2/22/13

-208- හැපි බර්ත් ඩේ!! මයි මැන්ගො ෆ්‍රෙන්ඩෝ



ඔබ ගැන කුමක් හෝ ලියන්නැයි යතුරු පුවරුව බල කරයි. ලියනවාද? නැද්ද කියලා හිතලා හිතලා අන්තිමට ලියනවාමයි කියලා හිතුවා.. මේ සටහන අන්තිමයා ගැනයි. කොටින්ම කීවොත් උෂාන් පුෂ්ප කුමාර පෙරේරා ගැනයි. මේ තියෙන්නෙ, ඒකාගෙ බ්ලොග් එක මේ තියෙන්නෙ බුකි පොත කෙල්ලන්ගෙන් බේරෙන්න බෑ.. මූ එක්ක පින්තූර වලට ඉන්න අහනවාලු. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයෙ තමා දැනට උෂාන් ඉගෙන ගන්නෙ.. ඔය ඇති.

ඔය හිකනලා පැටියා  උෂාන් මට මුලින්ම හමුවුණේ, ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙට ඇවිල්ල කළා.. කියන්නෙ නාට්‍යයක්, මට තාම මතක් වෙද්දි හිනා යනවා අප්පා. කෝම හරි ඉන් පස්සෙ, දෙතුන් පාරක් දැක්කත් කතා බහකට නම් සෙට් වුණේම නෑ.. මූ එක්ක කතා කරයි අපි.. දැන් ඔය අතරෙ තමා මම උසස් පෙළ විෂයය මාරු කළේ.

මම සන්නස්ගල සර්ගෙ පන්තියට ගිය මුල් සතියෙ සර් පන්තියට පොල්ලක් තිබ්බා. ඉන් පස්සෙ සතියෙ මම පිටි පස්සෙම ඉඳගත්තා. තුන්වෙනි සතියෙ.. මට කාඩ් එක අමතක වුණා... ඔය දවසෙ වුණ පොඩි පහේ සිද්ධියක් මූලික වෙලා සර් මාව හොයාගෙන පිටිපස්සට ඇවිත් කීවා.. අග පෝලිමේ ඉන්නෙ.. #$%&* කෙල්ලො. උඹ ඉස්සරහට වරෙන් කියලා.. ඕම තමයි මම සන්නස්ගල සර්ගෙ පන්තියෙ ඉස්සරහට එන්නෙ.. ඉස්සරහට ආවාමයි දැක්කෙ. අපේ හෙණ සෙට් එකක් ඉස්සරහ.. ඉතිං හතරවෙනි සතියෙ ඉඳං මට ස්ථානයක් රෙඩි වෙලාම තිබ්බා... සමුද්‍ර දේවියෙ සොයුරියො තමා රොටරියෙදි සීට් අල්ලන්නෙ. කොහොම හරි. පන්තියට ගියෙ ජනවාරියෙ. පෙබරවාරියෙ 23 වෙනිදා වැටුණෙ සඳුදාවක්.

එදා අපේ නිලන්ති ගිහිං ඉස්සරහ පෝලිමට කොල්ලෙක් එක්ක කතා කළා. උගෙන් පාටියක් ඉල්ලුවා. මාවත් ඔය වටරවුම් පාටියට නිලන්ති ඇදන් ගියා... ඒකෙ තිබ්බෙ මාලු පානුයි නෙස්කැෆෙයි. මම කිරි ගෑවිච්ච තැනක් වත් බොන්නෙ නෑනෙ. ඔය වෙලාවෙ, නන්නාඳුනන නලු බට්ටා එදා බර්ත්ඩේ බෝයි මට ස්ථාවර කළා නෙම් කැෆේ කියන්නෙ කිරි නොබොන අයටම බොන්න පුළුවන් බීමක් කියලා. ඉතින් කෝම හරි ඒ යකා මා එක්ක කයියකට වැටුණා.. හලේ 2007 ඉඳන් අවුරුදු 2008, 2009, 2010,2011, 2012, 2013  අවුරුදු 6ක් තාම අපි කයිය ගහනවා. අර අපි එක්ක එදා වටරවුමෙ හිටපු පරණ යාලුවො, අද කොහේද නෑ... අවුරුදු හතරකින් විතර උන්ව දැක්කෙ නෑ. මං හිතන්නෙ උෂාන්නුත් එහෙමයි. අපේ කනෙක්ෂම නැති වුණේ නෑ....අපි එකම පන්ති වලට තමා ඒ ලෙවල් ඉවර වෙලත් ගියෙ... පස්සෙ කැම්පස් දෙකක වුණත්, මට ගොඩක් නොදන්න දේ කියා දුන්නා උෂානයා.. . ඔය මට කොච්චර බැන්නත් ඕකාට මං නැතිවත් බෑ..

මටයි උෂාන්ටයි වෙලා තියෙන පිස්සු වැඩ රටේ ලෝකෙ මිනිස්සු දන්නෙ බෝම ටිකයි.

පොත් ප්‍රදර්ශන බලන්න ගියාම අපි දෙන්නාගෙ ආසම වැඩේ තමා අවට මිනිස්සු නොමඟ ඇරීම. අපි එක පාරට ලොකු පොතක් අරගෙන, මේවා ගෙදරක තියෙන්නම ඕනෙ පොත් කියලා..අපි දෙන්නටම ඒ සබ්ජෙක්ට් එක පුළුවං වාගෙ රඟපානවා.. පස්සෙ හෙමින් එතනින් එහොට වෙලා, වෙන දේ බලං ඉන්නවා. අපි ගියාට පස්සෙ වට පිට බලන මිනිස්සු එකා දෙන්නා අර පොත ළඟට එනවා.. දාගෙන පොත පෙරළනවා. සමහරු නොතේරුණත් ගෙදර අරන් යනවා. අපි මක් කරන්නද? අපි ඒ අයට ඒක ගන්න කීවෙ නෑනෙ..

සමහර වෙලාවට බස් වල යද්දි මිනිස්සු අපි දිහා කන්න වාගේ බලන් ඉන්නවා. සමහර විට අපි කතා කරන මාතෘකා ඒ අයට අවුල් ඇති. අපි කතා කරන්නෙ රටේ ලෝකෙ කෑම කඩ ගැන.. බෝඩ් ලෑලි ගැන.. නාට්‍ය ගැන.. එහෙම නැත්තම් කලින් හම්බවුණ මිනිස්සුන්ගෙ චර්යා රටා ගැන..

කඩේකට ගියාම ඒ කඩේ ඉඳි ආප්ප තියෙනවා නම් උෂාන් වෙන මුකුත් කන්නෙ නෑ.. ඉඳි ආප්පයි උළුඳු වඩෙයි ඇරෙන්න. හැබැයි තෝසෙ ගිලින්නයි... මාලු බනිස් කන්නයි උපන් හපනා.. උෂාන් හැම වෙලාවෙම කියන්නෙ අකාලෙ මරණය හොඳ නෑ කියලා.

උෂානුයි මමයි කොහෙ ගමනක් ගියත් ලෝක නෝණ්ඩි ගොඩකට මුහුණ දෙනවා. දවසක් නවලෝක ඉස්පිරිතාලෙ ළඟ ටොෂිබා එකක් හොයන්න යන වෙලාවෙ..කකුල් රිදෙනවා කියලා බස් එකක නැග්ගා.. නැඟලා කිව්වා අපිව නවලෝකෙන් බස්සන්න කියලා. එතකොට ඩ්‍රයිවර් කියපි.. ඔයාලා නැග්ගෙ නවලෝකෙන් තමා කියලා... ඉතින් බස් එකේ දන්න එකෙක් උන්නා නම් ඉවරයි..

දවසක් අපි ජෝන් කීල්ස් එකට ගිහින් ලැප්ටොප් තියෙනවාද කියලා ඇහුවා.. උන් කියපි ඒක බිස්කට් කම්පැණියක් කියලා..

