7/21/12

ආදරය යනු කුමක්ද?


ආදරය යනු කුමක්දැයි මම ඔබෙන් ඇසුවොත් ඔබ මට දෙන පිළිතුර කුමක් වේවිදැයි මම නොදනිමි. ආදරය සඳහා දිය හැකි නිශ්චිත නිර්වචනයක් හෝ පරිමාවක් ලෝක ධාතුවේ තවමත් සොයාගෙන නැත. එය වෛරය යන්නට විරුද්ධ වූ හැඟීමක් බව පමණක් පැහැදිළිය. මවක් දරුවාට ආදරය කරන හැඟීම ජීව විද්‍යාත්මක පැවැත්මේ ආරම්භයයි. පීතෘත්වය ගොඩ නැගෙන්නේද ඒ හා සමාන ආකාරයෙනි.

එවිට අපි මේ විරහ ගී පබඳින, ආදර ගී පබඳින, වැලන්ටයින් කාඩ් දෙන, කසාඳ බඳින , දික්කසාද වෙන ආදර කතා පැන නඟින්නේ කොතනින්ද?

මම සොයා ගත් කරුණු අනුව අපි කියන ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා ඓන්ද්‍රීයකව සත්වයන් පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි. මේ අනුව ගත් කළ ලොව ජීවත්වන සියලු සත්වයන් අතර ආකර්ෂණය පවතී. නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආකර්ෂණය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැති අතර, ඔවුන් ට එය ඉක්මනින් අමතක වෙයි. මතකය දිගු කාලීනව පවත්වා ගත හැකි බැවින් මිනිසා නැමති සත්වයා එය ඉදිරියට ගෙන යයි.

වැඩිදුරට පැහැදිළි කරනවා නම් බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා  වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද, මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා හෙවත්  මනසින් උසස් සත්වයා වන්නේ මිනිසාය.

දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැකිය. පරිණාමය සත්‍යක් නම් එය සිදුවුනේ  හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කරමි..

අපි එකිනෙකාගේ ආත්මය විසින් ඉල්ලන දේ අනුව ආදරය වෙනස් වෙයි. මට වුවමනා ආදරය ඔබට වුවමනා නොවිය හැකිය. ඔබට වුවමනා ආදරය මට ගැළපෙන එකක් නොවිය හැකිය. දෙදෙනෙක් ආදරය කිරීමට පටන් ගන්නේ එකිනෙකාගේ ආත්මයට වුවමනා කරන පරාසය දැනගෙන ද යන්න පැහැදිළි නැත. බාහිර ආකර්ෂණය නිසා ආදරය යන වචනය ආරම්භ වන නමුත් එයි වුවමනා රා පවතින්නේ අධ්‍යාත්මික වටිනාකම් ඉල්ලන පරාසය මතය. කුමන පාර්ශවයක් වුවද ඉල්ලුමට සැපයුම් ලබාදීම අඩපණ කළහොත් ද්වන්ධ ක්‍රියාවලිය බිඳ වැටෙයි. යාන්ත්‍රිකව නොව හැඟීම් අනුසාරයෙන් වන දෙයක් හෙයින් මෙය යළි ස්ථාපනය කිරීමට ගත වන කාලය කෙනෙකුට නිර්ණය කළ නොහැක. එයට මුළු මහත් ජීවිත කාලයම සහ තත්පරයකටත් වඩා අඩු කාලයක් දක්වා විහිදෙන කාල රේඛාවකි.

ආදරය අවසන් වන තැන ක්ෂණකයිකින් වෛරය ආරම්භ වෙන අතර ලොව පුරා ආදරයට වඩා එය විසිරී ඇති බව පමණක් මතකයේ තබා ගැනීම වැදගත්ය...

  


කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට  ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය.

7/19/12

විරාමය


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අද පවත්වා මේ දැන් නිම වූ විරාමය ප්‍රසංගය වෙනුවෙන් එහි සිසුවියක්ව සිටි මම විසින් විශ්ව විද්‍යාලයේ බිත්ති සැරසීම සඳහා ලියන ලද්දෙමි.

ආදරණීය නංගියෙ මල්ලියෙ,

උඹලා දන්නවාද?
තොරතුරු තාක්ෂණය, කළමණාකරණය, සන්නිවේදනය වගේ
මහ බර වචන ඉස්සර කරගෙන
අපි හැමෝම දුවන්නෙ
එකම පාරක විත්තිය..
ඒ පාරෙ කොයිතරම්
කටු අකුල් තියෙන්න ඇතිද අපි පැටලුණු
ඒ පාරෙ අතරමග
කොයිතරම් වල ගොඩැලි
තියෙන්න ඇතිද අපි වැටුණු
පුංචි මල් පඳුරු කප්පරක් ඇති නේද?
අපෙ පයට පෑගි පෑගි මගහැරුණු
ඔබ කියාවි... ජීවිතය එයම වග....
අපි දිණුම් කණුවට යන්නට බොහෝ දේ කැප කළ යුතු බව
මේ කතා කරන අකුරු දිහා බලන්න!
ඔබ ඔබගෙ හෘද සාක්ෂියට එකඟද?
අපිට නුඹේ ඇස්දෙක පෙනෙනවා නංගියෙ
අපිට නුඹේ හදවත දැනෙනවා මල්ලියෙ
ඉලක්කම්, යන්ත්‍ර, අතර පැටලි පැටලි හිරවුණු
ඔය පපුව ඇතුළත
ඇවිලෙන ගින්දර  උණුහුම
පිපෙන මල් සුවඳ
අපිට නොදැනෙනවා නම් ....
අපි මිනිස්සු ද?
කුණුකෙල පිටිං ෆේස් බුක් ගිහිං ස්ටේටස් අප්ඩේට් කරන අපි
උදේ තේ බොන්නෙ මේල් චෙක් කර කර
පරණ නෝට්ස් එහෙම්මම තියෙද්දි
ඊයෙත් හෝදන්න බැරි වෙච්ච ඩෙනිම ඇඳගෙන
බෝඩිමේ ඉඳන් අපි එනවා... හෝල් එකට යනවා
ලෙක්චර් අහනවා ..............ආයෙ යනවා...
ජීවිතය කියන්නෙ මෙය නම්
අපේ ආත්මය වියපත් වන දවසක
අපෙන් කෑ ගහලා අහාවී
කෝ නුඹේ තාරුණ්‍යය ?
අපිටත් දැනෙන හදවත් තිබුණ විත්තිය
අනාගතයේ දවසක මතක තියා ගනිල්ලා
හුලං කපොල්ලෙ දි අපි මවපු හීන
මඳ පවනෙ එතිලා අනන්තෙට නොගොහින්
කොන්ක්‍රීට් දාර මැද තනිවුණා...
තෙල් බැම්මෙ ඉඳගෙන කවට කම් කෙරුවත්
නොහැඟවු ආදරේ ටයිල් කැට මැද්දෙන්
බේරිලා කාණුවට වැටුණා...
පර්චස් එකේ අස්සේ පුරද්දි සවුදිය වීදුරු
දිලෙන සඳ දකිමින් නුඹ නමින් ගෙතු කවියක්
නෝට් කොළ අස්සේ තිබුණා..
දූපතෙන් දූපතට පිරෙන කෙළි සිනා වැල්
විභාගය දවස් වල සැපතිල්ලා ගහ යට
කුප්පියා වත්තෙදි හිරවුණා..
හීන රැළි හැමදාම පියවි වෙරළේ වැදී
අපි ඉස්සරහ බිඳි විසිරුණා....
හැමදාම එක වගේ
මුකුත් වෙන්නෙ නැති ජීවිතයට
හිතන්න දකින්න අහන්න ඉඩ දෙන්න
හැල්මෙ දුවන පාරෙන් අයින් වෙලා මොහොතක් නවතින්න

ඉඩතියන් හැන්දෑව එන ඇසළ දහනමය
හැරගන්න හද හැඟුම් සිර කරන කරාමය
ගීතයක් පියවිල්ලෙ අතුරනා සුයාමය
විඳගන්න පිවිතුරුව මේ නැවුම් විරාමය..........

7/16/12

කළම්බෝ කළම්බෝ සහ කොළඹ දැක්ම | part 1



සිංහල නාට්‍ය කලාව යනු රසවින්දනය තුළ උපරිමයට ළඟා විය හැකි නාට්‍ය කාලයෙන් කාලයට ලබා දුන් වේදිකාවක් වග මුලුන්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. යුද්ධය වැනි පබල සමාජ ගැටලු නිසා යම් යම් අවධීන් හී පසු බෑම් වලට ලක් වුවද නිරන්තරයෙන් උත්තම භාවයට ලක් කරමින් කතා කළ යුතු නාට්‍ය බොහෝමයක් වෙයි.

සරණ ගිය සිහ සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ
දෑස ලෙසේ මේ දරුවන් නොලසේ
හදා වඩා ගනිමිව් සුවසේ
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා

"සිංහබාහු" එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නාට්‍ය නිර්මාණය තුළ ප්‍රේමයට ලබා දී ඇති තත්වය දෙස බලන කල, එයට සමාන වූ හෝ සමහර විට එයට සමපාත වූ , තරමක් එය විචාරයට බඳුන් කළ තේමාවක් වෙනත් නාට්‍යකින් ලබා දී ඇත. එසේ නාට්‍යෙයන් නාට්‍ය වෙනසකට භාජනය වීමට ඒ ඒ නාට්‍ය බිහි වූ තත්කාලය ප්‍රබලව බලපාන වග පැහැදිළි කරුණකි. ඉන් පසු වකවානුවේ බිහිවූ ජයලත් මනෝරත්නයන්ගේ "ගුරු තරුව" ප්‍රේමය, ආදරය මෙලෙස අයැද සිටින වග අපට දර්ශනය වේ.


