3/10/17

-279- විසි හතේ කල්ලියේ අනුවේදනීය සීමාව

ආදරයේ බලය විසින් යම්කිසි දවසකදි, බලයට ඇති ආදරය පාරජය කළොත් එදාට අපිට ලෝක සාමය හොයා ගන්න  පුළුවන් වේවි කියලා සුපිරි ගිටාර් වාදක ජිමී හෙන්ඩ්‍රික්ස් විශ්වාස කළා. ලෝක සාමය තවමත් හීනයක් වුණත්, ජිමී හෙන්ඩ්‍රික්ස් නම් 1970 සැප්තැම්බර් 18 වෙනිදාවක තමන්ගෙ සාමය හොයා ගත්තා. එතකොට ඔහුට යන්තම් වයස විසි හතයි. තාරුණ්‍යයේ හොඳම වයස. හැබැයි අද අපි හොයා යන්න සූදානම් වෙන්නෙ, ජිමී හෙන්ඩ්‍රික්ස් ගැන නෙවෙයි. අපි ඒක වෙන දවසකට තියමු. අද young ඔස්සේ අපි කියවන්න හදන්නෙ එක කණ්ඩායමක් ගැන. එයාලා ලෝකය පුරාම ප්‍රසිද්ධ විසිහතේ කල්ලිය කියලා.  අපි ඉහළින් කතා කරපු ජිමී ත්, මේ කල්ලියෙ ඉහළින්ම වැජඹෙන සාමාජිකයෙක්. මීට පෙර මේ ගැන අහපු අයගෙ දැනුම වැඩිවෙන්නත්, අහපු නැති අයට දැන ගන්නත් එක්ක 27 Club එකට ගොඩ වදිමු.

මේ 27 කල්ලිය ලෝකය පුරාම ජනප්‍රිය කාරණා දෙකක් නිසයි. එකක් ඔවුන් හැමෝම මිය යන්නෙ අවුරුදු 27 දි, අනික් කාරණාව මේ හැමෝම කලා ශිල්පීන්. දැනට තියෙන විස්තර වලට අනුව, ඇලෙක්සැන්ඩර් ලේවි කියන දක්ෂ බ්‍රසීලියානු සංගීත ශිල්පියාගෙ ඛේද ජනක මරණයෙන් 1892 ඇරඹුණ මේ පුදුම සහගත මරණ රැල්ල රුසියාවෙ උපන් ඇමරිකානු පුරවැසියෙකු  වුණ රංගන ශිල්පී  ඇන්ටන් යෙල්චින් 2016 ජූනි 19 වෙනිදා ඉඳන් අද වෙනතුරු මඳකට නවත්වාගෙන ඉන්නවා. මේ දෙන්නා අතරෙ, සංඛ්‍යා ලේඛන අනුව ලොව පුරා 27 දි මිය ගිය කලා කරුවන් ගණන හැටකට වැඩි මිසක් අඩු නැහැ. 

සියවසක් සහ වසර විසි ගණනක කාලයක් ඇතුළෙදි මේ තරම් මරණ රැල්ලක් කලාව තුළ නිර්මාණය කරන්න 27 ඉලක්කම බලපාන්නෙ කොහොමද කියන එක අදටත් අබිරහසක්. මොවුන්ගෙන් වැඩි පිරිසක් සංගීත ශිල්පීන්. ඒ සංගීත ශිල්පීන්ගෙන් වැඩි පිරිසකගේ  වාදන භාණ්ඩය ගිටාරය. ඒ වගේම රොක් සංගීතය ඔවුන්ගේ ආත්මීය සංගීතය වෙලා තිබුණා කියලත් කියන්න පුළුවනි. ඒ වගේම මොවුන් වැඩි දෙනෙක්ගෙ මරණයට හේතු වෙලා තියෙන්නෙත් අබිරහස් කරුණු. මත් ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් ඇති වූ පිළිකා තත්ව, මානසික වියවුල් සහ වියෝගයන් නිසා සිදු කරගත් සියදිවි නසා ගැනීම් මෙන්ම හදිසි අනතුරුත් , ඝාතනත් මේ අතර වෙනවා.

