මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/3/11

හීනයක් කියලා හිනා නොවන හැම කෙනෙක්ම බලන්න.



පත්තර වල නොයෙක් නොයෙක් කලා කරුවන්ගෙ, දේශපාලනඥයන්ගෙ , විද්වතුන්ගෙ සිහින වලින් පිරිලා..මට ඒ නිසා හිතුනා මම හිතන මගේ හීනය ලියන්න..
මම පොඩිකාලෙ ආස කළා කොල්ලෙක් වෙන්න.ඒකට හේතුව ඉස්කෝලෙ යද්දි සුදු ගවුමට වඩා නිල් කලිසමයි සුදුෂර්ට් එකයි පහසු යි කියලා මට හිතුණ එක.ඒත් හය වසරින් පස්සෙ ආනන්දෙ , නාලන්දෙ ළමයි නිතර දකිද්දි මට ඒ හීනය එපා වුණා! මොකද ඒ ළමයි ඇන්දෙ සුදු කලිසම්.. හවස් වෙද්දි ඒවා හරිම කිලිටියි..මම ගැහැණු ළමයෙක් වීම වාසනාවක් කියලා ඉතින් මට හිතුණා.
පස්සෙ මට ආයෙ ආස හිතුණා කොල්ලෙක් වෙන්න.. පිරිමි ළමයින්ට වඩා පැය ගණනක් කලින් ගැහැණු ළමයින්ට රෑ බෝ වෙන නිසා! අම්මා මාව එක්ක එන්න හැම වෙලේම එන නිසා.. කොල්ලෙක් වුණා නම් මට තනිවම ඉන්න තිබුණා කියලා. කාටවත් යටත් වෙන්න ඕනෙ නැහැ කියලා වගේ හැඟීමක් මට හිතුණා. ඒත් පිට පිට ඇහෙන ස්ත්‍රී අවහිර අතවර වලට වග කිව යුතු බොහෝ අය පිරිමින් වග හැඟෙද්දි මට මහ තරහක් ආවා. මම කවදත් පීඩක පන්තිය ට නාමිකව වත් නියෝජනයක් දෙන්න අකමැති නිසා.මම කෙල්ලෙක් වුණ එක හොඳයි කියලා හිතුණා.
පස්සෙ උසස් අධ්‍යාපනයෙදි හා විශ්ව විද්‍යාලෙදි මට අදටත් විටින් විට හිතෙනවා. මම කොල්ලෙක් වුණා නම් කියලා.. හිතවත් ගුරුවරයෙක් එක්ක කතා කරන්න කොල්ලෙකුට ඕනෙ තරම් අවස්ථා තියෙනවා.උපරිම කියන්නෙත් තරහම එක්කෙනෙක් වුණත් සර් සහ ගෝලයා එකට බිව්වා කියලා විතරනෙ.. ඒවා ඒ හැටි අවුලක් නැහැ. කෙල්ලෙක් පොඩ්ඩක් කතා කළොත් කතා සීයක් හදනවා.. ඇයි එහෙම වෙන්නෙ? කාටවත් කවුරු ගැනවත් පූර්ව නිගමනයකින් කතා කරන්න ඇති අයිතිය මම අදටත් ප්‍රශ්න කරනවා. රාත්‍රියෙත් නිදහසේ වැඩ කිරීමේ හැකියාව කොල්ලෙකුට තියෙනවා..කෙල්ලෙක්ට ඒකවත් නැහැ. 6 වෙද්දි ගෙදරින් එක්ක යන්න එනවා. අපි කී අතකට තැලෙනවාද? වැඩ කීයක් මග නවත්තනවාද?ඒත් මට ආයෙත් හිතෙනවා මම කෙල්ලෙක් වුණ එක හොඳයි කියලා.. මොකද අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කාන්තාවකට විතරනෙ..
ඒත් මට තියන මට ලස්සන හීනය කෙල්ලෙකුට ගැළපෙනවාද? කියලා කල්පනා කරලා බලන්න කියලා මම කියවන අයගෙන් ඉල්ලා හිටිනවා.. ගැළපෙන්නෙ නැත්තම් ඇයි නොගැළපෙන්නෙ කියලා විතරක් කියන්න.ගොඩක් අය කියන්නෙ මගේ හීනෙ කෙල්ලෙකුට ගැලපෙන්නෙ නැහැ කියලා. ඇයි මට ඒ හීනෙට ඉඩක් නැත්තෙ?