මුළු ලොවටම ආදරය කරන්නට
හැක් මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් හිනා වී මමත් සිනා සී 
ලොවම හිනාවෙන ඒ දවසේ

එකම මාතෘකාව යුග දෙකක නාට්‍යක් තුළ ද්වී ආකාරයෙන් ප්‍රකාශ වී ඇත. නමුත් ඒ එකම දෙයක් පමණක් වග අප සියල්ලන්ට පැහැදිළි නොවේද? මේ ආකරයෙන් ගත් කළ නාට්‍යක් නවීකරණය වෙන්නට වෙන්නට එය මිනිසුන්ගේ හදවතට සමීප වේ. 

නාට්‍යයක් වැඩිපුරම හැඟෙන්නේ වැඩිපුරම දැනෙන්නේ එහි නළුවන්ටය. ප්‍රේක්ෂකයන්ට වඩා නාට්‍ය විඳින්නෝ නළුවෝය. එසේ නම් ප්‍රේක්ෂකයාට යම් නාට්‍යයක් විඳිය හැකි වන්නේ තමන් එහි නළුවන් වූ විටය. එසේ ප්‍රේක්ෂකයන්ද නළුවන් කළ හැකි නාට්‍ය ලංකාවේ සැදුණේ නම් බොහොම විරලවය. තවමත් එවන් නාට්‍ය අතුරින් හදවතට අති සමීපම නාට්‍ය කුමක්දැයි යමෙක් මගෙන් ඇසුවොත් මට කිව හැකි හොඳම නාට්‍ය නම් "කළම්බු කළම්බෝ " ය.

අපි කලම්බු කලම්බු ගැන මුලින්ම පිටින් සිට කතා කරමු . මුලින්ම විවර වී ඇති තිරයේ දකුණු පසට වන්නට තැබූ ගිටාර් කිහිපයක් අපට පෙනෙයි. ගණනින් ගිටාර් ගණන හතකි. මඳ වෙලාවකින් අවසාන බෙල් එක ගැසීමට පෙර දුමාරයක් ගිටාර් සියල්ල වසාගෙන වේදිකාව පුරා පැතිර යයි. වේදිකාවේ සිට පැමිණෙන මින්සෙක් ගේ හඬට අපි සවන් යොමු කරමු.

" ඔබේ ජංගම දුරකථනය අවදියෙන් තබන්න. කවුරුහරි කෙනෙක් රසවින්දනයට බාධාවක් වෙයි කියලා ඒක නිදිගැන්නුවා නම් නැවත ඇහැරවන්න. අඬන්නට ආසන්නව ඉන්න ඔබේ පුංචි දරුවත් රැගෙන රඟහලෙන් එළියට දිවයන්න සැරසෙන්න එපා. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකිවීම කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ පවුලේ හැමෝම එකට ඉඳගෙන නැරඹිය යුතුයි කියන එකයි මගේ යෝජනාව..............................: "

ඔහුගේ දෙබස් තුළ කොළඹ සමාජය ඇතුළු තදාසන්න සියලු සමාජය තුළ පවතින බැඳීම් ස්ථාවර කළ ඒ ඉන්ද්‍රජාලික භාණ්ඩය වන දුරකථනයට මුලින්ම පහරක් නොවන පහරක් එල්ල කර ඇති අයුරු අපූර්වය. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි බොහෝ දේ අද නැතත්, සමහර සිදුවීම් පවුලේ කාට හෝ ඕනෑම මොහොතක සිදුවිය හැකි බැවින් ඒවා සියල්ලෝම දැක ගත යුතුව ඇති දේ වගද අපි දනිමු. එය මෙහිදී පූරක ලෙස පැමිණෙන තැනත්තා අපට මතක් කර දෙයි.

නාට්‍යයේ පළමුවන ගැටුම ආරම්භවන්නේ අප තුළින්ය. මෙහි ඇති විශේෂත්වය එයයි. නාට්‍යයේ නළුවන් තුළ ඇති නොවූ ගැටුමක් අපට අපගේ හදවත් තුළින් හට ගනී. මේ වන විට වේදිකාවට කාන්තා රූප දෙකක්ද, පිරිමි රූප හතරක්ද පැමිණේ. පූරක සමඟ පිරිමි රූප ගණන පහක් දක්වා ඉහළ යා යුතුය. පූරක තව දුරටත් අනෙකුන් නිශ්ශබ්දතාවයේ සිටියදී කතා කරන්නේය.

" කවදාහරි ඔබට මුණ ගැහිලා තියෙනවාද ඔබව. මුහුණට මුහුණ, අන්න ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් මේ රඟහල ඇතුළෙදි, අනපේක්ෂිතව. ඒ කියන්නෙ මේක එක්තරා විදිහක අනතුරුදායක හමුවීමක්. මෙතනදි මුහුණට මුහුණ මුණගැහෙන්න නියමිතයි වෙන්න කැමති ඔබ සහ වෙලා ඉන්න ඔබ. ඒ කියන්නෙ ඔබ සහ ඔබේ අනෙකා..... ....... ........ ඔබට ඔබේ අනෙකා දකිනකොට ඇති වන කාලකණ්ණි මුස්පේන්තූ අසනීප ගතිය.... ........ ..... කොහොම වුණත් කමක් නෑ මෙච්චරකල් කළා වගේ ඔබට සිද්ධ වෙන දේවල් ඔබට නෙවෙයි වගේ හිටපු පලපුරුද්ද පාවිච්චි කරලා. මේක විඳදරාගන්න.... ....."

අපහාස උපහාස සිනහව භය මිශ්‍ර පහරකින් ප්‍රේක්ෂකයා තුළ භයක් විමතියක් ඇති කිරීමට පූරක සහ ඔහුගේ ස්වරය සමත් වෙයි. අපි නාට්‍ය තුළ නළුවන් වීමට පටන් ගන්නේ මෙතැනිනි. දැන් අපද රංගයේ කොටස්කරුවෝය. ඔවුහු හා අප සමානයෝය. සමස්ත මනුෂ්‍ය වර්ගයා ඉලක්කකොට සිංහල තේරුම් ගන්නා ප්‍රජාව වෙනුවෙන් පළමුව පහර දියත් කරන ඔවුන් පළවෙනි ගීතය හරහා තම ප්‍රස්තුතයට නාට්‍ය ඇද දමයි.  බිම ඇති ගිටාරයෝ ඒ මොහොතේ ඔවුන්ගේ රංග භාණ්ඩ වෙත්.

ඉර මුදුන් කලුවරේ
නියොන් එළි යටින්
අවදානම දැන දැනම
ගිනි අඟුරු අතින් ගෙන
සරයි සරයි 
හිත මිතුරු ප්‍රොමිතියස්

කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ

මතුමහලෙන් වැගිරෙයි - හෙම්ලොක් යුෂ
එක එක එක මිල ඇති - මිනීපෙට්ටි
සතපා ඇති සැළමුතු නුගි නුරාව 
උරග බිමෙත් හිමකිරම රස බලයි
ගොදුරු සොයයි ගිජුලිහිණි දෙනෙත්

කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ

ගිනියම් සිහිලේ - කාපට් පාරේ
කළු කණ්ණාඩිය යටින් බලාගෙන
උල් නිය කොට කර හැඩ කළ දෑතින්
මාකට් හෙවණේ කුරුමාණම අල්ලද්දී

කොහෙන්ද මතුවී - ගිනි අඟුරු බෙදාගෙන
යකඩ යදම් මැද හඬවා නොපෙනී යයි 
හිත මිතුරු ප්‍රොමිතියස්

කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ

කුරුමාණම හරියන එක මොහොතක
අතුණුබහන් රස විඳී තියුණු හොට 
එහෙත් හෙටක් ඒවී දැවෙන හදක් ගෙන
දනී දනී හිත මිතුරු ප්‍රොමිතියස්...

මුලින්ම අපි මේ පළමු ගීතය විඳගන්නට වෙර දරමු. නාට්‍යයකරුවා කොළඹ නම් වූ නගරය අර්ථ දක්වන්නට උත්සාහ කරන පළවන ගීත උත්සාහය මෙයයි. මේ ගීය වින්දනයට ප්‍රථම ඔබ ඔබේ හදවතට එන්නත් කරගත යුතු කරුණක් වෙයි. කවුද මේ ප්‍රොමිතියස්? 

ග්‍රීක කතා පොත් වලට අනුව, ප්‍රොමිතියස් යනු දෙවියෙකි. සියුස් නම් දෙව් රජ , ලෝකයට මිනිසුන්ගෙ පරිහරණය වෙනුවෙන් ගින්දර ලබාදුන්නේය. ජලය ලබා දුන්නේය. නමුත් යම් දිනක දේව පිදීම අපොහොසත් කළ ජනයාට දඬුවම් වශයෙන් සියුස් දෙවියා එක් වරප්‍රසාදයක් කපා හළේය. ඒ ගින්දරය. පීඩිත ජනයා වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වූ ප්‍රොමිතියස් ඉරට ගොස් ගිනි දල්ලකින් ගින්දර ගෙනැවිත් ජනයාට දුන්නේය. එයට කිපුනු සියුස් දෙවියා ඇඩ්මන්ටයින් දම්වැලින් බැඳ ප්‍රොමිතියස් ව තවමත් හිර කර ඇත. උදෑසන සිට හවස දක්වාම ගිජු ලිහිණි පැමිණ ඔහු ගේ හදවත කා දමයි. රාත්‍රී කාලයේ නැවතත් හදවත වැඩෙයි. නැවත ඒ හදවත ගිජු ලිහිනින්ට අහරක් වෙයි. තවමත් මෙය නොනැවතීම සිදුවන බව අසා ඇත්තෙමි. එය කතන්දරයකි. ( අදත් ඔලිම්පික් ගිනිසිලුව පත්තු කරන්නෙ ප්‍රොමිතියස් නාමයට වග ඔබ දන්නවා ඇත. ) 


මොකද්ද මේ ප්‍රොමිතියස් සහ කොළඹ අතර තියෙන සහසම්බන්ධය. කොළඹ නගරය අද වන විට ගැලවුම් කරුවෙකු සොයනවා. කැරලිකරුවකු සොයනවා. කොළඹ නගරයට වෙනසක් අවශ්‍යයි. කොටින්ම කොළඹ නගරයේ ජීවත් වන මිනිසුන්ට වෙනසක් අවශ්‍යයයි. මොකද්ද ඒ වෙනස? හෙම්ලොක් යුෂ යනුවෙන් හඳුවන්නෙ උග්‍ර විෂක්. මේ විෂ වර්ගය තමයි සොක්‍රටීස් ට පොවලා මරා දමන්නේ. සොක්‍රටීස් ගේ මරණයෙන් සිදුවන බුද්ධි විපරීතය අපි සිහිකරමු. උඩ සිට පහළට වැගිරෙන හෙම්ලොක් යුෂ ගැන අපේ අවධානය යොමු කරන්න. සමාජයේ ඉහළ පන්තියේ සිට පහළ පන්තිය දක්වා මරණයේ උග්‍රවිෂ කාන්දුවෙන කොළඹ නගරය සිහිපත් කරන්න. දැන් ඔබට වැටහෙන්නට පටන් ගනීවී එක එක එක මිල ඇති මිනි පෙට්ටි වල අවශ්‍යතාවය.


