මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/29/12

ආසයිද එක වරක් (පන්තියේ කතාවක්)



එකම පන්තියක හිඳ සිනාසුනු කාලයක්.
එකම මේසය වටේ දඟ කරපු කාලයක්
බත් පතක එකට කන යාලූවෝ පරපුරක්
නික්මිලා ගිය බවද තවම මට සිහිනයක්


අපි එන්න ඉස්සරත් පන්තියේ ළමයි ඇති
අපි යන්න ගිය පසුත් තව තවත් ළමයි එති
ඒ කවුරු ආ නමුත් ඔවුන් යළි අපි නොවෙති
අපි නොවන අපි වගම අප සියල්ලොම දනිති


කවුරුවත් නැති දිනක හිස් වෙච්ච පන්තියේ
දොරකඩට පැමිණිලා වාරු වී බිත්තියේ
අප කතාකළ බොහෝ දේ රැදුණු කණ්ඩියේ
කන තබා බලනු මැන හඬ තරඟ පණ තියේ


ඔරලෝසු කටු තුනම ආපස්සෙ කරකලා
වැරදිච්ච බොහෝ තැන් “යළිත් “ හරි ගස්සලා
එමු ආයේ පන්තියට යහළුවනි එක්වෙලා
එකම එක්වරක් ආසයි යන්න හිනැහිලා


හිතින් පිය මනින සඳ හුදකලා ඉසව්වක
මතක් වෙයි ඔබට අප සිටි බවද කිට්ටුවක
එදින ඇස පිරූවොත් කඳුලු බිඳුවක් මතක
පිසින්නට එපා ඒ හැඟුම එක “සිහිනයක“

2/23/12

උෂාන් හෙවත් අන්තිමයා නම් ඔහු


උෂාන්ගේ 23 වන උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ හොඳම මිතුරිය විසින් ලියා ප්‍රස්දිධ කරන ලදි.

දයාබර යාළු/ ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/ උෂාන් වෙත,

මීට අවුරුදු පහක් ඉස්සර දි
එදත් අද වගෙ පෙනුණු දවසකදි
නුඹට මතකැයි කියා සිතනවා
අපෙ පුරුදු නෙස්කැෆේ වට රවුම.

උන් බොහෝ අය හදින් දුර ගොස්ය
නමුත් අපි දෙදෙන තවමත් මෙතැන
යන උන්ට හිනැහිහී සිටි අරුම
සංසාරෙ මිතු දමක බල මහිම..

හද සොහෙනේ ගල් පුරා වැඩී ඇති
පාලු මකනට සඳක් අරන් විත්
තබා තනියට ළඟින් දුර නොයා
මෙතක් කල් සිටි අයුරු අපූරුය..

අද වගේ තවත් අවුරුදු හැටක්
උදේ අද විලසින්ම නුඹ වෙතට
රැගෙන එන්නට පුංචි සුබ පැතුම
හැකි වුණොත් නුඹෙ පුංචි යෙහෙළියට

දාමු අපි ටිකක් ලොකු පාටියක්
හදමු අපි උඹ ආස බුල්සායි.
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
නුඹ දෙඇස් හීන් කර කියාවී.

“කද්දි මම කලබලයි ඒ නමුත්
නුඹයි හැම දේකටම හදිස්සී..

මේ ලොවේ මෙතෙක් කල් පහල වූ
අපූරූම යෙහෙළි මම නොවේදැයි
එවිට මම හිනැහිහී අහද්දි
නුඹ බැරෑරුම් මුවින් කියනවා.

“මැස්සෙක් ගිය උඩ!“

මම යෙහෙළි/ගෙම්බි/ඉබ්බි/යෝධි/මැට්ටි/අලෝ/ගීෂා/නෙරංජි

2/21/12

හදවතේ කමෙන්ට් එක සොයා| සිතෙහි ඇලවෙන ඇඩ්



අද ලිපියක් ලියන බවට මම පොරොන්දු වුණානෙ. ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්නෙ. අද මම කතා කරන්නෙ පොදු ජන හිත සුව පිණිස කොහොමද මේ ප්‍රචාරක දැන්වීම් කලාව භාවිතා කරන්නෙ කියලා.නොයෙක් රටවල් ගැන කළ අධ්‍යනයකින් පසු ,මගේ රසයටදැනෙන පරිදී ජනතා මනස ක්ෂණිකව වැරෙන් ස්පර්ශ කර, නමුත් සියවසක් සිතන්නට දේ එකතු කරන ප්‍රචාරක දැන්වීම් කලාවක්
ඉන්දියාවෙ තියෙනවා. ඇත්තටම මම එම දැන්වීම් වලට බොහෝම ඉරිසියයි.

ඉන්දියාව අද ජනගහණයෙන් වැඩි නිසා සංවර්ධනය වියයුතු මට්ටමක හිටියත් සියලු ක්ෂේත්‍ර අතින් ඉහල තැනක ඉන්නෙ පොදු ජනතාව නිතර නිතර අදීන කරවමින් පිබිදිය යුතුය යන හැඟුමෙන් අවදි කරන පුදුම ජාති වාත්සල්‍යකින් යුතු ප්‍රචාරක දැන්වීම් පට නිසාදෝ කියලා මට හැඟෙනවා.

මේ ප්‍රචාරක පට කොටින්ම කෙටි සිතුවම් පටකට වඩා ප්‍රබලයි.




පාරේ ගසක්, කඩා වැටිලා.. පොලීසිය නිදි.මන්ත්‍රී වාහනයක් ගෙන්වා ගසට උඩින් පැන පාර්ලිමේන්තුවට. දැන් මහ වැස්සක්. සියල්ලෝ තම තම වැඩ වල. කුඩා දරුවා පාසල් බෑගය පසෙක දමා තනිව ගස ඉවත් කිරීමේ ප්‍රයත්නයක. නායකයෙකු ලැබූ කුඩා දරුවෝ ඔහු ගේ සහයට. දැන් වැඩිහිටියන්ට බලා සිටිය හැකිද? නැත. සියල්ලෝම එක්වෙති. ගස පෙරලති. කුඩා දරුවා වටා කෙතරම් ජනකායක් එක්වන බව ඔබට හැඟුනාද? ඒ එක් වූයේ කුඩා දරුවා වටා නොව
පොදු හිත සුව පිණිස පෙර ගමන් කරන්නා වූ පුරෝගාමියා පසු පස නොවේද? මෙය වෙළඳ දැන්වීමක් නොවේ. ඉන්දියා ටයිම්ස් පුවත් පත පුරෝගාමීන් සොයනා ඉන්දියාවට එරෙහි ඉන්දියාව යන වැඩසටහනේ පෙර දැනුම් පටයක්.. එය රියැලිටි වැඩසටහනක්. අපි ගීත රියැලිටි ටිකක් බදන්
හිටියාට ඔවුන් අපිව දමලා දුර ගිහින්. අපි ගන්නෙ නරක විතරයි. ඇයි මේ වගේ පෙරටුගාමී අදහස් අපි නොගන්නෙ.