සමහරු නම් මෙය ශාපයක් විදිහට හඳුන්වනවා. එක්තරා අතකට එහි ඇත්තකුත් නැතිවම නෙවෙයි. අවුරුදු විසි හතක් වෙනකොටත්, ලෝකයක් කතා කරන මට්ටමට ජනප්‍රිය වෙන්න තරම් දක්ෂ කමක් සහ සහජ හැකියාවක් තිබ්බ මේ පුද්ගලයො තවත් අවුරුදු 27 ක් වත් ජීවත් වුණා නම් කොයි තරම් රටේ ලෝකෙ මිනිස්සු කතා කරන චරිත බවට පත් වෙයිද, අග්‍ර කෘතීන් නිර්මාණය කරන නිර්මාපකයන්  බවට පත් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. මේ මරණ වලට විශාලම ශාපයක් විදිහට බලපෑවෙ මත් ද්‍රව්‍ය සහ මත් වතුර බවයි වෛද්‍ය වරුන්ගේ විද්‍යාත්මක නිගමනය වෙලා තියෙන්නෙ. කොහොම වුණත් හැට දෙනා ගැනම කතා කරන්න බැරි වුණත්, ඒ කල්ලියෙ ඉතාම  ජනප්‍රිය කිහිප දෙනෙක් ගැන  ඔයාට කියන්න අපිට පිටුවෙ ඉඩ ඇති වේවි. 

රොබට් ජොන්සන් කියන්නෙ ලෝකෙ හිටපු දක්ෂ ගිටාර් වාදකයෙක්. සමහරු කියන්නෙ ඔහු අති දක්ෂ පස්වෙනියා කියලායි. ඔහු සතුව ගිටාරයේ ආත්මය තිබුණා. ඔහු ගීත ලියන්නත් දක්ෂයෙක්. අවුරුදු විසි හත ගෙවෙන්න ඉස්සර විෂක් ශරීර ගත වීම නිසා ජීවිතේ කෙළවර වුණත්, ඔහු නිර්මාණය කළ ගීත විසි නවය අදටත් ඉතිරි වෙලා තියෙනවා. . රෝලින්ග් ස්ටෝන්ස් සංගීත කණ්ඩායම නිර්මාණය කළ බ්‍රයන් ජෝන්ස් සංගීතයේ අති දැවැන්තයෙක්. ඔහු සංගීතය තරමටම මත් ද්‍රව්‍යත් ප්‍රිය කළා. ඒත් ඔහුගේ මරණය සිද්ධ වෙන්නෙ මත් ද්‍රව්‍ය නිසා ඇති වුණ  විකල් සිහියේ අතුරු ඵලයක් විදිහට, දියේ ගිලිලයි. වීර ක්‍රියා වලට තිබ්බ ආශාව වයස විසි හතේදි ඔහුගෙන් ජීවිතය උදුර ගත්තත්, ඔහු සංගීතයට යමක් කළ කෙනෙක් ලෙස ඉතිහාස ගත වෙලා නම් ඉවරයි.

මේ විසි හතේ ශාප ලත් කල්ලියෙ වැජඹෙන්නෙ පිරිමි විතරක්ම නෙවෙයි. ගෑණු දරුවොත්, කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉන් පළමු වැනියා විදිහට, 1969 දි මිය ගිය ඇලෙක්සැන්ඩ්‍රා හඳුන්වන්න පුළුවන්. ඇයගෙ නියම නම ඩොරිස් ට්‍රීට්ස්. ජර්මානු ගායිකාවක වන මේ සුන්දර යෞවනිය මිය යන්නෙ අවාසනාවන්ත මාර්ග අනතුරකින්. රොක් සංගීත රැජිණක් ලෙස හඳුන්වන සුපිරි තාරකාවක් වූ ජැනිස් පොප්ලින් අධික මාත්‍රාවකින් යුතු හෙරොයින් ශරීර ගත වීමෙන් අබිරහස් ලෙස මිය ගියේ 1970 දි. 1993 දි ඝාතනය වූ මියා ස්පාටා නම් රොක් ගායිකාවද , 2011 වසරේ විෂ මත් ද්‍රව්‍ය ශරීර ගත වී මිය ගිය ඒමී වයින්හවුස් ද විසි හතේ කල්ලියේ කඳුළු මතක අතර සිටින ජනප්‍රිය සුන්දරියන් ලෙස නම් තියන්න අපිට පුළුවනි.

