6/30/15

-258- සටහනක් ලියා තබමි




ඒ වෙලාවෙ මම හිටියෙ ඔබ්සවේෂන් රිපෝට් එක ලියමින්. වෙලාව රෑ අටට කිට්ටුයි. දවසේ මුල්ම වතාවට මොබයිල් එක නාද වුණා.
“ එක ළඟ ට්‍රිප් දෙකක් යන්න දෙන්න බෑ කියලා අම්මා ජන්ගල් බීච් ගමන යන්න එපා කිව්වා බං“
අමාලිගෙ කට හඬේ දුකත් කේන්තියත් තැවරිලා තිබුණා.

ඒ ගමන ගැන මුල ඉඳන්ම කිසිම ආසාවක්වත් ඕනෑකමක්වත් නොතිබ්බ හින්දාම ඒ වචන වලින් මට ෆීල්  වුණේ නෑ.. යන්නයි කියලාවත් වුවමනාවක් නොතිබ්බ ගමනක් තව කෙනෙක් ගියත්, නැතත් මට මොකද. එ් අනනුකම්පීය ගතිය නෙවෙයි. සමාන්‍යයෙන් මගෙ හැටි.

“ මට හරි පාලුයි කෙල්ල. හෙට ඉස්කෝලෙ ඇරුණාම හයිලෙවල් එකට වරෙන්.. මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.“ ඈ ඇගේ කෙටි දුරකථන ඇමතුම එතැනින් අවසන් කළා.

පාළුව කියන්නෙ කාටත් දැනෙන දෙයක්. මට දැනුමක් තේරුමක් ඇති කාලෙ ඉඳන් මං දැනන් හිටිය එකම දේ ත් පාළුව. ඒ නිසාම මට ඒ ගැන හරිම ලොකු හුරුවක් තිබුණා. ඒ වෙලාවට පොතක් කියවන්න. චිත්‍රපටියක් බලන්න.. වෙන මොනාම හරි දෙයක් කරන්න මං ටිකෙන් ටික හුරු පුරුදු වුණා. වෙන අයගෙ පාළුව තේරුම් ගන්න පුළුවන් වුණත් ඒවාට දෙන්න විසඳුම් මං ළඟ තිබුණෙ නැත්තෙ එක එක්කෙනාගෙ හැඟීම් එක එක්කෙනාට වෙනස් බව මම දන්න නිසා. ඒත් මං පාළුව හුදකලාව ගැන යාළුවො කියන දේවල් අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වුණේ, වදයක්  වගේම වාදයකුත් නොකර කියන ඕනෙම දෙයක් අහගෙන ඉන්න හුරු පුරුද්ද සහජයෙන්ම මට ලැබිලා තිබුණු නිසායි.

ඉතින් අද හවස ඉස්කෝලෙ ඇරිලා ඈ කියපු විදිහටම මං ඈව මුණ ගැහුණා. KFC එක පුරාම ඉන්න නා නාප්‍රකාර සෙනඟ අතර දවල් කෑමට අපිත් නිදහස් තැනක් බලලා ඉඳ ගත්තා. පුරුද්දට යන කෑම කඩයක් නොවුණත්, මං KFC කෑම වලට ටිකක් කැමතියි. ඒ නිසා උණු දිවා ආහාරය එක්ක ඕනෙම නීරස කතාවකට සවන් දීමේ පහසුවක් මට ලැබුණා.    

“  හුඟක් කොල්ලො තමන්ගෙ කෙල්ලො එක්ක දවසට පැය දෙකක්වත් කතා කරනවා. ඇයි එයාට බැරි මා එක්ක දවසකට විනාඩි දහයක් කතා කරන්න. “ ඈ  දුක් කෝච්චියෙ පළවෙනි පෙට්ටියට නැගලා සෑහෙන දුරක් යන්න ස්ටාර්ට් එක ගත්තා. ඈ කියන දේ ඇහුණත් මම ඇස් තිබ්බෙ එහා මේසයේ උන්නු සුදු පැහැ ස්ලීව්ලස් ටොප් එකකින් සැරැහුණු හීන්දෑරි ගැහැණු ළමයා දිහාවට.

ඈ තමා ඉදිරියේ ඉන්න පිරිමි ළමයා දිහාවෙ නිකටට අත තියාගන මේසෙට වාරු වෙලා බලන් ඉන්නවා.. ඔහු හිටියෙ දිගම දිග දුරකථන ඇමතුමක. ඒක කාටද කින්ද මන්ද කියලා නොදන්නවා වුණත් විනාඩි පහළොවක් විතර ඇදුණා.

“ ෆෝන් එක කියන්නෙ මහ පුදුම දෙයක් අමාලි.. අපි ළඟ ඇත්තටම ඉන්න මිනිස්සුන්ගෙන් අපිව වෙන් කරලා..දුර ඉන්න අයට ළං කරන්න පුළුවන් මැජික් එකක්."
මම අමාලිට කිව්වා.
ඒකෙන් ඇගෙ හිත හැදෙන දෙයක් කියන්න අවශ්‍ය උත්සාහයට ස්ටාර්ට් එක නොමිලේම ලැබුණා.

