6/22/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 05)

ඒ ගැහැණු පෝලිමක්. එකම විදිහෙ ඇඳුම් ඇඳගත්ත මලානික මුහුණු තියෙන ගැහැණු පෝලිමක්. මම ඒ ගැහැණු ටික දිහා බලා හිටියා හරි පුදුමයෙන්. ඒ අය පාර පැනලා ගොඩනැගිලි දෙකක් අතර පටු තීරුවකින් ගමන් කරමින් හිටියා. එකා පසුපස එකා වැටිලා ගියා මිසක්, එකිනෙකා අනෙකා ගැන අවධානයකින් නෙවෙයි හිටියෙ.

අසල මාවතේ ගමන් කළා තලත්තෑනි ගැහැණියක් . ඇය අතේ ආප්ප පුරවපු කූඩයක් තිබුණා.

මහත්මිය, මට කියන්න පුලුවන්ද ඒ උදවිය කවුද කියලා.

ඒ හැමෝම අනාථයින්. සමහරු වැන්දඹුවන්. ගඩොල් කම්හලේ වැඩ කරලා නවාතැනට යන්නෙ මේ වෙලාවට.

අහිංසක මිනිස්සු මට කිය වුණා.

මොන පිස්සුද? උදේටයි හවසටයි මේ වීදියෙ කෙනෙක්ට දකින්ඩ පුලුවන් මුස්පේන්තුම දර්ශණය ඕක!

ඇය තමාටම යමක් මුමුණමින් ඇවිද යන්නට වූණා. එයා නපුරු ගැහැණියක් වෙන්ට ඕනෙ. සමාජය හුඟක් බිය දනවන තැනක් මම මටම කියා ගත්තා.

තේ වෙලාවට මුකුත් නොබී හිටපු නිසාද මන්දා මම හිටියෙ හුඟක් බඩගින්නෙ. අතේ හරි හැටි මුදලක් තිබුණෙත් නෑ. ඒ නිසා මට එදා දවල් වෙනකං ආහාරයක් ලැබුණෙ නෑ. දවල් ආහරයෙන් පස්සෙ මගෙ ජීවිතේ වෙනස් වුණා.

මම ඒ වෙලාවෙ පල්ලිය ඉස්සරහෙන් යමින් හිටියෙ. කෝට් එකක් ඇඳපු දුප්පත් පිරිමියෙක් කියලා හිතන්ඩ පුලුවන් කෙනෙක් මගේ ගමන වැලැක්වුවා.

මෙනවිය ...ඔව් ඇත්තටම.. අතේ මඟුල් මුදුවක් නැති නිසයි එහෙම කිව්වෙ. මම වැරදි නම් සමාවෙන්න. මම හිතනවා ඔබ හදිසි ගමනක් යන කෙනෙක් නෙවෙයි කියලා. මම හරි නේද? මට ඔබෙන් ලොකු උදව්වක් ඕනෙ. ඔබ මට උදව් කරනවා නේද? ඒක අත්සනක් තරම් සුලු දෙයක්.

ඔහු එක පෙළට කියවගෙන යද්දි මට පුදුම හිතුණා.

මොකද්ද මගෙන් වුවමනා උදව්ව?

මගෙ අක්කා ගැබිණියක්. ඇය තුන්මසකට පෙර අනාථ වුණා මිනිහෙක් අතින්. ඔව් ඒක සිහි වෙද්දි මට එන තරහ. ඔහු අත මිට මොලවා තාප්පයට පහර දුන්නා. මේ දැන් ඇයව බඳින්න කෙනෙක් කැමති වුණා. ඒත් ඔහු තව පැයකින් පතල් වඩ වලට පිට වෙනවාලු. ඊට කලින් කසාදෙ අත්සන් කරන්න ඕනෙ. තව සාක්ෂි කරුවෙක් මදි. ඔබ මට උදව් වෙන්න. ඇයව විවාහ කරදෙන්න.

මම පල්ලියට ඇතුළු වුණා. කිසිම සැරසිල්ලක් නැති මේසෙක වැරහිලි ඇඳගත්ත දෙදනෙක් දණ ගසා සිටියා. එතන සිදුවුණේ අත්සන් කීපයක් පමණයි. එය විවාහයක් කියලා දැණුනෙ නැහැ. ඒත් එක පාරටම මයාකල් මගෙ හිතට ආවා ඡායාවක් වගේ.

