12/31/14

-250- අපි ඉන්නෙ හරි සතුටින්.

 
2014 - 12 - 23  ( 171 මාර්ග අංකයේ බසයක සිට)

කොළඹට වැස්ස. පිටකොටුව වතුරෙන් සේදි සේදි තිබුණා. තමන්ව කොහේ හරි ගෙදරකට ගෙනියන තුරු පාර බලා ඉන්න නත්තල් ගස්, වැස්සෙන් තෙත් වෙලා. අනපේක්ෂිතව වහින දවසක වගේම බොහෝ දෙනෙක් බඩු භාණ්ඩ තෙමෙන්න ඇරලා දාලා තිබුණෙ, එක දිගට වහින වැස්සට විරෝධය පල කරන්න වෙන්න ඕනෙ. මහ වැස්සෙම කලුවර වුණු කොටුවෙන්, බසයක ගොඩ වුණ මම, මීදුම බැඳුණු ජනේලෙට හේත්තු වෙලා වැස්සෙන් සේදෙන මගේ රටේ අග නගරය දිහා බලාගෙන උළුඳු වඩේ කමින් හිටියෙ. ඉදරියට ඇදෙන බසය ආමර් වීදිය හරියෙදි නැවැත්තුවා, සෙනඟ නග්ගගන්න.  

එතැන පෝස්ටර් රැඳවුමක කොළඹ නගරය එදා සහ අද කියලා ලොකු බැනර් එකක් තිබුණා. අපේ රටේ අපි සංසදනයේදි කරන ප්‍රබලම වැරැද්ද මං එතැනදි දැක්කා. එදා කියලා ටයිටල් දාපු පින්තූරෙ, මඩ වෙච්ච බොහොම කැත කොළඹක් පෙනුණෙ. ඇත්ත, ඒ වැස්ස දවසක ගත්ත පින්තූරයක්. අද කියන ටයිටල් එක යට තිබුණ පින්තූරෙ, බොහොම සිත් ඇදගන්න සුලුයි.. එළියෙන් පිරිලා, ඒ වාගෙම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් දුවනවා රතු පැහැ පදික වේදිකාවෙ. ලස්සන කොළඹක් තමයි කාට වුණත් ඒ පින්තූරෙ දැක්ක ගමන් පෙනුනෙ. හැබැයි මං ඒ වෙලාවෙ හිටියෙත් අද නමින් පෙන්වපු ඒ පින්තූරෙන් පෙනුණු කොළඹමයි.  හැබැයි මම මේ වෙලාවෙ උන්නෙ බොරලු කැට තරම් වතුර ඔටුණු මහපාරේ වැටෙන වැස්සක. මෙදා කොළඹත් වැස්ස වෙලාවට නම්, එදා වැස්සෙ කොළඹ වගේම අසුන්දරයි. කාණු පිරිලා.. මඩ වතුරෙන් පෙඟිලා. ඒ මදිවට පාරට වතුරත් ගලලා. ඇත්තටම, ඒ පොස්ටරේ සංසංදනය කරලා තිබුණෙ, එදා සහ මෙදා කොළඹද, නැත්තම් වහිනකොට සහ පායනකොට කොළඹද කියලත් මට නිකමට හිතුණා. කොහොම වුණත්, අපේ රටේ ආණ්ඩු කරන අය අපි හරිම සැපෙන් සහ සතුටෙන් ඉන්න අය කියලා  කියලා අපිටම ඒත්තු ගන්වන්න ගන්න මේ පුදුම උත්සාහය ගැන එක අතකට පුදුමත් හිතෙනවා.

 2014 - 12 - 24  ( මහජන පුස්තකාලය අසල විහාරමහාදේවි උද්‍යානයේ පුටුවක සිට)

මිනිස්සු බලයට ඇති කැමැත්ත ගැන කතා කරන්න පටන් ගන්න ප්‍රාග් ඓතිහාසික මානව යුගය තරම් දුරකට අපිට යන්න වෙනවා වුණත් එක් අයෙක් නොසෑහෙන බලයක් තියාගෙන තමන්ව ඔහුගෙ හිතුමනාපෙටම පාලනය කරන එක නරකයි කියලා පාලනය වන පීඩිත අයට අවබෝධ වුණ මුල් යුගයට යන්න ශිෂ්ටාචාරය පටන් ගත්ත තැනට ගියාම හොඳටම ඇති. ඒත් ශිෂ්ටාචාරය පටන් ගත්ත තැන කියන්නෙත්, තවමත් සාක්ෂි සාධක හමුවෙමින් පවතින නොදන්නා කාලරාමුවක්.

