මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/31/16

-267- මාකේස් සහ සේළරුවා

GABRIEL නැමැති ඔහුගේ නමින් මට සිහිපත් කරන්නේ දේවදූතයාය. MARQUEZ යන්න ඇසූ පමණින් මා සිතට නැගෙන්නේ ඉන්දජාලික පන්හිඳයි. මේ නම් ද්විත්වයම එකතු පහදු කිරීමෙන් හැදෙන ඒ අද්විතීය නාමය හිමි මායාවී ලේඛකයෙකි.ඒ GABRIEL GARCIA MARQUEZ ය. ගබිරියෙල් ගර්ෂියා මාර්කේස් මනුෂ්‍යත්වයේ සිතිවිලි හා හැඟීම් අතැඹුලක් කොට අකුරු වලින් චිත්‍රයට නගන්නෙකි. ඔහුගේ පන්හිඳක් යැයි පෙන්වන මායාවී තෙලිතුඩින් චිත්‍රණය කළ ඉතා සුන්දර කතා පුවත් වලින් එකකි The Story of a Shipwrecked Sailor. 

එය 1982 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ඔහුගේ නිර්මාණාවලියේ චූල කෘතියක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් මුල සිට අග දක්වාම බොහෝ ජීවන යතාර්ථයන් සියුම්ව මෘදුව පෙන්වීමට එම කෘතිය සමත්වේ. විදර්ශන ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කළ පියල් ජයරත්න ගේ සිංහල පරිවර්තනයද මාර්කේස් ගේ ඉන්ද්‍රජාලික බව නොනසා පවත්වා ගැනීමට සමත් වීම පිළිබඳව සැබවින්ම කෘතඥවිය යුතුය. 


Caine Mutiny සිනමා පටය බලපු මොහොතෙහි පටන් ඔහු සිටියේ ඉතා නොසන්සුන්වය. බොගෝටාවේ කුඩා දරුවෙකුව වෙසෙන කාලයේ කොතරම් පින්තූර පොත් කියවා තිබුණත්, කිසිවෙකුටත් මරණය මහ මුහුදේදී හමුවිය හැකි බව විශ්වාස නොකළ අයෙකි ඔහු. එහෙත් ඒ සිනමාපටය නැරඹු දා පටන් ඔහු මුහුදු සංචාරයට බියවූයේය. මේරි ඇඩ්රස් හෙවත් ඇල්බාමා හී මොබීලේ නුවර මුණගැසුණු සුන්දරිය මාස අටක් ඔහු හා පෙමින් වෙලුණු ආදරිය, බාගෙට ස්පාඥ්ඥ තේරෙන පෙම්වතිය වූ ඇගෙන්  සමුගෙන යළිත් ගම් රට එන්නට නැව් නගින දා ඔහු දරදඬු තීරණයක් ගෙන සිටියේය. කිසිවිටෙකත් සේළරුවෙක් ගන්නට ඉඩක් නැතැයි සිතිය හැකි තීරණයක් ගෙන සිටියේය.

ඔහු නැවත මුහුදු නොයන්නට තීරණය කළේය. චිත්‍රපටයකට මේතරම් දෙයක් කළ හැකිද යන්න ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය සිදුවී තිබුණි. සැබෑ ජීවිතය තුළ සිදුවූ කතා පුවත් වුවද සාහිත්‍යට නැගෙද්දී එයට ගැබ් වන මායාවී රටාවන් ගැන කාට නම් අනාවැකි කිව හැකිද? ඒවා ඇත්තේ ලියුම්කරුවාගේ හෝ සාහිත්‍යධරයාගේ අභ්‍යන්තරයේම නොවේද?

