මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/10/12

සිනා මල් ගොඩක්



අපේ අල්ලපු ගෙදර ඉන්න නංගියා හරිම ලස්සනයි. දඟකාරයි. ඒ නිසාම ඇගේ අම්මා ඇය එක්ක හැමතැනම යනවා. ඒ දුවගෙ ආරක්ෂාවට. කොට ගවුම් අඳින්න හුඟක් ආසා කළත් ඇගේ අම්මා ඇයට අඳින්න කියන්නෙම කුර්තා ඇඳුම්. මේ ළඟදි ඇයට ඉන්ටර්නෙට් ඕනෙ වෙලා. පවුලෙ එකම ළමයා නිසා ඒ අම්මාටත් බය ඇති. ඒ අම්මා මගෙන් ඇහුවා, දුවට ඉන්ටර්නෙට් ගන්න එක හොඳඳ කියලා. ඒ නංගිගෙ ඕනෙම දෙයක් මම මගේ අන්තර්ජාල පහසුකම් වලින් ඉටු කරගන්න දෙනවා. එයාට අවශ්‍ය හුඟක් දේ හොයා දෙන්නෙත් මම. ඉතින් හදිස්සියෙම ඉස්කෝලෙ යන මේ දරුවට තියෙන අන්තර්ජාල අවශ්‍යතාව මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ. ඒ නංගිගෙ ලොකු අම්මාගෙ ගෙදර ඉන්ටර්නෙට් තියෙන නිසා, යූ ටියුබ් එකෙන් සින්දු හොයන්නයි.. ඇත්තටම එයාට ඉන්ටර්නෙට් ඕනෙ කියලා මම දැනගත්තා.

රසවින්දනය කියන්නෙ අනර්ඝ දෙයක්, ඒත් එන එන සැරේට මගේ වත්පොතටත් එබෙන මේ පුංචි පැටික්කි, තමන්ට ඉන්ටර්නෙට් ආපු ගමන් වත්පොත් ගිණුමක් හදාගෙන එයට ඇබ්බැහි වුණොත්, තව අවුරුදු කිහිපයක් ඉස්සරහට තියෙන පාසල් ජීවිතේ තද අපරාධයකට මුහුණ දෙනවා කියලා මට හිතුණා. අන්තර්ජාලය ගැන කිසිවක් නොදන්න ඇය පරිගණකින් හරියට වැඩක් ගන්නවත් නොදැන මේ දේවල් වලට ඇබ්බැහි වෙයි කියලා බයක් ඇගේ අම්මාටත් තියෙනවා. දුවගෙ කරදරය නිසාම වෙන්න ඇති ඇය මගෙනුත් ඇහුවෙ.

ඇයට තනියම එන්න යන්න හරිම ආසයිලු. ඒත් ඇගේ අම්මා ඒක ඉටු කරන්න මඳක් බයයි. තවම නොමේරු ඇයට මේ වනවිටත් මඟුල් ගෙවල් වලින්, පාර්ටි වලින් දැකපු ලොකු මිනිසුන්ගෙ පුතාලාගෙන් මගුල් යෝජනා කිහිපක් ඇවිල්ලා. ඒත් ඇගෙ මව හිතන්නෙ, ඇය තව පරිණත වනතුරු එවන් යමක් අනවශ්‍යයි කියලා.

සිංදු කියන්න හරි අපූරුවට දක්ෂ මේ නංගිව හැම තරඟයකටම ඇගේ අම්මා යොමු කරනවා. නමුත් රියැලිටි තරඟ වලින් හැර. ඒ තරඟ වලදි ගැහැණු ළමයින්ට යම් යම් ගැටලු සිදුවී ඇති බව ඇයට දැන ගන්න ලැබිලා. මේ නිසාම ඒ අම්මා ඇයගෙ ආරක්ෂාව ගැන හිතන්න ඇති. නුදුරු අනාගතයේදි මේ අම්මාට දුවට තව බොහෝ දේ කියා දෙන්න වේවි. ඒ අම්මාට විතරක් නෙවෙයි. හැම අම්මාට ම එහෙමයි. මම මේ ගත්ත එක උදාහරණයක් විතරයි.

