10/25/12

එන්ගේජ්මන්ට් එකක් ලස්සනට, ලාබෙට, අපිම කරමු.. (පළමු පියවර)

දැන් ඔන්න යාලුවනේ, තීන්දු තීරණ ඔක්කොම අරන්, දෙන්නෙක් විවාහ වෙන්න යනවා කියලා හිතාගෙන අපි ඉතුරු ටික ප්ලෑන් කරන්න පටන් ගමු. සිංහල එවුන්ට කඩ්ඩෙන් කරන ඉන්ටර්නැෂනල් වෙඩිං ප්ලෑන් වලට වඩා, මේ සරල තියරිය ඔයාලාගෙ හිත ගනීවි. අනිවාර්යයෙන්ම. ඒ වාගේම මම කියන්න ඕනෙ, මම මුලින්ම කතා කරන්නෙ බෞද්ධ ආගමේ ප්‍රධාන කර ගත්ත අයගෙ විවාහයක් ගැන. ඒ කියන්නෙ පෝරුව තියෙනවා කියන එක. හරි.. ඔන්න තීන්දුව ගත්තාට පස්සෙ, දෙන්නම ඉස්සල්ලාම යන්න ඕනෙ ගමේ පන්සලට... ගිහින් බුදුන් වැඳලා.. ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත් ගැට ගහගෙන වැඩ පටන් ගන්න එක හොඳයි.. පුලුවන් නම්, දළදා මාලිගාවටයි, කැලණියටයි ගිහින් වැඳලා කරලා ආවත් හොඳයි.. බෙල්ලන්විල කලුතර පන්සල් පවා.. බොහොම අනුහස් තියෙන තැන්ලු.. අනුහස කොහොම වුණත්, පටන් ගන්න යන ජීවිතේට ආගමෙන් දහමෙන් ශාන්තියක් ලැබේවා කියලා පතන එක හොඳයි.. 

ඉන් පස්සෙ තියෙන්නෙ නැකත් බලන වැඩේ.. නැකත් කොළ අරන්, ආවාම.. ඒ නැකත් කොළ වල බොහෝ දේ අඩංගු වෙනවා.. එන ගමන්ම, ගමෙන් පිට තැනකින් ඒකෙ පොටෝ කොපි හතරක් වත් ගහගෙන එන්න..(සමහරු ගමේ අය නැකත් කොළය දකිනවාට බයයි.) එකක්, අනෙක් පාර්ශවයට දීලා තියන්න, අනික් ඒවා අරන් තියන්න. නැකත් බලද්දි දෙපැත්තටම විශ්වාස කෙනෙක් ලවා බැලවීම හොඳයි.. ඉතිං

නැකත් කොළේ අඩංගු දේවල්

නීතියෙන් විවාහ වන දින අත්සන් කල යුතු සුබ මොහොත
තෙල් වලං ලිපේ තියෙන මොහොත
නැකත් බුලත් පිලිගන්වන නැකත
පෝරු හදන නැකත
මනමාලිට අන්දන නැකත
මනමාලයා පිටත් වෙන නැකත
පෝරු නංවන නැකත
පෝරුවෙන් බස්සන නැකත
පිටත් වෙන නැකත
දෙවනි දවසෙ මනාලයාගෙ නිවසට එන නැකත

(මම දන්න තරමින් ඔය දේවල් ටික තමයි තියෙන්නෙ.. )

දැන් අපි කලින් පෝස්ටුවෙදි කිව්වානෙ, බෞද්ධ විවාහයකදි පෝරු චාරිත්‍ර සහ අනෙක් දේවල් වලට වලට වැඩි බරක් සහ වෙහෙසක් දැරිය යුතු නිසා, වෙන දවසක විවාහයේ නීතීමය කොටස හෙවත් Engagement  එක ගැනීම හොඳයි කියලා. ඇත්තටම වෙනදාම අඳින ලා රතු සාරිය ඇඳලා, කච්චේරිය බඳින විවාහයක් නෙවෙයිනෙ අද මේ Engagement  එක. ඒකත් උත්සවයක්. 

 Engagement උත්සවය ලස්සනට ගන්න හැටි...