දවසක් අපි MC එකට ගියා මොනාහරි ගන්න.. මිනිස්සු එක මිනිහෙක් ළඟ වට වෙලා.. ඒ මිනිහාව හිනැස්සුවාම තෑගි දෙනවාලු.. අනේ ඉතින්, අපිත් බලාගෙන හිටියා මුන්ගෙ විකාර ටිකක්. හැබැයි අපි දැක්කෙ නෑ.. හිනස්සවන්න ඕනෙ එකා මොකාද කියලා. අපි බඩු ටික අරන් ආයෙ එනකොට එතන මිනිස්සු ඉවත් වෙලා. හැබැයි.. ගෝල්ඩ් පාට ඇඟ පුරාම ගා ගත්ත මිනිහෙක් පිළිමයක් වාගෙ ඉන්නවා. අපි දෙන්නා ඒ මිනිහා දිහා බලාලා.. මූවද අර 100ක් විතර හිනස්සවන්න දැඟලුවෙ කියන බැල්මෙන් අපි දෙන්න දිහාම බලාගෙන හිනා වුණා.. යකෝ අර මිනිහා අපිට හයියෙන් හිනා වුණා.. ඔප්පු කොරන්න කෙනෙක් නෑ.. නැත්තං අපරාදෙ තෑග්ගක්.. :D

අන්තිමයයි මමයි කවදාවත් එක මතයක නෑ.. ඒත් බැලුවාම මත දෙකකත් නෑ...

දවසක් අපි ගමනක් යනකොට දැක්කා හෙන වෙඩිං සෙට් බැක් එකක්. ඉන් පස්සෙ උෂාන් පටන් ගත්තා  කනත්තක කවුරු හරි ජෝඩුවක් වෙඩිමක් ගත්තොත් කෝමද කියලා විග්‍රහ කරන්න. එතකොට, මල්බොකේ වෙනුවට මල් වඩං ලු. පවුලේ සුසාන බූමියක පෝරුව සෙට් කොරනවාලු. ජෝති පාලගෙ කුළුණ ‍කේස් ස්ට්‍රක්චර් එකට ගන්නවාලු. සෙටි බැක් එකට ජෝඩුවක් එකට මැරිලා හදපු සොහොන් කොත් දෙකක් ගන්නවාලු..  ඉතිං මම ඇහුවා. එතකොට මනමාලිගෙ ඇඳුමට මේකප් එකට මොකෝ කරන්නෙ කියලා.. මූ කියපි.. ආ.. ඒකට මිනී වලට අන්දන සාරි හොඳයි.. මේකප් එකත් මිනියෙ විදියටම එන්න ඕනෙ.. අර අක්කාගෙ වගේ කියලා අපි ළඟින් ඇවිදන් ගිය අක්කා කෙනෙක්ව පෙන්නපි. කරුමෙට අක්කාට ඇහුණා. අක්ක ගින්දර බැල්මක් දුන්නා.. බය වෙච්ච පාර අපි ලොවි ගහෙත් නෑ..ගහ වටෙත් නෑ..  හැබැයි අපි හදපු තීම් එක සර්ව සම්පූර්ණයි..

උෂාන්ගෙ ප්‍රියතම ආහාරය බිත්තර ඔම්ලට්. උෂාන්ට ලෝකෙ තියෙන ලොකුම අඩුපාඩුව ඉඳි ආප්ප වලට පරිප්පු නොතිබිම. කේක් වලින් ඕකා කන්නෙ, චොක්ලට් අයිසිං, කොෆි අයිසිං විතරයි. මං වාගෙම පිටි කිරි කටේ තියන්නෙ නෑ.. ඕකා හැබැයි දවසක් පිස්සු ගෑණු කෙනෙක් දුන්නොත් ඕනෙ දෙයක් බොනවාලු. ගෙවල් වලට ගියාම ඒ ගෙදර ගෑණු කෙනා ඇතුළට යනකොටම අනේ, තේ හදනවා නං කහට හොඳයි කියලා උෂාන් කියනවාලු. සමහර වෙලාවට තේ හදන්න නොහිටපු ගෙවල් වලින්ත් තේ හම්බෙනවාලු. ඊට වඩා දුක කාරණේ.. කමක් නෑ පුතා පිටි තිබුණා කියලා සමහරු පිටි කිරිම හදාගෙන එන එකලු.

මඩ ගහලා ඉවරයි... දැන් හොඳ ටික කියන්නද? එපා වෙන දවසක කියනවා මට ඒවා කියන්න හිතක් නෑ අප්පා.. ඒම කීවාම මූ උඩ යනවා.. මට පැරිෂුට් එකක් ගේන්න වෙනවා ඕකාව පහලට ගේන්න.. කෝමහරි මට තියෙන්නෙ එක පැතුමයි. උෂාන් මැරෙන්න දවසකට හරි කලින් මං මැරෙන්න ඕනෙ. මොකද ඒ දර්ශනය දකින්න තරම් මගෙ හිතේ හයියක් නෑ..

අනේ ඉතිං!! ඔය මොන දේ කිව්වාත් උෂාන් නැති වුණාම නිකං පරිප්පු නැති හෝටේල් එක වාගේ.. සාම්බාරු නැති තෝසෙ වගේ.. දවසකට පාරක් හරි හලෝ පාරක්වත් දැම්මෙ නැත්තං නිකං කෑවෙ වගේ. මම උෂාන්ට එටේ ලෝකෙ හැම සතාගෙම සර්පයාගෙම විද්‍යාත්මක අවිද්‍යාත්මක නම් වලින් කතා කරනවා. උෂානුත් එහෙමයි. මම නොසෑහෙන්න උෂාන්ට බනිනවා. ඒත් ඌට වෙන කිසි එකෙක් බනිනවාට මම කැමති නෑ. ඒම එක එක ඒවා කියන්න දෙන්න පුළුවන්ද මගෙ ලාලුවාට..සමහර දාට මු මට වැඩ පවරලා රෝන්ද ගහනවා. ඒ වෙලාට මට මූව මරන්න හිතෙනවා. තව මීට වඩා උෂාන්ට වෙච්ච අලකලංචි ගොඩාක් තියෙනවා... ඒත් ඒවා කුජීත නිසා මෙතන කියන්න නරකයි. අනික පෝස්ට් එක දිග වැඩි වෙනවා...

අපි ඔබ පෙනුමට රණ්ඩු වුණාට ඇත්තට හෙන ෆිට් කියලා නෙ ඔයාලා හිතා ඉන්නෙ. මොන පිස්සුද අපි අවස්ථාවක් ලද සැමවිටකදිම එකිනෙකා මරා ගන්නවා.. හැබැයි අපි දෙන්නා තමා මේ ලෝකෙ හොඳම යාලුවො දෙන්නා...


හැපි බර්ත් ඩේ ටූ යූ උෂාන්!!!!!!!!!!!!!!! ලබන ආත්මෙවත් මට නිදහසේ ඉන්න දීපං.. අලේ රබ්බා මෙරා පාගල් හෝ ගයා...පොඩිද අපහාසෙ!!!

මට ඔය ප්‍රසිද්ධියෙ අක්කා කියලා සමහර වෙලාවට අපහාස කළාට ඕකා මට වඩා මාස 8 ක් නාකියි. ලෝකයා මේවා දන්නෙ නෑනේ..

උෂාන් 24 වැනි වියට නාකි වෙන උපන්දිනය උදෙසා ලියා ප්‍රසිද්ධ කොරන ලදි.


දයාබර යාළුවේ /ගෙම්බා/ඉබ්බා/මැට්ටා/අලයා/යෝධයා/ඩෙරික්/උලමා/ හිකනලා

මේ අහස කිසිදිනෙක නොදන්නා
පුංචි උඳුපියලි මල් අහුරකින්
මුලු හිතම සරසවා ලියන්නෙමි
පුංචි හැඟුමක් හදේ ඉපදිච්ච....

හෙට වාගේ තව හුඟක් කාලයක්
හෙට උදේ විලසින්ම නුඹ වෙතට
රැගෙන එමි දඟකාර සුබ පැතුම
යෙහෙළියක් සොයුරියක් විලසින්ම...

