5/11/14

-241- මට ඔබේ හඬ ඇහෙනවා!



රත්නපුර ඉඳන් පලාබද්දල වෙනතුරු මහා මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන් එහි පිහිටා තිබෙන කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරස්ථානයේ ඉඳන් පටන්ගන්න රජ මාවත දිගේ පාගමනින් ම සිරිපාදය  කරුණා කරන්න පටන් ගන්නවා. ඒ අයට මුලින් ම මුණගැහෙන්නෙ පවනැල්ල. එතන අම්බලමක් තියෙනවා. ඊළඟට ලිහිණියා හෙළ. 

ලිහිණියා හෙළේදී ලිහිණි අක්කාට ඩිංගක් කථාකරලා ඇයව සිහිපත් කරන්න කවුරුවත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ලිහිණියා අම්බලමෙත්, හැම කෙනෙක් ම වාගෙ තවමත් ඩිංගක් හරි නවාතැන් ගන්නවා. ලිහිණියා හෙළට හයියෙන් කෑ ගැහැවුවාම නැවත හෙළෙන් උඩට විසි කරන සද්දය තමන්ගෙ කට හඬේ දෝංකාරය බව දැන දැනත් 

“ ලිහිණි අක්කේ අපි යනෝ.. ගියාට ආයෙත් එනෝ“ 

කියලා බාල තරුණ මහලු , කිරිකෝඩු දඬුකෝඩු ඇතුළු සියලු නඩ වල ඈයො කෑ ගහනවා සිරීපාදෙ නගින අය දැකලා ඇති. කොයි කවදා ඉඳන් හරි ඒක සම්ප්‍රදායක් වෙලා

ලිහිණි අක්කා ජනප්‍රවාදයක්. මෙතෙක් ඇයව දුටුව කවුරුවත් නැහැ. ඒ කියන්නෙ, ඇය හිටියෙ මීට ගොඩක් අතීතයෙ කියන එකද, නැත්තම් කවමදාවත් නොහිටි කෙනෙක් කියන එකද, කියලා කවුරුවත් ම හොයන්න වෙහෙසිලා නැතත්  මේ තරමට කතන්දරයක් හැදෙන්න මොනා හරි වෙන්නත් එපැයි කියලා හිතන්න පුළුවනි. 

එක්කො ලිහිණි අක්කා හෙළට වැටුණාද? නැත්තම් කවුරු හරි ඇයව තල්ලු කළාද? ඒ දෙකම නෙවේ නම්, ඇය හිතාමතාම හෙළට පැන්නාද?  ලිහිණි අක්කා සහ හෙළ අතර කතාව සම්පූර්ණ බොරුවක් නොවේ නම් මේ තුනෙන් එක් සිද්ධියක් අනිවාර්යයෙන් ම වෙලා තියෙනවා.  මට හිතෙනවා, වෙන්න ඇත්තෙ තුන්වෙනි එක. ඒත් ඒකට බොහෝ අය බල පාලා ඇති.

ජීවිතය සමනළ කන්ද නම් ලිහිණි අක්කාගෙ ජීවිතය අතරමං වූයේ මහ ගිරි දඹේ දී. අවසානය සහ සැනසීම පෙනි පෙනී අතර මගදී .ඇත්තමයි. මහ ගිරි දඹය කාටත් අමාරුයි. එහෙත් එහිදී මං මුලා වෙන අය නැති තරම්. ඒ පාර කෙලින් නිසයි. එහිදීත් අතරමං වෙනවා නම් එය මහා පවක්. බොහෝ විට සංසාරික පවක්. එසේ අතරමං වූ ඇගේ ශෝකී රාවය අනන්තය තෙක් විහිදෙන හෙළ පතුළෙන් නිකමෙන හැටි, සිරිපා කරුණා කරන ඔබට ඔබ තුළින්ම ඇහෙනවා. ඒත් ඒ වේදනාව මැන ගන්න ඔබ ළඟ මිම්මක් නැහැ.

ඇය කාන්තාවක්. ඇගේ පාර වැරදුණා. සංස්කෘතිය තුළින් හෝ පවුල තුළින් හෝ ඇයට සිදු වූ‍ණේ කුමක් වෙන්න පුළුවනිද? අපි හරියටම දන්නෙ නැහැ.

