4/27/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 02)

පළමු කොටසට පිවිසෙන්න.



හිනාවකින්
පිබිදෙනා
දෙකොපුල් මත
මියැදෙනා
කඳුලු බිඳක
බර නොදකින
පුංචි ඇහි පිහාටුවක්


කන්දට තිබුණෙ එකම එක ගෙදරයි. ඒ ගෙදර ඇලන් සීයාගෙ. ඒකෙන් කියන්න බැහැ කන්ද අයිති ඇලන් සීයාට කියලා. ඒත් ඇලන් සීයාගෙ මනස්ගාත වැඩ නිසා කවුරුත් කන්දට ආවෙ නෑ කියන එක තමයි මගේ හැඟීම. කන්දෙ ලෑලි ගෙදර උඩ පුංචි අට්ටාලෙ ඉඳලා පහළ බැලුවාම කන්ද පල්ලම එක පැත්තකිනුත්, විලියම්ගෙ කැලේ අනික් පැත්තෙනුත් පෙනෙනවා. කන්ද පල්ලමේ දි කන්ද ගම එක්ක එකතු වෙන තැන තියෙන මැටි ගෙදර ඉන්නෙ මයිකල් සහ ඔහුගෙ තාත්තා. කන්ද බහින්න ගල් පඩි පෙළක් ඇලන් සීයා කවදාවත් කැපුවෙ නැතත්, කන්දෙ තිබුණ ගල් නිකම්ම පඩිපෙළක් විදියට පෙනී හිටියා කියලයි මට හිතන්නෙ. කන්දටම ආවේණික වුණ ලිලී මල් වලින් හමපු සුවඳ ගමේ වෙන කොහෙවත් ම තිබුණෙ නැහැ කියන දේ මට අදටත් හොඳට මතකයි.

ඇලන් සීයා කියන්නෙ, මගෙ නෑ කෙනෙක් නොවුණත් පොඩි කාලෙ ඉඳන් මාව හදාගෙන තියෙන්නෙ එයා කියලයි, මට විලියම් කීවෙ. මට උප්පත්තිය දුන්න කෙනා මාව පල්ලිය ළඟ දාලා ගිහින් තියෙන්නෙ ඉරිදා හවස පූජාව ඉවර වෙන වෙලාවක. අදත් පල්ලි යද්දි ලයිසන් තුවක්කුව අරන් ගිහින් බාරොන් ලොක්කාගෙ කඩේ තියන සීයා එදත් පල්ලියෙ ඉඳන් දුවගෙන ඇවිත් කඩ ලෑල්ලක හේත්තු කරපු තුවක්කවත් අරන් මාව දමලා ගිය කරත්තෙ ලුහු බැඳලා තියෙනවා. ඒක හොඳ සල්ලි බාගෙ තියෙන පාට පෙනෙන කෙනෙක්ගෙ අශ්වයෝ දෙන්නෙක් බැඳපු වැසුණ කරත්තයක් වග තාම ඒ සිද්ධිය මතක ගම්මු මට හොරෙන් කතා වෙනවා. කොහොම නමුත් මාව එදා ඉඳන් හදාගෙන තියෙන්නෙ ඇලන් සීයා.

මේ තරම් අනුන්ට පිහිටවෙන සුලු මනුස්සයෙක් ඉන්න කන්දට ගමේ මිනිස්සු එන එක නවත්තලා දැම්මෙ ඊට අවුරුදු 8 කට පස්සෙ.

විලියම් කියන්නෙ මයිකල්ගෙ අයියා. විලියම් ට හිටියා බැටලුවො සීයකට වඩා වැඩි රංචුවක්. ඒ බැටලුවන්ට තණකොළ කවන්ඩ උන්ව හැමදාම එක්ක ගියෙ ග්‍රෝ පිට්ටනියට. ගමේ හොඳම තණ කොළ තිබුණෙ එතන. කන්දෙන් රූට ගෙන වතර වැටිලා හරිම සාරෙට වැවිලා තියෙන තණ කොළ කන්ඩ බැටලුවො කැමති වග විලියම් දැනං උන්නා.

කන්ද බැහැගෙන කෙලින්ම තණ බිමට යන එක විලියම්ට පහසු වුණාට බැටලුවන්ට ඒක ටිකක් අමිහිරි අත්දැකීමක්. ඒ නිසා තමයි නිතරම බැටලුවන්ට හිතවත් විලියම් කැලේ පැත්තෙන් කන්ද බැහැලා, කැලේ මැද්දෙන් බැටලුවන්ව තණබිමට දැක්කුවෙ. කැලයක් කීවාට ඒක මහ විසාල වනාන්තරයක් එහෙම නෙවෙයි. අක්කර තුන හතරක මූකලානක්.

එදා ටිකක් මහ වැස්ස දවසක්.  මම අලුත්ම එළකිරි වීදුරුව උණුවෙන්ම  ලෑලි මේස උඩින් තිබ්බා. හැමදාම කන්ද නැගගෙන එන විලියම් මා එක්ක පැයක් දෙකක් කතා කරලා එළකිරි ටිකක් බීලා මහන්සි නිවාගෙන කන්ද බහින්ඩ යන්න ආසා කළා. විලියම් මට වඩා අවුරුදු හතක් අටක් වැඩිමහල් වුණත්, මයිකල්ට වඩා මගේ මිත්‍රයා වුණේ විලියම්ට. කතා කර කර ඉන්න මයිකල්ට වඩා විලියම් දක්ෂයි මහ හුඟක්. මට ෂේන්යා කියන නම කොට කරලා "ෂෙලී" කියලා කතා කළ එකම එක්කෙනත් විලියම්. අනික් හැමෝම මට කතා කෙරුවෙ "කන්දෙ ලිලී" කියලා.

මගේ නම ෂේන්යා වුණාට, හැම ඉරිදාම පුරුද්දක් විදියට කන්දෙ ඉබේ වැවෙන ලිලී මල්  පල්ලියෙ මල් කඩේට ගෙනිහින් විකුණන නිසා මට ඒ නම වැටෙන්ඩ ඇති. මම කඩාගෙන එන ඒ මල් වලින් භාගයක් හැමදාම ස්ටෑෆන් කනත්තෙ මල් වඩම් හදන්න යවන වග කීවේ ජෝන් මාමා. මට එතනින් මල්වඩමක් දින දෙකකට පස්සෙ ගන්න ඕනෑ වෙයි කියලා. ලෑලි මේසෙ ළඟ විලියම් එනකං වාඩි වෙලා හිටිය මට  ඒ වෙලාවෙ හිතුණෙම නැහැ.

 තෙවන කොටස ළඟදීම.

