12/25/16

-273- ජිවීතේ උතුරන්න ඉඩ දෙන්න.

තුරුලතාවෝ මහ පොළවට ප්‍රේම කරති. මහපොළොව තුරු ලතාවන්ට ප්‍රේමකරයි. තුරුලතා සියොතුන්ට ප්‍රේම කරයි. සියොත් කැළ තුරුලතාවන්ට ප්‍රේම කරයි. පොළව සැම විටම අහස ගැන ආල ලීලාවෙන් පසුවෙයි. අහස නිරතුරු පොළව ගැන ප්‍රේමයෙන් වෙලෙයි. වැස්සක් සේ මහපොළොව මතට වසින්නේ එයයි. එපමණක් නොව නීල ජල කඳක් දරා හිඳින මහ මුහුද කිසිවකට නොදෙවෙනි උපරිම ප්‍රේමයකින් සියලු මහද්වීප බදා වැළඳ සිටියි. ඒ මහද්වීප මහ මුහුද ගැන අපරිමිත විශ්වාසයෙන් ලෝකය දරා හිඳි. සොබාදහම  මෙතරම් ප්‍රේමයෙන් ඇලලෙන්නේ නම්, එය වන්දනාවක් විය නොහැකිද? එය පිරිතක්, ගීතිකාවක් සේ පූජනීය විය නොහැකිද? ආදරය යනු මෙලොව පවතින ඉසියුම්ම දර්ශනය නොවන්නේද?

ඕෂෝ කියන විදිහට, ආදරය තුළින් එක් පාර්ශවයක් පමණක් පිරී ඉතිරෙන්නෙ නැහැ. ආදරය කලාවක් නම් එය එහෙම වෙන්න ඉඩක් පවතිනවා. හිතන්න. මම ඔබ වෙනුවෙන් කවියක් ලියනවා. ඔබ එය විඳිනවා. මම කතාවක් කියනවා. ඔබ එය අසා සිටිනවා. කලාවක් කියන්නෙ ඒක පාර්ශවික පරිශ්‍රමයක්. අනෙකා උදෙසා නිර්මාණය කරන විස්මය ජනක පරිශ්‍රමයක්. නමුත් ආදරය කලාවක් නොවෙයි. ආදරය මැවෙන්නෙත් ගොඩනැගෙන්නත් කිසිම වෙහෙසකින් තොරවයි . ආදරය කියන්නේ හදවත් පිරී ඉතිරී යාමයි. කුසලානයක පිරවූ රතු වයින් වගේ චමත්කාර මිහිරකින් පිටාර ගැලීමයි. ඔබේ සිතිවිලි මාළිගාව ඔබ නොදැන සිටින අරුම මොහොතකදී ඔබ ඉදිරියේ ආඩම්බරයෙන් විවර වීමයි.

ඔබ ආදරයට ආදරය කරන තරමට, ආදරය විසින් කවදාවත් ඔබ පය නොතැබූ සුන්දර ඉසව් ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ මොහොතේ ඔබට රැස් වළල්ලක් ‍ඔබ වටා මැවෙන අයුරක අරුම පුදුම ප්‍රහර්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරය සැමවිටම ප්‍රීතියට පමණක්ම ඉඩ තියන්නෙ නැහැ. එය එක් අතකින් වේදනාව මිට මොළවා ඔබ සමඟම ඇවිද එනවා. ඔබට ඉන් මිදෙන්නත් බැහැ.

සමහර ප්‍රීතිමත් මොහොතවල් ජීවිතය ඔබෙන් උදුරාගන්නවා. ඉතින් ඔබ කඳුළු සලන්නෙ ඇයි? යමෙක් ඔබේ ප්‍රීතිය ‍ඔබෙන් සොරාගත්තා නම්, ඔබ එයට ස්තූතිවන්ත විය යුතුයි. ජීවිතය සිනමාපටයක් නොවන වග ඔබට පහදා දෙන්නේ එවන් අයයි. ඒ සොඳුරු සතුට සොරාගත් අය ගැන  අනුකම්පා කරන්න. එය ආදරයකට හරවන්න උත්සාහ කරන්න. ඔවුන් වේදනාවෙන් ලෙඩ වුණ අය. ජීවිතය මඟ ඇරුණ අය. ජීවත් වෙන අතරෙදිම හදවත් වලින් මිය ගිය. ප්‍රීතිමත් හැඟීම් වලට ඉතාම ආගන්තුක අය. ඔවුන් ඔබ ලද ජීවිතය ගැන ඉරිසියාවෙන් මිරිකිලා. ඔවුන් හදවතට හොරෙන්ම විඳවන ජීවිත තෝරගෙන.

