාමාන්‍ය මනුස්ස හැඟීම් අවබෝධ වෙන්න කියලා මම පතනවා. මේකයි කතාව.

ළඟදි අපේ අක්කා කෙනෙක් බඳිනවා. ඉතිං පොටෝ ගන්න එපැයි. එයා ගිහින් සාමාන්‍යයෙන් හොඳ ඡායාරූප ශිල්පියෙක් ළඟට. අද මට පෙන්නුවා ඒ ඡායාරූප ශිල්පියා, පින්තූර ගන්න ඕනෙ විදිහ තීරණය කරලා තියෙන හැටි. අෂ්ටක කියන එකනා ඉන්න ඕනෙ විදිහ. කේක් එක සෙට් වෙන්න ඕනෙ විදිහ.. ජයමංගල ගී ගයන නංගිලා එන විදිහ.. යන විදිහ.. ගෙදරින් එන වෙලාව.. හරියට කාල සටහනක් වගේ. නෑයන්ට කතා කරන්න තියෙන්නෙ හරියටම විනාඩි 25 යි. ඒ වෙලාවෙ, පැය කාලක් යනකොට, මනමාලිගෙ අම්මාට සඥාවක් දෙනවලු හස්ත මුද්‍රාවෙන් කෑමට ආරාධනා කරන වතුර වීදුරුව අල්ලන්න. ඒ මොහොතෙ ඉඳන් පිළිවෙලින් සියලු දෙනා විනාඩි හතළිහක් ඇතුළත ආහර ගන්න ඕනෙලු. කොහොම හරි පෝරුව ළඟ නෑයන්ට හිට ගන්න වෙන්නෙ සෑහෙන්න දුරක් පොටෝ මහත්තයාට ඉඩතියලා. පෝරුවෙන් බස්සන එකයි පොල් බිඳින එකයි එකම වෙලාවෙ ගන්න බැරි නිසා, බස්සන්න ඉස්සර පොල් බිඳින්න වෙනවලු.

දෙවනි දවසෙ පින්තූර ගන්න, එයාට එයා ඉල්ලන හෝටලයම ඕනෙලු. ඒකෙ එදාට වෙන වෙඩිංන් එකක් තියෙනවා ඒ නිසා අපිට බුක් කරගන්න බෑ කියලා කීවම, එහෙනම් ඒ හොටලයට හනිමූන් යන්නලු.

කොහොමහරි අද අක්කා වෙඩිං ෂෙඩියුල් එක හැමෝටම පෙන්නුවා. ඒකෙන් විස්සක් ගහලා නෑයො විසිදෙනෙක් අතට දෙන්න කියලා පොටෝ මහත්තයා කියලා. එක නෑයෙක් පැය බාගයක් ඇතුලත සියලුම නෑයන් මනමාලිය සමඟ ඡායාරූප ගැනීම සඳහා, නෑයන් පිළියෙළ කිරීමේ කාර්යයේ නිරත වෙන්න ඕනෙලු. කිරිබත් කපන වැඩේට හරියටම විනාඩි 5 යි. පොල්තෙල් පහනට විනාඩි පහයි. ඔහොම ඔහොම ඒ මඟුල ඇතුළෙ මල මඟුල් ගොඩයි.

එයාගෙන් වීඩියෝ කරනවා නම් රු 35000 යි .  ඒකට ඒතරම් වියදම් කරන්න බැරි නිසා මේ අක්කා කිව්වා මට හැන්ඩි කැමරාවෙන් පොඩි ෂොට් ටිකක් අරන් දෙන්න කියලා. ඉතින් පැකේජ් එක වෙලාවෙ වීඩියෝ නොගන්න නිසා අක්කා කියලා පොටෝ මහත්තයාට, අපි පොඩි හැන්ඩි කැමරාවකින් වීඩියෝ කරගන්නවා කියලා. මූණ කලු වුණ පොටෝ මහත්තයා, කවුරු කළත් කමක් නෑ මට කරදරයක් නොවෙන්න කියලා.. නුරුස්සලා කියලා. මට හිතාගන්න බෑ ඇත්තටම මඟුල අයිති පොටෝ මහත්තයාටද අක්කාටද කියලා.

