මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/27/15

-262- කෙටි කලබල සිහින සහ පුම්බන ලද සබන් බෝල

මම ඒ තරම් කවි ලියන්නට රුසියෙක් නොවෙමි. එහෙත් කවි කියවීමට මා රුසියෙකි. එබැවින් ඉතා කෙටි කලබල සිහින කියවමි. මට ඒ සුන්දර කවි උත්සවය මඟහැරිණි. බසු වෙස් මුහුණද, බුක් මාර්ක් ද අහිමි විණි. කෑමට දුන්නේ මොනවාදැයි මම මෙත්මලීගෙන් අසමි. මෙත්මලී සිටින්නේ බෙර ගසන තැනක බැවින් ඇයට මා කියන දේ ඇසෙන්නේ නැත. කෙසේ වෙතත් පොත සජීව ලෙස පිටුවෙන් පිටුව පෙරළීමේ ශංගාරාත්මක අවස්ථාව මඟහැර ගැනීම ගැන මට මා ගැන ඇත්තේ සියුම් කෝපයකි. එහෙත් නොමිලේම රචිකාවගෙන් ම විද්‍යුත් කොපිය ලැබීමට තරම් භාග්‍යවන්ත වීමි. නීතිවිරෝධී දේ කවදත් ප්‍රිය කරන මම ජංගම දුරකථනයෙන් කෙටි කලබල සිහින මේ මොහොතේ රසවිඳිමින් සිටිමි. සහන් පද්ම සංඛ ඇඳපු පිට කවරයෙන් පටන් ගනිමි. මම පිට කවර කියවීමට කැමැත්තෙමි. රැළි ගහන මුහුද අනිත් පැත්තට හරවා ඒ මත සවිකළ මලකඩ කෑ දම්වැල් ඇති වික්ටෝරියා පාර්ක් සම්ප්‍රදායේ ඔන්චිල්ලාවක් පදින මේස් සපත්තු දැමූ මොන්ගෝලියානු නව යොවුන් දැරියකි. ඈ වට පහලින් ගොඩනැගිලි හා මහාමාර්ග වලින් ගහණය වූ වෙරළබඩ නගරයකි. ඒ කොළඹ දැයි, මට කුඩා පින්තූර වලින් තේරුම් ගත නොහැක. එය කොළඹ වුවත්, වරායේ උඩින් චෛත්‍ය නොපෙනේ නම් මම එය කොළඹ යැයි පිළි ගන්නේ නැත. ඉතින් කෙසේ වෙතත්, එය සංවර්ධනයේ උත්කර්ෂයට පත් නගරයකි. සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි නම්, මහ මාර්ග සහ යටිතල පහසුකම් නම් එවන් සංවර්ධනයක ඉහළම හිනි පෙත්තේ, සාගරය කණපිට හරවා ඔන්චිලි පදින යුවතිය කුමක් බලාපොරොත්තු වෙනවා විය හැකිද? ඒ බලාපොරොත්තු “කෙටි කලබල සිහින “ වන්නට ඇත. රළ පෙළ මෙන් කලබලෙන් , කෙටි වෙලාවකින් ස්වේත රේඛාවක කිමිද නොපෙනී යනවා විය හැක.

පින්තූරය ගත්තේ Asian Mirror අඩවියෙනි.

නමින් “කෙටි“ යන වචනය දුන්නාට, ඒවාට ගැළපෙන්නට තරම් “කෙටි කවි“ අඩු යැයි මට සිතේ. නමුත් බොහෝ කවි කලබලෙන් ලියා ඇති බව නම් දැනෙයි. සමහර කවි කූඨප්‍රාප්තියෙන් එහා බොහෝ දුර යාම නිසා කවියේ රසය අඩු වී තිබේ. හැඟීම් වලට ලෝබ වීමෙන්, කවි අනවශ්‍ය තරමට ගලාගෙන යාමට ඉඩ දීම බොහෝ හොඳ කවියෝ කරන වරදක් යැයි මම සිතමි. කවිය ලියන්නේ ඔබ නම්, නරක ලෙස, දරුණු ලෙස ඔබේ කවියට විරුද්ධ වී කවිය නතර කරන්නට කවි කාරයන්ට බැරි ඇයිදැයි මම අසමි. කවියන් වචන වලට බය විය යුතු නැත. කවියන් හැම විටම තාලය ගැන සිතා වද විය යුතු නැතැයි මම සිතමි. කවි ලස්සන වන්නේ හොඳම පිළිවෙලට වචන යෙදීමෙන් මිස, තාලය අල්ලා ගැනීමට අකුරු හා සක්ක පද යෙදීම තුළින් නොවේ. බස්සි ලස්සනට ලියයි. එහෙත් මෙවැනි දේ මට අනුව ඒ ලස්සන මඳක් නතර කරයි.

