2/28/15

-254- හීන තට්ටුව | Dreamy Floor


වහලෙ ඉඳන් ටයිල් පොළවටම ඈඳුණ වීදුරුවකට හේත්තු වෙලා, ගිනිපෙට්ටි පෝලිමක් වගේ පහල තාර පාර බදාගෙන එහාට මෙහාට යන වාහන බලා ඉන්න එකට වඩා කළ හැකි යමක්, මේ වගේ ග්‍රීස්ම හවස් වරුවකට නැතිම තරම්. හරිම පිළිවෙලට මට ඕනෙ විදිහට අස් කරන්න පුළුවන් ,  ඔහුගෙ පුංචි සාලෙ ලී බඩු වලට තියෙන්නෙ, බොහොම සරල අමුතු පන්නෙ හම් පුටු කට්ටලයකුයි , ටී වී ස්ටෑන්ඩ් එකකුයි විතරයි. එහි දෙවැනි තලය උඩ තියෙන ප්ලේයරය එයා ආසාම සිංදු වලින් එකක් නිස්කලංකෙ වාදනය කරනවා. මගේ සුදු මහත්තයා ආසා, භාෂාව නොතේරෙන හදවතට තේරෙන සිංදු වලට විතරමද කියලා  මට හිතෙන වාර අනන්තයි. මේ වෙලාවෙ එයාගෙ නොතේරෙන භාෂාවෙ ගීය අහන්න මා එක්ක සාලෙ ඉන්නෙ, ගල් වලින් කැටයම් කරපු දෙවිවරු කිහිප දෙනෙක් විතරයි. තාම මගෙ සුදු මහත්තයා මඟ ඇති. මම ඇවිත් ඉඳියි කියලා නිකමටවත් එයා හිතන්නෙ නැති බව මම පුරුද්දෙන් දන්නවා.

සාලෙට පෙනෙන, ඔහුගෙ නිදන කාමරේ පොත් මේසෙ එහෙ මෙහෙ වුණු කඩදාසි, පිළිවෙලක් කරන්න කියලා පාළු හිත කීපවතාවක්ම කිව්වත්, ඕනෑවට වඩා වැඩ කරලා බැනුම් අහගන්න එක පුරුද්දක් කරගන්න නරකයි. පොත් මේසෙ ඉහල බිත්තියෙ එල්ලපු සුදු ලෑල්ලෙ, කපපු නැති හැම පැවරුමක්ම අද රෑ එයා කරන්න හිතාගෙන තියෙන ඒවා නම්, අද මට වෙන්නෙ පැත්තකට වෙලා නිදාගන්නයි. ඒ ගැන හිතද්දිත්, මේ වගේ දවසකම එන්න නිදහසක් ලැබෙන විදිහට වැඩ සිද්ද කරපු එක ගැන මට තරහක් එන්නෙ මගෙ හස්බන්ඩ් එක්ක.

අද හස්බන්ඩ් ගෙදර එන්නෙ නෑ.  හෙට එන එකකුත් නෑ. එයා අවුටිං ගියාම, ගෙදර එන්න ඒ තරම් කලබලයක් ඇති කෙනෙක් නෙවෙයි. එයා හැම වෙලාවෙම පිටට යන්නෙ එයාගෙ සෙකට්‍රි එක්ක. මං එයාව දැකලා තියෙනවා ඔෆීෂියල් පාටිස් වලදි කිහිප වතාවක්ම. මීට සතියකට කලින් මගෙ ෆෝන් එකට කෝල් කරපු නාඳුනන කටහඬින් කියපු විදිහට ඒ ලේඩි කරේ දාගෙන ඉන්න චේන් එක, අපේ හස්බන්ඩ් එයාට දුන්න උපන්දින තෑග්ගක්ලු. එදා පාටි එකේදි මම ඔය කියන චේන් එක ළඟටම දැක්කා. ඒකෙ ලස්සන හාට්ස් දෙකක් එකතු කරපු පෙන්ඩන්ට් එකකුත් තිබ්බා. ඔක්කොම පවුම් දෙකක් විතර ඇති. ඒක කොහොමත් එයාගෙ බෙල්ලට හොදට ගැලපෙනවා. එයාගෙ බෙල්ල කොටයි. කොහොමත්, මම ඒ චේන් එකේ විදිහට නම් කැමතිම නෑ. අපේ හස්බන්ඩ් ඒක මට දුන්නා නම්, අකමැත්තෙන් වුණත්, එයාට පෙන්න වැදගත් තැන් වලදි ඒක දාන්න සිද්ධ වෙන නිසා, සෙක්‍රටි ට දුන්න එකමයි හොඳ කියලා මට නම් කීපවතාවක්ම හිතුණා.