ඔබේ මිහිර, ඔබෙන් හොරාගන්න අමානුෂික, කුහක අදහස් වලින් ආදරය කැටගරි කරන්න ඔවුන් පෙළඹෙනවා. මේ ඔබේ පවුල. මේ අය පවුලෙන් පිට. මේ අයට ආදරය කරන්න. මේ අයට ආදරය නොකරන්න. මේ අය ඉවත් කරන්න. මේ අය වැළඳගන්න. ආදරයට කොහේ තියෙන කැටගරියක්ද? ආදරය කියන්නෙම ආදරයටයි. සංස්කෘතිය විසින් සමහර වෙලාවට ආදරය මරලා දානවා. ඔබත් මමත් සංස්කෘතිය නාමයෙන් ආදරය ඝාතනය කරන්න එකතු වෙන්නෙ ඇයි?

ආදරය සීමා මායිම් දමා බැඳ දමන්න පුළුවන්ද? ආදරය යන හැඟීම උපදින තැනවත් නොදැන හිර කරන්නෙ කොහොමද? සීමා නැතිවූ තැන ගොඩනැගෙන සහෘදත්වයට ලෝකය ඉතා බියක් දක්වනවා. ඒනිසයි මෙතරම් සීමා පනවන්නේ. ආගමික සීමා, දේශ සීමා ආදී සියල්ල අතර පවුල තුළ පවා සීමා නිර්මාණය වෙනවා. ඒ නිදහසට ඇති අප්‍රමාණ බිය නිසා නේද?

ඔබ ආසයි නටන්න. ඒත් අනෙක් අය කැමති නෑ ඔබ නටනවාට. සමහරවිට ඒ ඔවුන්ට නැටුම් බැරි නිසා. නැත්නම් ඔවුන් නැටුම් නොදන්න නිසා. සමහරවිට හැබෑවටම ඔවුන් නැටුම් වලට අකමැති නිසා. මේ හේතු තුනෙන් නිවැරදි හේතුව කුමක් වුවත් ඔවුන් ඔබේ නැටම නවත්වන්න උත්සාහ කරාවි. ඔබ නටන අවස්ථාව පිළිබඳ, ඔබේ සිත තුළම වරදකාරී සිතුවිල්ලක් මවන්න වෙරදරාවි. ආදරය කරද්දි ලොව එරෙහි වන්නේ මේ ආකාරයෙන්මයි. ඔබට ඔබ ආශා කරන විදිහට ආදරය කරන්නට ඔවුන් ඉඩ නොදේවි. ආත්මය විසින් රෝගී වූ ඔවුන්ට ඉන් එහා යමක් කළ හැකිද? ඔවුන්ට අවශ්‍ය ලෙස ඔබේ ආදරය පුරන්නට ඔවුන් බලකරාවි. ඉතින් මෙවන් පරිසරයක් ඉදිරියේ ශක්තිමත්වම සිටිය යුත්තේ ඔබයි.

ඔබේ ජීවිතය ඔබ විසින් අල්ලාගන්න. සෑම මොහොතකම ජීවිතය සාදයක් සේ සිතා ප්‍රීතිමත් වෙන්න. ඔබට සැමවිටම උගන්වන්නට බලා සිටින සමාජය ඔබට ගෙන එන්නේ වේදනාව නම්, එවන් දේ නොතකා සිටින්නට පුහුණු වෙන්න. ඔවුන්ටත් ආදරය කරන්න. ආදරය බෝවන රෝගයක් වගේ. වේගයෙන් පතුරන්න පුළුවන් දෙයක්.