ලිහිණි අක්කා හෙළ සමඟ තනිවන්නේ, අපේ සංසාරයේ මුලදී . දැන් යුග ගණනාවක් ගෙවිලා... ආත්ම ගණනක් ගිහිං. ලිහිණි අක්කාගෙ කාලෙ හිටපු අපි මැරිලා, අලුත් අපි ඉපදිලා. දැන් ලිහිණි අක්කා කතන්දරයක් විතරයි. ඇය දන්න කියනා අය යනවා ඇති දැනුත් මේ සිරිපාදෙ කරුණා කරමින්. ඒ වගේම ලිහිණියා අම්බලමේ ගිමන් නිවා ගන්නවා ඇති මේ දැනුත්. හැබැයි ලිහිණි අක්කා තවමත් හෙළ පතුලෙ. ලිහිණි අක්කා හිටපු අතීතයේ සමහරවිට, මෙතැනට එන අයගෙ තව තව වෙහෙසවල්, නිවන්න ලිහිණි අක්කාට සිද්ධ වුණා වෙන්න ඇති. හෙළ සහ ලිහිණි අක්කා අතර කතන්දරයට, මෙතැනට ආපු කෙනෙක් සම්බන්ධ නැහැමයි කියන්න අපිට බැහැ. සමහර විට එහෙම නොවෙන්නත් ඇති. දැන් ඒ ගැන මොනවා කරන්නද? 
සිරිපා කවි කියද්දි, හිතට නිවනයි. ලිහිණි අක්කාටත් ආයෙ අපි එක්ක කවි කියන්න පුළුවන් නම් හොඳයි.
සීත ගඟුලේ දිය වැල් ගලන්නේ හිමේ වරුණාව කියන්න වගේ. ඒත් එදා මහගිරි දඹේදී වූණු වේදනාත්මක මං මුලාවීම නිසා ලිහිණි හැලූ කඳුලු සීත ගඟුලට දියවෙලා ගියෙ නැහැමයි කියලා කෙනෙක් කොහොමද තර්ක කරන්නෙ.. අද සබරගමුව පතලෙන් ඔබ ගොඩ ලන නිල් මැණික් ඇගේ වේදනාවේ උත්කර්ෂයෙන් උපන් ත්‍යාගයන් නෙවෙයි කියලා හරියටම කියන්න පුළුවන් කාටද? නුඹ ඒ වේදනාවෙන් පල දැරූ මැණික් ගොඩගත්තත්, ඇය තවමත් ගොඩ නොඑන මහ දුකක ගිලිලා ඉන්නවා.
මහගිරි දඹේදී අතරමං වුණාම, පෙනි පෙනිත් සිරීපාදෙ මඟ හැරෙනවා. සිරිපතුලට හිස තියන්නෙ නැතිවම ඇය හෙළට පැන්නා වෙන්න ඇති.
සිය දිවි හානි කරගැනීම සතර අපා දුක් විඳිනා පාපයක් බව ඒ දවස් වල ලිහිණි අක්කා දැන නොහිටින්ට ඇති..
.
තුමුල සමනොළ පෙනි පෙනී පෙනී
ජීවිතේ මහ ගිරි දඹේදී
පාර වැරදි මං මුලා වුණ 
ලිහිණි අක්කේ
හෙළ අනන්තේ තනි වෙලා ඔබ
මට ඔබේ හඬ ඇහෙනවා...

හිමේ කරුණා කරන්නට යන
දෙනෝදාහක් පින්වතුන් අතරේ
දන්න කියනා උදවියත් ඇති
උන් ගමන ගිම් නිවා ගන්නැති 
ලිහිණි අම්බලමේ...
වරෙන් සිරිපා කවි කියන්නට
ලිහිණියේ ආයේ...

හිමේ වරුණා කියන්නට එන
සීත ගඟුලේ දිය කඳුරු දහරේ
ඔබේ කඳුළුත් දිය වෙලා ඇති
ඒ කඳුළු නිල් මැණික් වෙන්නැති
සබර ගං පතලේ ..
හෙළෙන් පැන්නද ඇත්තටම ඔබ
නොවැඳ සිරි පද්මේ....

පද රචනය - අසංක රුවන් සාගර
සංගීතය - ජානක ෆොන්සේකා
ගායනය - ඉන්දිකා උපමාලි.