8/30/12

බස් රේඩියෝ සහ තරඟ කරුවෝ වෙනුවෙන් චුට්ටි ඔවා!!


මුලින්ම කියන්න ඕනෙ කමෙන්ට් මම මොඩරේට් කළා. ඒ වගේම කොන්ද පණ නැති ඇනෝ කමෙන්ට් දාන්න එපා. කමෙන්ට් දානවා නම් නමකින් එන්න. අහ් මම කතා කරන්න යන්නෙ බස් රේඩියෝ එකේ තරඟ කරුවො ගැන.

මේ දවස් වල බස් රේඩියෝ තරඟයක් තියෙනවානෙ. අපි ඒකෙ තරඟ කරුවො! සමහර විට ඔබත් ! සයිබරයෙ පහු ගිය කාලෙ හුඟක් තරඟ තිබ්බා. ඒ වගේම. ඊට වඩා මඳ වෙනස්කමක් ඇති මේකත් තවත් තරඟයක් ! මේකට කට්ටිය ඉදිරිපත් වෙනවා. දැන් තරඟයට ඉදිරිපත් විය හැකි කාලය ඉවරයිද කොහෙද? මේ දවස් වල තරඟය පැවැත්වෙනවා.

බස් රේඩියෝ එකෙන් මේ තරඟෙ තියන්නෙ අසන්නො තවත් වැඩි කරගන්න. ඒක ඉන්ටර් නෙට් රේඩියෝවක්නෙ. ඇඩ් මුකුත් නැහැ. ඒ ළමයි කරන්නෙ සේවාවක් නෙ. මං දන්න තරමින් ඒක නොමිලේ කෙරෙන දෙයක්. ඉතිං අඩු පාඩුවෙන්න පුළුවන්. ඒත් දෙයක් කරනකොට ඒ අඩු පාඩු අවම වුණොත් සාර්ථක කර ගන්න පුළුවන්. මම මේ බස් රේඩියෝ එකට කඩේ යනවා නෙවෙයි. මොකද මම බස් රේඩියෝ අහන වෙලාවටත් මගේ රසයට ගැළපෙන ගීතයක් යන්නෙ හරිම කලාතුරකින් !

තරඟ කරුවෙක් විදියට මට ආසා මේකට සහභාගි වෙන්න විතරයි. මොකද මට පස් රේඩියෝ මේ බැනර් එක සදාකාලිකව උණත් එල්ලා තියන් පුළුවන්. මම කොහොමත් බස් රේඩියෝ පටං ගත්ත දා ඉඳලා ඒකට ලින්ක් එකක් දුන්නා. ඒ කඩේ ගියා නෙවෙයි. අපි වගේම තරුණ සෙට් එකක් එකතු වෙලා කරන ප්‍රජා සත්කාරයකට ගරු කරන්න ඕනෙ නිසා. කොටින්ම වාණිජ අරමුණක් නැති බව මට අනුව දැණුන නිසා. (මාර්කටිං පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබේ.) . ඒක ප්‍රමෝට් කරන්න ඕනෙ නෑ! අපි හොඳ තැනක ඉන්නවා කියලා දැං බස් උන් ටික මට බැණ අඬගහයිද දන්නෙ නෑ. තවම ඔයාලා ඉන්නෙ වර්ධන අවධියේ නිසා ප්‍රමෝෂන් නොකළොත් පරිණත වීමට පෙර අවනති අවධියට ළඟා විය හැකි බැවින් සෑහෙන ප්‍රවර්ධනයක් ඕනෙ කරනවා. :D. ඒ නිසා මේ වගේ වැඩ කරන එක මරු!