4/26/12

සුබ උපන්දිනයක් නෙරංජිගෙ සිංහල බ්ලොග්ස්ලා


අද මට හදිස්සියෙම මතක තියන් හිටපු දෙයක් මතක් වුණා. අද මගේ සිංහල බ්ලොග් කෙරුවාවට හරියටම වසර තුනයි. හරියටම 2009 අප්‍රේල් 26 වෙනිදා අද වගේ දවසක තමයි මම කිසිවක් නොදැන හදාගත් පුංචි බ්ලොග් එකට සිංහල පෝස්ට් එකක් දැම්මෙ. අද ඒ බ්ලොග් එක නොලිව්වත්, වරද්ද ඉන් අනතුරුව වරද්දා මේවන විට බ්ලොග් 20ක් පමණ හැදුවත්, නීනුගේ නිශාව නැමති බ්ලොග් එක මාස කිහිපයකින් ඩිසෙබල් කරලා දැමුවත්, අද වන විට රෝස වලාකුළු නමින් පටන් ගත් "ඉර ඇහැරෙන ඉසව්ව" පමණක් නෙරංජි හා නීනු කියන නමින් ක්‍රියාකාරී මට්ටමේ පැවතුනත්, මගේ බ්ලොග් ගමන කවදාවත් කැඩුණෙ නැහැ. අන්න ඒ නොකැඩුණු බ්ලොග් ගමනට හරියටම වසර තුනයි...

බ්ලොග් ලෝකයේ ජීවිත් වීමෙන් මා හඳුනාගත් බොහෝ අය ඉන්නවා. නෑදෑයන්ටත් වඩා ඔවුන් මට සමීප වූ බව සැබැවක්. සමහරුන්ගේ ඇත්ත නම ගම නම් මම අදටත් දන්නෙ නැහැ. ඒ වගේම බොහෝ අය සැබෑ ලෙසම මම දන්නවා. මේ බ්ලොග් ගමනට උදව් වූණ අය හුඟක් ඉන්නවා. ඒ සියලු දෙනාම ආදරය පෙරදැරිව මේ අවස්ථාවෙ සිහිපත් කරන්න ඕනෙ. ඒ වගේම සියලුම සින්ඩි වලට Facebook groups වලට මම ස්තූති කරනවා.



නම් ගම් වලින් කාවවත් මතක් නොකරන්නෙ, හිතේ හෝදිසියට කියලා කාව හරි අමතක වුණොත් ඒක වස වැරැද්දක් නිසා. මේ බ්ලොග් එක බලන හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. තර්ජනය කළාම වගේ හොයාගෙන ඇවිල්ලා කමෙන්ට් දමන හැම දෙනාටම ස්තූතියි. විශේෂයෙන්ම මේ වෙලාවෙ තාරක අයියාව සිහිපත් කරන්ඩ ඕනෙ. එයා තමයි මගෙ කොල්ලා. එයා මට හම්බුණෙත් බ්ලොගේ නිසා.


මට බ්ලොග් කලාව නවත්තන්න හිතුණෙ එකම එක වතාවයි. මම කියන දේ මේ යක්කුන්ට තේරුම් ගන්න බැරුව පොර ටෝක් දෙන්න පටන් ගද්දි එහෙම හිතෙන එක වැරදි නෑනෙ. කොහොම නම්ත් ඉර ඇහැරෙන ඉසව්වට ප්‍රාරම්භය වැටුණෙ එතනින්.
 

හැකි තරම් කාලයක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. හොඳින් බැරිනං, නරකින් හරි මම මගේ යාළුවන්ට මම ලියන ඒවා කියවෝනවා. කියන දේ නාහන ළමයින්ට වෙන දේ දැනගන්ඩ පුළුවන් කට්ටිය තාරු බබාගෙන් ඇහුවොත්. නෙරංජි ටීච කොයි තරම සැරද? කියලා එයා කියයි.


එහෙනම් දැන් කට්ටියම මට සුබ පතන්ඩ. මේකට ඉක්මනට කමෙන්ට් දැම්මොත් අදම නවකතාව දානවා.

4/25/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 01)



ඇත්තටම ඕනෙම පොතකට පෙරවදනක් තියෙන්න පුළුවන්. හැබැයි හැම කතාවකටම පෙර වදනක් ඕනෙමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න හිතෙනවා නම් ඒක ඇත්තටම ලොකු මෝඩ කමක් . ඒත් නවකතාවකට පෙර වදනක් තියෙන්න ඕනෙ කියලා කෙනෙක්ට තර්ක කරන්න ඕනෙ වුණත් හැම කතාවක්ම නව කතාවක් කියලා කියන ඒක ඊට වඩා මෝඩකමක්. මේක නවකතාවක් නෙවෙයි. මම මේ කියන්නෙ මගේ කතාව. මගේ චරිතය ගැන කියන හින්දා මේක චරිත කතාවක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මම ඒකට කැමති නැහැ. මේකට නමක් නොකියනවා නම් තමයි හොඳ. මේක ටිකක් දිගයි. ඒ නිසා මට ටිකක් ලියන්න වෙයි.

මගේ නම ෂේන්යා. එහෙම මේ කතාව පටන් ගත්තොත් ටිකක් අමු වැඩියි වගේ. හුඟක් කතා එහෙම පටන් අරගන්නවා. මේ කතාව පටන්ගන්න ඕනෙ මුලින් නම්, මම කන්දෙ ලෑලි ගෙදර ඉඳන් පල්ලෙහාට දුවගෙන එන තැනින් පටන් ගන්න ඇත්තටම පුළුවන්. ඒත් මම වැඩිවිය පැමිණි විත්තිය මට කලින් කන්‍යා සොයුරියක් දැනගත්ත වග කියලා පටන් ගත්තොත් මේ කතාව ටිකක් ආකර්ෂණීය වේවි. ඒත් ඇත්තටම කතාවෙ හොඳම හරිය පටන් ගන්නෙ ෂේන්යාගෙ කසාදෙන්. ඒ කියන්නෙ මගේ විවාහයෙන්. ඒක සිද්ධ වෙන්න නියමිත හෙට.

මම විවාහ වෙන්නෙ කතන්දර පොත් වල ඉන්න ෂේන්යාගෙ සුලබ පෙම්වතා පාවෙල් එක්ක නොවුණත් එයාගෙ නම ඊට ටිකක් විතර සමානයි. එයා සැමුවෙල්. සැමුවෙල් ගෙ නම මේ පැත්තට සුලබ නැතත් මට හිතෙන්නෙ එයා සලඹයෙක් කියලා. අර පුංචි ලංතෑරුම් එළියකට පිස්සුවෙන් ඇදීගෙන ගිහින් විනාස වෙන මෝඩ සතෙක් කියලා. කොහොම නමුත් කතාව මම මුල ඉඳන් පටන් ගන්නම්. කතාව මැදින් පටන්ගත්තොත් සැමුවෙල්ගෙ හමුවීම කියන එක මඟ හැරෙන්න පුළුවන්. ඒ වගේ ම මයිකල්ට මොකද වුණේ කියලා ඔයාලාට අපැහැදිළි වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් මම ඔයාලාට කතාව කියන්නම්. ඔයාලාට ඕනෙ නම් මගේ නම කැමති විදියකට වෙනස් කරගන්ඩ.මගේ රූපෙ ආසා විදියකට මවා ගන්ඩ ඔයාලාට නිදහස තියෙනවා. නමුත් මම කියන්ඩ ඕනෙ..සැමුවෙල් ගෙ චරිතය ඔයාලා මවා ගනිද්දි එයාට ලොකු බඩක් දමන්න එපා. මොකද මම කසාඳ බිඳින මිනිහට ලොකු බඩක් තියෙනවාට මම කැමති නෑ.

