9/30/12

සමාජීය හුදකලාවක තුන් අවුරුද්ද




බස් රේඩියෝ සම්මාන උළෙලට නිර්දේශ වීම ගැන තිබෙන සතුට ට වඩා වැඩි සතුටක් සම්මානය නොලබීමෙන් ඊයෙ මම අත් වින්දා... හැම එකටම හේතුවක් තියෙනවා. නමුත්, හැම තැනම කියන්න බැහැනෙ. කොටින්ම කිව්වොත් පාටි ඕනෙ නෑනෙ.. ඒක කොහොම වෙතත්, සම්මාන ගත්ත හැමෝටම සුබ පතනවා. කෝච්චි අයියාටයි, සුදාටයි විශේෂයෙන්ම.

අද මම පෝස්ට් එකක් දාන්නෙ හරිම මහන්සියෙන්, දිග ගමනක් උදේ ඉඳන්ම ගිහින් ඉවර කරලා, ගෙදර ආපු සැනින්, ඇඟපත හෝඳන් කර ගෙන වෙළඳ දැන්වීම් පිටපත් තුනක සාහිත්‍ය සටහන් තුනක් රෑ දහයට කලින් ඉවර කරලා දුන්නා. ඇස් දෙකත් හුඟක් වෙහෙසයි. ඒ විතරක් නෙවෙයි, හෙට නාට්‍ය වැඩමුළුවක් තියෙනවා. මම එයට සහභාගි වෙන්නත් ඕනෙ. ඒත් අද දවසෙ ලිපියක් නොලියා බැරි නිසා ලියනවා.. දිග ගමන ගැන අපූරු විස්තරයක් ළඟදීම මුහුණු පොතේ දමන්න මම හිතාගෙන ඉන්නවා. පුංචි ඉඟියක් දුන්නොත්, මමයි මගේ යාළුවොයි ගියෙ, වතුරවිල සෙනසුනට, වනවාසී හිමිවරු බැහැදකින්න.

අද මගේ බ්ලොග් එක සිව්වන වසරට පා තබනවා. මම බ්ලොග් කරණයෙන්, සිව්වන වසරට පා
තැබුවෙ බක් මහේ වුණත්, ඒ බ්ලොග් එකක්වත් දැන් ක්‍රියාකාරී මට්ටමේ නෑ... මේ බ්ලොගයට ඉස්සල්ලාම ලිපියක් දාලා තියෙන්නෙ 2009 වසරෙ අද වගේ දවසක. කාලය ඉක්මනින් ගෙවෙනවා. එදා මගෙ වයස 19 යි. අද 22 යි... තව මසකින් මට 23 ක් වෙනවා.... ඒ ටික කාලෙට මට හුඟක් දේ ලැබුණා... නොලැබුණා... ඒ හැම දේ ගැනම මැදහත්ව බලන්න පුලුවන් මානසිකත්වයක් දැන් මට ලැබිලා තියෙනවා.

ලැබීම් නොලැබීම් එක්ක ගෙවිලා ගිය පහුගිය ජීවිතය ඇතුළෙ, මම අද බොහොම තෘප්තිමත්, මේ ගමන බ්ලොග් එක ඇතුළෙ වගේම ජීවිතයෙදිත්, එන්න මට උදව් කළ අයට මම ණය ගැතියි... මම ඒ අය හැකි පමණ මතක් කරනවා.. ඒ අය අධ්‍යාත්මය වර්ධනය වෙනුවෙන් මට කළ සහ කරන උදව්ව මගේ හදවතේ හැමදාම රැඳිලා තියෙනවා... සමහර ඒවා විග්‍රහ කළ හැකියි. සමහර දේ විග්‍රහ කළ නොහැකියි... නමක් නමක් ගානෙ කියන්න ආසයි.. එතකොට අර රෑට වෑන් එකේ ඇවිත්, ළඟ ගෙවල් වල මරණ එනවුස් කරනවා වගේ නිසා නොකියා ඉන්නවා කියලා මම හිතුවා..

අලුත් වෙනසක් එක්ක හමුවෙමු.... ඒ වෙනස මොකක්ද කියලා නොකියා ඉන්නම්!! හැමදාම රැඳිලා ඉන්න....