“ තමන්ට ලැබිලා තියන දේට සතුටුවෙන්න, එයා දවසකට වතාවක් හරි කතා කරනවානෙ කියලා ඔයාගෙ හිත හදන කුහක කම මට නෑ. ඒත් ෆෝන් එක වයිබ්‍රේට් වෙන පාරට දුවගෙන ගිහින්, ඩයලොග් එකෙන් එවන ඇලට් මැසේජ් එකක් දකිනවාට වඩා, දවසකට එයාගෙන් මැසේජ් දෙක තුනක් වත් එන එක සෑහෙන ලොකු දෙයක් නෙවීද? “

මගේ කතාවට ඈ විරුද්ධ වුණේ නැතත් සෑහිමකට පත් වුණු බවක් තිබුණෙ නෑ.. මම සද්ද නැතිවම බැදපු කරපිංචි කොළයක් හැපුවා. එහා පැත්තෙ මේසෙ දැරිවිගෙ ඉවසීමේ රතු කට්ට පැනලා තිබුණා. තව ටිකකින් දෙබස් ටිකක් සද්දෙට ඇහෙන්න පුළුවන්. KFC, MacDonald කියන්නෙ කෑම කන අතර කතා කරන්න ඉඩ පහසුව තිබ්බාට, ප්‍රේම කරන්න හෝ ප්‍රේමය විමසන්න හොඳ තැන් නොවෙන බව අපේ රටේ අය තවමත් තේරුම් අරන් නැති කම ගැන මට ටිකක් දුක හිතුණා. ගොඩක් දුක හිතනවා නම් තව කොයි තරම් දේ තියෙනවාද? කියලා හිතලා මම පෙප්සි උගුරුක් බිව්වා.

හැම කෙනෙක්ටම තමන් හොයන තමන්ගේ පරිකල්පනික සිහින කුමාරයා හෝ කුමාරිය ලැබෙන්නෙ නෑ. ලැබුණත් ඒ රූප සහ ගුණ වල පැවැත්ම ගැන සදාකාලික වගකීම් සහතිකයක් තියෙනවාද? ඒ තවත් කෙනෙක් විතරයි. හැම මනුස්සයෙක්ම තමන්ටම කියලා  ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. ඒත් ඒ හැම කෙනෙක් ඇතුළෙම සහජ චරිතයක් තියෙනවා. කෙනෙක් මුලින්ම අපිට පෙන්වන්නෙත්, අපි  මුලින්ම දකින්නෙත් ප්‍රතිරූපය. ඇඳුම් පැළඳුම්, කතා බහ , හැසිරීම සහ ලියවිලි වල පවා තියෙන්නෙ කෙනෙක් තමන්ට අනන්‍ය ලෙස ගොඩ නගපු ප්‍රතිරූපය.  අපි සමහරු එක්ක හිතවත් වෙලා සමහරුන් එක්ක අමනාප වෙන්නෙ මේ ප්‍රතිරූප වලට තියෙන පුද්ගලික කැමැත්ත අකමැත්ත නිසා. ප්‍රතිරූපය නිරන්තරයෙන් චරිතයට බද්ධ වුණූ දෙයක් නොවුණු නිසා ඇතැමෙක්ගෙ චරිතයයි ප්‍රතිරූපයයි අතර සෑහෙන දුරක් තියෙන්න පුළුවන්. තමන්ගෙ සහජයට කොහෙත්ම නොගැළපෙන ප්‍රතිරූප මේන්ටේන් කරන එක හරිම තාවකාලිකයි. ඒ නිසාමයි මිනිස්සු එක්ක සැබෑවට ජීවත් වෙන්න ඕනෙ.

කෙනෙක්ව නිරන්තරයෙන් දකිද්දි, ආස්‍රය කරද්දි, කතා බහ කරද්දි අපි එක්ක වැඩිපුරම මුණ ගැහෙන්නෙ චරිතයක්. ප්‍රතිරූපයට සැබෑව හා නිරන්තරය තුර වෙනස්ම විදිහට පැවතෙන්න අමාරුයි. නිර්මාණාත්මක වෙන්නත් අමාරුයි.

අමාලිට මේ ටික කියන්න මට ඕනෙ කළේ කාලෙක ඉඳන්. ඒ කොහොම වුණත් අමාලිගෙ හිත හදන්න මට සෑහෙනම අමාරු වුණා. ප්‍රේමය ඇතුළෙ විඳවීම කිසිම තේරුමක් නෑ. අප අවට ඉන්න පුද්ගලයො වගේම ජීවිතයත් හරිම අවස්ථාවාදියි.  මට වඩා වැඩිමහල් වුණත් අමාලිට ඒක තේරුම් කරවන්න කවමදාවත් බැරි නිසා මම මගේ පෙනහළු වලට වෙහෙස කර කර වදන වෙනුවෙන් ඔක්සිජන් එකතු කරන එක අතෑරලා දැම්මා.