මම දන්න විදිහට මගේ නංගිලා, මල්ලිලා, අයියලා , අක්කලා මේ තරඟේ ඉන්නවා... මට නොවැරදීම කමෙන්ට් කරන හිරුහිමාවි නංගියා. තරියා අබේ මල්ලි කඹේ.... අනේ නම් කියන්න බැරි තරම් හුඟක් අය. උන් කා එක්කවත් මට තරඟයක් නෑ. ඒ කියන්නෙ මං ආසයි උන් දිනනවාට !! මොකද මම මම අප්පුඩි ගහන්න හරිම කැමති කෙනෙක්.

මං අවුරුදු හතරක් බ්ලොග් ලියනවා. බ්ලොග්ස්පොට් තියෙනකං සහ මම ජීවත් වෙනකං මම බ්ලොග් ලියනවා. මම ජීවත් ව ඉන්න කාලෙදි නිකං දෙන මෙහෙම බ්ලොග් නැති වුණොත් මම සල්ලි වලට ඩොමේන් එකක් අරං තාරක අයියාට කියලා වෙබ් සයිට් එකක් හදලා හෝස්ට් කරං කිසිම ඇඩ් එකක් නොදා....පෝසට් විතරක් දානවා. (යාළුවන්ගෙ ඇඩ් දානවා.. යම් ප්‍රමාණයකට.... කලාව සම්බන්ධ, මිනිසුන්ට වැදගත්  හෝ ජීවනාර්ථ තියන කැටගරි තුන යටතේ ආවොත් - හැබැයි සතයක්වත් නොගෙන)

මම මේ ලියන අකුරක් ගානෙ රසවිඳිනවා. සල්ලි බලං සයිට් කරන අයගෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. ඒත් එහෙම අයට තරඟෙකට බැනර් එකක් වුණත් ඕනෑවට වඩා එල්ලගෙන ඉන්න කාලයක් නෑ. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මුදල කියන දේ ඉස්සරහට එනවා. ඒක ඇත්ත. ඒ මිනිස්සු කන්න බොන්න එපැයි. ඒත් ඒ අය බොරුවට කෑ නොගහ මේ වගේ තරඟ වලට එන්නෙ නැතිව හිටියා නම් ඉවරයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.

ඒවගේම මේ තරඟ වල ගැහැණු පිරිමි බේදය නැතත් සමාජයේ අපි දෙගොල්ලා දෙගොල්ලක්! ගැහැණු ළමයින්ගෙ බ්ලොග් වල හැකි තරම් විනයානුකූල වීම වටිනවා. මොකද සමහර භාර දූර වචන නිසා සමහර ගැහැණු ළමයි තරඟ වලින් විතරක් නෙවෙයි බ්ලොග්කරණයෙනුත් ඉවත් වී තියෙනවා. ඒත් දැන් කෙනෙක් කියයි. ඔහොම හොටු බබාලා මොකටද සයිබර් එකට කියලා. මිනිස්සුන්ගෙ විවිධ කම තුළින් තමා ලෝකෙ ලස්සන වෙන්නෙ. අයිසා යි, හිරු හිමාවියි, හිරූ යි, මමයි, ඩීප්සුයි, කවින්ද්‍යායි, ෆා යි මේ සෙට් එකම එකම ජාතියෙ කෙල්ලො වුණා නම් අපි ලියන්නෙ එකම බ්ලොග් එකයි නේද? ඉතිං අපි තැනේ හැටියට ඇණේ ගහන්න ඕනෙ. ( ඒක කීවේ කොල්ලන්ට)

කෙනෙක්ගෙ පෝස්ට් එකකට මඩ ගහන එක සමහර වෙලාවට සුන්දරයි. සයිබර් යායෙ බුද්ධි මලයාගෙ කාටුන්, මාරයා අයියාගෙ හෝරාව, අභී අයියාගෙ බ්ලොග් එක වගේ  කතන්දර ලා සඳරුලා වගේ හුදෙක් සිනාසීමට හරි, රස විඳින්න හරි ගහන මඩ නෙවෙයි මම කතා කරන්නෙ... කොමෙන්ට් මඩ ගැන. පෝස්ට් එකකට කමෙන්ට් කර කර කුණු හරප වලින් බනින අය ගැන , මට හිතෙන්නෙ, මට ඒ අයව පේන්නෙ අනුන්ගෙ ගෙදර ගිහින් ඉස්තෝප්පුවෙ කක්කා කරන සෙට් එකක් විදිහට. කෙල්ලන්ට එහෙමයි පේන්නෙ. ( වීරයෝ වගේ කියලා හිතනවා කියලා හිතනවා නම් වැරදියි.)