මම පල්ලියෙන් එළියට එනකොටම අර මනුස්සයා මා පස්සෙන් දුවන් ආවා.

ඔබ කලේ ලොකු සේවයක්. කරුණාකරලා අපිත් එක්ක දවල් කෑම ගන්න නවතින්න. මේ වගේ වෙලාවක එහෙම දෙයක් ගැන දෙවරක් හිතන්න බැරි තරම් බඩගින්නෙ මම හිටියෙ. අපි හෝටලේකට ගියා . හැබැයි පිටිපස්සෙ දොරෙන්. ඒක වර්ජිල් වැඩ කරන හෝටලයලු. වර්ජිල් කියන්නෙ ගැබ්බර කෙනාගෙ සහෝදරයා. එතනින් කාලා මම එළියට බහින කොටම එක් වර ඉර එළිය දරාගන්න බැරුව මම නීංලංකාර වුණා. පිදුරු කරත්තයක් මගෙ ඉස්සරහට ආවා.

පෙර කතා බලන්න

6/20/12

සාරි සහ ගෑණු



අද අම්මයි මමයි පිටකොටුවෙ ගියා සාරි ගන්න. නිකිණි මහට ගමටම බුලත් දීලා ගන්ට හදන පුංචි අම්මාගෙ මඟුලට මේ අල්ල පනල්ලෙ ගන්න සාරි අඳින්ට බෑලු අපෙ අම්මාට. ඔන්න ඉතින් උදේ අට නවය වෙන කොට දෙන්නම පිටත් වුණා. ගෙදර ඉඳන් මහපාරට ආවම එතන ඉඳන් එක බස් එකකින් පිට කොටුවෙ යතහැකි. උෂාන් කියන විදියට අපේ ගෙදර තියෙන්නෙ කොළඹෙත් අඹ බ යන්නෙ වුණාට, ඇත්තටම පාර්ලිමේන්තුවයි , අමත්‍යාංශ ටිකයි , අලුත් නුවර පාරයි නිසා මේ පැත්ත දියුණුයි. නිදහසේ ඉඳගත්ත බස් එක බත්තරමුල්ල බොරැල්ල හරියට වෙද්දි කිටි කිටියට තද වෙලා තිබුණත්, මරදාන හරියෙදි හුඟක් අය බහිනවා. පිටකොටුවට එනකොට නගින කොට හිටපු සෙනඟට වඩා අඩු ප්‍රමාණයක් තමයි බහින්න හිටියෙ. කොහොමහරි බොහොම අමාරුවෙන් තද බද වෙලා ගිහින් කතාකරලා බඩු විකුණන මුස්ලිම් කඩ අස්සෙන් අම්මයි මමයි අපිට ටිකක් හුරුපුරුදු කඩයකට ළං වුණා.ජෝජට්, රිබන්, මැඩ්‍රාස්, නෙට් ඕනෙ වර්ගෙකින් ගන්න තරම් තොග පිටින් දාපු කඩයක් ඒක. එතන තිබුණ සාරි තොගය දැක්කාම කොහොම සාරිගැන නොලියා ඉන්නද?

සාරියක් කියන්නෙ නිකම්ම නිකං රෙදි යාර හතක් නෙවෙයි. සාරිය කියන්නෙ සංස්කෘතියක්. සාරිය කියන මෝසතරය අපිට ලැබෙන්නෙ ඉන්දියාවෙන්. අපේ එටේ මිනිස්සු ඇන්දෙ ඔසරිය. උඩරට අයට කාලින් ඉන්දියාවෙන් ආපු සාරියට තමන්ගෙ ඇඟේ දැවටෙන්න ඉඩ දුන්නෙ දකුණෙ කාන්තාවො. කොහොමනමුත් අද ලංකාවෙ ඔසරියට වඩා සාරිය ජනප්‍රියයි. අද වෙනකොට සාරි අඳන්න පුලුවන් ක්‍රම බර ගණනාවක් තියෙනවා.