අපි හුඟක් වයස ගිය කාලයක
ආයෙ එන හෙට වාගෙ දවසකම
විභාගත් නැති වේවි මේ වගේ
පාඩමුත් නැති වේවි පොත් ගණන්

උණු උණුවෙ හඳපු ඉඳි ආප්පයි
තෙම්පරාදුවෙ දාපු පරිප්පුයි
හදමු අපි උඹ කැමති ඔම්ලට්
එක්ක මං පෙරේතම කට්ලට්

දාමු අපි ටිකක් ලොකු පාටියක්
ගේමු මයිලෝ පෙට්ටි විසිපහක්!
වෙනදා වාගෙම උගුරෙ හිරකරන්
හිනාවෙයි නොවුණ වගෙ, එදාටත්

හැමදාම රණ්ඩු වන බව පේන
කිසි දිනෙක තරහා නැති යාලුවෝ
අතරමග හැමදාම පැටලිච්ච
අගට එක මග දුවන යාලුවෝ..

සමහරක් විට ඈත දවසකදි
උඹට මා අමතකව ගියෝතින්
වරෙන් අපෙ රොටරියේ පන්තියට
එතැන ඇති නෙස්කැෆේ වටරවුම

නුඹ හිනාවෙන විටක ළඟ නැතත් 
නුඹට දුක ඇති විටක ළඟට එන
නුඹේ හද ගැස්මෙන්ම පණ අදින
නුඹේ යෙහෙළිය නුඹට හිඳින වග

සදාකල් මතකයේ තිබුණදෙන්
ඒ නැතත් කිසි විටක උඹ එක්ක
තරහා නොවෙනා කෙනෙක් වේවි නම්
අපූරූම යෙහෙළි මම තමයි..

වයස ගිය දවසකදි හිනාවී
කියාපන් දැන් කියන විලසින්ම
“අරේ රබ්බා මෙරා පාගල්
හෝ ගයා මැස්සා ගිය උඩ බොලං“

මම නෙරංජි






2/21/13

-207- සිංහල සයිබර් අවකාශයේ ඔන්ලයින් ටීකාව | අංක 1

සියලු සහෘදයන්ගේ දැනුමෙන් හා දායකත්වයෙන් ලියවෙන,
සිංහල සයිබර් අවකාශ වංශයේ ඔන්ලයින් ටීකාව



අවකාශය අතට හසු නොවන්නේය. නමුත්, අවකාශයේ නවාතැන් වන්නා වූ සිතුවිලි හදවතට හසු වන්නේය. සිතුවිලි නිසා ජීවිතය හඳුනා ගැනීමට හැකි වන අතරම, සමාන සිතුවිලි නිසා සමාන ජීවිත හඳුනා ගැනීමටද හැකි වන වග ඔබ දන්නවාට සැක නැත. පරිණාම වාදය තවමත් සම්භවයේ නිල විකාශනය ලෙස හඳුන්වන අපට මිත්‍රත්වය නැමති සංස්කෘතික සාධකය හමුවූයේ කෙදිනදැයි, නිශ්චිත වශයෙන් කිව නොහැක. එය හෝමෝ හැබැලිස් මානවයා තෙක් දිව යනු ඇතැයි අප විශ්වාස කරමු. අද වන විට නූතන මිනිසා තෙක් පැමිණි ශිෂ්ටාචාර මග තුළ මිනාසාගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන ලද්දේද සාමූහික සත්වයෙක් ලෙස එකිනෙකා කෙරෙහි පැවති මිත්‍රත්වය බව අවිවාදිතය.

මුල් යුගයේ, තමා අවට සිටින අය කෙරෙහි මිත්‍රත්වය දැක්වූ අය, පසුව විශාල කණ්ඩායම් සමඟ මිතුරු කම් පැවැත්වූහ. ඔවුන් සමීපයෙන් ඉවත් වූ පසුව ලියුම් හරහා මිතුරු ගනුදෙනු කළහ.
ප්‍රාරම්භක ඉතිහාසයේ දී රජවරු තවත් විදේශයන් හී රජ මැති ඇමතිවරු හා තම දේශපාලනික ආර්ථික හා සංස්කෘතික සබඳතා වෙනුවෙන් නාවිකයන් හරහා, දූතයන් හරහා මෙවන් මිතුරු කම් තබා ගත් අතර, පසු කාලීනව සාක්ෂරතාවය ලද පොදු ජනයාද, ගතින් දුර අය සමඟ මිත්‍රත්වය ලියුම් හරහා ඇරඹීය. 19 වන සියවස වන විට පෑනේ මිතුරන් සංඛ්‍යාව බහුල වූ අතර, කිසි දින එකිනෙකා නොදැක ඔවුහු සිතිවිලි වලින් ගනුදෙනු කළහ. මෙවන් අය කලාතුරකින් මුණ ගැසුණු විට, ඔවුන්ගේ මිත්‍රත්වය පුදුමාකාර ලෙස ශක්තිමත් විය.  දුරකථනය හරහා හඬ තුළින් නොදකින මිත්‍රත්වයන් තව තවත් දියුණු වූ අතර, අන්තර්ජාලයේ ආගමනය මිත්‍රත්වය උදෙසා දෙවියන් දුන්  වරප්‍රසාදයක් ම විය.

පාසල් වලින් පසු තමන්ට මඟහැරුණ මිතුරන්, නිවෙස් හැර යාම නිසා පිටරට යාම නිසා මඟ හැරුණු මිතුරන්, සිරුරෙන් නැතත් හදවතින් සමීප වීමට මනා පිටිවහලක් විය. එමෙන්ම ලාබදායි ක්‍රමයක්ද විය.

දැන් ලෝකයම තනියායක් ය. මුල් කාලයටත් වඩා වැඩියෙන් ලොව පුරා මිතුරන් එකතු කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය සමාජ ජාල බිහි වී ඇත. සයිබර් අවකාශයේ සංවාද ඇති විය. 21 වන සියවස විසින් උඩුගුවනේ සවි කළ චන්ද්‍රිකාවන් හරහා, ලොවකම මිත්‍රයන් එකම නවාතැනකට සේන්දු කරවීය. එහෙත්, අකුරු විසිහයක් උඩ හිතන ජීවීත පමණක්, එම භාග්‍යට හිමිකම් කීවෝය. ඉංග්‍රීසි හෙවත් ජාත්‍යන්තර භාෂාව නොදත් අයට තම භාෂාව ඉංග්‍රීසි අකුරු ඇසුරෙන්ම ලියන්නට සිදුවිය.

එදා ග්‍රීක රෝම දේව පුරාණ වල සඳහන් වන පරිදී, අහස උසට තනන්නට ගිය බාබෙල් කුළුණ නිසා හෝ, දැන නොදැන වූ මොනයම් හේතුවක් නිසා හෝ අද වන විට භාෂා සිය ගණනිකින්  වින්තනයේ, භාෂණයේ සහ ලේඛණයේ යෙදුන, මානව මානවිකාවෝ, මෙම ඉන්ද්‍රජාලික අන්තර්ජාලය දෙස පුදුමයෙන් ටික කලක් බලා සිටියෝය.

කොතරම් හරඹ කලත්, ඉදිරියට දුවන කාල රේඛාව, අපූර්ව වසර කිහිපයක් ඇතුළත ඉන්ද්‍රජාලය පුපුරවා හැරියේය. තම තමන්ට උරුම භාෂාව පිළිබඳව තම තමන් විසින් ම ජාතීන් වශයෙන්, විද්වතුන් වශයෙන්, පර්යේෂකයන් වශයෙන් කරන ලද බොහෝ ජාතිකයන්ගේ පරීක්ෂණ සාර්ථක කරවමින්, භාෂා සිය ගණනක්, සකල අන්තර්ජාලය වසර කිහිපයක් ඇතුළත ආක්‍රමණය කළෝය.
ඉන්පසුව ටිකෙන් ටික, ලොව පුරා සිටිනා දහසක් අතරින්, තම භාෂාව කතා කරනා අය සොයා ගැනීම මදක් පහසු විය..ඒවා මුලින් උකටලී ලෙස ඉවත දැමිය හැකි දැනහැඳුනුම් කම් පමණක් වුවද අද වන විට අත් හැර දැමිය නොහැකි වූ භාෂාව නැමති රුධිරයෙන් බන්ධනය කළ සහෝදර කම් තරමටම වර්ධනය වී ඇත්තේය.