බලන්න, මේ අවට ඇති ගහකොළ දිහා. ඔවුන් බුම්මාගෙන ඉන්නවා කවදාවත් දැක තියෙනවාද? මඳ සුළඟට ඔවුන් ගීත ගයනවා. බලන්න, මේ පුංචි කුරුලු රංචු දෙස, ඔවුන් නිහඬද? ඔවුන් සුන්දර ගීතයක් සොයනවා. ඒ ගයන්නෙ ඔබටයි. ගංගා වල සරැළි අතර, ඇළ දොළ මැද ගලන පෙණ කැටි අතර හැම තැනකම රැඳී ඇත්තේ සතුටයි. විනෝදයයි. ජීවිතයේ ආලෝකයයි. ඔබත් මේ හැම දෙයකම කොටසක්. ලෝකයට ඔබ පිවිසියේ ලොවට ආදරය කරන්නයි. ජීවිතය විඳින්නයි. උත්තරීතර ආදරය, ප්‍රීතිය ඔබ තුලින්ම හොයාගන්නට වාසනාවන්ත වෙන්න. ජීවිතය මෙන්ම ආදරය තියෙන්නෙත් ඔබේ දෙපා පාමුල.


12/20/16

-272- වේදනාවේ උල්පත් පෑන

ප්‍රීතියට පත් වෙච්ච මිනිස්සු ඉන්න යුග වලදි සාහිත්‍ය සහ කලාව ඉතා ඉහළින් දියුණු වුණා කියලා, යුරෝපීය ඉතිහාසය සහ ආසියානු ඉතිහාසය ගැන මුලාශ්‍ර වලදි කරුණු පෙනෙන්න තියෙනවා. ඒ වුණත් බොහෝ අග්‍ර කෘතින් බිහි වෙන්නෙ වේදනාව පිරුණ යුග වලදි. මැක්සිම් ගෝර්කි, නිකොලයි ගොගොල් , අර්නස්ට් හෙමිං වේ වගේ ලේඛකයො ගැන අදටත් මුළු ලෝකයම කතා කරන්නේ ඔවුන් මනුෂ්‍ය වේදනාවේ උල්පත් තමන්ගෙ පෑනෙන් අකුරු කරපු නිසයි.
පුද්ගලයො වශයෙන් ගත්තත්, ඉතා සුරම්‍ය කලා නිර්මාණ මේ ලෝකෙට දායාද කරපු බොහෝ දෙනා තමන්ගෙ හදවතේ වේදනාව හිර කර ගත්ත අය. සමහර වෙලාවට නිර්මාණ කියලා එළියට ආවෙම ඔවුන්ගේ හදවත් වලින් පිටාර ගලපු මහා වේදනාවේ නිවිච්ච කඳුළු බිංදු කියලා, ඔවුන්ගෙ පුද්ගලික ජීවිත ගැන දන්න කියන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
අපි උසස්පෙළට ඉගෙන ගන්න මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙ, දෙවෙන්දරෝ සං මනංකල්පිත කෙනෙක්ද? සැබෑ කෙනෙක්ද? එහෙමත් නැත්තම් මහාචාර්ය එදිරිවීර සරච්දන්ද්‍රයන්ගෙ පෑන නිර්මාණය කළ මායාවක්ද? ඒ මුකුත් නෙවෙයි නම්, ඇත්තෙන්ම ජපන් තරුණියකට පෙම් කළේ අපේ එදිරීවීර සරච්චන්ද්‍රයන්ද? ඔයාට කවදාවත් මෙහෙම හිතිලා නැද්ද?
ලේඛකයෙක් කියන්නෙ ඕපපාතිකයෙක් නෙවෙයි. ඔහු මේ සමාජයේ අපිත් එක්කම ගැටෙන, කතා බහ කරන තවත් එක මනුස්සයෙක්. අපි දකින ලෝකයම, අපි විඳින සතුටම අපි විඳින දුක ම විඳින කෙනෙක්. ඔහුගෙ හෝ ඇයගේ සැබෑ ජීවන දැක්ම, අත් දැකීම් සහ ඒ වයේ පිරුණ වේදනාව සහ සතුට ඔවුන්ගෙ නිර්මාණයන් විදිහට එළි දකිනවා.
අපි තව දුරටත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය භාවිතාවට දෙසටම හැරුණොත්, ඔහුගේ අග්‍ර නාට්‍ය යුගලය වන මනමේ සහ සිංහබාහු හුදු ඓතිහාසික කතා දෙකක් නාට්‍ය වලට හැරවීම නෙවෙයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ජීවිතයේ තමන්ගේ පහසේ රැඳුණ ස්ත්‍රී ජීවිත තමන්ගෙන් වෙන්ව යාමේ විප්‍රයෝගය සාධාරණීකරණය කරන්න ඔහු නිර්මාණ කළා වෙන්න බැරිද? "නොදනිමි කාගේ දෝසා" ඔහු මනමේ අවසාන කරන සැටි බලන්න. සාමාන්‍ය මිනිසා සහ සාහිත්‍යකරුවා අතර වෙනස එයයි. සාහිත්‍යකරුවා , කලා කරුවා ප්‍රකෝපයට පත්වන්නෙ නෑ. වේදනාව නිසා කඳුළු වගුරන්නෙ නෑ. ආදර ලියුමක් ලියන, ඔයාට ඒ ලියුම ඇතුළෙ බනින්න පුළුවන්, කේන්ති ගන්න පුළුවන්. හඬන්න පුළුවන්. ඒත් කලා නිර්මාණයක් කියන්නෙ, කඳුලු වියලාගත්, කේන්තිය නිවාගත් හදවතක් වගේ තැනක්. මේ කාරණාව ගැන කතා කරන්න තවත් හොඳම කෙනෙක් තමයි "සේකර".