කෙසේ වෙතත් එය ඔවුන්ගේ අවසාන මුහුදු ගමන බවට පත් කළ යුතු බැව්  කැරබියන් මුහුද , සුළඟ සමඟ කලින් කථිකා කොට සිටියේය. කැරබියන් මුහුදේ ප්‍රචණ්ඩ කුණාටුවකින් සිය නෞකාව එහි සිටි සගයන් සමඟ සාගර ගැඹුරේ ගිලී යන අයුරු බලා සිටින්නට ඔහුට නියමිත විය. ඉච්ඡාභංගත්වයේත්, වේදනාවෙත්, සා පිපාසාවේත් නෙැගැණිය හැකි තරම් සංකාකූල දීර්ඝ හෝරා ගෙවා දැමීමට ඔහුට නියමිත විය. සියල්ල හා සටන් කිරීමට ඔහු සතු ධෛර්යය දෛවය විසින් මැන බැලීමට එතැන් සිට නියමිත විය. මේ නවකතාව එක්තරා ආකාරයක හුදකලා ප්‍රීතියක් සිතට රැගෙන එයි. එමෙන්ම අප්‍රාණික ජීවිතයක් සප්‍රාණික කිරීමට මෙවන් සාහිත්‍යකරුවන්ගේ පොත් වලට හැකියාව ඇත. මාර්කේස් නොබෙල් ත්‍යාගය ලැබීම ගැන ආඩම්බර වෙමි. ඔහුගේ ලිවීමට පෙම් බඳිමි. 

8/26/16

-266- මගේ විජයන්ති | The Smell of lavenders


"කෙල්ලෙක්ට තමන්ට පණටත් වඩා  ආදරේ කරන කොල්ලාව මුණ ගැහෙන්න ඕනෙ නම් කැන්සර් එකක්, බ්‍රේන් ටූමා එකක් නැත්තම් අඩුමතරමෙ නිව්මෝනියාවත් හැදෙන්නම ඕනෙ. "  

කවුද පළවෙනියාටම බස් එකට නගින්නෙ කියන එක කවුරු හරි තෝරලා තෑග්ගක් දෙනවා කියලා එනවුන්ස් කරලා තිබ්බා වගේ ෆිල්ම් එක ඉවර වුණ ගමන් මිනිස්සු එළියට දුවන්නෙ. චිත්‍රපටියෙ නාමාවලිය  විශාල තිරය උඩ බෑඟිරි ගැහුවත්, කාටවත් ඒ දිහා හැරිලා බලන්නවත් වෙලාවක් තිබ්බෙ නැති ගානයි. මිනිස්සුන්ට චිත්‍රපටියක් බලලා ඉවර වුණාම එන මේ හදිස්සිය පටන් ගන්නෙ කොතනින්ද කියලා මට නම් තාම හිතා ගන්න බෑ. ඉතිං ඒ නිසාම මට ඇරෙන්න කාටවත් විජයන්තිගෙ රුවන් වැකිය ගැන හාංකවිස්සියක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ.

විජයන්ති කියන්නෙ ඔෆිස් එකේ උන් කියන විදිහට අපේ බොස් ගෙ හොර ගෑණි.   හැබැයි විජයන්ති මගෙ හොඳ ගෑණි. ඔෆිස් එකේ උන් කියන විදිහට මගෙ ළමයා බොස් ගෙ. බොස් හිතා ඉන්නෙත් එහෙම. එහෙම හිතන් ඉන්න එකට මම හිත යටින් කැමතියි. මගෙ පඩි පැකට් එකේ බරින් මගෙ කොල්ලට අරන් දෙන්න බැරි ජීවිතේ බොස් හරහා කොල්ලාට ලැබෙන එකට මට හරි සතුටුයි.

