11/30/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 06)

කලින් කතාව 1 2 3 4



මම අහැරුණා. නන්නාඳුනන ඇඳක් උඩ එකපාරටම ඔබව ඇහැරෙනකොට දැනෙන හැඟීම් ගැන ඔබට හිතන්න පුලුවන්ද? ඒ කාමරයේ කාට උරුම කොහොම තැනක්ද? කියලා හිතාගන්න මම ඇස් කැරකුවා. බිත්තියෙ කිසිම පින්තූරයක් තිබුණෙ නැතත්, ටික කාලෙකට ඉස්සර තීන්ත ගාපු ලකුණු තිබුණා. මම නිදා හිටිය ඇඳට අමතරව, පුංචි කබඩ් එකක් විතරයි මුලු කාමරයටම තිබුණෙ. මම දොර දිහා බැලුවෙ කාමරේ කවුරුවත් නොහිටිය නිසා.

කාලා එළියට බැස්සා, ඇස් නීලංකාර වෙලා පිදුරු කරත්තය ඉස්සරහට වැටුනා කියන තැන ඉඳන් අනික් කිසිවක් මගේ මතකයේ තිබුණෙ නැහැ.

විනාඩි පහකින් විතර, කාමරයට ආවෙ ගැහැණියක්. වයස තිහක් ඉක්මවපු බව මුහුණෙන් කියන්න පුලුවන්. කරුණාවන්ත බවක් මුහුණෙ නැතත්, අකරුණාවක් පෙනුනෙ නෑ. මම හිනා වුණා..

මම මේ කොහෙද ඉන්නෙ? 

ඇය මගෙ දිහා පුදුමෙන් බැලුවා. අවට හාත්පස බැලුවා. ඉන් පස්සෙ මාව කොට්ටෙ සමඟ ඔසවලා ඇඳට හේත්තු කළා.

සාරා ඔයා ට මතක නැද්ද ඔයා හිටපු කාමරේ. පැනලා යන්න එපා කියලා කී වතාවක් කිව්වාද? කොහොමත් වෙච්ච ණයට හිලව්වට සැමුවෙල්ට ඔයාව පංගාරාත්තු කරන්න ලොකු හාමු ලෑස්තියි. ඊයෙ පැනලා ගිහින්, අද වෙනකොට නමත් මාරු කරන්, ඇඳුනුත් මාරු කරන් පැනලා යන්න ගියාට මේ බංගලාවෙ ඒවාට ඉඩක් නෑ. හෙට තමුන්ට සැමුවෙල් බඳින්න සිද්ද වෙනවා..

මුලින් මට සිතුණේ, මේ ගෑණිට ඇත්තටම පිස්සු කියලා. කවුද සාරා. මම ෂේන්්යා. කවුද සැමුවෙල්. මම මෙහෙ කවුද? කවුද මේ අය, මම ඊයෙ මෙහෙන් පැලා ගියෙ නෑ. මේ අය මං වාගෙ වෙන කෙනෙකුට රුවටිලාවත්ද? මට සිතුණා.

මම සාරා නෙවෙයි. මම දන්න සැමුවෙල් කෙනෙක් නෑ. මම ෂේන්යා. අනික මම ඔයාව දැක්කෙත් අද.

එක්වරම කේන්තියට පත් ඇය කාමරයෙන් පිටත යන්නට සැරසී නැවත හැරුණාය.

ඔක්කොම ලොකු මහත්තයා ආවාම බලා ගන්නවා. හැබැයි අකමැති නම් අම්මාගෙ වියදමට ගත්ත සල්ලි අදම ගෙවන්න වෙයි. 

සිදුවන්නේ කුමක් වුණත් ආපසු හැරිය නොහැකි තැන මම ඇඳට පිට දී කවුලුවෙන් එළිය බලා සිටියෙමි. ජනේල කණ්ඩිය මත වූ ඔරලෝසුවෙ වෙලාව 4 පසුවී මිනිත්තු කීපයකි. හෙට මම සැමුවෙල් ව බඳිනවා. ඒ කියන්නෙ හෙට.

කාමරයට ආවෙ උස මහත පිරිමියෙක්. ඒ ලොකු හාමු. ඔහු එක්ක අර කාන්තාවත් ආවා.

සාරා සැමුවෙල් ඔයාට සලකනවා හොඳ වැඩියි. ඔයාගෙ අම්මාගෙ අසනීපෙට විතරක් නෙවෙයි මරණෙටත් එයා ගෙව්වා. හිලව්වට ඔයාව බඳින්න හදන එක වරදක් නෑ. ඔයාටත් ගෙවන්න හදන්නෙ. මීට වඩා හොඳ තැනක් කොහෙද? ඇයි පැනලා ගියෙ?

ඒ මනුස්සයා බොහොම කරුණාවෙන් ඇහුවෙ. මම මේ මනුස්සයාටවත් වුණ දේ පහදන්න ඕනෙ කියලා මට හිතුණා.

ඔයාලා හැමෝටම වැරදිලා. මම සාරා නෙවෙයි. මම ෂේන්යා. මං මෙතන දන්නෙත් අද. මම හැදුණෙ කන්‍යාරාමෙ. බොරු නම් අහන්න.

මම එක දිගට කියාගෙන ගියා. එතකොටම ලොකු හාමු කියන මිනිහාට කේන්ති ගියා. මෙයාට හොඳින් කියලා වැඩක් නෑ.. කාමරය ලොක් කරන්න.  මම මොහොතකින් කාමරය ඇතුළෙ තනි වුණා. දෙවියනේ මට ගැළවීමක් නැද්ද?

මම මගේ පුංචි සූට් කේස් එක ඇරියා. බයිබලය අතට ගත්තා. ඒත් හිතට නිවනක් නෑ... මම සූට් කේස් එකේ තියෙන ඇඳුම් ඔක්කොම එළියට ඇඳලා එක පොටිටනියක් බැන්දා...සියලුම දේත් පොට්ටිනිය ඇතුළෙ ගැට ගැහුවා. මේ දේ මම කළේ ඇයි කියන්න මම දන්නෙ නැහැ.