මට කරේ පිටිපස්සෙ ගෙනියන ලොකු බැක් පැක් එකක් තියෙන්න ඕනෙ.. (අම්මා මට එහෙම එකක් ගන්න දෙන්නෙ නැහැ..කොල්ලෙක් වගේ කියලා..) ඒ බෑග් එකේ තියෙන්න ඕනෙ .. කැමරාවක්, ලැප්ටොප් එකක්, ඩොන්ගල් එකක්, පොඩි රේඩියෝවක්, එම් පී ත්‍රී ප්ලේයර් එකක් හෝ අයි පොඩ් එකක්,බැටරි චාජර් ටික, මල්ටි ප්ලග් එක, ඇඳුම් හතරක් පහක්, (දැන් අහන්න එපා අරවා මේවා ගැන.. ඒවා ඔක්කොම අයිති ඇඳුම් ගොඩට) ,මගෙ ක්‍රීම් වර්ග ටික,මේක් අප් නම් එහෙම කරන්නෙ නැහැ..
ඒත් මට කණ්ණාඩියක් ඕනේ.. (මට නිතරම මගේ මුහුණ කොහොමද කියලා බලන පොඩි ලෙඩක් තියෙනවා) මගෙ අව් කණ්ණාඩියත් ඕනේ අත්‍යාවශ්‍ය වුණොත් දමන්න. (ඇත්තටම මට ඒක ඕනෙත් නැහැ.. මගෙ ඇස් දැන් ඉර එළියෙ සැරට ,නපුරට හරිම හුරුයි.)බිස්කට් පැකට් කීපයක් ම දාගන්න ඕනෙ.( චීස් බිට්ස්, චොක්ලට් බිස්කට්, ක්‍රීම් කැකර්, ක්‍රිස්කො, තව ෆ්‍රඩ් සිටියෙ තියෙනවා මම ආස බිස්කට් ජාති) බීම වර්ග නම් . ජින්ජර් බියර්,වතුර නෙක්ටො,කෝක්,.. අර ලොකු වතුර බෝතලයක් එක්ක ප්ලාස්ක් එකක් ගන්න ඕනෙ.. උණු වතුර දා ගන්න.. (මම තේ නොබොන නිසා තේ සඳහා මුකුත් වුවමනා නැහැ. නමුත් ඉඟුරුයි ,තේකොලයි, සීනියි කොහොමත් ගෙනියනවා.. සමහර වෙලාට ඕනෙ වෙනවා.. කෝපි අරන් යන්න ඕනෙ..) තව මම චිලි පේම්ට් එකයි.මගෙ මික්ස්චර් එකයි හදා ගන්න ඕනෙ...( බැදපු ලූණු,රටකජු,මැගී නූඩ්ල්ස්,සුදුලූණු, සෝයා, මිරිස්,කරපිංචා දමා හදන එකක්) එතකොට කොහෙන් හරි පාන් කෑල්ලක් ගත්තත් ඇති..
තව මට ඕනේ මම නිතර බොන බෙහෙත් වර්ග ටික.. ඊට අමතරව ( වෙන්ටලීන්,පෙරිටන්, පැරසිටෝල්, මීතයිල් ඔයිල්,ඩෙල්බිටෝල්,බෙතලින්)... ටෝච් එක , අමතර බැටරි, නෝට් පොත , පෑන් කිහිපයක් සහිත මගේ පැන්සල් පෙට්ටිය ( එහි හැමවෙලේම - පාට පෑන්, කතුරු, ගම්,මකන,අඩිරූල්,තවත් බොහෝ දේ තියෙනවා) මගේ ලියකියවිලි පර්ස් එක ( ඔක්කොම කාර්ඩ් ටික ඒකේ තියනවා..- ID Card, Bank Card, ... තව හැම දේම එහි තියෙනවා..) සල්ලි ටිකක්... කොට්ටය, බ්ලැන්කට් සහ, නිදාගන්න සහ ඉඳගන්න අවශ්‍ය අනෙකුත් පෝර්ටබල් දේ... පෝර්ටල් කිව්වාම මතක් වුණේ... පෝර්ටබල් ඩිස්ක් එක ගන්නත් ඕනේ... දැන් අහන්න එපා සිතියම කෝ කියලා... ලැප්ටොප් එකයි ..ඩොංගල් එකයි තියනවා නම් සිතියම් ඕනේ තරම්..