දයාබර ඡායාරූප ශිල්පියනි. විවාහ උත්සව මිනිසුන්ගේය. ඔබ එය ඡායා රූ මාධ්‍යකින් ආවරණය කිරීමට පැමිණෙන අය පමණි. ඔබට ආවරණය කිරීමට උත්සවය නිර්මාණය නොකර, චාරිත්‍ර වෙනස් නොකර, පවතින උත්සවය ඔබ හැකි තරම් සුන්දරව ආවරණය කරන්න. සිදුවිය යුත්තේ එයයි. ඔබට ඕනෑ විදිහට උත්සවය ගන්න බැහැ. ඔබ උත්සවයට හැඩගැහෙන්න. මම මේ ප්‍රකාශය බොහොම තදින් කරමින් ඉල්ලා හිටින්නෙ අනාගත ඡායාරූප ශිල්පීන් වී ගන්න බලා ඉන්න අයගෙන්.

නොදන්නා කෙනෙක් වුණත් දෙන අවවාද වැදගත් නිසා මම මේ අවවාදය ඔබට දෙනවා.

ටී වී එකේ ප්‍රවෘත්ති අං‍ශෙක කැමරාකරුවෙක් විදියට වැඩ කරලා.. පස්සෙ වෙඩිං පොටෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. වෙඩිං වීඩියෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. එතකොට ඔබට නිතැතින්ම හුරුවක් ලැබෙනවා. දෙයක් ඒ අයට ඕනෙ විදිහට සිද්ධ වෙද්දි එය ඔබට උවමනා විදියට රූ ගත කරන්න...හැබැයි අන්තිම ඵලය ඒ අය කැමති විදිහට තියෙන්නත් ඕනෙ. එක මනුස්සයෙක් එක මඟුලක් ගන්නෙ, ආයි හරියට තව මඟුල් ගෙයක් ගන්න නෙවෙයි.  චුට්ටක් හිතලා බලන්න. 


බස් රේඩියෝ වෙ සින්ඩියටත් පොඩ්ඩක් ගොඩ වැදිලාම යන්ඩ


7/13/12

අපිට මොකට සිංහල?



මේ ළඟදි අපි හිටපු තැනකට ආවා සුදු මහත්තයෙක්. එයා රේඩියෝ ගැන හොඳින් දන්න කෙනෙක්. අපි එයාගෙන් ඇහුවා..ඔයා අපේ භාෂාව ගැන මොකද්ද හිතන්නෙ කියලා. එයා කීවා ඒක හරිම අපූරු භාෂාවක් කියලා. ඉතින්. අපි නිකමට වගේ ඇහුවා අපේ භාෂාව ඉගෙන ගන්න හිතේ කැමැත්තක් එහෙම තියෙනවාද කියලා. එතකොට ඒ මනුස්සයා කියපි... අපෝ මට ඔය භාෂාව ඕනෙ නෑ කවදාවත් ඒක ප්‍රෙයා්ජනවත් නෑ කියලා. අපි පුදුම වුණා. අපි ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. මේ රටේ සිංහල බෝඩ් වලට වඩා ඉංග්‍රීස් බෝඩ් තියෙද්දි, සිංහල පොත පතට වඩා ඉංග්‍රීසි පොත පත තියෙද්දි, අමාරුවෙන් ම හරි හැමෝම මාත් එක්ක මගේ බසින් කතා කරද්දි මට මොකටද සිංහල? අපිව සීතල වුණා.

මේ රටේ හෝටල් , ඔක්කොම දේවල් පිළියෙළ කරලා තියෙන්නෙ අපේ ක්‍රමයට. ඕගොල්ලන්ගෙ කඩ වල වැඩියෙන් තියෙන්නෙ අපේ ආහාර පාන. ඔයාලාගෙ කෑමක් ඔයාලාට මේ රටේ හොඳ කඩයකින් හොයාගන්න අමාරුවුණාට, අපේ ආහාර පාන ඇති වෙන්න තියෙනවා. ඉතින් අපිට මොකටද? ඔයාලාගෙ දේ ඉගන ගෙන.