මෑත ඉතිහාසයේදි අපි දන්න තරමට සිනමාවට, ගීතයට  මෙන්ම සාහිත්‍යටත් අලුත් කතා අරන් එන්න විසි හතේ කල්ලියට පුළුවන් වුණා. ඒත් ජීවිතය  එක්ක කල්පනා කරලා බැලුවාම හිරිමල් යෞවනයේදී අකාලයේ සමු ගන්න සිද්ධ වීම හරි භයානකයි නේද? 1989 සහ 1990 උපන් සංගීතෙ කරන අය මේ ලිපිය කියවලා බය වෙන්න එපා. හැබැයි මත් ද්‍රව්‍යට සහ අධික බීමත් කමට බිය වෙන්න. සිහි කල්පනාවෙන් ජීවත් වෙන විට අනතුරු ඉතාම අඩුයි. මොවුන් ගේ මරණ ප්‍රසිද්ධ ඔවුන් ප්‍රසිද්ධ නිසයි. ජනප්‍රිය නිසයි. හැම වසරකදිම, හැම වයසකම අය ඕනෙ තරම් එක එක හේතු නිසා මිය යනවා. එකම දේ ඒ ගැන සමාජය ඒ හැටි වද නොවීම පමණයි. සමාජයට සේවයක් කරමින්, සතුටින් ජීවත් වෙන්න. අපි කොයි වෙලාවෙ මැරුණත් මහ පොළවට ණය නැතිව මැරෙන එකයි වඩා වැදගත්. ඒ අතින් විසි හතේ කල්ලිය දිනුම්. 


3/8/17

-278- හයිය කෙල්ලෙක් වෙන්න

මේ ළඟදි ඇඳුම් කීපයක් ගන්න සාප්පු කිහිපයකම වගේ ඇවිදින්න මට සිද්ධ වුණා. ඒ වෙලාවෙදි මං දැකපු දෙයක් තමයි කාන්තා ඇඳුම් වලට අනවශ්‍ය තරමට මිශ්‍ර වෙලා තියෙන රෝස පාට. ඇඳුම් වලට විතරක් නෙවෙයි. බොහෝ කාන්තා භාණ්ඩ වල මේ ගතිය හැම වෙලාවෙම දකින්න ලැබෙනවා. සමාජය විසින් කාන්තාව එක්ක රෝස වර්ණය කියන සංකේතය එකට ගළපලා අනාදිමත් කාලයක ඉඳලා නිර්මාණ කරන්න පෙළඹිලා.  ඒක කවුරුත් වෙනස් කරන්නෙත් නෑ. ඒකට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නෑ. ගැහැණු පාවිච්චි කරන දේවල් රෝස පාටයි කියලා, ආච්චිගෙන් අම්මටත්, අම්මාගෙන් දුවටත් පරම්පරාවෙන් පරම්පරාවට නිහඬවම සන්නිවේදනය කරලා ඉවරයි. තවත් සෑහෙන්න කාලයකට ගැහැණු අයගෙ සුවඳ විලවුන්, උපන් දින සුබ පැතුම්, සුවඳ සබන්, රාක්ක, කොට්ට, හැන්ඩ් බෑග්, දිනපොත් කවර, ෆෝන් පවුචර් පවා වැඩි හරියක් රෝස පාට වෙලා තියේවි.. 

මේ සතිය ඇතුළෙ ලෝකයේ කාන්තාවන් බලගැන්වීම ගැන නිතරම කතා වෙනවා.කාන්තා දිනය තියෙන හින්දා. වැලන්ටයින් වගේම ඒකෙත් ඉස්ටයිල් එකක් නැතිවම නෙවෙයි. ඒත් ඉතිං එහෙමයි කියලා මේ වගේ මාතෘකාවක් ඈවර වෙන්නෙ දෙන්න පුළුවන්ද.  කෙල්ලෙක් විදිහට, මටත් හිතුණා කාලෙක පටන් හිතේ තියෙන දේවල් වලින් ටිකක්  ඔයත් එක්ක බෙදා හදාගන්න. හැබැයි මේ ලිපිය ලියන්නෙ අපි දෙගොල්ලන්ටමයි. ඒ කියන්නෙ, ගැහැණුන්ටයි කියලා නම් කරපු දවස වෙනුවෙන් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටමයි. 