සාරි තොග පිටින් ආනයන කරනවා.  සාමාන්‍යෙයන් රුපියල් දෙදාස්පන්සීයෙන් තුන්දාහෙන් උඩ කෙනෙක්ට තොග විකුණන තැනකින් හොඳ නිමාවකින් යුත් ලස්සන සාරියක් මිලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පන්දාහෙන් උඩ මිල ඇති සාරියකින් දෙකක් එක වගේම නිර්මාණය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අඳින කෙනාට යුනික් එකක් අඳින්න පුළුවන්. කොහොමත් එක සාරියක් ගන්න සාරි පනහක්වත් බැලෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ෆ්ලීට් තියලා මේල් කරපු සාරිය. ඒකෙන් ඔසරිය නම් අඳින්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ වෙළඳාමෙ දක්ෂතාව ප්‍රයෝජනයට ගන්න සිංහල ගෑනු, සාරි එකසිය පනහක් විතර අරන් බලනවා. ගැළපෙන එකක් හොයන්න. මේකෙන් කරදරයට පත් වෙන
කඩකාරයො දැන් ඉස්සෙල්ලම අහන්නෙ සාරිය ගන්න බලාපොරොත්තුවෙන බජට් එක.

සිංහල මිනිස්සු වැඩිපුර අඳිනවා වුණත් දමිළ හුරුව උත්සව සාරි වල වැඩිපුර ගැබ්වෙනවා. පන්දාහෙන් උඩ සාරි සියල්ලම පාහෙ ගල් අල්ලපුවා. ඒ ගල් අල්ලන එකත් ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. සතියෙ දවස් පහහෙන් තුන හතරකම විවිධ චැනල් වල යන සාරි මෝස්තර බැලුවත් අපිට ඔබින විදියටම සාරියක් නිවසේදි නිර්මාණය කරගන්න ටිකක් අමාරුයි. ඒ ගැනම ඉගෙන ගන්න කෙනෙක්ට නම් ඒක පහසු ඇති. කොහොම වුණත් සාරි කෝටි ගාණක් තියෙන පිට කොටුවෙන් සාරි පහක් ගන්න අපිට පැය හයක් ගියා.

6/13/12

තාරුණ්‍යය සහ පොටෝග්‍රැෆි

අවසරයකින් තොරව උපුටාගත් ඉන්ද්‍රනාම


ඡායාරූප ගැනීම කලාවකි. එයට භාවිතා කරන කැමරාවෙන් 5%ක දායකත්වයක්ද? ඇසින් 45% ක දායකත්වයක්ද හදවතින් 50%ක දායකත්වයක්ද ලැබේ. නමුත් මෙහි ඇති පුදුමය නම් ඇස නැත්නම් ඉතිරි 55% න් පැහැදිළි ඡායාරූපයක් ගත නොහැකි වීමයි. කැමරාව නැත්නම් 95%ක් තිබ්බත් ඡායාරූපයක් ගත නොහැකි අතර, හදවත නැත්නම් ඉතිරි 50%ම තිබුණත් එහි කිසිම අර්ථයක් ගම්‍ය නො‍වේ. කොහොම වුවත් මගේ පුද්ගලික හැඟීම නම්, කැමරාව කුමක් වුවත් පෙනීමේ මට්ටමක් සහිත ඇසකට, හොඳ හදවතක් (නිර්මාණාත්මක දෘෂ්ටියක්) ඇත්නම් හොඳ ඡායාරූපයක් ගතහැකි බවයි.

මා කුඩා කාලයේ එස් එල් ආර් කැමරා මා දුටුවේ ස්ටුඩියෝ එකේ දී පමණි. වෙඩිං වලට පැමිණි එක් අයෙක් අත එවන් කැමරාවක් බොහෝවිට දුටුවෙමි. සාමන්‍ය පවුල් අතර ෆිල්ම් රෝල් දාන කැමරා පවුල් දෙක තුනකට එකක් තිබුණි. ඒ කැමරා වලට වඩා වැඩි වේගයෙන් ශිෂ්ටාචාරය විසින් ඩිජිටල් කැමරාව මිනිසුන්ට පුරුදු කළ බව සිහිපත් කළ යුතුය.