ඔයාලාගෙ සිරිත් විරිත් අපිට වැඩක් නෑ. ඔයාලත් බලන්නෙ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න. අපි නටන විදියට නටන්න. අපි ඉඳගන්න විදියට ඉඳගන්න. ඉතින් අපිට ඔයාලාගෙ සිරිත් වැඩක් තියෙනවාද?

අපි කවුරුත් සද්ද නැතිව අහන් හිටියා. අන්තිමට හැමෝම නිතර විහිලු කරන රොබින් මහත්මයා කියපු දේ හිනාවකටම බාර අරගෙන වැඩ වල යෙදුණා. ඒත් මේක හිනාවෙන්න පුලුවන්ද කියලා මම ටිකක් කල්පනා කළා. අපි ඔහු එක්ක හිනා වුණේ අපි අපිටම නේද?

බලන්න අපේ දැන්වීම් බෝඩ් සිංහලෙන් නොලිව්වත් ඉංග්‍රීසියෙනි ලියනවා. අපේ අම්මලා ළමයිව ඉස්සල්ලාම දාන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න. දරුවා සිංහලට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්නවා නම් හුඟක් අම්මලා කැමතියි. ඉංග්‍රීසි නොදන්න අම්මලා වචන දෙක එකතු කර කර තමන්ගෙ දරුවන්ට ඒ භාෂාව උගන්වන්නෙ, දරුවට ආදරයට. හේතුව .. එකම හේතුව ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව වීම.

වෙන රටවල් මේ සංකල්පයෙන් මිදිලා හුඟක් කල්. ඒත් පරගැති බවෙන් මිදෙන්න බැරි අපි තවම ඉංග්‍රීසි තියා ඉන්නෙ පළවෙනියාට. රාජ්‍ය භාෂාව සිංහල වුණත් වැඩි ලියකියවිලි ප්‍රමාණයක් ගැහෙන්නෙ ඉංග්‍රීසියෙන්. අපි කාටත් ඇත්තටම සිංහලට වඩා ඉංග්‍රීසි පුලුවන්. මම කියන්නෙ ඇත්ත. සිංහල හෝඩියෙ අක්රු කීයද ඇහුවොත් පස්දෙනෙක් දෙන්නෙ උත්ර පහක්! ඒත් ඉංග්‍රීසි හෝඩියෙ අකුරු කීයද ඇහුවොත්? ඔබ උඩ පැනලා කෑ ගහයි.. විසි හයායි කියලා. එහෙම නේද?

සිංහල මිනිස්සුන්ගෙ ශ්‍රීලංකික වෙබ් ජාල, බහුතරයක් තියෙන්නෙ තනිකර ඉංග්‍රීසියෙන්. අඩුම තරමෙ මේ හැම වෙබ් ජාලයකටම සිංහල පැත්තක් හෝ තියෙන්න ඕනෙ. එතකොට ජාත්‍යන්තරය සිංහල භාෂාවෙ අකුරක් දැක්කොත් මෙය සිංහල අකුරක් කියලා පහසුවෙන් හඳුනා ගන්නවා. දෙමළ අකුරු ඕනෙම තැනක දැම්මාම, හුඟක් අයට පහසුවෙන් අඳුරගන්න පුලුවන්.. දෙමළ දන්නෙ නැතත්. අපි ටිකක් කල්පනා කරලා බලමු... අපි හිතන අපි පතන, අපි ට වේදනාව දැනෙන කොට අපිට සතුට දැනෙනකොට ඉස්සෙල්ලාම මුවින් පිටවෙන භාෂාව. සිංහල.. එහෙම නේද? අපි සංහල බ්ලොග් කරුවො. යාලුවෙ අපි හැකි තරම් සිංහල ව්‍යාප්ත කරමු.

පසුව ලියමි.