 Engagement  උත්සවයෙදි කෙරෙන්නෙ, කසාදය ලියාපදිංචි කරලා නීතිමය වශයෙන් බඳින එක. මෙතනදි ම තමයි එන්ගේජ්මන්ට් මුද්ද දාන්නෙත්. දන්න තරමින් ඉස්සර ඕක දැම්මෙ කෙල්ලට විතරයි. දැන් නම් දෙන්නම දානවාද මන්දා..හරි.. දැන් මේ දේ සිද්ධ වෙන උත්සවය කොහොමද කෙරෙන්නෙ කියලා අපි ප්ලෑන් කරමු. මම මේ කියන්නෙ, මේකට හුඟක් අය උත්සවයක් ගන්න කැමති නිසයි.. අකමැති කෙනෙක්ට කච්චේරියෙ බැඳලා.. තම තමන්ගෙ ගෙවල් වලට යන්න පුලුවන්. හැම උත්සවයේම ප්‍රමුඛ විලාසිතාව ඉදිරිපත් වෙන්නෙ ගැහැණියගෙන්, පිරිමියා අඳින්නෙ ඊට ගැළපෙන්න. මනමාලයාට ගැළපෙන්න මනමාලි අඳින්නෙ නෑනෙ..දැන් අපි පිළිවෙලින් කතා කරමු..

Engagement උත්සවය සඳහා මනමාලියගෙ ඇඳුම කෙලෙස විය යුතුද?

මේක තීරණය වෙන්නෙ අපිට තියෙන වත්කම අනුව. ඒ වාගෙම අපේ කැමැත්ත අනුව. හැබැයි මතක තියාගන්න, විවාහය තරම් ලස්සනට මෙතනදි අඳින්න එපා.. එදාට අඳින්න දෙයක් නැතිව යයි. මම නම් කියන්නෙ සරල ඇඳුමක් අඳින්න..සාරියක්, ගවුමක් , ඔසරියක්, ඕනෙ දෙයක්. නමුත් වැඩි චිච්චූර්ණ නම් එපා.. මේකප් එක නම් තීරණය වෙන්නෙ එකිනෙකාගෙ මුහුණ අනුව. සමහරුන්ට හෙවී මේකප් දාන්න වෙනවා.. මොකද මුහුණ පැහැපත් නැති නිසා.. මුහුණ පැහැපත් නම් ලයිට් මේකප් එකක් ඇති. ඔය අන්දන තැනකට ගිහින් නෝමර්ල් ඩ්‍රෙසිං එකක් කරන් එන්න. ඒක ඉහටත් උඩිං.. තමන්ට පුලුවන් නම් තමන්ම ඇඳගන්න. වැරදිලාවත් සැලෝන් කාරයාට හෝ කාරියට කියන්න නම් එපා එන්ගේජ්මන්ට් එක කියලා.. මොකද දන්නවාද? ඕකට වෙනම පැකේජ් එකක් දැන් උන් ළඟ තියෙනවා. ඕක ඇඟේ ගහන්න බලයි. ඒත් කිසිම විශේෂත්වයක් නම් නෑ.. කොයි පැකේජ් එකෙත් මේකපු කරන්නෙ එකම මුහුණට.. අනික පැය දෙක තුනකට ලොකු මේකප් එකක් ඕනෙ නෑ.. මල්බොකේ එක ගැන තමා දැන් ප්‍රශ්නයක් එන්නෙ. සමහරු මල් පොකුර ගන්න හරි ආසයි.. සමහරු නම් ආස නෑ... ප්‍රශ්නෙ ආස නැති අය ගැන නෙවෙයි.. ආස අය ගැන. 