අතීතෙන් තොරව වර්තමානය කතා කරන්න බෑ. වර්තමානයෙන් තොර අනාගතයක් නෑ. එහෙමනම් අතීතය සහ අනාගතය අතර දරුණු සම්බන්ධකමක් තියනවා. ඒත් අතීතෙන්, පාඩම් ඉගෙන ගෙන අනාගතයට මුහුණ දෙන්න වර්තමානයේ නිසි තීන්දු ගන්න නොදන්නා මිනිස්සු ඉන්න රටකට අතීතය වර්තමානය වගේම අනාගතයත් වැඩක් නොවන කාරණා වෙන්න පුළුවන්.

ශිෂ්ටාචාරය විසින් තමයි මිනිසුන්ව බිහි කරන්නෙ. තමන් දඩයම් කරගත් ගොදුර, නැත්තම් තමා නෙළා ගත් ඵලය එම ස්ථානයේම අනුභව නොකර, තමන්ගෙ හිතවත් අයට අරගෙන යන්න ආරම්භ කරපු පළවෙනිම මොහොතෙ ඉඳන් ඩාවින් කියන විදිහට වානරයා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ කළා. ඒකියන්නෙ මනුස්සයා කියන සත්වයා බිහි වුණා. මනුස්සයා අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙ හිතන්න පුළුවන් නිසා. මනුස්සයා පරිණාමය වෙන්න බලපෑවෙත් මේ පරිකල්පන ශක්තිය..........

මම  ඒ විදිහට, මගේ නෝට් එකේ ලිව්වා.

ඈත ත්‍රීවීල් පාක් එකෙන් ටිකක් සද්දෙට ඇහුණු බහින් බස්වීමක් නිසා, මගේ නෝට් එකේ පරිකල්පනය නම් බිඳුණා. එතැන් පටන් ඔවුන්ගෙ කතාව මට නිරුත්සාහකවම ඇහෙන්න ගත්තා. . එහි හරය කෙටි කරලා ඔබට කිව්වොත්, තවමත් කලගුණ සැලකීම වගේ හොඳ පුරුදු ලංකාවෙ තියනවා වගේම තමන්ගෙ පරමාධිපත්‍ය පවා ඒ වෙනුවෙන් භාවිතා කරන අති ශිෂ්ටාචාරවත් ජන කොටසකුත් ලංකාවෙ ඉන්නවා කියලා සාරාංශ ගත කරන්න බැරි කමක් නෑ .

2014 - 12- 30 (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී)

ටොරින්ටන් වල ඉඳගෙන පාර්ලිමේන්තු පාර පහු වෙන තුරු මග දිගට දරාගත නොහැකි සංවර්ධනයෙන් අනූන මඟ දෙපස බලමින් , මහ පාරේ මම එමින් සිටියා. ඒ මොහොතෙදි හැඟුණ දැනුන දේවල් ටිකක් මේ විදිහට  ලියා තබනවා.

ලංකාවෙ මිනිසුන්ට නැති ම දේ, තමන්ගෙ රට ගැන හැඟීම. ඒ හැඟීම බලෙන් ඇති කරවන්න බෑ. ඒ හැඟීම ඇති කරන්න රටේ සිනමාව, සාහිත්‍ය වගේම පාසල සහ ජනමාධ්‍ය දෙන දායකත්වයත් අප්‍රමාණවත්. තමන් ආසා නොකරන රටක ජීවත් වෙන මනුස්සයෙකුට , තමන් පය ගහන පොළව පස් ගොඩක් විතරයි. ජනමාධ්‍ය තුළින් වුණත් රට ගැන හැඟීම ඇති කරන්න ගන්න පුංචි උත්සාහයන් වලටත් දේශපාලඥයෙක් රිංගා ගන්නවා. අවශ්‍ය සන්නිවේදනය එතැනින් වෙන්නෙ නෑ. අපේ රටේ ඉන්න කම්මැලි ආත්මාර්තකාමි ජනතාවක්. කෙටියෙන්ම කිව්වොත් වැඩිපුරම ඒ අය කම්මැලි හිතන්නයි. දෙවනුවට කම්මැලි පවතින තත්වයෙන් වෙනස් වෙන්නයි. ඒ වගේම හිතන්නෙ තමන් සහ උපරිම තම සමීපතමයන් ගැන විතරයි. මිනිස්සුන්ගෙන් ඒ කැත පුරුදු ඒ අතරෙ ඉන්න නායකයන්ට බෝ වුණාම, රටකට කල දවස ගැන කවර කතාද?