ඉර පායා ඇතත් මනෝමය වශයෙන් අන්ධකාර වූ කොළඹ නගරයේ දල්වන ලද විදුලි බුබුලු මැද මේ සරන්නා, ලෝකයට පළමුවන ගැලවුම් කාරයා වූ අපේ හිත මිතුරු ප්‍රොමිතියස් ය. ඔහු මේ සියල්ල දකිමින් ඇවිද යයි. ගණිකාවන්ගේ ගිනියම් වූ හැඟීම් වල සීතල උණුසුම් කරනු පිණිස කාපට් පාර අසල ඇදී යන වහන වල කලු කණ්ණාඩි යටින් ගනු දෙනු කරුවන්ගේ ඇස් සොයන කොළඹ නගරය සිහියට මවා ගන්න. ඔවුන් උල් නිය පාට කර හැඩ කළ දෑත් වලින් මාකට් අසල ගණුදෙනු කරුවන් සොයන අයුරු මඳක් සිහි ගන්වන්න. ඒ ගිනියම තුළද හිත මිතුරු ප්‍රොමිතියස් අපට පෙනෙයි. නමුත් ඔහු පැමිණෙන්නේ කෙලෙසකද?


ඔහුට කුරුමාණම් අල්ලන ගිජුලිහිණින් අතට ඔහු පත්වී ඇඩ්මන්ටයින් යදම් මත සිරව සිටී.. ඔහු අපිට අනුකම්පා කරන මිත්‍රත්වය දක්වන හදවත ගිජුලිහිනින් විසින් උලා කයි. අතුණුබහන් පවා උලා කයි. එහෙත් හෙට නැවතත් හදවත වඩවා ගන්නා මේ අසදෘෂ දෙවියා අප වෙනුවෙන් කඳුලු හෙළයි. එවන් හිත මිත්‍රයා පැමිණිය යුතු කාලය මෙය වග නාට්‍ය මුලදීම නාට්‍යකරු අපට හඟවයි.

නාට්‍යය තුළ කොළඹ ගැන දක්වන එක් වරකින් පමණක් මතකයට නැංවෙන අපූර්ව තෙපුල ගුවනට මුසු වෙන්නේ ඒ අවස්ථාවේය.

" කොළඹ , ලංකාවෙ කුඩාම දිස්ත්‍රික්කය තමයි කොළඹ . ඒත් ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළේ . ඒ කියන්නෙ කොළඹ ලොකුයි ලංකාවට වඩා . ලංකාවෙ ඈතම ඈත ප්‍රත්‍යන්තෙ ඉන්න කෙනාත්, ජීවත් වෙන්නෙ කොළඹ . කොළඹ ජීවිතය අමාරු වුණත් , අමාරුවෙන් හරි කොළඹට වෙලා හිටියෙ නැත්තම් නිකං නෑ වගේ. "    


ඉතාම සරලව ඉතාම පැහැදිළිව පූරක මේ කියන කියුම අපගේ ආත්මය හා බද්ධ වෙයි. කොළඹ කොයිතරම් කුඩා වුණත් මුලු ලංකාවම ජීවත් වන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනය. සංස්කෘතිය , ආර්ථිකය යන සියල්ල තීරණය කරන්නේ කොළඹ ය. කොළඹින් පිට සිටින සියලු දෙනාගේ ජීවිතය තීරණය කරන්නේ කොළඹය. මේ කොළඹ නගරය තුළ රටක් තරම් දේ රටට සිදුවන වග ඔබ මා ඉදිරිපිට දකින සත්‍යයි. ඒ සත්‍යයය ප්‍රේම කතාවක් ලෙස අපි මෙතැන් සිට නරඹන්නෙමු.


" නෝනාවරුනි මහත්වරුනි මේක ප්‍රේම කතාවක්. හැබැයි රෝමියෝ ජුලියට් වගේ රාමා සීතා වගේ , එහෙම නැත්නම් දම්මි සුගත් වගේ නිශ්චිත නම් දෙකක් මේකට යොදන්න බැහැ මේක පරපුරක ප්‍රේම කතාව නිසා ............... " 

කොළඹ නගරයේ ජීවත් වන මිනිසුන්ගේ ප්‍රේමය විග්‍රහකිරීමට නිශ්චිත නමක් නාට්‍ය කරු යොදන්නේ නැත. එයට ඇති හේතුව, ඒ බොහෝවිට ඔබ හා මම විය හැකි නිසයි. මේ අවස්ථාවේ, රංගය තුළ සිටින නළු නිලියන් ද අපට හැඟෙන්නේ ඔහුගේ කතාවේ තවත් ප්‍රේක්ෂකයන් සමූහයක් ලෙසයි.

" ඊළඟ මොහොතෙ මම රඟපාන චරිතය මොකක්ද කියලා මටවත් කියන්න බෑ. මොකද ඒක තීරණය කරන්නෙ මම නොවන නිසා "

දැන් ඔවුන් රංගයකට සූදානම් වන බවත් මෙය සත්‍ය ලෝකයේදී සැබෑවක් වුවද, මේ වේදිකාව මේ ශාලාව තුළ රංගයක්ම පමණක් බවත් අපේ සිතට නැවත ඇතුළු වෙයි. සැබවින්ම පූරක ද චරිතයකට පණ පොවමින් සිටින වග ඔහුගේ මුවින්ම කියවේ. එම චරිතය ඔහු නොදනී. ඔහු නිවැරදිය අපේ සැබෑ ජීවිත තුළ අපි එක් එක් අවස්ථාවන් හී දී පණ පොවන චරිත මොනවාදැයි අපි දන්නෙමුද? නැත. රංගයේ ප්‍රබල ප්‍රහසනයක් දියත් වන්නේ ඉන් ඇතුරුවය.

දෙවනි කොටස බලාපොරොත්තු වන්න.

7/14/12

තරහ අවසර මඟුල් පොටෝ මහත්වරුනි,


මේ ලිපිය ලියන්න මම හිතුවෙ පුංචි පුංචි කාරණා කීපයක් කියන්න තියෙන නිසයි, අපේ සදාදරණීය දක්ෂ ඡායාරූප ගන්න ඔබ හැමටම මේ ලිපියෙන් සාමාන්‍ය මනුස්ස හැඟීම් අවබෝධ වෙන්න කියලා මම පතනවා. මේකයි කතාව.

ළඟදි අපේ අක්කා කෙනෙක් බඳිනවා. ඉතිං පොටෝ ගන්න එපැයි. එයා ගිහින් සාමාන්‍යයෙන් හොඳ ඡායාරූප ශිල්පියෙක් ළඟට. අද මට පෙන්නුවා ඒ ඡායාරූප ශිල්පියා, පින්තූර ගන්න ඕනෙ විදිහ තීරණය කරලා තියෙන හැටි. අෂ්ටක කියන එකනා ඉන්න ඕනෙ විදිහ. කේක් එක සෙට් වෙන්න ඕනෙ විදිහ.. ජයමංගල ගී ගයන නංගිලා එන විදිහ.. යන විදිහ.. ගෙදරින් එන වෙලාව.. හරියට කාල සටහනක් වගේ. නෑයන්ට කතා කරන්න තියෙන්නෙ හරියටම විනාඩි 25 යි. ඒ වෙලාවෙ, පැය කාලක් යනකොට, මනමාලිගෙ අම්මාට සඥාවක් දෙනවලු හස්ත මුද්‍රාවෙන් කෑමට ආරාධනා කරන වතුර වීදුරුව අල්ලන්න. ඒ මොහොතෙ ඉඳන් පිළිවෙලින් සියලු දෙනා විනාඩි හතළිහක් ඇතුළත ආහර ගන්න ඕනෙලු. කොහොම හරි පෝරුව ළඟ නෑයන්ට හිට ගන්න වෙන්නෙ සෑහෙන්න දුරක් පොටෝ මහත්තයාට ඉඩතියලා. පෝරුවෙන් බස්සන එකයි පොල් බිඳින එකයි එකම වෙලාවෙ ගන්න බැරි නිසා, බස්සන්න ඉස්සර පොල් බිඳින්න වෙනවලු.

දෙවනි දවසෙ පින්තූර ගන්න, එයාට එයා ඉල්ලන හෝටලයම ඕනෙලු. ඒකෙ එදාට වෙන වෙඩිංන් එකක් තියෙනවා ඒ නිසා අපිට බුක් කරගන්න බෑ කියලා කීවම, එහෙනම් ඒ හොටලයට හනිමූන් යන්නලු.