9/26/12

කට වහගෙන සිටීම සහ මගේ ශිෂ්‍යත්වය



ඊයෙ රෑ ශිෂ්‍යත්ව ලකුණු ආවා. අද දවල් වෙනකොට ඉස්කෝල වලට ආවා.. පුළුවන් අය ඊයෙ රෑ ඉන්ටර්නෙට් වලින්ම බැලුවා. අපේ අල්ලපු ගෙදර නංගි ෆේල්, පැත්තෙ ගෙදර නංගියාත් ෆේල්.. අල්ලපු ගෙදර නංගිට ගමේ ඉස්කෝලෙම ඉන්න වෙනවා. පැත්තෙ ගෙදර නංගිට ඒ ප්‍රශ්නෙ නෑ.. එයා සංඝමිත්තාවෙ නිසා.. එක්කො අපේ ඉස්කෝලෙට නැත්තම් ආනන්ද බාලිකාව එයාලාට රෙජිස්ටරේ පිළිවෙලට හම්බ වෙනවා... මේ දේවල් එක්ක අවට ඇහෙන කතා නිසා මම ගියා අවුරුදු දොළහක අතීතයට... ඒ නිසා මම ඒවාට උත්තර නොබැඳ කට වහගෙන හිටියා..

ඒ දවස් වල මට ඇවිදින්න බැහැ. දුවන්න ගිහිං වැටිලා කකුල කැඩිලා.. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙත් නෑ.. ශිෂ්‍යත්ව පන්තියට ගියෙත් නෑ.. අප්‍රේල් මාස විතර ඉඳලා. යන්තං පොළවෙ අඩිය ගහන්න පුළුවං වුණා විතරයි.. ශිෂ්‍යත්වය ලියද්දි... හැමෝම පාස් වෙන්න කියලා කිව්වත්, ඒක මට සැක නිසා මම කට වහගෙන හිටියා..

 විභාගය වෙලාවෙදි නැගෙන හැම ප්‍රශ්නයක්ම සුපයිසර්ට කියන්න කියලා ටීචර්ලා අපට කිව්වා.. මට මතකයි.. මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ කේන්තියෙන් කියලා. සුපයිසර්ට හිටපු ටීච ළඟ පාසලක. එයා පුද්ගලික ශිෂ්‍යත්ව පන්ති කළා.. එයාගෙ පන්තියෙ ළමයි තුන්දෙනෙක් ඒ ශාලාවෙ හිටියා. එයා ළමයින්ට උත්තර සංඥා කළා.. පොඩි වුණත් මට ඒක දැනුණා. අසාධාරණයට විරුද්ධව කෑ ගහන්න ඕනෙ කියන හැඟීම ආවත්, අනේ මගේ කෑ ගැහීම ඇහිය යුත්තා එයා ම හින්දා මම කට වහගෙන හිටියා.. 

ඉන් විනාඩි කීපයකට පස්සෙ ඒ සුපයිසර් මං ගාවට ආවා.. මම ලියන විදිහ එයාට මැජික් එකක් වුණා.. වටේම හිටපු සුපයිසර්ලා එක එක්කෙනා ගෙන්නලා, මම ලියන විදිහ ඒ අයට පෙන්වන්න පටන් ගත්තා.. කට්ටියම මගේ ඉහට උඩින් එබෙනවා... මට හුස්ම ගන්නත් බෑ... ඒ මදිවට කලුවරයි.. කාට කියන්නද සුපයිසර්ටම මිසක්. ඒ නිසා මම කට වහගෙන හිටියා..



එක ප්‍රශ්න පත්‍රයක් ඉවර වෙලා අනික් එකට ඉස්සර පුංචි විවේකයක් ලැබුණා.. සෙල්ලං කරන්න නොලැබුණ නිසා ඉන්ටර්වල් එකක් නෙවෙයි.. මම බනිස් ගෙඩියක් කෑවා.. එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ මන්තිල. එයාගෙ තාත්තා මුද්‍රණ සංස්ථාවෙ. මන්තිල අතට එයා කොළයක් දුන්නා.. මන්තිල ඒක කමිස සාක්කුවෙ දා ගත්තා.. එයා ඒ කොළය ශාලාවට අරන් ගියා. ශාලවට පිටින් කොළ ගෙනියන්න තහනම්. මම ඒ බව දන්නවා. ඒත් ඔහු සුපයිසර්ගෙම ගෝලයා නිසා මම කට වහගෙන හිටියා...

ශිෂ්‍යත්වය ඉවර වුණා. ටික කාලයකට පස්සෙ ටොයිලට් එකක් අස්සෙන්, ළමයෙක් බාගෙට ලියපු ප්‍රශ් පත්‍රයක් හමුවුණා.. ළමයා කවුද කියලා දැන ගත්තත් ඒ ඉස්කෝලෙම ඉහල වසරක ටීචර් කෙනෙක් පුතෙක් නිසා, හැමෝම කට වහගෙන හිටියා...