ඔන්න මම ලැහැස්තියි... දැන් මගෙ බෑග් එක හරි.. සතුටුයි!!
ඔන්න මම යනවා රට වටේම ඇවිදින්න... මම පටන් ගන්නෙ පිට කොටුවෙන්.... ඉස්සෙල්ලාම කොළඹ... ඉන් පස්සෙ රට පුරාම යනවා.. ඇවිදින්න.. මට නොයෙක් මිනිස්සු හමුවෙනවා.. මම ඒ අය එක්ක කතා කරනවා.. මට පුලුවන් මිනිස්සුන්ගෙ හිතිවිලි වල වෙනස හොයා ගන්න.. ඒකට බයිසිකලයක් තිබ්බා නම් හොඳයි. (පාපැදියක්) [තෙල් ඕනෙත් නැහැ] මම හැමතැනම ඇවිදලා ඉවර කරන්නෙ ආයෙ කොළඹටම ඇවිත්.. මට අවුරුද්දක් වත් යයි... අනේ මටත් ඇල්බර්ටෝ ගෙනාඩෝස් වගේ යාලුවෙක් හිටියා නම්... එක්කො මම ඇල්බර්ටෝ වුණා නම් කියලා මට හිතෙනවා!!!
මගෙ එකම හීනෙ ඇවිදින එක...ජීව්තේ හොයන එක..අනෙක් අයගෙ ජීවිත වලට එබෙන එක... ඒත් ඉතින් මාව ගෙයින් පැය පහක් එළියෙ ඉන්න කොට අපේ අම්මා දහපාරක් විතර කතා කරලානෙ.. ඒ වෙලාට මට හිතෙනවා මම කොල්ලෙක් වුණානම් කියලා.... ඒත් ආයෙමත් මට හිතෙයි මම කෙල්ලෙක් වුණානම් කියලා.. කොයිම වෙලාවක හරි!

10/1/11

ලෝක ළමා දිනය වෙනුවෙන් | ඔබේ කතාව



එදා එදා දවසෙ වැදගත් කම් හුඟක් දේ මතකයට නැගෙන එක පුංචි කාල ඉඳන්ම මට පුරුද්දක්.. ඒ නිසාම මම අද නැගිට්ටෙ ලෝක ළමා දිනය වෙනුවෙන් මටම සුබ පතාගෙනයි... ළමා කාලයක් කියලා සුන්දර කාලයක් මම ගෙව්වාද කියලා මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරනවා... ඔව් මම සුන්දර ළමාකාලයක් ගෙව්වා..හරිම ලස්සන ළමා කාලයක්..
පෙරපාසල් ගියා..අකුරු ලිව්වා...අම්මා මාව සෙල්ලම් කරන්නවත් එළියට යැව්වෙ නැහැ මට තියෙන ආදරේට...මගෙ අම්මා ගුරුවරියක් නිසා මගෙ ප්‍රාථමික අධ්‍යාපනය අති සාර්ථකයි සෙල්ලම් කරන්න නොගියාට අනික් ළමයිගෙන් මම ඒ සෙල්ලම් අහලා ඉගෙන ගන්නවා!! ඉන් පස්සෙ මම තනියම හිතෙන් සෙල්ලම් කරනවා.. ඒ නිසාම මට හොඳට හිතන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.. මම තනියම හිතේ මවා ගත් මගේ ලොකු අයියා සමඟ හිතෙන් සෙල්ලම් කළා... ඒක හරි අපූරුයි
දෙක වසරෙදි දවසක් මම වැසිකිලියට යන්න ඕනෙ කියලා එළියට ගියෙ..ඒ අය කරන සෙල්ලම් ඇත්තටම බලන්න ආසාවෙ..විවේක කාලය පන්තියෙ තනිවම ඉඳලා මම හරි පීඩාවට පත්වෙලා හිටියා. මම එළියෙ වග ටීචර් දැකලා අපෙ අම්මා කියලා.. මම කියන දේ නාහන ළමයෙක් කියලා අම්මා හොඳටම ඇඬුවා.. මම ආයෙ කවදාවත් සෙල්ලම් කරන්න ගියෙ නැහැ..මම තීරණය කළා සෙල්ලම් නොකරන්න..අම්මාට තවදුරටත් දුක් නොදෙන්න..