විජයන්තිට හතළිස් හයක්. දැන් බොස් ට විජයන්ති ගැන හැඟීමක් නෑ. මේ කාලෙ උන්දැගෙ කරුණාව දැවටෙන්නෙ ඉරෝෂිණි ට. ඉරෝෂිණීට මමත් කැමතියි.  එයා එනකොට පළාතම ලැවැන්ඩර් සුවඳයි. මං අඳුනන ලැවැන්ඩර් සුවඳක් නං නෑ. ඒත් ඒ සුවඳ කුප්පියෙ මං දැක්කා ලැවැන්ඩර් කියලා නම අලවලා තියනවා. මං දන්නෙ නෑ ඉරෝෂිණි වුණත් ලැවැන්ඩර් සුවඳ අඳුනනවාද කියලා. ඒක පිට රටක සුවඳක් නිසා. හැබැයි විජයන්ති ගාව නම්, හවසට එන ඉඳුල් ගඳටයි, උදේට එන කුණු කෙළ ගඳටයි අමතරව මට එන්නෙ දහඩිය සුවඳ විතරයි.

විජයන්ති පුතා ලැබුණාට පස්සෙ රස්සාවෙන් නැවතුණා. මම නම් තාම එතනමයි.  මට ලැජ්ජාවක් නෑ කියලයි අපේ කුඩම්මා නම් කියන්නෙ, අතින් අත ගිය එකියක් කර ගැහැව්වා මදිවට තවත් එතනම ඉන්නවාලු.

මං විජයන්තිව බඳිනවාට ඒ කාලෙ හැටියට බොස් මට ලක්ෂ හතරක් දෙන්න පොරොන්දු වුණා. තාත්තා රේස් සුදූ කෙළලා  උගස් කරපු ගේ සින්න වෙන්න මාසයක් තියෙද්දි ආපු මේ යෝජනාව එක්ක මට විජයන්තිව පෙනුනෙ සංවර්ධන වාසනාව වගේ. ඒ වෙද්දිත් විජයන්තිගෙ කුසේ දරු ගැබක් සංවර්ධනය වෙවී තිබ්බා. එකයි බොස් හදිසි වුණේ. ඒත් විජයන්ති මගෙ ගාවට එද්දි කුස හිස් වෙලා. විජයන්ති කරපු දාහක් ජාති වලින් මොකක් හරි එකක් බලපාලා දරුවා නැතිවෙලා.

ටික කාලයක් විජයන්තිව නොදැක ඉඳලා අවුරුද්දකට දෙහෙකට පස්සෙ දරුවා දැකපු නිසාද මන්දා බොස් ට මේ ඉන්නෙ අපේ දරුවෙක් කියලා නිනව් නැති වුණා. ඒකයි බොස් මගෙ දරුවාට මේ හැටි සලකන්නෙ.

විජයන්ති ඉස්සර හරිම හැඩයි. ඒ දවස් වල විජයන්ති ට කොල්ලෙකුත් හිටියාලු. ඒත් බොස් ගෙ අයුතු බලපෑම් ආරංචි වෙච්ච නිසා ඒ ළමයා මඟ අරින්න ගත්තාලු. විජයන්ති බොස් ළඟ හිටියෙත්, මාව බැන්දෙත්, දැන් ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි කියලා මං හොඳටෝම දන්නවා. ඒත් ඒක විජයන්ති කියන විදිහටම විජයන්තිගෙ කරුමෙ නම්, මං මක් කරන්නද? මොකෝ ඒක වෙනස් කරලා කොටන්ඩ මං බ්‍රහ්මයාද?

ඒත් විජයන්ති කියපු  කතාවෙන් මගෙ හිත කීරි ගැහිලා ගියා. විජයන්ති මැරුණොත් කියලා එකපාරටම බයක් දැනුණා. බොස්ට වගේ සල්ලිත් නැති රූපෙත් නැති මට විජයන්ති නැති වුණොත් වෙන ගෑණියෙක් කොයින්ද.
ගෙයි උගස බේරුවෙ විජයන්ති නිසා. දරුවත් මගෙ ලේ. විජයන්ති මට හැම යුතුකමක් ම ඉස්ට සිද්ධ කරනවා. මං ඒකිට ආදරේ කරන්න ඕනෙ නේද කියලා මුල්ම වතාවට මට හිතුණා.

