5/8/12

හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු


අද මම කතා කරන්න යන්නෙ, මම සාමාන්‍යයෙන් කතා නොකරනම දෙයක්. ගැහැණු අපි කවදත් උයන පිහන වැඩ කරනවා. ඒත් විදුලි වැඩ කරනවා අඩුයි. ඉතින් මම කතා කරන්න හදන්නෙ ඒ ගැන. පොඩි විද්‍යුතය සම්බන්ධ වැඩක් ගැන

ගෙදර කුස්සියෙ වැඩ කරන අක්කලාට නංගිලාට නැන්දලාට සමහර වෙලාවට තමන්ගෙ කුස්සියෙ ප්ලග්ස් කීයක් තිබුණත් මදි කියන එක සාමාන්‍ය කරුණක්. පරිපූර්ණ කුස්සියක අවන් එකක්, හීටරයක්, හොට් ප්ලේට් එකක්, රයිස්කුකර් එකක්, ටෝස්ටරයක්, බීටරයක්,බ්ලෙන්ඩරයක් සහ සමහර වෙලාවට විදුලි කේතල් එහෙමත් තියෙනවා. මම දන්න ටික විතරයි මේ. (අපේ ගෙදර මෙයින් බාගයක්වත් නෑ.) හරි දැන් මේ හැම එකටම වෙන් වෙන් වශයෙන් අපිට ප්ලග් එක ගණනෙ නැති නිසා  අපිට මල්ටි ප්ලග් එකක් උවමනා කරනවා. කුස්සියට විතරක් නෙවෙයි පරිගණකය තියෙන තැනකට, ෆෝන් චාජර් ගහන්න, බෆල් වලට, ඩෙක් වලට මේ හැම දේටම අපේ ගෙවල් වල වැඩි වශයෙන් භාවිතා වෙන්නෙ මල්ටි ප්ලග්.

නමුත් අද තියෙන මල්ටි ප්ලග් වලින් බොහෝමයක් වැඩ කරන්නෙ කෙටි කාලයයි. අනික් ඒවත් පුංචි කාලයක් යනකොට ස්පාක් වෙන්න ගන්නවා ඒකට ප්‍රධාන හේතුව විදිහට අපිට වැරදි භාවිතය පෙන්වා දෙන්න බැරි කමකුත් නෑ.



දැන් බලන්න මේ ප්ලග් කිරීම දිහා. ස්පාක් නෙවී චට පට ගාලා පුපුරන්නත් ඉඩ තියෙනවා. මේ වගේ අනාරක්ෂිත නොවී අපිට ඇතිවෙන්න ලයිෆ් ටයිම් ප්ලග් බේස් එකක් හදන හැටි මම කියා දෙනවා. දැන් කෙනෙක් කියයි...
කෙලින්ම බිත්තියට ප්ලග්
වයර් දිගේ ප්ලග්





දැන් ඉතින් කෑ ගහන්ට එපා අපිට මේවා ගන්ට පුලුවන් අක්කෙ. හොඳම එකත් රුපියල් 2000 යි කියලා. ඒකත් බොහොම ඉක්මනට ස්පාර්ක් වෙනවා. කරන්ට් වදිනවා. සමහර ප්ලග් වැඩ කරන්නෙ නෑ.. ලෙඩ ගොඩයි. ඉතින් නියමාකාරයෙක් කොහොමද මල්ටි ප්ලග් එකක් අපි හදන්නෙ. කියලා දැන් බලමු.

හෝම් මේඩ් මල්ටි ප්ලග් එක සෑදීම සඳහා මොනවද ඕනෙ කරන්නෙ?




මෙන්න මේ බඩු ටික තිබ්බා නම්  සිම්පල් ලස්සන මල්ටි ප්ලග් එකක් හදන්න අපිට පුළුවන්.

