1/11/13

-202- අම්මේ මම ගෙදර ආවා




හරියටම දවස කියන්න බැරි වුණත් ඒ ඉරිදා නෙවෙයි. අහස ලා දම් පාටින් අඳුරු වෙන්නෙ වහින්න වෙන්න ඇති කියලා මම හැලි වලං ටික ගෙට ගත්තා. පැදුරු කඩමාල්ලෙ නිදා හිටපු පුංචි නංගිව හිරිකඩ නොවදින්න කියලා පැදුර එක්කම ගේ මැද්දට ඇද්දා.

වියලිච්ච පොළවට උඩින් මුතූර් අහස ගැබ්බර වුණාට විළිලන්නෙ කලාතුරකින් වග පොළව එක්ක හැප්පෙන ඕනෙ එකෙක් දන්නවා. තණකොල නැති ඉඩම් වලට උඩින් කොයි තරම් වතුර වක් කළත් තෙතක් ඉතිරි කරගන්න බැරි හින්දාම අහසත් ලෝබ වෙලා.

දර කපන්න ගිය තාත්තා ඇවිත් හිටියෙ නෑ.. මල්ලිවත් ලොකු නංගිවත් පේන්න හිටියෙත් නෑ. මං පාලු ලා අඳුරෙ පිල උඩ ඉඳගත්තා.

ඉහළ බලන කොට  බාගෙට බිමට පාත් වුණ වහලෙ, ඔහේ එල්ලලා තිබුණ මල්ලිගෙ කලිසම ලිස්ස ලිස්ස පහළට ඇවිත්. දැන් කලිසම් කකුල් දෙක හුළං පාරට එහොට මෙහාට යනවා. හරියට මෙහෙ වරෙන්.. ඔහෙ පලයන්... මෙහෙ වරෙන් .... ඔහෙ පලයන්.. කියනවා වගේ.

මං ආසාවෙන් ගිය එකම තැන ඉස්කෝලෙ. මම ඉස්කෝලෙ යන එක නැවැත්තුවෙ නමයෙදි. ඒ මගෙ ඕනකමට නෙවෙයි.. මට උගන්වන්න ගෙදර අයට සල්ලි නැති නිසා. එන්න එන්න පොත් ගණං නිසා.

කොච්චර ඉඳගෙන ඈත බලන් හිටියත් දුප්පත්කම ඇරෙන්න වෙන දෙයක් පේන්නෙ නෑ.. ගෙවල් විතරක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි. මෙහෙ සොබාදහමත් හරිම දුප්පත්.

කතා කරන කලිසම අරන් ගේ මැද්දෙ ඇදපු වැලේ එල්ලපු මම එළියට බැස්සා. වේලිච්ච හීතලක් ඇඟ පුරාම දුවනවා... මම ගෙයින් ටිකක් ඈතට ඇවිදගෙන ගියා. සිලි සිලි බෑග් වලින් හදපු සරුංගලයක් මගෙ ඉස්සරහට කඩා වැටුණා. ඉස්සරහට දුවගෙන ආපු පොඩි උන් තුන්දෙනෙක්ගෙ හිනාවෙ උණුහුමින් මට හීතල අමතක වුණා.

සරුංගලයක හරි එල්ලිලා ඈත පේන මූදෙන් එපිටට පැන්නා නම් දිව්‍ය ලෝකෙ ඇති කියලා මට හිතුණෙ සිප්පි කටු ඇහින්ද පොඩි කාලෙ, සුදු මාමලා අපි දිහා ආදරෙන් බලද්දි. ඒත් මුතූර් අහසෙ පාවෙන සරුංගලයකයි, පොළව උඩ වැනෙන මගෙ ජීවිතයෙයි එකම වෙනස හුස්ම ගන්න එක විතරයි. හුස්ම කියන වචනෙ වටිනාකම එදා දැනුණා නම් කවදාවත් මම පහුවදා ඒජන්සියට යන්නෙ නෑ.

ලංකාවෙ මිනිස්සු පැන්ෂන් යන්නෙ පනස් පහෙන්. රජයෙ නම් හැටෙන්. ඒත් තාත්තාට පැන්ෂන් යන රස්සාවක් නෑ.  තවමත් හතළිස් හතයි. මං රට යනකොට තාත්තාගෙ වයස හතළිහයි. අම්මාට නම් තවමත් හතලිහයි. දෙන්නම අපිට කීයක් හරි කොහොමින් හරි හම්බ කරලා කන්න දෙන්න වයසක තාමත් ඉන්නවා. ඒත් නංගිලාටයි මටයි හරියට බඩට කන්න දෙයක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්.
මල්ලිට නම් කොහොම හරි හම්බෙනවා.

