3/31/12

අල්තිනායි ගේ කවිය



 කඳු මුදුනට යන්න...
අල්තිනායි!!
අඬගහන්න සුළඟ ට..

කතා කරන්න
පොප්ලර් ගසට .....
හුදකලාවේ තැවෙන ...
සිත රිදවන...
පොප්ලර් ගසට .....

කියන්න මෙලෙස

“සෙලවෙන්න ...
හිම දිය වන තුරුම
සෙලවෙන්න....“

{ අතීතේ එක් දවසක
හමා ගියා මහ කුණාටුවක්
ගස මැදින් කඩා ගෙන
හදවත දෙදරවාගෙන
මහ දුකක් ! කැන්දගෙන

යළිත් ගස දළුලන්න
සියක් වරක්
නැහැ.
දහස් වරක්
නැහැ . නැහැ ..
සිය දහස් වරක්
අවසර පැතූ මුත් !

දුයිෂේන් කපා දැම්මා
පොප්ලර් ගස
මුලින් ම....
දුකක් නැතිවම...

මුල නැවත පීදෙන්න
වෙර දරන විට හෙමින්
උගුල්ලා දැමූවා මුල ද , .....
එහි මතකයද
වියළි වූ හදවතින්! }

කඳු මුදුනින් බසින්නට පෙර
---------අනේ අල්තිනායි!!
යළිත් අඬගහන්න.. සුළඟ ට
කතා කරන්න තව එක වරක්
පොප්ලර් ගසට .....
හුදකලාවේ තැවෙන ...
සිත් රිදවන...

'අහිංසක' පොප්ලර් ගසට .....

කියන්න
මෙලෙස 'මම' කියූ වග...

“එපා ඉර පායන්න.!
සිහිවෙන හින්දාම
හිම දිය වූ පසු
පොප්ලර් ගසක
හිස්තැන ' ___________' “


අල්තිනායි!!!!!
හැකි හැමවිටම
පලයං අයිලයට ....
අමතක වන්නට නොදෙන්
ඔබගේ මතකය
දුයිෂේන් හට!




3/29/12

චුම්බන කන්ද කියවීම | Part 2


 මීට පෙර ලිපියක චුම්බනකන්ද නවකතාව විචාරය කිරීමේ පළමු ලිපිය පළවිය. මේ එම ලිපියේ ඉතිරි කොටසයි.
චුම්බන කන්ද කියවූ පසු මගේ හැඟීම මෙසේ සිතුවම් කළෙමි.

හිරෙන් නිදහස් වන සිංහයා ගෙදර ආවේ , එකම එක බලාපොරොත්තුවක් සිතේ ඇතිවය. ඒ බලාපොරොත්තුව අන් යමක් නොව කන්ද ය. කන්ද යනු ඔහු ගේ ජීවිතයේ විප්ලවීය තාරුණ්‍යය අඩපණ කළ ස්ථානය යි.  මේ කන්ද අයිති කරගැනීමට ඔහුට වුවමනා විය.  සැබවින්ම කන්දේ රජ වීමට ඔහුගේ සිතට වුවමනා විය. එය එසේ වන්නට ඇත්තේ තමාට කියා කිසිවක් නැති අයෙක් ලෙස ඔහුට සිතෙන්නට පටන් ගත් නිසා විය යුතුය. නිවසට පැමිණි පසු සිටි අඩියට වඩා පහළ අඩියකට තමා වැටී ඇති වග, එයින් තමා ගොඩ නංවීමට තම පවුලට නොහැකි වග ඔහුට ඒත්තු ගිය නිසා විය යුතුය.

පියල් ට පෙරැත්ත කර කන්දට යන සිංහයාට ඔහු සමඟ දිනක් හෝ කන්දේ සිටීම රිසි වෙතත්, පියල්ගෙන් ඊට කිසිඳු අනු බලයක් නොලැබෙන්නේ ඔහු ඒ වන විටත් යා යුතු කාමසුකල්ලිකානු ප්‍රතිපදාව තීරණය කර තිබූ හෙයිනි. වනගත ජීවිතය තුළම නවතින සිංහයා, වනය තමාට වුවමනා අයුරින් වෙනස් කර ගන්නේය. භාවනා කරන්නෙකු වග පෙන්වමින් එය තමාගේ සම්පතක් බවට පත් කර ගැනීමේ අභිලාසයක් හා ජනතාව අතර ඉහළින් සිටීමේ ආසාවක් සිංහයා තුළ පවතී.

ඔහු ඉතා ශීඝ්‍රයෙන් වනය අත්පත් කර ගත්තද, තනිකම ඔහු නිරන්තරයෙන් පෙලු අවිය විය. ඔහු හුදකලා වූයේ මිනිසුන් නැති කමිනි. කුඩා කළ කොන් වීමද, දේශපාලන ජීවිතයේ සටනින් තොර බැමි නැති වීමද, ඇති වූ බැඳීම් වෙතොත් උවමනාවෙන් හෝ නුවමනාවෙන් ඒවායෙන් ඈත් වීමට සිදුවීමද, සිංහයාගේ ජීවිතයේ විශේෂයකි. 