මොනවද මේ බඩු -



1 . ප්ලග් බොක්ස් එකක්. (තමන්ට අවශ්‍ය පරිදි තෝරාගන්න
2 . ප්ලග් බේස් (රවුම් පින්, කොටු පින් ගහන්න පුළුවන් කැමති විදියට තෝරාගන්න.)
3 . 4 .  පින්තූර වල පෙනෙන පරිදි 3 core වයර් අවශ්‍ය දිග ප්‍රමාණය අරගන්න.
5 . අලු පාට පොඩි වයර් නම් ගෙවල් වල ඕනෙ තරම් තියෙනවා. කඩෙන් ගන්න ඉස්සර පොඩ්ඩක් ලයිට් බඩු පෙට්ටි අස්සෙත් හොයලා බලන්න. )
6 . ප්ලග් ටොප් එකක් (කූරු 3ක් තිබීම ආරක්ෂිතයි)
7. 8 . දැක්වෙන්නේ  ප්ලග් බේස් සවිකරන ඇණ  සහ ඇණ වසන ටොප්ස්.( මේවා වැඩේ අවසාන වනතුරු  නැති කරගන්න නම් එපා.
9. ටෙස්ටරයක්, කුඩා පිහියක්, මල් ඉස්කුරුප්පුවක් තිබ්බා නම් මේ වැඩේට හොඳටම ඇති. 

පියවර 1


මුලින්ම  ඇණයක් රත් කරලා ප්ලග් ටොප් එකේ අවශ්‍ය කෙලවර හිල් කර ගන්න ඕනෙ. 3 core වයර් එක බස්සන්න පුළුවන් තරමට ඒක කරගන්න. ලොකු හිල් වත් පොඩි හිල් වත් හදාගෙන කැත වුණා කියන්ඩ එපා.

පියවර 2


අලුපාට වයර් වල අග්ගිස්ස සුද්ද කරලා මේ විදියට ප්ලග් බේස් වලට තියලා සෙට් කරගන්ට ඕනෙ. විදුලියට සම්බන්ධ කරගෙන කිසිම දෙයක් කරන්න එපා. ඔක්කොම සවි කළාම මෙන්න මෙහෙමයි පෙනෙන්නෙ. උඩ තියෙන ප්ලග් බේස් දෙකෙන් එකකට තමයි අපි විද්‍යුත් ධාරාව සම්බන්ධ කළ යුත්තේ.  හොඳට බලා ගන්න ..


පියවර 3

 අර මුල්න්ම පෙන්වපු ප්ලග් බොක්ස් එකේ අපි ඇති කරගත්තු සිදුරෙන් හෙමිහිට හූරන්නෙ නැතිව 3 core වයර් එක ඇතුළු කරන්න. ඉන්පස්සෙ වයර් එකට ඇතුළෙන් ගැටයක් දමන්න. ආයෙ ඇදපු ගමන් එළියට එන්නෙ නැති වෙන්න. ඉන්පස්සෙ වයර් එකේ කෙලවරවල් දෙකම සුද්ද කරන්න. ප්ලග් බොක්ස් එක ඇතුළෙ තියෙන කෙළවර මේ විදිහට ප්ලග් බේස් හතරෙන් එකකට (මම කලින් කී විදිහට ) සම්බන්ධ කරගන්න.





පියවර 4

මම සුද්ද කරගන්න කීවානෙ 3 core වයර් එකේ අනික් කෙළවර, දැන් ඒ කෙලවර තුන අපි සම්බන්ධ කරගන්න ඕනෙ ප්ලග් ටොප් එකට. කොහොමද සම්බන්ධ කරන්නෙ කියලා දැන් අපි බලමු.




පියවර 5

දැන් අමාරුයි කියලා හිතෙන වැඩ සියල්ලම ඉවරයි. දැන් තියෙන්නෙ ප්ලග් බොක්ස් එකයි ප්ලග් බේස් හතරයි, අමුණපු වයර් කෑලි නොගැලවෙන්න, ප්‍රෙව්සමෙන් පිළිවෙලට අපි අරන් තියා ගත්ත ඇණ දමලා තද කරන එක. ටිකක් පරිස්සමට කරන්න ඕනෙ වැඩක්. ත්‍රෙඩ් පැන්නොත් හරි නෑනෙ. 