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් යම් පුද්ගල කොට්ඨාසයක් උදෙසා දිනයක් නියම කරන්නෙ, ඔවුන් සම්බන්ධව සමාජයට හෝ සමාජයෙන් ඔවුන්ට හෝ ගැටලුවක් තියෙන නිසයි. කාන්තා ජීවිතේ මෙච්චරට ගැටලුකාරීද? නැත්තම් කාන්තාව විසින්ම, කාන්තාවෝ ගැටලු වලට අතහැරලාද කියලා කල්පනා කරලා බලන එක වටිනවා. අපි පුංචි කාලෙ ඉඳං ඉතිහාසෙ ඉගෙන ගන්නවානෙ. ලෝකයේ දේශපාලනය සහ එය විචලනය වුණ විදිහ කළා මතක ඇතිනෙ. රටවල් නිර්මාණය වෙනවා. ජනගහණය සමාජයක් හදා ගන්නවා. සමාජය විසින් සංස්කෘතිය නිර්මාණය කරනවා. මේ තමයි සියල්ල කෙටි කළාම එන මූලික හරය. හැබැයි මතක තියා ගන්න මේ හැම නිර්මාණ කාරියක් ඇතුළෙදිම ගැහැණියට කවදාවත් පින්සල මුණ ගැහෙන්නෙ නෑ. ඈ තමා දියසායම. අඳින්නෙ පිරිමියා. ඇයයි සිතුවම. ඒ කියන්නෙ ඇය සංස්කෘතියේ පටන් ඉතිහාසයම දරා සිටිනවා කියන එක.

ලංකාව ගැන කියද්දි හමුවෙන මූලිකම ඉතිහාස පොත වෙන මහා වංශෙ කියවපු දාට, ඔබට මුණ ගැහෙයි සිංහලේ රාජාවලිය හරිගැස්සුවෙ ගැහැණු බව. ඇත්ත ඒකයි. ඒ නිසාමයි මැක්සිම් ගෝර්කි, අම්මයි ඉර එළියයි නැත්තං ලෝකය පවතින්නෙ නෑ කියලා කිව්වෙ.

ගැහැණු අයට සමතැන දෙන්න කියලා නානාප්‍රකාර කාන්තා සංවිධාන කෑ මොර දෙන යුගයක් වුණත්, සමතැන කිසිම කාන්තාවකට ඒ තරම් ඕනෙ කරන්නෙ නෑ. අපිට අවශ්‍ය දේ ලබන්න තරම් නිදහසක්, රැකවරණයක්  ලැබෙනවා නම්, ඒ හොඳටම ප්‍රමාණවත්. කෙටියෙන්ම, ඕනෙ කරන්නෙ පුංචි බලගැන්වීමක් සහ ශක්තියක් පමණයි. කෙල්ලෙක් පොඩි කාලෙ ඉඳන් ලෝකෙට බය නැති වෙන්න ඕනෙ. නර්සරියෙදි, හරි හරියට වේදිකා උඩ නටන කතා පවත්වන ගෑණු ළමයි, වැඩිවියට පත් වුණාට පස්සෙ ඩෙනිමක් ඇඳං එළියට බහින්න ලැජ්ජා තරමට සංවේදී වෙන මේ කොළඹ නගරෙ ඇතුළෙම මං දැකලා තියෙනවා කිව්වොත්, ඔයා පුදුම වෙයි.