හොඳ හැමෝම ඉස්සරහ කිව්වාට කැත වචනයෙන් බනින්න අත්‍යාවශ්‍ය නම්, චුට්ටක් පුද්ගලිකව බනින්න. මට අහන්න ලැබුණු විදියට මේ තරඟයෙදි සෑහෙන්න එළිපිට සාහසික දොස් පැවරීම් වෙලා තියෙනවා. ඇනොනිමස් කමෙන්ට් වලින් වෙන කෙනෙක්ගෙ ආත්ම ගරුත්වය නැති කරන්න ටිකක් අමාරුයි. උසාවිය වුණත් පිළි ගන්නෙ කූඩුවට පැමිණ හෝ (බිය නම්)  ජූරිය ඉදිරියේ පමණක් හරි මුහුණ පෙන්විය හැකි සාක්කි විතරයි. (නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් ඇත.)

කොහොම හරි මට කියන්න ඕනෙ වුණේ, අනික් අයගෙ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාලා, කුණු වචන දාලා, මඩ ගහලා, කෙනෙක් වෙනුවෙන් කතා කරන තව කෙනෙක්ට ඒ කෙනා සම්බන්ධ කරලා පද හදලා, ගැහැණු ළමයෙක්ට අපහාස කරලා (කොටින්ම හිරු හිමාවි නංගි වගේ හොඳට ලියන කෙල්ලන්ගෙ හිත් බිඳින්න එපා.) ගොන් ආතල් ගන්න එපා!

ඒ වෙලාවෙ කොල්ලො දෙතුන් දෙනෙක් ඔබේ සහයට ඒවි. ඒත් ඔබ දන්නෙත් නෑ. උන් ඔයට මඩ ගහන දවස.

මුළු ජීවිතයම තරඟයක්! ජය ගන්න ඕනෙ අපි. ඒත් එක තරඟයකින් හැමෝටම ජය ගන්න බැහැ. වාසනාව හැකියාව ඔක්කොම ඕනෙ. අපිට සතයක් වත් ගියෙ නෑනෙ මේ තරඟෙට සහභාගි වෙන්න. අපි බලා ඉමු. තරඟයෙ අවසානය. එක්කො ඔබ දිනයි. නැත්තම් වෙන කෙනෙක් දිනයි. ඒක තමා තරඟයෙ හැටි. අවසානයේ උපරිම සතුට. ඔබට ලැබේවි.

හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි මේ තරඟෙත්             දිනුවේ ............

 තියලා ඔබට පස්සෙ සතුටු වෙන්න පුළුවන්!! කවුරු දිනුවත්, කවුරුත් පරාද වෙන්නෙ නැති නිසා. මං වැරදිද ඔබ කියන්න!!

8/29/12

ඔමාලි ඔබ නිවන් යන්න පෙර ලියා තැබුවෙමි



මට මතක හැටියට ඒ දවස් වල අපි නියාමක ලා. ඒ කියන්නෙ ශිෂ්‍ය නායිකාවක් කරනවාද නැද්ද කියන පරිවාස කාල සීමාව. මේ කතාව කියව ගෙන යද්දි පිස්සු කෙල්ලො ටික නිසා ඔයාලා කාටත් හිනා යන්න පුළුවන්. ඒත් මේක හුඟක් දුක් බර කතාවක්. දවස 2006 අවුරුද්දෙ නොවැම්බර් 23 වෙනිදා. මගේ මෙමරි පොත ට අනුව එහෙමයි. කොහොම නමුත් ඒ සෆියාගෙ උපන්දිනේට පස්සෙ දවස. එයාගෙ නම ඔමාලි. මට ඉතිරි ටික මතක නැහැ.