කොහොමහරි අද අක්කා වෙඩිං ෂෙඩියුල් එක හැමෝටම පෙන්නුවා. ඒකෙන් විස්සක් ගහලා නෑයො විසිදෙනෙක් අතට දෙන්න කියලා පොටෝ මහත්තයා කියලා. එක නෑයෙක් පැය බාගයක් ඇතුලත සියලුම නෑයන් මනමාලිය සමඟ ඡායාරූප ගැනීම සඳහා, නෑයන් පිළියෙළ කිරීමේ කාර්යයේ නිරත වෙන්න ඕනෙලු. කිරිබත් කපන වැඩේට හරියටම විනාඩි 5 යි. පොල්තෙල් පහනට විනාඩි පහයි. ඔහොම ඔහොම ඒ මඟුල ඇතුළෙ මල මඟුල් ගොඩයි.

එයාගෙන් වීඩියෝ කරනවා නම් රු 35000 යි .  ඒකට ඒතරම් වියදම් කරන්න බැරි නිසා මේ අක්කා කිව්වා මට හැන්ඩි කැමරාවෙන් පොඩි ෂොට් ටිකක් අරන් දෙන්න කියලා. ඉතින් පැකේජ් එක වෙලාවෙ වීඩියෝ නොගන්න නිසා අක්කා කියලා පොටෝ මහත්තයාට, අපි පොඩි හැන්ඩි කැමරාවකින් වීඩියෝ කරගන්නවා කියලා. මූණ කලු වුණ පොටෝ මහත්තයා, කවුරු කළත් කමක් නෑ මට කරදරයක් නොවෙන්න කියලා.. නුරුස්සලා කියලා. මට හිතාගන්න බෑ ඇත්තටම මඟුල අයිති පොටෝ මහත්තයාටද අක්කාටද කියලා.

දයාබර ඡායාරූප ශිල්පියනි. විවාහ උත්සව මිනිසුන්ගේය. ඔබ එය ඡායා රූ මාධ්‍යකින් ආවරණය කිරීමට පැමිණෙන අය පමණි. ඔබට ආවරණය කිරීමට උත්සවය නිර්මාණය නොකර, චාරිත්‍ර වෙනස් නොකර, පවතින උත්සවය ඔබ හැකි තරම් සුන්දරව ආවරණය කරන්න. සිදුවිය යුත්තේ එයයි. ඔබට ඕනෑ විදිහට උත්සවය ගන්න බැහැ. ඔබ උත්සවයට හැඩගැහෙන්න. මම මේ ප්‍රකාශය බොහොම තදින් කරමින් ඉල්ලා හිටින්නෙ අනාගත ඡායාරූප ශිල්පීන් වී ගන්න බලා ඉන්න අයගෙන්.

නොදන්නා කෙනෙක් වුණත් දෙන අවවාද වැදගත් නිසා මම මේ අවවාදය ඔබට දෙනවා.

ටී වී එකේ ප්‍රවෘත්ති අං‍ශෙක කැමරාකරුවෙක් විදියට වැඩ කරලා.. පස්සෙ වෙඩිං පොටෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. වෙඩිං වීඩියෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. එතකොට ඔබට නිතැතින්ම හුරුවක් ලැබෙනවා. දෙයක් ඒ අයට ඕනෙ විදිහට සිද්ධ වෙද්දි එය ඔබට උවමනා විදියට රූ ගත කරන්න...හැබැයි අන්තිම ඵලය ඒ අය කැමති විදිහට තියෙන්නත් ඕනෙ. එක මනුස්සයෙක් එක මඟුලක් ගන්නෙ, ආයි හරියට තව මඟුල් ගෙයක් ගන්න නෙවෙයි.  චුට්ටක් හිතලා බලන්න. 


බස් රේඩියෝ වෙ සින්ඩියටත් පොඩ්ඩක් ගොඩ වැදිලාම යන්ඩ


7/13/12

අපිට මොකට සිංහල?



මේ ළඟදි අපි හිටපු තැනකට ආවා සුදු මහත්තයෙක්. එයා රේඩියෝ ගැන හොඳින් දන්න කෙනෙක්. අපි එයාගෙන් ඇහුවා..ඔයා අපේ භාෂාව ගැන මොකද්ද හිතන්නෙ කියලා. එයා කීවා ඒක හරිම අපූරු භාෂාවක් කියලා. ඉතින්. අපි නිකමට වගේ ඇහුවා අපේ භාෂාව ඉගෙන ගන්න හිතේ කැමැත්තක් එහෙම තියෙනවාද කියලා. එතකොට ඒ මනුස්සයා කියපි... අපෝ මට ඔය භාෂාව ඕනෙ නෑ කවදාවත් ඒක ප්‍රෙයා්ජනවත් නෑ කියලා. අපි පුදුම වුණා. අපි ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. මේ රටේ සිංහල බෝඩ් වලට වඩා ඉංග්‍රීස් බෝඩ් තියෙද්දි, සිංහල පොත පතට වඩා ඉංග්‍රීසි පොත පත තියෙද්දි, අමාරුවෙන් ම හරි හැමෝම මාත් එක්ක මගේ බසින් කතා කරද්දි මට මොකටද සිංහල? අපිව සීතල වුණා.

මේ රටේ හෝටල් , ඔක්කොම දේවල් පිළියෙළ කරලා තියෙන්නෙ අපේ ක්‍රමයට. ඕගොල්ලන්ගෙ කඩ වල වැඩියෙන් තියෙන්නෙ අපේ ආහාර පාන. ඔයාලාගෙ කෑමක් ඔයාලාට මේ රටේ හොඳ කඩයකින් හොයාගන්න අමාරුවුණාට, අපේ ආහාර පාන ඇති වෙන්න තියෙනවා. ඉතින් අපිට මොකටද? ඔයාලාගෙ දේ ඉගන ගෙන.

ඔයාලාගෙ සිරිත් විරිත් අපිට වැඩක් නෑ. ඔයාලත් බලන්නෙ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න. අපි නටන විදියට නටන්න. අපි ඉඳගන්න විදියට ඉඳගන්න. ඉතින් අපිට ඔයාලාගෙ සිරිත් වැඩක් තියෙනවාද?

අපි කවුරුත් සද්ද නැතිව අහන් හිටියා. අන්තිමට හැමෝම නිතර විහිලු කරන රොබින් මහත්මයා කියපු දේ හිනාවකටම බාර අරගෙන වැඩ වල යෙදුණා. ඒත් මේක හිනාවෙන්න පුලුවන්ද කියලා මම ටිකක් කල්පනා කළා. අපි ඔහු එක්ක හිනා වුණේ අපි අපිටම නේද?

බලන්න අපේ දැන්වීම් බෝඩ් සිංහලෙන් නොලිව්වත් ඉංග්‍රීසියෙනි ලියනවා. අපේ අම්මලා ළමයිව ඉස්සල්ලාම දාන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න. දරුවා සිංහලට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්නවා නම් හුඟක් අම්මලා කැමතියි. ඉංග්‍රීසි නොදන්න අම්මලා වචන දෙක එකතු කර කර තමන්ගෙ දරුවන්ට ඒ භාෂාව උගන්වන්නෙ, දරුවට ආදරයට. හේතුව .. එකම හේතුව ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව වීම.

වෙන රටවල් මේ සංකල්පයෙන් මිදිලා හුඟක් කල්. ඒත් පරගැති බවෙන් මිදෙන්න බැරි අපි තවම ඉංග්‍රීසි තියා ඉන්නෙ පළවෙනියාට. රාජ්‍ය භාෂාව සිංහල වුණත් වැඩි ලියකියවිලි ප්‍රමාණයක් ගැහෙන්නෙ ඉංග්‍රීසියෙන්. අපි කාටත් ඇත්තටම සිංහලට වඩා ඉංග්‍රීසි පුලුවන්. මම කියන්නෙ ඇත්ත. සිංහල හෝඩියෙ අක්රු කීයද ඇහුවොත් පස්දෙනෙක් දෙන්නෙ උත්ර පහක්! ඒත් ඉංග්‍රීසි හෝඩියෙ අකුරු කීයද ඇහුවොත්? ඔබ උඩ පැනලා කෑ ගහයි.. විසි හයායි කියලා. එහෙම නේද?

සිංහල මිනිස්සුන්ගෙ ශ්‍රීලංකික වෙබ් ජාල, බහුතරයක් තියෙන්නෙ තනිකර ඉංග්‍රීසියෙන්. අඩුම තරමෙ මේ හැම වෙබ් ජාලයකටම සිංහල පැත්තක් හෝ තියෙන්න ඕනෙ. එතකොට ජාත්‍යන්තරය සිංහල භාෂාවෙ අකුරක් දැක්කොත් මෙය සිංහල අකුරක් කියලා පහසුවෙන් හඳුනා ගන්නවා. දෙමළ අකුරු ඕනෙම තැනක දැම්මාම, හුඟක් අයට පහසුවෙන් අඳුරගන්න පුලුවන්.. දෙමළ දන්නෙ නැතත්. අපි ටිකක් කල්පනා කරලා බලමු... අපි හිතන අපි පතන, අපි ට වේදනාව දැනෙන කොට අපිට සතුට දැනෙනකොට ඉස්සෙල්ලාම මුවින් පිටවෙන භාෂාව. සිංහල.. එහෙම නේද? අපි සංහල බ්ලොග් කරුවො. යාලුවෙ අපි හැකි තරම් සිංහල ව්‍යාප්ත කරමු.

පසුව ලියමි.