හෙට නොදන්න සැමුවෙල් බඳිනවාට වඩා ජනේලෙන් පැනලා මැරෙන එක හොඳයි කියලා හිතුණා. ඒත් ඒකට රූ වෙනකන් ඉන්න ඕනෙ කියලා මට හිත කිව්වා..

මම දොර ළඟට ගියා . දොරට තටුටු කළා. මෙහෙකාරිය ආවා. මම ඇයට කිව්වා මට වැසිකිලියට යන්න ඕනෙ කියලා.. වැසිකිලියට යන අතරෙ වටින යමක් මම හෙව්වා.. මට විකුණන්න දෙයක් ඕනෙ. ඈතට ගමන් වියදමක් ඕනෙ. එන ගමන්, මේසය උඩ සල්ලි වගයක් තිබ්බා. විකුණන වෙලාවත් නැති නිසා මම ඒ ටික අතට ගත්තා. මෙහෙකාරියට නොපෙනෙන්න. ඒක කෝච්චියට ඇති. කියලා මට හිතුණා.

කාමරයට රෑ කෑම එනකං මම හිටියා. බඩගින්නෙ පිට වෙන්න බයට. අනික රෑ නිස්කලංකයි. මම රෑට කෑම කෑවා.. ඉතිරු වුණ පාන් කෑලි දෙකත් ඔතා ගත්තා. සල්ලි ටිකත් ගත්තා. සූට් කේස් එක පහලට වැටෙද්දි එන සද්දෙ රෙදි පොට්ටනියෙන් එන්නෙ නෑ... මම රෑ 12 ට විතර, රෙදි පොට්ටනියපහලට දැම්මා.. කාමරේ තියෙන වට පිටාව බැලුවාම.. කොට්ටය බෙඩ්ෂිට් එක, සහ ඔරලෝසුව ඔනෙ වෙයි කියලා හිතුණා. මම ඒ ටිකත් ගත්තා.. මාව මේ දාන අමාරුවෙන් ගැලවෙන්න මම ඕනෙම දෙයක් කරන්න සූදානමින් හිටියෙ.

මම කබඩ් එක හැකි තරම් නිශ්ශබ්දව දොරටම හේත්තු කරලා.. තද කළා.. කොට්ටෙයි බෙඩ් ෂීට් එකයි අරගත්තා....බෙඩ්ෂීට් එක අරගත්තාම මට මතක් වුණේ තටුටු දෙකකින් පැනලා අනතුරක් වෙයි නේද කියලා.

මම මෙට්ටෙ ජනේලෙන් ඉිමට දැම්මා.. දැන් වෙලාව එකයි... මම කොට්ටෙන් ඔලුව බදාගෙන මෙට්ටෙට පැන්නා. ලොකු සද්දයක් ආවෙ නැතත්, මම පොට්ටනිය අරගෙන පස්ස නොබලා දිව්වා.. ගේට්ටුවට ඉබ්බා දාලා..මම තාප්පෙට නැගලා.. තාප්පෙන් බිමට පැන්නා.. ඉන් පස්සෙ හැකි වේගෙන් මම දිව්වා.

හැබැයි මම දැනගෙන හිටියෙ නෑ..කොහෙද දුවන්නෙ, කියලාවත්, ඉන්න තැන කොහෙද කියලාවත්..මම ඉස්සරහටම ගියා.. කැලයක් නොවන පාර දිගේ ගියා.. කලුවරේ නගරයක නමක් වත් පේන්නෙ නෑ..

ඒත් ඈතින් සද්දයක් ඇහුණා... දැන් එක මගේ වම් පැත්තෙන්, ළඟින්ම ඇහුණා....

වෙඩිං එක සරසමු.



ඒ කාලෙ ඇනොනිමස්ලාට තිබුණ මාර තැනක්. ඒත් දැන් අනොනිමස්ලාම ඒ තැන චාටර් කරගෙන. ඒත් සමහර ඇනෝලා ඉන්නවා බොහොම වියත්. ඉතින් අවියත් ඇනෝලා කිහිප දෙනෙකුට තිබ්බ, ප්‍රශ්නයක් මුලින්ම නිරාකරණය කරන්න ඕනෙ හින්දා, මම දෙවනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉස්සර හත්වෙනි ප්‍රශ්නයට යනවා කියලා හිතුවා. ඉතින් ඇනෝවරුනි අපහසුවට පත්වෙන වචන  එව්වාට ලිව්වාට වැඩක් නෑ.. මම කමෙන්ට් මොඩරේට් කරනවා..ඒ නිසා නොවැදගත් දේ කියන්න ලියන්න මේ බ්ලොග් එකේ නම් මහන්සි වෙන්න එපා.

එහෙනම් මෙන්න දෙවනියට අපි හත්වන කොටස සාකච්ඡා කරමු. පළවෙනි ලිපිය නොදුටු කෙනෙක්ට මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. එන්ගේජ්මන්ට් රෙජ්ස්ට්‍රේෂන් ගැන ලියපු කතා ටිකත් දැනුම කැටගරිය බැලුවාම හොයා ගන්න පුලුවන්.

කොයි හෝටලේටද යන්නෙ?

මේ වගෙ කොටසක් ඇත්තටම දැම්මෙ, අපේම නෑදෑයන්, නිසා අපි ලබපු අත්දැකීම් නිසයි.

සමහරුන්ගෙ වෙඩිං එක සහ හෝම් කමිං එක අතර පරතරය සති දෙක තුනක් තියෙනවා. ඒ ඒ අයට සල්ලි තියෙන හැටි අනුව තමයි ඔය විගඩං තීරණය වෙන්නෙ.. ඒත් සාමාන්‍ය මිනිස්සුන් වන අපේ නෑ මිතුරන්ගෙ උපරිමය දවස් දෙකයි හෝ තුනයි...මම හරිනෙ.