මාස දෙකක් විතර ගෙවුණා.. මට ඇවිදින්න පුළුවන් දැන්. ඒ නිසා පත්තු බඳින්න යන දවසක්. අම්මා එක්ක මම පල්ලෙ වෙල ගියා.. මම ඇඳගෙන හිටියෙ, කහපාට ඇඳුමක්. සායකුයි ටීෂර්ට් එකකුයි.. කොස්වත්තෙන් බහිනකොට, ගැහැණු කෙනෙක් හමුවුණා. ඇය අම්මා කී විදිහට හයේ දරුවෙකුගෙ මවක්. වැඩිම ලකුණු 161 යි. ශිෂ්‍යත්ව ලකුණු මේ දැන් ආවා.. ඇය කිව්වා.. අපි එදා ඒක එන බව කලින් දන්නෙ නැති නිසා.. ඇත්තද කියලා අහගෙන, හෙමින් හෙමින් කන්ද ඇද්දුවා. අම්මාට විශ්වාසයක් තිබුණෙ නෑ..මම පාස් කියලා..මට විශ්වාසයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මම කට වහගෙන හිටියා.

චුට්ට දුරක් යනකොට තව හතරෙ නංගි කෙනෙක් ගෙ අම්මා කෙනෙක් ආවා... ඔයාගෙ දුව කළා නේද? මේ පාර 135න් පාස් කරලා තියෙන්නෙ.. ඉස්කෝලෙ පළවෙනියා හීනැටිකුඹුර පැත්තෙලු.. අම්මා එතකොට හිත හදා ගත්තා මතකයි .. ඉස්කෝලෙන් වැසිකිලියෙ තිබිලා හම්බවුණ ප්‍රශ්න පත්‍රයෙ අඩුව හොඳට පුරවපු තව ප්‍රශ්න පත්‍රයක් දෙපාර්තමේන්තුවට යන්න ඇති කියලා.. අම්මාගෙ ඇස් වල වේදනව දැකලා මම කටවහන් හිටියා...

ඉස්කෝලෙ ගේට්ටුව ගාවදි, ඉස්සරහට එන එන අම්මලා, මගෙ දිහා බලන්න, මුමුණන්න ගත්තා. වෙනදා හිනා නොවෙන අය මා එක්ක හිනා වෙනවා කියලා දැනුනා... කොහේදෝ ඉඳලා කුසුම් ටීච ඇවිත්, කවදාවත් නැතුව මගෙ ඔලුව අතගෑවා.. පුතේ ඔයා මේ පාර, මගේ නම්බුව බේරුවා... ඔයා තමයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝළෙ වැඩිම ලකුණු.. වෙනදා කතා නොකරපු ටීචර්ලා මාව තුරුලු කර ගත්තා... වෙනදා මම ආසාවෙන් කතා කරන්න ගිහින්, මාව ගණන් නොගත්ත යෙහෙළියො මට සුබ පතන්න ආවා.. අම්මා සතුටු වෙනවා දැක්කා.... ඉස්කෝලෙ රැස්වීමෙදි මාව හිටවලා, අප්පුඩි ගැහුවා.. මගේ පින්තූරෙ ලොකු කරලා රාමු කරලා.. බිත්තියෙ එල්ලුවා... සිද්ධ වුණ දේ හරිම පුදුමාකාර නිසා මම කට වහගෙන හිටියා...

මට අලුත් ඉස්කෝලයක් ලැබුණා. ඒ ගෝතමිය. මගෙ ලකුණු ගණනට ලැබුණේ ඒ පාසල.. මම ඒකට යන්න අස් වෙන දවසෙ, හුඟක් අය මට සුබ පැතුවා... දන්න තැන් වල තකතීරු කම් සහ කෛරාටික කම් මෙහෙම නම් නොදන්න තැනක් කොහොම වේවිද කියලා හිතා ගන්නවත් බැරි නිසා, කථික තරඟ හැම එකෙන්ම පළවෙනියා වුණත්  මම අවසාන වරටත්, ඒ ඉස්කෝලෙදි ඒ වෙලාවෙදි කට වහගෙන හිටියා...