පියවර 6

විදුලියට සම්බන්ධ කරලා ටෙස්ටරය ආධාරයෙන් පමණක් පරීක්ෂා කරලා බලන්න. ආරක්ෂිතව, නියම ආකාරයෙන් හදාගෙන ඉවරයි කියලා සහතික නම් අර අරන් තියා ගත්ත ප්ලග් බේස් එකේ සුදු පැහැ ඇණ ටොප් ටික අරන් සවි කරගන්න.  දැන් ඔබට ලැබෙයි හොඳ නිමාවකින් යුතු මල්ටි ප්ලග් එක්. කිසි දේකට බය වෙන්න එපා.. ඕනෑම ප්ලග් ප්‍රමාණයකින් ඕනෑම දිග ප්‍රමාණයකින් නිවසේදීම හදාගත් මේ මල්ටි ප්ලග් එකෙන් ඔබට ආඩම්බරයෙන් වැඩ කළ හැකියි. විදුලියෙන් හැම විටම පරෙස්සමට මෙවන් අත්හදා බැලීම් කරන්න මතක තියා ගන්න. 

හැදුවාම ලස්සන බලද්දි මෙන්න මේ වගේ...


දැන් තියෙන්නෙ මේකෙන් වැඩ ගන්න.

(අධික්ෂණය - මගෙ එකම එක තාරක අයියාගෙනි.)

5/6/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 04)

පළමු කොටස - දෙවන කොටස - තෙවන කොටස



"සීයා ස්වර්ගෙට ගියා "

මගෙ මුහුණ වෙනස් වුණේ නෑ. ඒ ගැන මයිකල් වුණත් පුදුම වුණේ නෑ. විලියම්ගෙ මරණින් පස්සෙ මටත් සීයාව එපා වුණා. සීයා විලියම්ට ඒ තරම් කැමැත්තක් නැතත් අකමැති වෙන්න හේතුවක් තිබුණෙ නැහැ. කොහොම නමුත් මයිකල් කීව විදිහට සීයාට අමාරු වෙලා තියෙන්නෙ, කන්ද බහිද්දි.

සීයා බිමට වැටෙනවා දැකලා, මයිකල් සීයාගෙ උදව්වට ගිහින්. ඉන්පස්සෙ සීයාට අමාරු වග දැනුනාම පල්ලියට ගිහින් පියතුමා එක්ක ඇවිත් . අන්තිම ආලේපනය දෙනාකොටත් සීයාට සිහිය තිබුණ වග මයිකල් කීවා. ඔහු පාපෝච්චාරණය කළේ හොඳ සිහියෙන්ද කියලා මයිකල්ට සැකයිලු. කොහොම නමුත් අවසාන මොහොතෙ විලියම් ගැන දුක් වෙලා ඔහු පව් සමා කරගත්ත එක හොඳයි ඒ ඇයි කියලා අහන්න මට හිතුණා. ඒත් ඒක මම නොසලකා හැරියා. ඇයි මම එහෙම කළේ?

මයිකල් කන්‍යාරාමයෙන් පිට වුණ සැණින් මම හිණිපෙළ දිගේ උඩට දිව්වා. කන්‍යාරාමයෙ සොයුරියක් මගේ පසු පසින් ඇවිත් මට කතාකළා. අත් බෝරිච්චි දාපු කහ පාට දිග ගවුම එහෙම්ම කරකවගෙන මම ඇය දෙසට හැරුණා.