පහේ දී ශිෂ්‍යත්වෙට අම්මා මාව පන්ති එක්ක ගියා.. ඉංග්‍රීසි පන්තියෙ අම්මාගෙ යෙහෙළියන්ගෙ දරුවො මට සෙල්ලම් කරන්න කතා කළා.. මට ඒ අය එක්ක සෙල්ලම් කරන්න අමාරුයි.පුරුද්දක් නැති කම නිසා. ඉතින් මම ගිහින් සෙල්ලම් කරන තැන පුදුමෙන් වගේ නතර වෙලා බලා හිටියා.. ළමයෙක්ගෙ ඇඟේ වැදිලා මම වැටුණා... මගෙ කකුල සදාකාලිකව ආබාධිත වුණා.. අදටත් සමහර දාට ඒ කකුල ආබාධය උත්සන්න වෙනවා..(බර වැඩි වුණොත් ඉවරයි.. තව කෙට්ටු වෙන්න කියලා දොස්තර අංකලුත් කීවා) මම ශිෂ්‍යත්වය ලිව්වෙත් ඒ අමාරුව සමඟයි..කොහොම නමුත් මම පාස්.. ඉස්කොලෙන් 18ක් ගොඩ.. මම පළවෙනියා වුණා..ලකුණු 161ක්. ළමා කාලෙ සුන්දරයි!! ටිකක් දුර හිතලා බැලුවාම!

පස්සෙන් පහු මම ආවෙ කොළඹ ඉස්කෝලෙට..අම්මාගෙ ඇල්ම බැල්මෙන් ටිකක් මිදුණත්,සදාකාලික කකුල අපහසුව ඉදිරියට ආවායෙන් මම ක්‍රීඩා වලට කවදාවත් ගියෙ නැහැ...අම්මාලා කැමති වුණෙත් නැහැ මම වැඩිය දඟලනවාට .. නැටුම් කළෙත් නැහැ....ගුරුවරු අකමැති වුණා..මගේ අල්ල ටිකක් ඇදයි..ඒ නිසා..
ඒත් අවසන් කාල පරාසය තුළ මම අපේ සරඹ සංදර්ශනය නංගිලා පුහුණු කළා..පොඩි එවුන් මට හරි එකතු නිසා වෙන්න ඇති මට ඒ අවස්ථාව ලැබුණෙ..කොහොම නමුත් මම හිතෙන් නම් හැම සෙල්ලමක්ම කළා.. මම දඟලන්නට නොවෙන කුීඩාවක් හැටියට චෙස් කරන්න පටන්ගත්තත් එදාට විද්‍යා පන්ති වැටුණා.. ඒකත් නැති වුණා.
මට ගමක් තිබ්බාත් අප්පච්චිට නිවාඩු නැති නිසා මම එහෙ යන්නෙම නැති තරම්.. ගෙවල් පැත්තෙ ළමයි එක්ක එකතුවෙලා සෙල්ලම් කරනවාට කිරි අම්මා ( අම්මාගේ මව්) කවදත් අකමැතියි.. මම ඒ ළමයින්ට හරි ආසයි.එයාලා හොඳයි... අඩුම තරමෙ මාව ගමේ පන්සලේ දහම්පාසලටවත් ඇරියෙ නැහැ..මාව ඇරියෙ කොළඹ ලොකු දහම් පාසලකට ..එක අවුරුද්දට විභාග පහයි.. VMB නැතිව එකතු කරලා බැලුවත්..