ඒත් අපේ සමහරුන්ගෙ තියෙන පණ්ඩිත කමට මේ දවස් තුනට යනවා රටේ අනික් කෙළවරටම. ගියාට නම් අපිට කමක් නෑ.. ඒත් පසු උත්සවයේ අනික් දේවල් සංවිධානයේ දි ඒක හරි අපහසුයි. ඒ නිසා හෝම් කමිං එකට අන්දන,පින්තූර ගන්න අයට එන්න පහසු,නැතිනම් අඩු වෙලාවකින් ඒ අය ළඟට ඔබට යන්න පහසු දුර සීමාවක හෝටලයක් ඒ කාලෙ අතරදි තෝරාගන්න එක තමා වඩා හොඳම. මොකද ඔබට ගෙවන මුදලට, අපරාදෙ වැඩ ටික කරගන්න බැරි වෙනවා, ඔබ ගමනට වැඩි වෙලා තියා ගත්තොත්...ඒ වාගෙම ගමන් වෙහෙස ඔබේ මුහුණෙන් පෙනේවි.එක දිගට වාහනයක යන එකත් වෙහෙසයිනෙ....ගෙවන මුදලට උපරිමය කරගන්න කියලායි ඔබට කියන්න තියෙන්නෙ...හෝම් කමිං ඉවර වෙලා යාපනේ, බැරිනං ඕනෙ සිංගප්පූරුවක ගියාට කමක් නෑ..ගෙදර මිනිස්සු අමාරුවෙ නොදා..

උදාහරණ - අපේ පුංචි අම්මා බැන්දා. අගෝස්තුවෙදි. එයා බැන්දෙ කොටිකාවත්තෙ.. ගියෙ රත්නපුරේ.. පහුවදා හංවැල්ලට එන්නත් ඕනෙ.. වෙඩිං එක හවස් වරුවෙ තමා, ඒත් පොටෝග්‍රැෆර්ට සල්ලි දවසටම බැඳලා තියෙද්දි පින්තූර ඇති වෙන්න ගන්න බැරි වුණා විතරක් නෙවෙයි.. දෙවනි දවසෙ අන්ද ගන්නත් හුඟක් කරදර වුණා.. අන්දන කෙනා කිව්වා රත්නපුරේ යන්න බෑ කියලා. ඔක්කොම ඇනෙනවානෙ එහෙම වුණාම...ඒ වාගේම ගමනෙදි වෙලාවක් තීරණය කරගන්නත් බෑ.. අපි ඉතින් අන්තිම මොහොතෙ උදේ පාන්දරම රත්නපුර ගිහින් ජෝඩුව කොළඹ එක්ක ආවා...ඒ නිසා නූලෙන් වැඩේ ගොඩ ගියා.. ඒත් අපරාදෙ පොටෝ වලට වෙඩිං දවසම තියාගන්න තිබුණානෙ. අනික හෝම් කමිං අන්දලා තිබ්බෙත් හදිසියට.

ඔය වාගෙ හේතු නිසා තමයි තැන ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. දැන් ඇත්තටම මහත්තයාගෙ ගම දුර නම්,ඒවාට වෙනම කතා කරලා සංවිධානය වෙන්න පුලුවන්නෙ.. අඩුම තරමෙ එහෙම සංවිධානයවත් වෙන්න කියන එක ඉල්ලනයි.. මේ කොයි හෝටලේටද යන්නෙ කියන පැනය තිබ්බෙ. අනෝලාට දැන් පැහැදිළි ඇති. මම හිතන්නෙ.


හරි දැන් අපි මඟුල් ගේ සරසමු

ඉස්කෝලෙ ඉඳන්ම තමා ඉතින්, අපි මේවාගෙ සැරසිලි කටයුතු පුරුදු වෙන්නෙ.. ඒකට තියෙන්න ඕනෙ හොඳ ඇහැක්. මෙතනදි තමා ඔය කවුරුත් කියන තීම් කලර්ස්, වෙඩිං තීම් වාගෙ අරු මෝසම් එළියට එන්නෙ. දවසක් සුබාසිරි බල බල ඉන්නකොට කෙල්ලෙක් කියපි,
“අපේ තාත්ති ගෙ බිස්නස් එක පර්නිචර්ස්. ඉතින් අපිත් හිතුවා අපේ තීම් එක විදිහට ලී බඩු ගන්න.“
ඉතිං මේ අයගෙ වීඩියෝව බැලුවාම තේරුණේ  කේක් එක තියෙලා තියෙන්නෙ මේසයක් උඩ පුටුවක් අනිත් පැත්ත හරවලා. පෝරුව අල්මාරියක් වාගෙ.. පහන එල්ලා තියෙන්නෙ ඇඳුම් රාක්කෙ. මේ වාගෙ දෙයින් විවිධත්වය රැකුණාට, ගරුත්වය ආරක්ෂා වෙනවාද කියන ප්‍රශ්නය නම් ඒ වෙලාවෙ මට ආවා.

ඒත් ඉන් පස්සෙ වෙලාවෙදි මට කල්පනා වුණේ තාත්තා මිනී පෙට්ටි සාප්පුවක වැඩ කළොත් මේ ක්‍රමයට යන කෙනෙක්ට මොකක් වෙයිද කියන එකයි.

ඒ නිසා හැම වෙලාවකම සැරසිල්ලක් කරද්දි විවාහයේ ගෞරවය රකින්න ඕනෙ. ලස්සන කියන දේ සරලව ඇති කරගන්න පුලුවන්. මඟුල් ගෙදර සරසිලි වලට අවධානය යොමු කරද්දි, ඒ දේ හොඳින්ම මතක තියා ගන්න. පාට තෝර ගන්නකොට එකිනෙකට ගැළපෙන, ඔබ ආසා කරන පාට දෙකක් තෝරා ගන්න.. සුදු කියන වර්ණයත් එක්කම තව වර්ණයක් තෝරගන්න එක තමා හුඟක් අය කරන්නෙ. කැමති නම් සුදු අත්හැරලා වෙන වර්ණ දෙකකට යන්නත් බැරි කමක් නැහැ.