මේ ළඟදි සැලෝන් එකට ගිය වෙලාවෙ තරුණ අක්කා කෙනෙක්, සිංහල අක්කා කෙනෙක් ඇහිබම ගලවනවා. එයා ඇහි බැම ගලවන ගලවන පාරට, aaugh....aaugh  කියලා කෑ ගහනවා. ආවුජ්, ආවුජ් ගාද්දි මගෙත් ඇඟ හරි වැටුණා. කොහොම හරි, පස්පාරයි කිව්වෙ.. ඒ අක්කාගෙ හක්ක පැන්නා. සරලව ඒක හදාගත්තා මං හිතන්නේ... ඒත් ඒක දාන්න සෑලෝන් එකේ ත්‍රෙඩිං කර කර හිටපු ළමයා උදව් කළ වෙලාවෙ. හක්ක නියම තැනට වැටුණ ගමං ඒ අක්කාට කියවුනේ... අවුජ් නෙවෙයි.. අම්මේ කියලා.... තවත් අපිට මොන කතාද?




Helabasa by Neranji Ekanayake

බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලද ලිපියකි

7/12/12

අපි ටිකක් අලුතෙන් හිතමුද?


මේ ලිපිය මීට වඩා හුඟක් පැහැදිලිව ලියන්න ඕනෙ ලිපියක් කොටසින් කොටස. ඒත් අද දැණුනු හැඟීමක් නිසා මට මෙහෙම ලිපියක් ලියවුණා. සිරස නාලිකාවෙන් සුබාසිරි කියන මංගල උත්සව දැනුවත් කිරීම් වැඩසටහන අිරම්භ වුණාට පස්සෙ වසරක් ඇතුළත හැම නාලිකාවකම සතියකින් වෙනම පැයක් මංගල වැඩසටහන් සඳහා යොමු වෙනවා. ඒ වැඩසටහන් සඳහා අනුග්‍රහය සපයන්නෙත් මංගල උත්සව හා සම්බන්ධ ආයතන වල අය. මංගල උත්සව සඳහා ලොකු දැනුවත් කිරීමක් මේ වගේ වැඩ සටහන් වලින් ලැබෙනවා වගේම අලුත් අලුත් විලාසිතා සඳහා මංගල උත්සව ගන්න පිරිස් යොමු කිරීමත්, ඒ වැඩසටහන් ඔස්සේ සිදු වෙනවා.

ඇත්තටම මංගල උත්සවය අද වනවිට සංස්කෘතිය කියන තැන ඉඳන් විලාසිතාව කියන තැනට සම්පූර්ණයෙන්ම වැටෙන්න හුඟක් ළං වෙලයි තියෙන්නෙ. වර්තමාන වාණිජකරණයට ලක් වූ සමාජයෙන් ගැලවෙන්න බැරි අපිට මේ වගේ විලාසිතා වලින් ගැලවෙන්න අමාරුයි තමයි. ඒත් මට පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තටම ලස්සන විවාහයක් ගන්න, හුඟක් සල්ලි යනවාද?

ඇත්තටම යාලුවෙ මුලින්ම මම ඔයාලාට කියන්න ඕනෙ, උත්සවයක් නොගත්තත් දෙන්නෙක්ට ආදරයෙන් ඉන්න පුලුවන් නම් ඒ දෙන්නා අතර අපූරු පවුලක් ගොඩ නැංවෙනවා. රොබට් නොක්ස් කියපු විදියට, එදා හිතේ විශ්වාසෙන් තමා අපේ මුතුන් මිත්තො ආදරයෙන් බැඳිලා ඉඳලා තියෙන්නෙ. එහෙම නැතිව එයාලා කිසිම තැනක අත්සනක් තියලා නෑ. මේ මගේ බිරිඳ මේ මගේ ෂ්වාමිපුරුෂයා කියලා. මේ කතා කොහොම වෙතත්, අපේ ප්‍රශ්නය ඒක නෙවෙයි. අපිට තියෙන්නෙ පොඩි මුදලක්, ලස්සන උත්සවයක් ගන්න මේ චූටි මුදල ඇතිද?