ළඟදි වෙඩිං එකක බ්‍රයිස්මේට් කෙනෙක් වුණා නම්? ඒක අරන් තියා ගන්න.. ඒ කිට් එකම වුණත් මේ වැඩේට පට්ට.. අමතර කිසිම වියදමක් නෑනෙ.. ඒත් එහෙම අකමැතියි නම්, ඒ මල් කලඹට හරියන්න සාරිය හෝ ගවුම හෝ ඔසරිය හදාගන්න.. ඒත් ඉතිං මේ කිසිවකට කැමති නැත්නම් ඔබට මල් පොකුරක් නිර්මාණය කරන්නම වෙනවා. ඒක ඉතින් හැකි මට්ටමෙන් කරගන්න. ස්වභාවික මල් නම් ඔබටත් මල් මිටක් හදා ගන්න පුලුවන්. කඩදාසි නම් ඒක ඉගෙන ගත්තොත් තමන්ටම කරන්න පුලුවන්. නැත්තම් කෙනෙක්ට කියලා කරවා ගන්න. ගෙදර තියෙන මල් ටිකක් වුණත් හෝදලා කරලා මේ වැඩේට ගන්න පුලුවන්. කොණ්ඩෙට ගහන මල ඒ මලටම ගැළපුණොත් තමා ලස්සන..ඒකක නෙවී දෙයක් ඔබට කියන්නද? ඔබ ප්‍රෙෂ් මල් ගන්නවා නම් කනත්ත ගාව තියෙනවා ඒවා ලාබෙට.. ඔය මඟුල් මල් ගන්න යන්න එපා.. ඒවා පට්ට ගනං.. මල් ටිකක් ගත්තාම බොකේ එක ඔබටම හදාගන්න පුලුවන් ක්‍රමය මම අද කියනවා. එයින්ම මල් හතරක් පහක් ඔබේ කොණ්ඩෙටත් ගහන්න පුලුවන්.. විදියට කපා ගන්න..හදාගන්න පුලුවන්

මල් පොකුරක් සරලව හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

මල් ටිකක්, රෝස හෝ ඔබ කැමති වර්ගයකින් දි ග නටුව සහිතව කපා ගන්න.. 
මල් නටු කැපිය හැකි ඔක්තිමත් මුවහත්, කතුරක්
ඔබේ ඔසරියට සාරියට හෝ ගවුමට  හා ඔබ ගන්නා මල් වර්ගයේ පාටට ගැළපෙන රෙදි රිබන්.. යාර 3ක් පමණ (කොළපාට ගත්තා නම් ඉතින් ඕනෙ දේකට ඔට්ටුයි..) 
විශාල හිස තිබෙන අල්පෙනිති කිහිපයක්
පිරිසිදු වාස් එකක්
කාමර උෂ්ණත්වයේ වතුර ලීටරයක් පමණ
Floral Food 
Floral tape
Clear set හරි hairspray එකක් හරි 

දැන් ඔබ සමහරවිට දන්නෙ නැති ඇති, Floral Food  කියන්නෙ මොනාද කියලා.. flower food කියලා ඉල්ලුවාම ඔබට පැකට් වශයෙන් මිලදී ගන්න පුලුවන්. මේ වැඩේට නම් පුංචි පැකට් එකක් ඇති.













Floral tape ගැන බය වෙලාද? අහ් ඒවා රෙදි කඩේකින් හරි මල් කඩේකින් හරි ගන්න පුලුවන්. නම අවුල් වුණාට, නිතර දකින දෙයක්. මේ මල යටින් කොල පාටට තියෙන්නෙ.. 












හරි. හරි.. කඩේ සෙලෝටේප් වගේම තමා.. මේවා විකුණන්නෙත් රෝල් රෝල්.. මේ බලන්න..












හෙයා ස්ප්‍රේ එක පෙන්වන්න ඕනෙ නෑනෙ.. ඒක දන්නවානෙ.. හරි.... මෙන්න හදන විදිහ..

පරිස්සමට අවශ්‍ය මල් ටික තෝරගෙන අඟලක් පමණ නටුව කොට කරගන්න.. ඉන්පස්සෙ වාස් එක අරගෙන එයට කාමර උෂණත්වයේ වතුර ටික දාලා එයට  flower food පැකට්ටුව කලවම් කරලා, මල් ටික එහි තටුව යට අතට හිටින සේ, සාමාන්‍යයෙන් වාස් එකට මල් දානවා වාගෙම දාලා, පැය හතරක් පමණවත් තබන්න.. ඉන්පස්සෙ මල් ටික අරගන්න පිපී ඇති අනු පිළිවෙලට, විශාල මල් මැදටත් කුඩා මල් වටේටත් එන ලෙස ශක්තිමත්ව, Floral tape ආධාරයෙන් ඔතා ගන්න..දැන් ඔබ මල් මිටිය හදාගෙන අවසන්. දැන්, රිබන් පටිය ගෙන අවශ්‍ය ප්‍රමාණයට සියුම්ව, Floral tape එක එතූ කොටස වැසෙන සේ ඔතා ගන්න.. එය ඔතා ගත් පසු, කෙලවරට සපයා ගත් හිස විශාල අල්පෙනිති ගසා ශක්තිමත් කර ගන්න.. (අල්පෙනිති ගසද්දී, මල් නටුවලට වැදී ඉහලට යන ලෙසට ගසන්න. අනෙක් පසින් මුතුවුණොත් අතේ ඇනෙන්න පුලුවන්.) දැන් එක එක ප්‍රමාණයට ඇති දිග නටුව, අවශ්‍ය දිග ඉතුරු කර, නියමිත මිමිමකට අනු කූලව, එකින් එක කපා... සියල්ල සම මට්ටමකට ගේන්න..වැඩි වේලාවක් ප්‍රබෝධමත්ව මල් තබා ගැනීම සඳහා හෙයා ස්ප්‍රේ විදගන්න... 