මම මේ ලිපිය ලියන්නෙ අද ලෝක ළමා දිනය වෙනුවෙන් යන ළමා වැඩසටහනක් ආසාවෙන් බලා ඉන්න අම්මාව දැකලා.. ඒ ළමයින්ගෙ ලස්සන පෙන්වන්න.. උන් නටන ගයන දඟලන හැටි පෙන්වන්න..අම්මා මට කතා කරනවා.. කිරි අම්මා කට ඇරන් ඒ දිහා බලා ඉන්නවා..අනේ අමමේ මම ඔය කාලෙ ඔයතරම්ම හුරතල්..ඒත් මගෙ ඉස්සරහ තිබ්බ පොත් කන්දට ඒවා පෙනුණෙ නැහැ..මගේ හිර කරපු හිතිවිලි එදා කවුරුත් දැක්කෙත් නැහැ.. .තව පොඩි ළමයි ගණනාවක් රූපවාහිනිය ඉදිරිපිට අද දවසට විතරක් ළමා දිනය සමරනවා ඇති....අද දවසට ඉස්කෝලෙ රැස්වීම් තියලා මහ ලොකු දේවල් කෙරෙයි. අනේ ඉස්කෝල මහත්වරුනි නෝනාවරුනි.. ඔබලා ගුරුවර ගුරුවරියන් නම්.. පාසල් කාලයෙන් මසකට පැය දෙකක් දරුවන්ට නිවනක් දෙන්න.. ටියුෂන් යවන්න එපා කියලා බැනුම් අහනවාට වඩා ඒක හොඳයි මම හිතන විදිහට...
වීදි දරුවො ගැනත්, මුදල් හිඟකම් ඇති දරුවො ගැනත්, මව්පිය ආදරය සෙනෙහස අහිමි දරුවො ගැනත්.. එකී මෙකී නොකී අසාධාරණයන්ට මුහුණ පෑ කතා කළ යුතුම අය ගැන මා කතා නොකළා නම් මට සමාවෙන්න.. මේ ලෝකයට පෙනෙන්නට සිනාසලන බහුතරයක් දරුවන්ගේ තුන් කල් කඳුලු කතාවයි.. අඩු වැඩි වශයෙන් මෙය ඔබේ කතාවද විය හැකියි!
මගේ නංගියේ මල්ලියේ ඉතින් ප්‍රීතිමත් හෙට දවසක්..

9/30/11

රෝස වලාකුළු තුනී කර ඉර ඇහැරවන්න ... යළිත් උත්තානයක්!!



නැවත බ්ලොග් ලිවීම ආරම්භ කළ යුතුයැයි හැඟුණේ මින් බොහෝ කලකට පෙර වුවද නොයක් හේතු මත ඇත්තටම බ්ලොග් ලියන්න බැරි වුණා.. ඔන්න ඔහෙ බ්ලොග් ලිවීම අතහැරලා දමනවා කියලා හිතුණෙත්, එන්න එන්න මේ කෙරුවාව එපා වෙද්දි...ඇයි මට එපා වුණේ කියලා පසු විපරමක් කර බලද්දි... එක හැටියට කාර්ය බහුල වීම.. නිදහසක් නැතිවීම.. පෙර මේ සඳහා යොදාගත් වේලාවෙන් මගේ පෙම්වතා සමඟ මල් කැඩීම සඳහා යොදාගැනීම ආදිය සැලකිය හැක. තවද බ්ලොග් බොහෝමයක් පැමිණිම නිසා.. ලියනවාට වඩා ඉතිරි වන සුලු වේලාවෙන් හෝ යමෙක් ලියූවක් කියවීමට හැකි වීම ප්‍රිය කළෙමි... තවද මට මුහුණු පොත බොහෝ මිතුරු වීම නිසාම මම එහි නිතර ගැවසීමි.. කවි ලීමි...බොහෝ විට සමාජ ජාල ක්‍රියා වන බස් පැදීම, පස් ඇදීම, බුකි සැරීම යන ඒවායෙන්ද මම ඈත් වීමි.. ස්ටේටස් දැමීම, කවියක් දැමීම... කමෙන්ට් කිරීම හැරෙන්නට වෙනත් දෙයක් නොකළෙමි... දැන් ලිවීමේ බස මල කම්මැලි හෙයින් එය අතහැර සුපුරුදු නීනුවා ,නෙරා ,නෙරංජි බවට පත්වෙමි..