ඉදින් මෙතැන් පටන් සෙසු තනියායක, ලෝකාවකාශයෙන් මිදෙන අපි සිංහල අන්තර්ජාල අවකාශය ගැන කතා කිරීමට පිඹුරුපත් සකසා ගන්නෙමු.

-ඉතිරිය ඉදිරියට-

[මේ ලිපිය සඳහා ඔබේ දැනුම ඉතාම වටිනවා. පරණ බ්ලොග් කරුවන්ගේ දායකත්වය නොමසුරුව ලබා දෙන්න.]

2/20/13

-206- ආදරණීය හදවත් ඇති මිනිසුනේ

           සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹින විට ඉලිප්පී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණුඩු කෙක්කක් වගේ මා එල්ලේ ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණුඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූරල හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න...

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම.


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.


ලිපිය අයිති දිනිති අක්කාට

2/19/13

-205- සිද්ධාර්ථ සහ ලාංකීය සිනමාවේ රජ කතා අනර්ථය




සිද්ධාර්ථ බලන්න සැලකිය යුතු සෙනඟක් ඇවිත් හිටියා.. ආච්චිලා ටිකට් ගන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. චිත්‍රපටය පටන් ගන්න කලින් සමනළ සංධ්වනිය ටෙලර් එක පෙන්නුවා...ප්‍රේක්ෂකයො ඒක දැකලා..ටිකක් සුපර් ඊගෝ තැනට ආවා.. ඉන් පස්සෙ සිරි පැරකුම්.. දිගුදෑස පාර්ට් ටූ හැඟීම ආපු නිසාම  මම වාගෙම හුඟක් ආයෙ සීට් එක උඩටම වැටුණා..දෝණි කියලා එකකුත් පෙන්නුවා.. මට ඇලුලුවෙම නෑ.කමල් අදරආරච්චි නම් ඉන්නවා... ඔන්න දැන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම පටන් ගන්නවා.
සිදුහත් කුමාරයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත කෙනෙක් කියලා අපි බුද්ධාගම ඉගෙන ගන්න පටන්ගත් දා පටන්, දහම්පාසලයි ඉස්කෝලෙයි අපිට පොවනවා.. ඒ මොනාද කියලා එක සැරේ කෙනෙක්ට අමතක වුණත්, ඔයිට වඩා ටිකක් තේජවන්ත පාටක් සිදුහත් කුමරුට තිබිය යුතුමයි කියන පුද්ගලික මතය උඩ මම තවම ඉන්නවා.

අනික දේවදත්ත ගේ රූපකාය සාපේක්ෂව ගත්තොත් සිදුහත්ගෙ පුරුෂ ලක්ෂණ එක ඉරකින් පේන්නම කපලා දැමිය හැකි මට්ටමක් තියෙනවා.. මම දේවදත්තයාත් සුපිරි දේහයක් කියලාකියන්නෙ නෑ.. හැබැයි, සිදුහත් ට වඩා මොකද්ද ගැම්මක් තිබ්බා. රඟපෑම අසාර්ථකයි හැමෝගෙම වාගෙ..පිට රට හොඳ ඒවා අතරිමු .. හැබැයි අබා ත් ඔයිට හොඳා.. සාමාන්‍ය හින්දි චිත්‍රපටයක් බලලා අවසානෙ දැනෙන හැඟීම තමා මට නම් දැනුනෙ.

යශෝදරා නම් කෙල්ලෙක් විදිහට හරිම ලස්සනයි.. රගපෑම, නම් එකෙන්ම අසාර්ථකයි. සාරංග සහ රණවන තම උපරිමය දක්වා තිබුණා.. හැබැයි ඔවුන් නලුවෙකුගේ උපරිම රංගනය වෙනුවෙන් තව හුඟක් ඉගෙන ගන්න වෙයි.) සුද්ධෝදන චරිතය රඟපෑ රන්ජන්, ගෙ ඉස්සරහ ෆිල්ම් හෝල් එකේ තියෙන කටවුට්, ඇතුළු, සියල්ලම අමතක කළත්, සුද්ධෝදන ඇතුළෙ වන් ෂොට් විනිරිමුක්ත කළ නොහැකි පරිදි ඇලවිලා ඉන්නවා..

කැමරාව ගැන කතා කළොත්, සිනමාත්මක කොටස් එකතු කරපු, ඩොකියුමන්ට්‍රි ස්වරූපයක් තිබුණෙ.. පරිගණක නිර්මාණ පවා හරිම අසාර්ථකයි. ඉන්දියාව එක්ක සහයෝගෙන් කරලත්, ඒ තාක්ෂණයෙන්,දශමයක්වත් උකහාගෙන නෑ.. තිර පිටපත ඇතුළෙ ලොකු අඩුපාඩු තිබුණා..සංස්කරණය.. මැද ඉඳන්, අගට.. අග ඉඳන්  මුලට ඇවිත් නැවත මැදට ගියා... පෙන්වූ මැද නැතිව නොපෙන්වූ මැද පෙන්නුවා...

ඒ කිව්වෙ, මෙහෙමයි. මුලින්ම පටන් ගන්නෙ, සිදුහත් කඳුලු පුරවන් යශෝදරා සහ රාහුල දෙස බලා, ඡන්නගේ කාමරයට තටිටු කරන තැනින්. ඔවුන් දෙන්නා යනවා....රජ මාලිගාව කලබල වෙනවා..  අනෝමාවෙන් කුමරු එගොඩ වෙන්නෙ නම් දහම්පාසලේ විදියට නෙවෙයි. අශ්වයයි. ඡන්නයි තියලා, කූමාරයා වතුරට බැහැලා එගොඩ වෙන්නෙ... එතැන ඉඳන් බුද්ධත්වයට යන තෙක් කතාව පෙන්වනවා.  කාලම සහ උද්දක පෙන්වනවා. භාර්ගව නම් නෑ... පස්වග මහණුන්ගෙ උපස්ථානත් පෙන්වනවා. දුෂ්කර ක්‍රියාවෙ වේශ නිරුපණය අති අසාර්ථකයි.  විශාකා ඕෂදී.. ඒ ටික හොඳයි.. මර දූවරු හොඳායි... චන්නගෙ කෙල්ලො ටිකක් ද කොහෙද? මාර පරාජය ඇතුළෙ මම 3D සිනමාව සහ පරිගණක බලාපොරොත්තුම වුණා.. අනේ නිකං max දුමක් විතරද මන්දා... හරියට key කරලාවත් නැහැ අප්පා..

දැන් බුද්ධත්වයෙන් පස්සෙ කතාවෙ මුලට යනවා.. මායා දේවිට ට ළමයි නෑ.. මායා දේවි ප්‍රජාපතීව ගත්තාට කමක් නෑ තියලා සුද්ධෝදන රජතුමාට කියනවා. රජතුමා ඉතින්, ඒක භාර්යා සංකල්පයෙ කෙළම පැමිණිලා ඉන්නෙ.. කෝම හරි රෑ හීනෙ පේනවා... අනෝතත්ත විලක් නම් නෑ... පට්ට දුමකින් හොඳ කලු ඇතෙක් එනවා.. පැටියෙක් නෙවේ නාඹර ඇතෙක්.. මල් වැල් එහෙම ඔලුවෙ දාගෙන එන්නෙ...මායා දේවිට සුදු නෙලුම දෙනවා. ඉන්පස්සෙ සුපුරුදු ටිකම වෙනවා.. ලුම්බිණියෙදි... මල් නැති සල් ගහක් දේවිය අල්ලන්නෙ... විළි රුදාව මායා දේවියට හිනා යනවා.. ඒක නම් ටිකක් විතර, මට අවුල්.. වට තිර අදිනවා.. දේවියට ළමය ලැබෙනකං හිනායනවා.. ලුම්බිණියෙ කිසිම දෙයක් වෙන පෙන්නුවෙ නෑ.. ඒ ටිකේ ගෞරවය නොකෙළසීම හැබෑ සතුටක්..  ඉන්පස්සෙ ආයෙ මාළිගාවට ආවාම දරුවා රජතුමාට දෙනවා.. ඉන්පස්සෙ හැරිපෝටර් වාගේ තමා..

