6/19/14

-242- ස්නේහයේ නගරය


ඒ ඇයගෙ සොභාවික කොණ්ඩය නෙවෙයි. මම එහෙම කියන්නෙ කොණ්ඩෙ කොටසක් පාට කරලා තිබුණ හින්දාම නෙවෙයි. ඕනෑවට වඩා පිළිවෙලට තිබ්බ හින්දා. ඇය කතාකරන කොට ඇගේ කොණ්ඩය දෙපසට පැද්දුණා. පෝනි ටේල් කියන වචනය ඒ විලාසිතාවට කොයි තරම් ගැළපෙනවාද කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඇය වේගයෙන් කතා කළා. සැරෙන් කතා කළා. හැමෝටම ඇහෙන්න කතා කළා. ඇය ඉදිරිපිට හිටිය පිරිමි ළමයාට කඩාගෙන පැන්නෙ පුදුම තරහකින්.

ප්‍රේමය වෙලාවකට හරිම දරදඬුයි. ඉල්ලීම් වලින් පිරිලා. තහංචි වල ගිලිලා. නීති වලින් යට වෙලා. හේතුව මොකක්ද කියලා හරියටම නොදන්නවා වුණත් පිරිමි ළමයා තමයි මේ වෙලාවෙ නම් චූදිතයා. දැරිවි ගෙ වචන බ්‍රසීල ටීම් එකේ ෆුට් බෝලයක් වගේ වේගයෙන් ඉලක්කය හඹා ගියා. පිරිමි ළමයා සෑහෙන්න අසාර්ථක ගෝල් කීපර් කෙනෙක් වුණු නිසා ම, පැය භාගයෙන් ඒ අයගෙ කතාව නිමා වුණා. ලවර් එකේ විකුණන රුපියල් එකසිය අනූ නවයයි සත පනහෙ මුද්දක් වේගයෙන් ළඟ පාත ඩෝනට් එකක් කමින් හිටි මගේ දෙපා මුලට රෝල් වුණා. රත්තරං නෙවෙයි නිසාද මන්දා පිරිමි ළමයාවත් ඒ දිහා බැලුවෙ නෑ. මේ මොහොතෙ ඒ ප්‍රේමය එතැනින් ඉවර වුණා.මම ඔවුන් දිහා වගේම මගේ දෙපතුල ළඟ තිබුණු මුදුව දිහා බැලුවා. ඒක ඇගේ සිහින් සුදු අතට දාපු දවස කොහොම එකක් වෙන්න ඇතිද කියලා මම හිතන්න උත්සාහ කළා.

මම කාර්යබහුල නුගේගොඩ නගරය දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මට රෑ වෙන්න තව ටිකක් වෙලාව ඉතිරියි. හිත ඩිංගක් හිතුවක්කාර වුණු නිසාම අසනීප සිතිවිලි මොහොතකට පැත්තක තියලා මම නුගේගොඩ ඉඳන් රාජගිරිය පැත්තට හෙමින් පයින් ඇවිදගෙන ගියා. නාන කාමර කට්ටල තරඟයට විකිණෙන්න බලාගෙන විදුරු කාමර වලින් එබීගෙන ඉන්න පාර දිගේ දවස් ගණනකින් හිසට දියපහරක් නොලද දූවිලි වැකුණු කොණ්ඩයක් ඇති මනුස්සයෙක් මාව පහු කරගෙන ගියා. වයස හැටකට එහා සීමාවෙ හිටිය ඒ මනුස්සයාත් කවදා හරි දවසක කාට හරි ආදරය කරලා ඇති කියලා මට හිතුණා. ඇය කොහොම වෙන්න ඇතිද? අද බුලත් කෙළ කහටින් වැහැරුණු නිකටකින් දිරච්ච දත් වලින් හැදුණු ඔහුගෙ රූපය එදා මීට කඩවසම්ව තියෙන්න ඇති කියලා මට හිතුණා.

