3/31/15
-255- චානක ගේ උදෑසන
හුළං කවුළුවෙන් පෙරිලා එන ඉර එළිය තීරුවක් හැමදාම මේ වෙලාවට හරියටම ඇස් දෙක උඩ හිටගන්නවා.මම හරිම අමාරුවෙන් ඇස් ඇරියෙ.
හෙමිහිට හිරි ඇරලා, පුංචි ඉණිමගෙන් බහින්න කලින්ම පෙනෙන්නෙ යට නිදියගෙන ඉන්න කනිෂ්කයාගෙ කුණු කෙළ මූහුණ. උගෙ මූණ දකිද්දිත් මට හරි කේන්තියි. ඊයෙ මගෙ බිත්තරේ මම අහක බලනකං ඉඳලා මූ ගිල්ලානෙ. දැන් හොඳට නිදා ඉන්න හැටි විතරක්. දැක්කම මට උගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා අනිත් පැත්තටම. මම කනිෂ්කට වගේම ජයංග ට කැමතිත් නෑ.
ඒත් මෙහෙදි කාටවත් කැමති අකමැති වෙලා වැඩක් නෑ. මාසෙකට වතාවක් ඇඳන් මාරු කරද්දි අපේ මැඩමම්මා එක එක අතට අපි කට්ටියවම මාරු කරනවා.
තවම උදේ තේ බෙල් එක ගහන්න වෙලාව තියෙනවා.
රංගයා වගේම නුවනුත් ලෑස්ති වෙලා ඉවරයි. දැන්ම ගියොත් වතුර නවත්තන්න කලින් නා ගන්න පුළුවන්. රංගයා තමයි අපේ නිවාසෙ දක්ෂම එකා. ඌ ගිය පාරත් පන්තියෙ 14 වැනියා. ඌ ශිෂ්‍යත්වෙ පාස් වෙයි කියලා තමයි මැඩමම්මා කියන්නෙ. මම කළේ ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දෙ. මම ෆේල්. ලකුණු 67 නෙ තිබ්බෙ. පේපරේකට ලකුණු 30 ට වඩා අරන් නිසා, මට නම් ඒ ඇති. වෙන ළමයින්ට තරම් අපිට ඒ ප්‍රශ්නෙ නෑ. හැම දෙමාපිය රැස්වීමටම මැඩමම්මා එන්නෙ නෑ. එයා එන්නෙ වාරෙකට සැරයයිනෙ. එතකොට ප්‍රින්සිපල් අපි හැමෝගෙම ෆයිල් බලලා කියනවා. ලකුණු අඩු වුණාට ගුටි නොකෑවට, අලාබ හානි ගැන ෆයිල් එකේ තිබ්බොත් නං එදා රෑට කෑමත් නෑ. ඒත් අපි ජනේල් දෙක තුනක් , බංකුවක් පුටුවක් නොකඩපු වාරයක් නැති තරම්.
පිටින් වෙන කවුරුවත් නැති වෙලාවට එයාට අපි මැඩම් කියලා කතා කරනවා. පිට කවුරුවත් ඉන්නකොට, අම්මා කියන්න කියලායි උගන්වලා තියෙන්නෙ. හැබැයි අපි එයා නැති වෙලාවට, දෙකම එකතු කරලා මැඩමම්මා කියනවා.
කුස්සියෙ උයන, බෝධිපාල අයියා මරු පොර. දෙකක් දාගත්තාම තව හොඳයි. රේඩියෝ එකේවත් නොයන සිංදුනෙ කියන්නෙ. ඒත් මේ හැම දේම මම ළඟදිම දාලා යනවා. අවුරුදු දොළහ සම්පූර්ණ වුණාට පස්සෙ මෙහෙ තියාගන්නෙ නෑ.
අද පෝය දවස. ඉස්කෝලෙ නිවාඩුයි වගේම, අද කොහෙන් හරි දානෙත් ලැබෙන්න ඉඩක් තියෙනවා. දානෙ අපට පිඟානට බෙදලාම යන එකට නිවාසෙ අපි කවුරුත් කැමතියි. බඩු මුට්ටු දීලා ගියාම, ඒවායෙන් කවදාවත් අපේ බත් ඉදෙන්නෙ නෑ. ඒත් දානෙ අරන් එන අය බත් බෙදලා කාලා ඉවර වෙනතුරු කටවල් දිහා බලාගෙන ඉන්න එකට වඩා නම්, හැමදාම කන හොද්දයි බතයි හොඳයි.. රංග තමයි හොඳටම පින් දෙන්නෙ, ඒ නිසා රංගට හාමුදුරු පුටුව වගේ ලොකු පුටුව ලැබෙනවා... රංග වුණත් කොයි කාටත් දෙන්නෙ එකම පින් ටේප් එක.
"අද උපන්දිනය සමරන හිස්තැනක් බබාට, නිදුක් නිරෝගි සුව ලැබේවා. අපිට දුන් මේ දානයේ බලයෙන්. හොඳින් ඉගෙනීමට හැකි වේවා. පවුලේ සැමගේ සියලු කටයුතු ඉටුවීමට අවශ්‍ය වාසනාව ධෛර්යය ලැබේවා. " හිස් තැනට අදාළ බබාගෙ නම දාලා අපි හැමදාම ඔය ටික තමයි කියන්නෙ. උපන්දිනේට දානයක් දුන්න පලියට විභාග පාස් වෙනවාද කියලා මං දවසක් බෝධි අයියාගෙන් ඇහුවා. ඒ යකා මට තෙල් හැන්දෙන් ඇන්නා.. ඒක අහන්න නරක දෙයක් වෙන්නැති.
අපි ඉස්සරහ අයිසිං කේක් කපලා.. එයාලාට එයාලාම කවාගන්න කට්ටිය එන්නෙ හවස තේ වෙලාවට.. එයාලා අයිසිං කාලා අපිට දෙන්නෙ බටර් කේක් එක්ක තේ. මං එහෙම අයට නම් කැමතිම නෑ. ඇයි අපිට අයිසිං කේක් කෑවොත් කැවෙන්නෙ නැද්ද!! මාව දාලා ගිය අම්මා තාත්තාව මම නොදන්න නිසා මං එයාලට දොස් කියන්නෙ නෑ.. ඒත් මෙහෙම උපන්දින වලට අපේ නිවාස වලට ඇවිත් අපි ඉස්සරහ තමන්ගෙ දරුවන්ගෙ උපන්දින ජයට ගන්න අම්මලා තාත්තලා ගැන මට තියෙන්නෙ තරහක්.
අපිට මොකටද එයාලාගෙ උපන්දින.. එයාලා කරන්නෙ එයාලාගෙ සතුට අපට පෙන්නලා යන එක විතරයි.. අපිව සතුටු කරන එක නෙවෙයි.. ඒත් පිටින් ලැබෙන ඕනෙම කෑමකින්, බෝධි අයියාගෙ කෑම වලට වඩා බඩ සතුටු වෙන නිසා, ලැබෙන ඕනෙම දානෙකට මං කැමතියි...
කණිෂ්ක ගෙ කුණු කෙල පෙරෙන මූණට පයින් එකක් ඇනලා මං මේ දැන් ඇඳෙන් බැස්සා.. තව ටිකකින් බෙල් එක වදීවි. ඊයෙ රෑ බත් කෝප්පෙන්, බාගයක් ධේනුකයා උදුරගෙන ගිල්ල නිසා මට හරිම බඩගිනියි.
Subscribe to:
Posts (Atom)