ජංගම දුරකථන වල තෙවනි යුගය වන විට දුරකථනයට ම සවි වූ කැමරා සුලබ දසුනක් විය. ඩිජිටල් කැමරාව සාමාන්‍ය ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් වූ අතර, ස්ටුඩියෝ වල එස් එල් ආර් කැමරා, ඩී එස් එල් ආර් විය.

ශිෂ්ටාචාරය තවත් පියවරක් ඉදිරියට තිබියදී, ඩී එස් එල් ආර් කැමරා ස්ටිඩියෝ අත්අඩංගුවෙන් නිදහස් විය. අද වන විට ලංකාව් තාරුණ්‍යය විසින් යුග යුග පාසා පිලිවෙළින් සිගරට්ටුව, ඩෙනිම, ඩෙක්ෂුස්, අව්කණ්ණාඩිය, ජංගම දුරකථනය හා උකුල් පරිගණකය වැළඳ ගත්තා සේ ඩී එස් එල් ආර් කැමරාවද වැළඳ ගනිමින් සිටී.

තවත් වසර කිහිපයකින් එය තාරුණ්‍යයේ සාමාන්‍ය අංගයක් වීම වැලැක්විය හැක්කෙක් වේ නම් තවත් ශූක්ෂ්ම නිර්මාණකරුවෙක් පමණි. එය සිදුවීමට ඇති ඉඩ කඩට වඩා සිදු නොවිමට ඇති ඉඩකඩ වැඩිය.

කොහොම නමුත් කැමරාව තාරුණ්‍ය යේ සාමාන්‍ය අංගයක් වීම තුළ මම බොහෝ දේ දකිමි. පරිගණක ගත වෙමින් පවතින තරුණ සිතිවිලි සොබාදහම හා සමාජය සමඟ බද්ධ වීම සැබවින්ම අගය කළ යුතු අතර, ඒ තුළ නිර්මාණය වන මානව හැඟීම් මත අනාගත සමාජයක පීතෘත්වය නිතැතින්ම සවිබල ගැන්වෙයි.

එහෙත් ඡායාරූපකරණයට ඩී එස් එල් ආර් කැමරාවක් ම ඕනෑ නම්, එතනින් පුංචි ගැටලුවක් මතුවෙයි. හැමෝටම මූල්‍යමය වශයෙන් එවන් කැමරාවක් ගත හැකිද? සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් පොටෝගන්නා අයෙක් සාමාන්‍ය සමාජය විසින් පොටෝකරුවෙක් විදියට පිළි නොගැනීම මත ඩී එස් එල් ආර් නැති පින්තූර ගන්නෝ අධෛර්යවත් වෙති.

මට අනුව ඇස සහ සිත ප්‍රබල නම් කැමරාව හෝ කාචය 5%කට වඩා වැදගත් නොවෙයි. කවදා හරි ඩී එස් එල් ආර් එකක් ගත හැකි නම් හොඳය. එහෙත් සාමාන්‍ය කැමරාවකින් බොහෝ දේ කළ හැකිය.

ලංකාව තුළ ඩී එස් එල් ආර් කැමරාවකට වඩා අනික් කැමරා ආරක්ෂිතය. ලංකාවේ බොහෝ ලොකු ලොකු පුවත් පත් වල ඔබ දකින ඡායාරූප නිකංම ඩිජිටල් කැමරා වලින් ගත්ත ඒවාය. ඩී එස් එල් ආර් යන්නට බැරි තැන් වලට කැමරා ෆෝන් ළඟා විය හැකිය.

කොහොමවුණත් කැමරාවට වඩා ඡායාරූපය තීරණය වන්නේ ඇස සහ දෘෂ්ටිය මත බව අප සිහිපත් කර තැබිය යුතුයි. එවිට කුඩා කැමරා වලින් නිර්මාණ බිහිවීම තුළ දක්ෂයන් නිරන්තරයෙන් බිහිවෙතැයි මම අපේක්ෂා කරමි.   එවිට ඩී එස් එල් ආර් එකක් ගැනීමට කවදා හෝ ලැබෙන දිරියක් මිස ...එය ලැබෙන තුරු ඡායා රූප කරණය ඇණහිටීමක් නොවෙනු ඇත.