බුකියෙ මම ටිකක් හරි ක්‍රියාකාරි වුණා නම් ඒ අර බුකු බස් පැදිල්ලට .. ඒත් දැන් ඒකෙත් ලොකූ දෙයක් නැහැ... ඕනෙම දෙයක් මට ඉක්මනින්ම ඕනෙ වෙනවා වගේම ඉක්මනින් එපා වෙනවා!.. ඒ බව හොඳටම ඔයාලාට තේරුම් ගන්න ඇහැකි මගේ ටෙම්ප්ලේට් මාරු කිරිල්ලෙන්... මගේ දැන් ටෙම්ප්ලේට් එක පවා අලුත්... ඒ වගේ ම පරණ රෝස වලාකුළු නමත් මම විසික් කළා... ඒ වෙනුවට ... රෝස වලාකුළු පායන්න හේතුව හොයාගත්තා...
අද ඉඳන් මම මගේ බ්ලොග් එකට අලුත් නමක් දෙනවා! “ඒ ඉර ඇහැරෙන ඉසව්ව“ ....
මම ඉස්සර ඉරට ආසම නැහැ... ඒත් දැන් මගේ ජීවිතේ ලොකුම බලපෑම් සාධකයත් ඉර... මම එදා ඉරට වෛර කළා. එහෙත් අද මම ඉරට ගරු කරනවා..ඒත් මම ඉරට ආදරේ නැහැ.. මම ඉරට හරි බයයි..නමුත් කැමතියි!
මම අද ඉඳන් මට හිතෙන, මම දකින,මම විඳින,මට දැනෙන, මම පතන සහ මට සිදුවන බොහෝ දේ මෙහි ලියන්න උත්සාහ කරනවා!!! අද ඉඳන් ලබන වසර පුරා තව ලිපි සියයක්වත් ලියන්නයි මම උත්සාහ කරන්නෙ..
මම තීරණය කළා සෑහෙන්න කාලයක් බ්ලොග් ලියන්න.. මට කමෙන්ට් වලින් නම් කවදාටත් මහා හිඟයක් තිබුණෙ නැහැ... නමුත් ගොඩක් තිබ්බෙත් නැහැ.. කමෙන්ට් වලට කොයිතරම් ආස වුණත්, කමෙන්ටු බලන් ලිවිල්ල නතර කළේ මැද දවස් වල.. දැනට මම ලියා තියෙන පෝස්ට් ගණනකට අනුව 111 යි.. ලුහුබඳින්නන් 186යි... ඒ අතින් බැලුවොත් වැරදිලා හරි මේකට 186 ක් ඇවිත් තියෙනවා... හිට්ස් වුණත් 10000 ක් පැනලා තියෙන්නෙ.. මම ගියපුවා ඉවත් තළොත් 2000ක් ඇවිත් තියනවා කියලා හිතමු... මට නම් ඒත් ඇති..
තව දුරටත් කල්පනා කරලා බැලුවොත්, මම සින්ඩි කියකට බැඳුණාද, කීයක් මාව පිළිගත්තාද, දැනට මම කීයක ඉන්නවාද කියලා මම දන්නෙ නැහැ.. මම නම් එහෙම මාරු කළ නිසා සමහර විට අද ඉඳන් මම ආගන්තුකයෙක් වෙයිද දන්නෙත් නැහැ...
