4/9/15

- 256 -ආදරය උගැන්වූ මරදාන



ඒ පුවතේ තිබුණේ එක්තරා පරසිඳු බාලිකා පාසලක විදුහල්පතිනියක ගේ අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්තියෙන් තැලෙන විශේෂ අවශ්‍යතා ඇති දියණියක් පිළිබඳවය. ඇගේ පන්තිය තෙවන මහලේ බැවින් රෝද පුටුව තෙවන මහලට රැගෙන යාම අපහසුය. ගැහැණු පාසලක් බැවින් පියාට දියණිය රැගෙන යාමට අවසරද නැත. දියණිය රැගෙන යද්දී මව පඩිපෙළෙන් වැටී ඇත. දැන් ඒ දැරියට තුන් මසක් පුරා පාසල් යාමට නොහැකි වී ඇත.

මේ පුවත දකින අය අතරින් අනුකම්පාව මත ක්‍රමවේදය ලිහිල් නොකරන විදුහල්පතිතුමියට එක් පාර්ෂවයක් දොස් කියනු මම දුටුවෙමි. තවත් අය දැරිය විශේෂ අවස්ථා හඳුනාගත් අධ්‍යාපන ආයතනයකට නොයන්නේ ඇයිදැයි කල්පනා කරති. දැරියගේ පියා මානව හිමිකම් පිහිට පතන බවද පුවත් වල සඳහන් වෙයි. කෙසේ වෙතත් අවසානයේ මේ කිසිම කතා බහකින්, බොහෝ දේ කාලාන්තරයකට වෙනස් නොවන බව පමණක් පැහැදිළි වෙයි.

අවසානයේ විදුහල්පතිතුමිය දොස් පරොස් වලින් තව තවත් කිපී, වෛරය වපුරනු ඇත. දැරිය වත්මන් සුපිරි බාලිකා පාසල  අත් හැර අලුත් තැනකට එක් වර අනුගත වීමට ද අකමැති වනු ඇත. දැරියගේ පියා සාම්ප්‍රදායික මානව හිමිකම් කර්යාලයේ පෝලිම් වල හිඳ සිටම හෙම්බත් වනු ඇත.

එහෙත් මෙවන් සරළ ප්‍රශ්නයක් මෙතරම් දුර ගියේ ඇයි දැයි  නිකමට සිතා බැලිය යුතු නොවේද? ඒ සුපිරි බාලිකාවට නාමිකවම බැන වදින තැන්ද මම දුටුවෙමි. එය ඒ පාසලේ ආදී වත්මන් අනාගත සිසුවියන්ට ද කෙරෙන අපහාසයකි. මෙවන් ගැටලු වලට සරළ විසඳුම සහයෝගයම නොවේද? ඉතින් මට දැන් සහයෝගය මට මෙන්ම මගේ සොයුරියන්ටද ඉගැන්වූ මගේ පාසල කෙරෙහි ආඩම්බරයක් දැනීම අසාධාරණද?

මම ඉගෙන ගත් මරදානෙ පිහිටි, මගේ ආදරණීය ගෝතමිය කිසිදිනෙක අපට සාරධර්ම ඉගැන්වූයේ නැති වීම ගැන අද මම සතුටු වෙමි. එමෙන්ම අපේ පාසලට පැමිණියේ බොහෝ හයි ෆයි ළමයි නොවීම ගැනද මම සතුටු වෙමි.

බොහෝ පාසල් වල වරද දරුවන්ට සාරධර්ම කටපාඩමින් ඉගැන්වීමයි. සාරධර්ම යනු, නිර්වචන තුළින් හා පොත් පත් තුළින් ලියා පුහුණු වන දෙයක් විය යුතුද? හොඳම දෙය සාරධර්ම නොව යහපත් ජීවිතය ක්‍රියාවෙන් පුරුදු කිරීම ම නොවේද? ආදරය හා සහයෝගය එකිනෙකා තුළ වැපිරවීම තුළින් මෙවන් ප්‍රශ්නකාරී සිද්ධි ගණනාවක්, සරලව විසඳිය හැකි නොවේද? අවශ්‍ය වන්නේ කුඩා සෙනෙහසක් ම පමණි.

මෙවන් විශේෂ අවශ්‍යතා සහිත දැරියක් අපේ පාසලේ වූයේ නම්, තට්ටු පහක් උඩට හෝ සිය මිතුරිය, සොයුරිය ඔසවාගෙන යාමට හැකි සොයුරියන් මිතුරියන් පිරිසක් බිහිවෙයි. නැගණියන් කුඩා නම්, එය අක්කලාගේ රාජකාරියක් බවට පත්වෙයි.  ඒ  ශක්තිය විසින්ම,  සිය පන්තිය පහල තට්ටුවට නොව ගේට්ටුව අසලටම ගෙන ඒමට තරම් නිහඬවම විදුහල්පතිනියට ආයාචනා කරනු ඇත. තම දැරිය පාසලේ ශක්තිය තුළ ආරක්ෂිත බව දැනගත් දෙමාපියන්ද එවිට  සැනසේවි. පාසලේ ගේට්ටු තාප්ප අතරදී දැනෙන ඒ ආරක්ෂාව ආදරය සහයෝගය දරුවා සවිමත්ව අනාගතයට රැගෙන යන බැවින්, සියලු දරුවන් තුළ ආදරය පුහුණු කිරීම වැදගත් නොවේද? අක්කලා නංගිලාගේ ශක්තියෙන්  ඇය පන්තියට පමණක් නොව, සමහරවිට ක්‍රීඩා පිටියටද යනු ඇත. නාට්‍ය ද රඟපානු ඇත. අවසන තෑගි ගැනීමට වේදිකාවටද නගිනු ඇත. ඒ සියල්ලටම වඩා ඇය වෙනුවෙන් පෙනී සිටින , ඇයව පසුපසින් දිරි ගන්වන ශක්තිය දැක ඇය සතුටු වෙනු ඇත.

ජීවිතය ඔබ සිතනවාට වඩා සරලයි.. මඳක් සෙනෙහස බෙදන්න.. ආදරය ෆෑන්ටසියක් නොවන්නට, සැබෑවට ලෝකයට ආදරය කරන්න. මම ආදරය ඉගෙන ගත්තේ මරදානෙනි.. එහෙත්  කුරුඳුවත්ත හෝ බම්බලපිටිය ආදරයෙන් මුක්ත කලාපයක් බව එයින් කිසිවිටකත් නොකියවේ.