ඔබ පුදුම වෙයි. ඇත්තටම මේ ලොකු ලොකු වැඩසටහන් වලින් අපිව අද්දගන්න උත්සාහ කරන්නෙ ඒ අයගෙ ආයතන වලට. ඒ අය ලොකු මුදලක් ගන්නවා මේ දේවල් වලට...ඇත්තටම ඒ වැඩේට ඒ තරම් ලොකු මුදලක් යන්නෙ නෑ. මුදල ගිහින් තියෙන්නෙ ඒ වැඩේ මුලින්ම හිතාගන්න ගිය පුංචි පහේ කන්සෙපට් එකට.

ඉස්සර ලංකාවෙ මිනිස්සු සමස්තයක් වශයෙන් හිතන්න පුළුවන් හරි අපූරු ජන කණ්ඩායමක්. ඒත් අද වෙනකොට මොනා හරි හේතුවකින් ඒ හිතන්න පුළුවන් කම අපේ හුඟක් අය අතරින් තුරන් වෙලා. ඒ නිසාම තමයි, එක් කෙනෙක් පටන් ගන්න පලියට පෝලිමට එකම වැඩසටහන් කට්ටිය කරන්නෙත්. කරන්නං වාලෙ දෙයක් කරන්නෙ ඇයි? දැන් මඟුල් ගෙවලුත් ඒ වගේ. අල්ලපු ගෙදර එකා හිල්ටන් එකේ ගත්තොත්, අපිට ඕනෙ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ගන්න. ඒත් පින්තූර වලට වැඩියෙන්ම ලස්සන අපේ ගෙවල් ළඟපාත පුංචි හොටලයක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර, තමන් ගෙන්වන පිරිසට ඉඩ කඩ ඇතුව ඉන්න ප්‍රමාණවත් නම්, මඟුල් උත්සවයක් ගන්න හොඳම තැන, තමන්ගෙම ගෙදර.

දැන් උඩරට අඳින මනමාලියො කේක් කපන්නෙ නෑ. කිරිබත් තමයි කපන්නෙ. ලස්සන කිරිබත් ස්ට්‍රක්චර් එකක් රුපියල් හයදාහක් විතර වෙනවා. ඔය කුලු හතර පහ , ඇස්වට්ටි පහ හය , ඒ ටික  තියන්න ගන්න මේසය , වටේ තියෙන ප්ලාස්ටික් මල් තව වෙඩින් තිහ හතලිහකටවත් ඒ අය පාවිච්චි කරනවා. යාලුවෙ අපි කැවුම් පහකටයි, කොකිස් හතකටයි, අලුවා කෑල්ලි දහයකටයි, කිරිබත් පිගානකටයි නේද අපි හයදාහක් ගෙවලා තියෙන්නෙ. ඒක මොන අපරාදයක්ද? මේ ටික අපිට හිතලා අලුත් විදියකට නිර්මාණය කරගන්න හැකි නම්, ඕන ඔට්ටුවක් උපරිම ගියත් රුපියල් දෙදාහයි. මේ පුංචිම පුංචි උදාහරණයක් විතරයි. මම තව දේවල් පස්සෙ දවසක එකින් එක කියා දෙන්නම්. මේ ලියවිල්ලෙ අරමුණු මඟුල් උත්සව ගැන කතා කරන එක නෙවෙයි. හිතන්න පුලුවන් කෙනෙක් ඔයා ඇතුළෙ නිර්මාණය කරගන්න, පුංචි මතක් කිරීමක් කරන්නයි.


මමත් බස් බ්ලොග් සතියට දායක වුණා..