එඩ්වින් ආරියදාස මහත්තයා තමා සිද්ධාර්ථ කුමාරයාට නම් තියන්නෙ... බුදු වෙන කතාව කියපු ගමන් රන්ජන්ගෙන් සුද්දෝධන ඇතුළෙන් වන් ෂොට් එලියට පනිනවා....මහමායා කලුරිය කරනවා.
ඒකත් ලොකුවට පෙන්නුවෙ නෑ..ගිනි ගොඩ එක්ක ඉන්ටර්වල් දෙනවා.. චොක්ලට් වොන්ඩබාර් එකක් කෑවා.. ඒක තමා අද දවසෙ ලොකුම සතුට...

කො‍හොම හරි, කුමාරයා මාළිගාවෙමයි ඉන්නෙ.. ඔන්න දැන් දේවදත්ත සිද්ධාර්ථ වලි තැන හතරක් තියෙනවා. දේවදත්ත ගෙ ප්‍රශ්න හරි සාධාරණයි. තොහොම නමුත් ඕවා කතා කරලා අපායෙ යන්න බෑ. දැන් සිදුහත් කුමාරයා ඔය අස්සෙ අපේ ලංකාවෙ කලු කෙල්ලො ගොඩක් අස්සෙන්, සුදු ඉන්දියන් යශෝදරාව තෝරාගන්නවා. ඒක නම් ෆෙයාර් ඇන්ඩ් ලවුලි ඇඩ් එක වගේමයි..  ඒ දෙන්නාගෙ ලව් තමා ඉවර වෙනකං තියෙන්නෙ.. ඊට පස්සෙ අන්තිම වීර් සාරා වාගේ... කුමාරයා ආයෙ එන බව කියලා යනවා. යශෝ කියනවා, එයා දොයි වෙලාවක යන්න කියලා... ඒත් හොරාට ඇහැරිලා ඉන්නෙ.. මේ සිදුහත් ගිය බැල්මෙන්, නම් බුදුවුණා කියලා හිතන්න බෑ... ආයෙ එන මූඩ් එකමයි තිබ්බෙ.. ශිල්ප දක්වලා නේද කෙල්ලො තෝරන්නෙ.. මේකෙ දේවදත්තගෙ වුවමනාවටයි ශිල්ප දැක්වුවෙ..දේවදත්ත එක්ක.. කොහොම හරි.. මට දැනෙන විදියට, මවුස්ට වඩා ඉදිරියෙන් තියෙනවා... මොකද ඒක උගත් දෙමව්පියන්ටයි.. ඉගෙන ගන්න ළමයින්ටයි හදපු එකක්නෙ.. අපි ඒම නෑනෙ.. මේක බැලුවාම බුද්ධාලම්භන ප්‍රීතියක් නම් මට ආවෙ නෑ.. ඇත්තම කියන්න එපැයි. සිතුවම්පටය මට නම් වැඩක් නෑ..  හැබැයි.. බුදුහාමුදුරුවන්ගෙ අගය මේකෙන් අඩුවෙන්නෙ නෑ.. ඒ ලොකු දෙයක්.

අබා ආවා..කුස පබා ත් ආවා.. විජය කුවේණිත් ආවා... දැන් සිද්ධාර්ථත් ආවා.. හෙට අනිද්දාට පරාක්‍රමබාහුත් එනවා...මට ඒක ඇතුළෙ ජයන්ත චන්ද්‍රසිරි සර් මවපු  මහරජ ගැමුණු සිද්ධි මාලාවක් පේනවා.. මේ ඇත්තට පරාක්‍රමබාහු කසාඳ බැන්දෙත් ගමේ කෙල්ලෙක්ද? ..මනමේ තවම දුනු දිය අදිනවලු..පැරකුම් රජතුමාම කමා මනමේ කුමාරයත්.. දුටු ගැමුණු මඟ නවත්තන් ඉන්නවා..ජයන්ත චන්ද්‍රසිරි සර්..තවම මොළෙන් වැඩ ගන්න මනුස්සයෙක් නිසා..හැබැයි මර්වින් මහත්තයා රඟපාන ගැමුණු චරිතයක් තියෙන චිත්‍රපටයකුත් තියෙනවාලු... .අනේ බුදුහාමුදුරුවනේ... තව ඉතුරු වෙලා ඉන්න රජවරු ඉන්නවා... විමලධර්ම සූරිය රජ්ජුරුවො, රාජසිංහ රජ්ජුරුවො, විජය බාහු රජ්ජුරුවො.. වළගම්භා මහසෙන් රජවරු... තව ඉන්නවා.. ඒ අයට මහා වන්සෙන් කළ දේවල් හොඳටම ඇති. හරි සිනමාවක් සහ හොඳ නලුවො නිළියො එනකං අපිට ඒ අයගෙ ෆිල්ම් එලා...

මම අවසානෙටම කියන්නෙ, ඒ අයව ගත්තත් කමක් නෑ.. රාවණ රජජුරුවන්ට අත තියන්න දෙන්න එපා... අපි එතුමාට ගොඩක් ආදරෙයි.. ඒ අහිංසකයා මහා වංශෙත් නෑ... ඉන්දියාවෙන් කළ ටික හොඳටම ඇති..

එහෙනම් මිත්‍රවරුනි රැඳි සිටින්න..
ලොක්කා කුස පබා
චූට්ටා පඬු අබා
මද්දු පැරකුම්බා...

2/17/13

-204- වෙඩිං ලිපි ලිවීම නැවත අරඹන ලදි


ඉස්සල්ලාම ස්තූතිවන්ත වෙන්න ඕනෙ, මධුරංග අයියාට, මේ ලිපි මාලාව ඉවර කළේ නෑ නේද? කියලා මට මතක් කළාට, පොඩි පොඩි දේවල් නිසා, මේ ලිපි ලිවිල්ල එපා වුණා. ඉන්පස්සෙ ඇත්තටම, මට මේ ගැන අමතක වුණා.. බ්ලොග් එක වුණත් ලිව්වෙ, බොහොම කලාතුරකින්, පහුගිය මාස දෙකේ. ඒත් ජනවාරි මාසෙට ලියපු එකම ලිපිය වැඩක් වුණා. ඒ බ්ලොග් සටහන ගියානෙ තරුණයා පත්තරේ. මම නොදැම්මත් එහෙන් තෝරලා එය දාපු එකම මට ලොකු සතුටක්, පත්තරේට ලිපිය යැව්වෙ හෝ තේරුවෙ කවුරු වුණත්, ඒ අයට හුඟක් ස්තූතියි.

මේ දවස් වල බ්ලොග් එකට නිතර ලිපි නොලියවෙන්න එක හේතුවක් තමයි, මම බස් රේඩියෝවෙ සිහිනය දිගේ වැඩසටහන කරන එක. ඇත්තටම ඒ නිසා විවේකය ලැබෙන හැම වෙලාවම එයට යොදවන්න වෙනවා. පුළුවන් වෙලාවට සිංදුත් දෙනවානෙ. අනික මේ දවස් වල මම ඇඩ්වාන්ස් ලෙස උයන්න පුරුදු වෙනවා.. මොකද ගැහැණු ළමයෙක් වුණාම උයන්න අති දක්ෂ වෙන්න ඕනෙනෙ. අම්මාගෙන් ඉගෙන ගත්තත් මට අත්තම්මාගෙ අත්ගුණේ පිහිටයි කියලා, අපෙ අප්පච්චි හිතනවා. මං ගැන පොඩි අප්ඩේට් එකකින් පස්සෙ, එහෙනම් දැන් යමු නේද? අපේ වෙඩිං ලිපිය ලියන්න...