අවුරුදු පහළවකට පස්සෙ අපි පළවෙනියටම බලපු මේ චිත්‍රපටියෙ අන්තිමට යන නාමාවලියෙ අවසාන හරියත් ඉහළටම යමින් තිබ්බා. ශාලාවෙ බල්බ් ඔක්කොම සුදු පාටින් පත්තුවුණා. මොහොතකට කවුරුවත් ශාලාවෙ හිටියෙ නැති නිසා මං ඈට ළං වුණා. ඈ ළඟින් හමා ආවෙ කොල්ලාගෙ කැන්වස් පොලිෂ් එකේ සුවඳ. ඇඟිලි කරුවල තැවරුණු කලු පොලිෂ් කෑලි සුදු එළියට දිලිසුණා. යන ගමන් විජයන්තිට සුවඳ කුප්පියක් අරන් දෙන්න ඕනෙ කියලා මට එක පාරටම හිතුණා.

-නෙරංජි ඒකනායක -

8/23/16

-265- කර්ණගේ විලාපය

එදා මං ආවෙ ඔබ අත රැගෙන යන්ට නොව
මිතුරාගෙ උදව්වට පමණමයි..
ඒත් මාධව් දුන්නු ධර්ම අභියෝගයෙන්
යළිත් මා ආවේ මා පිණිසමයි..
නිල් අහස මහ පොළව යා කෙරූ මායාව 
එක ලෙසින් දුටුවෙ ඇස් හින්දමයි
කිසිවෙකුට තවදුරට ජයක් හිමි නොවන
ඒ තරඟයේ ජය තිබුණෙ මා ළඟයි..


කිදිම දවසක නුඹේ ඇස් ඉදිරියේ නුදුටු
කුමරුවකු ගැන ඇසූ නාමයෙන්
මුසපත්ව සිටිය වග නොදන්නෙමි සොඳුරියේ
ඔහු කෙරේ බැඳි නොතිත් ප්‍රේමයෙන්..
ස්වයංවර මංගල්ලෙ දකින්නට රැස්ව සිටි
මිනිස් කැළ අභිමුවේ හදිසියෙන්
අවමාන කළේ මට රථාචාරියා යැයි
ඔබයි පංචාලියේ වෛරයෙන්....
ගෞරවය සිඳෙද්දී දුන්න මම අත් හළෙමි
ඉලක්කය බොඳවෙලා පෙනුණා..
ඉරත් වෙව්ලුම් කන්න හද වේදනා දෙද්දි
නුඹ අර්ජුන ගෙ දෑතෙ වෙලුණා..
කල් ඉකුත් වෙලා ගිය තුවාලය රිදුම් දුණි.
අනේ මම කැළැල් උඩ දැවුණා..
මගේ ගොරහැඬි වචන තුළ නිතර නුඹ නමට
ඉකිබිඳපු කඳුළු බිඳු තිබුණා..