මේ වර්ණ තෝරා ගනිද්දි... ඊට ගැළපෙන්න තමා සැරසිලි සියල්ල නිර්මාණය කරන්න ඕනෙ. ඒ වාගෙම කාඩ්, කේක් පෙට්ටි , බ්‍රයිස්මේට්ලා ඉන්නවා නම් ඒ අයගෙ ඇඳුම්, මේ ඔක්කොම තීරණය වෙන්නෙ ඒ අනුව. කාර් එකත් ඒ සැරසිල්ලට අනුගත කරන්න.. කේක් අල්ලන කූඩය පවා ඒ විදිහට කරන්න පුලුවන්.. ලෝකෙ ප්‍රසිද්ධම තීම්ස් තමා බීච් තීම්, ග්‍රීන් තීම්, වාගෙ ඒවා..

ස්වාභාවික මල් වලින් සරසන්න පුලුවන් නම් ලස්සනයි.  හැබැයි පැවැත්ම රැක ගන්න ටිකක් අසීරුයි. ප්ලාස්ටික් නම් ඒ ප්‍රශනය නැහැ. ඒ සියල්ල තීරණය වන්නෙ මුදල් මත. ඔබගෙ හැකියාව අනුව මේ සියල්ල වෙනස් වෙනවා.. ඩෙකරේෂන් කීපයක්ම තියෙනවා. වෙඩිං එකකදි

1. ටේබල් ඩෙකෝ
2. පෝරු ඩෙකෝ
3. කේක් හරි කිරිබත් හරි ඩෙකෝ
4. සෙටි බැක්
5. ලන්ච් එක ගන්න තැන
6. දොර ඩෙකෝ
7 පහන
8. කාර් ඩෙකෝ එක
9. මිල්ක් හර් ෂැම්පේන් හරි ෆන්ෂන් එක.


මේ සියල්ල එකිනෙකට ගැළපෙන සරල ලස්සනක් තියෙනවා නම් හරි ලස්සනයි.. ඒ මල් වර්ගයක්
තෝරාගනිද්දි බොකේ වලටත් ඒ මල්ම යොදනවා නම් තවත් ලස්සනයි..

පෝරුව තමන්ටම කියලා අලුත් එකක් හදාගන්න අද කාලෙ හැම කෙනාටම අමාරුයි. පුලුවන්නම් හොඳයි. ඒකට ඕනෙත් ඉතිං ඇහැ තමයි. ඒ වාගේම ටිකක් දක්ෂ යාලුවො ටිකක් ඉන්නවා නම් මේවා සරල දේවල්. බඩ බැඳගෙන ඉන්න යාලුවො ඉන්නවා නම්, මේවා ඇත්තටම සරලයි..

උඩරට මනමාලියො දැන් කපන්නෙ කිරිබත්. පහත රට මනමාලියො කේක් කපනවා. ඒ වාගෙම ෂැම්පේන් වෙනුවට දැන් කිරි පන්ෂන් තියෙනවා. ඒක අත්‍යාවශ්‍ය නැතත් කට්ටිය කරනවා. සමහරු නම් පොල් මල් පුබුදනවා.. තව අය පරෙයියො අරිනවා... ඕවා ඉතින් ඒ ඒ අය කැමතිනං කරන ඒවා මිසක් අත්‍යාවශ්‍ය නැහැ. චාරිත්‍ර වල නැහැ. පාලුව කියන දේ අඩු වෙන්න. නමුත් කාටවත් කරදරයක් නොවෙන්න සැරසිල්ල තිබුණා නම් හොඳටම ඇති. හුඟක් කියන්න දෙයක් නෑනෙ.. ඒ ගැන තවත්, මොනාහරි සරසිලි ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න යාලුවේ...

පෝරුව ළඟ හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනෙ නිසා. එතන ඉඩ ටිකක් වැඩියෙන් තියන එක සැරසිලි කරුවන් අතින් විය යුතු දෙයක්. දැන් පහසුකම් තියෙන නිසා. තමන්ට පුලුවන් සියල්ල නිර්මාණය කරන්න සියල්ලටම කලින් ග්‍රැෆික් වලින්. ඉන් පස්සෙ හොඳටම ගැළපෙන විදිහට නිර්මාණය කරන්න පුලුවන්.


සෙට් බැක් එකට ගන්න පුටුව හුඟක ලොකු නොවුණාම ලස්සනයි. තව පොඩි දෙයක්. නැටුම් කරන අයට ඔබේ උත්සවේ ඉඩක් තියෙනවා නම් ඒ අයට ඒ සඳහා ඉඩ වෙන් කිරීම වැදගත්. මම කිව්වෙ උඩරට නැට්ටුවො ගැන. බීලා නටන අය නම් ඉඩ හදාගන්නවානෙ.