තමන්ට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්න කෙල්ලකට නිදහසක් දෙන එකේ වරද මොකක්ද? ඇයි හැම වෙලාවෙම, වැඩිහිටි කාන්තාවන් සහ සමස්ත පුරුෂ සමාජයම තරුණ ගෑණු ළමයින්ගෙ විලාසිතා පාලනය කරන්න ඔච්චර උත්සාහ කරන්නෙ? වැඩිහිටි කාන්තාවො නම් එක අතකට, තමන් නොලද සතුට ගැන තියෙන ඉරිසියාවයත්, පුරුෂ සමාජයට තියෙන බියටත් ඇතැම් විලාසිතා තරුණ ගෑණු ළමයින්ගෙන් පාලනය කරවනවා කියලා හිතන්න පුළුවන්. ඒත් පුරුෂයන් එහෙම කරන්නෙ, තමන්ගෙ පරම්පරාව ගැනම තියෙන අවිශ්වාසෙ නිසයි. අනෙක් කාරණාව ලිංගික ඉරිසියාව. ඒත් මේ හැම කාරණාවකින්ම තැලෙන්නෙ අහිංසක තරුණ කෙල්ලකගේ ස්වාධීනත්වය. ඇය වැඩිහිටියෙක් වුණ දවසක, තව තරුණියක් ඒ අහිංසක ආශාවෙන් පාලනය කිරීම නොවැලැක්විය හැකි වෙන්නෙත් අන්න ඒ නිසාමයි. 

හැම දෙයක් වගේම, සතුට කියන්නෙත් රවුමක්. තමන් ලබන දේ තමයි තමන් අනෙකාට දෙන්නෙ. කෙල්ලෙක්ට ආසා කරන කෑමක් කන්න, විඳින්න ආසා නම්, තමන් අතේ සල්ලි තියෙනවා නම්, ඇයි තනියම කෑම කඩයකට යන්න බැරි. ඇයි නිදහසේ ඉඳගෙන කන්න බැරි. හුඟක් ගෑණු ළමයි පෙම්වතෙක් ගෙ සැමියෙක්ගෙ පිළිසරණ හොයන්නෙ, තමන් කැමති තැන් වලට තනියට එක්ක යන්න කියලා මං කිව්වොත් කලබල වෙන්න එපා. කුඩා කාලෙ ඉඳලාම යැපෙන්නියක් විදිහට දීන මනසකට පුරුදු කරපු නිසා, ඇය බයයි තනිවම සමාජයකට මුහුණ දෙන්න. මිනිස්සුන්ට මුහු වෙන්න. අනාරක්ෂිත නැතත්, අනාරක්ෂිතය කියන හැඟීමෙන් කෙනෙක් ගිලුණොත් එයාගෙ ආරක්ෂාව ගැන වගබලා ගන්න කාටවත් බෑ. 

යකෙක්ටවත් බය නැති කෙල්ලෙක් වෙන්න.  ඔයාගෙ බිල් ඔයා ගෙවාගන්න තරමට ක්‍රය ශක්තියකුත්, ඔයාට යන්න ආසා තැන්  ගවේෂණය කරගන්න තරමට සිහි නුවණකුත් හදා ගන්න. ඔයාගෙ ඉලක්ක තීරණය කරන්න. ඒවාට ළං වෙන්න. කවුරුවත් අත දෙනතරු බලා ඉන්න එපා. ඔයාගෙ අවශ්‍යතාවය ඔයා ඔවුන්ගෙන් ඉල්ලන්න. සටන් කරන්න. දිනන තෙක් අත් නොහැර ඉන්න. හිතුවක්කාර වීම ගැනම නෙවෙයි මේ කියන්නෙ. ඒත් ඔයා කැමති දේට, සම්ප්‍රදායිකව, පාරම්පාරිකව හෝ අහේතුකව කෙනෙක් අකමැති වෙනවා නම්, ඔයාට එ්කට සහේතුක හේතුවක් ඉල්ලා සිටීමට අයිතිය තියෙනවානෙ. හැබැයි මේ හැම සෙල්ලමක්ම කරන්න පුළුවන්. ඔයා ස්වාධීන නම් විතරයි. ආදරය විවාහය වගේ සංඝට්ඨන ඇතුළෙ කවදාවත් තමන්ගෙ ආදයම් මාර්ගය අතහරින්න එපා. බැංකු ගිණුම අතඅරින්නත් එපා. හයිය හත්තිය තියෙන ලස්සන කෙල්ලන්ට හැම දිනයක්ම සුබ වෙන්නෙ අන්න එහෙමයි.