7/11/12

සිනමා ශාලා සහ ද්විත්ව රසවින්දනය



මේ කතාව ඔබට කිව යුතුමයි කියලා මට හිතුණා. මම විජය කුවේණි චිත්‍රපටය බැලුවා. සිනමා ශාලාවෙ නම නොකියා ඉන්නම්. ඇත්තටම මම මේක අවස්ථාව කරගන්නෙ නෑ ඒ චිත්‍රපටය ගැන මුකුත් කියන්න. ඒ චිත්‍රපටිය ගැන මගෙ හැඟීම විජය රජ්ජුරුවන් ඉංග්‍රීසි දන්න කෙනෙක් කියන එක ඒ කාලෙත් මස්ලින් කියන රෙදි වර්ගයට සෑහෙන තැනක් ලැබුණා කියන එක වගේ සුලු දේවල්. ඒ චිත්‍රපටය නිසා ඉතිහාසය ට හෝ කලාවට මහ ලොකු ප්‍රගමනයක් වෙයි කියලා හිතන්න බැරි වුණත්...සංගීතය නම් හොඳට තිබ්බා. හරි ඒ චිත්‍රපටිය චුට්ටක් පැත්තක තියෙලා මම හැරෙන්නෙ ප්‍රේක්ෂකාගාරය දෙසට

සිනමා ප්‍රේක්ෂකාගාරයක් කොටස් හතරයි. ගැලරිය, ඕඩීසී, බැල්කනි, බොක්ස්. හැම සිනමා ශාලාවකම මුදල් අය කෙරෙන්නෙත් මේ ඉහත පිළිවෙළට තමයි. දැන් කවුරුත් ගැලරියට යන්නෙ නැහැ. පවුල් පිටින් එන හැම කෙනෙක්ම ඕඩීසී යනවා. හැබැයි ජෝඩු හුඟක් බැල්කනි වගේම, බොක්ස් යනවා. බැල්කනි වලට වඩා කෙල්ලො කොල්ලො අතර ජනප්‍රිය බොක්ස්. මේ කතාව ඔබට කියන මම ඒ මොහොතෙ හිටියෙ ඕඩීසී ඒකේ, තනිවම නෙවී. අම්මා අප්පච්චි සහ මාමාගෙ දුව එක්ක. මේ කතාව ඔබට කියන්නෙ ඔබේ ආරක්ෂාවට වුණත් .

පිටිපස්සෙන් විශාල සද්දයක් ඇහුණා. ඒ මිනිහෙක්ගෙ කෑ ගැහීමක්. මමත් මුලු ප්‍රේක්ෂකාගාරයමත් පිටිපස්ස බැලුවෙ එකම මොහොතක වෙන්න ඇති. ඒ වෙනකොට සිනමාපටය පටන් ගන්න විනාඩි දෙක තුනක කාලයක් තිබ්බෙ. අපට ඉදිරියෙන් ආහාර වගයක් විකුණමින් සිටි මහලු තැනැත්තා, බිම වැටී ඇති තම ආහාර පැකට් ගැනවත් සැලකිලිමත් නොවී, දන්නා නොදන්නා බොහෝ පරුෂ වචන වලින් පෙට්ටියක් ඇතුළෙ සිටි අයෙකුට බණිමින් සිටියා. අන්තිමට තවත් දෙදෙනෙක් ප්‍රේක්ෂකාගාරය තුළට ඇවිත් , පෙටිටියක් ඇතුළෙන් එක මිනිහෙක්ව ඇදගෙන එළියට ගෙනාවා.

ඒ මිනිහා අතේ අඩුමතරමෙ ප්‍රවේශ පතවත් තිබුණෙ නැහැ. ඔහු සිනමා ශාලාවෙම කෙනෙකුගෙ සහයෙන් නොමිලේම මේ පෙට්ටියක් ඇතුළට රිංගා තිබෙන වග පසුව මහ හඬින් කල ප්‍රකාශ වලින් හා මිනිසුන්ගෙ කසුකුසුවෙන් තේරුණා.

