6/19/13

-218- කැමරා හාමුදුරුවෝ


එකසිය හැට තුනේ බස් එක ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ල පාරට දානවා.. හැමදාම එකම වංගුවෙන්. එතකොට දියවන්නා ඔය ඉදරියෙන් පෙනෙනවා. රෑට නම් ඒ වෙලාවට ඕනෙම වාහනයක ජනේලෙ ඇරලා තිබුණොත් කපාගෙන  පිළි ගඳ ඇතුළට එනවා. ඒ ගඳට මම ආසා කරනවා. දවල්ට නම් දැනෙන්නෙම නැති තරම්.

දැන් ඉස්සර වාගෙ නෙවෙයි. කොළයක් හැඩේට ලක්ෂ ගාණක වීදුරු දාලා හදපු, බස් නැවතුමයි. පුටු පෙළයි නිසා, එහෙ හරියට සෙනඟ ගැවසෙනවා. උදේට නම් ඇවිදින මං තීරුවෙ දුවන අය. හවසට පෙමිවතුන්. දවල්ට පාසල් පෙමිවතුන්. බෙහෝවිට ක්ලාස් කට් කළ අය. සමහර සති අන්ත වල පවුල් පිටින් පික් නික් එනවා. මිනිස්සු සතුටින් ඉන්න දර්ශනයක් ඕනෙම තැනකදි හරිම ලස්සනයි.

සිකුරාදාට එතන පටන් ගන්න මල් ප්‍රදර්ශනය නිසා දියවන්නාවට සති අන්තය හරිම කාර්ය බහුලයි. දැන් එහා පැත්තෙ නිදහස් චතුරස්‍රය හැඩේට මොකක්ද හදලා.. වතුර මල්.. රෑට හරිම ලස්සනයි.
තව මාලු ටැංකියකුත් තියෙනවා ලොකු. කොහොම කොහොම හරි මේ දවස් වල පාර හදන නිසා, බන්ට් එක මැද්දෙන් කඩලා.. පස් තට්ටු වැහි වතුර නිසා මඩ වෙලා. දියවන්නාවත් පිරිලා.. මං කියපු පරිසර විස්තරය පැහැදිළි ද මන්දා නොදකින කෙනෙකුට.

එකසිය හැට තුනේ බස් එක ඊයෙ පාරට දානකොටත්, මේ වාගෙමයි පරිසරය. ඒ වෙලාව මං දැකපු දේ තමයි, මේ ලිපියෙ අනුභූතිය.

දියවන්නාව දිහා බලාගෙන පෙනුමෙන් තරුණ වියේ හාමුදුරු නමක් ටිකක් ලොකු දුරකථනයකින් කතා කරනවා. පෙනුමෙන් ටැබ් දුරකථනයක් කියලා කියත හැකි. දැන් මට පෙනෙනවා හාමුදුරුවන්ව පැහැදිළිවම. බස් රිය නවත්වනවානෙ.. ලක්ෂ ගාණට හදපු කොස් කොළ හෝල්ට් එකේ. හාමුදුරුවන්ගෙ බෙල්ලෙ අරවින්ද ගාව තියෙන ජාතියෙ කැමරාවක් තිබුණා. කැමරාව DSLR වුණාට මම දන්නෙ නෑ ඒ තරම් දිග ලෙන්ස් ගැන කියන්නෙ කොහොමද කියලා. සයිඩ් බෑග් එකක් උරහිසෙ තිබුණා. හැබැයි ඒ උමන්දා අයියා අපිව එක්ක ගෙන ගිහින් පෙන්වපු ඇල්පිටිය පිරිවෙනේ පොඩි සාදුලාගෙ ළඟ තිබුණු රෙදි මලු වාගෙ එකක් නෙවෙයි. මේ උෂාන් කැම්පස් ගෙනියන බෑග් එක වාගේ එකක්. කොහොමත් ඒ ටික එක්ක හාමුදුරුවන්ට වඩින්න අමාරුයි. ඇවිදින්නම වෙනවා.

මේ දර්ශනය දැක්කෙ මම විතරක් නෙවෙයි. බස් රියෙ ගොඩක් දෙනා දැක්කා. දැන් හැම කෙනාගෙම කතාව බෞද්ධ ධර්මය, භික්ෂු ඇවැත්, සම්ප්‍රදාය, සංස්කෘතික සෝදාපාලුව වාගෙ බර මාතෘකා ගැන.

දැන් අපිට හාමුදුරුවන්ව පෙන්නෙ නෑ. හැබැයි බස් රථය තවමත් දොඩමලුයි.