කාලෙකින් ලියන නිසා, මුලක් ඉඳන් නිදහසේ කියවන්න කෙනෙක්ට ඕනෙ නම්, වාගෙම අදත් දඩ බඩස් ගාලා එන අයට කියවන්න මම වෙඩිං සම්බන්ධ මම ලියපු සියලුම ලිපි මෙතන අමුණන්නම්.
අපි මුලින්ම කතා කළේ බැඳිල්ල ගැන.. ඉන් පස්සෙ, බඳින්නෙ කාවද කියලා අපි කතා වුණා. ඊට පස්සෙ අපි කතා කළේ, හැමෝම ලොකුවට වියදම් කරන එන්ගේජ්මන්ට් එක ලාබෙට කරන හැටි..එතනදි තමා අපි දැනගත්තෙ, එන්ගේජ්මන්ට් නෙවෙයි, ඒකට කියන වචනේ රෙජිස්ට්‍රේෂන් කියලා..ඒ වාගෙම මල් කළඹක් සරලව හදන්නත් අපි එතැනින් ඉගෙන ගත්තා. ඉන් පස්සෙ, අපි තවදුටත් රෙජිස්ට්‍රේෂන් ගැන කියලා. වෙඩිං ගැන කතිකාව ආරම්භ කළා. වෙඩිං පළමු පියවරේදි
අපි සාකච්ඡා කළ යුතු මාතෘකා අනු කොටස් දහයකට බෙදුවා..

1. වෙඩිං එක ගන්නෙ කොහෙද? (පළමු පියවරේදිම කතා කළා.)


2. කොහොමද වෙඩිං එක සරසන්නෙ? (මේ ගැනත් අපි කතා කළා)

3. කවුද මනමාලිට මනමාලයාට, අර අනික් අයට අන්දන්නෙ? (මේ ගැන අපි කතා කළා, එක ලිපියක් මදි වෙයි කියලා හිතුණත්, හර බර කමෙන්ට් නිසා, මගෙ වැඩේ හුඟක් පහසු වුණා...)

4. කොහොමද කෑම බීම?

5. වාහන වලට මොකද කරන්නෙ? වෙඩිං කාඩ්? කේක් පෙට්ටි?

6. කවුද චාරිත්‍ර කරන්නෙ?

7. කොයි වගේ හෝටලයකට ද යන්නෙ? (ගොන් පාට් දාන ඇනෝලා නිසා මෙය පස්වට කතා කළ යුතු එකක් වුණත් අපිට වෙඩිං එක සරසමු ලිපියෙ මුලින්ම මේ ගැන කිව්වා.)

8. සංගීතය කොහොමද?

9. කවුද පොටෝ ගන්නෙ? වීඩියෝ කරන්නෙ?

10. එදාට නීති කටයුතු කරනවා නම් ඒවා කොහොමද වෙන්නෙ?

ඉතින්, ඔයාලාට කියන්න තියෙන්නෙ, මේ වෙඩිං ලිපි ටික වාගෙම,මගෙ යාලුවන්ගෙ ප්‍රතිචාර වලත් දැනුම තියෙනවා. ඒ වාගෙම ඔයා දන්න දේත් අපිට හරිම වැදගත් වෙනවා.

දැන් අපි පිළිවෙළින් කතා කරනවා නම්, අපිට තියෙන්නෙ හතර වෙනි මාතෘකාව, ඒ තමයි

*********කොහොමද කෑම බීම?**********
අති විශිෂ්ටයි කියලා, මඟුල් ගෙවල් තුනකදි කියන කොට, හතකම කෑම රස නෑ... හුඟක් වියදම් කරලත් රසවත් කෑම වේලක් උත්සවයකදි දෙන්න සමහරු අපොහොසත් වෙනවා. අපි වෙඩිං එක ගන්නෙ කොහෙද කියලා කරපු සාකච්චාවෙදි, හෝටල් ගැන කතා කළානෙ. සමහර වෙලාවට ලස්සන හොටල් වල කෑම සවුත්තුයි. පිටින් ගේන්නත් බෑ. ඒ වාගෙ වෙලාවට, ටිකක් කල්පනා කරන්න වෙනවා, වඩා අත්‍යවශ්‍ය මොකක්ද කියලා. හැබැයි, ඉවුම් පිහුම් දෝෂ වලටත් වඩා, නියමිත කෑම බීම තෝා බේරා ගැනීමට බැරි කම නිසා තමයි, සමහර කෑම වේල් නීරස වෙන්නෙ.

සමහර වෙලාවට අපි ගියාම හොටෙල් වලින් දෙන්නෙ, සෙට් මෙනූස්.. ඒ කියන්නෙ, ප්ලේට් එකේ මුදලට අපි ඒ ඔක්කොම ගන්න ඕනෙ.. හැබැයි අද හුඟක් තැන් වල අපි සෙට් කරලා දෙන විදිහට ඒ අය කොටේෂන් භාර ගන්නවා. ඉතින් ඔබේ වියදමේ පරිමාවට අනුව, ඔබගේ රුචියට අනුව, ඔබට කෑම වේල සෙට් කරන්න පුළුවන්. රස ගැළපීම ගැනත් ටිකක් හිතන්න. මහ ගොඩක් වර්ග වලට නොයා, හුඟක් අය කන්න කැමති සරල දේවල්, 7 ක් හොඳටම ඇති.. පිඟානකට බෙදන්න පුළුවන් වෙන්නත් එපැයි. බත් වර්ග දෙකක්, මාලු, කකුලුමස් , අනිවර්යයෙන්ම තියෙනවානෙ.

මඟුල් ගෙවල් වල.. මස් මාලු නැති කරන්න බෑනෙ..හැබැයි.. හරක්මස් නම් නොගන්න එක හොඳයි. ඉතිරි වර්ග ගැන හිතුවොත්, අල කරියක්, කජු ග්‍රීන් පීස් මාලුවක් නිතරම මඟුල් උත්සව වල තියෙනවා, ඉස්සො හෝ කකුලුවො වාගෙම, සලාදයකුත් ලස්සනයි... පපඩම් , කට්ලට් මඟුල් ගෙවල් වල තියෙනවා මයි.. බටු වලින් හදන කරි එකක්, බ්ලොචම් එකක් තිබුණොත් තව රසවත්, පිරිප්පු මඟුල් ගෙවල් වලට ගැළපෙන්නෙ නෑ.

මම ඉහතින් සඳහන් කළේ, මිනිස්සු වැඩියෙන් කන ඒවා.. සමහර කරි වලට මිනිස්සු අතවත් ගහන්නෙ නෑ. එහෙම වුණාම වියදම අපරාදෙ. මම මේ පහතින් දක්වනවා, සාමාන්‍ය හෝටල් වල මෙනු කිහිපයක්. උදාහරණ විදිහට!!
ස්තූතිය විල්ලුද ඉන් හෝටලයේ වෙබ් පිටුවට

මේවා ආස්‍රයෙන් ඔබට වැඩි දෙනෙක් කන රසවත් ලාබදායි මතක හිටින කෑම වේලක් නිර්මාණය කරගන්න හැකි වෙයි. මේ විවාහ උත්සවයකට පමණක් නෙවෙයි. ගෙට ගෙවදීම්, උපන්දින, වාගේ උත්සව වලටත්, මෙනු තේරීමේදි මේ පිළිවෙළ ගැන ටිකක් හිතන්න ඕනෙ....මේවාගෙ පිරිප්පු තිබ්බාට, පිරිප්පු හැමදාම කන කෑම නිසා වෙඩිං වලදි යොදන එක අවම කරන්න.. වෙල්කම් ඩ්‍රින්ක් එක, හැමදාම දෙන කහපාට ඇපල් කෑලි දාපු බීම නොවෙන තරමට ලස්සනයි. අයිස්ක්‍රීම් කස්ටඩ් සමඟ ජේලි එක්ක පළතුරු කැබලි සහ වටලප්පන් වාගෙ වර්ග හතරක් ඔබට තෝරන්න පුළුවන් හැම තැනම වාගෙ අතුරුපසට. කිරිපැණි වාගෙ ජාති හුඟක් අය මඟුල් ගෙවල් වලදි කන්නෙ නෑ.. බිස්කට් පුඩිං එහෙමත් එහෙමයි.. ඒ නිසා, හැමදාම කෑවත් කට්ටිය අයිස්ක්‍රීම් කනවා. 