මේ කතාව සිද්ධ වුණේ රුසියාවෙ කියලා හිතනවා නම් ඒක වැරදියි කියලා කියන්න බැහැ වගේම හරිය කියලා කියන්නත් මට ඕනෙ කරන්නෙ නැහැ. මොකද ඕනෙම රටක ඕනෙම තැනක ඕනෙම විදියක අය, ඕනෙම කාලෙක දී ඉන්න පුළුවන්. ඒකයි...අපි කාගෙ කාගෙත් ජීවිත පිස්සුවක් කියලා අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. හෙට විවාහ වෙනවා කියන එක ඇත්තටම බය නැතත් අම්මා කෙනෙක් වීම නම් ටිකක් භයානකයි. බැඳපු දවසෙම අම්මා කෙනෙක් වීම ඊට වඩා හුඟක් භයානකයි.

4/24/12

ගන්ධබ්බ සටහන


අනුන්ගෙ ලියුම් කියවීම නරක පුරුද්දක්. ඒත් ඒ ලියුම නොකියවා ඉන්ඩ මට බැරි වුණා. ඒ ලියුම වැටිලා තිබුණෙ බිම. අල්ලපු ගෙදර බිම . තට්ටු තුනක ගෙදර උඩම තට්ටුවෙ බිම. බිම තිබුණු ලියුමට වඩා වැදගත් වෙන්නෙ, ලියුමට අඩි දෙකක් ඉහළින් අවසන් වී තිබුණ දේ. ඒක ජීවිතයක්. පහල යට ලීයක පරණ සාරියකින් ගෙල වැල ලා ගත් ජීවිතයක්. සැහල්ලුවට දැකපු බර ජීවිතයක්. පුරුෂ ශරීරයක් තුළ හතලිස් අවුරුද්දක් තිස්සෙ සරපු ආත්මය දැන් ගන්ධබ්බයෙක් වෙලා කොතන කොහේ සරනවාද කියලා මම හෝ කියවන ඔබ නොදන්නවා වුණත්, ඒ ආත්මයට සැනසීමක් වනු පිණිස මම ඔහුගෙ කතාව ලියවිලා තිබුණ ඒ ලියුම මෙතැන පිටපත් කරන්න හිතුවා. තවත් මෙහෙම දේවල් නොවෙනන්නට

ආදරණීය සඳා,

ජීවිතය මට වැරදුණ වග අද මම පසක් කරගත්තා. දන්නවාද කා‍ලෙකට පස්සෙ ගිය සතියෙ මම ඔයාව දැක්කා. ඔයාගේ සිනහව මා නමින් නොවූණත් වෙනෙකෙකු නමින් හරි සුන්දරව විකසිත වෙන අපූරුව  මම ඉරිසියාවෙන් බලා සිටියා. ඒ කාලෙ ඒ දිහා බලා ඉන්ට මට ඉස්පාසුවක් තිබුණෙ නැහැ. මම හොඳට ඉගෙන ගත්තා සඳා.. ඔයා දන්නවාද? මම තට්ටු තුනක ගෙයක් හැදුවා. දැන් මම  ලොකු රස්සාවක් කරනවා...

එදා මම හදිස්සියෙ වාහනේ ගෝල්ෆේස් පැත්තට දැම්මෙ.. හොඳටම හවස් වෙලා කලුවර වැටෙන වෙලාව... අතරින් පතර තරු මෝදු වෙලා තිබුණා.. එක පාරට තරුවක් කඩා වැටෙනවා මම දැක්කා.. මට ඔයාගෙ ඇස් මැවිලා පෙනුණා. ඒත් ඔයා හිටියෙ වෙන අතක එතිලා මගෙ සඳා.. එදා මට ඔයා එක්ක මුහුදු වෙරළට එන්න බැරි වුණා. මට හවසත් ලෙක්චර්ස් තිබ්බා... ඒත් හැම දෙයක්ම ඉවර වෙලා හැරිලා බලනකොට ඔයා නෑ...

රාජිගිරියෙ කලර් ලයිට් වලින් හරවන කොට, පේලියට තියෙන නා ගස් දැන් දලු දාලා සඳා.. ලස්සන රතු පාට.. ඒ අලුත් ළපටි දළු මඳ හුළඟට හෙමි හෙමින් හෙල්ලෙන කොට වසන්තය එන කතාව මට කියලා ඔච්චම් කරනවා කියලා මට දැනෙනවා.. ඔයාගෙ පුංචි දෙතොල් එදා සිපගත්තා නම් මට වසන්තය දකින්න ඉඩ තිබුණා සඳා. අනේ මට මේ නා දලු දකිද්දි ඒ ඔයාගෙ දෙතොල් කියලාම හිතෙන්ඩ ගත්තා...

මම තවමත් මට වැරදුණ තැන හොයනවා සඳා.. මම උහුලගෙන ඉන්න ඉරිම තැන අද ගියා විජේරාම හන්දියට. හැමදාම බෝඩිමට යන්න ඔයා මහරගම පැත්තටත්, මම නුගේගොඩ පැත්තටත් සමුගන්න අපේ විජේරාම බෝගහ ළඟට.. එතන ඉඳන් මම ටිකක් උඩට ගියා. මට මතකයි අපි දෙන්නා වෙන් වුණ දවස. පාරෙ කාර් එක නතර කරලා මම දෙපියින් ඇවිදගෙන ගියා . ඔයා නැති ඒ පාර අද හරිම හිස්. මගෙ ඇස් වලට කඳුලක් ආවා. මේ හදවතේ රික්තය මට දරා ගන්න බැහැ.