11/19/12

වෙඩිං පළමු පියවර

බ්ලොග් එකකින් අපට රට වෙනස් කරන්න බෑ. බ්ලොග් එකක් කියන්නෙ අපිට හිතෙන, අපි හොයාගන්න, අපි තේරුම් ගන්න යම් දෙයක්, නොමිලේම අනික් අයගෙ සංවාදයට විවෘත කරන්න පුලුවන් සමාජ ජාලයක් විතරයි. ඉතිං තමන් ඉතිරි කරලා යන කමෙන්ට් එක බලන කෙනාට කොයිතරම් වැදගත්ද කියලා ටිකක් කල්පනා කරලා දානවා නම්, ඒක කාලය නාස්ති නොකිරීමක් වෙයි. ඇනෝ කමෙන්ට් දෙකකට මුලින් උත්තර දීලා මම අද ලිපිය පටන් ගන්න කැමතියි. විවාහය ගැන, මඟුල් උත්සව යම් පැහැදිළි කිරීමක් මම සොයා උගත් දැනුමෙන්, මගේ හිතවතුන්ට බෙදා හදා දෙන්න, මම තවම කසාද බඳින්න ඕනෙ නෑ.. නාරි හා ප්‍රසව පිළිබඳව බෙහෙත් දෙන ෙපිරිමි වෙදදුරන්ට කවමදාවත් දරුවො හම්බෙනවාද? නෑනෙ.. අනික් දේ තමයි.. අපි හොයා ගන්න තොරතුරු මෙහෙම ඉදිරිපත් කළාම, අපිටම අනික් අයගෙ මත දැන ගන්න පුලුවන්. දේශපාලනය, සමාජ විෂමතාව , ස්ත්‍රීත්වය, මනෝභාවය වගේ මාතෘකා ගැන බර සාරෙට කතා කරන අය අතරෙ, මේ වාගේ ලයිට් රීඩිං එකකුත් තිබ්බෙ නැත්තං ගතියකුත් නෑනෙ... කොහොමත්, මේ ලිපි පෙළට කැමති දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා මම ඒ අය වෙනුවෙන්, මම හොයා ගන්න දේ ලියනවා දිගටම.. අනික මම මේ හොයන්න මහන්සි ගන්නෙ, අපි රැල්ලට ගිහින් නිස්කාරණේ නාස්ති කරන සල්ලි වලට ඊට වඩා දෙයක් කරන්න පුලුවන් නේද කියලා හොයා බලන්න... ඒවා ඉවරයි දැන් අපි ලිපියට යමු..


දැන් අපි රෙජිස්ට්‍රේෂන් එක ගැන කතා කරලා ඉවරයි. ඒක කලින් ගන්න එකේ වාසි ගැන අපි ඉස්සර ලිපි වල කතා කළානෙ...මොනා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ආයෙ පහදලා දෙන්නම්. උත්සවයක් ගන්න ඕනෙ අයට ඒක ලාබෙට කරන හැටි ඔන්න මම කිව්වා. කව්චේරියට ගිහින් බැන්දාත් ඇති. ඒත් ඉතිං අද කාලෙ අලුත් දේවල් කරන්න අපි ආසයිනෙ.. රැල්ලටම නොයා, ලස්සනට කරන එකේ කිසි වරදක් නෑ. තමන්ගෙ හීනෙ කාටවත් කරදරයක් නැතිව ඉටු කරගන්න එක, තමන්ගෙ ආත්මයට කරන ලොකු සාධාරණයක්. හරි හරි.. දැන් අපි යමු වෙඩිම ගන්න..

යාලුවනේ, මම දන්න තරමින් වෙඩිං එක පටන් ගන්නෙ නැකත් කොළයකින්, ඒකෙ හුඟක් දේවල් වලට නැකත් තියෙනවා. තෙල්වලං ලිප තියන්න, පෝරු හදන්න , එහෙමත් නැකත් තියෙනවා. අද නම් හුඟක් අය ඕවා තිතට කරන්නෙ නෑ.. පොරුව වගේම කැවිලි ගන්නෙත් කඩෙන්.. මඟුලත් අනුන්ගෙ වගේනෙ.. ඒ නිසා අපි ඔය වෙඩි ප්ලෑනිං කියන අරුමෝසම ටිකක් ෆලෝ කරලා බලමු...මම එහෙම සයිට් දහයක් පහළවකටම ගොඩ වැදුණා මේ ලිපිය ලියන්න ඉස්සර.. එහෙම ගියාම තමා මට තේරුණේ අපි කරන දේවල් ටිකම , අපිට හිතන්න උදව් කරනවාටයි, මේ යක්කු අපෙන් ලක්ස ගණන් කඩන්නෙ කියලා...

දැන් එහෙනං අපි විවාහයට සැලසුම් කළ යුතු දේ, අපි නොම්බර පිළිවෙළට ලියලා, එක එක ගැන වෙන වෙනම කතා කරමු... ලෑස්තියි නේද?

1. වෙඩිං එක ගන්නෙ කොහෙද?
2. කොහොමද වෙඩිං එක සරසන්නෙ?
3. කවුද මනමාලිට මනමාලයාට, අර අනික් අයට අන්දන්නෙ?
4. කොහොමද කෑම බීම?
5. වාහන වලට මොකද කරන්නෙ? වෙඩිං කාඩ්? කේක් පෙට්ටි?
6. කවුද චාරිත්‍ර කරන්නෙ?
7. කොයි වගේ හෝටලයකට ද යන්නෙ?
8. සංගීතය කොහොමද?
9. කවුද පොටෝ ගන්නෙ? වීඩියෝ කරන්නෙ?
10. එදාට නීති කටයුතු කරනවා නම් ඒවා කොහොමද වෙන්නෙ?

හරි.. මේ කරුණු වලින් අපිට යමක් මඟ ඇරුණා නම්, අපි හෙමි හෙමින් පස්සෙ හොයා ගමු. මේ හැම දෙයක්ම හොයන්න ඉස්සල්ලා, අපි බලන්න ඕනෙ, අපිට කොයි තරම් මුදලක් වියදම් කරන්න ශක්තිය තියෙනවාද කියලා. කවදාවත් මඟුල් කන්න එපා ණය වෙලා.. ඒකට දෙමව්පියන්ට ඉඩ තියන්නත් එපා..ඒ නිසා හැම වෙලාවෙම අතේ ඇති මුදල ගැන හිතලා වැඩ කරන්න.. දැන් ඔබට පුලුවන් මම මේ කියන කරුණු එක්ක, අතේ තියෙන මුදල් ගැන කල්පනා කරලා, ඔබගෙ වෙඩිම ගැන දළ අදහසක් ගන්න..