9/24/12

2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පංගුව



ඉතින් ඊයෙ උදේම මම ලෑස්ති වෙලා ගියා 2012 BMICH පොත් ප්‍රදර්ශනය බලන්න.  මාරයා අයියා ලෝබි කියලා කීව නිසාම! දොර ළඟින් ටිකට් එකක් අර ගත්තා... ටික දුරත් ඇතුළට යනකොට මාධව හබරකඩ හමුවුණා.. තව යාලුවෙක් එක්ක.. එයාලාත් එක්ක ටිකක් කතා කරලා, නිසුපා ව හම්බවෙලා, එයාට ඩීවීඩී දුන්නා (චිත්‍රපටි 4ක්) නිසුපා ට ඒවා ඇතුළට විකුණුවා නම් 1000ක් හම්බ කරගන්න තිබ්බා... මම නම් එයාට 100% ක වට්ටමක් දුන්නා...

ඔන්න ඉන්පස්සෙ උදිත සේනාරත්න හම්බුණා... කට්ටියම එකතු වෙලා.... ඇවිද්දා... ඉස්සරහට Gold Fish හම්බ වුණාද මන්දා!! මට මීටර් නැහැ....
මේ වෙලාවෙ, තාරක අයියා ආවා.... ඉන් පස්සෙ ඉතින්, මට අනික් කට්ටිය ගැන හොයන්න බැරි වුණා... නිසුපාව නම් තැන් දෙක තුනකදි දැක්කා!! 
ඉතිං මම පොත් අරගත්තා. අරගෙන ඉවර වුණාම තමා දන්නෙ, 10000+ පොත් අර ගෙන, වියදම ගියෙ 8000 ටත් අඩුවෙන්... මට ලැබිලා තියෙන සම්පූර්ණ වට්ටම 2600 ට වඩා වැඩියි. ඒක ලොකු ලාබයක්.

විදර්ශන එකෙන්, හමෝටම 20% වුණාට, මට නම් 30%ක් හමුවුණා... මම සාමාජිකනෙ. අනික් ඒවාගෙන්, 20%යි. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය නම් මොන දෙයක් වත් නොබලා එන හැමෝටම 30%ක් වට්ටම් දුන්නා.....විදර්ශන ඒකේ 3000ට වැඩිය පොත් ගන්න අයට, ලස්සන බෑග් එකක්! ආසාවෙ බෑ... අපිට ගන්න බැරි වුණා!

මට ගුරුගීතය රුපියල් 80ට හමුවුණා. නැතිවුණ පොත 100ක්! විදර්ශන පොත් හලේ, ගන්න හිතාගෙනම ගිය පොත් වලින් සියක් වසක හුදකලාව සහ අක්ෂර සෙනඟ තිබුණෙ නෑ... ඒ ලොකු දුකක්.ඒත් නුදුරෙදිම සියක් වසක හුදකලාව පොත ගහපු ගමන් දන්වනවා කියලා ඒ අක්කා කිව්වා!!.

කෑමට ගණන් බැලුවාම 600ක් පමණ වියදම් වෙලා!!..අයියාට කන්න දීලා මම නොකා හිටියා නම්, 300 ට ලස්සන පොතක් ගන්නවා.. ඒත් බඩගින්නෙ ඉන්න බෑනෙ.. තාරක අයියා නැත්තම් මේ තරම් පොත් ලැබෙන්නෙ නෑ...  එයාට මගෙ ආදරය වගේම, පොත් කාවෙක්ට පොත් අරන් දීමට සහය වීමේ පිනත් මහ ඉහලින් අනුමෝදන් වෙන්න ඕනෙ...

මම කැටපත් පවුරෙ කවි දෙකක්ම ලිව්වා!! බලමු... ලබන අවුරුද්දෙ පොත් එකක් හරි පල වෙයිද කියලා ... මගේ කවියක් තියෙන පොතක් විකුණන්න තියෙනවා නම් දැක්කා..