කොපි කරන්න නම් කවදාවත්ම ඕනෙ නෑ. මීට වඩා හොඳ නිමිති සිය දහසක් මේ පොළවෙ තියනවා.. ඔබගෙ ඇස් මේ දැන්වීමටත් යොමු කරනවා. එය ත් හැදුවෙ ඉන්දියාවෙ

  


මේ  දැන්වීම හදවතින්ම බැලුවා නම් ඔබට බොහෝ දේ සිතේවි... ඒවා වෙළඳ දැන්වීම් නොවන වගත් ඔබට හැඟේවි. ලංකාවේ මීට වඩා වෙනස් කෝණයකින් ඉතාම සංවේදී ප්‍රචාරක පටයක් මෙම තේමාව ඔස්සේම නිර්මාණය කළා. අන්ධ බව කියන්නෙ අද ටෙලි නාට්‍ය තුළ බොහොම විකිණෙන දෙයක්.නමුත් ඒ දෙස අපි බලන්න ඕනෙ ධනාත්මකව.

අන්ධ අයට තමන්ගෙම ජීවිතයක් දකින්න ඇස් දෙන විදිහට අනෙක් අයගෙ හිත හදන්න අපට ප්‍රචාරක පටයකින් පුළුවන් නම් හරිම අගෙයි නේද? බලන්න. ඔබට හිතෙන දේ.මම මුකුත් නොකියන්නෙ ඔබට හිතන්න දෙයක් ඉතිරි කරන්න. ලංකාව කියන රටට යමක් කළ හැකි වග පෙන්වන්න. මෙය කොපියක් නෙවෙයි. පෙර පටයෙ අභාසය දැනුණත් ඒ ගැන තැකීමක් කළ යුතු නෑ. මේ වෙනස් කතාවක් නිසා.

මේ ඉහත අපි බලපු ලංකාවෙ වෙළඳ දැන්වීමෙන් පස්සෙ ඉන්දියාවෙ ව්‍යාප්තිවාදයට ඔබ අකමැති වුණත් දැනුවත් වීම උදෙසාම මේ දැන්වීම් බලන්න කියලා කියන්න සිද්ධ වෙනවා. මේ දැන්වීම් වල තියෙන ජවය අපේ රටට ආදේශ කරගෙන මීට වඩා හොඳ නිර්මාණ කරන්න පුළුවන්.අපි හැමදාම එකතැන පල්වෙන ජාතියක් වීම සිදුවීමට අපේ මාධ්‍ය භාවිතය වග කිව යුතු වග ඔබට දැන් හැඟෙනවා නේද?


ඔබට හැකි නම් මේ ලින්ක් ඔස්සේ යන්න... මම තවත් විග්‍රහ නොකර ඉන්නම් ඒ ගැන . බලන්න වෙන රටක දෙයක් වුණත් ඔබට මේ අනුසාරයෙන් අපේ රට ගැන හිතන්න පුළුවන්. මේ  දැන්වීම එහෙම පිටින්ම වගේ 2011 වසරෙ නිදහසේදී අපේ රට කොපි කලා.දවස් දෙකක් වත්  එය ප්‍රචාරය වුණේ නෑ.අපරාදෙ ඒ වෙනුවෙන් වියදම් කළ මුදල්. අනුකරණය නොකර වටනා යමක් කරන්න තිබ්බා කියන දේත් මෙය නරඹන්න ඔබට ලින්ක් එක දෙන ගමන් නිර්මාණකරුවන්ට සිහිගන්වනවා.

මෙන්න ඉන්දියාවේ ඔරිජිනල් නිර්මාණය   මට ලංකාවෙ කොපිය හොයාගන්න බැරිවුණා. මං හිතන්නෙ එය යූටියුබ් දමලාවත් නැහැ.

අපි යූටියුබ් ගියත් බහුතරයක් වෙලාට බලන්නෙ අනවශ්‍ය දේ. මේ වගේ බුද්ධියට දැනුමට එක්වෙන අල්ත් යමක් හැමවෙලේම බලන්න අපි පුරුදු වෙන්න ඕනෙ.මම හිතන්නෙ මම ඒ කියපු දේ හරි.

හෙට ඔබට තවත් අලුත් දෙයක් මේ ඔස්සේම දෙන්නම... දුන්න පිටු වලට ගියාම පසෙක තියෙන වීඩියෝ අතුරින් තවත් හොඳ ප්‍රචාරක දැන්වීම් ඔබට හමුවේවි.ඒවාත් නරඹන්න.ඔබ මෙතන දමන කමෙන්ට් එක නෙවී වැදගත් හදවතට ඔබ දමාගන්න කමෙන්ට් එක..

නව නිර්මාණකරුවන් බිහි කරන්න ලංකාවට ඕනෙ වෙලාවක්.. පොදු ජන හිත සුව පිණිස ජන මතය ගොඩනංන්න දැන්වීම් කලාවක් පටන්ගන්න පුරෝගාමීන් වෙන්න ඕනෙ..නව පරපුරෙ අපි. ඔබ ලෑස්තිද?

2/20/12

හිතට ඇඩ් වෙන ඇඩ් කලාව



නිතරම රූපවාහිනී යන්ත්‍රය ළඟට වෙලා අපි ටෙලි නාට්‍ය නරඹනවා. මේ අතරෙ යන ඇඩ් නම් වෙලාවකට ඇත්තටම ලොකු කරදරයක් වග තමයි, අහන දකින හැමෝම කියන්නෙ. ඒ නිසාම අද මම මගේ ලිවිල්ලට තේමා කරගන්නෙ ඇඩ්.

ඇඩ් වලට සිංහල බසින් කියන්නේ ප්‍රචාරක දැන්වීම් කියලා. ප්‍රචාරක දැන්වීම් කියලා කීවාට අද වනවිට හැමෝම ඇඩ් වලට සිංහලයෙන් කියන්නෙ වෙළඳ දැන්වීම් කියලා. ඒත් ප්‍රචාරක දැන්වීමක් හැදිය හැක්කේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමේ පරමාර්ථයෙන් පමණක්මද?

නැහැ. ප්‍රචාරක දැන්වීම්කරණයට නිර්වචනයක් තියෙනවා. මම ඒකම කියන්නම් ඔයාලා කාගෙත් දැනුමට.

ප්‍රචාරක දැන්වීම්, වෙළඳ දැන්වීම්, යනුවෙන් හඳුන්වන්නේ හුදු භාණ්ඩ හා සේවා ආදී පාරිභෝගික භාණ්ඩ අලවිය සඳහා උපකාර කරගන්නක් ම නොව පොදු ජන හිත සුව පිණිස යොදා ගැනීමට හැකි,දැනටමත් යොදා ගනිමින් පවතින මාධ්‍යකි. ඒහෙයින් ප්‍රචාරක දැන්වීම් සඳහා සැපයිය හැකි හොඳම නිර්වචනය නම්, මහජන මතය ගොඩ නැගීමේ ශිල්පය යන්නයි.

ඒත් සමස්තයක් වශයෙන් ගත්තොත් අද වැඩිපුරම මේ ප්‍රචාරක කලා මාධ්‍ය භාවිතා වෙන්නෙ අලෙවිය උදෙසා කීවොත් නිවැරදියි. මොනවාද වැඩියෙන්ම අලෙවි වෙන්නෙ? භාණ්ඩ හා සේවා. වැඩියෙන්ම අලෙවි වෙන සේවාව දේශපාලනය කියලත් මතක තියා ගන්න.

