11/21/13

-232- ඇය සහ ඇය අතර තනිවීමි




ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?

මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.

ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ.  අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා. 

ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.

ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද? 

ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?

මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.


එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.

එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා. 

මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්,  මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත්  මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.

වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....

විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...

සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...

ගීතය අහන්න

11/1/13

-231- මට හමුවූ සුන්දරම යුවතිය



ඇයව මට හමුවුණේ කොහුවලදි, නිල් මල් ඉහුණු සුදු වන් රෙද්දකින් දෙදණ තෙක් වැසුණු ගැමි පන්නයෙ ගවුමකින් ඈ සැරසී සිටියා. එහෙත් ඈ අගනුවර යුවතියක් විය යුතුයැයි මට සිතුණා. සැකසු ඇහිබැමත්, ලේයර් හැඩැති හිස කෙසුත් නිසා.

මා සමඟම ඇය බසයට ගොඩ වුණා. බසයේ කොණකට ඇති ආසාවෙන් ඇය ඉක්මන් වුවත්, පුංචි දරුවෙක් ඇයව තල්ලු කළා. ඇය සුන්දරව සිනාසුනා. මේ අපූරු යුවතිය මේ දරුවාට බසයේ පෙම් මුල්ල දුන්නා. දැන් ඔවුන් බර කතාවක. අපූර්වත්වය නම් ඒ කුඩා දරුවා භාෂාවක් කතා නොකිරීමයි. ඇය කිසිම අපහසුවකින් තොරව හදිසියේ හමුවූ ඔහු හා කතා කරන විලාසය මාද ඇතුළුව බසයේ හැමෝම බලා සිටියා. ඇය එයින් අපහසු තාවයට පත් වූ බවක් දැක්කෙ නැහැ.

ඇය ගොළු යුවතියක නොවූ බව බසයම දැන ගත්තෙ, පාර වැරදුණු මිත්තණියක් බසයෙන් බස්සවන්න ඇය කොන් දොස්තරට කතා කළ වෙලාවෙ. ඒ හඬ එතරම්ම ගීතවත්.

ඇය ඉන්පසු නැවතුමෙන් බැස්සා. මේ අපූරු යුවතිය යන මඟ ගැන සොයාගන්න ආශාවක් මට තිබුණා. පාර හදන තැනකින් බැසගත් ඇය, වැඩකරන මිනිස්සු දෙස බැලුවෙ දන්නා හඳුනන අය දෙස බලනවා වගේ.

කාන්තාවක් ඇය අඳුරලා වගේ මල් දහයක් තෝරා ඇය අතට දුන්නා. නිල් මහනෙල් මල් පොකුර අතට ගත් ඇය හීන් හිනාවක් මටත් දුන්නා. මමත් මල් දෙකක් අරන් ඇය එක්කම කතාවට වැටෙන්න ඇය ළඟින් ගමන් කළා. මම කතා නොකරම ඇය කතා කරනවා.

“ පටන් ගන්න තැනම අයට බිස්නස් අඩුයි. පන්සල ගාවට වෙන්න වැඩියි. මෙතන රස්නෙ නිසා මල් ඉක්මනින් පර වෙනවා. “

මගෙන් උත්තරයක්වත් තව අලුත් කතාවක් වත් ලැබෙන්නට පෙර, ඇය දිගු පාර අසබල වෙලක ලියැද්ද ළඟ නැවතුනා. පොරි පැකට් එකක් දමාගෙන දැන් ඇය මාලු එක්ක කතා කරනවා. එතැනින් පසු ඇය කිසිම කෙනෙක් නොදුටු ගාණට තමන්ටම මුමුණමින් පන්සලට ගියා.

මේ අපූරු යුවතිය හොයන්නෙ මල් අඩු බුදුවරු. ඇය මල් තිබ්බෙ එවන් පිළිම ළඟ. මඳක් තම පිළිවෙතෙහි යෙදුණු ඇය එන්න පිටවුණා. මල් ආසනයක වියළි මල් පර වෙලා. ඇය තම ගමන පසෙක තබා මල් අසුන පිරිසිදු කරන්න පටන් ගත්තා. තරුණයො කිහිප දෙනෙක් තනි ඇයට උසුළු විසුලු කරනවා. ඇයට ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. ඇගේ කාන්සියට පැමිණි පුංචි හිතවතෙක් ඇය සමඟ ලොකු කතාවක. පුංචි පූස් හිතවතාට කන්නට දෙයක් දෙන්නට නැතිවීම ගැන නම් ඇය උන්නෙ දුකින්.

ඇය දැන් යළිත් ඇගේ ගමනේ ඇවිද යනවා. මේ අපූරු යුවතිය නිතරම කළ එකම එක දෙයක් තිබුණා. ගවුමෙ රැලි සාක්කුවෙන් දුරකථනයක් ගෙන ඇමතුමක් හෝ යමක් බලාපොරොත්තු වුනා. පුදුමය නම් එය එතෙක් වේලා නොලැබීම නොවෙයි. ඇගේ ඇස් වල දිගින් දිගටම කාන්තිය එකතු වීමයි. ඇයගේ පාර ගොඩක් දුර ඇති. එහෙත් ඇගේ ළඟ ජීවිතය තිබුණා. අපූරු ඇස් දෙකක් සහ සිනහවක් තිබුණා.

වෙහෙසට පත් නොවන දෙපයක් තිබුණා. ඇය අවසන අතරමඟ සිටි බර කිරන්නෙකුට කියා තම බර කිරවා ගත්තා.

පුංචි නෝනා 65 යි.. ඔහු කීවා..

අංකල්ට කියන්නෙ BMI එක තියෙන්නෙ නූලෙන්. 58 ට බැස්ස දාට මම අංකල්ට උළුඳු වඩේ අරන් දෙනවා..

කලු පැහැ මුහුණ තුළ රූ රාජිණියකගේ පෙනුම නැතත්, දීප්තිමත් ඇස් සහ සුන්දර හිනාව අනික් අය අතරින් ඇය ඉහළට ගෙනාවා. බර කිරන දුප්පත් මිනිසා අපිරිසිදු දත් එළියට දමා පිරිසිදු සිනාවක් පා කළා. සමහර විට ඒ දවසටම ඒ මිනිසා සිනා සුණු පළවන වතාව විය නොහැකිද?

කඩයක කූඩුවක සිටි මයිනෙකුට කතා කළ ඇයට කතා කළ අත්තම්මා කෙනෙක් පිරිත් නූලක් නිවස තුළින් ගෙනැවිත් ඇයට ගැට ගැහුවා. ඇය දකින සැම කෙනෙකු සමඟම සිනා සුනා. ඇය පසුකරමින් බුම්මාගෙන ගියෙක් නැති තරම්. සිනාසෙන මුහුණ ඇගේ ස්වාභාවයදැයි මට හිතුණා. ඇය ඈතට ගියා. අපූරු සිංදු කිරිල්ලියක්. සුන්දර යුවතියක්.
ඇයට කවදාහරි ඇය වටා සිටිනා ලෝකයටම සතුට ගෙනෙන්නට හැකි වේවා කියා මම බෝධිය දෙස බලා ප්‍රර්ථනා කළා..

අද මම ඇය ගැන ලියන බව ඇය නොදන්නවා ඇති. මට දුක නුඹට කියන්නට අවාසනාවකට ඇගේ නම අසාගන්නට බැරි වීම ගැනයි.