1/25/14

-236- ආදර ගෝතමීය



ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් අදටත් හෙටටත් මට දෙන්න තියෙන එකම සහ හැබෑම උත්තරය, නවය වසරෙ ඉඳන් උසස්පෙළ නිම වනතුරු ඉස්කෝලෙ ගත කළ කාලය කියලා කියන එක. අදටත් කෙරෙන සමහර විහිලු, ඔච්චම්, රැවිලි ගෙරවිලි වල ඉස්කෝලෙ අලගිය මුලගිය තැන් වල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන නොසෑහෙන්න තියෙනවා. තාමත් පරණ කරපු වැඩ වලට හිනා වෙන අතරෙම, එදා දැකපු දඟකාර ඇහැට වඩා මව්වත් ඇහැකින් ඉස්කෝලෙ පෙනෙන්න අරන්.

අපේ ආරම්භක දිනය සිහිපත් කෙරෙන්නෙ, ජූනි මාසෙ 17 වෙනිදා. මීට අවුරුදු 67 කට කලින් 1946 අවුරුද්දෙ නිදහස් අධ්‍යාපනයේ පියා වුණු ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයාට කාන්තා පාසල් පටන් ගන්න වුවමනා වුණා. මුලින්ම මේ භූමියෙ රාජකීය කාන්තා පාසල ආරම්භ කරන්න කතිකා කෙරුණත් එවකට තිබුණු ඉංග්‍රීසි ප්‍රමුඛ අධ්‍යාපනය සලකලා, රජයේ ඉංග්‍රීසි බාලිකා විදුහල යන නමින් අපේ පාසල ආරම්භ කළා. ග්ලැඩියස් පෙරේරා නෝනමහත්තයා සමඟ, ගුරුවරු තුන්දෙනෙකුත් , ගැහැණු ළමයි පහළොවකුත් මුලින්ම ඉස්කෝලෙ හිටියාලු. ඉස්සරම පාට පාට ඇඳුම් ඇඳන් ආවාට පස්සෙ ටයි පටියක් සහිත යුනිෆෝම් එකක් තිබුණූ බව, අතීත කතා පුවත් වල අහන්න ලැබෙනවා. සෝමා ප්‍රේමරත්න මැඩම් හිටපු කාලෙ තමයි, අපේ ඉස්කෝලෙ සිංහල මාධ්‍යට හැරෙන්නෙ..එදා ඉස්කෝලෙ නම වෙනස් කරනවා. ඒ වගේම වර්තමාන පවතින නිල ඇඳුමටත් වෙනස් වෙනවා.. ඒ ඉස්කෝලෙට තෝරාගැනුණ නම තමයි.. ගෝතමී.



ගෝතමී කියන වචනය සිංහල වචනක් ලෙස අපේ භාෂාව තුළ භාවිතා නොවෙන තරම්. ගෝතමී යනු ඉන්දියානු වචනයක්. එහි අර්ථය බාලිකාවන් යන්නයි. කොහොම වුණත් ඉතිහාසයේ අමතක කළ නොහැකි ගෝතමියන් දෙදෙනෙක් නාමිකව සිටිනවා. එක් අයෙක් මහා ප්‍රජාපති ගෝතමි. අනෙකා කිසා ගෝතමී. ඒ නම් දෙක සිහිකරන වාරයක් පාසා යටි හිතට ආරෝපණය වන්නේ පුදුමාකාර ආඩම්බරයක්.

මහා ප්‍රජාපතී ගෝතමිය, අනුන්ගේ දරුවෙකුට මවක් වූ තැනැත්තියක්. බුද්ධ මාතා ලෙස ලොවම පිළිගත් තැනැත්තියක්. නොසැලෙන වීර්යෙන් අන්තිම මොහොත දක්වාම උත්සාහය අත් නොහළ තැනැත්තියක්. තම අවශ්‍යතා වෙනුවෙන් සියල්ල කැපකළ කාන්තාවක්. අවසන බුදුන්ගෙන්ද පසු ගමන් ලත් කන්තාව සහ එකම කාන්තාව.