සාමාන්‍ය වෙළඳ දැන්වීම් ක්‍රමයෙදි  බලන්නෙ එම භාණ්ඩයේ හෝ සේවාවෙ විකිණිය හැකි දේ මොකද්ද කියලා. ඒ කියන්නෙ හැම දේකම සුවිශේෂි අලෙවි ලක්ෂණයක් තියෙනවා. බොහොම සරළ උදාහරණයක් තමා සන්ලයිට් සහ ලක්ස්.  සන්ලයිට් වලින් ලක්ස් කොහොමද වෙනස් වෙන්නෙ. , ලක්ස් සුවඳයි. එහි කෝස්ටික් අඩුයි. එහෙනම් ඇඟට හොඳයි. එහි තියෙන්නෙ සුමුදු බවක්..එහෙනම් එය කාන්කාවන්ට සුදුසුයි. ඔන්න ලක්ස් වල අලෙවි ලක්ෂණය. මේ ආකාරයෙන් බහුතරයක් භෘණ්ඩ වල සේවා වල අලෙවි ලක්ෂණයක් තියෙනවා... නැති භාණ්ඩයකට එවැන්නක් නිර්මාණය කරන්නත් නිර්මාණකරුට පුළුවන්. ඒ නිසා තමා අද අවංක දේශපාලඥයන්ගෙන් රට ඉතිරිලා තියෙන්නෙ.

සෑම පාරිභෝගික භාණ්ඩයක්ම ඒවායේ අලෙවි ලක්ෂණය මත ඉලක්ක කණ්ඩායමක් ලැබෙනවා. ඒ අයට තමයි මේ ප්‍රචාරණය සිදු කරන්නේ.ඉතින් මේ සංකල්ප ඉලක්ක කණ්ඩායම් වල මතයක් බවට පත් කරන්න මෙම ප්‍රචාරණ සැලසුම් හරියට නිර්මාණ කරුවා ස්ථානගත කරනවා. අද වෙන කොට ප්‍රවේශ කිහිපයකින් මේ දැන්වීම් ක්‍රමය භාවිතා කරනවා.එය මෙහෙම වර්ග කරන්න පුළුවනි.

භාවපූර්ණ ප්‍රවේශය
හේතුසාධක ප්‍රවේශය
ශෘංගාරාත්මක ප්‍රවේශය
සාඩම්බර ප්‍රවේශය
රුචිකත්ව ප්‍රවේශය

දැන් කට්ටියම බලනවා ඇති මොනාද මේ කියලා...  ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා පස්සෙ උදාහරණ දෙන්නම්.



සමහර දේවල් කියන්න ඕනෙ විදියක් තියෙනවා.ඔළුවට වඩා යමක් පපුවට දැනුණොත් එහි අගය වැඩිවෙනවා නම්,එහෙමත් නැති නම් අපි ඉලක්ක කරගත් කණ්ඩායම යම් කිසි ආකාරයේ සංවේදනාත්මක යමක් එම භාණ්ඩය තුළින් බලාපොරොත්තු වෙනවා නම් අපි එම අයිතමයට වෙළද ප්‍රචාරක පටයක් සෑදීමට පිවිසිය යුත්තේ භාව පූර්ණ ප්‍රවේශයෙන්.

යමක් ගැන වැඩියෙන් දත්ත දක්වන්න අවැසි නම් එයට හේතු සාධක ප්‍රවේශය අනිවාර්යයෙන් යොදා ගන්නවා.. යම් භාණ්ඩයක් සේවාවක් සඳහා කෙනෙක්ට ශෘංගාරය යොදා ගන්න පුළුවන්.. එහිදි ඉලක්ක කණ්ඩායම,භාණ්ඩයේ අලවි ලක්ෂණය ගැන එහෙම හොඳින් හිතන්න ඕනේ. සාඩම්බර ප්‍රවේශය කියන්නෙ  එයත් කන්නෙ ඒවා... ඒ නිසා ඔබත් කන්න කියනවා වගේ දෙයක්. ඒ කියන්නෙ යම් පුද්ගලයෙකුගේ කීර්ති නාමය භාවිතා කරලා වෙළඳ අයිතමයට සාඩම්බර බවක් ලබා දීම. රුචිකත්වයේ ප්‍රවේශය බලපාන්නේ ගොඩක්දුරට ආහාර ගැන වෙළඳ දැන්වීම් කරන විට...කවුරු හරි කනවා දුටුවාම අපේ කටටත් නිකන්ම කෙළ උනලා කාලා බලන්න හිතෙනවා වගේ දෙයක් තමයි කියලා කියන්න පුළුවන්.

දැන් මම මේ හඳුන්වපු දේවල් කවලම් කරලා හෝ කලවම් නොකර හෝ අඩු වැඩියෙන් භාවිතා කරලා තමයි අද ඔබ දකින හැම වෙළඳ දැන්වීමක්ම හදලා තියෙන්නෙ..

අතීත ලංකාවෙ වෙළඳ දැන්වීම් කලාවෙ ඉඳන් අපි උදාහරණ ගම්මු...

ගැමුණු ඡායාරූප දැන්වීම



මේක සම්පූර්ණයෙන්ම හේතු සාධක දැන්වීමක්.. මුල් කාලීන නිසාම, කිසිම ලස්සනක් නෑ කියලා කියන්න පුළුවනි...හිතෙන්න පුළුවනි..හිනා යන්නත් පුළුවනි... අතීත වෙළඳ දැන්වීම් වල ඇත්තටම බහුතරයක් තිබුණෙ හේතූ පමණයි...පත්තර බැලුවෙ උගත්තු විතරක් වීම එය ට හේතුවක් වෙන්න ඇති.ශෘංගාරාත්මක ප්‍රවේශයට පා නගන්නත් උත්සාහ අරන් තියෙන වග අපට කියන්න බැරි කමක් නෑ...මෙන්න මේ වගේ දෙයක් දැක්කාම..

පන්ජෝ ගෝල්ඩ් දැලි පිහි




අතීතයේ පටන් සාඩම්බර ප්‍රවේශයට ගිය බවට කරුණුත් නැතිවාම නෙවී.. අද තරම්ම නැතිවාට එහි ආරම්භය මෙය වෙන්නට ඇති...බලන්න මේ දැන්වීම දිහා.

ලැක්ටොජන්

පියෙක් තම දරුවාට ලැක්ටොජන් දී ඇති බවට කරන ප්‍රකාශයක් හා එම ලිපිය පෙන්වා අනෙක් දරුවන්ටද එය නිර්දේශ කරන අයුරු මේ දැන්වීමෙන් පෙනේ.... එදා එතරම් ප්‍රාථමික මට්ටමේ තිබූ වෙළඳ දැන්වීම් කලාව අද බොහොම ඉස්සරහට ඇවිත්.. 

පරණ ඒවා කීපයක් බලලා අධ්‍යනය කරන්න කැමතිද? මෙතනින් යන්න.

රූපවාහිනී යන්ත්‍රයේ ආගමනය එක්ක හුඟාක් දේ වෙළඳ දැන්වීම් කලාවට එක් වුණා.කොටින්ම අද එය කෙටි සිතුවම්පටයක් වෙලා අවසන්...