අලුත් නමකින් පටන් ගත්තත් ලියන්නෙ නෙරංජිමයි.. සමහරක් වට ලියන දේවල් වෙනස් වෙන්නත් ඉඩ කඩ තියෙනවා... මම මගේ නමින් නොවන වෙනත් බ්ලොග් එකක් කළා... ඔබ දන්නවාත් ඇති “ සාෂාගේ සටහන් “
මට ඒ බ්ලොග් දෙකම කරගෙන යන්න ආස වුණත්, දෙකම බදාගත්තොත් එකක්වත් නොකරන එකියක් මම!! ඒ නිසා මම ඒ ලිපි දෙකත් නැවත තව ටිකක් සංවර්ධනය කරලා මේකටම එක් කරනවා... ඒ බ්ලොග් එක විනාස මුඛයට යවනවා... නෙරංජි නමින් මිසක් මට වෙන කිසිම නමකින් කරන කිසිවක් කොයිතරම් ආසාවෙන් කරන්න උත්සාහ කළත් කරන්න අමාරුයි..පුරුදු මැට්ටි එළියට පනිනවා..
ඔයාලා මට බ්ලොග් ලියන්න කිව්වත්, එපා කිව්වත් මට ඕනෙ වෙලාවට මට ඕනෙ විදිහට මම ලියාවි. දවසකට එකක් බැරි වේවි සමහර විට.. නමුත් කොහොම හරි මොනාම හරි ලියන්න ට්‍රයි කරනවා.. හිතේ තියෙන ඒකාකාරි බව විසික් වෙන්න..
රෝස වලාකුළට වසර දෙකක් පිරෙන මේ වෙලාවේ.. ඉර ඇහැරෙන ඉසව්වට පිවිසෙමින්.. ඔබ සමඟ තවදුරටත් සිටීමට බලාපොරොත්තු වෙනවා!!
මම ඔබේම නීනුවා! නෙරංජියා

8/26/11

ලොකු අයියා එනතුරු




ටයර් කැබලි අතර පිච්වෙන මල සිරුරු බලමින් ඉදිරියට ගියෙමි. මට හොඳ හැටි මතක මුහුණක් කම්බි වැටක එල්ලී තිබිණි... එය අර්ධයක් පිලිස්සී ඇත.
සිරුර නග්නව පසෙක මැස්සන් වසමින් තිබිණි...
වීරෙ අයියා... මට ඔහු හොඳින් මතකය...නිතර සිනාසෙන, තේ ඉල්ලන මුහුණ මට හොඳින්ම මතකය..
සිසිලි නැන්දා දුටුවොත් ඇගේ පපුව පැළේවි...සිසිලි නැන්දා දින දෙකකින් නොදුටු බව මතකය..
ලොකු අයියාගේ කාමරය තුළට වී ඔවුනොවුන්‍ තැනූ සිහින මට තවම ඇසේ...හොරෙන් එක්වුණු යහලුවෝ වෙනසක් ගැන සිතූහ...එම පාර නිවැරදිදැයි මම අදටත් හමුවණ සියල්ලන්ගෙන් ප්‍රශ්න කරමි..
දැන් සිහින සියල්ල බොඳවී අවසන්ය..... තවත් සිහින තැනීමට ලොකයක් ඔවුන්ට ඉතිරිවී නැතැයි ද සිතමි...මන්ද බහුතරයක් ම එම ලොකයේදීම සමුගත් බැවිණි.
මම ඔහු සෙව්වෙමි... අම්මා ගිනි අවි අමෝරා ආ නිලදරුවන් දැක කම්පනයට මියුණු බව කියන්නටද, අප්පච්චී සිහි මද ගතියෙන් අයියා සොය සොයා ගොස් ආගිය අතක් නොමැති වූ බව කියන්නට ද මම ඔහුව සොයාගත යුතුය....
ටයර් කැබලි අතරිනුත්... කටු කම්බි අතරිනුත්...මිනීකන්නන් අතරිනුත්... ඔහු සැඟවෙන්නට ඇතැයි අනුමාන කරන්නෙමි... මහවැස්සෙන් ද ගිනි අවුවෙන්ද සෑහෙන්න පීඩාවක් නොවෙන තැනක ඔහු ඔවුන් සමඟ සිටිනවා විය හැක...
ඔහු සොයා ගනිමි යන අදිටන පමණක් හදවත තුළ පෙරළි කරයි...නමුත් අවිනිශ්චිත බව සැමවිටම හදවතේ පතුළෙන් අවි අමෝරා නැගෙයි..