ඇය මගේ ගවුමි කොණක් ඇඟිලි තුඩින් අල්ලලා පෙන්වූ හැටි මට තවම මතකයි. ඉහළ විද්‍යාව පොතේ තිබුණ විදිහට මම අද වැඩිවිය පැමිණිලා. මට වයස පහළව පිරුණෙ ගිය සුමානෙ. දැන් මම යුවතියක් කියලා හිතුණ නිසා මට දැනුණ ආඩම්බරය සීයා ගෙ මරණය අමතක කලා. කොහොමත් මට ඔහුගෙ මරණය ගැන දුකක් තිබුණෙ නැහැ. විලියම් මතක් වෙන කොට මට දැනුණෙ ඊට වැඩි දුකක්. මම යුවතියක් වග හැඟෙන කොට විලියම් නැති වුණ දුක මහ වේදනාවක් විදියට දැනුණා.

ජීවිතේ ඉන්පස්සෙ වේගයෙන් ගෙවෙන්න පටන් ගත්තා කියලමෙට හිතෙනවා. මේ අතරෙ මයිකල් මාව ආයෙත් බලන්න ආවා. පළවෙනි වතාවට පස්සෙ හරියටම මාස දෙකයි දවස් දහ තුනකට පස්සෙ. සීයාගෙ මරණය ගැන කියන්න ආපු මයිකල්ට වඩා ඒ මොහොතේ හිටපු මයිකල් ගැන මට පුදුම බැඳීමක් ඇති වුණා.

ඔහු දැන් අවුරුදු දහහතක විතර ඉලංදාරියෙක්. ඇත්තටම දැන් ඔහු විලියම් වගේ. ඒ නිසාමද මන්දා මට ඔහු ඒ තරමට ම ආකර්ෂණීය විදිහට පෙනෙන්න වුණේ. ඉස්සර මම විලියම්ගෙන් දැක්ක සුන්දරත්වය කඩවසම් බව තරමටම නැතත් ඊට කිට්ටු හුරුවක් මයිකල්ගෙ නොතිබුණා නොවේ. ඒ දෙන්නා අම්මලා දෙන්නෙක්ගෙ. නමුත් දෙන්නාගෙම තාත්තා අර්නස්ට් මාමාලු.

මයිකල් පතලක වැඩට යන වග තමයි මට කීවෙ. පතල මේ පළාතෙ එකක් විත්තිය කියලා වෙනත් කතාවක් ඇද ගත්ත ඔහු පතල තියෙන තැනක් නම් කිව්වෙ නැහැ. ඉන්පස්සෙ ඔහු නිතර නිතරම මාව බලන්න කන්‍යාරාමයට ආවා. වසර පහක් හයක් පුරා තිබිච්ච පූජත්වයේ සක්‍රෙම්න්තුව ලැබීමේ ආසාව එහෙම්මම මගේ හිතින් දුරස් වුණා. ඒකට හේතුව මයිකල් වෙන්න ඇති. ඔව් ඉතින් එහෙම ආසාවක් අති වෙන්නත් කන්‍යාරාමයට තැපැල්කාරයාටයි, කිරිකාරයටයි පිටින් ආපු එකම පිරිමියාත් මයිකල් විතරනෙ.

කන්‍යාරාමෙන් නික්ම යන්න කාලෙ හරි. පූජත්වයට අකමැති නම් කන්‍යාරාමයේ වයස දහ අටෙන් පස්සෙ ඉන්න කිසිම අවසරයක් නෑ. මම රස්සාවක් සොයාගෙන යන බව කන්‍යාමවුතුමියට දන්වලා සෑහෙන කාලයක් මට හෙවණ දුන් කන්‍යාරාමයෙන් පිටවුණා. ඒ අනාත දැරියක් විදිහටම තමයි.  මයිකල් නැවත ආවොත් දෙන්න කෙටි පණිවිඩයක් මම කන්‍යා සොයුරියක් අතට දීලා යන්න මම අමතක කළේ නැහැ.

මහ පාර දිගේ මට උරුම පුංචි ටකරං පෙට්ටියත් එල්ලගෙන ඉස්සරහට එනකොට, මම කවදාවත් නොදුටු දර්ශනයක් දැක්කා.