මේ සිදුවීමට පක්ෂ විපක්ෂ සිතිවිලි සමුදායක් දැන් ඔබේ හදවතේ ගොඩ නැගෙනවා. ඒවා එක්ක මං ඔබට ආරාධනා කරනවා. මේ යතාර්ථය තේරුම් ගන්න.

ස්ව කැමැත්තෙන් කුඩා කාලේ කෙනෙක් මහණ වුනා නම්, ඒ සංසාර පුරුද්දට. නමුත් හුඟක් දරුවො මහණ වෙන්නෙ, අනික් අයගෙ වුවමනාවට. කේන්දරේට. තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. එතකොට ඔවුන්ගෙ ආසාව ඉදිරියට එනවා. එතකොට සම්ප්‍රදාය සංස්කෘතියට කලින් ආත්මානුකම්පාව වෙලා ගන්නවා. ඉන් පස්සෙ, තමන්ගෙ ආශාව පස්සෙ දුවනවා. ආශාව නැති කරන ගමන් මග තෝරාගත් අයම ආශාවන් පසුපස දුවනවා.

සාසනය පිරිහීම, භික්ෂු ඇවැත් සිදු වෙන්නෙ මේ විදිහට. කුඩා කාලෙ බලෙන් හෝ නොදැනුවත් කමන් අන් අයගෙ උවමනාවන් මත මහන කළත්, පස්සෙ තේරුම් ඇති කාලෙ තමන්ගෙ ජීවිතය වෙනස් මගකට ගන්න ජීවිතය වෙනස් කරගන්න චීවර ධාරී සාමනේරවරයෙක්ට හෝ හිමිනමකට වුවමනා නම් එය ඉටු කරගන්න ඔහුට තියෙන ඉඩ ප්‍රස්ථාව කොහොම එකක්ද?

ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?

6/13/13

-217- සෙනෙවි | Best of Me

හැමදාම උදේට ඉර එළිය අරන් එන්නෙ අපේ ගෙදර කුස්සිය. ඒ වුණාට නැගෙනහිර තියෙන්නෙ ඒ පැත්තෙ නෙවෙයි කියලා අම්මා නිතරම කියනවා. ඒත් ඉස්සල්ලාම කැම්පස් ගිය දවසෙ මං කිරිබත් කෑවෙ ඉර පායන කුස්සියෙ තියෙන ලෑලි බංකුව උඩ ඉඳගෙන. මම උදේට ගොඩක් කන්නෙ, දවල්ට කන එක නුපුරුදු නිසයි.  විජේරාමෙ පාර දිගේ ඉහළට ඕන තරම් බත් කඩ තිබුණත්, මම දවල්ට නොකන්න පළවෙනි දවසෙම තීරණය කළා.

ඒ මම ජයවර්ධනපුර ගිය පළවෙනි දවස නෙවෙයි. මං පත්තරේට සම්බන්ධ වුණේ සරසවි ප්‍රවේශය ලබන්න ඉස්සර නිසා  උද්ඝෝෂණයක විස්තර ගන්න, මං දවස් කීපයක්ම රාවය පත්තරෙන් එහෙ ගියා. ඒත් මේ දවස තමයි මම සරසවි ශිෂ්‍යයෙක් බව මට දැනුණ දවස.

පිළිගැනීමේ කතා අටෝරාසියකට පස්සෙ දහවල් විවේකය ලැබුණු තැනින් තමයි, හරි නම් මේ කතාව පටන් ගන්න ඕනෙ. ඒත් මං කවුද කියලා නොකියා කතාව කියං යන එකේ තේරුමක් නෑ. කොහොම හරි දවල් දොළහට ආසන්න වෙලාවක මමත් අනික් පිරිවර එක්ක තල්ලු වෙලා ශ්‍රී සුමංගල ශාලාවෙන් එළියට වැටුණා.. මමයි , ඒ මොහොතෙ අඳුන ගත්ත ගැහැණු යහළුවො කිහිප දෙනෙකුයි එකටම ඕපන් කැන්ටිම පැත්තට ආවා.

ඕපන් කැන්ටිම තියෙන්නෙ සුමංගල ශාලාවෙන් දකුණු පැත්තෙ. එ්කෙ ඉහළ තට්ටුවෙ තියෙන්නෙ මහා ශිෂ්‍ය සංගම් කාමරය. පහළ තියෙන්නෙ  අපි පාඩම් කරන්නයි කන්නයි හදපු කැෆටේරියා එක. ඒවා හැම දේම පස්සෙ දැන කියාගත්ත දේවල්.
එදා එතෙනදි මම මුලින්ම දැක්කෙ කොන්ක්‍රීට් බිත්තියෙ, පාට ගිය තීන්ත උඩ මුණිවත රකින රූප පේළියක්. 