කිසා ගෝතමිය, මහා පුරුෂයෙකුට අරමුණක් දෙනු පිණිස නිබ්බුත පද කී ගැහැණියක්, අප්‍රමාණ මාතෘ ස්නේහය උදෙසා දරුවාගේ මලකුණ පවා රැගෙන බෙහෙත් සොයා ගිය ගැහැණිය. උපරිම වීර්යෙන් අවසන් මොහොතේ සත්‍ය පසක් වන තුරු බලාපොරොත්තු අත් නොහැරි මවක්. කාන්තාවකගේ සිතක පවතින ශක්තිය පෙන්නූ අපූර්ව ස්ත්‍රියක්.

ඉඳින් දයාබර ගෝතමිය, ඔබට ආදරය නොකර කොහොමද?

ගෝතමියෙ අපි හැමෝම ගොඩක් දුරට එක වගෙයි. හුඟක් ගති ගුණ සමානයි. එහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒක එහෙම තමයි. ඒ සමහරවිට අපිව හැදු වැඩූ හර පද්ධතිය වෙන්න පුළුවනි. අපි අපේ ඉස්කෝලෙ තියෙන තැන ගැන හිනාවුණු සමහර අයට,
“අපි මරදානෙ තමයි“ කිව්වෙ හරි ආඩම්බරයෙන්. ඒක එදාට අදට වාගෙම හෙටටත් එහෙමයි. අපි මරදානෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වෙන තැනක හිටියා නම් අපිට ඉගෙන ගන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි ඉතිරි කරන්න පුරුදු වුණේ, ලෝකයටම ආදරය කරන්න පුරුදු වුණේ, සරළ ජීවිතය පුරුදු වුණේ අපේ ඉස්කෝලෙන්. ගින්දර මහ පොළව උඩ පැවතෙන්න ඉගෙන ගත්තෙ, වේදනාව දරන්න ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙන්.


මුළු ලෝකෙටම වුණත් ගුරුවරියක්, මවක් වෙන හැටි, දුරුවලයන්ටත්, වැඩ්ඩන්ටත් සමානව ආදරය කරන හැටි අපි ඉගෙන ගත්තෙ මේ අපූරු ඉස්කෝලෙන්. සොබාදහම අහස පොළව එක්ක අපිත් හිනාවෙනවා අපිත් අඬනවා කියලා අපි දැනගත්තෙ ඉස්කෝලෙන්. මුළු ලෝකෙම තමන් ඉස්සරහ රඟපානවා නම් ඒ හැමෝටම වඩා හොඳට රඟපාන්න අපි තේරුම් ගත්තෙ ඉස්කෝලෙන්. ඒකයි මම මගේ ඉස්කෝලෙට මෙච්චරටම ආදරේ.

කවදාහරි මට දුවක් උපන්නොත් ඇය මේ ලෝකෙ හොඳමයි කියලා නම් දරණ පාසල් සියයක් ඉස්සරහදි වුණත්, ගෝතමිය තෝරාගන්නා බවට මහා අධිතක්සේරුවක් මට තියෙනවා. මම ඇයට බල කරන්නෙ නෑ. නමුත් ඇය එහෙම කරාවි. ඔබ ඒ ගේට්ටුවෙන් එක වරක් ඇතුළට ගිහින් තියෙනවා නම්, එකම එක දවසක් හරි, එහෙම කරන්න ඇයට ඇති හේතුව හොයා ගන්න පුළුවන්..



ටැම්පිට පිහිටි වැඩ හිටින බුදු හාමුදුරුවන්ගෙ සිවුරු එළියෙන් නික්මෙන රන් පැහැයත්, මරදන් අහසේ වලාකුළක පහසක් වත් සිඟා නොයදින හිරුත් එක් වර ඒ බිමට අරුණෝදය ගෙන එනවා. රළු බොරළු වැල්ලේ එක්වර පිපෙන තුන්දහසකට ආසන්න දැරියන්ගේ පුංචි පා සලකුණු  ඇහැල මල් සුවඳින් සහ නොනිමි සෙනෙහසකින් හැමදාම දිලෙන හැටි ඔබ එක් වරක් හරි දකින්නම ඕනෙ. ඔව් ඔබ ඒ සුන්දරම පාසල දකින්නම ඕනෙ.

She always produce well mannered young ladies who are enriched with wisdom and knowledge for the well being of motherland.

හිමගිර දැහැනට සම වැදිලා මෙනි
කලබලයක් නැත දිස්වන්නේ...
මේ මගෙ පාසල මට මගෙ පුදබිම
භක්ත්‍යාදරයෙන් නමදින්නේ...