එම වෙළඳ දැන්වීම් බලන්න.. ඒවාගේ ප්‍රවේශ කිහිපයක් තියෙනවා.. හැකි නම් ඔබට ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න. මේවාගෙ හොඳ නරක..වෙන වෙනම සාකච්චා කරන්න තරම් දිග මාතෘකා ඒ නිසා මම පුළුවන් වෙලාට මේවා විග්‍රහ කරන්න උත්සාහ ගන්නම්.

මේ තුළ භාවමය,රුචි, හේතු කියන ප්‍රවේශ තුනම අන්තර්ගත වෙලා කියලා හිතෙනවාද? ඔබට..
ලිපිය දිග වැඩියි.... තව විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දෙන්නම්. අපි මේ වෙළඳ දැන්වීම් ගැන තව තව විග්‍රහ කරමු. මේ සබ්ජෙක්ට් එක මගේ ෆීල්ඩ් එක..ඔයාලාට කොයිල්ද ?? ඒකත් කියන්නකො..
පල්ලෙහා ඉඩ ඒකට..

ඔබට මේ ලිපිය කොහොම වෙතත් ඊළඟ ලිපියෙදි නම් බොහෝ දේ කියන්න තියේවී... හෙට රෑට ඒක කියවන්න..ආරාධනා කරනවා මේ ගමන්ම..



2/14/12

ප්‍රේමය නම් කිමැයි කියා




අද පෙබරවාරි 14 වෙනිදා.ආදරවන්තයින්ගේ දවස. අපි ආදරය කරන්න දන්නවාද? අපි ඒ ගැන කල්පනා කරන්න ඕනෙ.අපි ආදරය කියන්නෙ මොකටද? එය කායික බැඳීමක්ද? ආධ්‍යාත්මික බැඳීමක්ද? කායික බැඳීමකින් විනිර්මුක්ත අධ්‍යාත්මික බැඳීම් වල ප්‍රේමවන්තයන් සිටිද?අධ්‍යාත්මික බැඳීම් වලින් විනිර්මුක්ත කායික බැඳීම් තුළ ප්‍රේමය ගොඩ නැගේද?

මම සොයා ගත් කරුණු අනුව ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි.සියලු සත්වයන් අතර ආදරය පවතී.නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආදරය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැත.

බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට  ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා  වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද,මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා.එනම් මනසින් උසස් සත්වයා මිනිසාය.

දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැක. එය සිදුවුනේ  හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කළ හැක..

කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට  ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය. ආදරය ගැන ලංකා සිනමාවේ ලියවුණු වටිනාම ගී කිහිපයක්..ඔබට තිළිණ කරන්නේ මේ ආදරවන්තයින්ගේ දිනය ට සුභාවිත රසවින්දනයක්ද එක් කරනු කැමැත්තෙනි. විචාරයක් නොව රසවින්දනයක්ම පමණි.








2/12/12

කවියක් ද මන්දා නයනා!!

 
 
ජපානේ ඉඳලා
යන්නට මෙහෙ ආ
නොරිකො සං ලා
සරසවිය අල්ලලා
බොහෝ කල් වෙනවා..නයනා

අපි තාම එක වසරෙ
පාස් නොවු විභාගෙක
ගැලවෙන්ට නොහැකි ලෙස
හිර වෙලා කියලා
සාමා මට කිව්වා....

පස්සෙ අවුරුද්දේ
අලුත් පොත් වල යටවී
කඩල ගොටු අස්සේ
මම හෙළු කඳුලැල්
අනේ ඔබ දුටුවාද මන්දා

උසම අත්තට නැගලා
මම කඩා දුන් සල් මල
තවම නුඹෙ සුරෙතේ
තියෙනවද කියලා
එක වරක් කියපන් නයනා..

2/10/12

විස්ස විද්‍යාලං බාසං අති අලංකාරං


දැන් ගොඩක් ගංගිලා මල්ලිලා කැම්පස් යන්න බලන් ඇති. මේ ලිපිය ඒ අය ඇතුළු කියවන්ව කැමති අනෙක් අයට.
එදා මෙදා තුර මානවයා සත්වයා අනෙක් සතුන්ගෙන් වෙනස් බවට පත්  වීමටත්, අසීමාන්තික විශිෂ්ටත්වයට පත්වීමටත් මූලිකම  හේතුව මානවයා සතුව තිබෙන භාෂා හැකියාව බව ඔබට මම මීට කලින් දවසක අපේ හෝඩිය ගැන කතා කරද්දි කීවා. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාව බව ඔබ පිළිගන්නවා කියලා සිතනවා. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් වලට තමයි අපි ලෝක සමස්තයක් කියලා කියන්නෙ. ඉතින් මේ මහා සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘතින් දක්නට ලැබන වග ඔබ දන්නවා කියලා හිතනවා.අහලා හරි ඇති..

ඔබ නොදන්නවා නම්, උප සංස්කෘතියක් කියලා කියන්නෙ පොදු සංස්කෘතිය තුළ තිබෙන යම් අංග පිළිගන්නා අතරේ දී ම එයින් ඉතාම පැහැදිලි ව වෙනස් වෙච්චි සිරිත් විරිත් තවත් පැහැදිළි කළොත් නොයෙක් සම්ප‍්‍රදායන්ගෙන් යුක්ත වෙච්ච ජන කණ්ඩායමක හැසිරීම් රටාව”
 
ප්‍රදේශය, භූගෝලීය තත්වය, තමන් යෙදනෙ රැකියාව, වයස, ජනවාර්ගිකත්වය, දැනුම වගේ සමාජ කාරණා මත මෙම උපසංස්කෘතීන්  ඇතිවෙනවා. මෙම උප සංස්කෘති යටතේ ස්වභාවයෙන්ම උප භාෂාවකුත් ඇතිවේ. 

ප‍්‍රාදේශීය විවිධතාව අනුව සෑදෙන උප සංස්කෘතීන් වල ඒ ඒ ප්‍ර‍දේශයට ආවේණික උප භාෂාවක් තියෙනවා. 
මාතර  දිගාමඩුළු,මොනරාගල,බස්නාහිර,නුවර බස් වහර ඔබට දැනටමත් දන්න  හොඳ උදාහරණ සපයාවි.එයත් ඔබේ මතකයේ තබාගෙනම මෙම ලිපිය ඉදිරියට අපි කියවමු.

මේ ආකාරයෙන් ප්‍රසිද්ධ උප සංස්කෘති තියෙනවා.
 
  • විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
  • භික්ෂු උප සංස්කෘතිය
  • යාචක උප සංස්කෘතිය
  • රොඩී උප සංස්කෘතිය
  • බන්ධනාගාර උප සංස්කෘතිය
  • ත‍්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය

ආදී උප සංස්කෘතීන් බොහෝමයක් අපට දැකිය හැක. 

විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී ඉන්නවා. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අපේ රටේ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය නම් සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවක්

 මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපාන හේතු කිහිපය විශ්ව විද්‍යාල අනෙක් ඉහත කියපු උපසංස්කෘතීන් වලට වඩා බොහෝ සෙයින් සම්පූර්ණ කරලා කියෙනවා..
  •  බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
  • එකම භූමියක වාසය කිරීම.
  • එකම වයස් පරාසයක පිරිසක් වීම.
  • සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
  • සමාන කාර්යයන් හී නියැලීම.
  • සමාන ගැටළු වලට මුහණ දීම.

විශ්ව විද්‍යාලය තුල තියෙන්නෙ පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප‍්‍රාදේශීය විවිධත්වය ආරක්ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ තද අවශ්‍යතාවත් මේ සිසුන්ට තිබෙන නිසාත් මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබෙන බව පැහැදිළියි..

ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ කතා කරද්දී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ම ඇතැම් වචන පොදු වෙනවා. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

පුද්ගල නාම

  • උප කුලපති - වීසී , වීසි කාරයා, වී සී මහප්පා
  • මහාචාර්යවරයා - ප්‍රොෆා
  • දේශකයා - ලෙචා
  • ක‍්‍රෑමා - නිතරම පාඩම් කරන්නා 
  • කොක්ක - පෙම්වතා හෝ පෙම්වතිය
  • ෆ්‍රෙෂාලා හා ෆ්‍රෙෂීලා-විශ්ව විද්‍යාලයට අලූතින් පැමිණෙන්නෝ 
  • බැචා හෝ බැචී-තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය 
  • රූමා -  බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා
  • ආටා හා ආටී - කලා පීඨයේ සිටින්නන් 
  •  ඉංජා හා ඉංජී- ඉන්ජිනේරු පීඨයේ සිටින්නන්  
  • මෙඩ්ඩා හා මෙඩ්ඩී - වෛද්‍ය පීඨයේ සිටින්නන් 
  • ඩොකා හා ඩොකී- වෛද්‍යවරු  
  • සයනා හා සයනී- විද්‍යා පීඨයේ සිටින අය 
  • ඩෙන්ටා හා ඩෙන්ටී- දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ 
  • බැජ් ටොප්- විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා

ක්‍රෑම යනු පොදුවේ පාඩම් කිරීමට භාවිතා වන වචනය වේ

කැලණිය විශ්ව විද්‍යාලයේ ක‍්‍රෑම වර්ග 5ක් තිබෙන වග එහි අය පවසති.
 
  • ජංගම ක‍්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
  • බොග ක‍්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
  • ජංගල් ක‍්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
  • ගරිල්ලා ක‍්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
  • මෙන්ඩිස් ක‍්‍රෑම - ආත්මාර්ථකාමී ලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම   


පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී 
  • සමාජ විද්‍යාව - සමාජ රෝග.
  • මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව.
  • දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම.
  • ගණිතය - මීටර් අවුල් කිරීම.
  • ඉංග‍්‍රීසි - කඞ්ඩ.
  • දර්ශනය - පිස්සු දැක්ම.
  • ආර්ථික විද්‍යාව - හූරන් කෑම.

කුප්පි දානවා- විභාග ආසන්නයේදී දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම
ගිරවා දානවා - කටපාඩම් කිරීම
මීටරය -සහජ දක්ෂතා මත විභාග පාස් වන්නන්
මෝටරය- කටපාඩම් කර විභාග සමත් වන්නන්
ඇණ ගැනීම - විභාගය අසමත් වීම හෝ පෙම්වතා පෙම්වතිය අතහැරීම
රිපීට් වීම - ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වීම

මේ සියල්ල ඉතා සරලව මෙන්ම නිරන්තරයෙන් ම විශ්ව විද්‍යාල තුළ සිසුවෝ දැන ගත යුතු කාරණා ලස හැඳින්වේ . මේ වා නොදැන ගැනීමද විද්‍යාලය තුළ අපහසුවට ලක් වෙන කාරණා ය.

විශ්ව විද්‍යාලය තුල දේශපාලනය සම්බන්ධ උප භාෂාවක් තියෙනවා. විශ්ව විද්‍යාලය තුල ක‍්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවත් කිවයුතුයි..
 
විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරී සිසුන්  ජෙප්පෝ ලෙසත් විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයන් අල වැඩ කරන්න්නන් ලෙසත්, මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මහා ශිෂ්‍යයා ලෙසත්, හඳුන්වනවා. මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය ඇතළෙ අනන්නත ඉන්නවා.උන් එකම පක්ෂයකටවත් නිවැරදිව සම්බන්ධ වෙලා නෑ..හැබැයි ඒ ගැන කියවනවා...

 
විශ්ව විද්‍යාලය තුල නිදහසේ පේ‍්‍රම කිරීමට වෙන්වූ ස්ථාන තියෙන වග ඔබ දන්නවානෙ..මෙන්න ඒවා...
  • මල් පාර - පේරාදෙනිය සරසවිය
  • සිරීපාදේ - කොළඹ සරසවිය
  • සයිබීරියාව - කැලණිය සරසවිය
  • හන්ටින් ඒරියා - රජරට සරසවිය
විශ්ව විද්‍යාලය හැදින්වීමටත් නෙක නෙක නම් තියෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයට තුම්මුල්ලේ මහා විද්‍යාලය
සබරගමුව විශ්ව විද්‍යාලයට බෙලිහුල් ඔය මහා විද්‍යාලය 
රුහුණු විශ්ව විද්‍යාලයට  හුලං කන්ද මහා විද්‍යාලය වගේ නම් තියෙනවා.

පේරාදෙනිය සරසවිය ඇතුළෙ සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම  කපකට යනවා කියලා තමා කියන්නෙ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම ට යකා ගහනවා කියලාත් කියනවා.
තරුණ තරුණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටින කොට ගැට්ට හෝ ලොකු එක දානවා කියලා කියන අයම උන් වැරදිලා සිනහ වුණොත් කියන්නෙ පනාව දානවා කියලා.රැග් සීසන් එකේදීම කඩ දාන එක නතර කළත් පස්සෙ
ගාලූ කඩේ,මාතර කඩය,වැනි ඒ ඒ ප‍්‍රදේශ වලට සීමා වූ කඩසරසවිය ඇතුළෙ ඕනෙතරම්.


සරසවියට එන හැම කෙනාටම කාඩ් එකක් ලැබෙනවා.යමෙක් එයට අකමැති නම් එය වෙනස් කරගැනීමේ හැකියාවත් ජපුරෙ නම් තියෙනවා.අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නන් ගොන් පාට් දමන්නන් ලෙසත් සාමූහික කාර්යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරුණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන්  අපතයන් අලයන් ලෙසත් මෙහෙි හඳුන්වනවා.
සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම අඩු කෑම ලස හැඳින්වෙන අතරම,
සරසවියේ ඇති මේ උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම, බ‍්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ගැසීම ආදී දේ අනන්ත වෙනවා. ජපුරට එන කිසිම ගැහැණු ළමයෙක් නම් ත්‍රී ක්වාට කලිසම් අඳින්නෙ නෑ..එහෙම වුණොත් බිත්තර නාවනවා.
විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින කෙනා ”ටියුටා”ලෙස හඳුන්වන්නෙ.කොළඹ විශ්ව විද්‍යාලය තුල යමක් නිශ්චිතව පැවසීමකදී ”අනිවා ඩෙෆා” කියලා කියනවාමයි.
පේ‍්‍රමය සම්බන්ධ උපභාෂාවක් ද කැම්පස් ඇතුළෙ තියෙනවා. කොක්කක් කියන්නෙ ප්‍රේමයට වුණත් කොකු ගොඩක් කැම්පස්වල තියෙනවා.