නුදුරේම තවත් කොටසක්

5/5/12

නෙරංජිගේ වෙසක් දවස


වෙසක් දවසට නවකතා කියවන්න හොඳ නැති එකේ මෙහෙම දෙයක් ලිව්වා.

වෙසක් උළෙල අද වෙනකොට කොයිතරම් වාණිජකරණය වුණත් මම සතුටු වෙන්නෙ තවමත් අපි වෙසක් ප්‍රතිපත්තිමය වශයෙන් සමරන එක ගැන. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා වගේම අද ලෝකෙ මාර්කට් නොවෙන දේකට අනාගතය තුළ රඳා පැවතීම අමාරු නිසා බුදු දහමත් මාර්කට් කරන්නම වෙනවා. මේ මාර්කට් වීම තුළ දුවන ප්‍රචාරණය ඔස්සේ හැකියාව ඇත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් සත්‍ය පසක් කර ගනීවා කියන එක තමයි කියන්න වෙන්නෙ.

බඩුමිලත් එන්න එන්නම නගින එකේ, දැන් හුඟක් අයට වෙසක් පෙනිලා කියලා මට හිතෙනවා. අපි වෙසක් කාලෙට නගරාසන්නව ලොකු විදුලිය ප්‍රමාණයක් ආලෝකකරණය උදෙසා පරිභෝජනය කරනවා. ඒක අපිට පෞද්ගලික මට්ටමෙන් දැනෙන්නෙ මැයි මාසෙ කරන්ට් බිල ආවාම. ජාතික මට්ටමෙන් දැනෙන්නෙ විදුලි නිශ්පාදනය අඩු වුණාම.

සැරසිලි කියන දේ අද වෙන කොට මාර්කටිං ක්‍රමවේදයක්. මේ නිසා සම්පූර්ණයෙන්ම එට අපි විරුද්ධ වුණත් වැඩකුත් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මනොවිද්‍යාත්මකව, මාර්කටිං ඇසුරෙන්ම සැරසිලි කියන දේ වටිනාකම අඩු කරලා, ප්‍රතිපත්තිමය සාධක වලට  වටිනාකම වැඩි කළොත් ඇත්තටම වෙසඟ කියන දේ වාණිජකරණය ඇතුළත සුන්දරත්වයක් මවාවි. කොහොම වුණත් මට දැනෙන විදිහට නම්, කවුරුත් මේ කල්පයෙ රහත් වෙන එකක් නෑ. ඒ නිසා යහපත් ජීවිතයක් සඳහා අඩුම තරමෙ පන්සිල් පද පහ රැක්කා නම් හොඳටම ඇති. අපි ඒකවත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.

කොයි කොයි දේ කීවත් මමත් වෙසඟට ඔක්කොම පැත්තක දාලා කූඩු හැදුවා. බල්බ් එල්ලුවා. ආමිස පූජාවෙන් නැගෙන සුන්දරත්වය තමයි ප්‍රතිපත්ති පූජාවට මඟ කියන්නෙ. බල්බ් වැල් තිබ්බා ලස්සනට.කැමරාවෙ ප්ලෑෂර් එක නිවා ගන්ඩ නොදන්න කම නිසා ලස්සනට පින්තූර ගන්ඩ බැරි වුණා. ඉතින් දැම්මෙ නෑ. මේ මගේ අතින් හදපු කූඩු දෙක.




මම වෙසක් උත්සවයට මගේ හිතට එන දේ කවියකට නැගුවා.. මෙන්න මෙහෙම




මේ තියෙන්නෙ වෙසක් උළෙල වෙනුවෙන් නෙරංජි හදපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මුහුණු පොතේ ක්‍රියාත්මක වන  " අපි " එකමුතුවෙ ඉල්ලීමක්. වීඩියෝවක් විදිහට මුහුණු පොතේ දමා ගිබුණත් ඒක මෙතෙන්ට ගන්න විදියක් මම දන්නෙ නෑ.. ඉතින් සවුන්ඩ් ක්ලවුඩ් දැම්මා.



wesak we mp3 by Neranji Ekanayake

5/2/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 03)

පළමු කොටසට පිවිසෙන්න.
දෙවන කොටසට පිවිසෙන්න.