මේ ළඟදි සැලෝන් එකට ගිය වෙලාවෙ තරුණ අක්කා කෙනෙක්, සිංහල අක්කා කෙනෙක් ඇහිබම ගලවනවා. එයා ඇහි බැම ගලවන ගලවන පාරට, aaugh....aaugh  කියලා කෑ ගහනවා. ආවුජ්, ආවුජ් ගාද්දි මගෙත් ඇඟ හරි වැටුණා. කොහොම හරි, පස්පාරයි කිව්වෙ.. ඒ අක්කාගෙ හක්ක පැන්නා. සරලව ඒක හදාගත්තා මං හිතන්නේ... ඒත් ඒක දාන්න සෑලෝන් එකේ ත්‍රෙඩිං කර කර හිටපු ළමයා උදව් කළ වෙලාවෙ. හක්ක නියම තැනට වැටුණ ගමං ඒ අක්කාට කියවුනේ... අවුජ් නෙවෙයි.. අම්මේ කියලා.... තවත් අපිට මොන කතාද?




Helabasa by Neranji Ekanayake

බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලද ලිපියකි

7/12/12

අපි ටිකක් අලුතෙන් හිතමුද?


මේ ලිපිය මීට වඩා හුඟක් පැහැදිලිව ලියන්න ඕනෙ ලිපියක් කොටසින් කොටස. ඒත් අද දැණුනු හැඟීමක් නිසා මට මෙහෙම ලිපියක් ලියවුණා. සිරස නාලිකාවෙන් සුබාසිරි කියන මංගල උත්සව දැනුවත් කිරීම් වැඩසටහන අිරම්භ වුණාට පස්සෙ වසරක් ඇතුළත හැම නාලිකාවකම සතියකින් වෙනම පැයක් මංගල වැඩසටහන් සඳහා යොමු වෙනවා. ඒ වැඩසටහන් සඳහා අනුග්‍රහය සපයන්නෙත් මංගල උත්සව හා සම්බන්ධ ආයතන වල අය. මංගල උත්සව සඳහා ලොකු දැනුවත් කිරීමක් මේ වගේ වැඩ සටහන් වලින් ලැබෙනවා වගේම අලුත් අලුත් විලාසිතා සඳහා මංගල උත්සව ගන්න පිරිස් යොමු කිරීමත්, ඒ වැඩසටහන් ඔස්සේ සිදු වෙනවා.

ඇත්තටම මංගල උත්සවය අද වනවිට සංස්කෘතිය කියන තැන ඉඳන් විලාසිතාව කියන තැනට සම්පූර්ණයෙන්ම වැටෙන්න හුඟක් ළං වෙලයි තියෙන්නෙ. වර්තමාන වාණිජකරණයට ලක් වූ සමාජයෙන් ගැලවෙන්න බැරි අපිට මේ වගේ විලාසිතා වලින් ගැලවෙන්න අමාරුයි තමයි. ඒත් මට පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තටම ලස්සන විවාහයක් ගන්න, හුඟක් සල්ලි යනවාද?

ඇත්තටම යාලුවෙ මුලින්ම මම ඔයාලාට කියන්න ඕනෙ, උත්සවයක් නොගත්තත් දෙන්නෙක්ට ආදරයෙන් ඉන්න පුලුවන් නම් ඒ දෙන්නා අතර අපූරු පවුලක් ගොඩ නැංවෙනවා. රොබට් නොක්ස් කියපු විදියට, එදා හිතේ විශ්වාසෙන් තමා අපේ මුතුන් මිත්තො ආදරයෙන් බැඳිලා ඉඳලා තියෙන්නෙ. එහෙම නැතිව එයාලා කිසිම තැනක අත්සනක් තියලා නෑ. මේ මගේ බිරිඳ මේ මගේ ෂ්වාමිපුරුෂයා කියලා. මේ කතා කොහොම වෙතත්, අපේ ප්‍රශ්නය ඒක නෙවෙයි. අපිට තියෙන්නෙ පොඩි මුදලක්, ලස්සන උත්සවයක් ගන්න මේ චූටි මුදල ඇතිද?

ඔබ පුදුම වෙයි. ඇත්තටම මේ ලොකු ලොකු වැඩසටහන් වලින් අපිව අද්දගන්න උත්සාහ කරන්නෙ ඒ අයගෙ ආයතන වලට. ඒ අය ලොකු මුදලක් ගන්නවා මේ දේවල් වලට...ඇත්තටම ඒ වැඩේට ඒ තරම් ලොකු මුදලක් යන්නෙ නෑ. මුදල ගිහින් තියෙන්නෙ ඒ වැඩේ මුලින්ම හිතාගන්න ගිය පුංචි පහේ කන්සෙපට් එකට.

ඉස්සර ලංකාවෙ මිනිස්සු සමස්තයක් වශයෙන් හිතන්න පුළුවන් හරි අපූරු ජන කණ්ඩායමක්. ඒත් අද වෙනකොට මොනා හරි හේතුවකින් ඒ හිතන්න පුළුවන් කම අපේ හුඟක් අය අතරින් තුරන් වෙලා. ඒ නිසාම තමයි, එක් කෙනෙක් පටන් ගන්න පලියට පෝලිමට එකම වැඩසටහන් කට්ටිය කරන්නෙත්. කරන්නං වාලෙ දෙයක් කරන්නෙ ඇයි? දැන් මඟුල් ගෙවලුත් ඒ වගේ. අල්ලපු ගෙදර එකා හිල්ටන් එකේ ගත්තොත්, අපිට ඕනෙ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ගන්න. ඒත් පින්තූර වලට වැඩියෙන්ම ලස්සන අපේ ගෙවල් ළඟපාත පුංචි හොටලයක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර, තමන් ගෙන්වන පිරිසට ඉඩ කඩ ඇතුව ඉන්න ප්‍රමාණවත් නම්, මඟුල් උත්සවයක් ගන්න හොඳම තැන, තමන්ගෙම ගෙදර.

දැන් උඩරට අඳින මනමාලියො කේක් කපන්නෙ නෑ. කිරිබත් තමයි කපන්නෙ. ලස්සන කිරිබත් ස්ට්‍රක්චර් එකක් රුපියල් හයදාහක් විතර වෙනවා. ඔය කුලු හතර පහ , ඇස්වට්ටි පහ හය , ඒ ටික  තියන්න ගන්න මේසය , වටේ තියෙන ප්ලාස්ටික් මල් තව වෙඩින් තිහ හතලිහකටවත් ඒ අය පාවිච්චි කරනවා. යාලුවෙ අපි කැවුම් පහකටයි, කොකිස් හතකටයි, අලුවා කෑල්ලි දහයකටයි, කිරිබත් පිගානකටයි නේද අපි හයදාහක් ගෙවලා තියෙන්නෙ. ඒක මොන අපරාදයක්ද? මේ ටික අපිට හිතලා අලුත් විදියකට නිර්මාණය කරගන්න හැකි නම්, ඕන ඔට්ටුවක් උපරිම ගියත් රුපියල් දෙදාහයි. මේ පුංචිම පුංචි උදාහරණයක් විතරයි. මම තව දේවල් පස්සෙ දවසක එකින් එක කියා දෙන්නම්. මේ ලියවිල්ලෙ අරමුණු මඟුල් උත්සව ගැන කතා කරන එක නෙවෙයි. හිතන්න පුලුවන් කෙනෙක් ඔයා ඇතුළෙ නිර්මාණය කරගන්න, පුංචි මතක් කිරීමක් කරන්නයි.


මමත් බස් බ්ලොග් සතියට දායක වුණා..


7/11/12

සිනමා ශාලා සහ ද්විත්ව රසවින්දනය



මේ කතාව ඔබට කිව යුතුමයි කියලා මට හිතුණා. මම විජය කුවේණි චිත්‍රපටය බැලුවා. සිනමා ශාලාවෙ නම නොකියා ඉන්නම්. ඇත්තටම මම මේක අවස්ථාව කරගන්නෙ නෑ ඒ චිත්‍රපටය ගැන මුකුත් කියන්න. ඒ චිත්‍රපටිය ගැන මගෙ හැඟීම විජය රජ්ජුරුවන් ඉංග්‍රීසි දන්න කෙනෙක් කියන එක ඒ කාලෙත් මස්ලින් කියන රෙදි වර්ගයට සෑහෙන තැනක් ලැබුණා කියන එක වගේ සුලු දේවල්. ඒ චිත්‍රපටය නිසා ඉතිහාසය ට හෝ කලාවට මහ ලොකු ප්‍රගමනයක් වෙයි කියලා හිතන්න බැරි වුණත්...සංගීතය නම් හොඳට තිබ්බා. හරි ඒ චිත්‍රපටිය චුට්ටක් පැත්තක තියෙලා මම හැරෙන්නෙ ප්‍රේක්ෂකාගාරය දෙසට

සිනමා ප්‍රේක්ෂකාගාරයක් කොටස් හතරයි. ගැලරිය, ඕඩීසී, බැල්කනි, බොක්ස්. හැම සිනමා ශාලාවකම මුදල් අය කෙරෙන්නෙත් මේ ඉහත පිළිවෙළට තමයි. දැන් කවුරුත් ගැලරියට යන්නෙ නැහැ. පවුල් පිටින් එන හැම කෙනෙක්ම ඕඩීසී යනවා. හැබැයි ජෝඩු හුඟක් බැල්කනි වගේම, බොක්ස් යනවා. බැල්කනි වලට වඩා කෙල්ලො කොල්ලො අතර ජනප්‍රිය බොක්ස්. මේ කතාව ඔබට කියන මම ඒ මොහොතෙ හිටියෙ ඕඩීසී ඒකේ, තනිවම නෙවී. අම්මා අප්පච්චි සහ මාමාගෙ දුව එක්ක. මේ කතාව ඔබට කියන්නෙ ඔබේ ආරක්ෂාවට වුණත් .