- කතාපුවත -
දුර්යෝධන් සමඟ ඔට්ටු අල්ලන පාණ්ඩව වැඩිමහල් සොයුරු යුධිශ්ධීර් සියල්ල පරාජය වෙයි. එබැවින් ද්‍රෝපදී නම් කුරු වංශයේ කුලදියණිය සහ පාණ්ඩවයන් ගේ බිරිඳ වන ද්‍රෝපදී දාසියක් ලෙස පාවා ගැනීමට දුර්යෝධන් සැරසෙයි. දුර්යෝධන් තම සොයුරු දුෂ්ශාසන් හට ඇය නිරුවත් කරන ලෙස අණ කරයි. එහිදී පාණ්ඩවයන් එසේ නොකරන්නයි විරුද්ධ වද්දී අංග රජු වන කර්ණ නැගී සිටියි. ඇය පිරිමින් පස්දෙනෙකු සමඟ දිවි ගෙවන බැවින් ඇය වෛශ්‍යාවකට වඩා වෙනස් නොවන බව ඔහු පවසයි.
මේ සිදුවීම සිදුවන්නට වසර ගණනකට පෙර පංචාලයේ දි ද්‍රෝපදී ගේ ස්වයං වරය සිදු විය. එහිදී මායාවකින් තනා තිබූ දුනු තරඟයෙන් ජයගන්නාට ද්‍රෝපදී විවාහ කරගැනීමට වරම් ලැබිණි. ක්‍රිෂ්ණා දෙවිඳුන් විසින් ඇය විවාහ විය යුත්තේ අර්ජුනා සමඟ බව යැයි පෙර සිටම ද්‍රෝපදී ට කාවද්දා තිබිණි. එම නිසා එහිදී ඇය අර්ජුනාගේ පැමිණීම අපේක්ෂා කරමින් සිටින විට කර්ණ තරඟයට පිවිසියේය. මුලින් ඔහු පිවිසියේ සිය මිතුරා වන දුර්යෝධන්ට ඇය දිනා දෙන්නට වුවද, එයට පංචාලය විරුද්ධ වෙයි. එය අධර්මවාදී බව ඔවුන් පවසයි. එබැවින් දුර්යෝධන් සිය මිතුරාටම ද්‍රෝපදී දිනා ගන්නා ලෙස ආරාධනා කරයි. නැවත තරඟයට පිවිස් කර්ණ අනිවාර්යයෙන් ජය ගන්නා බව ක්‍රිෂ්ණා පවසන බැවින් ද්‍රෝපදී කර්ණ ට තරඟ නොකරන ලෙස විරුද්ධ වෙයි. ඇය ඔහු රජෙකු වුවත් රථාචරියෙකු පුත්‍රයෙකු බව පවසා අවමන් කරයි. කර්ණ තරඟය නවත්වයි. පසුව අර්ජුනා පැමිණ තරඟය දිනයි. එහෙත් ජයග්‍රහණයෙන් අනතුරුව අර්ජුනාට සිය සහෝදරයන් පස්දෙනා අතර ම ද්‍රෝපදී බෙදා ගැනීමට සිදුවෙයි.
ඔට්ටුව දා කර්ණ පිට කරන්නේ ද්‍රෝපදී මහා ජනකායක් ඉදිරියේ තමාට දුන් වේදනාවයි.