හුරුපුරුදු වෙලාව පන්නලා සෑහෙන වේලාවක් ඉර අවරට ගියා. කිරි වීදුරුවෙ යොදයත් මිදිලා. විලියම් තවමත් ආවෙ නෑ. විලියම්ට මොකක්ද වුණේ. මට විලියම් ව මඟහැරෙන්න විදිහක් තිබුණෙම නැහැ. මම හිඳගෙන හිටිය තැනට වෙනදා ඔහු යන එන පාර හොඳට පෙනෙනවා. ටිකෙන් ටික ඉර සේයාව නොපෙනී යන්න ගත්තා. මම කිරි වීදුරුව මේසෙ උඩින් අස් නොකරම පුංචි අට්ටාලෙට නැග්ගා.

ග්‍රෝ පිට්ටනිය එතනට සෑහෙන හොඳට පෙනෙනවා. චීස් කුට්ටි ටිකක් මැද කාමරේ මේස රෙද්ද උඩ අතුරලා තිබ්බා තරමෙ අපූරුවට බැටලුවො ටික තවම පිට්ටනියෙ පුරා වැඩුණ තණකොළ කනවා. තවම විලියම් උන් ටික අරගන්ට ගියෙ නැද්ද? ඒත් විලියම් ඒ පැත්තට යන්ඩ කන්ද බහිනවා මම දැක්කා. මම නා ගන්ඩ ගියෙ ඉන්පස්සෙ. මූකලාන පහු කරලා පිට්ටනියට ගිහින් වෙනදාටත් බැටලුවො ටික දක්කගෙන ඔහු කන්ද නගින වෙලාව පහු වෙලා දැන් හෝරා දෙකකට වඩා ගත වෙලා.

මම ආයෙත් අට්ටාලෙන් පහලට බැස්සා. ලෑලි මේසෙ හිල් අස්සෙන් කූඹි එකා දෙන්නා අනවසරයෙන් කිරි වීදුරුවට ඇතුළුවෙමින් හිටියා. මගේ හිතට කාන්දු වෙමින් තිබ්බ ඊට වඩා ලොකු බය නිසා මම ඒ ගැන තව දුරට හිතුවෙ නැහැ. විලියම්ට දෙන්න ඕනෙ තරම් කිරි, කල්දේරමේ තියෙනවා. මට හිතුණා කන්ද බහින්ඩ, ඒ විලියම්ගෙ නිවස කිට්ටුවට. හදිස්සියට ඔහු ගෙදරට යන්න ඇති කියලා මට හිතුණා.

මම හරි ම වේගයෙන් කන්ද බැස්සා. පුංචි කකුල් රිදි රිදී කන්ද බැස්සා. ඒ වෙලාවෙ හිත පුරාම හිටියෙ විලියම් නිසාද මන්දා මට අමතක වුණා සීයාට කියන්ඩ මම එළියට යන විත්තිය. මම විලියම්ගෙ ගෙදරට එනකොට මයිකල් වතුර අරන්, එයාගෙ තාත්තාගෙ, එහෙම නැත්තං හිත හොඳ අර්නස්ට් මාමාගෙ අශ්ව ඉස්තාලෙ හෝදමින් හිටියෙ. මගේ පැමිණීමට නිතරම ආසා කළත්, මම කිසි දවසක මෙලෙස නොඑන වග හොඳින් දැන හිටිය මයිකල් හරියට පුදුම වුණා. 