පිටිපස්සෙන් විශාල සද්දයක් ඇහුණා. ඒ මිනිහෙක්ගෙ කෑ ගැහීමක්. මමත් මුලු ප්‍රේක්ෂකාගාරයමත් පිටිපස්ස බැලුවෙ එකම මොහොතක වෙන්න ඇති. ඒ වෙනකොට සිනමාපටය පටන් ගන්න විනාඩි දෙක තුනක කාලයක් තිබ්බෙ. අපට ඉදිරියෙන් ආහාර වගයක් විකුණමින් සිටි මහලු තැනැත්තා, බිම වැටී ඇති තම ආහාර පැකට් ගැනවත් සැලකිලිමත් නොවී, දන්නා නොදන්නා බොහෝ පරුෂ වචන වලින් පෙට්ටියක් ඇතුළෙ සිටි අයෙකුට බණිමින් සිටියා. අන්තිමට තවත් දෙදෙනෙක් ප්‍රේක්ෂකාගාරය තුළට ඇවිත් , පෙටිටියක් ඇතුළෙන් එක මිනිහෙක්ව ඇදගෙන එළියට ගෙනාවා.

ඒ මිනිහා අතේ අඩුමතරමෙ ප්‍රවේශ පතවත් තිබුණෙ නැහැ. ඔහු සිනමා ශාලාවෙම කෙනෙකුගෙ සහයෙන් නොමිලේම මේ පෙට්ටියක් ඇතුළට රිංගා තිබෙන වග පසුව මහ හඬින් කල ප්‍රකාශ වලින් හා මිනිසුන්ගෙ කසුකුසුවෙන් තේරුණා.

ඇත්තටම මේ මනුස්සයා කරපු වරද ප්‍රවේශ පතක් නැතිව සිනමා පටයක් බලන්න ආපු එක ද කියලා ඔබ හිතනවා ඇති. නැහැ ඔහු ආවෙ සිනමා පටයක් රස විඳින්න නෙවෙයි. සිනමාපටය නරඹන්න බොක්ස් ඇතුළට යන ජෝඩ් කරන ක්‍රියාකාරකම් රස විඳින්න. කෑම විකුණන වයසක අංකල්  එතනින් යද්දි එයාට සර බරස් ගාලා සද්දයක් ඇහිලා. එයා මොකද්ද ඒ කියලා එබිලා බලන කොට උල් ඇණයකින් අර මනුස්සයා ලී බොක්ස් බිත්තියෙ සිදුරක් හදනවා. තමන්ගෙ ඇහැ දාන්න පුලුවන් මටිටමට පුංචි සිදුරක් යහමින් ආලෝකය තියෙන වෙලාවෙ තනා ගන්න එයාට ඔනෙ වෙලා.

ඊටත් වඩා ලස්සන කාරිය ඒක නෙවෙයි. එතන පරීක්ෂා කරලා බලනකොට, ඒ වගේ සිදුරු බොහෝමයක් හමු වෙලා තියෙනවා. මේ මනුස්සයා හදලා තියෙන්නෙ තිබුණු පුංචි සිදුරක් තව ටිකක් විශාල කරගෙන පහසුවෙන් බලන්න.

ඉතින් යාලුවෙ, මම දන්නවා ප්‍රේම කරන්න රටේ තොටේ තියෙන නිදහස අඩු කම නිසා හමුවෙන සුන්දරම අඳුරුම තැනක් විදියට ඔබ මේ සිනමාශාලාවෙ බොක්ස් තෝරගන්නවා ඇති. සිනමා පටිය හොඳටම දර්ශනය වන්නෙ බොක්ස් එකට කියලත් සිනමාව ගැන සරසවියෙදි උගන්වන අපේ ආචාර්යවරු කියලා තියෙනවා.  ඒත් සිනමා ශාලාවෙ බොක්ස් එකක් ඇතුළට තරුණ ජෝඩුවක් යන්නෙ ඇත්තටම චිත්‍රපටය බලන්න නෙවෙයි. ඔබ චිත්‍රපටය බලන්න යනවා නම් කර්ණාකරලා ඕඩීසී හෝ අත්‍යාවශ්‍ය නම් බැල්කනි යන්න. ඔබ ඔබේ පෙම්වතියගේ ගෞරවය ආරක්ෂා කරන පෙම්වතෙක් නම් කවදාවත් ඇයව බොක්ස් එකක් තුළට ගෙනියන්න එපා. විවාහ වුණ පසුවත් එපා. ඔය දෙන්නාගෙ වැඩ අනෙක් අය දකින්න ඕනෙ නෑ.. එහෙම නේද? එහෙම හිතලා බොක්ස් එකක ට ගියත්, දැන් එයත් හරිම අනාරක්ෂිතයි.

දැන් ඔබ කියාවි මේ මොකද්ද? එක සිද්ධියකට බය වෙන්නෙ ඇයි කියලා. ඒත් ඊළඟ සිද්ධිය, ඒ කිව්වෙ දෙවනි එක සිද්ධ වෙන්නෙ ඔබට නම් අතර මැද සිද්ධියක් නොවෙන්න පුලුවන්. තිරණය ඔබ ළඟ . හැකිතරම් කල්පනාකාරී වන්න. ඔය සිදුරට ඇසක් තිබ්බොත් බලන කෙනා රසවිඳලා යන්න යයි. ඒත් ඔය සිදුරට පුංචි කැම්රෙකෝඩරයක් තිබ්බොත් ඔබලා තව බොහෝ අයගේ නළු නිලියො වෙයි. ඒ දැනුවත්ව නෙවෙයි. ඒත්? ටිකක් හිතලා බලන්න.

-----
මෙවර යෞවන සම්මාන උළෙලට මම කෙටිකතාවක් ඉදිරිපත් කළා. බලමු  ජය ගන්න වසනාව තියෙයිද කියලා!

බස් රේඩියෝ විසින් පවත්වන බ්ලොග් සතිය උදෙසා


7/10/12

සිනා මල් ගොඩක්



අපේ අල්ලපු ගෙදර ඉන්න නංගියා හරිම ලස්සනයි. දඟකාරයි. ඒ නිසාම ඇගේ අම්මා ඇය එක්ක හැමතැනම යනවා. ඒ දුවගෙ ආරක්ෂාවට. කොට ගවුම් අඳින්න හුඟක් ආසා කළත් ඇගේ අම්මා ඇයට අඳින්න කියන්නෙම කුර්තා ඇඳුම්. මේ ළඟදි ඇයට ඉන්ටර්නෙට් ඕනෙ වෙලා. පවුලෙ එකම ළමයා නිසා ඒ අම්මාටත් බය ඇති. ඒ අම්මා මගෙන් ඇහුවා, දුවට ඉන්ටර්නෙට් ගන්න එක හොඳඳ කියලා. ඒ නංගිගෙ ඕනෙම දෙයක් මම මගේ අන්තර්ජාල පහසුකම් වලින් ඉටු කරගන්න දෙනවා. එයාට අවශ්‍ය හුඟක් දේ හොයා දෙන්නෙත් මම. ඉතින් හදිස්සියෙම ඉස්කෝලෙ යන මේ දරුවට තියෙන අන්තර්ජාල අවශ්‍යතාව මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ. ඒ නංගිගෙ ලොකු අම්මාගෙ ගෙදර ඉන්ටර්නෙට් තියෙන නිසා, යූ ටියුබ් එකෙන් සින්දු හොයන්නයි.. ඇත්තටම එයාට ඉන්ටර්නෙට් ඕනෙ කියලා මම දැනගත්තා.

රසවින්දනය කියන්නෙ අනර්ඝ දෙයක්, ඒත් එන එන සැරේට මගේ වත්පොතටත් එබෙන මේ පුංචි පැටික්කි, තමන්ට ඉන්ටර්නෙට් ආපු ගමන් වත්පොත් ගිණුමක් හදාගෙන එයට ඇබ්බැහි වුණොත්, තව අවුරුදු කිහිපයක් ඉස්සරහට තියෙන පාසල් ජීවිතේ තද අපරාධයකට මුහුණ දෙනවා කියලා මට හිතුණා. අන්තර්ජාලය ගැන කිසිවක් නොදන්න ඇය පරිගණකින් හරියට වැඩක් ගන්නවත් නොදැන මේ දේවල් වලට ඇබ්බැහි වෙයි කියලා බයක් ඇගේ අම්මාටත් තියෙනවා. දුවගෙ කරදරය නිසාම වෙන්න ඇති ඇය මගෙනුත් ඇහුවෙ.

ඇයට තනියම එන්න යන්න හරිම ආසයිලු. ඒත් ඇගේ අම්මා ඒක ඉටු කරන්න මඳක් බයයි. තවම නොමේරු ඇයට මේ වනවිටත් මඟුල් ගෙවල් වලින්, පාර්ටි වලින් දැකපු ලොකු මිනිසුන්ගෙ පුතාලාගෙන් මගුල් යෝජනා කිහිපක් ඇවිල්ලා. ඒත් ඇගෙ මව හිතන්නෙ, ඇය තව පරිණත වනතුරු එවන් යමක් අනවශ්‍යයි කියලා.

සිංදු කියන්න හරි අපූරුවට දක්ෂ මේ නංගිව හැම තරඟයකටම ඇගේ අම්මා යොමු කරනවා. නමුත් රියැලිටි තරඟ වලින් හැර. ඒ තරඟ වලදි ගැහැණු ළමයින්ට යම් යම් ගැටලු සිදුවී ඇති බව ඇයට දැන ගන්න ලැබිලා. මේ නිසාම ඒ අම්මා ඇයගෙ ආරක්ෂාව ගැන හිතන්න ඇති. නුදුරු අනාගතයේදි මේ අම්මාට දුවට තව බොහෝ දේ කියා දෙන්න වේවි. ඒ අම්මාට විතරක් නෙවෙයි. හැම අම්මාට ම එහෙමයි. මම මේ ගත්ත එක උදාහරණයක් විතරයි.