අද මේ සමාජ යන්ත්‍රය ඇතුළෙ ගැබකින් ස්ත්‍රී කලලයක් බිළඳියක් ලෙස එළියට දමන වේදනාවට වඩා වැඩි වෙහෙසක් ඇයව හදන්න ඇගේ මවට දරන්න වෙනවා. මම හිතනවා පුතෙක් හදනවාට වඩා අමාරුයි දුවෙක් හදන්න. එහෙම අමාරු වෙන්නෙ සංස්කෘතිය සහ සදාචාරය බල්ලාට නොදාන අම්මා කෙනෙක්ට විතරයි. නැත්තම් දුවත් තවත් එක ගැහැණු සතෙක්.


මේ ගීයෙන් අපූරුවට මේ මොහොතේ මගේ හදවත විග්‍රහ වෙනවා.

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලාගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නැහැ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතු කැට පද වැල් සීරෙන විට කඳුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නැහැ මගෙ දූ දන්නේ..


බස් රේඩ්යෝ සින්ඩියේ බ්ලොග් සතිය උදෙසා



7/9/12

බස් සහ කාන්තාවෝ



මධ්‍යම පන්තියෙ අපි කොයි කවුරුත් අතරින් බස් එකක නොගිය කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒක අහම්ඹයක්. බස් එකක යද්දි මුහුණ දුන්න සිදුවීමක් තමයි අද මගේ කතාවට වස්තු විෂය වෙන්නෙ. ඔබ බස් දහයක ගමන් කළොත් එකක හරි දකින, දැන්වීමක් ඔබට මතකද? දැන් ඔබ මගෙන් අහයි විල්බට් අඹතලාව මහත්තයාගෙ කවියක් ද කියලා? නැහැ. කාන්තා කාර්යාංශය සමඟ පොලීසිය එකතු වෙලා ගහපු කාන්තා හිංසනය පිටුදකිමු කියන දැන්වීමයි මම ඔබට මතක් කළේ.

දවසක් මම විජේරාම හන්දියෙන් එකසිය තිස් අට බස් එකක නැග්ගා. එදා යාලුවො කිසිම කෙනෙක් නුගේගොඩට එන්න නැති දවසක්. ගම් සභා හන්දියෙන් වයස අවුරුදු තිහක තිස්පහක පෙනුමැති මිනිහෙක් බසයට නැංගා. ඔහු ඉඳ ගත්තෙ, මම ඉඳ ගත්ත පැත්තට විරුද්ධ පස අසුනක. මේ මනුස්සයා අනවශ්‍ය ලෙස දුරකථනයක් මා දෙසට හරවමින් ඉන්නවා මම දැක්කා. එය පෙනුනෙ රියදුරුගෙ පිටුපස වීදුරුවෙන්. කවදාවත් සිරුරෙ අනවශ්‍ය අඟ පසඟ පෙනෙන ඇරෙන ඇඳුම් නොඅඳින මට බියක් දැනුණෙ නෑ. ඒ වෙලේම සුදු ලයිට් එකක් වැදුණා දැණුනා. වරක් මම ඒ මනුස්සයා දිහා බැලුවා. ඒත් නොබියව මේ මනුස්සයා කැමරා දුරකථනය මානාගෙන හිටියා. මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. මම ඒ මිනිහා ගැන බසයේ කෑ නොගසපු හේතු කීපයක් තිබ්බා.

1 . බස් රථ රියදුරන් කොන්දොස්තර වරු පවා මේ මිනිසුන්ගෙ අතකොලු.  ( මේ මිනිහා ටිකට් ගත්තෙ නෑ. හැබැයි කොන්දොස්තර ඔහු ව දුටුවා. )

2 . මම හිටියෙ තනියම. නැවත දවසක පොඩි දෙයක් නිසා මහ කරදරයක් පාත්වීමට ඉඩ තිබීම.

3. බස් එකේ සියලු දෙනාගෙන් තවත් සිටියේ එක තලතුනා මහත්මියක් පමණක් වීම.