ගෙවල් වල තේ මේස එහෙමත් අතාරින්න බෑ කෑම බීම ගැන කතා කරද්දි. ඒක නම් පොඩියට කරන්න.. මොකද හුඟක් වෙලාවට හෝටලයට යන්න ඇඳගෙන එන අය තේ මේසෙටත් ඉඳගන්නෙ හරි අඩුවෙන්. ඒ නිසා තේ මේසෙ කෑම ගොඩක් තියලා නාස්ති වෙනවා. තෙල් වලං ලිප තියද්දි හදපු ටිකම තියන්න, හොඳටම ඇති. හවසට කිරි කෝපි දෙනවා නම්, ඒකත් කෑමට ම ඇඩ් කරන්න පුළුවන්. හවස 3 පනිනවා නම්, පිටත් වීමට, කිරි කෝපි දීම ඉතා හොඳයි. වෙඩිං එකේ කිරිබත් ස්ට්‍රක්චර් එක..එහෙම නැත්තං කේක් ස්ට්‍රක්චර් ඒවා කන්නෙ නෑනෙ.. ඒත් ඒවා ප්‍රධාන අංගනෙ.. ඒවාට යන වියදම් අයිති වෙන්නෙ සැරසිලි  අතරට.. එතකොට, වෙඩිං කේක් ගැන කතා කරන කොට අනිවාර්යයෙන්ම දැන් හැමෝටම දෙනවානෙ. කේක් කෑල්ලක් දැන් රුපියල් 50ක් විතර වෙනවා. කේක් කෑලි දෙසීයක් කියන්නෙ, එතැනටම ලක්ෂයක් යනවා. එහෙම නේද? ඉතිං!! කල්පනා කරලා බලන්න..ඒක තමන්ට හදා ගන්න හැකි නම් පිරිවැය කොයි තරම් අඩු කරගන්න පුළුවන්ද?කියලා.. හිරූ අක්කා ලිපිය දැක්කොත් අපිට ඒ ගැන කියා දේවි... මම නම් තවම වෙඩි කේක් හදන්න දන්නෙ නෑ... ඒ වාගෙම අඩු ගාණට පෙට්ටි අර ගන්නත් පුළුවන්!! ඒවාට තමා හුඟක් අය වියදම් කරන්නෙ!!! ඒ වියදම කේක් කෑල්ලට දුන්නා නම් ඇත්තටම හොඳයි... අනික ඕවා සරලව නිර්මාණය කරන්න හැකි දේවල්!!! ටිකක් හිතන්නයි ඕනෙ...අපි කේක් පෙට්ටි, වෙඩිං කාඩ් ගැන වෙන දවසක කතා කරමු..  එහෙනම් හිරු අක්කාගෙන් වෙඩිං කේක් හදන්න අහගමු නේද? 





2/14/13

-203- අනේ මට අයියා කෙනෙක් හිටියා නම්



හැමදාම රෑට අහසෙ හඳ පායනවා. එතකොට අහස හරි එළියයි. පැත්තම දිලිසෙන්න ගන්නවා. හරිම පින් පාටයි. වැස්ස දවසට නෑ. එතකොට හරි මූසලයි. පාලුයි. උදේට හඳ බැහැගෙන යද්දි ඉර පායනවා.. එකම දවසක් හරි ඉර උදේට නාවොත්, අහස කොයිතරම් අඳුරු වෙයිද? මහ පොළවම පාලුවෙයි. මල් පිපෙන්නෙත් නැති වෙයි. තෙත හිඳෙන්නෙත් නැති වෙයි. අනේ එතකොට දූවිලි සුවඳත් නැතිව යයි... ඒ වාගෙ තැනක ජීවත් වෙන්න කොයිතරම් අමාරුද? මට සමහර වෙලාවට අපේ ගෙදරත් ඒ වාගේ. මහ පාළුයි. සිරියාව තිබ්බාට මහ ලොකු අඩුපාඩුවක් ගේ පුරාම තියෙනවා.

චූටි කාලෙ ඉඳන් මම හිතුවා මටත් අයියෙක් හිටියා නම්, කියලා. ඒත් මල්ලියෙක් නංගියෙක් තියා අක්කෙක්වත් නෑනෙ අපේ ගෙදර. මම පවුලෙ එකම ළමයා. සමහර වෙලාවට මට හරිම තරහයි ඒ ගැන.. ඇයි මට විතරක් කවුරුවත් නැත්තෙ කියලා. ඉතින් ඊයෙ, සිහිනය දිගේ කරන කොට, අයියලාගෙ ආදරය ගැන කියවෙන තිසර ගෙ ලිපිය කියවද්දි... මට හිතුණා මටත්  අයියා කෙනෙක් හිටියා නම් කියලා. එතකොට කොහොම වෙයිද කියලා.

අපේ ගෙදර අයියෙක් උන්නා නම්, එයා චූටි කාලෙ ඉඳන් ම උදේම නැගිටීවි. මොකද එයාගෙ නංගි ඉපදුණාට පස්සෙ, එයාට නංගිව බලා ගන්න තියෙනවානෙ. මොකද අම්මා උදේම ඉස්කෝලෙ යන්න එපැයි. එතකොට අම්මාට උයන්න තියෙනවානෙ. අයියාට මාව බලා ගන්න වෙයි. පස්සෙ අයියාත් අම්මා එක්ක ඉස්කෝලෙ යයි. මට හොරෙන් හොරෙන් අකුරු කියා දෙන්න අයියා පටන් ගනී. එතකොට අම්මලා බය වෙලා අකුරු කියවන්න ලෑස්ති වෙයි. අයියාම කියයි නංගිට අකුරු කියවන්න එයාට ඕනෙ කියලා. එතකොට ඔන්න වෙන කවුරු කලින් කියෙව්වත්, මාව අයියාගෙ උකුලෙ ඉන්දවලා මට අකුරු කියවවයි. අයියාට එතකොට හරි ආස හිතෙයි. මම සිංදු කියනකොට පොඩි කැසට් පීස් වලට අයියා ඒවා රෙකෝඩ් කරයි.

දැන් අයියාගෙ පොත් අදින්න නංගි පටන් ගන්න කාලෙ. ඒත් අයියා මට බනින එකක් නෑ. මං ඉස්කෝලෙ යන්න ගත්තාම මාව එක්කන් යයි. මා එක්ක සෙල්ලම් කරයි. මට කතන්දරත් කියලා දෙයි. අයියාට යාලුවො ගොඩක් ඉන්නවානෙ... ඒ අය අපේ ගෙදර ආවාම ගෙදර හරි සද්ද වෙයි..
නංගි ඒවට තරහ ගන්නෙ නෑ. අම්මා බනිද්දි ෂේප් කරවන්න එතකොට නංගිට පුළුවන්. අයියා ට්‍රිප් යයි. නංගි ගැහැණු ළමයෙක් නිසා යවන්නෙ නෑනෙ.. ඒත් අයියා ගෙදර ආපු ගමන් නංගිව බයිසිකලේ තියන් කොහෙ හරි එක්ක යයි.

දැන් අයියා ඉස්කෝලෙ ලොකු පන්තියක. ටිකක් කැපී පෙනෙන චරිතයක් වෙයි. එතකොට මට මොන දෙයක් වුණත් අයියා ඉන්නවා කියලා බයක් නැති වෙයි. අයියාට තියෙන බයට මම කොල්ලො දිහා බලන එකක්වත් නෑ. මොකද මගෙ අයියා කොච්චර මට ආදරේ වුණත්, ගොඩක් සැර කෙනෙක් වෙයිනෙ. එයා එක පාරක් එරෙව්වොත් ඒ ඇතිවෙයි මට දවසක් අඬන්න.

හෝම් සයන්ස් වලට කෑම හැදුවාම, නංගි අයියාට අරන් එයි. කෙල්ලො මට වැඩිපුර දෙයි. ඇයි උන් මගෙ අයියාට ලයින් වෙයි.. ලස්සන නිසා... අයියාට මං ඕවා කියන්නෙ නෑ. ආඩම්බර වෙන නිසා..

