9/25/13

-226- නයිටිංගේල් කිරිල්ලියගෙ කතන්දරය


ඉර හැන්දෑවට මූහුදු පතුලින් අරගෙන බටහිර අහසට විසි කරන වර්ණාවලියෙ ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය දැනගෙන හිටියා. ඒ නිසාම හරිත තුරු මුදුන් වලින් මිදිලා හැම හැන්දෑවකම අහස බලන්න ඇය වෙරළ සීමාවට එනවා. 

නයිටිංගේල් කිරිල්ලි, ජීවිතේ පුරාවටම බලාපොරොත්තුවෙන් හිටියෙ, පපුවට රෝස කටුවක් ඇනිලා සිදුවෙන අගේ වේදනාකාරී මරණය ගැන. ඒ නිසාම හැම වෙලාවකම රෝස මල් පදුරු මඟ හරින්නත් තරුණ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ හිත ගිය පෙම්වතියන් සිටින අහලකටවත් නොයන්නත් ඇය කුඩා කල සිට තීරණය කරලා තිබුණා. 




ඒත් ආදරයක් නැතිව ඉන්න නයිටිංගේල් කිරිල්ලියටත් පුළුවන් සීමාවක් තියෙනවා. ඉර කැරකෙන කැරකෙන වාරයක් වාරයක් ගනණෙ අඩුවෙන්නෙ, ඇගේ ඉවසීම බව ඇය හොඳින්ම දැනගෙන හිටියා.

ඉතින් දවසක් තුරු මුදුනක් ළඟින් පියාඹගෙන යනකොට, කිරිල්ලිය දුටුවා, තම සුරූපිණිය හැර දමා ගිය දුකින් හඬා වැලපෙන විරූපී රාක්ෂයෙක්ව.  

මේ වෙලාවෙ පුංචි නයිටිංගේල්ට කාරණා දෙකක් නිසා පුදුම හිතුණා. රාක්ෂයන් ට අඬන්න පුළුවන් කියලා ඇය කවදාවත් දැනගෙන හිටියෙ නැහැ. මෙතෙක් වෙලා මේ භයානක රාක්ෂයා ළඟ සුරූපිණියක් හිටියෙ කොහොමද කියලත් ඇය හිතා ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ..

නයිටිංගේල් හැමදාම අහලා තිබුණෙ, කතන්දර පොත් වල ඉන්න  ලස්සන තරුණියන් සහ කතන්දර පොත් වල ඉන්න  කඩවසම් කුමාරවරුන්ට පමණයි ආදරේ දැනෙන්නෙ කියලා. අනික කුමාරිකාවන් පැහැරගෙන යන රාක්ෂයො ගැන මිසක් ඔවුන්ට ආදරය කරන රාක්ෂයො ගැන ඈ දැනගෙන හිටියෙ නෑ.

ඒ නිසාම ඇයට විරූපී රාක්ෂයා ගැන හරියට පුදුම හිතුණා. නැති වුණ රූමතිය හොයන්න, රාක්ෂයාට උදව් කරන්න ඇත්නම් කියලා කිරිලිලියට හදිස්සියෙම හිතුණා. රූමතිය පිළිබඳව රාක්ෂයා විස්සෝප වෙන හැටි දැක්කාම නයිටිංගේල් කිරිල්ලියට ටිකෙන් ටික මේ රාක්ෂයා ගැන ප්‍රේමයක් උපන්නා. 

ඉර බහින තුරු ආයෙත් නගින තුරු රාක්ෂයාට පුංචි නයිටිංගේල් ප්‍රේම කළා.

රතු රෝස මලක් දුන්නොත් හැර ගිය රූමතිය නැවත හාද වේවි කියලා, නොහිතූ මොහොතක ඔහුගෙ මුවින් පිටවෙන තුරුම, නයිටිංගේල් කිරිල්ලිය ඔහුට ප්‍රේම කළා.


ඉර හිරිමාවට මූහුදු පතුලින් අරගෙන නැගෙනහිර අහසට විසි කරන වර්ණාවලියෙත් ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය හොඳටම දන්න නිසා,සුරූපි වුණත් විරූපි වුණත්, කුමාරයා වුණත් දුෂ්ටයා වුණත්  හැම කතන්දරයක්ම එකම විදිහට අවසාන කරන එක පිරිමි ගතිය කියලාත් තේරුම් ගන්න  පුංචි නයිටිංගෙල් කිරිල්ලියට වැඩි වෙලාවක් ගියෙ නෑ.


9/23/13

-225- ජීවත් වීම පිණිස ජීවිතයට

ශරීරය සප්‍රාණිකව තබා ගැනීම, සම්පුර්ණ වශයෙන් රැඳී ඇත්තේ හුස්ම මතයැයි මම විශ්වාස කරමි. නමුත් මා කිසි දින ජීවත් වනු පිණිස හුස්ම ගත්තා දැයි මගේ මතකයන් තුළ නැත. මම දෑස පියාගෙන සබුද්ධිකව එක හුස්මක් ගනිමි. ඒ තුළ අන්ධකාරයේ මා දකින්නේ හුස්ම මත පවතින ශරීර ස්කන්ධය මුදා හැරීමේ නිදහස ද ? දෙනෙත් විවෘත කළ පසු, මා විඳිය යුතු වෙහෙසට පදනම් වූ ඛේදය ද? යන්න මට ගැටලුවකි.