ජීවිතය කියන්නෙ, ආත්මයේ පුංචි ලැඟුම් හලක්. මම ඒක තේරුම් ගත්තෙ, හොඳටම අසනීප වුණ දවසක. කොහොම වුණත් කවදා හරි දවසක, අපිට ඉතිරි වෙන්නෙ.. අපි ජීවිතේට එකතු කරගත්ත වටිනාකම් විතරයි. රසය විතරයි.. සතුට සහ දුක විතරයි.. ඒ දේ තේරුම් ගන්න ඕනෙ..මට දැනෙන දේ තමයි, පොත් වලින් ජීවිතයට ආත්මයක් දෙන්න පුලුවන්. පොතක් කියවනවා කියන්නෙ, හරියට තව ආත්මයක් ලැබුණා වාගේ. ඒත් හුඟක් පොත් අතට අරන් කියවන්න ආස හිතුණාට, පොතක පසුපිටේ තියෙන ඉලක්කම් ඒකට මහ හුඟක් හරස් වෙනවා... හුඟක් අය ප්‍රදර්ශනයට එන්නෙ, පොත් අතර ජීවත් වෙන්න.. ගන්න සල්ලි ඇතත් නැතත්, පොතට පතට ආදරය කරන අය, ඒ අතර ඉඳීමෙන් මහ විශාල සතුටක් ලබනවා ඇති කියලා මට හිතෙනවා..
මම මේ පාර පොත් ගත්තා!! තාරක අයියාගෙ සහයත් නොඅඩුව ලැබුණා!! ඇත්තටම, පොත් ප්‍රදර්ශනයෙදි, පොත් වලට ලොකු වට්ටමක් ලැබෙන එක නම් ලොකුම දෙයක්. 30% 20% තමා ලැබෙන වට්ටම්! සමහර තැන් වල 40%ත් දෙනවා මම දැක්කා... පොත් ප්‍රදර්ශනය තව දින දෙකක් ඉදිරියට තියෙන නිසා...පුංචි දෙයක් කියන්නම්, පොත් ගනිද්දි, හැම වෙලාවෙම, පරණ මුදණයෙන් ඉතිරි වුණ පොත් තෝරා ගන්න...

උදාහරණයක් - සුමිත්‍රා රාහුබද්ධ ගෙ ඉටිපහන් අලුත් මුද්‍රණය 500 ක්. ඒත් පරණ මුද්‍රණය 200ක්.
මම අතේ තිබුණ මුදලට මට ඕනෙම කියලා හිතුණ පොත් ටික ගත්තා... ආසාවෙන්ම හිටපු පොතක් හමුවුණේ නැහැ... ගර්ෂියා මාර්කේෂ් ගෙ හුදකලාවේ සියක්වසරක්! අනික් ඒවා නම් හමුවුණා...
මම ගත්ත පොත් ලැයිස්තුව අද මම හිතුවා බ්ලොග් එකේ පල කරන්න...
  1. කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ද
  2. රාවණ මෙහෙයුම -සුසිත රුවන්
  3. ස්වයංජාත - සමරවීර විජයසිංහ
  4. සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
  5. ඉටිපහන් - සුමිත්‍රා රාහුබද්ධ
  6. වෛරයේ මිදි ඵල - ජෝන් ස්ටෙන්බක්
  7. ගුරු ගීතය - චිංගීස් අයිත්මාතොව්
  8. ජමිලා - චිංගීස් අයිත්මාතොව්
  9. අම්මා සහ මිහිකත - චිංගීස් අයිත්මාතොව්
  10. සියවසක් පවත්නා දවස - චිංගීස් අයිත්මාතොව්
  11. සමුගනිමි ගුල්සාරි - චිංගිස් අයිත්මාතොව්
  12. සන්තියාගෝ නම් සැරිසරන්නා - පාව්ලෝ කොයියෝ
  13. තෝල්යා සහ යහලුවන්ගේ හපන්කම් - නිකොලයි නොසව්
  14.  පොලියානා - එලීනර් හොජ්මන් පෝටර්
  15. ජිම් සහ පොලියානා - එලීනර් හොජ්මන් පෝටර්
  16. කපිතාන්ගේ දියණියෝ - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
  17. හිමකබාය - නිකොලායි ගොගොල්
  18. පාට වේල්පට - විලියම් සොමර්සෙට් මෝම්
  19. සරු පස - ක්නුට් හැම්සුන්
  20. මයාඩා - ජීන් සැසන්
  21. බල්ලෙකුගේ හදවත -මිකායෙල්  බුල්ගාකොව්
  22. මා දිවියේ  වසත් සමය- රොවෙනා ෆා
  23. මැටිල්ඩා -රෝල්ඩ් ඩාල්
  24. එපුරවර සහ මෙපුරවර - චාල්ස් ඩිකන්ස්
  25. කඳුකර රෝසමල් - යොහානා ස්පියර්
  26. ඇහැල ඇමතුමකට ඇහැරෙමි - මංජුල වෙඩිවර්ධන
  27. මාතෘකාවක් නැති මාතෘ භූමිය -මංජුල වෙඩි වර්ධන
  28. මේ නිහඬ වෙරළට එන්න - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
  29. තනි තටුවෙන් පියාඹන්න -අශෝක හඳගම
  30. ග්ලැඩියේටර් ප්‍රේමය - නාමල් ජයසිංහ
  31. සෙසේ - ප්‍රසාද් සමරසේකර

ඉතිං මේ පොත් වල තියෙන දේවල්, නුදුරෙදිම දවසක ටිකෙන් ටික ඔබට කියන්න මම පොරොන්දු වෙනවා...ජීවිතේ කියන්නෙ පොතක්!! බොහොම සුන්දරයි.. අපිත් කියවමු.. මේ හැම පොතක්ම... මුලු ජීවිතයම සුන්දර වෙන්න..