1. බත් කොක්ක - රස බත් ගෙන එන කෙල්ලන්ගේ බත් එකට වහවැටීම නිසා පෙම් කිරීම.
2.නෝට් කොක්ක - ඉගෙනීමට දක්ෂ කෙනෙක් ගෙන් නෝට් ඉල්ලා ගැනීම පිණිස පේ‍්‍රම
                                සම්බන්ධයක් ඇති කරගැනීම.
3.සිරා කොක්ක - සැබෑ ආදරය නිසා පේ‍්‍රමයක් හර ගැනීම.
4 ආතල් කොක්ක - ලිංගික ආශාවන් උදෙසා වන පේ‍්‍රමය

මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ”ගොඩ යාම” ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ”හිච් වෙනවා” කියලා තමා කියන්නෙ.. මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබෙනවා.
පේරාදෙනිය සරසවියේ නම් විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම් තියෙනවාලු.
  • පින්තූර කඩේ - ශාස්ත‍්‍ර පීඨය
  • මස්  කඩේ - වෛද්‍ය පීඨය
  • දත්  කඩේ - දන්ත වෛද්‍ය පීඨය
  • යකඩ  කඩේ - විද්‍යා පීඨය
  • බයිසිකල්  කඩේ - ඉන්ජිනේරු පීඨය
  • මඩ කඩේ- කෘෂි විද්‍යා පීඨය

"හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇදන් නෑ  බ‍්‍රයිටන්ට ක්ලාස් නෑ" කියල කැම්පස් එකේ ප්‍රසිද්ද කියමනක් තියෙනවා. ඔහොම ගොඩක් තියෙනවා.


මේ උප බස තරම් ලංකාව ඇතුළෙ බැනුම් අහපු බසක් තියේ නම් ඒ ත්‍රීවිල් බස විතරයි. ඉතින් මේ කරුණු ඔබේ දැනුමට වැදගත් වුණා නේද? ඔබට වැදගත් යැයි හිතෙන වීඩියෝ කීපයක් දෙන්නත් මම හිතුවා.
ජපුර ගැන බොහෝ විස්තර මෙහි තියෙනවා.වීඩියෝව හරි නෑ. නමුත් විස්තරය හොඳයි.



මේ තියෙන්නෙ ප්‍රසිද්ධ සරසවි කීපයක සරසවි ගී.
ජපුර සරසවි ගීය

පේරාදෙණිය සරසවි ගීය
ඌව වෙල්ලස්ස සරසවි ගීය 

වයඹ සරසවි ගීය
රුහුණ සරසවි ගීය

ඔබ දන්න තව තොරතුරුත් තියෙනවා නම් සටහන් කරන්න. මේ සියල්ල, අන්තර්ජාලෙන් හා අත්දැකීමෙන්.

2/4/12

යහපත් ආකල්ප සඳහා ඇබෑර්තු ඇත



අන්ධකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සෑඟ වු මුත් කුවේණිය,

සැබැවින්ම ලිපිය ආරම්භ විය යුත්තේ කුවණ්ණා ගෙනි. ඇය දැනට හමු වී ඇති ජන ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව රාවණා ගේ මිණිපිරියක් බව ප්‍රකාශිතය. අපට සියලුම ලිඛිත ඓතිහාසික වාර්තා හමුවන්නේ කුවණ්නාගේ සිටය. මහාවංශය (බුද්ධ වංශය) සැමවිටම වරදක් කර ඇති වග ඔබ නොදන්නවා විය හැකිය. එනම් එවක රජයට (මාධ්‍යක් ලෙස) අති පාක්ෂික බවක් දැක්වීමයි. එහි වරද කෙසේ වෙතත්, එමගින් ඉතිහාස ගත විය යුතු බොහෝ කරුණු අතුරුදහන් කර ඇති වග අකමැතිව වුව අපට පිළි ගැනීමට සිදුවේ. කුවණ්ණා වශිකෘත වූ හෝ වශී කර ගත්තා වූ විජය දරු දෙදෙනෙකුට පීතෘත්වය ලබා දී ඔවුන් අනාථ කර දැමූ වගද, විජායි නම් ඉන්දියානු ස්ත්‍රිය රාජත්වය පිණිස විවාහ කොට ගෙන දරුවන් නොමැති වූ වගත් මහාවංශය දුක සඟවාගෙන සටහන් කර ඇත.

මුලින්ම වරද්දා ගත්තේ කුවණ්ණාය. විජයට රජකම දීම සඳහා සමූලඝාතන තැතක් (ආදරය හා යුද්ධය යන ද්විත්වයේ දී සියලු අපරාධ සාධාරණීකරණය කළහැකිය.) ගත් ඇය මා සලකන්නෙ දන්නා ඉතිහාසයේ පළමුවන පාවා දෙන්නිය ලෙසයි. ඇගෙන් පසු යක් පරපුරට ,එනම් හෙල පරපුරට අයිති වූ මේ සිහල දීපය . සිංහ ගොත්තන් හට අයත් විය. නැවත වරක් යක් සිහ පරපුර සමාදාන වන්නේ පණ්ඩුකාභය කැරැල්ලෙන් පසුවය. (මමත් අදහන සත්‍යක් නම්...එක්ටැම් ගෙට පිටින් ආ අය නිත්‍යානුකූල පියවරු වෙද්දී..නියමිත ශුකාණුව භාරකරුගේ වීමේ සම්භාවිතා වැඩිය යන්නය.) ඉතිහාසය අකමැත්තෙන් අත් හළ කොටසක් විය හැකිය.

අනතුරුව වසර 60ක් රජ කර බුදු දහමට වට පිට සකසා කලුරිය කළ මුටසීව රජ ගැන පිටු භාගයට ලඝු කොට ... පුත් දේවානම් පියතිස්ස ගැන පරිච්ඡේද ගණන් ලියා වර්ණ ලබාදුන් මහ වංශයට අනුව හා අනෙක් මුලාශ්‍ර වලට අනුව දේවානම් පියතිස්ස ගේ සොයුරු අසේල ට පසු මෙරට ප්‍රථම සොළී ආක්‍රමණය සිදු වී ඇත.

ගැමුණු රජ ද පියාගේ ව්‍යායාමය තුළින් බොහෝ වර්ණ ලාභී පුතෙකු (ඔහු වීරයෙකි) වූ වග මහාවංශය සඟවද්දී ඉතිහාසය දශක කීපයක් නිරවුල්ව ගමනේ යෙදී ඇත.