මහගමසේකර කියන්නෙ ලංකාවේ හිටිය විස්මකර්ම කලා කාරයෙක්. ඔහු කවි, නවකතා, චිත්‍රපට, චිත්‍ර ආදී බොහෝ ක්ෂේත්‍ර වල විවිධ පරාසයෙන්ගෙන් දක්ෂකම් පෑවා. ඒ හැම කලා නිර්මාණයක් තුළම ඔහුට අනුභූතිය සැපයුවේ ඔහුගේම ජීවිතය. මිනිහෙකුගේ ජීවිතේ ඇදවැටීම්, බිඳ හෙලීම්, හැරයාම් ඒ මනුෂ්‍යයාව වෙනස් කෙනෙක් බවට පත් කරනවා. ඒ වෙනස් වෙන පුද්ගලයා විසින් නැවත සමාජය වෙත ඔසවන්නේ ආයුධයක්ද, පෑනක්ද කියන කාරණාව ඉතාම වැදගත්.
බොහෝ කලා කරුවො වගේම, බොහෝ දුෂ්ට ත්‍රස්තවාදියො බිහිවන්නෙත් වේදනාව තුළින්මයි. කලාව තුළ ඉහළම නිර්මාණය කරන්නෙ වේදනාව සමඟම ජීවත් වෙන මිනිස්සුයි. ඒ අය අවුරුදු ගණනක අනාගතය එක මොහොතකින් සිහිනයක දකින්නට තරම් දක්ෂ වෙනවා. ඔවුන්ගෙ වේදනාවත්, සොබා දහමත් දෙකක් නොවී එකක් බවට පත් වෙනවා. සේකරයන් අතින් "සත්සමුදුර" චිත්‍රපටයට මෙම ගීය ලියවෙන්නෙ ඒ නිසයි.
"සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනා සේ සැලෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුල මහ මෙර දෙදරවයි බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ගිල ගනී"
මිනිසෙකුගේ මුලා වූ සිතුවිලි සමුදායක්, උඩු හිත සහ යටි හිත කළඹවන ආකාරය කිසි දවසක හැබැහින් ඔහුට දකින්නට නොලැබුණු සුනාමියක් සමඟ එකතු කරලා ඔහු මේ පද වැල අමුණනවා. මේ ස්වභාවික ව්‍යසනය සිද්ධ වෙන හැටි ඔහු කවදාවත් ඇසින් දැකලා දැනගෙන හිටියෙ නෑ. ඔහු සොබාදහම තමන්ගේ මුලා වූ සිතිවිලි හරඹය අකුරු කරන්න සංකේත විදිහට යොදාගත්තා විතරයි. සිංහල සාහිත්‍යයේ දි අපි මේ කාරණාව "උත්ප්‍රාසය" කියන නමින් හැඳින්නුවත් සේකර වගේ සාහිත්‍යධරයො හදවතේ ඒ මොහොතෙ පැවතිච්ච නිර්ව්‍යාජ රටාවයි අකුරු කරන්නෙ. ඒ නිසයි මේ නිර්මාණ යුග ගණනාවක් එළිය කරන්නෙ.
වේදනාව තුළින් බිහි වුණ මේ වගේ අග්‍රගන්‍ය කලාකරුවො සෑම රටකම පාහේ ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් කතා කළේ දෙදෙනෙක්ට ආනුභූතීන් වුණා කියා සැක කළහැකි තැන් ගැන පමණයි. දැන් අවස්ථාව තියෙන්නෙ young ඔයාටයි. එක රැල්ලට පහු ගිය කාලෙ පොත් ප්‍රදර්ශන වලට එහෙම ගිය හින්දා, ගෙදර ගොඩගැහුණ පොත් පත් ටික මුලින්ම අපි කියවන්න පටන් ගමු. නත්තලට පොඩි නිවාඩුවකුත් ලැබෙයිනෙ. ඔය අතරෙ facebook අස්සෙ, Social Media පැත්තෙ රවුමක් යනකොට share වෙන කවි කුරුටු දිහාත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න අමතක කරන්න එපා. වේදනාව අකුරු කරන්න පුරුදු වෙන අංකුර නිර්මාණකරුවො වගේම විශිෂ්ටයොත් ඔයාට මුණ ගැහේවි. නිර්මාණය දෑස මානෙට ගෙනෙන මාධ්‍ය මොකක් වුණත් එය බිහි කරන්න නිර්මාණ කරුවො වින්ද වේදනාව අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න විඳින ශාරීරික වේදනාවට සමාන මානසික වේදනාවක් කියලා එතකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි. අන්න එතනදි ඔයා කලාවේ ස‍හෘදයෙක් වේවි. කලාකරුවෙකුට සමාන හදවතක් ලැබෙනවා කියන්නෙ ලේසී පහසු වැඩක්ද?