මේ සරලම විදිහ.. රිබන් වෙනුවට, වෙන දෙයක් භාවිතා කළ හැකියි.. මල් වර්ගෙ වෙනස් කළ හැකියි.. මල් අසුරන ක්‍රමය වෙනස් කළ හැකියි.. ඒ ඔබේ කැමැත්තක්...

අද අන්දන ටික අද කතා කළානෙ... එහෙනං හෙට කතා කරමු, එන්ගේජ්මන්ට් එකට වඩාත්ම සුදුසු කොහෙද? කොහොමද? එතන සරසන්නෙ කියලා... 

10/24/12

අපි කාවද බඳින්නෙ?




ගැහැණු ළමයෙකුට හය හතර තේරෙන දා ඉඳන් සාරි අඳින ආසාව තියෙනවා.. වැඩි විය පැමිණි දා ඉඳලාම තියෙන්නෙ, මනමාලියක් වීමේ ආසාව.. මේ ආසාවේ ප්‍රමාණය එකිනෙකා අනුව වගේම පවුල් පසුබිම අනුවත් වෙනස් වෙනවා. ගැහැණු ළමයි ගොඩක් ඉන්න පවුලකට වඩා , තනි ගැහැණු ළමයෙක් ඉන්න පවුලක මේ දේවල් වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. කොහොම නමුත් මනමාලියට ඇඳීම එක දවසක දෙයක් වුණත්, පවුලක් ගෙන යාම දීර්ඝ කාලීන දෙයක් නිසා.. විවාහ වෙන්න අපිට ගැළපෙන කෙනෙක් ඕනෙ කරනවා.

ආදර සම්බන්ධ වලින් විවාහ වෙන අය වගේම තවමත් යෝජිත විවාහත් අපි අතරෙ තියෙනවා. ඔය යෝජිත විවාහ වලත් කාලයක් යෝජනා කරලා තිබිලා.. ඒ අය තම තමන්ට ආදරය කරලා  අඳුරගෙන බඳින අයත් ඉන්නවා.. බඳින්නම කෙලින්ම යෝජනා කරන අයත් ඉන්නවා..නමුත් මම යෝජිත විවාහ ගැන ඉන්නෙ පතෝල මතයක.

යෝජිත විවාහයක් වුණත්, වඩා හොඳ අවුරුද්දක් වත් ආස්‍රය කරලා බලන එක කියලා මට නම් හිතෙනවා. සමහරු යෝජනා ස්ථිර කරගත්ත ගමන්ම බඳිනවා.. ඒත් ඒක ටිකක් භයානකයි.. සමහර අය එක්ක නම් පැයක් කතා කළත් එයාව දැන අඳුන ගන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම බෑ..අපිට කෙනෙක්ව ජීවිත කාලටම කාලා බැලුවා වගේ තේරුම් ගන්න බෑ. ඒත් යම් තාක් දුරකට තේරුම් ගැනීම කසාද බැඳිල්ලෙදි වැදගත්.

යෝජිත මඟුල් ගේන්නෙ පත්තරෙන් හරි, කපූ කෙනෙක් හරි කපු ගෑණු කෙනෙක් හරි, නැත්තම්, මංගල සේවයක් හරි තමයි.. අපි, අපිට ඕනෙ විදිය කීවාම..ඒ විදියට ගැළපෙන අයව ඒ අය සම්බන්ධ කරනවා. පත්තරේ නම් පොටෝ එක දාන්නෙ නෑ. ඒත් කපුවො නම් පොටෝ ගෙනියනවා. සමහරු පොටෝ දෙන්න අකමැති අය ඉන්නවා..