උපුටා ගැනීම 1 - (පිටුව 24)
පෙරදිගම මුතු ඇටය මේකය.
උපුටා ගැනීම 2 - (පිටුව 23)
මහත කොන්දොස්තරා වරක් දෙවරක් උඩ පැන

“මුතු ඇටේ දැන් කාකි පාටය“ කවිය, මම බස්සිගේ ඉතා කැමති කවි අතර වෙයි. එහෙත් ඒ කවිය ඉවර විය යුතු තැනින් එහාට බස්සි දන්නා සම්පූර්ණ සිද්ධිය කවියෙන් කියන්නට යෑමේ වරද බස්සි කරයි. සමහර වචන වලින් ඒ වචන වලින් දනවන තරම් දෙයක් හදවතට නොදැනෙයි.

උපුටා ගැනීම 3 -(පිටුව 25)
“ අන්න ඒක (ලු) ලොකුම පාපය“

මෙහි “ලොකුම“ යන වචනය නැති වුණා නම්, මාගේ හදවත මීට වඩා රිද්මයානු කූලව කම්පනය වනු ඇත. මේ සෑම දෙයක්ම මා පවසන්නේ මට අනුවය. එය තව කෙනෙකුට වෙනස් විය හැක. “පාපය“ යන වචනය බයිබලය ආශ්‍රය කරගෙන වර නැගෙන ආකාරය තුළ මට “බට්ටී“ ගෙන් කුසලානය දරන මේරි මැග්ලන්ඩ් ව පෙනෙයි. මට පුදුම අපේ බස්සී රිද්මය නිසඟයෙන් එන තැන් බලහත්කාරයෙන් විනාස කර, රිද්මයක් නැති තැන් වලට බලයෙන් රිද්මය ඔබ්බවන්නේ ඇයි කියා ය. ඒ බස්සිගේ හුරුබුහුටි කම විය හැකිය.

“කොමන්ඩෝ පෙම්වතා ගේ සුරතාන්තය “ ගැන බසු ඇස දකින වෛරයට මම අකමැත්තෙමි. එහෙත් බස්සී කැමති ලෙස දකින්නට බස්සීට හැකිය. මම වෛරයට අකමැති, වෛරී කවි වලට අකමැති කෙනෙක් නොවෙමි. මේ මොහොතේ මම වෛරයට අකමැති වෛරය විසින් එකී කවියේ කවිත්වය යටපත් කරන නිසයි. මේ කවිය වෛරය පසෙක දා ලිව්වා නම්, බස්සී මීට වඩා වෙනස් ප්‍රවේශයක් සහිතව ලියන බව මට සහතිකය.

රබන් තලන ආච්චිලාගේ කවි නිමිත්ත, මම බස්සි ගැන ආඩම්බර වන කවි නිමිත්තකි. එහෙත් ඒ වචන පිළිබඳව මීට වඩා කල්පනා කාරී විණි නම්, බස්සි අනර්ඝ කවියක් බිහි කරනු ඇතැයි මම විශ්වාස කරමි. බස්සි තවත් බොහෝ මුවහත් විය යුතුය. බස්සිට මට වඩා සිහින ඉපදෙන්නට තරම් වාසනාවන්ත නිසා බස්සි අක්කා මුවහත් විය යුතුය. බස්සිගේ කවි වල වෙන කවියන්ගේ සුවඳ මට සමහර තැන් වලදී දැනුණත් එය මම ගණනකට නොගනිමි. කවියන් ආභාසය ලද පමණින් කුකවියන් යැයි කිව හැකි නොවේ. අපි දොහොත් මුදුන් තබන කවියන් පවා, සිය මුල් කවි වලදී තමන් අදහන කවියන්ගේ ආදරය කවි තුළට එබීමට ලෝබ වෙයි. මම එය කවියන්ගෙන් කවියන්ට ආත්මීයව ප්‍රේරණය වන ආදරය යැයි අදහමි.