12/13/16

-271- එක මොහොතක දිග කතාවක් -

ඒ නිකිණි සීතල පළාතම ගිනියම් කරපු දවස්. සිහිල වුණත් උපරිම මායිම පැන්න තැන හිටං පටන් ගන්නෙ උල්කාෂ්මෙකින් පැන නගින තරමෙ ගින්දරක්. "මොකද මේ අවේලාවෙ..?" බෝඩිමේ ඉස්සරහ ජෑම් ගහ පාමුල එන ඕනෙම පිටස්තරයෙක්ට ඉඳඟන්න ලෑල්ලක් දාලා තියෙද්දිත්, බිත්තියට පිට දීලා අන්ධකාරෙ කළුවර මනින එයාගෙන් මං ඇහුවා.
චිමිනි ලාම්පු වුණත් කණාමැදිරි එළියට පෑහෙන්න පත්තු කරපු දවස් නිසා කවුරුවත් කලුවරට බය වුණේ නෑ. "ඇවිත් ඉඳගන්න." සැනසිලිදායක හඬකින් ඔහු කිව්වා. ඒත් පුරුදු ඉසියුම් හිනාව ඒ මූණේ නෑ කියලා මට අන්ධකාරෙදිත් දැනුණා. "හිත කරදරෙන්ද? " අන්ධකාරයත් එක්ක සමපාත වෙච්ච ඒ මූණට මං එබුණා.
"මට බයයි" ඒ වචන දෙක ඒ මුවින් ගිලිහෙද්දි, ඒ ශරීරෙට වඩා දහස් ගුණයක වෙව්ලුමක් මගේ ශරීරෙ පත්ලෙන් මතුවුණා. බය කියන වචනෙ මීට කලින් කවමදාවත් පිටනොවුණු ආගන්තුක වචනයක් නිසා මං මට මතක විදිහට මිනිත්තු කිහිපයකටම තිගැස්සුණා.
ඒ හැඟීම අවසාන වෙන්න මොහොතක් තියෙද්දි, එයා සාක්කුවෙන් හීනි තුණ්ඩු කෑල්ලක් එළියට ගත්තා. "මට ලියුම ඇවිත්.." ඇඟිලි ‍අස්සෙ අඩමානෙට රැඳිච්ච ඒ පුංචි කඩදාසිය, මං අල්ලගත්තා. එය දිග හැරියට පසුවත් මගේ හැඟීම් වෙනස් නොවුණු බව එයා අඳුරේම සටහන් කරගත්තා. " ඔයාට බය නැද්ද? " තමන්ටම සරදම් කරගන්න ආකාරෙ හිනාවක් ඔහුගේ ඇස් වලත් තොල් වලත් තිබුණු බව, කියවන්න කළුවර මට බාධා කළේ නෑ. "මං පුදුම වෙලා හිටියෙ මෙච්චර කාලෙකට මේ වගේ දෙයක් ආපු නැති එක ගැන." ඇසිල්ලේ පැන නැගුණ බිය, වේදනාව සියල්ල තුරුළු කරගෙන ඒ දරදඬු බාහුවේ මම තදින් එල්ලුණා.