3/6/17

-277- ආදරය වෙනස්වෙච්චි හැටි

වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියලා  පුංචි කාලෙ ඉඳන්ම අපේ අත්තම්මා නිතරම කියනවා. ඒ කියමන කොයි කාලෙටත්, එක තරමටම පොදුයි කියලා අපි කවුරුත් දන්නවා. ආදරය දැන් ඉස්සර වගේ නෙවෙයි. හරිම වෙනස්. අපේ අත්තම්මලා අත්තප්පලා ආදරේ කරපු විදිහට නෙවෙයි, අම්මලා තාත්තලා ආදරේ කළේ. එයාලාගෙ ආදරේ අපේ අයියලා අක්කලා ආදරේ කරපු විදියට වඩා හරි වෙනස්. අයියලා අක්කලාගේ ආදරේට වඩා අපේ ආදරේ වෙනස්. අපේ පහු පරම්පරාවල්  ඊටත් වඩා වෙනස් විදිහට ආදරේ කරයි. ඉතින් මේ අරුම පුදුම ආදරේ භාෂාව යුගයෙන් යුගයට එක එක අපූර්වතා එක්ක ආදරේම රැගෙන ඒවි.

ලෝකය පුරාම කොයි කොයි කාලයේදීත් ප්‍රේම සම්බන්ධතා නම් නොඅඩුවම තිබිලා තියනවා. ඒත් ඒ සාමාන්‍ය ප්‍රේමවන්තයන් හුවමාරු කරපු දේවල් ගැන නම්, ඉතිහාසයේ සඳහන් වෙන්නෙ ඉතාම අල්ප වශයෙන්. ඒත් ඓතිහාසිකව වුණත් සම්භාවනීය පුද්ගලයන් ගේ ආදරයේ භාෂාවන් නම් තවමත් කෞතුක වස්තූන් විදිහට ඉතිරි වෙලා තියෙනවා. වික්ටෝරියා රැජිණ පණ මෙන් ආරක්ෂා කරපු ඇලබට් කුමාරයාගෙ පින්තූරෙ, ෂා ජහාන් රජු මුම්ටාස් මහල් නිසා ගොඩ නගපු ටජ්මහල මේ අතර හරි ප්‍රසිද්ධයි. 

ඒත් ඉස්සර යුග වල හිටපු සාමාන්‍ය ප්‍රේමවන්තයන්ට තමන්ගෙ ආදරේ ඔය තරම් විසාලෙට, ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණාද කියලා අපි දන්නෙ නෑ. ඒත් යම් කිසි නිර්මාණයක් තමන්ගෙ ආදරය කරන අයට දෙන්න ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. සමහරවිට, පෙම් ලියුමක් වගේ දෙයක් පැපිරස්  පත්‍රයක හරි පුස් කොළයක හරි ලියලා දුන්නා කියලා. ඒත් ලිඛිත භාෂාව ඒ තරම්ම දියුණු වෙලා නොතිබ්බ යුගයක, සමහර විට, තමන්ගෙ පෙම්වතියට දඩමං ගිහින් රැගෙන ආපු මස් කැබැල්ලක් හරි, සත්ව ඇට වලින් තනපු මාලයක් හරි දුන්න ප්‍රේමවන්තයො හිටියා වෙන්න පුළුවන්. ඒ වෙනුවට ඇගෙන් මොනා ලැබෙන්න ඇතිද? සමහර විට පුංචි හම් පලඳනාවක් ලැබුණා වෙන්න පුළුවන්. ඈ විසින්ම පරණ සත්ව හමකින් ගොතාපු අපූරු තිළිණයක් ඔහුට ලැබෙන්න ඇති. 