අද මේ සමාජ යන්ත්‍රය ඇතුළෙ ගැබකින් ස්ත්‍රී කලලයක් බිළඳියක් ලෙස එළියට දමන වේදනාවට වඩා වැඩි වෙහෙසක් ඇයව හදන්න ඇගේ මවට දරන්න වෙනවා. මම හිතනවා පුතෙක් හදනවාට වඩා අමාරුයි දුවෙක් හදන්න. එහෙම අමාරු වෙන්නෙ සංස්කෘතිය සහ සදාචාරය බල්ලාට නොදාන අම්මා කෙනෙක්ට විතරයි. නැත්තම් දුවත් තවත් එක ගැහැණු සතෙක්.


මේ ගීයෙන් අපූරුවට මේ මොහොතේ මගේ හදවත විග්‍රහ වෙනවා.

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලාගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නැහැ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතු කැට පද වැල් සීරෙන විට කඳුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නැහැ මගෙ දූ දන්නේ..


බස් රේඩ්යෝ සින්ඩියේ බ්ලොග් සතිය උදෙසා



7/9/12

බස් සහ කාන්තාවෝ



මධ්‍යම පන්තියෙ අපි කොයි කවුරුත් අතරින් බස් එකක නොගිය කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒක අහම්ඹයක්. බස් එකක යද්දි මුහුණ දුන්න සිදුවීමක් තමයි අද මගේ කතාවට වස්තු විෂය වෙන්නෙ. ඔබ බස් දහයක ගමන් කළොත් එකක හරි දකින, දැන්වීමක් ඔබට මතකද? දැන් ඔබ මගෙන් අහයි විල්බට් අඹතලාව මහත්තයාගෙ කවියක් ද කියලා? නැහැ. කාන්තා කාර්යාංශය සමඟ පොලීසිය එකතු වෙලා ගහපු කාන්තා හිංසනය පිටුදකිමු කියන දැන්වීමයි මම ඔබට මතක් කළේ.

දවසක් මම විජේරාම හන්දියෙන් එකසිය තිස් අට බස් එකක නැග්ගා. එදා යාලුවො කිසිම කෙනෙක් නුගේගොඩට එන්න නැති දවසක්. ගම් සභා හන්දියෙන් වයස අවුරුදු තිහක තිස්පහක පෙනුමැති මිනිහෙක් බසයට නැංගා. ඔහු ඉඳ ගත්තෙ, මම ඉඳ ගත්ත පැත්තට විරුද්ධ පස අසුනක. මේ මනුස්සයා අනවශ්‍ය ලෙස දුරකථනයක් මා දෙසට හරවමින් ඉන්නවා මම දැක්කා. එය පෙනුනෙ රියදුරුගෙ පිටුපස වීදුරුවෙන්. කවදාවත් සිරුරෙ අනවශ්‍ය අඟ පසඟ පෙනෙන ඇරෙන ඇඳුම් නොඅඳින මට බියක් දැනුණෙ නෑ. ඒ වෙලේම සුදු ලයිට් එකක් වැදුණා දැණුනා. වරක් මම ඒ මනුස්සයා දිහා බැලුවා. ඒත් නොබියව මේ මනුස්සයා කැමරා දුරකථනය මානාගෙන හිටියා. මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. මම ඒ මිනිහා ගැන බසයේ කෑ නොගසපු හේතු කීපයක් තිබ්බා.

1 . බස් රථ රියදුරන් කොන්දොස්තර වරු පවා මේ මිනිසුන්ගෙ අතකොලු.  ( මේ මිනිහා ටිකට් ගත්තෙ නෑ. හැබැයි කොන්දොස්තර ඔහු ව දුටුවා. )

2 . මම හිටියෙ තනියම. නැවත දවසක පොඩි දෙයක් නිසා මහ කරදරයක් පාත්වීමට ඉඩ තිබීම.

3. බස් එකේ සියලු දෙනාගෙන් තවත් සිටියේ එක තලතුනා මහත්මියක් පමණක් වීම.

4. බසය සෙනඟ අඩු එකක් වීම.

5. සමහර අවස්ථා වල ගැහැණියට සියල්ලෝම එකතු වී දොස් පැවරීම.

මේ හේතු නිසා මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. එතකොටම සුජාතාව ළඟින් මඳක් ස්ථුල කාන්තාවක් බසයට නැග්ගා. ඇය ඉඳ ගත්තෙත් විරුද්ධ පැත්තෙ. අර මිනිහා වහාම මා සිටි පැත්තට ආවා නිබයව දුරකථනය ඇය දෙසට මානමින් හිටියා. ඒක බස් රියේ හිටපු අනෙක් පිරිමි අය කවුරුත් දැක්කත් සද්ද කළේ නැහැ. මේක දැකපු ගැහැණිය මෙන්න මේ මිනිහා මගෙ පොටෝ ගන්නවා කියලා කෑ ගැහුවා. කිසි කෙනෙක් සද්ද කළේ නැහැ. අර මිනිහා බහිනකං හැමෝම එකිනෙකාට කුටු කුටු ගෑවා මිසක් නැගී හිටපු කිසි කෙනෙක් නෑ. කැම්පස් එකේ කොල්ලො එකෙක් හරි බස් එකේ හිටියා නම් කියලා මට හිතුණෙ ඒ වෙලාවෙ. අර තලතුනා කාන්තාව පමණක් මේ කාන්තාවට කීවා ඕවා ඔහොමතමයි කියලා. මට අපේ රටේ මිනිස්සු ගැන ඇත්තටම පිළිකුලක් දැනුණා.

බස් වල සීට් අස්සෙන් ඇඟිලි එවන මිනිස්සු, බස් වල හිර වෙලා යද්දි ගැහැණුන්ට උවමනාවෙන් හේත්තු වෙන මිනිස්සු අද හරියට ඉන්නවා. මේවා නවතින්නෙත් නැත්තම් , අපිට කරන්න දේකුත් නැත්තම් බලාගෙන ඉන්න එකද එකම විසඳුම? අපි ටිකක් හිතමු. පෝස්ටරයකට විතරක් සීමා වුණ කාන්තා හිංසාව සදහටම මිහිමතින් තුරන් කරමු.



7/8/12

ආශාවෝ සහ මිනිස්සු


ඇත්ත නම් ගම් වලින් ලියන්න පුලුවන් දේවල් වගේම බැරි දේ නැතිවා නෙවෙයි. ඒත් මේ කතාව නොලියා ඉන්න බැහැ. බොරු නමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. එයා, ඔයා මම අතරෙ ඉන්න නිසා සමාවෙන්න මට එයාගෙ ඇත්ත නම ඔයාට කියන්න බැහැ. ඒ නිසා මම එයාට ආශා කියලා කියනවා. මම ඒ නම එයාට දමන්නෙ නිකමට හිතට ආපු නිසා නෙවෙයි. ආශාව නිසා තැලෙන පොඩිවෙන ජීවිත වගේම නැගෙන සැනසෙන ජීවිතයකටත් එයා හොඳම උදාහරණයක්.

මේ පුංචි රටේ මඳක් පිටිසර ගමක එයා ඉපදුණා. උපතින්ම ගෙනා ලස්සන එයාට කවදාහරි හොඳ ආභරණයක් වෙයි කියලා එයාගෙ දෙමව්පියො හිතුවා. සමහරවිට ඒ අය අදටත් එහෙම හිතන් ඇති. මමත් එහෙම හිතනවා. පුංචි සමනළියක් වගේ ආශා පාසල ඇතුළෙ පියාසලන්න ඇති. ඒත් ගමේ ටිකක් බලපුලුවන්කාර මිනිහෙක්ගෙ ඇල්ම බැල්ම ඒ සිරුරට වැටෙනකම් විතරයි ඒ අහිංසකාවි පියා සැලුවෙ. ඒ මනුස්සයා දෙමව්පියන් පවා නොදැනුවත්ව මේ ගැහැණු ළමයාව වරදට පෙළඹුවා. එදා ආශාව නිසා ඇයට වැරදුණා. මිනිහෙක් කාන්තාවකට දිය හැකි උපරිම ශාරීරික වදයට ඇය යටත් වුණා කියලා මම ඔබට කීවොත් ඔබ පිළිගනීද මන්දා.

ඔය අතරෙ ඇය දහ දුක් මැද්දෙ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නතියෙන ආසාව නිසා. උසස් පෙළ පන්තියෙදි ආයෙ වැරදුණා. උසස් පෙළ පන්ති ඉවර වෙලා නම ගිය ගුරුවරයෙක්ගෙ අතකොලුවක් වෙන්න ඇයට සිද්ධ වුණා. ආදරයට කරපු ආසාව නිසා ඇයට දෙවනි වතාවෙත් වැරදුණා.

ඒ වැරදීමත් එක්ක ඇය සරසවි ගියා. ඇය ඇත්තටම ආදරය කරන්න පටන්ගත්තා. ඒ ආදරේ හරිම මිහිරියි. අන්තිමට ආදරය කරපු කෙනා ඇගෙන් බලාපොරොත්තු වුණේ ඇගේ සිරුර විතරයි කියලා දැනගත්ත දවසෙ ඇය මානසිකව අන්තයටම වැටුණා. ඇය ඒ ගැන අදත් අඬනවා. ඒත් තාම හිතේ තියෙන ශක්තියෙන් ඇය උපරිමය කරනවා.

ඇයගෙ එකම ආශාව දැන් රටේ නමගිය කෙනෙක් වෙන එක. මම හිතනවා එහෙම වෙන එක හොඳයි. ළමා අවදියේම ගැහැණියක වීම ඇගේ කරුමය නොවන්නට ඇය රටම දන්නා, ප්‍රතික්ෂේප කළ නොහැකි චරිතයක් වියයුතුයි.

අපි කල්පනා කළ යුත්තේ ඇත්තටම මේ ගැන නොවෙයි. අද රටේ මෙවන් ත්ත්ව වලට මුහුණ දෙමින් සිටන, මුහුණ දුන් ළමයින් කොපමණ ඇත්ද යන්නයි. එසේ නම් මෙවන් සිදුවීම් නොවන්නට රටක් ලෙස අප කළ යුත්තේ කුමක්ද?