මගෙ සුදු මහත්තයා නම් රත්තරන් බඩු වලට ඒ හැටි කැමත්තක් නෑ. ඒ සල්ලි යන නිසාම නෙවෙයි. එයා ආසා අමුතු එක්සෝටික් බඩු වලට. එයා ආසා ඒවා එහෙම ලේසියට හොයාගන්නත් බෑ. මම දැන් අතේ දාගෙන ඉන්න පබලු වලල්ලත්, එයා මීට මාස ගාණකට ඉස්සර බැටික්ලෝ ට්‍රිප් එකක් ගිය වෙලාවෙ ගෙනත් දීපු එකක්.

මගෙ හස්බන්ඩ්ට ලොකු ගෙයක් තියෙනවා. එයා මාව බඳිනකොටත්, ඒ ගේ හදලා තිබුණෙ. ලී බඩු වලින් පිරුණු, තට්ටු දෙකක ගෙදර ඇතුළෙ උදේ ඉඳන් රෑ වෙනතුරු තියෙන පාලුවට වඩා, මේ පාලුවෙ සුන්දර බවක් තියෙනවා. සමහර විට ඒ මම මඟ බලාගෙන ඉන්න නිසා වෙන්න පුළුවනි.  තාර පාරෙන්, නිවාස සංකීර්ණයට ඇතුළු වෙන ගිනි පෙට්ටි අතරින්, හුරු පුරුදු තද නිල් පැහැ පුංචි කාර් එක මං හොඳටම අඳුනනවා. ඒකෙන් බහින්නෙ මේ ලෝකෙ මගෙ හිත වැඩි පුරම සුවපත් කරන දොස්තර මහත්තයා. දොර අස්සෙ හැංගිලා ඉදලා පුංචි කලබලයක් කරන්න කියලා හිත කිව්වත්, මේ වෙලාවෙ එයා ඉන්නෙ කොහොම  හිතිවිල්ලකද කියලා නොදැන ඒ අවදානම ගන්නත් බයයි. ලිෆ්ට් එක ඇරෙන සද්දෙ ඇහුණා. ඒ හෙමින් තියන බර පා හඬ ඔහුගෙයි. අඩවල් දොර හෙමින් අරින්නෙ,  කවුරු හෝ ඇතුළෙ ඉන්නවා කියන අවබෝධයෙන්මයි. ඒ මට හොඳින් හුරු පුරුදු දොර හැරීමක්.

වීදුරුවට හේත්තු වෙලා ඉන්න මං දිහා එක බැල්මක් බලලා.. හිනාවකුත් නොවන එහෙත් තරහකුත් නොවන හැඟීමකින් හෙමිහිට ඔහු මං ඉස්සරහට ආවා.. මම ඔහු ඉස්සරහ නොදැනීම හිට ගත්තා. ඒ මූණේ කවමදාවත් වෙන් නොවෙන හුදකලාව තරම් මට දුකක් අරන් එන වෙන කිසිම දෙයක් මේ වගේ වෙලාවක නැතිම තරම්.  ඒත් කිසිම අදහසක් නැතිව මගේ ඇස් අල්ලගෙන ඉන්න ඒ තද දුඹුරු පාට ලස්සන ඇස් දිහා බලාගෙන මට නිහඬව ඉන්න බැහැ. 

බාබර් ට කතුර අනිවාර්යයි. ගොවියාට උදැල්ල අනිවාර්යයි. මැකෑනික්ට අර ලොකු අඬුව අනිවාර්යයි වගේ, ආදර කතා ලියන කෙනෙක්ට හුදකලා මූණක් අනිවාර්යයද? ඉතින් මං ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කවදාවත් නැති තරමෙ බැරෑරුම් මුහුණක් මවාගෙන . “ඇත්තටම මේ හුදකලාව නෙවෙයි. නිදමත. මට හරිම නිදිමතයි. කියලා මගේ උරහිස උඩින් හිස තියා ගත්තා.

හීන පෙනෙන නින්දක් හොයාගෙන ආදර කතා කියවන ලෝකයක, නිදි මරා ගෙන ආදර කතා ලියන කෙනාගෙ නිදිමත ගැන හිතන්න අමතක වෙන එකත් වෙලාවකට ටිකක් විතර කුරිරුයි කියලා ඒ වෙලාවෙ මට හිතුණා. 

ප.ලි

හැම මනුස්සයෙක්ම, තමන්ව නිදහසේ නිදිකරවන්න පුළුවන් අයටත්, නිදහසේ නිදා ගන්න සලස්වන තැනටත් ආදරය කරනවා. ඒ තමයි මනුස්සකම.