එක්දහස් අටසිය ගණන් වල ලංකාවෙ තොරතුරු අනුව, ගොවි පෙම්වතුන්ට පෙම්වතියන්ගෙන් වැඩියෙන්ම ලැබෙන්න ඇත්තෙ අමුඩ ලේන්සු කියලා තමයි තොරතුරු දන්න අය කියන්නෙ.. ඒ වෙනුවට ඇයට ඔහුගෙන් සිදාදියෙන් ගෙනන පට කම්බායක් හරි, හෙට්ටි වෙළෙන්දන්ගෙන් හදවාගෙන එන පබලු පොටක් හරි ලැබෙන්න ඇති. එකදහස් නවසිය මුල ගණන් වල බොහෝමයක් ආදරය උදෙසා එහෙට මෙහෙට හුවමාරු වෙලා තියෙන්නෙ කෑම බීම කියලා පොත පතේ සඳහන් වෙනවා. හකුරු මුලට, කිරි හට්ටියක්, අඹ ගෙඩියකට, මල් වට්ටියක් විදිහට පෙම්වතුන් ප්‍රේමය පිළිගන්වලා තියෙනවා. ඇපල් කියන්නෙ ඉතාම සුඛෝපභෝගි කෑමක් වෙච්ච ඒ කාලෙ, ඇපල් ගෙඩියක් දෙන පෙම්වතෙක්ට විශාල තත්වයක් පෙම්වතියගෙ ගෙදරින් පවා ලැබුණා කියලයි තොරතුරු තියෙන්නෙ.

ඒත් එක්දහස් නවසිය හතළිස් ගණන් වෙනකොට, අපේ අත්තම්මලාගෙ අම්මලා නම්, රේන්ද වලින් ගොතාපු බැනියම්, රටා දාපු පැදුරු, අත පිස්නා වගේ පුංචි පුංචි අත්කම් හුවමාරු කරගන්න පටන් අරගෙන. ඒ කාලෙ තමන්ගෙ පෙම්වතා ගේන මල් මල් චීත්ත රෙද්ද තමයි පෙම්වතියො තමන්ගෙ යෙහෙළියන්ට පෙන්වලා තියෙන්නෙ.  එක්දහස් නවසිය හැට ගණන් වල තරුණ වියේ හිටපු අපේ අත්තම්මලා හුවමාරු කරගෙන තියෙන්නෙ, සාරියක්,  සරමක් , කමිසයක්, මල් මහපු ලේන්සුවක්, ගුඩි නයිට් මහපු කොට්ට උරයක් වගේ දේවල්. අපේ අම්මලාගෙ යුගය වෙන අසූ ගණන් වල අග හරියෙදිත්, මේ ගුඩ් නයිට් කොට්ට උරේ හරි ජනප්‍රියයිලු. අනිත් පැත්තෙ ගුඩ් මෝනිං කියලත් සමහර පෙම්වතියො මහනවලු. දැන් වගේ sms නොතිබ්බ ඒ කාලෙ උදෑසනට රාත්‍රියට සුබ පතන්න හොඳම විසඳුමක් විදිහටයි එහෙම කරන්න ඇත්තෙ. සිංදු කෑලි ලියපු ලියුමක්, ඔටෝග්‍රාෆ් එකක්, අතින් ඇඳපු චිත්‍රයක්, ඇය වෙනුවෙන්ම ලියූ කවියක් ඇරෙන්න අලුත් තෑගි දීමේ ක්‍රමවේදයක් නම්, අසූව දශකයෙන් හොයා ගන්න අමාරුයි. සමහර විට අවසාන අවුරුදු තුන හතර පුරා ලංකාව පුරාම පැවති, තරුණ සංහාරය, ආදර රැල්ල මකන්න බලපාන්න ඇති. ඒත් ඒ කාලෙ ඉඳන් තමයි චොක්ලට් සහ බිස්කට්  ආදරයේ සංකේතයක් වෙන්න පටන් ගත්තෙ. 

හැත්තෑ ගණන් වල නම්, පෙම්වතියකට පෙම්වතෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග හාල් කූපන් එක කියලා ඒ කාලෙ තරුණයො ලෙස ජීවත් වෙච්ච අය අදටත් කියනවා. තමන්ගෙ පෙම්වතිය කොටට අඳිනවාට අකමැති වෙච්ච පෙම්වතුන්,  කොහොම හරි රෙදි කූපන් එකක් නම්, තෑගි දෙන්න උත්සාහ කරන්න ඇති කියලා ඇත්තටම හිතන්න පුළුවන්. 