හැබැයි ගෙන්වන්නම් වාලෙ මනමාලයො ගෙන්වීම හෝ මනමාලියො බලන්න යාම හොඳ නැහැ. යෝජිත විවහයක් නම්, අතාරින්න අමාරු කම් නෑනෙ.. ඒ නිසා කේන්දර විශ්වාස නම් ඒවා බලලා, මනමාලයාගෙ හෝ මනමාලිගෙ පොටෝ එකක් බලලා... අපි යවපු පින්තූරෙටත් ඒ පැත්තෙ අය කැමතිද බලලා.. දෑවැද්ද ( එපාම කරපු දෙයක්)  එහෙම ඕනෙ නම් ඒ ගැනත් කතා කරලා, හැම අතින්ම තමන්ට ගැළපෙනවා නම් විතරක් ඒ ඒ අය මුණ ගැස්වීම හොඳයි.. නැත්තම් මනමාලයන්ට යන්නං වාලෙ හෙප්පු දික් කරලා, කෙල්ලො නාස්ති වෙනවා වාගේම.. නිකං ම ශූන්‍ය භාවයට පත්වෙනවා. මනමාලයන්ටත් එහෙමයි. ඔය විහිලුවට කන්න විතරක් මනමාලියො බලන්න යන ජාවාරම් තියෙනවා. ඒ වාගේම යෝජිත විවාහ වලින් හිතා ගන්න බැරි භයානක අපරාධ පවා වෙලා තියෙනවා.

මනමාලයාගෙ පැත්තෙන් හොඳට හොයනවා .. වාගෙම මනමාලිගෙ පැත්තෙනුත් හොයනවානෙ.. ඒකට කියන්නෙ ඔත්තු බලනවා කියලා.. කවදාවත් මොලේ ඇති කෙනෙක්, අල්ලපු ගෙදරින් අහන එක හරි නෑ.. මොකද හුඟක් වෙලාවට ගෙවල් ගෙවල් ඉරිසියයි. ඔය ගැන දැන ගන්න හොඳ නම්, ඇත්තටම පොඩි ළමයින්ගෙන්....

හරි ඒ ඔක්කොමත් හොයා ගත්තා කියමුකො එහෙනං දෙගොල්ලො කැමති නම් තීන්දු කරලා ටිකක් ආස්‍රය කරන එක හොඳයි.. ඒත් ඉතිං අද කාලෙ මඟුල් හොයන්නෙත් ඉක්මන් විවාහ වලට නිසා කාලෙ නම් හැබෑවටම මදි...

මේ ඔක්කොම අලකලංචි එක්ක අපිට ගැළපෙන කෙනා තෝර ගත්තා කියමු. දැන් තමා උත්සව සිරි පටන් ගන්නෙ.

ආදර සම්බන්ධයක් මූලික කොට ගත්ත විවාහයක නම්, කොල්ලාගෙ ගෙදරින් කට්ටිය කෙල්ල බලන්න ආවා.. ඒ දෙම්පියො කතා කළා.. කෙල්ලගෙ දෙමව්පියන්ට කොල්ලාගෙ ගෙදර එන්න ආරාධනා කළා.. ඒ අයත් පුලුවන් දවසක ගියා..කොල්ලාගෙ ගෙදර අයත් හොඳට සලකලා..
(@ තාරක- කෙල්ලට බත් එකක් එහෙම එවන එක වෙන්න නැන්දම්මාගෙ වගකීම.)  එච්චරයි... ඉතිං..

ඒත් යෝජිත විවාහයක නම් මනමාලිය බලන්න ගිහින්.. එයාට කැමති නම් ඒ පැත්තෙ නෑයන්ට මනමාල පාර්ශවයෙන් එන්න කියනවා. ඒ අය ගිහින් බලන් ආවාට පස්සෙ, තීන්දුවට කියලා නැවත වරක් මනමාලයාගෙ පැත්තෙන් එනවා. ඒ එනකොට රසකැවිලි තෑගි බෝග එහෙම ගේනවා.. ඒවා නම් ඉතිං ඒ තරම් වැදගත් දේ නෙවෙයි.. ගෙදරකට එනකොට අත වන වන කවුරුවත් එන්නෙ නෑනෙ.