මම මෙන්ම ඔබද බසයකට ගොඩ වූ විගස සොයනුයේ, කිසිවෙක් හිඳ නොගත් ආසනයක් යැයි මම සිතිමි. තව මොහොතකින් අයෙක් එම අසුනේ හිඳ ගන්නා බැව් දැන දැනම, මොහොතක නිදහස පතා මම හිස් අසුනක හිඳ ගනිමි. ක්ෂණිකව නිදහස සොයා ගැනීමේ ආහ්ලාදය මාගේ සිත තුළ ඒ මොහොතේ පිරි යන බව මම දනිමි. ඔබටත් එසේම විය හැකිය.



මම කොළඹින් පිට ලෝකය දැක ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. ඒ නිසාම මා කුඩා කල සිට කොළඹ තුළ ලෝකය ගොඩ නගා ගැනීමට උත්සාහ කළෙමි.

ඒකාකාරීව දිවෙන, අමිහිරි නීරස ජීවිත, තම ජීවිතයන්ගේ සෞන්දර්ය සොයා කරනු ලබන, පැය කිහිපයක විනෝද චාරිකා දෙස, උපේක්ෂා ඇසින් බැලීමට හුරු කළේ ජනේලයෙන් එපිට ලෝකයම බව මම ඔබට කියමි.

නිදහස ඇත්තේ, ඈත ගවු සිය දුර අයාලේ ඇවිද යාම තුළ හෝ විනෝද සාද සහ චාරිකා තුළ නොවන බව මට පැවසීමට ඇති අයිතිය ගැන සමහරවිට ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත.

නිදහස් කළ යුත්තේ හදවතයි. හදවත නිදහස් කර දමන තැන ආත්මය සංතෘප්ත වන බව පමණක් පෙනෙන්නට තිබෙයි. මිනිස්සු තමාට ආවේණික ආකාරයන්ගෙන් ජීවිතය වින්දනය කරයි. එය දැකිය නොහැකි තැන උපන් ඉරිසියාව මඩනා හිත් ස්වකීය ආත්මයේ නිදහස පමණක් නොව බොහෝ දෙනෙකුගේ ස්වයං නිදහසට සීමා පනවා ඇතැයි මට හැඟෙයි.

නිදහස් වීමේ අවශ්‍යතාවය සියල්ලන්ටම තිබුණත්, අවශ්‍යතාවයෙන් මුක්ත වී නිදහස ගැන සිතන තුරු එය ලැබෙනු ඇතැයි, මම විශ්වාස නොකරමි.

කෝන්ක්‍රීට් වනාන්තරයක් තුළ වුවද, නිදහස සොයා ගත හැකිය. කල යුත්තේ හදවතට අත්තටු දීම පමණි.



දෙනෙත් පියාගෙන මොහොතක් කල්පනා කරන්න. නිදහස සොයා හදවතට හිම දිය නොවුණු, තුරු මුදුන් සහිත පාරවල් වල අපිට යන්නට නොහැකිද? ගලා බසින ගංගා වල සිහිල විඳින්නට නොහැකිද? පෙම්වත් මහ පොළව මත දෙපා තබා ඇවිදින හැඟීම රැඟෙන එන්නට නොහැකිද?

පරිකල්පනික ලෝකය තුළ, සොබාදහමේ සත්‍ය රූප මත හදවත විසින් නිර්මාණය කර ගත් කල්පිතයක් දිනකට වරක් හෝ දෙනෙත් පියාගත් අන්ධකාරය තුළ හදවතින්ම මසැසට ප්‍රක්ෂේපණය කළ හැකි නම්, ජීවිතය මෙතරම් වෙහෙසකාරී නොවනු ඇතැයි මම සිතමි.

විවේක ගැනීමටද මහා වෙහෙසක් දරන අද ලෝකය තුළ මම මා මේ මොහොතේ පය ගසා සිටින මහ පොළවේ කුඩා අඟල් කිහිපයට මහත් සේ පෙම් කරමි. මන්දයත් ඒ හැඟීම පමණක් මා කිසිදිනක මට යා නොහැකි වේගයකින් සුන්දර කඳු මුදුන්, දිය ඇළි, වන රේඛා වෙත මනෝමූලිකව රැගෙන යන බැවිනි.

ඒ හැඟීම නන්නාඳුනන ඇවිද යන්නන් දහස් ගණනක් කෙරෙහි මාගේ ප්‍රේමයද රැගෙන යන බැව් මම අදහමි. ප්‍රේමය යනු හුදු මුග්ධ වචනාර්ථය පමණක් නොවන බව තේරුම් ගැනීමට සොබාදහම, හුස්ම සහ ප්‍රාණියා අතර ඇති මේ ශ්‍රිතයම පමණක් ප්‍රමාණවත්ය.