4. බසය සෙනඟ අඩු එකක් වීම.

5. සමහර අවස්ථා වල ගැහැණියට සියල්ලෝම එකතු වී දොස් පැවරීම.

මේ හේතු නිසා මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. එතකොටම සුජාතාව ළඟින් මඳක් ස්ථුල කාන්තාවක් බසයට නැග්ගා. ඇය ඉඳ ගත්තෙත් විරුද්ධ පැත්තෙ. අර මිනිහා වහාම මා සිටි පැත්තට ආවා නිබයව දුරකථනය ඇය දෙසට මානමින් හිටියා. ඒක බස් රියේ හිටපු අනෙක් පිරිමි අය කවුරුත් දැක්කත් සද්ද කළේ නැහැ. මේක දැකපු ගැහැණිය මෙන්න මේ මිනිහා මගෙ පොටෝ ගන්නවා කියලා කෑ ගැහුවා. කිසි කෙනෙක් සද්ද කළේ නැහැ. අර මිනිහා බහිනකං හැමෝම එකිනෙකාට කුටු කුටු ගෑවා මිසක් නැගී හිටපු කිසි කෙනෙක් නෑ. කැම්පස් එකේ කොල්ලො එකෙක් හරි බස් එකේ හිටියා නම් කියලා මට හිතුණෙ ඒ වෙලාවෙ. අර තලතුනා කාන්තාව පමණක් මේ කාන්තාවට කීවා ඕවා ඔහොමතමයි කියලා. මට අපේ රටේ මිනිස්සු ගැන ඇත්තටම පිළිකුලක් දැනුණා.

බස් වල සීට් අස්සෙන් ඇඟිලි එවන මිනිස්සු, බස් වල හිර වෙලා යද්දි ගැහැණුන්ට උවමනාවෙන් හේත්තු වෙන මිනිස්සු අද හරියට ඉන්නවා. මේවා නවතින්නෙත් නැත්තම් , අපිට කරන්න දේකුත් නැත්තම් බලාගෙන ඉන්න එකද එකම විසඳුම? අපි ටිකක් හිතමු. පෝස්ටරයකට විතරක් සීමා වුණ කාන්තා හිංසාව සදහටම මිහිමතින් තුරන් කරමු.



7/8/12

ආශාවෝ සහ මිනිස්සු


ඇත්ත නම් ගම් වලින් ලියන්න පුලුවන් දේවල් වගේම බැරි දේ නැතිවා නෙවෙයි. ඒත් මේ කතාව නොලියා ඉන්න බැහැ. බොරු නමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. එයා, ඔයා මම අතරෙ ඉන්න නිසා සමාවෙන්න මට එයාගෙ ඇත්ත නම ඔයාට කියන්න බැහැ. ඒ නිසා මම එයාට ආශා කියලා කියනවා. මම ඒ නම එයාට දමන්නෙ නිකමට හිතට ආපු නිසා නෙවෙයි. ආශාව නිසා තැලෙන පොඩිවෙන ජීවිත වගේම නැගෙන සැනසෙන ජීවිතයකටත් එයා හොඳම උදාහරණයක්.

මේ පුංචි රටේ මඳක් පිටිසර ගමක එයා ඉපදුණා. උපතින්ම ගෙනා ලස්සන එයාට කවදාහරි හොඳ ආභරණයක් වෙයි කියලා එයාගෙ දෙමව්පියො හිතුවා. සමහරවිට ඒ අය අදටත් එහෙම හිතන් ඇති. මමත් එහෙම හිතනවා. පුංචි සමනළියක් වගේ ආශා පාසල ඇතුළෙ පියාසලන්න ඇති. ඒත් ගමේ ටිකක් බලපුලුවන්කාර මිනිහෙක්ගෙ ඇල්ම බැල්ම ඒ සිරුරට වැටෙනකම් විතරයි ඒ අහිංසකාවි පියා සැලුවෙ. ඒ මනුස්සයා දෙමව්පියන් පවා නොදැනුවත්ව මේ ගැහැණු ළමයාව වරදට පෙළඹුවා. එදා ආශාව නිසා ඇයට වැරදුණා. මිනිහෙක් කාන්තාවකට දිය හැකි උපරිම ශාරීරික වදයට ඇය යටත් වුණා කියලා මම ඔබට කීවොත් ඔබ පිළිගනීද මන්දා.