පන්තියක් ඇරුණු තරුණ නංගිලා මල්ලිලා ටිකක් මා එක්කම වාගෙ යමින් හිටියා. ඒ රංචුවෙ උන්නු ගෑණූ ළමයෙක් හුරුබුහුටි පිරිමි ළමයෙක්ව තද කරගෙන අල්ලගෙන ඔහුගෙ උරහිසේ හිස තියා ගෙන යන්න වෑයම් කළා. ඒත් ඔහුගෙ ඇස් තිබු‍ෙණ කටවුට් එකක හිටපු නතාෂාගෙ වීදුරු ඇස් දිහාවට. මට ඒ නංගි ගැන වගේම මල්ලි ගැනත් මොහොතකට දයාවක් ඇති වුණා. හිනා නොයන හිනා යන කතන්දර වලට හිනාවෙමින් හිටි ඔවුන් ගෙ යහළු පිරිසට ව ඔවුන් ගැන ලොකු අවධානයක් තිබ්බෙ නෑ. මම ඒ අය පහු කරගෙන උයන පැත්තට ආවා.

මහත ඇඟ කෙට්ටු කරන්න කියලා හිතාගෙන දුවන ඇන්ටිලාට වඩා මට මේ උයන් වල සතුට අරන් එන්නෙ හුඟාක් වයසක ජෝඩු. ඒ සමහර වෙලාවට ඒ අය මට ක්‍රීම් ක්‍රැකර් කන්න ආරාධනා කරන නිසාම ම නෙවෙයි. ඒ අය තරුණයි වගේ එකිනෙකාට තුරුළු වෙලා ඇහෙන්න නෑහෙන්න කතා කරන හැටි දකින කොට මගෙ හිතට දැනෙන සතුට නිසා.

එකා පසු පස එකා දුවන මන්තීරුවක, පැත්තක තිබුණු එකම හිස් සිමෙන්ති බංකුවෙ මම ඉඳගත්තා. තද දුඹුරු ඇස් ඇත්තියක් මගේ ළඟ පාතින්ම ඉඳගත්තා. ඈ අතේ කලු කවරයක් දාපු මහත පොතක් තිබ්බා. ඇගේ ගවුමෙ ලස්සන මල් වැලක් තිබ්බා. එහෙත් වැදගත් ම දේ ඇගේ ඇස්වල හිර වෙච්ච කඳුළු ගුලියක් තිබ්බා.  මම උත්සාහ කළා ඇය එක්ක හිනා වෙන්න. ඇයට නම්  එයට වුවමනාවක් තිබ්බෙ නෑ. ඇය පුංචි පෑනක් ගවුම් සාක්කුවෙන් අරන් එළියට ගත්තා. ඈ මේ කිට්ටු පාත කෙනෙක් වෙන්න ඕනෙ කියලා මට නිකමට හිතුණෙ, එයා අතේ පෑනටත් පොතටත් අමතරව කිසි දෙයක් නොතිබුණු නිසා.  ඈත බිල්ඩිං ඇස් දෙකෙන් ගිලගන්න වගේ බලාගෙන හිටිය ඈ ඉන් ටිකකට පස්සෙ මගේ දිහා සුහද විදිහට බැලුවා.
" බය වෙන්න එපා ඔයාගෙ එක්කෙනා ආවාම මම මෙතන ඉඩ දෙන්නම්"
ඇගේකතාවට මට ඇත්තටම හිනා ගියා.
" මම ගන්න හුස්ම හැර මෙතෙැනට මම වෙනුවෙන් එන්න කිසිම කෙනෙක් නෑ. නංගි කැමති තරම් වෙලා ඉඳලා යන්ඩ."
මම ඇහෙන නෑහෙන ස්වරයෙන් ඇයට කිව්වා.

අගේ මුහුණෙ ආයාසයෙන් රඳවාගෙන හිටි සිනහව වියැකිලා ගියා. ඒත් ඒ එක්කම පහලට ගලන්න ඔන්න මෙන්න වගේ කඳුළු ගුලි පිරුණු ඇස් ඇතුළට ගිලිලා වේලිලා ගියා. ඈ දිහාවෙ අවසාන වතාවට හිනාවක් පා කරලා මම එතැනින් නැගිට්ටා. ඒ වෙද්දි මට රෑවෙන්න පටන් අරන් තිබුණා. 176 බස් කිහිපයක් වේගයෙන් ඇදී ගියා. ගුණදාස කපුගේ මහත්තයාගෙ හඬින් ඒ මොහොතෙත් දවසේ ඉතිරි ස්විප් ගලවා ඇණ එකතු කරමින් හුන් ලොතරැයි කූඩුවක් ගීතවත් වුණා.

“ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ! “