6/11/12

සසර සැරි සරන තෙක්



අද නිවාඩු දවසක්! මම දවල් වෙනකන් ටිකක් නිදාගත්තත් මගේ බිරිඳ ඇහැරිලා. නිවාඩු දවස එයා යොදා ගන්නෙ ගෙදර මෙහෙයට ඉන්න කෙල්ල ලවා ගෙවල් අස්පස් කරවන්න.මම කුස්සිය පැත්තට ගියා. ඇය කුණු ගොඩ ළඟ මොනාදෝ කොළ වගයක් දමාගෙයන පුච්චවනවා. මම ඒ පැත්තට ගියෙ වතුර වීදුරුවත් අරන්.
"මේ උදේම මොනවාද ඔයා දාගෙන පුච්චන්නෙ සඳා?"
සඳා කියන්නෙ මම මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල. එයා දකිනකොට මම පී එච් ඩී එක කරනවා. එයාව දැක්කාම මගෙ හිත ඇදිලා ගියා. අදටත් දරුවො දෙන්නා ලැබුණ නිසාද මන්දා ඉන වටේ මස් රැල්ලක් දෙකක් පිපුනාට සඳා හරිම ලස්සනයි.

සඳා පුච්චන්නෙ කොළ වගයක්. මගෙ ඇස් කොළ ටික දිහාවට නැඹුරු වුණා.

“ මේ ඔයාගෙ පරණ කොළ වගයක්. වැඩක් නෑ ගොඩ ගහන් ඉඳලා. මං පිච්චුවා.“ කෙළවර ඉඳන් පිව්චි පිච්චි ගිය කොළයකට මගෙ ඇහැ ගියා. ඒ මම ඒ කාලෙ ගිය විද්‍යාලෙක තිබ්බ පත්තරයකට ලියපු පුංචි ලිපියක අත් පිටපතක්. ඒ මොහොතෙ මට කොහේදෝ ඉඳලා ඇයව සිහිපත් වුණා.
මම වතුර වීදුරුව අරන් ගෙට ආවා.

ඒ කාලෙ ඔය කොළ කෑලි හැම එකක්ම මහමෙරක් වගේ ඇය ෆයිල් කවර වල දදා එකතු කළ හැටි මතක් වුණ හින්දාද මන්දා මගෙ ඇහැ පොඩ්ඩක් බොඳ වුණා. මගෙ බිරිඳ, එදා ඇය මාව හමු වුණ අන්තිම දවසෙ දරු පැටව් ටිකක් බාර දෙනවා වගේ ආදරෙන් බාර දීපු කොළ මිටිය පුච්චනවා.

මම එයාට අකමැති වුණේ ඇයි? හැම කොල්ලාගෙම බලාපොරොත්තුව ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නිසා වෙන්න ඇති. ආදරය තීරණය කරන්න ඕනෙ සාධක ඇතුළෙ මම අතරමං වුණා. එයාගෙ හිනාවට වඩා ලස්සන හිනා තියෙන ගැහැණු ළමයි හිටියා. ඒ ඇස්වලට වඩා ලස්සන ඇස් ඒ තොල් වලට වඩා ලස්සන තොල් තියෙන හුඟක් අය හිටියා. ඒත් ඒ ආදරේ තරම් ආදරේ අය හිටියාද? කියලා මම කවමදාවත් කල්පනා නොකළෙ ඇයි? පිරිමියාගෙ ප්‍රේමය ගොඩ නැගෙන්නෙ ලිංගිකත්වය එක්ක ම නිසාද? මම දන්නෙ නැහැ. මම දේශපාලන විද්‍යාව පිළිබඳ මහචාර්ය වරයෙක්.

පහු කාලීනව ප්‍රේමය කොහොම වෙතත් ලිංගිකත්වය, නෑදෑයො, යුතුකම් වගකීම් ප්‍රධාන පැවැත්ම වුණ පවුලක් ගොඩ නගාගන්න මට හැකි වුණා. ඒක හරියට පනතක් සම්මත වෙලා නීතියක් ගොඩ නැගෙනවා වගේ. සඳා තමයි ඒ නීතිය. විවාහය නම් පනත මත මා අත්අඩංගුවට පත් කර, යුතුකම් හා වගකීම් සමූහයක් සමඟ මා සමාජයට මුදාහළ සඳා මා දකින්නේ මා අත්පත් කරගත් ප්‍රබලම ජීව වස්තුව ලෙසිනි. එදා සිට ශීෂ්ටාචාරය බිහිවන්නට ඇත්තේ එසේ යැයි මම විශ්වාස කරමි.