විසි එක්වැනි සියවස ආරම්භයෙ අපි ළමා කාලෙ ඉද්දි, අපේ අයියලා අක්කලාගෙ ප්‍රේමකතා වල, අපිත් හවුල් කාරයො වුණා. පුංචි පුංචි තෑගි හුවමාරු කරන්න අපිත් තැපැල් කාරයො වුණා ඔයාට මතකද? ටෙඩි බෙයාර්ලා, චොක්ලට් බෝල, රෝසමල්, ආදර සුබ පැතුම්පත් , පුංචි පුංචි වීදුරු වලින් කරපු, මැටියෙන් කරපු නිර්මාණ ඒ කාලෙ සෑහෙන සංසරණය වුණා. ඒත් අද මේ තත්වෙ ඊට වඩා ගොඩක් දියුණු වෙලා. ඒ කාලෙ තෑගි හුවමාරුවට අයියලා අක්කලාට අපිව ඕනෙ කළාට, දැන් අපිට නම් නංගිලා මල්ලිලා ඕනෙ නෑ. අපේ තෑග්ග තීරණය කළාට පස්සෙ ඒක අපිට අවශ්‍ය කෙනාට ගිහිං දෙන්න අපිට බැරි නම්, ඒකට ආයතන ඕන තරම් අද රටේ තියෙනවා. අද වෙනකොටත්, ඉස්සර තරම්ම ජනප්‍රිය චොක්ලට්, විවිධ මිල ප්‍රමාණ වලට, විවිධ රසයෙන්, විවිධ මාදිලියෙන්, විවිධ සන්නම් නාම යටතේ වෙළඳ පොළේ ඕනෙ තරම් තියෙනවා. සුබ පැතුම් පත් පවා එහෙමයි. ඉස්සර දෙකට නවන දිග හරින සුබ පැතුම් පත් වෙනුවට, අද ගීත ඇහෙන, සුවඳ දැනෙන, විවිධ වර්ණ වල ලස්සන සුබ පැතුම් පත් විවිධ හැඩ තලයෙන් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට අවශ්‍ය විදිහට තමන්ට වුවමනා ප්‍රමාණයෙන් තමන්ට අවශ්‍ය කෙනා වෙනුවෙන්ම සුබ පැතුම් පතක් නිර්මාණය කරලා දෙන ආයතන අද ලංකාවෙ තියනවා. දෙන්නාගෙම රූප දාපු තේ කෝප්පයක්, පිඟානක් පවා නිර්මාණය කරගන්න දැන් කාටවත් බාධාවක් නෑ. තමන්ගෙ පෙම්වතියට පෙම්වතාට පුදුමයක් දෙන්න කැමති අය, අලුත් සමාජෙ නම්, ඇයව සුඛෝපභෝගී හෝටලයක දහවල් කෑම වේලක් වෙනුවෙන් හරි, සංගීත ප්‍රසංගයක් හෝ චිත්‍රපටයක් බලන්න හරි එක්ක යන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය අතරේ රෝස මල් වලට තියෙන අගයත් කිසි අඩුවක් වෙලා නෑ.

කොහොම වුණත්, ආදරේ නිතර නිතර අලුත් වෙන්නෙ තෑගි නිසයි කියලා හිතන අයටත්, ආදරය වෙනුවෙන් සිහිවටනයක් දෙන්න කැමති අයටත්, හැම යුගයකදීම ආදරය වෙනුවෙන් සමාජය විසින්ම තෝරා දුන්නු, තෑගි හොයාගන්න බැරි කමක් නෑ. ආදරයේ භාෂාව ඒකයි. වෙනස් වුණත්, වෙනස තුළ පවතිනවා. ඒත් ආදරය උදෙසා දෙන්න පුළුවන් හොඳම තෑග්ග ආදරයයි කියලා ආදරවන්තයින්ගේ දවසෙදි මං ඔයාට සිහිපත් කරනවා. ඒ ඇයි දන්නවාද? ආදරය පිරෙන්නේ ආදරයෙන්ම විතරයි කියලා අපි හොඳටම දන්න හින්දා..