ඒ රූප පෙළ හරි මැද, සරසවියෙ ඈතම කොනට ඇස් යොමාගත්ත කෙනෙක් මුල්ම වතාවට මගේ ඇස් තුරුළු කරගත්තා. මුල්ම වතාවට මම මේ ලෝකෙ ලස්සනම මන්දස්මිතය ඔහුගෙන් දුටුවා. 

එතකොටත් මගෙ පිටිපස්සෙ හිටපු මං වගේම අලුත් කෙල්ලො මට හිනා වුණා. ඔවුන්ට ඒ පින්තූර ගැන කිසිම හැඟීමක් නැති නිසා වෙන්න ඇති.  ඒත් ඒ මොහොතෙ ඈත ඉඳන් කෙනෙක් මගෙ ළඟට ආවා. පිරිමි ළමයෙක්. පස්සෙ එයා තමුන්ව අඳුන්නා ගත්ත විදිහට ජේෂ්ඨ උත්තමයන්ගෙන් කෙනෙක්.

" අඳුනන කෙනෙක්ද?" ඔහු ප්‍රශ්නය අහපු විදිහම, මාව රතු කළා. ඒත් ඔහු මඳක් කරුණාවන්ත හඬකින් මම උත්තර නොදුන් ප්‍රශ්නයට, පුංචි පිළිතුරක් එක් කළා.

"එයා ඔයාට කලින් ජීවත් වුණ කෙනෙක්"  මඳ සිනාවක් පා ඔහු කැන්ටිමෙන් පිට වුණා. අදටත් හිනාවෙන්න තරම් කාරණාවක් මගේ සරසවි ජීවිතයෙන්, මගේ යහළුවන්ට ඉතිරි වුණේ එහෙමයි.


ඒත් එදා ඒ වෙලාවෙන් පස්සෙ මම ඒ පින්තූරෙ ඉන්න කෙනා ගැන ගොඩක් කල්පනා කළා. හැබැහින් කිසි දාක නුදුටු ඒ හුරුපුරුදු තරුණයාට හැම උදේ පාන්දරකම මං ගුඩ් මෝර්නිං කියන්න පුරුදු වුණා. කවදාවත් මට උත්තර නොදුන්නත් එයා මා එක්ක කතා කරන බව ටික කාලයක් ගත වෙනකොට මට දැනෙන්න ගත්තා. බකට් එකට ඉස්සර කොකු ගහන කාලෙ එයා මගෙ හිත කවුරුවත් ළඟට යන්න ඉඩ නොදී රැක බලා ගත්තා. ඒත් බකට් එක දවස් වල ඔය පාට ගිය බිත්තියෙ එල්ලා තියෙන්නෙ විරු සිසු පින්තූර‍ෙ කියලා දැන ගත්ත දවසෙ, මම එයා එක්ක තරහ වුණා. මම ටික දවසක් එයා දිහා නොබලාම හිටියා. මං අන්තරේ එක්ක තරහින් හිටියෙ. ඉතිං එයා එක්කත් මං තරහ වුණා.

අපි ආයෙත් යාළු වුණේ, මම හුඟක් කැමැත්තෙන් හිටපු කෙනෙක් මගේ හිත හොඳටම රිදවපු දවසක. එයා ආයෙම හිනා වුණා. ඔයාට කවුරුත් මං තරම් ආදරය කරන්නෙ නෑ කියනවා වගේ, එයා හිනා වුණා. අපි තීරණය කළා දේශපාලනය ගැන කතා නොකරන්න.

එයා මිනිස්සුන්ට හුඟක් ආදරේ කළා.  හිතාගන්න බැරි තරමට, එයා විශ්වාස කළා හැම මනුෂ්‍යයෙක්ම යදම් නැති ලෝකයක ජීවත් විය යුතු බව. එයා බය වුණේම, හිත් හිර කරන ඇඩ්මන්ටයින් දම්වැල් වලට. එයාට මිනිස්සු වෙනුවෙන් කරන්න හුඟක් දේවල් හිතේ තිබුණා.  එයා කිව්වෙ හැම වෙලාවකම, එකම දෙයක්.  " මට වෙලාව මදි වුණා" කියලා.  සරසවි කාලෙ ඉවර වුණා. මට එයාගෙන් සමුගන්න වුණා. ඒත්  සතියකට දවසක් හරි හීනෙන් එන විත්තියට එයා පොරොන්දු වුණා. එයාගෙ මන්දස්මිතය නිතර හමු නොවුණත්, එයයි මමයි හැමදාම හීන වලදි මුණ ගැහුණා.