2014 - 12- 31 (පොලීසියේදී)

අම්මාගෙ ජගම දුරකථනය නැතිවෙලා. එය තිබුණෙ මගේ නමට නිසා, මම ගියා පැමිණිල්ලක් දමන්න. පොතෙන් පොතට, පුටුවෙන් නැගිට ගිය පැමිණිලි ලියන පොලිස් නිලධාරීයා, අන්තිමේ ආයෙත් පෑනක් අරගෙන එන්න කියලා ඇතුළට ගියා. මට කල්පනා කරන්න සෑහෙන වෙලාවක් ඉතුරු වුණා. රට වෙනස් කරන්න පටන් ගන්න ඕනෙ අපෙන්. මම ඒ කල්පනාවෙ අන්තිමට හිතුවා... ඒ නිසා ඉන්න හෝ එන ඕනෙම ආණ්ඩුවකට කියන්න, මට තියනවා විසඳුම් වුවමනා කරන ඉල්ලීම් පත්‍රයක්.

ඉල්ලීම් පත්‍රය
    1. ලංකාවේ අප භාවිතා කරන ජාතික හැඳුනුම්පත, ඉස්කෝලෙ ශිෂ්‍ය වාර්තාපොත තරම්වත් ප්‍රබල නෑ. ඒ සඳහා සෑම මිනිසෙකුගේම සියලු තොරතුරු ඇතුළත්, වසර තුනකට වරක්වත් ස්වයංක්‍රීයව අයිතිකරු විසින් (පොලීසිය හරහා )  Renew කළ යුතු පරිදී ඉලෙක්ට්‍රෝනික ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. 
    2. පොලීසිය නව තාක්ෂණය භාවිතා කර, පැමිණිලි ලිවීම, ඇතුළු සියලු දෑ පැහැදිලිව සිදු කිරීම විය යුතු අතර, අත්සන් තැබීම, ඇඟිලි සලකුණු හරහාම සිදු කළ හැකි ස්වයං ක්‍රීය උපාංග ක්‍රමවේදයක් සැලසීම මඟින් ආරක්ෂක කටයුතු කාර්යක්ෂම කළ යුතුයි.
    3. ලංකාවේ මගී ප්‍රවාහන සේවය සඳහා (දැනට නාමිකව බස් වීදුරුවේ ස්ටිකරයක් ලෙස ඇලවී ඇත.) මුදල් මඟින් රීචාර්ජ් කළ හැකි කාඩ්පත් භාවිතය ජනතාවට අනිවාර්ය කළ යුතුයි.
    4. වැසි ජලය ආරක්ෂණයට හෝ පදිකයන්ට හා වාහන වලට කරදරයක් නොවන පරිදී බැහැර කිරීමට නගර මූලිකව සැලස්මක් ක්‍රියා කළ යුතුයි.
    5. කුණු කසල බැහැර කිරීමේ නීති සම්පාදනය කළ යුතු අතර, සැලකිය යුතු දුරකින් ස්ථීර කුණු කසල බැහැර කරන ස්ථාන සවි කළ යුතුයි. 
    6. සෑම 18 ට වැඩි පුද්ගලයෙකුටම, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුව සැබෑ දේශපාලන ක්‍රමය, නීති පද්ධතිය සහ වර්තමාන සමාජයේ (රට තුළ ජීවත් වන විට) තමන්ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය සහ ආචාර ධර්ම සම්බන්ධ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දීමට විශ්ව විද්‍යාල හරහා ඉතා කුඩා ප්‍රමාණයේ හෝ අනිවාර්ය පාඨමාලාවක් වසර පහකට වරක් පැවැත්විය යුතුයි. සහ එය රට තුළ ජීවත් වීමට සැපිර යුතු අනිවාර්ය සහ මූලික අවශ්‍යතාවක් බවට පත් කළ යුතුයි.