බස්සි අක්කා තාමත් හත් පෙති මල අදහයි. සමනළයන් විශ්වාස කරයි. එබැවින් ඇයගේ ලෝකය ට බර සාර විචාරයන්ට වඩා සහෘද විචාර ඕනෑ කරයි. බස්සිට නිතර තර්ජනය කරන, බනින මෙන්ම ආදරේ කරන මම කියූ දේ බස්සිගේ කවි ලෝකයට හොඳක් කරත්වායි මම පතමි. බස්සි තව බොහෝ දුර යන්නට නම්, බොහෝ කවි කියවිය යුතුය. බස්සිගේ ආත්ම ප්‍රකාශනය කවිය නම්, කවි ලියන්න බස්සි උගත යුතුය.

හදිසි සුන්දරත්වයකින් එකවරක් හෝ ඔබ මුසපත් කිරීමට තරම් බසු කවියට හැකියාව ඇති බව ඔබ තේරුම් ගත යුතුයි . එය හරියටම පුම්බන ලද සබන් බෝලයක් වැනිය. ඔබ වටා දෝලනය වෙමින්, ඔබව ඒ තුළට ගනිමින් පවතින ලෝකය පුංචි සුන්දරත්වයකින් පෙන්වා අවසානයේ පුපුරා යයි. බසු කවිය කියවන්න. සුබ අනාගතයක් බස්සි අක්කේ.






මීට,
ස්ටෝබේරි කිරි සහ කෝන් ෆැලැක්ස් සමඟ
රෝස වලාකුළු වල සිටින මම
2015-12-21

12/24/15

-261- හීන කාණුව

“වැඩියෙන්ම අමාරු එයා ළඟ නිදා ගන්න එක නෙවෙයි. එයාගෙ පරණ ගෑණු අයගෙ උජාරුව අහන එක“ මේ දවස්වල තමන්ගෙ පෙම්වතා ගැන ශානිකා මට කිව්වෙ එහෙමයි.

ශානිකාව මම අඳුන ගත්තෙ ගාමන්ට් එකේ වැඩට ආපු පළවෙනිම දවසෙ. එදා මා එක්ක මුලින්ම කතා කළේ එයා. මේ වෙද්දි ගාමන්ට් එකේ ගෑණු ළමයි අතර මට අනික් අයට වඩා ටිකක් ඉහළ තැනක් තියෙනවා. ඒ සුපයිසර් මට කැමති නිසා. ගෑණු ළමයි කවුරුත් මට දුක කියනවා. එයාලා හිතන්නෙ මගේ බහට එයාලාට වැඩිපුර ඕ ටී සාලිය සර් ගෙන් හම්බවෙයි කියලයි. ඒත් සාලිය සර් නෙවෙයි ඕ ටී දාන්නෙ, ජානකී නෝනා. ජානකී නෝනාව යාලු කරගන්ඩ කාටවත් බෑ. ජානකී නෝනා හරි උඩයි. එයා දෙවනි බොස් ගෙ ස්පෙයාර් වීල් එකක් කියලා ශානිකාමයි මට කිව්වෙ. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නැතත්, උන්ට ඕනෙ උන්ගෙ හිත රවට්ට ගන්න නම්, මට මොකෝ..

“බෝඩිමේ කුලිය දීලා දවසට දෙවේල කෑවම ගෙදරට යවන්නවත් කීයක්වත් ඉතිරි වෙන්නෙ නෑ අනූ“ ජයන්ති තේ කෝප්පෙ මේසෙ උඩට තල්ලු කළා. කැන්ටිමේ ෆෑන් එකක් නෑ. ෆෑන් එකක් තිබ්බොත් වැඩි වෙලාවක් එතන රැඳෙයි කියලා, පර්සනල් එක බයයි. ජයන්තිගෙ බඩට දැන් මාස හයයි. ඒ නිසා දාඩිය දානවත් වැඩියි. ජයන්ති පව්!