දරාගන්න බැරිම තැන මම විහාර මහා දේවි පාර්ක් එකට ගියා. ඉස්සර ඔයා යන්න ආසම , මම ඔයාව එක්ක නොගිය එකම තැන. ඔයා ආස කළ අතින අඳින චිත්‍ර දහයක් මම ගෙදර අරන් ආවා. අද මම ඒවාට හුඟක් ආදරෙයි සඳා. ඉස්සර මට ඒවාගෙ ලස්සන විඳින්න වෙලාවක් තිබුණෙ නෑ. අද ඔයා හදවතින් ඇලුම් කළ හැම දෙයකටම මාත් ආසයි.. ඒත් අපි දෙන්නා අද දෙතැනක. හරියට එක්වෙන්න බැරි අහස පොළව වගේ.මේ ආත්මෙ මට වැරදුණ තැන මට හමුවුණා. සමාවෙන්න මගෙ සඳා.. බැඳලා මාසෙන් අපි ඩිවෝස් වුණේ ඒ නිසා වෙන්න ඇති.

අනික් ආත්මෙ ඉඳන් නිවන් දකිනා තුරු ඔයාට මගෙන් පිට යන්න හිත නොදී ඉන්න මම වෙර දරන්නම්.. මේ සසර පුරාම ඔයා මගේ..මට අවසරයි මේ ආත්මයෙන් සමුගන්න..මගේ ජීවිතය හිස්. ඔයා එනතුරාවට මම ගන්ධබ්බ.

සුගත්

ගීතය

ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියඹ ගලා යයි
රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

නා ගසත් දලු දමා
වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්න ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝතල 
ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුණත් 
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොළඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

පදරචනය -ප්‍රේමකීර්ති අල්විස් මහතා
තනුව හා ගායනය - වික්ටර් රත්නායක මහතා


4/23/12

නෙරංජිගේ ඇසින් සයිබර් උළෙල


සයිබර් උළෙල මෙවර ඉතාම හොඳින් පැවැත්වුණා. නමුත් පැරණි බ්ලොග් කරුවන් රැසක් එයට සහභාගි වෙලා හිටියෙ නැහැ. බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා. අපිට දුන්න කෑම වේල ඇත්තටම හොඳයි. තරග වලට ගිය වර වගේම තෑගිත් දුන්නා. ටිකක් අහු මුල්ලක වුණත් කුරේ ක්‍රීඩාංගනයෙන් අවශ්‍යතාව ඉටු වුණා. කොහොම වුණත් ඊළඟ අවුරුද්දෙ සයිබර් උළෙලට අමතරව වෙනසක අවශ්‍යතාව මට දැණුනා. තවත් අයට එය දැනුණ වග මම දන්නවා. නමුත් අපේ කෙල්ලො කොල්ලො බොහොම වෙහෙස වෙලා කරපු මේ උත්සවය කාටවත්ම අඩුවට තකන්න බෑ. අඩු පාඩු වෙන්න ඇති. ඒත් වැඩක් කරනකොටනෙ අඩුපාඩු වෙන්නෙ. වැඩක් නොකරන කෙනෙක්ට කවදාවත් අඩුපාඩු වෙන්නෙ නෑ.

ඔබට විනෝද වෙන්න මම දෙයක් කියන්නද? ඔබ කවුරුත් දන්නවානෙ උෂාන්. (අන්තිමයා) ...ඔන්න අන්තිමයා තිෂාරා අක්කා එක්ක. කල ලැහැස්ති වෙලා සබිබර් අලුත් අවුරුදු උත්සවේට එන්න පිටත් වුණා. කුරේ ක්‍රීඩාංගනය ගාවින්ම බස් එකෙන් බැහැපු උෂාන් අවුරුදු උත්සවයට ඇතුළු වුණා. නාඳුනන හුඟක් අය හිටියත් හිනාවෙලා කොහොමද කියලා අහලා.. කට්ටියට පැය භාගයක් විතර උදව් වුණා. ලී බඳින්ඩ..ලණු අදින්ඩ, සරසන්න... නාඳුනන බ්ලොග්කරුවන් අතරෙ කිසිම දන්න මූණක් තවමත් ඇවිත් නෑ. නෙරංජි තාම නැත්තෙ ඇයි කියලා හිතපු උෂාන් ඇයට කෝල් එකක් දුන්නා..

නෙරංජි කතා කළා..

උෂාන් - ආ ඉබ්බී.. මම ආවා කොහෙද අඩෝ උඹ ඉන්නෙ?

නෙරංජි - ඈ පොකිරිස්සො මම ඉන්නෙ පැවිලියන් එකේ මට නම් පේන්නෙ නෑ...

උෂාන් - ඈ යකෝ මම මේ මැද ස්ටේජ් එකේ, වර මේ හරියට..

නෙරංජි - මොන මැද ස්ටේජ් ද? මේකෙ උස තැනක් තියෙන්නෙ පැවිලියන් එකේ විතරයි..

උෂාන් - මොකා උඹලා වැරදි උත්සවයකට ගියාද? මං මේ ඉන්නෙ අවුරුදු උත්සවේ.. තාම දන්න අය ඇවිත් නෑ.

නෙරංජි - අනේ හැලගෙම්බෝ වැපා දුකා අයියා අභී අයියා ඔක්කොම මේ ඉන්නෙ... මේ හරි එක...

උෂාන් - එතකොට මම ඉන්නෙ වෙනින් එකකද? මලාආ ආ ආ ආ ආ

ඉන් පැය බාගෙකට පස්සෙ තමා උෂාන් නියම උත්සවයට ළඟා වුණේ... හික් හික් හික්....

4/16/12

නෙරංජිගෙ අවුරුදු සුබපැතුම


ඉතින් ආදරණීය මගේ යාළුවනේ, කොහොමද? ඔයාලාගෙ අවුරුද්ද ජයද? අවුරුද්දෙ මට ඇති වුණ හුඟක් හැඟීම් කෙටියෙන් බෙදා ගන්ඩ තමයි මම මේ ලිපිය ලියන්ඩ හිතුවෙ.

ඇත්තටම දැන් අවුරුද්ද ටිකක් ඉවරයි. මේ රිප්ලයි පිඟන් බෙදන කාලෙ. ඒ කියන්නෙ ගෙදරට ආපු පිගන්, හිස්කරලා තෑගි එකක් ගිහින් දෙන කාලෙ. ඒත් තාම ජන ජීවිතය සමාන්‍යකරණය වෙලා නෑ. මොකද තවම පාන් මාමා ආවෙ නෑ. තරිඳු අයියලාගෙ අම්මා සරත් මාමලාගෙ කඩේට ඉඳිආප්ප දාලාත් නෑ..

මම මේ ලිපිය ලියන එක අරමුණක් තමයි කට්ටියටම සුබ පැතීම. පින්තූර ටැග් කරපු අයට, එස් එම් එස් එවපු අයට, වෝල්පෝස්ට් දාපු අයට, මම දාපූ පොස්ට් එකට කොමෙන්ට් කළ අයට, ලයික් දාපු අයට, 3500ක් විතර වෙන ෆේස්බුක් එකේ යාලුවන්ට, 283ක් විතර ඉන්න බ්ලොග් යාලුවන්ට, මට වෙන් වෙන්ව සුබ පතන්න බැරි වුණා. ඇත්තම කියනවා නම් හිතේ හැටියට සුබ පැතුවෙ තාරක අයියාට (මගෙ අරයානෙ ) විතරයි.