විවාහයේ නීතිමය පැත්ත

කසාදයක සිරිත් විරිත් කටයුත්තට වඩා නීතිමය පැත්ත වැදගත්. එදා හෙළදිව පොතේ රොබට් නොක්ස් කියලා තියෙන විදියට එදා ලංකාවෙ විවාහ එකක්වත් නිත්‍යානුකූල නෑ. එහෙත් අද වෙනකොට ලංකාවෙ විවාහ නීත්‍යානුකූල වීම අනිවාර්යයි. වෙන කෙනෙක් එක්ක කලින් විවාහ වුණ කෙනෙක් නම් දික්කසාදය තිබිය යුතුමයි. බහු විවාහය වරදක්. අනික් ලොකුම දේ තමයි විවාහය ලියාපදිංචි කරන නොතාරිස් ගෙ, වලංගු භාවය.. විශේෂයෙන්ම යෝජිත විවාහයකදි දෙපැත්තම හොඳින් හඳුනන රෙජිස්ටාර් වරයෙක් ගේන්න කියන එකයි මගේ මතය නම්.. ඔවුන්ට වාගෙම ඔබටත් ඒ කෙනා විශ්වාස වෙන්න ඕනෙ..

මගේ තව උපදෙසක් තමයි.. ඔබේ චරිත්‍ර උත්සවයයි මේ උත්සවයයි පටල ගන්න එපා. ඒක අමතර වෙහෙසක් වෙන්න ඉඩ වැඩියි. රෙජිස්ටාර් එක්ක එන්න.. ඒ මනුස්සායට මුදල් ගෙවලා වෙලාවට යවන්න ඕනෙ..එයාගෙ වාහන බලන්න ඕනෙ... ඔය රෙජිස්ටාර්ලා අමුතු ජාතියක්. ඒ නැකත සහ පෝරු නැකත අතර ගැටලු.. මතුවෙන්න පුලුවන්. අනික ඒ විවාහයෙන් පස්සෙත් රටට ම ප්‍රසිද්ධ කරලා කරන චාරිත්‍ර විවාහය ට ඉස්සල්ලා දෙන්නාට තව ටිකක් ආස්‍රය කරන්න පුලුවන්. ඒකයි ලොකුම දේ.. ඒ වෙලාවක හරි අවුලක් දැනුනොත් කන්‍යාභාවය වාගේම පිරිමි භාවය පරිස්සම් කරගන්න හැකි වෙයි.. (පේන්නෙ නැද්ද නීතියට පමණක් වෙන් වූ විවාහ වලින් දික්කසාද වෙච්ච කීදෙනෙක් පත්තරේ ආයෙ මඟුල් හොයනවාද කියලා..)

 හැම විවාහය වාසනාවන්ත වේවා කියලා පැතුවාට ඕක සුවිප් එකක් වාගෙ තමයි. මුල් දිනුම ඇදෙන්න පුලුවන්. දිනුමක් නැති වෙන්නත් පුලුවන්.. සැනසිලි තෑගි තියෙන්නත් පුලුවන්.. ආදරේ කරලා බැඳලාත් රණ්ඩු වෙන අය ලෝකෙ කොයි තරම්ද? යෝජිත ව හදිස්සියෙ බැඳලාත් ආදරෙන් පවුල් කන අය කොයි තරම්ද? ඒ වාගෙම ටික කාලයක් ආදරෙන් ඉඳලා.. රණ්ඩු වෙලා.. ඒවා සමාදාන කරන් ආයෙ හොඳින් ජීවිතේට මුහුණ දෙන ඇත් ඉන්නවානෙ..බැරි තැන දික්කසාද වෙන අය වාගෙම.. ඒ දෙන්නාම ආයෙ බඳින වෙලාවල් පවා මම නම් දැකලා තියෙනවා..

ඔබට ගැළපෙනම කෙනා විවාහයට ලැබෙයිද නොලැබෙයිද කියන එක නම් කියන්න අමාරුයි.. ඒත් කර්ම ශක්තිය අනුව ලැබිය යුතු කෙනා ලැබෙයි. නැත්තම් ඔබ නොබැඳ ඉඳී.. බඳන්නෙ නැත්තම් මින් එහාට මේ පෝස්ට් ටික කියවනවාට වඩා.. ඔබ වෙන පොතක් කියවීම හොඳයි... ඔබ බඳිනවා නම්, ඔබට මේක වැදගත් වෙයි...

(මම මේ ලිපි පෙළ ලියන්නෙ... කසාද දහ පහළොවක් දැකපු පළ පුරුද්දෙන්...මට වරදින්න පුලුවන්.. අනික මේක වයස 23 ක තරුණ දියණියක් (ඒ කියන්නෙ මම) ලියන්නෙ.. තාම බැඳලා නැති..)