ඔය අතරෙ ඇය දහ දුක් මැද්දෙ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නතියෙන ආසාව නිසා. උසස් පෙළ පන්තියෙදි ආයෙ වැරදුණා. උසස් පෙළ පන්ති ඉවර වෙලා නම ගිය ගුරුවරයෙක්ගෙ අතකොලුවක් වෙන්න ඇයට සිද්ධ වුණා. ආදරයට කරපු ආසාව නිසා ඇයට දෙවනි වතාවෙත් වැරදුණා.

ඒ වැරදීමත් එක්ක ඇය සරසවි ගියා. ඇය ඇත්තටම ආදරය කරන්න පටන්ගත්තා. ඒ ආදරේ හරිම මිහිරියි. අන්තිමට ආදරය කරපු කෙනා ඇගෙන් බලාපොරොත්තු වුණේ ඇගේ සිරුර විතරයි කියලා දැනගත්ත දවසෙ ඇය මානසිකව අන්තයටම වැටුණා. ඇය ඒ ගැන අදත් අඬනවා. ඒත් තාම හිතේ තියෙන ශක්තියෙන් ඇය උපරිමය කරනවා.

ඇයගෙ එකම ආශාව දැන් රටේ නමගිය කෙනෙක් වෙන එක. මම හිතනවා එහෙම වෙන එක හොඳයි. ළමා අවදියේම ගැහැණියක වීම ඇගේ කරුමය නොවන්නට ඇය රටම දන්නා, ප්‍රතික්ෂේප කළ නොහැකි චරිතයක් වියයුතුයි.

අපි කල්පනා කළ යුත්තේ ඇත්තටම මේ ගැන නොවෙයි. අද රටේ මෙවන් ත්ත්ව වලට මුහුණ දෙමින් සිටන, මුහුණ දුන් ළමයින් කොපමණ ඇත්ද යන්නයි. එසේ නම් මෙවන් සිදුවීම් නොවන්නට රටක් ලෙස අප කළ යුත්තේ කුමක්ද?

ගිය හකුරට අඬමින් තියෙ හකුරත් විනාශ කරන්නට දෙන සමාජයක හිඳ වැදි බණ කියා පලක් නැතත්, සමාජය අපේ පරපුරෙන් හැදුණොත් වර්තමානය කෙසේ වෙතත් අනාගතයේ මෙවන් දේ දුලබ වූ සමාජයක් අපට දැකගතහැකිවේවි නේද?

ආශාට සිදු වූ දෙය තව කී දෙනෙකුට ඉදිරියේදී සිදුවීමට නියමිතදැයි අප කිසිවෙකුත් නොදනිමු. ආශාගේ මවුපියන් පවා ආශා මේතරම් ගැටලු වලට මුහුණ දුන් බව නොදනී. අද කොයිතරම් දෙමව්පිය පිරිසක් සිටිනවා විය හැකිද? තම දූ වරුන් අපචාරයේ යෙදෙනවග නොදත්, වයස දහ අටක් වූ පමණින් සියල්ල වැටහෙන දරුවෙක් බිහි නොවන වග විශේෂයෙන් අද දෙමව්පියන් දැනගත යුතුයි.

මේ ලිපියේ අරමුණ බොරු බයට දූ වරුන් නිවෙස් වල හිර කර තැබීම කියා ඔබ සිතනවා නම් වහා එය නිවැරදි කරගන්න. ඔබ දියණියව පෙර පාසලේ සිට එළියට දමන්න. ඒ ඒ වයසට ඇය දැන ගත යුතු මට්ටම තේරුම්ගෙන ඇයට අවබෝධය ලබාදෙන්න. මව්පියනි ඔබ විචක්ෂණශීලිව ජීවිතය දකින්න.