තාරක අයියා මට අවුරුද්දට රස (කැන්ඩොස් සප්‍රයිස්) චොක්ලට් එකකුයි, ආසා ඕනෙ එකක් ගන්න එයා එක්ක යමුයි කියලා අඥාත වවුචරයකුයි, මම කන්ඩ ආසම රසම රස ක්‍රිස්කො බිස්කට් තියන ටින් එකකුයි තෑගි දුන්නා.




හෙට ඒ පිහිටෙන් මට බම්බලපිටියෙ අයියා එක්ක රවුමක් ගහන්න ගෙදරින් පර්මිෂන් ඒ සමඟම ලබාගත්තා.....ඒ විතරක් නෙවෙයි.. මට හෝම් මේඩ් බයි තාරක මල්ටි ප්ලග් එකක් හදා දුන්නා. මම 3 core වයර් එකට වරද්දලා 2 core ගෙනත් නිසා ගෙදර තිබ්බ වයර් එකකින් කරලා ඒක ෆිනිෂ් එක ටිකක් දැනට අවුල්. ඒකත් සුදු පාටින් දාලාම ඒක ගැන පෝස්ට් එකක් පස්සෙ ලියනවා.


අපේ අම්මා අවුරුද්ට හදපු අලුවා සහ කොකිස් දැන් බෙදලා ඉවරයි. දැන් තමයි මට කන්ඩ ලැබෙන්නෙ. ඇත්තටම මට අවුරුදු ලැබුවෙ දැන්. තව ගෙදර කෑම ගොඩක් තියෙනවා. බිත්තර දාපු නිසා කොකිස් වල පුමිතිය බැහැපු බවයි කලු පුංචි ආච්චි සඳහන් කළේ. ඒත් ඉතින් හැඩේ අවුල් වුණාට කොකිස් ටික රහයි. සුවරූපෙන් පපඩම් වලට ටිකක් හුරුයි. අලුවා නම් ටොප්. අලුවා වලට පිටි බැදලා පදම බලන්ඩ පිටි ගින්දරට විසිකරන එක නම් හිනා යනවා... (ඔක්කොම ටික ලිපට දැමිමා නම් නිකම්ම අලුවා නෙ)

හරි හරි ඉතින් දැන් මම සුබ පතන්න බැරි වෙච්ච දහස් ගණනක මිතුරන්ට සුබ පතන්න මම මේ පෝස්ට් එක ලිව්වා.. මගෙ කම්මැලි කම නොවෙන්න මට මේක මීට වඩා හොඳට කරන්ඩ තිබ්බා. ඒත් මට ඔය වගේ වැඩවලට පින්තූර හදන්ඩ, එක එක්කෙනාට විශ් කරන්ඩ මම හරීම කම්මැලියි. ඉතින් බ්ලොග් ලෝකෙ මා එක්ක කවුරු හරි තරහින් හිටියා නම් සමා අවසර. ඒ විතරක් නෙවී.. මම සුබපැතුවා කියලා හිතන් රිප්ලයි එවපු අයටත් ගොඩාක් ස්තූතියි. මේක වුවමනාවක් නැති කමට වඩා පුරුද්දක් නැති කම.

මම අවුරුදු කුමරිය ගැන කවියක් ලීවා. ඒකට කමෙන්ට් කළ අයටත් ස්තූතියි. ඒක මෙතන මම පල කරන්නෙ නෑ. මුහුණු පොතේ ගොඩක් අය ඒක බැලුව නිසා.

මම බස් රේඩියෝ එක නිසා කට්ටියටම සුබ පැතුවා.. ඒකට ඔවුන්ට ස්තූති කරන්ඩ ඕනෙ. අලුත් අවුරුද්දෙ මම කරන්න හිතා ඉන්න දේවල් මම කියන්නම්කො. ඉස්සරහට
එහෙනම් ඔයාලා කාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

කඳුලු පිපිරෙන ඇස් අගිස් මත හීනා පිපිරී විසිරියන්
හිනා ඉතිරෙන මුවක උණුහුම තවත් මුවකට පැතිරියන්
හදවතින් මෙත් ගුණ මුදුන්පත් සිහිලසෙන් සිත් තෙරපියන්
හැමට සිංහල අලුත් අවුරුදු මුට්ටියෙන් කිරි ඉතිරියන්..

ලොවේ දස දෙස නැගුණු රුපු යුද  නිවී ගිනිඅවි ඇවිලියන්
දැවුණු  අවි අලු මතින් සුවඳට නැවුම් මල් වැල් පිබිදියන්
සගිනි බලවත් වෙච්ච කුස් දැක බත් පිඟන් බෝ ඉදීයන්
එ සුවඳින් නැහැයම පුරා හද තොසින්  අපෙ ඇස් තෙමීයන්

අපේ දෙස බස රැස පුරා ඔද වැඩුණු කොල්ලන් පිරීයන්
අහස මිහිකුස සයුර විනිවිද නිවහල්ව හිස් නැගීයන්
රටක් දුලවන පුතුන් සදනා අම්මලට කිරි එරීයන්
උන්ගෙ නැළවිලි ගී සරෙන් නූඹ සැනසියන් ලක සැනසියන්.

සිංහල අවුරුද්ද සිතු පැතු යහපත් දෙයින් ඉතිරේවා!!!




4/11/12

සයිබර් උළෙල පැවැත්වීම සහ අපි


සුනාමි උවදුර එනවා එනවා කියපු නිසා ලියනවාද නැද්ද කිය කිය හිටියත්, වාසනාවට එහෙම නොවුණ නිසා උත්සවයක සිහිනය තවම එහෙම්මයි. ඔන්න මම ලිව්වා. මම මේ ලිපිය ලියන්න ගත්තෙ, ඇත්තටම කියනවනං දුකා අයියාගෙ පෝස්ට් එක කියවලා ටිකක් දුක හිතුණ නිසා.

සයිබර් අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නෙ අපේම දෙයක්. පරණම බ්ලෝකාරයෝ , ටිකක් පරණ බ්ලොග් කාරයො විතරක් නෙවී අලුත්ම බ්ලොග් කරුවොත් එදාට හමු වෙනවා. ඒ විතරක් නෙවී, බ්ලොග් රසවිඳින, කියවන්න කැමති වගේම ලියන්න බලාපොරොත්තුවන අයටත් මෙතනදි සතුට ලබන්න පුළුවන්. ඇත්තටම සයිබර් උළෙල කීවාම  (Buzz) බස් පැදපු අය, (Plus) පස් අදින අයට, (Facebook) බුකියෙ කොල්ලො කෙල්ලන්ටත් මේකට එන්ඩ පුළුවන්.