"මාව අඳුනන වගක්වත් කාටවත්වම අඟවන්න එපා. මං ගැන දැනුමක් ඇතිවෙන හැම දෙයක්ම අද රෑම පුච්චලා දාන්න. අපේ ලියුමක් වත් තියාගන්න එපා." ඒ ඇඟිලි මගේ ඇඟිලි වල තද වුණා. ඒ ඇස් වල කඳුළු බිංදු හිර වෙලා ගල් ගැහුණ බව, බිඳුණු කටහඬ මට කිව්වා. මං නිහඬවම අහගෙන හිටියා. පුළුවන් තරම් ඒ වචන මතක තියාගන්න මං උත්සාහ කළා. " තනිවම නිදා ගන්න එපා. අසනීප නොවී ඉන්න බලන්න." ජීවිතේ අවසාන අවවාද ටික දෙන්න සූදානම් වෙන විදිහට, හැමදේම කියාගෙන යද්දි, මාව ඇතුළතින් සීතල වුණා. " මං හිතලා අසනීප වෙන්නෙ නෑ.." මගෙ ඇස් දෙකේ කඳුළු නවත්තන්න මට බැරි වුණා.." මං ඒක දන්නවා දෙයියනේ . මට බයයි..මට ළඟ ඉන්න බැරි වෙයි කියලා." ඒ හඬේ තිබුණේම වේදනාව. ඒ වේදනාව මාව අයිස් කන්දකට හිර කරන්න පටන් ගත්තා.
" මේ කරදර කවදා ඉවර වෙයිද?" නිතරම උත්තර අහන උත්තර නැති ප්‍රශ්නෙ, ආයෙම මම එයාගෙන් ඇහුවා. "කරදර ඉවරවෙයි . ඒත් ඒ දවසයි කවුරුත් නොදන්නෙ.." පළමුවරට මේ මොහොතෙ නැඟුණු ඔහුගෙ මන්දස්මිතය මගේ හිත ඩිංගක් එළිය කළා. " එදාට අපි ජීවත් වෙයිද මංදා." මං පුංචි හිනාවක හැඟීම එක්ක, ඒ කතාව දිග දුරට ඇද්දා. "අමාරුවෙන් හරි ජීවත් වුණොත්, අපිට තව ආදරේ කරන්න වෙලාව ලැබෙනවා." එයා මගේ නළල පරිස්සමට සිප ගත්තා.පුරුදු විදිහටම හිස අතගෑවා. "මං යන්න ඕනෙ. මට මුළු රෑම මෙතන ඉන්න බැහැනෙ. හෙට ඕනෙ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා ලෑස්ති කරන්න." ඔහු ආයෙම පාරක් හිනාවුණා. මං ඇස් වලින් එයාව අත් නොහැරම, නොපෙනෙන තුරුම බලා හිටියා. එයාගෙ ආදරේ අමතක නොකරම, මං බෝඩිමේ දොර වැහුවා.
චිමිනි ලාම්පුවෙ දුර්වල එළිය මෙරුවෙක් එනතුරු මඟ බලා හිටියා. මං ඇස් පියාගෙන කරදර කාලෙ ඉක්මනින් ඉවර වෙන්න ප්‍රාර්ථනා කළා. ඉසියුම් සීතලක් මගේ හැම නහරකම, හැම රුධිර කේශ නාලිකාවකම ක්ෂණිකයෙන් ඇදෙන්න පටන්ගත්තා. ඉන් පස්සෙ මට මහා සුවයක් දැනුණා.
26-08-1989