අපි බඳිමුද? (පළවෙනි කොටස)



කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නා පරම්පරාවක් වෙන අපේ අම්මාගේ මෙන්ම අප්පච්චීගේද පරම්පරාවේ, නිතරම සිද්ධ වෙන දෙයක් තමයි විවාහ උත්සව.. දැන් කොල්ලො අහයි.. ඇයි කොල්ලො හිටියොත් මඟුල් නැද්ද කියලා... නෑ නෑ තියෙනවා.. ඒවාට කියන්නෙ ඉසතිය මංගල්ලය හෙවත් හෝම කමි.. නැත්තම් ආවාහ කියලා. ඒවාට නැකත් සිරිත් නැහැ.. ඒ නිසා ලොකු මහන්සියක් දරන්න.. වරදින්න ඉඩ අඩුයි.. ඒත් හෝම් කමිං එකටත් දැන් හුඟක් මහන්සිවෙනවා...

හරි හරි.. දැන් මම ඔයාලාට කියන්නෙ පුංචි ගෙ වෙඩිම ගැන. ඒත් මට කියන්න ඕනෙ ඒක ගැන නෙවෙයි... වෙඩිං ගැන. ඔන්න පුංචි ට යන්තම් 32 දි මඟුලක් ලැබුණා.. 1979 තමා එයා ඉපදුනේ...කපුවො, සෙත් කවි, පූජා වට්ටි,වලට පින් සිද්ධ වෙන්න මඟුල හරි ගියා කියලා තමා ආච්චිලා කිව්වෙ. අපේ අම්මා පුංචිට වඩා අවුරුදු 18ක් වැඩිමල්. ඒත් තාම අම්මා පුංචිට වඩා ලස්සනයි කියලා තමා කට්ටිය නම් කියන්නෙ. මම නම් ඉතං මව් පාර්ශවේ ගති ගෑවිලාවත් නෑනෙ..ඒ නිසා මම ඉතිං ඔය ලස්සන දකින්නෙ සුදු කලු විදිහට නෙවී. පුංචි කලුයි. අම්මා සුදුයි. අම්මා මගේ. පුංචි... ඉතින් එයත් මගේ.. අම්මාට මම හුඟක් ආසයි.. ආදරෙයි.. පුංචිටත් ආදරෙයි. ඒත් අම්මාට ඊට වඩා ආදරෙයි. ඉතිං මටත් අම්මා ලස්සනයි. හැබැයි මට පුංචිත් ලස්සනයි.

කොහොම හරි, ආපු මනමාලයො හැට තුනකින් පුංචි අම්මාට කැමති වුණේ දෙන්නයි. ඒ දෙන්නාගෙන් කෙනෙක් නම් පුංචිට කැමති වුණේ.. කොළඹ නවතින්න තැනක් හොයා ගන්න. අනික් කෙනා පුංචිට කැමති වුණේ, ගුරුවරියක් නිසා.. මොකද ඒ මනුස්සයා වැඩ කළේ වරායෙ. සම්පූර්ණ දවසක් වැඩ. දවසක් නිවාඩු... ඉතින් ගුරුවරියක් ව බැන්දොත් විතරයි. දවස් දෙකකට පාරක් හරි දෙන්නාට මුණ ගැහෙන්න පුලුවන්.කොහොම හරි ඒ මනුස්සයාට වාසනාව උදා වුණා මගේ බාප්පා වෙන්න. ඇයි මෙච්චර මනමාලයො පුංචිට අකමැති වුණේ කියලා, අපි දැන් කල්පනා කරලා බලමු..

පුංචි පශ්චාද් උපාධිධාරියෙක්. එයා හෙව්වෙත් ඒ තරම් අධ්‍යාපනයක් ඇති අය. නමුත් ඒ අය කිව්වෙ, අපිට ඉගෙන ගත්ත අය ඕනෙ නෑ.. හුරතල් කමට, අධ්‍යාපනය නිසා එයාලාගෙන් ගිලිහුණ තරුණ කාලය අරන් දෙන්න පුලුවන් කෙනෙක්, කෙනෙක් හොයන්නෙ කියලා.. ඉතින් අපේ  පුංචි උන් ආපු ගමන් හාර බාර දේශණ දුන්නම උන් බය වෙන්න ඇති. කොහොම හරි, බොහොම කොහොම හරි බාප්පා එයාට කැමති වුණ නිසා, අපි මේ මනමාලි මනමාල කපු කේස් එක වෙන පෝස්ට් එකකට තියා ගමු.