පොඩි කාලෙ ගොරවද්දි බය නැති කළා වාගෙම, මේ ලෝකෙටත් අයියා මට බය නැති කරයි.
හැබැයි හැම වෙලාවෙම හෙවනැල්ලක් වාගෙ ඉඳගෙන, මං ගැන බලයි. මට හොඳ නරක කියා දෙයි. අප්පච්චි නැති වෙලාවට අම්මාටයි මටයි, හයියක් වෙයි.

අයියාට මට කන්න ආස දෙයක් ගෙනත් දෙයි. ඇඳුම් ගනිද්දි නම් හරියට නීති දායි. නංගි.. ඕක කොට නැද්ද? නංගි ඕක ඇඟට හිර නැද්ද? ඔය වාගෙ අහයි. අයියා අකමැති දේවල් මම අඳින්නෙ නෑ අයියෙ.. දැන් මම තරුණයි. මම සාරියක් ඇන්දාම දුවගෙන එයි අයියා ළඟට, අයියෙ මං ලස්සනද කියලා මං අහයි. එතකොට අයියා.. ෂික් වැඳිරි පැටියෙක් වාගේ කියලා හිනාවෙයි. එතකොට මං කේන්ති අරන් බොරුවට ගස්සලා යයි.

ඒත් හොරෙන් ඇවිත් ඔයා අම්මාට කියයි.. අම්මෙ නංගියාගෙ පොටෝ එකක් ගමු නේද කියලා. අම්මාට ඇස් වලට කඳුලු එයි. ඔයා නංගිට කොයිතරම් ආදරේද කියලා දැනෙද්දි.

ඔයා රස්සාවක් කරයි. පළයෙනි පඩියෙන්, අම්මාටයි අප්පච්චිටයි ඔයා මොනාවත් ගෙනෙයි. නංගිට මුකුත් නෑ. ඔන්න නංගිට දුක හිතිලා... නෑ.. අයියා නංගිව එක්ක යන්නයි හදන්නෙ.. සරසවි එකට ගිහින් ෂර්ලොක් හෝම්ස් ගෙ පොතක් දෙකක් අරන් දෙයි. නවකතා පොතක් එහෙමත් අරන් දෙයි. නංගි පොත් පිස්සිනෙ. නංගිට වෙන දෙයක් ඕනෙ නෑ.. හැබැයි රෑට කොත්තුවක් අරන් දෙයි. ඒ නංගි ආසම කෑම නිසා.

ඔන්න දැන් අයියාගෙ මුහුණෙ පෙම් පාටක් තියෙනවා. නංගිට තමා ඕක මුලින්ම අහුවෙන්නෙ, නංගිට දුක හිතෙන්නෙ නෑ. නංගි දන්නවා අයියා කාටත් වඩා නංගිට ආදරේ වග. ඔන්න දැන් ගෑණු ළමයා ගැන විස්තර දැන ගත්තාම ගෙදරට කියන්න බාර ගන්නෙත් නංගිම තමා. මොකද අයියා ට අප්පච්චි එක්ක ලේසි නෑ. ඒත් අප්පච්චිගෙත් පණ නංගිනෙ. අයියාට නංගි කොයි තරම් සපෝට් කළත්, නංගි කොල්ලෙක් එක්ක යාලු වුණා කියලා දැන ගත්තොත් අයියා කන්නෙත් නැතිව කල්පනා කරයි. ප්‍රශ්න කෝටියක් අහයි. සමහරවිට රණ්ඩුවටත් යයි. ඒත් ඒ කොල්ලා නංගිට තමන් කිට්ටුටම ආදරෙයි කියලා දැනුණොත්, අයියා කෙනෙක් තරම්, සතුටු වෙන වෙනත් කෙනෙක් ලෝකෙ නෑ. මොකද අම්මෙක්, තාත්තෙක් දෙන්නාගෙම ආදරේ එකතු කරන්න පුළුවන් කෙනෙක් තමා සහෝදරයෙක් කියන්නෙ. සහෝදරියකට ඒ දේ කරන්න බෑ...අම්මෙක් වෙන්න හැකි වුණත් තාත්තෙක් වෙන්න බෑ. ඒත් අයියෙක්ට දෙකම පුළුවන්.

අයියලාගෙ ආදරෙයි තාත්තලාගෙ ආදරෙයි එක වාගෙ. පේන්නෙ නෑ. මහ ගොඩයි. නංගි මනමාලියෙක් වුණාම ඒකෙ සතුට වැඩියෙන්මත් අයියාට.. මේ ලෝකෙ ලස්සනම නංගි ඉන්නෙ තමන්ට කියලා එයාට හිතෙනවා. නංගි කොයිතරම් කැත වුණත් අයියා නංගි ලස්සනයි. ලෝකෙම කැතයි කියලා හිනා වුණත්, එදාට මේ ලෝකෙ තාත්තෙක් ගානට තමන්ගෙ නංගි ලස්සනයි කියලා හිතේ කිලුටක් නැතිව කියන්නෙ, අයියා විතරයි. හොඳ අයියෙක් ඉන්නවා නම්, නංගියෙක් කවදාවත් වැරදි ආදරයකට පටලැවෙන්නෙ නෑ.

රැවටෙන ආදරේකට ගිය දවසකට හරි වරදක් කළ දාට හරි , කනට ගහලා කාමරේට දාලා දොර වහලා දැම්මත්, මම මගේ අයියා එක්ක තරහ වෙන එකක් නෑ.. මම දන්නවා එදා රෑට මටත් වඩා  අයියා මට හොරෙන් අඬන විත්තිය. මට අසනීප වුණාම, මං ළඟ අයියා ඉඳීවි. ඒ වාගෙම අයියා අසනීප වුණාම නංගි ගොඩක් බය වෙයි. අම්මයි නංගියි මුලු රෑම අයියණ්ඩි ළඟ ඇහැරිලා ඉඳීවි.
සමහරවිට අයියාගෙ ගෑණු ළමයාත් එතකොට මට කතා කරයි.. අයියාට කෝමද කියලා අහන්න. මම ඒ අක්කාට අයියා තරම්ම ආදරෙයි. ඇයි ඉතින් එයා මගෙ අයියාගෙ පුංචි ආදරවන්තියනෙ.

අයියාව කෙල්ල දාලා ගියොත්, මගෙ අයියාට එයා දුකක් දුන්නොත්, මම එයා එක්ක තරහ වෙයි. ඒත් මගෙ අයියා මනමාලයෙක් වෙලා ඉන්නවා දකිද්දි, මේ ලෝකෙ ලස්සනම කොල්ලා මගෙ අයියා කියලා, මට හිතෙයි.

තවත් අයියා එක්ක හීනෙම ඉන්න මට විදිහක් නෑ.. ඒත් මගෙ හදවතේ අයියා ඉන්නවා. මට මේ ජීවිතේ නොලැබුණ අයියාව ලබන ආත්මෙක මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. සමහර විට ගිය ආත්මෙ මම අයියාගෙ හිත රිද්දන්න ඇති. ඒකයි මේ ආත්මෙ අයියා වෙන තැනක උපදින්න ඇත්තෙ. ලබන ආත්මෙ නම්, නංගියාව දාලා යන්න එපා. චූටියා පව්!! අයියාට රස කෑමත් හදා දෙන්නම්, රෙදිත් හෝදලා දෙන්නම්, කාමරෙත් අස් කරලා දෙන්නම්, අම්මාගෙන් වැරදි වලින් බේර ගන්නම්.. මට අයියා නැතිව හරි පාලුයි. මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක්. මට දුක් විඳින්න බයයි. අම්මා අප්පච්චි නැති දාක මට හයියක් ඕනෙ.. කසාද බැන්දත් පිට පිරිමි කෙනෙක් උපරිමෙන් කොහොම විශ්වාස කරන්නද? අනේ මගෙ අයියෙ ලබන ආත්මෙවත් එනවා නේද?