9/19/12

2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පළමු දවස



පොත් ප්‍රදර්ශනයට ගිය නිසාම යම් යම් කරුණු කාරණා කිහිපයකින් ඔබව දැනුවත් කරන්නයි මම අද සූදානම් වෙන්නෙ. තව දවස් හතක් ඉදිරියට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අද පොත් ප්‍රදර්ශනයේ සාර්ථක දෙවන දවස.

ඔබ පයින් යනවා නම් 
ප්‍රධාන ගේට්ටුවෙන් ඉදිරියට ගිහින් දකුණට හැරෙන්න. එතැන තියෙන ටිකට් විකුණන්න. එකක් දහයයි. ඒ ටිකට් පත් බලලයි ඇතුළු කරන්නෙ. ඒත් පාසල් සහ විශ්ව විද්‍යාල හැඳුනුම් පතට ඒක අවශ්‍ය නැහැ.

ඔබ වාහනයක යනවා නම්
ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යද්දිම ඔබට අංකයක් දෙනවා. පොලීසිය විසින්. ඔබ නියමිත තැනට ගිහින් වාහනය ගාල් කළ යුතුයි. ඒවා නියමිත පිළිවෙලටම කිරීමට ඔබට සහය වෙන්න, පොලිසියෙන් ඉන්නවා. වාහනෙන් බැහැලා පයින් යන අය විදිහට ම අනුගමනය කරන්න ඕනෙ.

කෑම බීම
හැමතැනම ආහාර පාන තියෙනවා.
ගමේ කඩේ 
මඥ්ඥොක්කා රු 50 කි.
වඩේ එකක මිල රු 30 කි.
(අනෙක් ඒවාගෙ ගණන් මිමි...ඔය හා සමානව තමා යන්නෙ.. ලොකු වෙනසක් නැහැ. ආප්ප, බඩඉරිඟු, බතල වගේ දේවල් තිබුණා)

මැගී
මැගී නූඩ්ල්ස් එකක් රු 75 යි. ( ඉස්සර ඔයිට වඩා ලොකු කෝප්පයක් 50 ට දුන්නා.)

බීම වර්ග
පොටෙලෝ, කොකාකෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් මැෂිමෙන් කඩදාසි ප්ලාස්ට්ක් කෝප්පෙට දෙන බීම එක රු 40 යි. අනෙක් බීම වර්ග සාමන්‍ය මිල කිට්ටුවෙන්ම තමා තියෙන්නෙ....

අයිස් ක්‍රීම්  නම් තැන තැන තිබ්බා... අපි කෑවෙ නැති නිසා අද දන්නෙ නෑ.. සාමාන්‍ය ගණන් ඇති කියලා හිතෙනවා.

තැන තැන ඉඳගෙන තමයි ඉතින් කෑම කන්න වෙන්නෙ.. බීම බොන්න වෙන්නෙ.. ඒත් කැමති කෙනෙකුට හුඟක් සල්ලි තියෙනවා නම් වෙනම ෆුඩ් කෝට් එකක් තියෙනවා...හැබැයි ඉතින් ඔය වගේ තැනකින් කන සල්ලි වලින්, අපි වගේ අය නම් තව පොතක් ගන්නවා..

දැන් මම කියන්නම් පොත් වෙළඳ සැල් ගැන

ශාලා A,B, B1, C,D,E,E1,F,G,H,J,K
කියලා වර්ග වෙනවා. අහන්න එපා දැන්, I  නැත්තෙ ඇයි කියලා. එහෙම තැනක් කොළයෙ නැහැ. මම දැක්කෙත් නැහැ.

මම දැන් විශේෂම තැන් ටික කියන්නම්

විදර්ශන සහ සූරිය‍ තිබෙන්නෙ B ශාලාවෙ.
සරසවි A ශාලාවෙ
ගුණසෙන C ශාලාවෙ

දැන් තියෙන්නෙ වැදගත්ම කරුණු මතක් කරන්න.