සමහර ජෝඩු වෙඩිං එක සැලසුම් කරන්න ගිහිංම පට්ට වලි දා ගන්නවා. ඒ අය තව පාරක් විවාහ වෙනවාද නැද්ද කියලා තීරණය කරන එක හොඳයි ඈ!!!

 1. වෙඩිං එක ගන්නෙ කොහෙද?

මේ දේ තීරණය කරන්න, ඉස්සර ඔබ සොයා බලන්න ඕනෙ කී දෙනෙක්ට මඟුල් ගේ කියනවාද? කියලා. කියන ප්‍රමාණය අනුව තමයි ඔබට තැන හිතාගන්න වෙන්නෙ. ගෙදරක ගන්න ඉඩ මදි නම් හෝටලයක ගන්න වෙනවා. හෝටල් තෝරා ගන්න කොට එක එක මිල මට්ටම් තියෙනවා. කෑම නැතිව හෝටලය විතරක් ගන්න පුලුවන් තැන් තියෙනවා. සමහරු හෝටලය දෙන්නෙ කෑම ගන්නවා නම් විතරයි.. තවත් සමහරු ඉන්නවා..අවශ්‍ය කෑම පිටින් ගෙන්වා ගන්න අපිට අවස්ථා දෙනවා. හැබැයි එයාලාගෙනුත් ගන්න ඕනෙ.. හෝටලයක් කෑම බීම එක්ක දෙන්නෙ පැය පහක් හෝ හයක් වාගෙ කාලයකට. ඉතිරි ඉන්න වැඩි වෙලාවට වෙම ගෙවන්න ඕනෙ. හෝටලයෙන්ම කෑම මෙනුව අපි අරගන්නවා නම් ඒක අමතර පහසුවක්. ඒ නිසා හෝටලයක් බුක් කරනවා නම්, කෑම එක්කම බුක් කිරීම ලේසියි. කෑම වල ගණන් බලන්නෙ ප්ලේට් එකකට.. ප්ලේට් එකට බත් වෑංජන,අතුරුපස, වෙල්කම් ඩ්‍රින්ක් එක අයිති වෙනවා. සමහර හෝටල් වල යම් යම් වෙනස් කම් තියෙනවා. ඒවා මුලින්ම අහලා දැනගෙන කොටේෂන් අරන් සංසංදනය කරලා බලන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. හෝටලයක් තෝරා ගනිද්දි, දෙපාර්ශවයටම පහසු මාර්ගයක තියෙන තැනක් වගේම, ඡායාරූප වලටත් හොඳයි කියලා හිතෙන තැනක් තෝරාගන්න. දැන් ඇන්දුවාට පස්සෙ පින්තූර අරගෙන ශාලාවට යන නිසා, අමතර කාලය ඉතුරු කරගැනීම ගැන හැම විටම හිතන්න ඕනෙ. මොකද චාරිත්‍ර වලට වෙලාවට යන්නත් ඕනෙනෙ. මේ කරුණු වලට අමතරව හෝටල් වල කොටේෂන් ගද්දි ෆ්‍රී ප්ලේට්ස් දෙනවාද කියලා මතක ඇතිව අහන්න. සමහරු 150 කට කෑම දෙනවා නම් තව 10කට කෑම නොමිලේ දෙනවා...

හරි... එක දවසෙ ඔක්කොම ලියලා ඔලුවට යන්නෙ නෑනෙ. ඒ නිසා ඉතිරිය පස්සෙ ලියමු..


11/17/12

රෙජිස්ට්‍රේෂන් එක ගන්න හැටි



මුලින්ම ස්තූති වෙන්න ඕනෙ යහපත් ඔවදන් දෙන ඇනෝලාට. මම මෙච්චර කල් රෙජිස්ට්‍රේෂන් එකයි එන්ගේජ්මන්ට් එකයි එකක් කියලා හිතා හිටියෙ, කලින් ලිපිය එක්ක මේක එකතුවක් නිසා නොතේරෙන කෙනෙක් ඒ ලිපිය බලලා ආවාට වරදක් නෑ. අපි කතා කළා ඒ ලිපියෙන් රෙජිස්ට්‍රේෂන් ඇඳුම ගැන, ඒවාගෙම මල්කළඹ ගැනත්... මේ ලිපිය ලියවෙන්නෙ එහෙම ඒවා ගන්න ඕනෙ අයට විතරක් නිසා, ඒවා ගන්න එකේ වැදගත් අවැදගත් කම් කියලා නම් වැඩක් නෑ කියලා මුලින්ම කියන්න ඕනෙ. මොකද මේ ලිපිය ලියන්නෙ රෙජිස්ට්‍රේෂන් එක වෙනම ගන්න අයට ඒක ලස්සනට ලාබෙට කරන්න මඟ පෙන්වන්න.

දැන් අපේ ඇඳුම් පැළඳුම් හරි. අපි මේක ගන්නෙ කොහෙද? ඔබට මේ වගේ දෙයකට ගෙදර සාලය ප්‍රමාණවත්. විශේෂ  සැරසිලි කිරීමක් ඔබට අවශ්‍ය නම් සාරියේ පාටට හෝ ඔබ අඳින ගවුමේ පාටට ඒ මල් තෝරාගන්න. නව යුවලට ඉඳගන්න පුටුවක්. ඒ වාගේම පොතේ අත්සන් කරන ස්ථානය මෙහිදි පිළි වෙළට සකසා ගත යුතුයි. මේ සඳහා ඔබේ ළඟම නෑ හිතවතුන් හට පමණයි ආරාධනා කළ යුත්තේ, ඔබේ මූල්‍ය හැකියාව පමණට එය ඔබට තීරණය කළ හැකියි. ඔබ ඔසරියක් අඳිනවා නම් කිරිබත් කැපිය හැකියි. සාරියට හෝ ගවුමට නම් පුංචි කේක් එකක් පිළියෙළ කරගන්න. සැරසිලි කරනවා නම් රටාවක් අනුගමනය කරන්න. එවිට ඔබට පුංචි සාදය ලස්සන කරගන්න පුලුවන්.