එයා තාමත් නීතියෙන් බැඳලා නෑ. ජයන්ති යාලු වුණ ත්‍රීවිල් අයියා දැන් ඒකිව මඟ අරිනවා. ත්‍රීවිල් අයියාට සැකලු දරුවා ගැන. පිරිමි ඔක්කොම වගේ ඔහොමයි. කරද්දි කිසි ප්‍රශ්නයක් නැතිවට, එතනින් පස්සෙ ආත්ම ගෞරවය, සංස්කෘතිය, රටේ සංවර්ධනය ඔක්කොම ගැන සෑහෙන හිතනවා. එහෙම නැත්තං ජින්ටෙක් එකටත් වඩා ඩී එන් ඒ ප්‍රශ්න එයාලාට තියෙනවා. ජයන්ති නං දැන් හිතෙන් ඒවා අතෑරලා තියෙන්නෙ. ආවොත් බඳිනවලු. නැත්තං ලබන මාසෙ එකතු කරගත්ත ටිකත් අරන් කොහේ හරි ඈත පළාතකට යනවලු. ආයෙ ගමේ යන්නෙත් නෑලු.

හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ බෝඩිමම තනිකරම ප්‍රශ්නයක්. පුංචි කොල්ලන්ට විස්ස විස්ස දීලා ලෑලි බිත්තියෙ ගුල් හදවන මාටින්ගෙ සෙට් එක රෑට රෑට අපි ඇඳුම් මාරු කරන කොට ඒ ගුල් වලින් බලා ඉන්නවා . අපි කරන්නෙ පෝස්ටර් අලවලා හවසටම ඇතුළෙන් හිල් වහන එක. එකම කාමරෙන් දෙපාරක් කුලී ගත්තාට මොකද සිරිලා අක්කාටත් අපි ගැන කිසි කැක්කුමක් නෑ. එකම වෙලාවට ෂිෆ්ට් එක මාරු වෙන කට්ටි දෙකකට එකම බෝඩිම රෙන්ට් කරලා ඒ ගෑණි ඩබල් හොයනවා.

මේ ලෝකෙ හරිම පුංචියි. අපි දකින්නෙ ඊටත් වඩා පුංචි ලෝකයක්. ගාමන්ට් එකයි.. කුණු ලේන් එකයි, ලෑලි බෝඩිමයි,කඩ පේළියි විතරයි අපේ ජීවිතේ. දවල් බාගෙට කාලා පිඟන් වල ඉතුරුකරලා ගිය මස් කෑලි, ආයෙ රෑ කොත්තුවෙ ගහලා දවල්ටත් වඩා වැඩි ගාණට විකුණන නානා වගේ අපිත් එකම තැන පල් කරන ජීවිතේ ආයෙ චුට්ටක් සුවඳ ගස්සලා අලුත් දවසකට ගෙනියනවා. කාගෙවත් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කාටවත් දුක්වෙන්න බෑ. තේරුමකුත් නෑ. මට වඩා පස්සයි පපුවයි තියන කෙල්ලෙක් ආවොත් සාලිය සර් ඒකි එක්ක යාලු වෙයි කියලා මට වුණත් නිතරම හිතෙනවා.

දැන් වහින්න පටං අරං.. කුඩේ අමතක වෙන තැනින් පටන් ගන්න ප්‍රශ්න තමයි හුඟක් භයානක කියලා බැඳපු නැති ලොකු අක්කා ගමේ ගිය දවසක කියනවා මං අහගෙන. මැහුම අස්සෙන් රංගිකා හොරෙන් හොරෙන් ඔඩොක්කුවෙ තියාගත්ත ෆෝන් එකට එබෙනවා. මම මැෂිම පෑගුවා. ජීවිතෙත් හරියට ජුකී මැෂිම වගේ... කොච්චර කැරකුණත් එකම තැන.

අපේ හැම කෙල්ලෙක්ගෙම හීනෙ ලස්සන ෆෝටෝ අරං ෆේස්බුක් යන්න පුළුවන් ෆෝන් එකක්. ඒවායෙ ඉන්න ජාතියෙ රට දැයට ලැදි, එහෙමත් නැත්තං ඒ ඔක්කොටම පලු යන්ඩ බනින තාලෙ හොඳ හැටියට සල්ලිකාර ජේත්තු කොල්ලෙක් පල්සර් එකක නැගලා කවදාහරි එයි කියලා උන් හිතා ඉන්නවා. උන් ඒ ගැන හීන දකිනවා. ඒත් ඒ හීන වලට මේ වැස්ස ඇළ දොළ ගංගා දිගේ මහ මුහුදට තුරුළු කරන වතුර කඳ තරම් ඈතට ඇදිලා යන්න වරම් නෑ.. අපේ හීන වත්තෙ කුණු වතුර කාණුවෙ වතුර වගේ. පල් වෙච්ච ඇල එහා වගුරෙන් හැම දාම නතර වෙනවා.