මම උදේම ඉස්කෝලෙට ගියා. නැහැ මම දිව්වා. හතයි කාලට කලින් අස්සන් කරන්න ඕනෙ නිසා. ගේට්ටුව ගාව හිටි නියාමකලාගෙ නම් දැන් මතක නෑ. නමුත් ඒ අයගෙ මුහුණු වල වෙනදා දිස්නෙ තිබ්බෙ නෑ. පිපිලා ඉස්කෝලෙට ගොඩ බැස්ස මට මේක හරස් පද ප්‍රහේලිකාවක්. මම ඒ අයට ගුඩ් මෝර්නිං කියා ගෙන පල්ලෙහා ගේට්ටුවෙ ඉඳන් උඩ ඔෆිස් එකට යන්ඩ ටැප් පේළිය ළඟ තියෙන පඩි පෙළ නැග්ගා.

පඩි පෙළේ උඩ කෙළවරේදි දුවලෙන වාගෙ ආපු ශ්‍රීමතී මිස්, මාව වැළඳ ගත්තා.

දුවේ, මං හිතුවෙ ඔයා කියලා. මම හිටියෙ හරිම බයෙන්. ඒත් කවුරු වුණත් අපේ දරුවෙක්!

ඒක මට ලොකුවට දැනුණෙ නෑ. මොකක් නමුත් සිද්ධ වෙලා කියලා හිතුණා. ඒත් මට දුක හිතෙන කිසිම දෙයක් වුණේ නැති නිසා පිපිච්ච මුහුණ ඒ වගේම තියාගෙන මම ඔෆීස් එකට දුවලා වයිස් ප්‍රින්සිපල් සෝමා මැඩම් ගෙ මේසෙ උඩ තිබ්බ නියාමක කොළේ අත්සන් කළා. එතන මැඩම් හිටියෙ නැහැ.

එළියට ආපු මම ආපහු පොන්ඩ් එක ගාව පඩි පෙළ බැස්සෙ, බෝම්බෙන් මැරිච්ච අක්කා නමට ඉදිවෙච්ච ටොයිලට් බිත්තියෙ ටැප් එකෙන් අත හෝදගෙන ධශි යි, ලෂෝ යි පිණි ජම්බු ගහ ළඟට එනවා දැකලා. මම සයන්ස් ලැබ් එකේ සිමෙන්ති ටයිල් අල්ලපු පටු පාරේ ඇවිදන් ගියෙ උන් දෙන්නා එක්ක ටිකක් කතා කරන්න. ඕලෙවල් වලින් අපි ඒ ලෙවල් වලට බෙදිලා ගියත් දවල්ට කෑවෙ බිව්වෙ, කතා බහ කළේ එකටමයි.

මම හිනාවෙලා උන්ට ගුඩ් මෝර්නිං කිව්වා. උන් මටත් කිව්වා. ඒත් ලෂෝධ්‍යා කිව්වා.

උඹ දන්නෙ නැතිව ඇති කොමස් එකේ ළමයෙක් මැරිලා. උඹලාගෙ පන්තියෙ නෙවී. දුක් වෙලා වගේ පලයන්. නැත්තම් හරි නෑනෙ කියලා.

මිස්ලාත් ඔය එහෙ මෙහෙ දුවන්නෙ බස් එකක් හොයන්න. බස් එකක් ගෙන්නලා එකොළහවසරෙදි හිටපු විදියට ග්‍රේඩ් එකම ගෙනියනවාලු. සයන්ස් කොමස් ආර්ට් තුනම.