  • වතුර බෝතලයක් අරන් යන්න. පුරවගන්න පහසු කම් තියෙනවා.
  • දරුවො ඉන්නවා නම්, එක්ක ගෙන යනවා නම් ළඟින්ම තියා ගන්න..
  • මුදල් පසුම්බිය ගෙනයන්න. ප්‍රවේසම් කරගන්න. සැම විටම පොත් ගන්න තීරණය කරගත් මුදල වෙනම තබා ගෙන ඉතිරිය කොතැන හෝ සුරක්ෂිතව තබා ගන්න.
  • දුරකථනය පරිස්සම් කරගන්න.එය සාක්කුවක හෝ බෙල්ලේ රඳවා සාක්කුවක දමා ගන්න.
  • හයිය බෑගයක් ගෙන යන්න. තනිකර බෑගයකට වඩා උරහිස් ස්කූල් බෑග් සුදුසුයි.
  • සියලුම පොත් බස් වල එන අය , එක බෑගයකට දමා ගන්නවා නම් හොඳයි. 154 සහ 104 බස් හරිම තද බදයි.
  • නොමිලේ යන බස් රථ තිබෙන නමුත්, ඒවා ගැන මගේ පැහැදීමක් නැත. 
  • කඩයේ සිටම ඔබේ බිල්පත් පරීක්ෂා කර බලන්න.
  • මිතුරන් මඟ හැරීම සිදු නොවන්නට, ප්‍රදර්ශනය තුළම පැමිණිය යුතු ස්ථානයක් තීරණය කරගන්න.
  • පොත් වල මිල ගණන් සහ වට්ටම් පරීක්ෂා කර බලන්න. එක කඩයක සහ තවත් කඩයක සමහර පොත් වල මිල අතර විශාල වෙනස්කම් ඇත.
  • පාඨක සමාජ වල බැඳී ඇත්නම් ඒවා ගේ අංක රැගෙන යන්න.
  • පොත් ගත් පසු, බෑගය ප්‍රෙව්සම් කරගන්න.
  • බස් රථයේදී බෑග දුන් අය සිහි තබා ගන්න.
මේ කරණා ටික තමයි.මතක ඇතිව ම කියන්න ඕනෙ කළේ. බස් තද බදය නිසා නම් කාන්තාවන්ට ටිකක් කරදරයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අමනයොත්, ඉන්නවා. අද මටම වුණ නිසා කියන්නෙ. කාගෙන්වත් සහය පතන්න බෑ... ඒ වගේ බස් තද බදයක. හැකි තරම් ආරක්ෂා වෙන්න. තමන් විසින්ම. 

සමහර වෙළඳ සැල් වල විශාල වට්ටම් දෙනවා. සුදර්ශියෙත්, ප්‍රදර්ශනයේ කොටසක් තියෙනවා. සිරිමාවෝ පරිශ්‍රයෙ තමා හුඟක් හොඳ හරිය තියෙන්නෙ. ආරාධනා කරනවා ගිහින්ම බලන්න කියලා. ඕනෙ තරම් සල්ලි ගෙනිච්චොත්, ඔක්කොම ඉවර කර ගන්න තරම් හොඳ පොත් තියෙනවා...

මම නම් අද ගියෙ බලලා එන්න. ඉරිදාට තමයි ගන්න යන්නෙ. ඉරිදාට බ්ලොග් යාලුවො ගොඩක් සෙට් වෙනවා. ඔබත් එන්න...




9/17/12

ඒක හිනයක් නොවන හින්දා




මම ඈත බලා සිටිමි. පොත් රාක්කයට එහා තැනකින් බිත්තිය කොයි වෙලාවක හෝ දැදිරි වේ යැයි මට සිතේ. එතැන දොරක් ඇතැයි මට සිතෙයි...මම පොත් වල දුටු චරිත, ඒ තුළින් මතුව ඇවිත්, කාමරයේ මා ඉදිරිපිට අසුන් ගනිති.. ඔවුන් මා පොත් වලට අදාළ චිත්‍රපට වල දුටු නලුවන් හෝ නිළියන් නොවෙති. මගේ හදවතේ ලැගුම් ගත් මිනිසුන් ම වෙති.

කාමරයේ හිඳගන්නට ඉඩ නොලදින්, සමහරු හිරවී, අල්මාරිය උඩ පොත් රාක්කය උඩ වාඩි වී සිටිති.