නොපෙනි වාද විවාද කරගන්න මුලු අවුරුද්දෙන් එක දවසක් හරි මුහුණට හමුවෙලා සතුටු වෙන්න පුළුවන් එක කොයි තරම් ලොකු දෙයක්ද?

දැන් මේ ලිපිය ලියන්නෙ මේ ගැන තවම නොදන්න අයට. තව සයිබර් උළෙලට තියෙන්නෙ දවස් 10යි. තවම එන විත්තිය දන්වලා නැත්නම් සයිබර් උළෙල වෙනුවෙන්ම හදලා තියෙන බ්ලොග් අඩවියෙ තියෙන මේ පෝරමය හරහා දන්වන්න. 

මෙතනදි ඔබ කන්න කැමති ආහාර වේල වෙජිටබල්ද චිකන්ද කියලා සටහන් කරන්න. ඒ වාගේම ඔබ සමඟ එන ගණන හරියට සඳහන් කරන්න. සංවිධායක කමිටුවට හැකි තරම් නාස්තිය වලක්වා ගන්න උදව් වෙන්න ඔබට පුළුවන් වෙයි. එන්නෙ නැත්නම් මේක බොරුවට පුරවන්නත් එපා..

ඔබ බ්ලොග් නොලියනවා උණත් මේ පෝරමය ඔබට පුරවන්න පුළුවන්..ඔබ එනවා නම්.

ඔබ සයිබර් සිහින කුමරිය කුමරා තරඟයට ඉදිරිපත් වෙන්න කැමති නම්, මෙන්න මේ පෝරමය පුරවන්න. ඔබට අගනා තෑගි ලැබෙනවා දින්නොත් විරූස් පාවහන් වෙතින්.

මේ හැම විස්තරයක් ම තියෙන සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය සමඟ ඔබේ නිරන්තර ඇසුර තියා ගන්න..

තව දෙයක්, සබිබර් සිහින උළෙල හා සමගාමීව නිර්මාණය කළ නිර්මාණ තරඟය, මුහුණුපොතෙන් (ප්‍රමිතිය පවත්වා ගැනීමේ සද් චේතනාවෙන්) ඉවත් කළත් තවමත් පැවැත්වෙනවා.. එහි නිර්මාණ භාර ගන්න අවසන් දවස අප්‍රේල් 15 . ඉතින් තවමත් ඔබට කල් තියෙනවා. නිර්මාණයක් නොකළා නම්. මේ පොස්ට් එකේ, නිර්මාණ සඳහා කොන්දේසි, තරඟය ගැන සියලු විස්තර තියෙනවා.. ඉතින් තව කල් තියෙනවා.

තව තරඟ එදාට පවත්වන්න දැනටමත් සූදානම්. විකට ඇඳුම් තරඟයට එන්න කැමති අය සූදානම් වෙලාම එන්න. විශේෂම දේ තමයි එදාට සයිබර් අලුත් අවුරුදු උත්සවයේ නිල මාධ්‍ය අනුග්‍රහය අපේ ම බස් රේඩියෝ වෙතින්.

නිරන්තරයෙන් බස් රේඩියෝ ඇසීම තුළින්, ඔබට සයිබර් උළෙල පිළිබඳ බොහෝ තොරතුරු යාවත් කාලීන කරගන්න පුළුවන්.

නොදැනුවත් වෙලා ඉන්න අයව දැනුවත් කරන්න කැමති නම් ඔබේ බ්ලොග් අඩවියේ, සයිබර් උළෙලට දින ගණින HTML කෝඩ් එක දමා ගන්ඩ පුළුවන් .




ඉතින් ඒ වාගේම තව දෙයක්. තමන් එනවාද කියලා... ඔබ මේ තරම් වෙලා කීවෙ සංවිධායකයන්ට විතරනෙ. ඔබ එනවග යාලුවන්ටත් දැනගන්ඩ එක්ක Facebook එකේ මේ වෙනුවෙන් ම නිර්මාණය කරපු Event එකට ඔබේ සහභාගීත්වය පල කරන්න.

ඔන්න මම දන්න ඔක්කොම කීවා.. මේකට සමගාමී ප්‍රජා සත්කාර ගැනත් ආරංචි තියෙනවා. ඒවා දැන ගන්ට වගකිව යුතු කෙනෙක් ව සම්බන්ධ කරගන්න. මම ඒවා ගැන හරියටම දන්නෙ නම් නෑ..


මම නම් දැනටමත් එන්ඩ ඔක්කොම සූදානම් කරලා ඉවරයි.... එහෙනම් 22 වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේදී සෙට් වෙනතුරු මේ පෝස්ට් එක ඉවරයි.




4/9/12

මගේ හිත කලබලයි

මොනා හෝ දෙයක් ලිවිය යුතු යැයි සිත බල කරන නිසාවෙන්, යමක් ලියා තබන්නට යතුරු පුවරුව මත ඇඟිලි තුඩු මෙහෙයවූවද හදවත තුළ තෙරපෙන මහා දුකක් ලියන්නට එන හැඟීම නවතාලයි..

මේ මොහොත වන විට මම සිටින්නේ මා සිටිය යුතු තැන හෝ සිටීමට සිතා සිටි තැන නොවේ. එක් පාර්ශවයකින් මා දිරිමත් වෙද්දී අනෙක් පාර්ශවයෙන් මම අන්ත අඩියකට වැටී සිටින්නෙමි. මගේ හීනය වූ කෙටි චිත්‍රපටය මට වුවමනා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බැරිවෙන අයුරක් මට පෙනෙයි. මේ අවස්ථා වලදී කාලය පිළිබඳව මට මතුවන තරහ පාලනය කර ගැනීමට නොහැකි තරම්.

මා ළඟ බ්ලොග් ප්‍රවණතා සම්බන්ධයෙන් සහභාගී පරීක්ෂණ තුළින් ලත් අත්දැකීම් හා තොරතුරු බොහෝමයක් වේ.ඒවා ප්‍රයෝජනයට ගතහොත් වචන 5000 ක නිබන්ධනයක් ලිවීම මහා කජ්ජක් නොවේ.

එහෙත් මම එවැන්නක් පළමුවෙන් බලාපොරොත්තු වූයේ නැහැ. මට තවත් අධ්‍යනයට කාලය අවශ්‍යයි. පද්‍ය සංග්‍රහයක් හෝ කෙටි කතා සංග්‍රහයක් ඉදිරිපත් කළ හැකි නමුත් මට වුවමනා ලකුණ මට එයින් ලැබිය හැකි වේවිදැයි යන්න සැක සහිතය.