"තනියම කන්ද බහින්න එපා කියලා ඇලන් සීයා ඔයාට කියලා තියෙනවා නේද?"

මේ වෙලාවෙ මගෙ අවධානය තිබ්බෙ ඒ දේවල් වලට නොවන වග ඔහු දැන ගන්ට නැතිව ඇති.

" කෝ විලියම්? එයා ගෙදරද? "

මම විලියම් ගැන අසද්දී, මයිකල්ටද තම සොයුරා පිළිබඳව සැණෙකයෙන් ම ගැටලුවක් මතු වුණේ.

" ඇයි? බැටළුවො අරන් එන්ඩ ගියානෙ. මම හිතුවා පරක්කු වෙන කොට ඔයා එක්ක කතා කර කර ඇති කියලා."

මයිකල්ට ද මට මෙන්ම විලියම්ට වූ දේ සිතා ගන්ට බැරි වුණු වග මට තේරුණා. දෙවනුව මම කන්ද නැග්ගේ මයිකල් සමඟයි. මම කන්ද නැගගෙන එනකොට දොර ළඟ සීයා ඉඳන් බලා සිටියා. වොඩ්කා බොහෝ සෙයින් බොන දවසක මෙන් ඔහුගේ ඇස් රතු පැහැ ගැන්වී තිබූණා. වෙරි මත වෙනුවට කෝපය පුපුරා හැලෙමින් තිබුණා. සීයාගෙන් පිටවන කෝපය උරා ගත් අහසෙ පාවෙවී හිටපු වලාකුළු  හෙමි හෙමින් රත්පැහැ වෙලා ගොම්මන් යාමය නිර්මාණය කළේ විලියම් ගේ පැමිණීම තව තවත් අව්නිශ්චිත කරන්නට බවයි මට හිතුණෙ. සීයා මාව ඇදලා ඇරගෙන පිදුරු කාමරයට දාලා දොර වැහුවා.

ඇයි විලියම් ආවෙ නැත්තෙ? එයාට මොකද්ද වුණේ... මේ හැම ප්‍රශ්නයක්ම මගේ හිතට පෝලිමට වද දෙන්න පටන් ගත්තා. මයිකල් සෑහෙන වෙලාවක් කන්ද, කැලෑව, පිට්ටනිය අසල ගැවසෙනවා මම ජනේලයෙන් දැක්කා. ඒත් විලියම් ගෙ සලකුණක් නෑ. හවස් වෙන කොට ගම පුරාම හොඳ හිත දිනාගත්ත අර්නස්ට් මාමා තවත් ලොකු පොඩි කීප දෙනෙක් එක්ක කන්ද නැග්ගා. ඔවුන් අපේ ගෙදරට තට්ටු කළා.

සීයා දොර අරින හඬ මට ඇහුණා.

"ඇලන් මහත්තයා...මගෙ ලොකු එකා නෑ. හවස ගියාට පස්සෙ ගෙදර ඇවිත් නෑ. "

අර්නස්ට් මාමාගෙ හිතේ දුක මට දැණුනා. ඒත් සීයාට දැනුණෙ නැහැ. ඒක නම් මට අදටත් පුදුමයි.

"ඉතින් මං මක් කරන්නද?"

අර්නස්ට් මාමාගෙන් මෙහෙම අහන සීයා මනුස්සයෙක්ද කියලා මටත් හිතුණා. ඔහු කවදත් විලියම්ව ප්‍රිය කළේ නැහැ. මම ඒ වග දන්නවා. ඒත් එහෙම වෙන් නිශ්චිත හේතුවක් මම දන්නෙත් නැහැ.  කොහොම වුණත් එදා අර්නස්ට් මාමාට ආපු වැඩේ කරගන්න බැරි වුණා. ඇලන් සීයා හෝ ඔහුගේ ලැයිසන් තුවක්කුව විලියම් වෙනුවෙන් ගෙදරින් පිටට අඟලක් වත් හෙළවුණේ නෑ.