8/22/16

-264- හිතනලන්තයෙන් පියාඹා ආ ගම්බිරිස් කුරුලු වස්තුව

- Stressed සහ Desserts අතර ඇත්තේ අකුරු පිළිවෙලේ වෙනස පමණක්ය -

පොත ලියූ කාංචනා අමිලාන්ට තුති ය.
“තනිකරම ඔයාගෙ නොහොබිනාකමට මං ගැන අකුරක්වත් නොලියා හිටිය එක වැරදියි“. පොත් රාක්කයෙන් එළියට පැන පොතක් බැන අඬ ගහන කෘර මොහොතක් ඔබ අසා තිබේද? ඒ දවස් වලම මේ ගැන කතා කළ යුතු වුවද නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දී , අමනාපයට පත් මිසිස් සමරසිංහ අවසානයේ ප්ලාස්ටික් සර්ජරියක් කර ගැනීම නිසා සමාජයට මුහුණ දීම නතර කළ බව දැනගැනීමෙන් ඇරඹුමම කඳුලක් විය.
කෙසේ වෙතත් එළියට පැන කෑ ගසීමේ අසංවරකම ගැන පසුතැවිලි වෙමින් අසමජ්ජාති “ගම්මිරිස් කුරුල්ලා “ ගැන ලිවීම මම මෙසේ අරඹමි.
ගම්මිරිස් කුරුල්ලා පොත උපදින්නේ කාංචනාගේ හිතන ලන්තයේ බව නොදන්නා කෙනෙක් සිටීනම්, මුලින්ම හිතන ලන්තය කියවා පැමිණිය යුතුය. හිතනලන්තය ඇත්තේ, ග්‍රීන්ලන්තයට නුදුරු ආක්ටික් සාගරයේ මුහුදූ සීමාවෙන් කිලෝමීටර් එකසිය පනස් හයක් දකුණට වන්නට පිහිටි තැනක බව මගේ පුද්ගලික විශ්වාසය වේ. කාංචනාගෙන් ඇසුවොත් ඇය වෙනත් තැනක් කියන අතර, ඇගේ කුරිරු අරමුණ ආයෙ නොඑන්නට එහි ඔබව අතරමං කිරීමය.
ගම්මිරිස් කුරුල්ලා දුඹුරු පාට කවරයක් සහිත පොතකි. එය හරිම ගොරහැඩිය. හරියටම ගම්මිරිස් කුරුල්ලෙක් ගේ පිටක් වගේය. එහෙත් කාංචනාගේ අකුරු පුදුම විදිහට මටසිලිටිය. කාංචනාගේ අකුරු තුළ මැජිකල් රියැලිසම් වල පීක් එක ඇති බව ට ඒ දවස් වල ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් ගියේය. ඒ දවස් වල මැජිකල් රියැලිසම් ගැන මෙලෝ දෙයක් නොදත් මා, මුලින්ම ඒ මොනාදැයි ඉගෙන ගන්නට විය. ඒ අතරමග දවසක කාංචනා අපේ අතට මේ පොත දුන්නාය. ඇයගේ සිත තුළ උපන් මායාවී කෙටි කතන්දර දහයක් මේ පොතේ තිබිණි. ඉන් පළමු වැන්න නිරුවත් වීමේ භීතිකාව සහ ආසාව අතර දෝලනය වන සිහින දකින්නන්ගේ කතන්දරයයි.
එතැන් සිට එකකට එකක් වෙනස් අමුතු විදිහේ මුල මැද අග හිතා ගන්නට බැරි මයා ලෝකයෙන් ගෙනා එහෙත් ඇත්තට සමාන කතා දහයක් එක පෙළට කියවීමි. කිසිම මහන්සියක් අවසානයේ නොදැනුණු අතර, බරක්ද නොවීය. මේ පොත අධික රුධිර පීඩනයට, හදවත් අමාරුවලට මෙන්ම කුඩා හෙම්බිරිස්සාවකට පවා ලබා ගත හැකි වටිනා බෙහෙතක් ලෙස වෛද්‍යවරු නිර්දේශ කළ යුතුය. කාංචනාගේ ගම්මිරිස් කුරුල්ලා එලිලිය යුත්තේ පොත් කඩයක නොව ෆාමසියකය. එසේත් නැත්තම් අතුරුපස වෙළඳ සැලකය. එය ඒ තරමට රසවත් ය.
ඇය හොඳම වචන හොඳ පෙළට යෙදීමට උපන් හපනියකි. මුල මැද අග හැම තැනක්ම චොක්ලට් අයිස්ක්‍රීම් මෙන් පුදුමාකාර රසය. මස්කට් කෑල්ලක් මෙන් මෘදුය. ඉතිහාසය පවා අලුතින් ලියන්නේ මේ වැනි ලියන්නියෝය. මෙතෙක් ඔබ යම් යම් දර්ශන වලට එළැඹෙමින් එක් එක් පොත් කියවන කෙනෙක් නම්, ඒ සමඟ කාංචනාගේ පොත නොකියවිය යුතුයැයි මම ඔබෙන් දණගසා වැඳ ඉල්ලා සිටිමි. ඔබ ඇඳ සිටින්නේ සාරියක්ද, ලුංජියක් ද, ඇලඩින් කලිසමක්ද, යන්න මායාවක් අතපත ගෑමට අදාළ නොවන්නේ යම් සේ ද, ඔබ එළැඹි දර්ශනයද මෙකී මායාවන්ගේ පහස විඳීමට නොවැදගත්ය. අවැසි වන්නේ ඔබට ඇති කියවීමේ හා දැකීමේ නොතිත් ඕනෑකමයි. කාංචනාගෙන් ගම්මිරිස් කුරුල්ලා අඳුනාගත් අයද, ගම්මිරිස් කුරුල්ලාගෙන් කාංචනා අඳුනා ගත් අයද යන දෙගොල්ලෝම මේ කෘතියේ සමාන අයිතිකරුවෝ වන්නේ ඒ හින්දාම විය යුතුය. ආතතියෙන් පෙලෙනා හැම කෙනෙක් වෙනුවෙන්ම ඉදිරියටත් සීතල පැණිරස අතුරුපස අකුරු වලින් මවන්නට කාංචනාට හැකි වීම අපේ ප්‍රාර්ථනයක් විය යුතුය.
-නෙරංජි ඒකනායක-
[පීන්තූරය ලේඛිකාවගෙන්ම නොඅසා ගත් එකකි]