දැන් ඔන්න මංගල්ලය.. එහෙන් මෙහෙන් බැලුවාට පස්සෙ, ඔන්න මෙහාට ඒ අය ආවා තීන්දුවට.. මේවා වෙන්නෙ ඉතිං මහ ගෙදරනෙ.. අපි එහෙ ගියා.. (පාර පැන්නාම එහෙ.. බස් ඒකේ යන්න තරං දුරක් නෑ..) තීන්දුවට එන දවසෙ, එහෙන් ඒ ආපු ගාණට හරියන්න මෙහෙට රස කැවිලි අරන් ආවා.. පුංචිට සාරියක්, ආච්චිලාට සාරි..සීයාට කමිසයක් ගෙනාවා.. අපේ කිරි අම්මා.. ඒ කියන්නෙ මගෙ අම්මාගෙ අම්මා..මේ ආච්චිගෙයි සීයාගෙයි අක්කා.. එතකොට එයා පුංචිගෙ ලොකු නැන්දා..එයාත් උත්සවේ මූලිකයෙක් වුණා. ආපු කට්ටිය හොඳට කෑවා. එහෙ බාප්පාගෙ අම්මා.. ඒ කියන්නෙ ඒ ආච්චි නම් මට තුන් හතරවතාවක්ම කන්න කිව්වා... එයාලාට අනුව මම පොඩි එකෙක් වෙන්න ඇති. මොකද උස මහතින් මම නංගිට වඩා හුඟක් පොඩියි....ඒත් මම ඔයාලාට වඩා ලොකුයි...

කොහොම හරි තීන්දුව දවසේ ඒ අය කිව්වා.. සති දෙකක් ඇතුළත රෙජ්ස්ට්‍රේෂන් එක ගන්න කියලා..දැන් රෙජිස්ට්‍රේෂන් වලටත් ලස්සනට අඳිනවානෙ.. ඇඳලා කරලා රෙජිස්ටර් කරලා .කාලා බීලා... ඔන්න.. මාස තුනයි මඟුලට.. පුංචි දැන් බය වෙලා.. කොහොමද කරන්නෙ.. එයා ටීච නිසා.. රෙජිස්ටරේ වාගේ ලියලා..අපි හැමෝටම වැඩ බෙදුවා.. බෙදපු වැඩ ඔක්කොම අඥ්ඥ බකල් කළේ පොටෝ මාමා..ඔන්න ඊට පස්සෙ අපි හැමෝටම වැඩ කරන්න උනේ පොටෝ මාමා ගෙ ටයිම් ටේබල් එකට.. කොහොම නමුත් මඟුල නම් ඉවර වුණා... හෝ කමිං එකත් ඉවර වුණා.. පුංචි හොරෙන් හංගගෙන කියවපු තේනු සර්ගෙ, චාරිත්‍ර පොතෙන් දේවල් කළේ නැද්ද මන්දා.... මම ඒක කියවලා නෑ...

අන්තිමට ඉතිං වෙඩිං එක අපේද කියලා හිතා ගන්න බැරි මට්ටමක් තමයි මට නම් ඇති වුණේ...අපිට තිබුණෙ බාර දීපු කඩ සාප්පු ඒවා කළාද කියලා බලන එක...ඒවා කෙරුණා.. ඒත් මන්දා... මට කිසිම විදියකින් දැණුනෙ නෑ.. ඒක අපේ කියලා.. අනුන්ගෙ පෝරු, අනුන්ගෙ කෑම.. ඔක්කොම අනුන්ගෙ... ඒත් මේවා අපේ විදිහට ලස්සනට කරන්නම බැරිද? මම කල්පනා කළා.. හුඟක්.. මම දෙසැම්බර් වෙනකන් කියන්න සූදානම් වෙන්නෙ.. අපි අපිට ගැළපෙන සුන්දර විවාහයක් අතේ මුදලට , හිතේ කැමැත්තට, උපරිම ලස්සනට කරන හැටි... මම  මාස කිහිපයක් සොයා ගත්ත තොරතුරු සරළව ඔයාලාට කියනවා.. (විශේෂයෙන්ම ගැහැණුන්ට මේවා වැදගත්..)