ගිය හකුරට අඬමින් තියෙ හකුරත් විනාශ කරන්නට දෙන සමාජයක හිඳ වැදි බණ කියා පලක් නැතත්, සමාජය අපේ පරපුරෙන් හැදුණොත් වර්තමානය කෙසේ වෙතත් අනාගතයේ මෙවන් දේ දුලබ වූ සමාජයක් අපට දැකගතහැකිවේවි නේද?

ආශාට සිදු වූ දෙය තව කී දෙනෙකුට ඉදිරියේදී සිදුවීමට නියමිතදැයි අප කිසිවෙකුත් නොදනිමු. ආශාගේ මවුපියන් පවා ආශා මේතරම් ගැටලු වලට මුහුණ දුන් බව නොදනී. අද කොයිතරම් දෙමව්පිය පිරිසක් සිටිනවා විය හැකිද? තම දූ වරුන් අපචාරයේ යෙදෙනවග නොදත්, වයස දහ අටක් වූ පමණින් සියල්ල වැටහෙන දරුවෙක් බිහි නොවන වග විශේෂයෙන් අද දෙමව්පියන් දැනගත යුතුයි.

මේ ලිපියේ අරමුණ බොරු බයට දූ වරුන් නිවෙස් වල හිර කර තැබීම කියා ඔබ සිතනවා නම් වහා එය නිවැරදි කරගන්න. ඔබ දියණියව පෙර පාසලේ සිට එළියට දමන්න. ඒ ඒ වයසට ඇය දැන ගත යුතු මට්ටම තේරුම්ගෙන ඇයට අවබෝධය ලබාදෙන්න. මව්පියනි ඔබ විචක්ෂණශීලිව ජීවිතය දකින්න.


ආශා අද සියල්ල අමතක කොට ඉගෙන ගත්තත්, ඇයට යළිත් වැරදිය හැකි තැන් ඇත. මුලින් එය නිවැරදි නොකිරීමෙන් පසු එයට සිදුවන්නේ පිරියම් කළ බිත්තියක් ජරා වූවාට පසු වේගයෙන් සෙවෙල බැදෙන්නා සේ සිදුවීමකි. ඉතින් කල්පනාකාරී වන්න.


7/7/12

නළල සහ බැංකුව හා ජීවිත



මේ දිනවල ඉතාම කාර්ය බහුල නිසා නවකතාවට හදවතේ සාහිත්‍ය කාමරයට වී සිටින්නට ලෙඩ නිවාඩු දුන්නත්, හදවත පුරා ඇවිදින ආත්මයක් කාර්යබහුල බව පසෙක තබා යමක් ලිවීමට  මසකට ආසන්න කාලයක් පුරා මට බල කරයි. මේ වෙලාවෙ මට මා කියවු කෙටි කතාවක් සිහිපත් වේ. ඒ නත්තල් ගස සහ විවාහ මඟුල නම් ෆියදොර් දොස්තයෙව්ස්කි ලියූ රුසියානු කෙටි කතාවයි. මගේ කතාවට රුසියාව සම්බන්ධ වන්නේ කෙලෙසදැයි දැන් ඔබ සිතාවි. එම කෙටි කතාව ලියන ලේඛකයා තමන් මුලින් ලිවිය යුත්තේ නත්තල් ගස ගැනද විවාහ මඟුල ගැනද යන්න හිතමින් වික්ෂිප්ත වෙයි. මමත්, මුලින්ම මගේ කතාව පටන් ගැනීමට  ලිවිය යුත්තේ ලහිරු ගේ නළල ගැනද? නොඑසේනම් බත්තරමුල්ලේ බැංකුව ගැනද යන්න පිළිබඳව වික්ෂිප්ත වෙමින් සිටිමි. නමුත් දොස්තයෙව්ස්කි සේ මම අතීත සිද්ධිය මුලින් නොකියමි. මම එහෙයින් වර්තමාන සිද්ධිය තෝරාගනිමි.

ඒ ජූනි 13 වැනිදාය. උදෑසන දෙකහමාර යනු, නින්ද මිනිසුන්ව හරි හැටි ග්‍රහණය කරගත් මොහොතකි. බත්තරමුල්ල මඳක් කලබල විය. සෙත්සිරිපාය නිවස්නය වූ ලංකා බැංකු ශාඛාවක මංකොල්ල තැතක් වැරදිණ. බොහෝ පුවත් සේම එයත් තටු ලැබ පැමිණ නිදි ඇඳෙන් පිබිදි විගසම උණුවතුර සමඟ මුවෙහි තැවරිණ. එය තවත් සාමාන්‍ය මංකොල්ලයක් විය. පුද්ගලයෙක් මරු මුවට පත් වුවත් එය තවත් මරණයක් විය. හමුදාවේ කෙනෙක් පලා විත් මෙවන් දෙයක් කළ බව ආරංචි වුණත් එයද සුලබ කතන්දරයක් බැවින් 15 වැනිදා තෙක් එයත් මුල්ලකට තල්ලු විය.

ජූනි 15 වෙනිදා මට කෙනෙක් හමු විය. ඔහු නමින් ශෂික. මගේ වයසේම පසුවූ ඔහු දුක් විඳි බව සටහන් කරන කර්කෂ බවකින් උපන් වෙහෙස මඟ හරවා සුපුරුදු ලෙස සිනා විය. ශෂික මට මුලින්ම මුණ ගැසුණේ එක වසරේ දී ය. නිතරම පන්තියේ දඟ වැඩ කරන ශෂික ගැන සමහර අවස්ථාව වල ගුරුවරු හිටියේ අධික තරහකිනි. එහෙත් නිතර පන්තියට එන , ළදරු පාසල් ගුරුවරියක වූ මගේ මව සහ ශෂික අතර අද වනතුරුත් ඇත්තේ ඉතා සුහද බවකි. මම පහ වසරෙන් ගමේ පාසලෙන් ඉවත්ව ගෝතමියට ගියත්, වසරකට දෙකකට වරක් මඟ තොටදී හමුවන ඔවුන් සමඟ පසුගිය සියල්ල කතා කිරීමට තරම් එකතු වන්නේ ඉතාම සතුටිනි.

මෙදා ශෂික හමුවී සිනා මුසු මුහුණින් කී දෙයක් මගේ සිත බොහෝ දුර සිතන්නට පෙළඹීය.
දන්නවද සුලක්කනා... ලංකා බැන්කු කේස් එකෙන් වෙඩි වැදිලා මැරිලා තියෙන්නෙ අර කෙට්ටු මහේෂ්...

පැරණි අහකට විසි කළ සිදුවීම තවමත් මගෙ හදවතේ උණුසුම් සිදුවීමකි. අද මහේෂ් බැංකුව කඩන්නට ගොස් මැරුම් කන බව එදා ඔහු නොසිතන්නට ඇත.

එදා ඔහුගේ වයස අවුරුදු නවයකි. මහේෂ් ගේ කෙට්ටු මුහුණේ හකු ඉලිප්පි කන් දෙකට හිරවී තිබිණි. දින දෙකක් පමණ නොසෙදූ කමිසයේ පෙරදා පෑන් ඉරි බලියක් එලෙසම විය. දහඩියත් සමඟ පෙර දවසක සෝදද්දී දැමූ නිල් දියර තැනින් තැනට එකතු වී තිබිණි.

ලහිරු සංඛනාත් සෙල්ලම් කරමින් සිටියේ සී සෝ එක ළඟ ය. මම පුරුදු පරිදී සෙල්ලමට යාමට තහනම් ලද්දෙන් පන්තියේ ජනේලයෙන් අවට නරඹමින් සිටියෙමි. ලිස්සන ලෑල්ලේ සිට දිව ආ මහේෂ් ගලක් උඩ විසි කරනුත්, අනතුරුව කෑගසමින් සංඛනාත් බිම ඉඳගනුත්, අවට සිටි අය එතෙන්ට රැස් වෙනුත් මට මතකය. ගල විසි කරනු මිස ඔහු ගල දමා ගසනු දුටු කෙනෙක් නැතත්, එදා ඒ දුගී වෙසට මැර කෛරාටික පෙනුමක් දුන් ගුරුවරු යක්ෂාවේසයෙන් හැසිරුණ හැටි මගෙ මතකයේ වෙයි.

පන්තියේ නායිකාව ලෙස මමත් එදා විදුහල්පති තුමා ළඟ සිටියෙමි. ඔහුව උරහිසින් අල්ලා ගුරුවරියක් දණහිස් පොළවේ වදින්නට තල්ලු කල හැටිත් ඔහුගේ දණහිස් වල නැගිටිද්දී ලේ තැවරී ඇති සැටිත් මම දුටුවෙමි. එදා ඔහු මැරයෙක් අපරාධකරුවෙක් බවට පාසලේ දී පත් වූයේ අත් වැරදීමකිනි. ඔහු මැරයෙක් වූයේ අත්වැරැද්දකිනි. අද වුවමනාවෙන් අපරාධයක් කළ ඔහුගේ දිවි තොර කරවූයේද අත් වැරදීමකින් යැයි මම සිතමි.  එය හරිම පුදුමයක් යැයි මට සිතේ.

වැරදීමකින් වත් ඔහුව පහේ පන්තියෙන් පස්සෙ මට මුණ ගැහුණෙ නෑ.. එහෙම වුණා නම් මට ඔහු එක්ක කතා කරන්න තිබුණා. එක වරක් ඒ ළමයාගෙ හිත සනසන්න තිබ්බා. ජීවිතේ කවදාවත් ඒ ළමයා මවකගෙ සෙනෙහසක් නොලබපු කෙනෙක් වග සමහරවිට කවුරුවත් නොදන්නවා ඇති. සමහර විට කාටවත් ඒක වැඩක් නැතිව ඇති...