8/21/16

-263- රැජිණ කියවීමි!

නවකතා යන්න විග්‍රහ කිරීමේදි, එය තව දුරටත් දිග කතාවක් නොවන බව අපි දනිමු. එය යම් සමාජයක පැති කඩක් , මිනිස් චරිත හා මනෝභාවයන් විග්‍රහ කරමින් දිගහැරෙන සෞන්දර්යාත්මක වදන් හරඹයකි. එය කතන්දරයක් කීමකට වඩා වෙනස් වන්නේ එබැවිනි. කෙටියෙන්ම එය යතාර්ථයට වැඩි නැඹුරුවක් ඇති, එහෙත් අවශ්‍ය මොහොතක අරුමැසියද යහමින් ස්පර්ශ කළ හැකි සාහිත්‍ය ශානරයකි. 
මම රැජිණ නවකතාව කියවීමි. ඉන් තෘප්තිමත් නොවූ පාඨකයන්ගේ කුලකයේ සිටිමි. මොහාන් රාජ් මඩවල මහතාගේ පෙර ලියන ලද නවකතාද කියවා අසංතෘප්තියට පත් වූ අයෙක් වූණ මුත්, මා මෙම නවකතාව ඉක්මනින්ම මිලදී ගන්නට පෙළඹෙන්නේ එය කියවා ඇතැයි සියත්ව ප්‍රකාශ කළ පාඨකයන්ගේ ප්‍රකාශයන් කෙරෙහි පැවති හුදු විශ්වාසයෙනි. 