පොල්තෙල් පහන ලස්සන අංගයක්. හැබැයි ඒ සඳහා ඔබ භාවිතා කරන පහන හැරෙන්න වෙන පහන් තිබේ නම් ඒවා එම ස්ථානයෙන් ඉවත් කරන්න. ළඟදි අපි ගිය මඟුල් ගෙදරක, හෝල් එකේ වතුරෙ දාපු ඉටු පහන් පත්තු කරන්න තිබුණෙ. ඒත්, ඒ පොටෝ වලට හැම වෙලේම දැලි පෙරිච්ච කුකුලා ඉහළ ඉන්න පොල් තෙල් පහනක් අහුවෙනවා. හෝටලේ අය ඒක ඉවත් කරලා නෑ. ගෙදරක මේ දේ වෙන්න පුලුවන් ඉඩ වැඩියි. ඒ නිසා අපි ලස්සන ගැන සැලකිලිමත් වෙද්දි අදාළ දේට හිත යොමන්න ඕනෙ.

ඔබ දෙදෙනාගෙම ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීමන්, එදාට රෙජිස්ට්‍රේෂන් එක කරන්න එන නොතාරිස් නොනා මහතුන් ට ලොකු පහසුවක් වේවි. ඔවුන්ව වෙලාවට ගෙන්වන ගෙනිය ක්‍රමයකුත් ලෑස්ති කරගන්න එක නුවනට හුරුයි.

කෑම බීම පිලියෙළ කිරීමේදි, මත්පැන් අතහැරීම දුම්වැටි අතහැරීම, සෞඛ්‍යට වාගෙම, සාක්කුවටත් හොඳයි. රෙජිස්ට්‍රේෂන් එක දවසට වෙඩිං කේක් දෙන්න වුවමනා නෑ. හොඳ කේක් හෝ කිරිබත් නෑ හිතවතුන්ට දීම දමයි වටින්නෙ. වර්ග හතරක් හෝ හයක් අතර ප්‍රමාණයේ වෑංජන සැදුවාම හොඳටම ඇති. මැල්ලුම් හදන්න එපා...සලාද හදන්න. අල හෝ පරිප්පු දෙකෙන් එකක් ඇති. හැකියාවක් තියෙනවා නම් කජු මාලුවක් හදන්න. එය ප්‍රමාණවත් නම් අල හෝ පරිප්පු වුවමනා නැහැ. මාලු මස් දෙවිදිහකට හදන්න. හරක් මස් නම් ගේන්න එපා. ඇත්තටම මස් උවමනාවක් නෑ.. ගැළපෙන විදියට කෑම ටික හදන්න. ඕඩරයක් වුණත් හොඳ තැනක් බලලා දෙන්න. ඒක කෙනෙක්ට පහසු වෙන්න පුලුවන්.

දැන් රෙජිස්ට්‍රේෂන් එක පින්තූර ගන්න දෙයක් නිසා, ඒක කැමති විදිහට ඔබට කරගන්න පුලුවන්. ඒක ඔබට වියදම් කරන්න හැකි මුදල මත තීරණය වෙන්නෙ. ඒත් සාමාන්‍ය කැමරාවකින් කවර් කරගන්න පුලුවන් දෙයක් නිසා මේවාට අනවශ්‍ය මුදල් වියදම් කිරීම නම් අපරාදයක්. ඒත් ඉතින් අපේ හොඳ ඡායා රූප ශිල්පියො නැතිවාම නෙවෙයි... මේ හොඳ පරණ බ්ලොග් කරුවෙක් ගත්ත ඡායාරූප ස්ටෝරියක්... අයිතිකාරයා කුෂාන් වන්නිආරච්චි. පුද්ගලිකව මම මහත් සේ අගය කරන ඡායා රූප ශිල්පියෙක්. තව ඕනෙ තරම් උදාහැණ ඔබට හොයා ගන්න පුලුවන්. කුෂාන් නම් අවස්ථාව කවර් කරපු හැටි මෙතන දාලා නෑ...

සැරසිලි වලදි හැමදාම බැලුම් වලටයි ක්‍රේප්වලටයි නොගොහින් අලුත් දෙයක් කරන්න බලන්න.

අපි ඊළඟ සැරේ කතා කරමු වෙඩිං එකක් ගන්න හැටි.


11/16/12

මට හිතුණ දේවල් ටිකක්

හිතට මේ වෙලාවෙ හිතෙන දේවල් වල අන්තර්ගතය සතුටක්ද? දුකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ. මේ වෙලාවෙ මම ඉන්නෙ රික්තයක. මට ඇඟට කිසි සනීපයක් නෑ. සැල්බියුටමෝල් ගත්ත නිසා ඇඟට කිසි ශක්තියක් නෑ. ඇඳ උඩ ඉඳගෙන පරිගණකය උකුල උඩ තියාගෙන, මම මේ ලිපිය ලියන්නෙ ඇයි කියලාවත් මම මේ මොහොතෙ දන්නෙ නෑ. දම්පාට පුංචි පෙත්තකට මාව අඩපණ කරන්න පුලුවන් තරම මට හිතාගන්නත් අමාරුයි. ඔව්. ජීවිතය ඒවාගෙ තමා.

ඊයෙ අපේ පවුලේ වෛද්‍යවරයා මා දුටු ගමන් කිව්වෙ නැන්දාගෙ මඟුල් ගේ දවසෙ මං සාරි ඇන්දාම අඳුනන්න බැරි වුණා කියලා. එදා මම හොඳ සනීපෙන් හිටියෙ. ඒත් අද! දොස්තර කියන විදිහට නම් දම්පාට පෙත්ත බීලා ලොකු අමාරුවක් නැතිව ඉන්න එක ලොකු දෙයක්. මේ අවුරුදු 23 ට මම ඒ විදිහෙ පෙති 1000කට වඩා බිලා ඇති. ඒත් මට අද වෙනදාට වඩා වෙහෙසයි.