ආක්‍රමණ බර ගණනක ගොදුරක් වූ රටේ ඉතිහාසය අනුරපුර යුගයෙන් පසු පුලතිසිපුර දී ජාම බේරා ගත් නමුත් ඉන් පසු සාර්ථකත්වයට වඩා අසාර්ථක වූ වාර ගණන වැඩිය. (මේ පද ටික පරණ කැසට් පටයකින් හමු වූ එකකි. ගයන්නේ කටහඬ අනුව නම් දීපිකා ප්‍රියදර්ශණි මහත්මිය විය යුතුය.) මේ කවි පෙළ
ඡේද ගණනාවකට වඩා ප්‍රබල හෙයින් එය දක්වමි.

 යුද හරඹ, බල හරඹ
වැට කඩුළු කඩා බිඳ
ඉන්පසුව මගේ ගත
කොටස් කර බෙදාගෙන

ගම්පළින්,කෝට්ටෙන්
නුවර සීතාවකින්
රජ පදවි මාරු විය
උනුන් ඇන කොටාගෙන

සොළි කේරළ පාඬි
දෙමළ හා පෘතුගීසි
ලන්දේසි පසුපසින්
හඹා ආ ඉංග්‍රිසී

වරින් වර මෙහි පැමිණ
සටන් කළ හැම විටම
අපේ අසමගිය තුළ
ලබාගෙන ඇත වාසි

සිංහලේ අවසාන 
රජු විලස බුහුමනින්
පුදලැබූ රාජසිහ 
රජතුමා එළවමින්

ඉංගීරිසින් අතට
මාව පවරා දෙමින්
දැන නොදැන හෝ වැරදි
කළා සමහර දනන්..

1815 මාර්තු 18 වනදා කන්ද බන්දේසියේ තබා දුන් මුත්තන් ගැන මහා ලැජ්ජාවක් ඇතත්,එය හදා ගනීමට උත්සාහ කළවුන්ගේ පරපුරත් එයම වන බැවින් අකමැත්තෙන් වුව හැඟීම් නිෂප්‍රභ විය යුතුය. මාතලේ, සෙංකඩගල තෑග්ගක් විලස අතට දුන්නාම මිස ඉංග්‍රීසින්ට ලෙහෙසියෙන් අල්ලා ගත නොහැකි දේශයන් වි තිබිණි.

1848 පුරන් අප්පු දෙවියෙක් සේ කන්දට වැඩ, අවි සටන් කොට , රට බේරා ගනු නොහී නමුදු අභීතව ඉංග්‍රීසින් අතින් සුර ලොවට ප්‍රදුර්භූත වන්නේ ද අසමගි සිංහලයාට අනුකම්පා කරමින්ය.
අද වනවිට වීරයන් භාගත කරන සමාජයක ජීවත් වන අප මේ ගැන අමතක කර ඇති වග අකමැත්තෙන් වුව පිළිගත යුත්තේමය.

ඉන්  සියවසකට පසු, ඉන්දියාවට නිදහස ලබා දුන් පසු ද, අලියා නැති තැන හෙණ්ඩු කුමටදැයි සිතූ මහා රාජිණිය අපට නිදහස තෑගි දුන් නමුත්, 1972 වනතුරු අපව පැහැදිළිව රවටා ඇති වග ඔබ දන්නවා ඇත. ඉන් පසුව වුවද අපේ රටට උදා වුයේ යහපත් කාල පරිච්ඡේදයක් නොවන වග ජීවත් වූ අයට මතක ඇත.පසු උපන් උන් අසා ඇත. දකුණේ තුරුණු විරෝධයකින් අනතුරුව නැගුණු උතුරේ තුරුණු විරෝධය ජාතිබේදය යන ප්‍රබල වචනය නිසා වසර 30ක් ම රටක් ලෙස වන්දි ගෙවීමට අපට සිදුවූ බව ඔබට මතක ඇත. ඒ දශක තුන හා මේ අකුරු අමුණන මොහොත තුළද නොදන්නා නොසිතන,එක්කෝ පෙනෙන හඬක් නොනැගෙන, නැත්තම් බිය නිසා වසන් කරගත් සමහර විදෙස් කූට බලපෑම් අප වටා ක්‍රියාත්මක වේ. අද වන විට බුදු දහම ද දේශපාලනීකරණය වී ඇති ආකාරය හා සන්සන්දනයේදී ඊට වඩා සිය ගුණයක් එදා ටිබෙට් මහින්ද හිමිගෙ දේශපාලනය ජාතිවාතසල්‍යෙයන් පිරිපුන් වග මඟේ හැඟිමයි.

සහන ලැබෙන තුරු ලංකා දීපය            ට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි     ට
නහන රැපුන් නඟමින් යමි ඉදිරිය          ට
මහණ කමත් බණ දහමත් එයයි ම        ට


අද වනවිට නොදැනී නොදැනී අපි යළිත් ආක්‍රමණය වෙමින් සිටිමු. උතුරේ යුද්ධය භෞමිකව හා නාමිකව අවසන් ය. එහෙත් හදවත් තුළ තවම ගිනි අඟුරු නැතිවා නොවේ.. අඟරු දැවෙන විට මතුවන ගින්න නිවීම අපහසුය.යුද්ධය සිත් වලින් අවසන් කිරීමට කිසිම දවසක අපට ජාත්‍යන්තරය ඉඩක් නොදෙන වග අප තේරුම් ගත යුතු සත්‍යතාව වෙයි.හොද්ද බොර කර ඒ බොර දියේ මාළුන් සොයනා උන් අද සමාජයේ බොහෝ සිටිති.

සාගර පළන්සූරිය මහත්තයා ගෙ උතුරෙන් කව් පන්ති‍යෙ අවසන් කවි දෙක මම මෙහෙම සටහන් කරන්නෙ...මේ කවි වල විය යුත්ත පැහැදිළිව දක්වා ඇති නිසාය.

මිනිසා වෙතින් මිනිහා වෙන් කරන         රිසින්
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු              පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු        දෙසින්

පැයක දි එකට හමුවන දුර ඇත              දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙද     කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                         ඔතන
බේදය පිළිස්සී හමු වේවා                        දකුණ

හෙට එළිදකින පුරන් අප්පු මුද්දරය මුද්දරයකට පමණක් සීමා නොකොට, කොඩියට , ගීයට ජාතික දිනයට ජාතික හැඟීම සීමා නොකොට රට වෙනුවෙන් සංවර්ධනයට උරදිය හැකි, ආකල්පමය වෙනසක් ඇති ප්‍රජාවක් බිහි කිරීමට ලංකාව වෑයම් කළ යුතු කාලයයි මේ. ඉතිහාසය කෙතරම් ස්වර්ණ මතක වලින් ගහණ වුවද, වර්තමානය සකසන අය අනුව අනාගතයේ ඉතිහාසය නිර්මාණය වන වග අප මතක තබා ගත යුතුය. සාහිත්‍යට කලාවට තාක්ෂණයට හා මිනිසාට සේවය කිරීමට ඇල්මක් තිබෙන සුභාවිත පරපුරකට නව ආකල්ප තුළින් දීන බව නැති කළොත් යා නොහැකි යහ සංවර්ධනයක් නැත.. සංවර්ධනය අප එනතුරු බලා සිටින වග සිහි තබා ගන්න.