හවස් වෙනකං හිටිය මම කමිසයක් උඩින් දමාගෙන වාහනයට නැග ගතිමි. නිවාඩු දවසේ හවස එළියට යාම සම්බන්ධව බිරිඳගෙන් දැන් මට ගැටලුවක් නැත. දරුවන් නිවසට එන්නේද රාත්‍රියේය. බම්බලපිටියේ මා සිටින නිවසේ සිට මම බොරැල්ල පැත්තට  වාහනය දැම්මෙමි. මුහුදු තෙර තරු එකින් එක කඩා වැටෙනකොට මට ඒකිගෙ ඇස් දෙක පෙනුණා. මාව සතුටු කරන්න ඒකී කොච්චර දේවල් කලාද? මගෙ උපන්දිනේට පන්තියම රතු පාට තරු වලින් එයා සැරසුවා. රිබන් පටි එල්ලුවා.ඒකි පිස්සුවක් නැටුවා... ඒ දේවල් මම පතපු අය අතින් සිදු වුණා නම් කියලා මම කොයි තරම් හීන මැව්වාද? මට ඇය ගැන ඒ වෙලාවට කොයි තරම් තරහ ආවාද? මම ඇයව බැල්ලියක් වගේ ජීවිතෙන් පන්න ගත්තා නේද? ඒ හිනාවෙ ආදරෙ මම අඳුන නොගත්තෙ ඇයි?

මම වාහනය රාජගිරියට දැම්මා. මම ඇයි මේවා හිතන්නෙ ? මම මහාචාර්යවරයෙක්.

ඒ කාලෙ රාජගිරිය වට රවුමෙ හිටවපු පුංචි නා පැළ දැන් මහ ගස් වෙලා. ආයෙත් වසන්තය ඇවිත්, රතු පාට දලු නටව නටව මහ පාරට ඔච්චම් කරනවා. මම එයාව ගණං නොගත්තාට එයා මං ළඟට වෙලා කොච්චර හිටියාද? ඒත් ලස්සන නැති තැන ආදරේ නැහැ කියලා. එයා පිළිගන්න ඕනෙ. මම ඇයි එයා ගැන හිතන්නෙ...සඳා ලස්සනයි. ඒත් සඳා මට ආදරේද?

මම නුගේගොඩ පැත්තට දැම්මා. එහෙම්මම විජේරාමෙ පැත්තට වාහනේ ඇදුණා. ඒකි කොහෙ ඇද්ද කියලා මට හිතුණා. මම ඒකිගෙ සුවඳ වින්දෙ නැතත්, මට ඒකි මාත් එක්ක කතා කරපුවා මතක් වුණා. දෙයියනේ.  ඒකිට මාව රජෙක්. මට හුඟක් ගරු කළා. මට වැරදුණා. කැම්පස් එක පැත්තෙ ඉඳන් කොල්ලෙක් එනවා. මාත් ඔහොම ගිය කාලයක් තිබ්බා.

මම අහස දිහා බැලුවා. දැන් කොයි තරම් ඈතද? මට දුකක් දැනුණා. මම ඒක පිළිගන්න කැමති නෑ. සඳා ලස්සනයි. ඒත් ඒකි මට පණ වගේ ආදරෙයි. සංසාර දවසක  සඳාගෙ රූපෙ අරන් ඒකි ආවොත් ... නැහැ එයා එන්නෙ නැහැ. ඒත් සසරෙ කවදා හරි එයාව හමුවේවි. එයා මට මුහුණ දෙන්නෙ නෑ. ඒත් ඒ මම පන්න ගනී කියන බයට මිසක්, වෙන දේකට නෙවී. දැන් කවුරු හරි අයිතිකරන් ඇති. ඒත් තවම හිත මං ගාව වෙන්න ඇති.

සසරෙ මට එයාව ලැබෙනවානම් මං ආයෙ නැති කරගන්න එකක් නෑ. ඒත් මම ලස්සනට ආසයි. මට සමාවෙන්න මලී..