මේ දවස් වල ජීවිතය පවා හරිම කටුකයි. අම්හිරියි. හැම වෙලාවෙම මොකක් හරි අඩුවක් තියෙන බව දැනෙනවා. පොතක් කියෙව්වාට, චිත්‍රපටියක් බැලුවාට ඒ අඩුව පිරෙන්නෙ නෑ. කවියකින් හිතේ තියෙන දේ එළියට දාගන්න බෑ. ඒ කවිය ලියාගන්න වචන එක්ක හදවත කරන පොරය මේ මොහොතෙ මට දරාගන්න බෑ. මට උවමනා මොකක්ද කියන දේ මට තේරුම් ගන්නත් බෑ.

මම විකියාට පොරොන්දු වුණා සබ් එකක් දාන්න චිත්‍රපටයකට. ඒ එක්ක මම තව එකක් දාන්න බාර ගත්තා. ඒක ආසාවෙන් කරගෙන යද්දි, වෙන කෙනෙක් ඒක කරලාම එවලා. ඒක තමා බයිස්කෝප් එකේ ගියෙ. එහෙම වුණාම තියෙන එක කරන්නත් හිතට පිළිකුලක් දැනෙනවා. මම දැන් කරන එකත් නවත්වන්න ඕනෙ කියලා කොයි තරම් විකියාට කිව්වත් විකියා ඒකට ඉඩ දෙන්නෙ නෑ.. ඒ කියන්නෙ අපි ට ඕනෙ වෙලාවට අපි දුවන සමාජයෙන් පැත්තකට වෙන්න අපිට ඉඩක් නෑ කියන එක නේද?

මම ජීවිතේ සමහර කාල වලදි සමහර මිනිස්සු හරි කියලා හිතුවා. තවත් සමහර කාල වලදි ඒ අයම වැරදියි කියලා හිතුවා. අකමැති වුණත් සමහර දේවල් වට බලහත්කාරෙන් කැමැත්තක් ඇති කරගන්න වෙන වෙලාවල් ජීවිතේ තියෙනවා කියලා මම අවබෝධ කරගත්තෙ පහුගිය අවුරුදු දෙකේදි. ඒත් අපි ජීවිතේ අද දුක් වෙන තරම ගැන අනාගතයේ දවසක කල්පනා කළොත්, අපිට හිතෙන්න පටන් ගතිවී, අපි ට දුක් වන්නට දෙයක් නැති බව.

අතීතය විසින් තමයි අනාගතය නිර්මාණය කරන්නෙ. අතීතයේ යම් සිදුවීමක විකල්ප කිහිපයක් තියෙනවා නම්, අපි වර්තමානයේදි නැවත අතීතයට යනවා වැඩියි. අපි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක එහෙම වුණා නම්, නැත්තම් අරෙහෙම වුණා නම් කියලා.

මම කකුල කැඩිලා ඇඳේ ඉද්දි හිතුවෙ, මම එදා සෙල්ලම් නොකළා නම් කියලයි. ඒත් සෙල්ලම් කරන්න නොගොහින් දෙක වසරෙ දෙවනි තට්ටුවෙ කොටු දැලේ එල්ලිලා ඉද්දි මට හිතුණෙ සෙල්ලම් කරන්න යන්න ලැබුණා නම් කියලායි. මම ශ්‍රෂ්‍යත්වෙට 161 ගත්ත වෙලාවෙ, 152ට තිබුණ ගෝතමියට නොගොහින්, 160 ට තිබුණ මහනුවර මහමායාවට ගියා නම් ඉවරයි කියලා මට නිතැම හිතුණා. ඒ හිතුණ හැම වාරයකම ගෝතමිය ඇතුළෙ මගෙ හිත බිදුණු දවස්. ශිෂ්‍ය නායිකාවක් වුණ දවසෙ මට ගෝතමියට පිට ලෝකයක් තිබුණෙ නෑ. ඇත්තටම ජීවිතේ කවදාවත් අපිට කැමති දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නෙ නෑ.

ඇත්තටම මම මේ ලිපි ලියන්නෙ මගෙ හිත ඇතුළෙ මම විසින්ම ගොඩ නගා ගන්න මේ තර්ක මම විසින්ම සාධනය කරගන්න. ජීවිතයෙ හැම කාලයම ලස්සන නැතත් ජීවිතයේ හැම කාලයම අවලස්සනත් නෑ. සමහර වෙලාවට මට හිතෙනවා මේ ලෝකය සාමුහික ජන කණ්ඩායමක් ලෙස ශිෂ්ටාචාරය බිහි කිරීම අරඹපු දා ඉඳන් කිනෙකා පිට වැඩ කොටසක් පවරලා තියෙනවා කියලා.

අපි ඉපදෙන්නෙ දෙන්නෙක් ගෙ ක්‍රියාවක් නිසා. අපි ජීවත් වෙන්නෙ අනෙක් අය නිසා. අපි ආදරය කරන්නෙ පවා වගකීමක් අපේ ඔලුවෙ පටවලා තියෙන නිසා. ටිකක් කල්පනා කළාම මේ ගැන කිසි දෙයක් හිතන්න ඕනෙ නෑ.. හැම වෙලාවෙම වෙන්න පුලුවන් නරකම දේට සූදානම් වෙලා හිටියාම ඉවරයි කියලා වෙලාවකට මගෙ හිත කියනවා.

සමහර වෙලාවට හිතෙනවා.. මේ ලෝකෙ ඕනෑම වෙලාවක සිදුවන ඕනෑම දෙයක සතුටු විය හැකි හොඳ පැත්තක් තියෙනවා කියලා. සිදුවන දේ කොහොම මොන විදිහට සිද්ධ වුණත්, මේ ජීවිතය හරිම ලස්සනයි. ඒ අපි කවදාහරි මැරෙන නිසා.