12/10/16

-270- සිහින ගෙනෙන හැම රෑ ගානේ...ආදරෙයි මං ආදරෙයි... | Just Another Love Story

මේ අකුරු ඇතුළෙ සාහිත්‍යය හොයන්න අමාරුයි. ජීවිතෙයි සාහිත්‍යයි එකට ගළපද්දි, සාහිත්‍යට ඉස්සර වෙලා ජීවිතය එබෙන්න ගන්නවා. ඒ නිසා සාහිත්‍යය පැත්තකට විසිකරලා, මම මේ සටහන තුළ මගේම ජීවිතය තුරුළු කරගන්නවා.

මං එයාව ඉස්සල්ලාම හීනෙන් දැක්කෙ, අවුරුදු දහහතරක් විතර කාලෙ. මං ඒ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ. බාගෙට හදපු අත්තිවාරමක් උඩ අපි ඉඳගෙන හිටියා. කොටින්ම මං මාව දැක්කෙත් නෑ. මට මගේ මුහුණ පෙනුණෙත් නෑ. ඒත් මං මමයි කියලා හිතුවෙ, මටම නෙවෙයි කියලා විතරක් මට දැනුණා. එක හේතුවක් තමයි මට නිල් පාට මල් වැටිච්ච කිසි ඇඳුමක් නොතිබීම. දෙවනි හේතුව තමයි, අවුරුදු දහ හතරෙදි මට ඒ තරම් දිග කොණ්ඩයක් නැතිවීම. ඒත් ඒ හීනෙ ඇතුළෙ මට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මම නෙවෙයි එයා. එයා සුදු කමිසයකට, කලු කලිසමක් ඇඳලා හිටියා. කමිසෙ උඩින් දාලා සැහැල්ලුවෙන් හිටියා.  මොකකටදෝ හිනා වෙමින් හිටියා. වචනයක් වත් කතා නොකරම බලා හිටියා. ඒත් මට මතකයි එකම එක දෙයක්. එයා යන්න ඉස්සර වෙලා, මගෙ ඔලුවට අත තියලා මා දිහා බලාගෙන හිටියා.  ඒ හීනය පුරා අමතක නොවෙන එකම දේ එයාගෙ නොනවතින හිනාවම විතරයි.

ඉන් අවුරුදු කිහිපයක් යනතුරු එයා හැංගුණා. මගෙ හීනෙ මටත් අමතක වුණා. ආයෙත් මං එයාව දැක්කෙ අලුත් හීනෙක. ඒ වෙනස්ම තැනක. වියළි තණකොළ එකක් දෙකක් අයින් වල පැලවෙච්ච.. වැල්ලවත් නැති, ගුරු පාරක. එයා මට වඩා ටිකක් ඉස්සහින්. මං ඊට පස්සෙන්.  මට ඒ හීනෙ අමතක නොවෙන එකම දේ තමයි ඔහුගෙ හිනාව. ඔහු ඒ හිනාවෙන හැම මොහොතකම මගෙ හිතට දැනුණෙ පුදුම සැනසීමක්. සිහිනයක්ද හැබෑවක්ද කියලා නොතේරෙන අප්‍රමාණ සැනසීමක්.

කවදාවත් අනෙක් අය එක්ක අවදිව හිටපු ලෝකෙදි නොදැක්ක, ඒත් හීන වලදි කලාතුරකින් මුණගැහුණ එයාගෙයි මගෙයි හීනෙ එක දවසක් විකෘති වුණා.  ඒ බටනලා පිඹින අංකල් කෙනෙක් හින්දා. එයා කලාතුරකින් අපි හමුවෙන ගුරු පාරෙ හීනෙදි, අපි අපි දිහා බලා ඉන්න එකට බාධා කරන්න පටන් ගත්තා. එයා දිගටම බට නලා වයන්න පටන්ගත්තා. ඉන්පස්සෙ අපි හමුවෙන නාගරික ගුරුපාර වෙනස් වුණේ නෑ වගේම කවමදාවත් ඔහු වයන ගීය වෙනස් වුණෙත් නෑ.