කණු හතරක් හිටවපු සෙල්ලං ගෙදරක් වාගේ හතර පැත්තෙන් හිරිකඩ එන ගෙදර අඩුම තරමෙ තරුණ කෙල්ලකට ඇඳුමක් මාරු කරන්න ආවරණය වුණ තැනක් වත් නෑ.. බොහොම ඉක්මනට මේ අපායෙන් ගැලවෙන්නයි මට ඕනෙ කම තිබුණෙ. නංගිලාට උගන්නන්න. එක පාරට පාත් වෙන මිනිහෙක්ගෙ ගෑණියෙක් වෙලා අඩු වයසෙන් දරුවො හතරපස් දෙනෙක් ගෙ බර නොඇද සැහැල්ලුවෙන් ටිකක් ජීවත් වෙන්නයි මට ඕනෙ කළේ.

ඒකටත් මගෙ වයස පරහට හිටියා. වයස අවුරුදු හයකින් ඉහළ දාද්දි, මං හිතුවා ගෙදර අය, උඹ හිටහං..උඹ පොඩියි.. අපි කන්න දෙන්නම්.. උඹ ඉගෙන ගනිං කියයි කියලා. කවුරුවත් එහෙම කිව්වෙ නෑ.. කවුරුවත්ම කිව්වෙ නෑ.  මං පිටවුණා.

දිව්‍යලෝකෙන් වස්තුව ගෙනත් මේ ලෝකෙ මාලිගාවක් හදන හීනයක් නෙවී මට තිබුණෙ. උදේට කිරි ටිකක් බොන්න.. පිගානක් පිරෙන්න බත් කරන්න.. තෙමෙන්නෙ නැති ඇඳක නිදා ගන්න ආසාවක් මට තිබ්බෙ. මම හිතින් පියෑඹුවා. කිරිල්ලියක් වාගේ...

නොදන්න රටේ මං ඇඬුවා. ඔරලෝස් කට්ට නතර වුණා. මම නොවෙන මම .... මට මාව පටලැවුණා. ..ඇඬුවා.. හරියට ඇඬුවා..පෙරේදා හවස ආයෙ ඔරලෝසුවෙ කටු කැරකෙනවා දැනුනා..

දැනුණ සීතල වේදනාව, මාව එළියට ඇද්දා. මං ඉස්සරහ හිටපු උන් හිනා වුණා. උන්ගෙ ආත්මයට මම හිනා වුණා.. මම උන්ව පහු කරගෙන ගියා.. මරණයක් දකින්න කෙළ හලාගෙන එන සෙනඟ අතරෙන් මම ගියා.. ඒ කවුරුත් මාව දැක්කෙ නෑ.. මාව ගෙන්න අගන්න දුක් විඳපු හැමෝටම නොපෙනි, මං ගෙදර ආවා.. අපේ ගෙදර සෙනඟ පිරිලා. කවුරුත් මාව දැක්කෙ නෑ...

හරියටම දවස කියන්න පුළුවන් අද බදාදා.. අහස ලා දම් පාටින් අඳුරු වෙන්නෙ වහින්න කියලා මම දන්නවා. පැදුරු කඩමාල්ල එහෙමමයි. නංගිලා ලොකුයි. හැලි වලං ඒවාමයි. අහස ලෝබ නැතුව වතුර වක්කලා.. පොළව හේදුණා... සරුංගලේ තෙත හුළඟට අහුවෙලා කූරියා ගහනවාද බලන්න මම අහස දිහා බැලුවා. මේ සරුංගල් වාරෙ නෙවෙයි කියලා මට මතක් වුණා. හුස්මක් නැති ආත්මය අරගෙන මං අම්මාගෙ උකුල උඩ ඔලුව තියා ගත්තා..

අම්මෙ මට අලුත් පින්තූරයක් ගන්න ඕනෙ.. අර පින්තූරෙ මම නපුරු පාටයි.

අම්මාට තුන් හතර වතාවක් මං කතා කළා.. අම්මාට ඇහෙන්නෙ නෑ... මං හයියෙන් කෑ ගැහුවා.... අම්මේ...මම ගෙදර ආවා!!!! අම්මාට ඇහෙන්නෙ නැති ගාණට යාඥා කරන ගෑණුන්ට එකතු වුණා...