ඇත්තටම මේ මනුස්සයා කරපු වරද ප්‍රවේශ පතක් නැතිව සිනමා පටයක් බලන්න ආපු එක ද කියලා ඔබ හිතනවා ඇති. නැහැ ඔහු ආවෙ සිනමා පටයක් රස විඳින්න නෙවෙයි. සිනමාපටය නරඹන්න බොක්ස් ඇතුළට යන ජෝඩ් කරන ක්‍රියාකාරකම් රස විඳින්න. කෑම විකුණන වයසක අංකල්  එතනින් යද්දි එයාට සර බරස් ගාලා සද්දයක් ඇහිලා. එයා මොකද්ද ඒ කියලා එබිලා බලන කොට උල් ඇණයකින් අර මනුස්සයා ලී බොක්ස් බිත්තියෙ සිදුරක් හදනවා. තමන්ගෙ ඇහැ දාන්න පුලුවන් මටිටමට පුංචි සිදුරක් යහමින් ආලෝකය තියෙන වෙලාවෙ තනා ගන්න එයාට ඔනෙ වෙලා.

ඊටත් වඩා ලස්සන කාරිය ඒක නෙවෙයි. එතන පරීක්ෂා කරලා බලනකොට, ඒ වගේ සිදුරු බොහෝමයක් හමු වෙලා තියෙනවා. මේ මනුස්සයා හදලා තියෙන්නෙ තිබුණු පුංචි සිදුරක් තව ටිකක් විශාල කරගෙන පහසුවෙන් බලන්න.

ඉතින් යාලුවෙ, මම දන්නවා ප්‍රේම කරන්න රටේ තොටේ තියෙන නිදහස අඩු කම නිසා හමුවෙන සුන්දරම අඳුරුම තැනක් විදියට ඔබ මේ සිනමාශාලාවෙ බොක්ස් තෝරගන්නවා ඇති. සිනමා පටිය හොඳටම දර්ශනය වන්නෙ බොක්ස් එකට කියලත් සිනමාව ගැන සරසවියෙදි උගන්වන අපේ ආචාර්යවරු කියලා තියෙනවා.  ඒත් සිනමා ශාලාවෙ බොක්ස් එකක් ඇතුළට තරුණ ජෝඩුවක් යන්නෙ ඇත්තටම චිත්‍රපටය බලන්න නෙවෙයි. ඔබ චිත්‍රපටය බලන්න යනවා නම් කර්ණාකරලා ඕඩීසී හෝ අත්‍යාවශ්‍ය නම් බැල්කනි යන්න. ඔබ ඔබේ පෙම්වතියගේ ගෞරවය ආරක්ෂා කරන පෙම්වතෙක් නම් කවදාවත් ඇයව බොක්ස් එකක් තුළට ගෙනියන්න එපා. විවාහ වුණ පසුවත් එපා. ඔය දෙන්නාගෙ වැඩ අනෙක් අය දකින්න ඕනෙ නෑ.. එහෙම නේද? එහෙම හිතලා බොක්ස් එකක ට ගියත්, දැන් එයත් හරිම අනාරක්ෂිතයි.

දැන් ඔබ කියාවි මේ මොකද්ද? එක සිද්ධියකට බය වෙන්නෙ ඇයි කියලා. ඒත් ඊළඟ සිද්ධිය, ඒ කිව්වෙ දෙවනි එක සිද්ධ වෙන්නෙ ඔබට නම් අතර මැද සිද්ධියක් නොවෙන්න පුලුවන්. තිරණය ඔබ ළඟ . හැකිතරම් කල්පනාකාරී වන්න. ඔය සිදුරට ඇසක් තිබ්බොත් බලන කෙනා රසවිඳලා යන්න යයි. ඒත් ඔය සිදුරට පුංචි කැම්රෙකෝඩරයක් තිබ්බොත් ඔබලා තව බොහෝ අයගේ නළු නිලියො වෙයි. ඒ දැනුවත්ව නෙවෙයි. ඒත්? ටිකක් හිතලා බලන්න.

-----
මෙවර යෞවන සම්මාන උළෙලට මම කෙටිකතාවක් ඉදිරිපත් කළා. බලමු  ජය ගන්න වසනාව තියෙයිද කියලා!

බස් රේඩියෝ විසින් පවත්වන බ්ලොග් සතිය උදෙසා