ආශා අද සියල්ල අමතක කොට ඉගෙන ගත්තත්, ඇයට යළිත් වැරදිය හැකි තැන් ඇත. මුලින් එය නිවැරදි නොකිරීමෙන් පසු එයට සිදුවන්නේ පිරියම් කළ බිත්තියක් ජරා වූවාට පසු වේගයෙන් සෙවෙල බැදෙන්නා සේ සිදුවීමකි. ඉතින් කල්පනාකාරී වන්න.


7/7/12

නළල සහ බැංකුව හා ජීවිත



මේ දිනවල ඉතාම කාර්ය බහුල නිසා නවකතාවට හදවතේ සාහිත්‍ය කාමරයට වී සිටින්නට ලෙඩ නිවාඩු දුන්නත්, හදවත පුරා ඇවිදින ආත්මයක් කාර්යබහුල බව පසෙක තබා යමක් ලිවීමට  මසකට ආසන්න කාලයක් පුරා මට බල කරයි. මේ වෙලාවෙ මට මා කියවු කෙටි කතාවක් සිහිපත් වේ. ඒ නත්තල් ගස සහ විවාහ මඟුල නම් ෆියදොර් දොස්තයෙව්ස්කි ලියූ රුසියානු කෙටි කතාවයි. මගේ කතාවට රුසියාව සම්බන්ධ වන්නේ කෙලෙසදැයි දැන් ඔබ සිතාවි. එම කෙටි කතාව ලියන ලේඛකයා තමන් මුලින් ලිවිය යුත්තේ නත්තල් ගස ගැනද විවාහ මඟුල ගැනද යන්න හිතමින් වික්ෂිප්ත වෙයි. මමත්, මුලින්ම මගේ කතාව පටන් ගැනීමට  ලිවිය යුත්තේ ලහිරු ගේ නළල ගැනද? නොඑසේනම් බත්තරමුල්ලේ බැංකුව ගැනද යන්න පිළිබඳව වික්ෂිප්ත වෙමින් සිටිමි. නමුත් දොස්තයෙව්ස්කි සේ මම අතීත සිද්ධිය මුලින් නොකියමි. මම එහෙයින් වර්තමාන සිද්ධිය තෝරාගනිමි.

ඒ ජූනි 13 වැනිදාය. උදෑසන දෙකහමාර යනු, නින්ද මිනිසුන්ව හරි හැටි ග්‍රහණය කරගත් මොහොතකි. බත්තරමුල්ල මඳක් කලබල විය. සෙත්සිරිපාය නිවස්නය වූ ලංකා බැංකු ශාඛාවක මංකොල්ල තැතක් වැරදිණ. බොහෝ පුවත් සේම එයත් තටු ලැබ පැමිණ නිදි ඇඳෙන් පිබිදි විගසම උණුවතුර සමඟ මුවෙහි තැවරිණ. එය තවත් සාමාන්‍ය මංකොල්ලයක් විය. පුද්ගලයෙක් මරු මුවට පත් වුවත් එය තවත් මරණයක් විය. හමුදාවේ කෙනෙක් පලා විත් මෙවන් දෙයක් කළ බව ආරංචි වුණත් එයද සුලබ කතන්දරයක් බැවින් 15 වැනිදා තෙක් එයත් මුල්ලකට තල්ලු විය.

ජූනි 15 වෙනිදා මට කෙනෙක් හමු විය. ඔහු නමින් ශෂික. මගේ වයසේම පසුවූ ඔහු දුක් විඳි බව සටහන් කරන කර්කෂ බවකින් උපන් වෙහෙස මඟ හරවා සුපුරුදු ලෙස සිනා විය. ශෂික මට මුලින්ම මුණ ගැසුණේ එක වසරේ දී ය. නිතරම පන්තියේ දඟ වැඩ කරන ශෂික ගැන සමහර අවස්ථාව වල ගුරුවරු හිටියේ අධික තරහකිනි. එහෙත් නිතර පන්තියට එන , ළදරු පාසල් ගුරුවරියක වූ මගේ මව සහ ශෂික අතර අද වනතුරුත් ඇත්තේ ඉතා සුහද බවකි. මම පහ වසරෙන් ගමේ පාසලෙන් ඉවත්ව ගෝතමියට ගියත්, වසරකට දෙකකට වරක් මඟ තොටදී හමුවන ඔවුන් සමඟ පසුගිය සියල්ල කතා කිරීමට තරම් එකතු වන්නේ ඉතාම සතුටිනි.