 ඒත් දෙදහස් එකොළහේ නොවැම්බර් මාසෙ අන්ධකාර එක දවසක උදේ පාන්දර අසුබ ආරංචියක් ආවා.  අපි සරසවිය ළඟට යනකොටත්,  වීර ඇස් අයාගෙන දම්වැල් බිඳින්නට තැත් කළ, විරු සිසු ප්‍රතිමාව විනාශ  කරල තිබුණා. මහා ශිෂය කාමරේ කඩා දාලා... පාට ගිය මකුළු දැල් බැඳිච්ච පින්තූර අලු කරලා තිබුණා. එයාව ඒ අලු අතරින් අඳුන ගන්න මට බැරි වුණා. දෙවනි වතාවටත් එයාව මරා දාලා තිබුණා.

එයා මගේ හිතෙන් නොමැරුණ නිසා, මං එයාව හෙව්වෙ නෑ.. ඒ නිසාම හමුවුණෙත් නෑ.. හීනෙක ඇරෙන්න පින්තූරයක්වත් හොයාගන්න තිබ්බෙ නෑ.

හැබැයි එයාව දෙවනි වතාවට මරපු දා ඉඳන් මම දේශපාලනය ගැන සහ දේශපාලකයො ගැන හිතන්න පටන් ගත්තා. ඒ ගැන විස්තර හොයන්න පටන් ගත්තා.. කාලය ගෙවිලා ගියා.

මම විවේකයෙන් හිටපු ඊයෙ, අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ආයෙත් මට එයාව මුණ ගැහුණා. පුංචි වීඩියෝ කෑල්ලකින්. මං එයාව කවදාවත් නොයන්න, මගේ ළඟට ගත්තා. කාලෙකට පස්සෙ අපි ඇත්තටම හිනා වෙනවා කියලා මට හිතුණා. ආයෙ කවමදාවත් එයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියලා මං පොරොන්දු වුණා. දැන් අපි සතුටින් ඉන්නවා.. අපි තවමත් හිනා වෙනවා.  ජීවත් වෙනවා.





6/5/13

-216- ත්‍රීවීල් අංකල්



ජයවර්ධනපුර සරසවියට එකසිය තිස් අටේ යන ඕනෙම කෙනෙක් විජේරාම හන්දියෙං බහිනවා.
දූවිලි පිරුණ විදූරු අස්සෙන් පැන්සල් පෙට්ටි හිනාවෙන ඡායාව පත්තර කඩේ ළඟ ඉඳන්ම පේනවා. පාරෙ බෙන්ඩ් එකක් තියෙන හින්දා, වාහන කොහොමත් එන්නෙ ටිකක් විතර හෙමින්. කොහොමත් එක පොකුරට පාර පනිනකොට කැම්පස් ළමයි කියලා දැනගෙනම, වාහන හෙමින් අරන් යනවා කියලාත් වෙලාවකට හිතෙනවා. එකෙක්ගෙ හරි ඇඟේ සයිඩ් කණ්නාඩිය හරි ගෑවෙනවා කියන්නෙ, එතන තුන්වන ලෝක යුද්ධෙ පටන් ගැනීම බව ඒ මිනිස්සුත් අපි වාගෙම ඉවෙන් වාගෙ දන්නවා.

හැමදාම උදේට පාර එකම වගෙයි. හමුවෙන්නෙත්, වෙනදා හමුවෙන අයමයි. හුළඟ වුණත් එකම පේස්ට්‍රි සුවඳයි.

ඒත් මේ කියන දවසෙ මම, ඔරලෝසුවට අනුව ටිකක් පරක්කුයි. ඒ නිසාම වෙනදා දකින පුරුදු මුහුණු පාරෙදි මම දැක්කෙ නැහැ. පෙස්ට්‍රි සුවඳත් ටිකක් විතර බැහැලා.. දවල් මස් හොද්දට තුන පහ බඳින සුවඳ වැඩියෙන් දැනෙන්න පටන් අරන්.

එකසිය තිස් අටෙන් බැස්ස ගමන් පාර පැන්නත්, අපේ සරසවිය තිබුණෙ කිලෝමීටර් බාගෙකට ආසන්න දුරින්. ඒ නිසාමයි, මම හන්දියෙ ගාල් කරපු ත්‍රීවීල් රථයකට ගොඩ වුණේ.

මට පුංචි හිනාවකින් සංග්‍රහ කරන ගමන්ම ත්‍රීවිල් අංකල් ස්ටාර්ට් කරන්න හැන්ඩල් එකේ දෙපැත්ත තද කරලා.. ඒ මැද්දෙ ගහලා තිබ්බ හඳුන්කූරූ තුන, දකුණු පැත්තෙ සයිඩ් කණ්ණාඩිය යට ගැහුවා.

