ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?
මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.
ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ. අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා.
ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.
ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද?
ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?
මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.
එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.
එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා.
මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්, මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත් මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.
වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....
විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...
සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...