යම් කාලයක් නිහඬව සිට කරන ලද නිර්මාණයක් ලෙස මෙම නවකතාව හරහා ලේඛකයා සිය ලිවීම කාර්යය තුළ මහා වෙනසක් සිදු කර ඇතැයි සමහරු කියා තිබෙනු මම දුටිමි. එහෙත් නවකතාව කියවා අවසානයේ මා ඒ ලේඛකයා තුළ අංශක එකසිය අසූවක් අනිත් පැත්ත ගැසූ ආඛ්‍යාන වෙනස නම් නොදිටීමි. 
සැබවින්ම නවකතාව තුළ මායාවී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණත් එය පරිකල්පනයකට එහා ගිය ව්‍යාජත්වයක නතර වී තිබිණි. සිද්ධි ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔහු වඩාත් අදක්ෂ වන්නේ, ඔහු සතුව ඇති දිළිඳු වාග් කෝෂයේ ශාපයෙනි. එකම ආකාරයේ ඡේද ගණනක් පිටු 300 කට අඩු මේ පොත තුළ මම දකිමි.
අභය සහ නාගවර්ණ දෙදෙනා ගැන සිදු කළ පිටු ගණන් විස්තර කතාවට විශාල අගයක් ගෙන එන්නේ කොතනින්ද යන්න පාඨකයෙක් ලෙස මට අපැහැදිළිය. ඔවුන් දෙදෙනා දොරටු පාලයන් ලෙස මැරී වැටෙන්නට පෙර වුවද දෙවොල තැනීමේ කාර්යයයේ දි හා දර කැටි තිස්ස යුව රජ ව මමියක් බවට පත් කරන කාර්යයයේදී ද ඔවුන් මහා මෙහෙයක් කරන්නේ නැත. මෙවැනි නවකතාවකට එතරම්ම බලපෑම් නොකරන චරිත කෙරෙහි හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ කතා ගැන වචන නාස්තිය නවකතාව සැහැල්ලු කරන්නක් නොවේද? ඔවුන්ට වඩා වාසුකී පිළිබඳ මීට වඩා චරිත හා මනෝභාව නිරූපණයකට ඉඩ පාදා ගත්තේ නම් කර්තෘ තරමක් දුරට හෝ සාර්ථක වන්නට ඉඩ තිබිණි. 
එමෙන්ම නවකතාවේ ආරම්භය එතරම් සිත් අදනා එකක් නොවන අතර, පාඨකයා සිය ක‍ෘතිය කියවීම උදෙසා ග්‍රහණය කර ගැනීම ලේඛකයාගේ අරමුණ වී නොමැතිදැයි සැකයක් මතුවේ. පොත මිලදී ගැනීම කෙරෙහි සිය ග්‍රාහකයාට ප්‍රබල බලපෑමක් කරන කර්තෘවරයා, පොත අතට ගත් තැන සිට සිය ග්‍රාහකයා වන පාඨකයාව අත්හැර දමයි.

ස්ත්‍රිය නිරූපණය කිරීමේදි සිය පෙර නවකතා වලට සාපේක්ෂව කර්තෘවරයා දක්ෂ වී ඇති බව පැවසිය හැකිය. ස්ත්‍රී චිත්තය හදිසියේ වෙනස් වන ආකාරයන් පිළිබඳව ඔහු නිරූපණයට උත්සාහ ගෙන ඇතත්, එය මනාව නිරූපණය වී නැත්තේ, ඔහු චරිත හා මනෝ භාව නිරූපණය කෙරෙහි අවධානය යොමු කර නොමැති නිසා විය යුතුය.
තව දුරටත් පෙර නවකතා හා සැසඳීමේදී මෙවර ලිංගිකත්ව නිරූපණය වහල සහ බිත්ති කඩා වැටෙන තරමට නැතත්, අනවශ්‍ය සුන්දරත්වයන් බලෙන් එක් කරන්නට ගොස් විනාශ කර දමා ඇත.
මෙය හුදෙක් තනි පුද්ගල විචාරයක් වන අතර, එය කියවන්නාගෙන් කියවන්නාට වෙනස් විය හැක. එබැවින් ඔබ රැජිණ මිලදී ගෙන කියවීමේ කිසිඳු ගැටලුවක් නැත. හොඳ පොත් ලියැවීම අඩු යුගයක, මෙවන් පොතක් හෝ පළ වීම අගය කළ යුතුය. එමෙන්ම මොහාන් රාජ් මඩවල මහතාට සිය නිර්මාණ කිරීම සාර්ථක කරගැනීම සඳහා පරිකල්පනය මෙන්ම අභ්‍යාසයද භාවිතා කළ යුතු බව විශ්වාස කරමි. තවද සිය ක‍ෘතියෙන් තමන් මුදවා ගැනීමට නිර්මාණකරු උත්සාහ නොකරන තෙක්, ඔහු කෙතරම් අලුත් චරිත පිළිබඳ ලිවීමට උත්සාහ කළද කැරකෙන්නේ තමා වටාමය. එවිට චරිත නිරූපණය තුළින් පරිකල්පනයට වඩා ව්‍යාජය මතුවීම ද නොවැලැක්විය හැකිය.
මොහාන් රාජ් මඩවල මහතාගේ අනාගත නිර්මාණ කාර්යයන්ට සුබ පතමි.
2016 -08-09