මම ඔහුට ලොකු අයියා කීවේ පොඩි අයියලා සිටි නිසා නොව, ඔහු මට වීරයෙක් වූ හෙයිනි... අප්පච්චී නිතර කියන පරිදී ඔහු තමා ගැන පමණක් සිතන්නෙක් නොවූ හෙයිනි... එහෙත් ඔහු අප්පච්චී කී දේ බිඳක් හෝ ඇසුවා නම්, තමන් ගැන පමණක් සිතුවා නම් කෙතරම් හොඳ දැයි මට අද සිතේ...
ඇවිදීම කෙළවර වූ තැන විවේකය ලැබිය යුතුය... මරණය හෙවත් බොහෝ ජීවිත වලට සැනසුම ගෙනෙන වචනය ඔවුහු මට ලබා දුන්හ... ගිනි අවියක ගින්දර පහර රාගයෙන් තව තවත් දවා... ඔවුහූ මගේ ආත්මය හා ශරීරය ඝාතනය කළහ..... සුහුනෙක් සද්ද කරනු පමණක් අවසන් මොහොතේ මගේ මතකයේ ඇත.....
ලොකු අයියා කොහේ හෝ යහතින් ජීවත් වෙනවා ඇතැයි සිතමි... මා ඔහු නුදුටුවද.., ඔහු මා නුදුටුවද .., පාරේ ,මග තොටේ, බස් රියේ, පාසලේ,පන්තියේ, බොහෝ මුහුණු අතරින් මම ඔහු දකින්නට අසාර්ථක උත්සාහයක් දරමි...
වෙනත් පළාතක වෙනත් නමකින් උත්පාද වන තුරුත්.... මට ඔවුන්ගේ වියරු සිනා හඬ ඇසෙන්නට විය... මගේ ගන්ධබ්බ ආත්මය තුළම මගේ අදිටනට යන්නට නොදුන් බැතිමතුන් හට වෛර කරමින් තැවෙන්නට වීමි. අලුත් උපතේදීද මම එම අදිටනම සිත් රුවා ගතිමි...
අදත් මම අපරිමිත ලෝකයේ අතරමංව හිඳිමි....තවමත් බාහිර ලෝකයෙන් පෙළෙමන් සිටිමි...සිනාව,ගැරහුම,නොසැලකීම, මේ සියල්ලෙන්ම පීඩා විඳිමි. ලොකු අයියා හිටියා නම් මා බේරා ගනීවී යැයි මට නිරන්තරව සිතේ...... ඔහු මා සුන්දර යයි පෙනෙනු සියලු රකුසන්ගෙන් ආරක්ෂා කරාවී යැයි වරෙක සිතේ... ලොකු අයියා කොහේදැයි අද සෙවිය නොහැක...නමුත් මට ඔහුගේ දෙනෙත් වල හැඩ රුවක ඡායාව මතකය.
ලොකු අයියා....මම තවමත් සොයමි..හමුවනතුරුම සොයමි.. ඔබ සියලු දෙනාගේ දෙනෙත් අතර මම ඔහු සොයමි..
එදා මට සිටි මගේ ලොකු අයියා තවම ලෝකය තුළ ජීවත් වනවා නම් අනිවාර්යයෙන්ම ඔහු මා සොයාගනු ඇත...
කවුරුන් කුමක් කීවද , කුමන අවඥාවක් කළද, ඔහු මා පිළිගනු ඇත...
උන් ඔහුව කෙතරම් දුකට පත් කළද ඔහු මා සොයා ගනු ඇත...
පොඩි කාලේ සිට අද වෙන තෙක් එකතු කළ පොත් ද පත්ද, වෙසක් කාඩ් ද, පාට කොළද, සිප්පි කටුද,පින්තූරද, එකතු කර තබා මේ ආත්මේ මගේ අම්මාගෙන් බැනුම් අසා විසි කළ නරක් වූ ආහාර වල සුවඳ මතකය ද සමඟ මම ලොකු අයියා එනතුරු මග බලා සිටිමි. එදිනට කිරිබත් හදන්නට පෙරුම් පුරමි..
මම සුහුනන්ට තවමත් කොතරම් බියදැයි ඔහු හමු වූ දිනට පවසමි.....