පස්සෙ දවසෙ පාන්දර සීයා මාව කාමරෙන් එළියට අරන්, මට ලස්සන කලු වෙල්වට් ගවුමක් දුන්නා. මම ඒක ඇඳ ගත්තාට පස්සෙ ඔහු මාත් එක්ක කන්ද බැස්සා. අපි කනත්ත තෙක් ගියා. වල දමන්න නියමිත පෙට්ටිය අසල වැළපෙන මයිකල් සහ අර්නස්ට් මාමා දැක්කාම මට කාරණය තේරුණා. මගෙ ඇස්වලින් කඳුලු කඩා වැටුණෙ නෑ... මම දන්නවා, විලියම් අම්මා ගාවට යන්න කැමැත්තෙන් හිටිය වග.

විලියම් ගෙ මල සිරුර හමු වෙලා තියෙන්නෙ ඇල ළඟදි. ඔහුට සර්පයෙක් දශ්ට කරලා. විලියම්ගෙ මරණෙන් මාසෙකට පස්සෙ මයිකල් විලියම්ගෙ වැඩ කොටසත් බාර ගත්තා. ඒත් මම මයිකල්ට විලියම් තරමට හිතවත් වුණේ නැහැ. විලියම්ට මම ආදරෙයි. මයිකල් ට මම ආදරේ නැහැ. ඒ නිසා වෙන්න ඇති.

කන්‍යාරාමෙන් මට ලියුම ආවෙ ඒ දවස් වල. මම අන්තිම වතාට විලියම්ගෙ සොහොන ළඟට ගිහින් ලිලී මල් තිබ්බා. ආයෙ මම ඔහු නිදාගත්ත කනත්තවත් දකින්ඩ ඒ පලාතට ගියෙ නෑ... මම කන්‍යාරාමෙකට ගිය මුල දවස් වල නිවාඩුවට එද්දි ගම වෙනස් වෙලා තිබුණා. ගමේ මිනිස්සු සීයාව අතහැරලා දාලා. ඔහුගෙ ඉක්මන් කෝපය නිසා එහෙම වෙන්න ඇති කියලා මට හිතුණා. වලියම් හොයන්න තුවක්කුව නොදුන්න එකම වෙන්න ඇති ඒකට හේතුව.

පස්සෙන් පහු මටත් ගමට එන්න හිතක් දුන්නෙ නැහැ. කොටින්ම ඇලන් සීයා මටත් අප්‍රිය වුණා. ඉතින් මම කන්‍යාරාමෙම දිගටම නැවතුණා. ඔය අතරෙ වසර කිහිපයක් ගෙවෙන එක දවසක මයිකල් කන්‍යාරාමයට ආවා.
 

තවත් කොටසක් ඉක්මනින්ම.....

5/1/12

මැයි කවිය


පාන්දර කලුවරට
එකතු කර රන් පාට
රතුපාට මවන ඉර
කතාවක් කියන්නට
සුදු මලක් තනියෙන්ම හොයනවා..

අරන් අහසේ පිපුණ
ගිනි ඉහින රතුපාට
තවරගෙන ඇඟ පුරා
සුවඳ ගෙන නුගිනුරා
පාවෙන්න නටු අගින් ගැලවිලා..

සොයනු උදෙසා මෙදා
දැවෙන හිරුගෙන් එදා
ගිනි පුලිඟු සොරාගත්
සත නිසා ජිවිතෙත්
දන් දුන්න පළමුවැනි ජීවියා...

හමුවේවි දම්වැලක
එතී ඇති ඔහු සිරුර
ලේ අතුණු බහන් රස
විඳින ගිජුලිහිණි රොත
රතු දෙනෙත් කෑදරෙන් හැරපියා

යළිත් ඔහු පණ ලබන
දිනක් එනතුරාවට
ඔහු අසල වැතිරෙන්න
පරවෙලා
පිපෙන්නට අලුත් දවසක් බලා...