මෙදා ශෂික හමුවී සිනා මුසු මුහුණින් කී දෙයක් මගේ සිත බොහෝ දුර සිතන්නට පෙළඹීය.
දන්නවද සුලක්කනා... ලංකා බැන්කු කේස් එකෙන් වෙඩි වැදිලා මැරිලා තියෙන්නෙ අර කෙට්ටු මහේෂ්...

පැරණි අහකට විසි කළ සිදුවීම තවමත් මගෙ හදවතේ උණුසුම් සිදුවීමකි. අද මහේෂ් බැංකුව කඩන්නට ගොස් මැරුම් කන බව එදා ඔහු නොසිතන්නට ඇත.

එදා ඔහුගේ වයස අවුරුදු නවයකි. මහේෂ් ගේ කෙට්ටු මුහුණේ හකු ඉලිප්පි කන් දෙකට හිරවී තිබිණි. දින දෙකක් පමණ නොසෙදූ කමිසයේ පෙරදා පෑන් ඉරි බලියක් එලෙසම විය. දහඩියත් සමඟ පෙර දවසක සෝදද්දී දැමූ නිල් දියර තැනින් තැනට එකතු වී තිබිණි.

ලහිරු සංඛනාත් සෙල්ලම් කරමින් සිටියේ සී සෝ එක ළඟ ය. මම පුරුදු පරිදී සෙල්ලමට යාමට තහනම් ලද්දෙන් පන්තියේ ජනේලයෙන් අවට නරඹමින් සිටියෙමි. ලිස්සන ලෑල්ලේ සිට දිව ආ මහේෂ් ගලක් උඩ විසි කරනුත්, අනතුරුව කෑගසමින් සංඛනාත් බිම ඉඳගනුත්, අවට සිටි අය එතෙන්ට රැස් වෙනුත් මට මතකය. ගල විසි කරනු මිස ඔහු ගල දමා ගසනු දුටු කෙනෙක් නැතත්, එදා ඒ දුගී වෙසට මැර කෛරාටික පෙනුමක් දුන් ගුරුවරු යක්ෂාවේසයෙන් හැසිරුණ හැටි මගෙ මතකයේ වෙයි.

පන්තියේ නායිකාව ලෙස මමත් එදා විදුහල්පති තුමා ළඟ සිටියෙමි. ඔහුව උරහිසින් අල්ලා ගුරුවරියක් දණහිස් පොළවේ වදින්නට තල්ලු කල හැටිත් ඔහුගේ දණහිස් වල නැගිටිද්දී ලේ තැවරී ඇති සැටිත් මම දුටුවෙමි. එදා ඔහු මැරයෙක් අපරාධකරුවෙක් බවට පාසලේ දී පත් වූයේ අත් වැරදීමකිනි. ඔහු මැරයෙක් වූයේ අත්වැරැද්දකිනි. අද වුවමනාවෙන් අපරාධයක් කළ ඔහුගේ දිවි තොර කරවූයේද අත් වැරදීමකින් යැයි මම සිතමි.  එය හරිම පුදුමයක් යැයි මට සිතේ.

වැරදීමකින් වත් ඔහුව පහේ පන්තියෙන් පස්සෙ මට මුණ ගැහුණෙ නෑ.. එහෙම වුණා නම් මට ඔහු එක්ක කතා කරන්න තිබුණා. එක වරක් ඒ ළමයාගෙ හිත සනසන්න තිබ්බා. ජීවිතේ කවදාවත් ඒ ළමයා මවකගෙ සෙනෙහසක් නොලබපු කෙනෙක් වග සමහරවිට කවුරුවත් නොදන්නවා ඇති. සමහර විට කාටවත් ඒක වැඩක් නැතිව ඇති...