බැජ් ටොප් වීමට සිහිනයක් නැතත්, මම ආශා කරන්නේ ඉතාම හොඳින් ලකුණු ලැබීමටය. නිබන්ධනය සඳහා වන පීඩනය මේ වන විට විෂයානුබද්ධ ක්‍රියාකාරකම් වලටත් බලපාලා. මම මනසින් ටිකක් දුර්වල වෙලා.

මට මේ වෙලාවෙ කළ යුතු හොඳම දේ ගැන උපදෙසක් ඕනේ..මගේ ගැටළුව ඔබට තේරෙනවාද කියාවත් මම දන්නෙ නැහැ. ඒක් මෙය සටහන් කරනවා විනා මට වෙන කළ හැකි දේකුත් පෙනෙන්නට නැහැ. දින පොතකට වඩා මට සමීප බ්ලොයේ මම මගේ ගැටලුව ලියා තබන්නේ..හැකි කෙනෙක් මට කළ යුතු හොඳම දෙය ගැන උපදෙසක් දෙයි කියන බලාපොරොත්තුවෙන්.

අන්ත අසාධාරණයකට මුහුණ පෑ හැකි නිබන්ධන ක්‍රමයක් ඇස් පනාපිට පෙනෙද්දි, මගේ හිතේ තියෙන්නෙ සුන් වුණ හැඟීමක්...කියන්නත් බෑ..නමුත් දැනෙනවා..

වෙනදාට නිතරම අහන සිංදුවෙන්වත් මේකට මට උත්තරයක් හොයාගන්න බැරි වුණා.

බිම්මල් යට පිපුණු පැතුම් පෑගී යන විට
කඳු මුදුනට නැග බලන්න ජීවිතයක උස

4/3/12

සියලු සිංහල කොල්ලන්ගේ හිත සුව පිණිසයි


මම මේ ලිපිය ලියන්න තීරණය කළේ මගේ යෙහෙළියට ඕනෙ නිසා නම් නෙවෙයි. මගෙ හොඳම යෙහෙළිය වෙනුවෙන් මට පිරිමි ළමයින් කාගෙ කාගෙනුත් ඉල්ලන්න තියෙන වැදගත්ම ඉල්ලීමක් මේක. මම වැරදියි කියලා සරම කැහැපොට ගහගෙන,කොට කලිසම් සාක්කුවල අත දාගෙන, කට ඇරගෙන දුව ගෙන එන ඕපන් යූසස් ලා හා ඇනොනිමස්ලා දැන් මට පේනවා... මගෙ හොඳම යාලුවො ටික ඇනොනිමස්ලා වෙලා මට ගහන හැටිත් මට පෙනෙනවා. ඒත් මම ඒක ලියනවා. ඇය වෙනුවෙන් මම ඒක ලියනවා.

මේ කතාව ඇතුළ කිසිම ස්ත්‍රීවාදයක් හෝ ඒ වෙනුවෙන් හඬ නැගීමක් නම් නෑ. ඇත්තටම තියෙන්නෙ පුරුෂ පක්ෂයෙන් කරන ආයාචනයක්. කොටින්ම හිඟා කෑමක්.

මම මෙහෙම පටන්ගන්නම්...

ඔබ ජීවිතේ කවදා හි කෙල්ලෙක් එක්ක යාලු වුණාද? ඔබට දැනටමත් පෙම්වතියක් ඉන්නවාද? ඔබ ආදරේ කරන්ඩ බලාපොරොත්තු වෙනවාද? ඔබ සාර්ථකයි කියලා ඔබට හිතෙනවාද? මම කිව්වෙ, සාර්ථක විදියට ඔබ පෙම්වතිය සමඟ සතුටින් ඉන්නවා කියලා ඔබට හිතෙනවාද?  නැත්තම් ඔබට වැරදුණු තැන මොකද්ද කියලා අඩුම තරමෙ ඒ කෙල්ල දාලා ගියාට පස්සෙවත් ඔබ හිතිලා තියෙනවාද? පිස්සුද තව කෑල්ලක් සෙට්කරගන්නවා මිසක් කෝ ඔබට ඒකට කාලයක්..

කෙල්ලෙක්ගෙ පියයුරු දෙක නිසා කෙල්ලෙක්ට ලැබෙන්නෙ අමුතුම සුන්දරත්වයක්. ඒ අස්සෙ නිදා ගන්ඩ කොල්ලො හරිම ආසයි. ඒත් ඒ පියයුරු යට ගැහෙන අල්ලක් මිට මොලවපු තරමේ පුංචි පපුව ගැන කවුරුවත් කොල්ලෙක් කතා කරනවාද?

තමන්ගෙ කෙල්ල නවදාම හරි කොල්ලෙක් අතින් අනාත වුණා කියලා දැනගත්තොත් ඒ කෙල්ලව ආදරෙන් රැකගන්න ධෛර්යයක්,ඒ කෙල්ල තමන්ගෙම කරගන්න ධෛර්යයක් කොල්ලෙක්ට තියෙනවා නම් ඒ නියම පිරිමියෙක්.( මම කතා කරන්නෙ නිළියො ගැන හෝ කෝටිපතිනියො ගැන හෝ සුපිරි තාරකා ගැන නොවේ.)

සමහර කොල්ලො අවට හැම කෙල්ලගෙම ලස්සන තම කෙල්ලට කියනවා. ඒ කෙල්ල තමන්ගෙ ලස්සන කොල්ලාවත් අගය නොකරද්දි, වෙන කෙනෙකුගෙන් හෝ ඒක බලාපොරොත්තු වෙනකොට කොල්ලාට තද වෙනවා. මම දැක්කා තැනක තියෙනවා, රටේ කොයි කෙල්ල ගැන කල්පනා කළත් නින්ද යද්දි කල්පනා වෙන්නෙ තමන්ගෙ කෙල්ල ගැන කියලා, කොල්ලෙක් මුහුණු පොතේ දාලා තියෙනවා. ඔක්කොම කරලා, අන්තිමට නින්දට යද්දි සිසුර පූජා කරන්නෙත් තමන්ගෙම කෙල්ල තමයි. (මේ කතාව නම් පෙම්වතියකට වඩා බිරිඳක් අනුව) කීවොත් ගැළපෙයි.

පාට අඩු නම් ටිකක් මහත නම් සමහරු ඒ ගැහැණු ළමයි දිහා බලන්නෙ නෑ. සමහරු එහෙම අය එකක් යාලු වෙලා, වෙන අය එක්ක හිතින් ජීවත් වෙනවා... අර අහිංසකී මොනවා දන්නවාද? ඇය ඉන්න රැවටීම කොයිතරම් ද? මොකද්ද ඇය කළ පාපය?