    7. සංස්කෘතිය තුළ ඇති, වැදගත් කමක් නැති පුහු මත ඉවත් කිරීමට, ජනමාධ්‍ය හරහා දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කිරීමට රජයන් පෙරමුණ ගත යුතුයි.
    8. තොරතුරු දැන ගැනීම් අයිතිය මීට වඩා පුළුල් කළ යුතුයි.
    9. අධ්‍යාපනයට අයවැයෙන් සැලකිය යුතු මුදලක් ලබා දෙමින්, නිබන්ධන මූලික අධ්‍යාපනය සඳහා දරුවන් මෙහෙය වීමට කටයුතු කළ යුතු අතර, සියලු විභාග ජාත්‍යන්තරීකරණය කළ යුතුයි.
    10. ස්වයං රැකියා සඳහා දිරිදීම් සිදු කළ යුතු අතර, සෑම රැකියා ස්ථානයකම සම්පත් නාස්තිය පිටුදැකීමට සහ කාර්යක්ෂම බව වැඩි කිරීමට ක්‍රමවේදයක් සැලසුම් කළ යුතුය.
    11. රටේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී, රුපියලේ අගය ඉහළ ගොස්, ආර්ථික වර්ධනයක් සැබෑවටම පෙන්වා, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන තුරු, සියලුම ජන බදු වලින් වේතන ලබන පුද්ගලයන්ගේ සියලු අනවශ්‍ය සංචාර හා වියදම් මෙන්ම, අනවශ්‍ය සේවා පිහිටුවීම්ද කපා හැරිය යුතුයි.
    12. අවසානයේ රට ප්‍රධාන එකක කිහිපයක් යටතේ තරඟකාරීව සංවර්ධනය කිරීම ඒ ඒ පළාත්වල මහාමාත්‍ය වරුන්ට පැවරිය යුතු අතර, ඒ සඳහා දිරි දීම් සහ උසස් කිරීම් ලබාදිය යුතුය.  
    13. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය තරමටම භාෂා අධ්‍යාපනය විධිමත් කළ යුතු අතර, ඉන්දියාව සමඟ වන සබඳතා දියුණු කළ යුතුය. (වසර තිහක යුද්ධයේ වුව, මූලිකම ගැටලුව සන්නිවේදනයේ අප සහ අනෙක් භෘෂා කතා කරන්නන් අතර පැවති දර් සන්නිවේදනයන් ය.)
මේ සියල්ල අවසානයේ ඔබට, යම් පිළිවෙලක් ඇති රටක් ලැබෙනු ඇත.

එහෙත්, මෙහෙම රටක් දකින්න අපි අලුත් පක්ෂයක් වෙනුවට අලුතෙන්ම ජනතාවක් පත් කරගැනීමයි වඩා  කාලෝචිත. අපි සිතන ආකාරය වෙනස් නොවන තුරුම, අපිට  සොඳුරු රටක් දැකීමේ සිහිනය අමතක කරන්න වෙනවා. වර්තමානයේ ඔබ වගේමම මමත් සිටගෙන සිටිනා මේ පස් ගොඩ, රටක් බවට පත්වීමට අප වෙනස් වෙමු. අපි ඉන්නෙ හරි සතුටින් බව, අපිට හැමදේම ලැබිලා බව, අපට බොරුවට පෙන්වලා අපිව රවටලා එයාලාගෙ හීන ඉටු කරගන්න දඟලන රට පාලනය කරන හා රට පාලනය අයදින නළුවන්ට නොරැවටී ඉමු. 

******
250 වැනි ලිපිය සමඟ 2014 වසර අවසන් වෙලා යනවා. ඔබ හැමට අලුතෙන් හිතන්න පුළුවන් වන, 
සුබ නව වසරක් වේවා!! 
ඇත්තම සතුට හොයා ගන්නත්, 
නියම රටක ජීවත් වෙන්නත්, 
නොරැවටෙන්නත් හැකියාව ලැබේවා. 
පරිසරය අපටත්, අපි පරිසරයටත් ආදරය කරන වසරක් අපට ලැබේවා!