ඇමරිකාව ,ඉන්දියාව ,වීනය වපර ඇස් වලින් සිනා සෙන්නේ කුමකටදැයි අප ට තවමත් ගැටලුය..සමහරවිට මේ සංවර්ධනය තවත් වසර ගණනක දී ඵල සහිත විය හැකි ය. නමුත් එය අද සිටම වේගවත් නොකළොත් අපි පසු පස්සේ තබා ලෝකය බොහෝ ඉදිරියට ගොස් සිටිය හැකියි.

අප නිදහසෙන් පසු වසර 64ක දී උපරිම ප්‍රයෝජන ගෙන නැත. නිදහසේ සියවස සමරන දිනට තව වසර 36 ක් අනාගතයට, හොඳ ඉලක්කයක් ලබා ගතහොත්, අපට අප රට යහ සංවර්ධනයකින් ලොව බැබළවීමට හැකි වනු ඇත. බතින් පිරි රටක්,දැනුමෙන් පිරි රටක්,තෘප්තියෙන් පිරි රටක්,යුද්ධ නැති රටක්,දිළිඳුන් අඩු රටක්, ලොවක් පිළිගන්නා රටක්,මිනිසුන් ආදරය කරන රටක්, රටට රටම ආදරය කරන රටක් අපට තැනිය හැකි නම්,එදිනට අප සමරන්නේ සැබෑම නිදහස යි.

මිනිසුන් නිදහසේ හිතන,නිදහස දකින රටකට අපේ රට ගෙන යන්න අපි පමා නෑ.
කෝ රාවණ ජාන? කෝ පුරන් අප්පු දරුවො? කෝ කැප්පෙටිපොළ ලේ? තව කල් නෑ මිතුරනි, යහ ආකල්ප සඳහා බොහෝ ඇබෑර්තු ඇත. ලක් මව යළි නින්දෙන් නැගිටවිය යුතු හොඳම කාලය පැමිණ තිබේ.


මුළු වැර යොදා වැඩ කරතොත් ඇතිව     සිත
පුළුවනි අපට බිඳුමට ලොකු අයගෙ           මැත
කුළු ගෙඩි පහර එක පිට එක හෙළන         මත
පළු පළු නොවන කොරසැඩි කළු ගලක්     නැත

2/1/12

මලගිය අනාගතය හා අහිංසකයන්ගේ‍ ආරාමය



 මා මෙය ලියන්නට සිතුවේ මීට පෙර වුවත් තාලයක් කල්පනා වනතුරු සිටියෙමි.හැබෑවටම මම අහිංසකාරාමයට බොහෝ ප්‍රිය කළෙමි.එහි ඉතිහාසය මම තරමක් දුරට ප්‍රිය කළෙමි.නමුත් මම අහිංසකාරාමයට  ආශා කළේ එය සමාජ ඛේදවාචකයක කලාත්මක ප්‍රති මූර්තියක් වූ නිසා‍වෙනි.මම කුඩා කළ එය හදනවා දුටුවෙමි.. 2000 වසරේ මම අලුත් ඉස්කෝලෙ යන විට එය කිරි පාටට දිලෙන ලස්සන තැනකි...මම පාසල් ගොස් අවසන් වන විට එහි දිය සෙවල බැඳුණත්,ළඟදී එය යළිත් ලස්සනට දිළෙන්නට විය..මල් තවානෙන් පසු එය වැසිකිලියට ගත් වග සියැසින් දිනපතා දුටු අය අතර මම සිටිමි...කලිසම් වනා දැමූ අහිංසකාරාමය සිහි කළේ ඉතා පහත් මට්ටමේ තුවා රාක්කයකි.
එය බිඳ දැමීම ගැන එක එක මතවාද කොතරම් තිබුණත් මම සිටින්නේ නිගරුවට වඩා විනාශය යහපත් යන මට්ටමක..ඒ අතින් මේ මොහොතේ සංවර්ධනය ගත් තීන්දුව සැබවින් ම යහපත්...සාමාන්‍ය මල් කරුවන්ගේ පොදු වැසිකිළිය වීමට වඩා එය වටිනවා නේද? නැවත වරක් කුඩාවට එය ගොඩ නගනවා නම් පැලවත්ත ජනකලා කේන්ද්‍රයටත් වඩා ඇඹිලිපිටිය ඊට සුදුසුයි...අඩුම තරමෙ ඒ දරුවන්ගෙ අම්මලා ඒ ගැන බලාගනිවී..මම දන්නෙ එච්චරයි..මොකද පැළවත්තෙ සමාජ විෂමතාව වෙනුවෙන් ලොකුවට කතා කරන අය ලොකු බිල්ඩිං ගහං හිටියාට මේ තරම් ළඟ තිබිලාත් මේක ගැන බැලුවෙ නැත්තම්..ජනකලාවට ගියත් ඔය සැලකිල්ලම තමා!!

තාලයක් නැති ගීතය

අතීතය Part | 1


එදා දුටු උස් පවුර 
සම කරනු පිණිස නැගි
හද පෙළක් මිහිකුසේ
කඳුලු මැද ලැගුම් ගති


අතීතය Part | 2

අව් දූලි හුළං වැද
වැහි වැටුණු සිමෙන්තිය
පාසි බැඳ වහන් කළ
තාලයක් නැති කවිය

කරදාසි කොළ වලට
සිතින් පිටපත් කරන්
අම්මාට කියවන්න
එක් කරන් යන හිතින්

පැන නැගුණු හදවතක්
මග බලන සඳ මගට
හිර කෙරූ හීනයක්
ආයෙ යන්නට ගමට

වර්තමානය  Partner

එදා දුටු උස් පවුර 
සම බිමක් වූ අයුර
අපූරූද කොයි තරම
බලන් සකි එහි මහිම


අනාගතය ?????????????????


එදා ඩෝසර් කෙරූ
රුහිරු පිරි සිරුරූ
අදත්  මතකයන්
ඩෝසර් ව ඇති අයුරූ


මේ ටික අගින් එක් කරන්නෙ ඔබේ දැනුමට- (සියල්ල අන්තර්ජාලයෙන් බාගත කළ ඒවා)
අහින්සකයන්ගේ ආරාමය නිර්මාතෘ
ජගත් වීරසිංහ මහතා








විශාරද නන්දා මාලනීය හා මහාචාර්ය සුනිල්  ආරියරත්නයන් විසින් එක් කළ පුවරු





අහිංසකාරාමයේ කැඩුණු බිඳුණු ස්වරූපය 
ඩොසර් කිරීමට එන හැටි

දරුවන් ගණන සිහි කරන කනු (මෙහි හිස් ගලවා තිබිණි)
හිතැත්තන් ගේ කව් සටහන් මැටි පුවරු වී

ප.ලි

වර්ෂ 1988 – 91 අතර කාලයේ දී ඇඹිලිපිටිය ඇතුළු රටපුරා ඇති වූ භීෂණ තරුණ මරණ වෙනුවෙන්, පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ‘අහිංසකයන්ගේ ආරාමය’ ඉදිකළේ 2000 වසර දී ය‍. දහස් සංඛ්‍යාත මවු පියවරුන්ගේ දෑතින් මිරිකුන මැටි පිඩවල් මෙහි ඇති අතර මෙය ස්මාරකයක් ලෙස වසර 12ක් පැවතුණි