කලාතුරකින් දකින එකම හීනය එක්ක අවුරුදු කිහිපයක් ගත වුණ එක දවසක, අගනුවර ගිනිමද්දහනෙ පියවි ලෝකෙදි අපි මුණ ගැහැණා. එහෙම ප්‍රහර්ෂයක සීමාවක් කොයින්ද?

ඒත් අපි ඒ මොහොතෙ පැවතුණේ තත්වයන් දෙකක.  මම ත්‍රිමාණ ලෝකෙ. එයා ද්විමාණ ලෝකෙ. මං බිම හිටගෙන, එයා පින්තූරයක එල්ලිලා.  2011 එයා පින්තූරයකින් හම්බවෙච්ච  මුල් දවස්වලවත්, ඉන්පස්සෙ කල්ලියක් ඇවිත් කොමන් කැන්ටිමේ එල්ලපු පින්තූර අතුරුදහන් කළ දවසෙවත්, ආයෙම 2013 දි එයාව යූ ටියුබ් වීඩියෝ කැබැල්ලකින් නැවතත් හමු වුණු දවසෙදිවත්, මං දැනගෙන හිටියෙ නැති එක දෙයක් තිබුණා. ඒ එයා මිය ගිය දවස. පස්සෙ මට පුංචි සටහනකින් හමුවුණා ඇත්තටම එයා මිය ගිහින් තිබුණෙ මං ඉපදිලා මාසෙකට පස්සෙ වග. හරියටම මීට අවුරුදු 27 කට කලින් අද වගේ දවසක කොටා රෝඩ් ටර්නර් පාරෙදි එයාව බිල්ලො ඇවිත් අරන් ගියා. අද වෙනතුරු හමු වෙච්ච හැම තොරතුරකින්ම, මං මගේ හීන වල ඇවිදපු කුමාරයාව අඳුනගන්න උත්සාහ කරනවා. අපි ඉන්නෙ ලෝක දෙකකද, වෙනත් නම් දෙකකින් එකම ලෝකෙකද කියලා හරියටම නොදන්නවා වුණත් ආදරය කරන්න මට කවමදාවත් ඒක බාධාවක් නෙවෙයි.  මං එයාව කලින්ම දාලා ආපු නිසා, මා එක්ක තරහ වෙන්න හේතු තිබ්බත් තවමත් එයා නොනැවතීම හිනාවෙනවා.

එයා ගැන දන්න කවුරුවත්, මාව අඳුනන්නෙ නෑ. මං අඳුනන අයගෙන් දහසකට එක්කෙනෙක්වත් එයාව අඳුනන්නෙ නෑ. මේ ලෝකෙට අමතක වෙලා ගිය කෙනෙක් වුණත්, හැමදාටම හැමෝටම අමතක වෙලා ගියත්, මං මිය යනතුරු මට එයාව මතක තියෙනවා. සංසාරය ඇත්ත නම්, ලබන ආත්මෙදි අපි හමු වේවි.  එදා වෙනතුරු මම එයාට ලියනවා. එයා ට කතා කරනවා. එයාව මතක තියා ගන්නවා. ජීවත්වෙනවා. ඔය කාටත් වඩා මං දැන් එයාව අඳුනනවා.


කලි කාලයක් දුර මිලින තරු එළියෙන්
දුල වලා පිරිමැදි සුවඳ මුදු සුළඟින්
පාර නිතියෙන් අසනෙමි.
ඔබ කොහිදැයි විමසමි..
සැඟෙව්වාදෝ සැඟවුණාදෝ ,
කාටවත් නොකියා...
සිනා ගඟුලක සරැළි නංවා
සඳක් තුඟු අම්බරේ රංදා
සපිරිවර මැද පබා දී හිරු කැන් සලා
කොයි කොහේ ඔබ ගියේ
කඳුලු අමුණා නෙත් පුරා
දෙවරකට සිත ඉඩ නොසිත තව
සොයුරු හද මග සිටගත්ත ඔබ
කාගේ නෙතකට රසඳුනක් වෙද
හැඟුම් හිස් කළ පොළොවක
වියෝ ගී නොගයමි මම.
නොදුටු වස්සානය ගැන
එන්න සුහදේ ආයෙම
ඉඩ ලැබුණ අත්භවයක!