හරි බරි ගැහිලා ඉඳගෙන උගුර පාදපු විදිහට, අංකල් කතා කරන්න සූදානම් බව මට තේරුණා. මම ආසයි කතා කරන්න. නමුත් කෙනෙක් පටන් ගන්නකං කතාව පටන් ගන්න මම කැමති නැහැ. කොහොම වුණත් අංකල් පාරට දානකොටම එයාගෙ හඬ අවදි කළා.

අපි කරන්නෙ මිසී, මිනිස්සු ගණන් ගන්නෙම නැති රස්සාවක් තමයි. ඒත් මේ රෝද තුන උඩත් රටේ ලෝකෙ ගණන් ගන්න මිනිස්සු යනවා. ඒත් අපිව දැක්කම සිකුරුටි උන්නැහෙලා සලකන්නෙ, මහ පොළව උඩ ඉන්න අනික් මිනිස්සුන්ට වාගේ නෙවෙයි.

ඊයේ මෙහෙ ලොකු මහත්තයෙක්ගෙ වාහනයක් නුගේගොඩ හයිලෙවල් හරියෙදි කැඩිලා. මම හයර් එකක් යන ගමන් එහෙන් දාලා ආවෙ, මෙතන අවුරුදු ගාණක් ත්‍රීවිල් පාක් කරන මට, මේ පාරෙ යන හැම මූණම වාගෙ හොඳට හුරුයි. ඉතින් මම නවත්තලා ඇයි කියලා බැලුවා. අනේ ඒ මහත්තයාට හොඳටම පරක්කුයි. ඉතින් ඔය රක්ෂණේටත් කෝල් කරලා. වාහනේ උන්ට දුන්න ගමන් මගේ වාහනේට නැග්ගා. කෙටි පාරකින් දාලා මමත් ආවා. කැම්පස් එක ඇතුළට දාන්න හදන කොටම, මොකද මේ කියාගෙන මහ සද්දෙන් කඩං පැන්නෙ,  නැද්ද සිකුරුටිලා. අර මහත්තයා එබිලා බැලුවා විතරයි. කටවල් වැහුණා.

මම තවම වචනයක්වත් කතා කළේ නෑ. අංකල් දන්නවා මම කැම්පස් එකට යන්නෙ කියලා. පාර හරි නිසා මම සද්ද නැතුව අහගෙන හිටියා.

මිසී, නීතිය තියෙන්න ඕනෙ තමා. ඒත් සල්ලි තියෙන මිනිස්සුන්ටයි, නැති මිනිස්සුන්ටයි දෙවිදිහක් ඇයි? එහෙම කරන එක හරිද? දැන් කැම්පස් එක ළඟටම ත්‍රීවීල් එක ඇවිත්. සිකුරුටි කුටිය පේන මානෙ ත්‍රීවීල් එක නැවැත්තුවා. මම බැහැලා රුපියල් පහනක් ඇද්දා. තවම අංකල් කතා කරනවා.

මම ආයෙ ඕකුන්ගෙ මූණ බලන්නෙ නෑ මිසී. 

නිල්පාට කොළය අංකල් ට දිගු කරන ගමන්, මම මෙතෙක් පැවතුණ සිනහව ටිකක් වැඩි කළා. 

“ අංකල්, අර තරාදිය අල්ලන් ඉන්න උසාවි අක්කාගෙ ඇස් දෙක බැඳලා. එයා දන්නෙ බර කිරන්න විතරයි. අංකල් ඕවා ගණන් ගන්නෙපා. මං කියනවාට අයිස් ක්‍රීම් එකක් කන්න. මේ හරි රස්නෙ දවස්.“

ඔහුගෙ තරහින් පුපුරන මුහුණට එක පාරටම හිනා රේඛාවක් ආවා. සමහරවිට ඔහුට හිතෙන්න ඇති මෙච්චර වෙලා මා එක්ක කතා කළේ අපරාදෙ කියලා. ඒත් තරහක් හෝ කහටක් හිතේ නැතුවම අංකල් මට, බුදුසරණයි දුවේ කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ, ලෙක්චරර්ලාත් එහෙමම කියනවා නම් කියලා විතරක් මට හිතුණා. ඒ එක්කම පොඩි ඇරුණ ගේට්ටුවෙන් මම ඇතුළට ගියා

හැමදාම පුරුදු විදිහටම සිකුරුටි අයියා මගෙ අයි ඩී චෙක් නොකරම හිනා වුණා.