හැම වෙලේම ඔබ පෙම්වතිය ගැන හිතන්න. ඔබගෙ සොයුරිය ගැන හිතනවාට වඩා ඔබ පෙම්වතිය ගැන හිතන්න...එය අනිවාර්ය වශයෙන් සිදු වියයුත්තේ ඇය තනිවී ඇති කෙනෙක් නම්. ඇයට ආදරය ඕනෙ කරනවා.සොයා බැලීම ඕනෙ කරනවා.ඒ සොයාබැලීම මවක් පියෙක් කරන සොයා බැලීම නොවෙයි. පෙම්වතියක් බලාපොරොත්තු වන්නේ ඊට වඩා රසවත් ආදර බර සොයා බැලීමක්.

එක එක පෙම්වතියො එක එක වගේනෙ...ඔබේ මවටත් වඩා ඔබව රැක බලා ගන්න කෑම බීම ගැනීම ගැන යො බලන,වතුර බෝතලය පුරවා දෙන,ඔබ නිවසට එන මොහොත වෙනකන් මඟ බලා සිටින,ඔබ නැවත යනතුරු තනිරකින,සමහර විට නිවසේ තහංචි වලට හිරවුණ, ආදරය අයදින පෙම්වතියො ඇති. ඒ අය ඉල්ලන්නෙ හව් හරණක්, රැක බලාගැනීමක්, මහ හුඟක් සෙනෙහසක්.

පරිගණක සම්බන්ධ (මෘදුකාංග,තොරතුරු තාක්ෂණ) රැකියා කරන, සහෝදරවරු අනෙක් අයට වඩා ආදරය ගැන හිතන්න ඕනෙ. මොකද යකඩ ගොඩට පෙම් බඳින අයට ආදරය ටිකක් අවුල් සහගතයි. ඒ අය නොහිතන දේ තමා කටයුත කරන්නෙ මනුෂ්‍ය ප්‍රාණියෙක් සමඟ කියන එක. ඇයට වුවමනා ආදරය,රැකවරණය, හොයා බැලීම, සෙනෙහස දීගන්න බැරි වෙන කොට මෘදුකාංග හැක් කරනවා වගේ තර්ජනය කරලා නම් ඔබට කවදාත් ඒ ආදරයට අරුතක් දෙන්න බැරිවෙයි.

කෙල්ලෙක් හරි ආසයි, කොල්ලා තමන්ගෙ යාලුවො, ඉස්සරහ (විශේෂයෙන් ගැහැණු යහළුවො ඉදිරියෙ) තමන් ඔහුගෙ පෙම්වතිය වග පිළි ගන්නවානම්. බහුතරයක් කොල්ලො සමහරවිට යටි අරමුණු ඇතිව හො නැතිව එහෙම කියන්නෙ නෑ. ඒක කෙල්ලෙක්ට ලොකු දුකක්. ඒ වගේම කොල්ලාව අවිශ්වාසයට පෙළඹෙන්නට හේතුවක්. කෙල්ලව නන්නාදුන්නෙක්ට වත්, හතුරෙකුටවත් තමන්ගෙ යහළුවෙක් කියලා කියන්න එපා. ඒකිව ඉඹින්න හොඳනං, ඒකිගෙ පපුතුරේ, උකුලෙ උණුහුම්
වෙන්න හොඳනම් ,ඒකිට කියලා බත් කටක් කවා ගන්නවා නම්, ඒකි නිසා සතුටු වෙනවනං,ඇයි ඒ තමන්ගෙ කෙල්ල කියලා පිළි නොගන්නෙ. ඔබ කවමදාවත් මේ අම්මාද කියලා අම්මාව පෙන්නුවොත්, මේ ඔබේ නැන්දා යැයි කියන්නෙ නෑ නේද?

හැම වෙලේම ඇය නැතිව ඔබට ජීවිතයක් නැති වග අඟවන්න. ඇයට ගරු කරන්න. ඇයගෙ වෙහෙස අගයන්න. ඇය ගැන බියක් දක්වන වග, ඇය අසනීප වුණොත් තමන් ඇය ළඟ සිටින වග, ඇය වෙනුවෙන් කරන කිසිම කැපකිරීමක්,සඳහා තමන්ට කිසිඳු වෙහෙසක් නැති බව, ඇයගේ සිනහව මේ ලොව තිබෙන වටිනාම දේ වග ඇයට කියන්න.

ඇය මේ ලොව වෙසෙන ලස්සනම තරුණිය වග ඔබ ඔබේ සිත තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න. එවිට ඔබට රූප රාජිණියන් සියදහසක් වුව අභිබවා ඇගේ තුරුල්ලේ අවංකව වෙළිය හැකියි.

ඔබට විභාගයක් තියනවා ඇති,පාඩම් කරන්න.රස්සාවක් තියෙනවා ඇති..ඒත් කෙල්ලෙක් ඉන්නවා නම් ඔබ ඇයටත් උපරිම වෙලාව වෙන් කරන්න ඕනෙ..නැත්තම් ඔබ ඩිග්‍රියයි ජොබ් එකයි කරලා එද්දි ඇය ඔබට අතපසු වේවි...ඔබ ඇයට ආදරය කරන්න, ඒ දෙකෙන් එකක්වත් අතඅරින්න ඕනෙ නෑ. අභියොගයක් කියලා හිතාගෙන ජය ගන්න. ඒකට තමයි පුරුෂ ශක්තිය කියන්නෙ...


ගැහැණියෙක් ගෙ ආදරය පිරිමියෙකුට ජීවිතයේ එක කොටසක් විතරක් වෙන්න පුළුවන්. එහෙත් පිරිමියෙක්ගෙ ආදරය ගැහැණියට විශ්වයක්....ගැහැණියගෙන් උවමනා දේ ඇය උපරිමෙන් දේවි..ඔබෙන් විය යුත්ත සිදුවුණොත්...මොකද ගැහැණියට ඔබට වඩා සීමා වැඩියි.ඇය ඔබ ගැන ලොවට කියන්න කැමතියි.ඔබේ අතේ වෙලෙන්නත් කැමතියි. කොටින්ම ඇය ඔබේ...

පිට කොන්දක් තියෙන පිරිමියෙක්, දැනෙන්න ආදරය කරනවා. ඒ ආදරය මාරයි..ඒක විඳින්න ගැහැණියෙක් පින් කරන්න ඕනෙ.. හරියට මගෙ අම්මා වගේ... එයා මේ ලෝකෙ ඉන්න වසනාවන්තම බිරිඳ....ඒ මගේම අප්පච්චි නිසා... මට හරි සතුටුයි ඒ අය ගැන ... ඒ තරමටම මට දුකයි මගෙ යෙහෙළිය ගැන.

මම මේ කතා කළේ සිංහල කොල්ලන්ට විතරයි...ඒ කියන්නෙ කෙල්ලො බලන්ට එපා කියලා නෙවී...