පොත් වලදි ඇණ කොටා ගත් මිතුරන් දැන් මිතුරු වී සිටිති. වොල්ඩිමෝට් ගේ දණහිස මත, හිස තබාගත් හැරී නිදා සිටියි...පාවෙල් අන්දෘෂා සහ පෙලේගේයා අම්මාද, සිනා සිසි මා දෙස බලා සිටිති. දුයිෂේන් තරුණ වී ඇත. අල්තිනායි මගේ කණ්ණාඩියෙන් බලා හැඩ වන්නීය.ෂර්ලොක් හෝම්ස් ගේ දුම් බීමට එරෙහි වූ, විහාර මහා දේවිය ගේ කෝපය විහිලුවකින් අස්වසන්නට වොට්සන් අසමත් වෙන්නට, ගිය වසරේ උපන්දිනයට මට තෑගි ලැබුණු, මංජුසාව කෑලි කෑලි වීමට ඉඩ තිබ්ණි.

පරිණාම වාදය පොතෙන් ආ... හැබිලිස් ලා, අන්තර්ජාලයෙන් උන් ගැන විස්තර සොයා දෙන්නැයි ඇවිටිලි කරද්දී, රාමාගේ හනුමා උන්ට ඔච්චම් කරන්නේය... අහම්බෙන් නැගිට ආ කුම්භකර්ණ නොඑන්නට, ඉරෙක්ටස් ලා , සුන්දර  රෙමඩියාස් ව උස්සන් ගොස් ය... මේ අතර, නීති පොත් අතරින් නැගිට ඇඩ්ලින් විතාරණ නෝනා... මොනිකා රුවන්පතිරණ සමඟ කාන්තා විමුක්ති අරගලයකය...

ඈන් , තම ජීවිතය පොලියානා ට කියද්දි , ඇ සතුටු සිතෙන මන්තරය එලිසබත් ඇලන්ට කියයි. හයිඩි නගරයෙන් ආච්චිට ගෙන ආ පාන් ඔලිවර් ට්විස්ට දී ඇත. මේ බව දුටු ටොම් සොයර්, ඒ වග නොරිකො සංට පවසන්නේය.

බිගල්ස්වත් කොහෙන්දෝ පැමිණ, අහස් යන්ත්‍රාව ගැනීමට ජනේලය කඩන්නට හදද්දී, පියල්, අරවින්දලා දෙදනා හා මාලින්, සවිමන් සියල්ලෝම මහ හයියෙන් බෙරිහන් දෙයි..තව තව එකී මෙකී නොකී බොහෝ දේ ඇත.

කාමරය මහ හුඟක් දොඩමලුය...පාලුව බොහෝ දුර ගොස් ය. පොත් රාක්කය අස් කරමින් සිටිමි.ඔවුන් මට උදව් කරති.. පොත් අතර නිදාගැනීමට යහනක් තනා දෙන මෙන්, සුන්දර නතාෂා ඉල්ලීමක් කර ඇත.
ඔවුන්ට සුව පහසුවෙන් විසීමට කාමරයට තව රාක්කයක් හෝ පෙට්ටියක් වුවමනාය...නැත්තම් මේ අය නවතින්නේ චුම්බන කන්දේය.

මොවුන් සියලු දෙනා නැති වන්නට මම කෙතරම් තනි වෙනවාදැයි මම නොදනිමි. කාමරය කෙතරම් හිස් වේදැයි මම නොදනිමි. ප්‍රණ හුස්ම පිඹගත් මේ චරිත අතර මම ද සැරිසරමි... කාමරයේ  මේ කාලගෝට්ටියේ නිමාව දකින තැන, මම මිය යන බව පමණක්  මම විශ්වාස කරමි.. මොවුන් සමගින් පොතක් අතර නිදාගැනීමට මමද පෙරුම් පුරමි. වෙන කෙනෙකු අතින් පොතක් තුළ යහන් ගත වීමට වඩා මා විසින්ම එය කළ හැකි නම්, ඔවුන් සේම අමරණීය වී තවත් මිනිසුන්ගේ විඩා නිවමින් ගෙන් ගෙට රටින් රටට ඇවිද යා හැකි බව දනිමි..

නමුත් ඉන් පෙර අලුත් හුස්මක් ගැනීමට හෙට  බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට යමි. තවත් කවුරුන් හෝ අලුතින් දැක බලා ගැනීමට මගේ මිතුරන් සතුටු වෙනවා ඇත. හිර වී හෝ අලුත් අයට ඉඩ දෙන්නටත්, සමගියෙන් හිදින්නටත් ඔවුන් මට පොරොන්දු විය.