එහෙම කීවෙ ධෂී. ඒ කාලෙ තියා අදටත් මං දන්න තරමින් අපේ ඉස්කෝලෙට බස් එකක් නෑ. ඒක ලැජ්ජාවක් නෙවෙයි. අපේ ඉස්කෝලෙට හොඳ එකවුන්ට් එකක් තියෙන නිසා.

මම පන්තියට ගියා. බෑග් එක ඉස්සරහ පෝලිමට විසි කළා.

කවුද බං මැරිච්ච ළමයා? හැමදාම  මගෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන දිල් ගෙන් ඇහුවා.
යකෝ අඬපං දිල්ෂාරා ඉස්සරහට දුවගෙන ඇවිත් කිව්වා.
අඬන්න හරි කියහං කො මැරුණෙ කවුද කියලා... හෝ ගාලා අඬන දිල් ගෙන් මම ආයෙ ඇහුවා.
මං දන්නෙත් නෑ යකෝ අඬපං ඒවෙලාවෙ ඒකි හරි කියලා මට හිතුණා. අඬන උන් මැද නාඬා ඉන්න එක ටිකක් මේ වගේ වෙලාවට ඩේන්ජර්! පස්සෙ මමත් කඳුලු පිහිද පිහිද වගේ රඟ පපා, කොරිඩෝවට ආවා. පූර්ණි අනෙක් පන්තියෙන් එළියට ආවෙ මේ වෙලාවෙ.
මොකක්ද බං එයාගෙ නම? මම පූ ගෙන් ඇහුවා. ඔමාලි බං. අනේ මා එක්ක ඊයෙත් කතා කළා. ඒක නම් පච විත්තිය මම ඉතං දන්නෙ අටේ පන්තියෙ ඉඳන්මනෙ. කොහොම හරි මම මැරිච්ච ළමයාගෙ පන්තියට ගියා. ඒක නම් මල ගෙයක් අපේ උනුත් ගිහිං උන්ව සනසන්න. සමහර උන්ට කල්පනාවත් නෑ වගේ. මේ ළමයින්ගෙ කතා බහට අනුව, ඔමාලි ඊයෙ තරම් වැඩ කරලා නැතිව ඇති කවදාවත්.ඕකෙ ඇත්ත නැත්ත දැනගන්න ආයෙ එන එකක්යැ.

කොහොමරි අපි එදා ඔමාලි ලෑ ගෙදර ගියා. කුලී බස් එකකින්. ඔමාලිගෙ මුහුණ අඳුරන්න බැහැ කියලා හුඟක් අය කිව්වා. නමුත් මට එහෙම වුණේ නෑ. මම ඔමාලිගෙ මිනිය අඳුරා ගත්තා. ජීවත් වුණ ඔමාලිව මම දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මම ඇඬුවෙ නැහැ.

එයා මැරුණෙ අම්මා එක්කමයි. ටිපර් එකකට යට වෙලා. එයාගෙ මුහුණ තෙල් වලට පිලිස්සිලා ටිකක් කලු වෙලා තිබුණා. මලානික මුහුණට ලිප්ස්ටික් ගාපු තොල් ගැළපුණේ නැතත්, ඒක මල් ශාලාවෙ අය තරුණ කාවත් අන්දන විදිහ වෙන්න ඇති කියලා මට හිතුණා. දම්පාට මල් පොකුරක් එයාගෙ අතින් ඒ වෙලාවෙ කවුරු හරි තිබ්බා මට මතකයි. ඒ උත්තරාද සඳමාලිද කියලා මට මතක නැහැ.

දැන් ඔමාලි මැරිලා අවුරුදු හයක් පිරෙන්න තියෙන්නෙ තුන් මාසයක් විතර. ඒත් මට තවම එයාගෙ මල සිරුර හොඳ හිටි මතකයි. ජීවත් වෙලා හිටපු ඔමාලිව ඇත්තමයි මම දන්නෙ නෑ.