Look deep into nature, and then you will understand everything better.

Albert Einstein






9/6/13

-224- කලු ලෝගු


එකිනෙකා පරයා රජ වන්නට තතනන කුහකත්වය මුසු මාවත් දිග මම ඇවිද යමි. පන්සල සහ පල්ලිය අතර පටු බිම් තීරයේ කහ ඉර මාරු වෙමි. වාතය තුළ පවා ඇත්තෙ, නොහඳුනන කඳුලකි.
තමා පිළිබඳව උපන් නොදන්නා වෛරයකි.

අවසන මම හිස් අහස දෙස බලමි. අහස වසාගත් තුඟු වෘක්ෂයෝ පියස්ස කරා ඉහළ නැඟී මිහිකත දෙස බලා සිටිති. එකී පත්‍ර වල පවා පහතින් ගමන් කරන්නවුන් පිළිබඳව උපන් අනුකම්පාව තැවරී වී ඇතැයි විටෙක මට සිතෙයි.

ප්‍රේමය සහ වෛරය අතර වෙනස වටහා ගත නොහී අතරමං වූ ජීවීත තමන්ගේ විනිශ්චය තවෙකෙකු ලබා දෙනතෙක් ඇසිපිය නොහෙළා බලා සිටිති.

සියල්ලෝම මිනිස්සු වූ කල්හී, කෙනෙක් කෙලෙස අනෙකාගේ ජීවිතය විනිශ්චය කරන්නට සුදුසු වන්නේදැයි මම තවම නොදනිමි. එකිනෙකා කෙරෙහි හටගත් සමාජ සහතිකයන් මත සිටගෙන ඔවුනොවුන් කෙරෙහි තීන්දු දෙන සමාජයෙන් මිදී මම මඳකට ඔහු දෙස බලමි.

හිනාවක් හෝ සතුටක් නොදකින එම මුහුණ මත, මම කඳුල හෝ ශෝකයද කිසි දිනක නොදකිමි. නමුත් ඒ තුළ මැදහත් බවක් ඇතැයි ඔබට කියන්නට තරම් මගේ සිත ඉඩනොදෙයි.

කෙනෙකුගේ බැල්ම, ශක්තිය සහ සුසුමද ක්ෂණිකව උරා ගත හැකි වන ලෙස තීක්ෂණ දෙනෙතකින් ඔහු ඔවුන් දෙස බලා සිටී. ඒ දෙනෙත් මත බොහෝ දෙනෙත් අවතැන්ව ගොස් පරඬැල්ව වියැකෙන අයුරු ඔහු විසින්ම නෙතින් උරා බොන කළ දැනෙන රසය කුමක්දැයි මම තවම නොදනිමි.

එනිසාම මම එතැනින් නිකම යමි. දිගු කාමර පේළි අතරින්, වට රවුම් තරප්පු පෙළ බසිමින්, බේකරි සුවඳ රජයන ආපන ශාලාව වෙත දැන් මම පිය නගමි. විත්තියටත්, පැමිණිල්ලටත් එකසේ පොදු බඩගින්න කහපාට  මේස මත, උඩ බැලි අතට නිදා සිටිනා පිඟන් මතුයේ හුරතල් වෙමින්, ඇති කෙටි ආහාර සමඟ කවලංව අතුරුදහන් වනු මම දකිමි.

අනුන්ගේ සුසුම් මැද, තම මඩිය තබා තලු මරන මිනිසුන්ගේ ආත්මයට කිඳා බසින්නට මම මඳක් වෙර දරමි. ඉදින් මම අයෙක් ළඟ නවතිමි. ඒ වෙහෙසට පත් මුහුණු පිරික්සමි. ඒවා තුළින් සටහන් තැබීමට දෙයක් ශේෂ වී ඇත්දැයි තවමත් මම නොදනිමි. එහෙත් සටහනට යමක් සොයා ගත යුතු බැවින් මම ඔවුන්ගේ වචන පිටපත් කරමි.

තවත් දවසක් අවසන හිරු මුදුනින් මම එළියට බසිමි. ඉදරියට ඇවිදිමි. ඇවිදීම කෙළවර වූ තැන පැන්නුම් පාලම දකිමි. පා වෙහෙස නොබලා එය නගිමි.

සුපුරුදු සුනඛ ධේනුව දහවල් බත් කිස නිමා කර සුව නින්දකට ගොස් ඇත. මම සෙමෙන් එතැන පසු කර යමි. රාමු කළ පින්තූර එල්ලා ඇති පහළ වීදියේ කඩ අතර, සර්ව පිත්තල ආත්මයන්ගේ වෙනසත්, කලු ලෝගු වල වෙනසත් තේරුම් ගත නොහැකිව මම වම් පස බලමි.

තවම ජීවිත දුම්රිය ප්‍රමාදය.