සිංහයාගේ සටහන් පොතින් පවා අපට හැඟෙන්නේ ඔහු සතු වූ තනිකමය. ඔහු කන්දට වී ගත කළ මුල් කාලරාමුව තුළ එකදිනක් පමණක් රමණය කළ අහිකුණ්ඨක ස්ත්‍රිය වුව, යළි ඔහු වෙත පැමිණෙන්නේ කාලාන්තරයකට පසුවය.

ඒ අතර කාල සීමාව තුළ ඔහු බොහෝ පිටස්තර බලපෑම් වලට මුහුණ දුන්නේය. බවුන් වඩන අසපුවකට පමණක් සීමා කර සඟවා තිබූ කන්ද ඔසු උයනක් බවට පත්වීම. සාරවත් වගාවක් වීම. කරුණා සේවකයා වීම. පියල් ගේ ආගමනය හා බාවනා වැඩමුළුවක් පැවැත්වීම. පියල්ගේ අනුදැනුමින් එක් හිමි නමකගේ පැමිණීම නිසා කන්දෙ පන්සලක් බිහිවීම. ලොකු විජේ කන්ද දැකීමට පැමිණීම හා කන්දට විදුලිය ලැබීම. ලොකු විජේ විසින් නිවාඩු නිකේතන යෝජනාව ගෙනඒම හා ජංගම දුරකථනයක් මගින් කන්ද හා නගරය සම්බන්ධ කිරීම. ලොකු විජේ මරන්නට ගෙදරට ආ විප්ලවවාදියා කන්දට පැමිණීම හා පැවිදිවීම. සිංහයා රෝහල් ගත වීම. පන්සල ගිනිබත් වීම. ඒ සිද්ධීන් හී සාරංශයයි.

කොයිතරම් දෙගිඩියාවෙන් ජීවත් වුවද, කරුණා, විප්ලවවාදි තරුණයා හා අසපු හාමුදුරුවෝ නැමති ප්‍රාණීන් තිදෙනා කෙරෙහි සිංහයාගේ දැඩි ඇල්මක් වූ බව, ඔවුන් ආගිය අතක් නොමැති වග දැනගත් සිංහයාගේ හැසිරීම කියාපායි. සිංහයා ජංගම දුරකථනය ගින්නට දමන්නේ ඒ තරහ කරණ කොට ගෙනය. හදවත තුළ රික්තය ලැගුම් ගත් මොහොතේ, සිංහයා කන්දෙන් පහලට බසී. නැවත ජීවිතය ඔහු වෙතට පන්සලේ නටඹුන් අතරින් පැමිණෙයි. පුතා සහ බිරිඳක් ලෙස සිතිය හැකි ගැහැණිය වසර පහළවකට පසු මුණ ගැසුණු පුදුමය යම්තාක් දුරට ස්ථාවර වද්දී අනාගත පරපුරක බලාපොරොත්තුව ඔහු සිත තුළ පැළ වන මොහොතක සිදුවන ( ලොකු විජේ නිසා ඉවසිය යුතු, වගකීම බාරගතයුතු ) කාන්තා මරණය  ඔහුගේ සැනසුම නැති කරනු ඇතිද? සටහන් පොත ගිනි තබන්නට නියමිතය. තේක්ක ගස් වැඩෙන්නට නියමිතය. කෝටි ගණනක් ඉපයෙන්නට නියමිතය. පරපුරක් සිංහයා නමට බිහිවන්නට නියමිතය. එසේ නම් රහස් වැළලෙන්නට නියමිතද? හෙළිවන්නට නියමිතද? 

උපුටා ගැනීම (පිටු අංක 175)


  ගොඩ දා තිබූ පස් සමඟ තනපටත් අනෙක් රෙදි කැබලිත් උදැල්ලෙන් වළට තල්ලු කරන තරුණ කුමාර දෙස බලා හිඳින විට කවදා හෝ මොහු මෙහි සිදුවූ සියල්ල අනාවරණය කර ගනු ඇතැයි සිංහයාට සිතෙන්නට විය. ඒ හා සමඟ ම ඔහුට තමා කලබලයෙන් නැගිට එද්දී සටහන් පොත ගල්තලාව මත දමා ආ බව සිහිපත් විය.
  
 ඔහු නැවත හැරී තලගොයියාගල දෙසට කඩිනමින් ඇවිදින්නට වූයේ ඒ සටහන් පොත පුළුස්සා දැමීමේ අරමුණ ඇතිව ය.

උපුටාගැනීම අවසන්


මෙම නවකතාවේ සැලකිය යුතු කරුණක් නම් ලොකු විජේ හා පියල් සහ සිංහයා යන මේ ප්‍රධාන චරිත ත්‍රිත්වය විසින් මනස තුළ පවතින විවිධ ස්වාභාව තුනක් දක්වා තිබීමයි. සාමාන්‍ය මනසක් හා අධි මානසිකත්වය මෙන්ම සියල්ලට ලොබ බඳින මනස ක්‍රියා කරන අයුරු මේ තිදෙනා ඇසුරෙන් කතුවරයා පහදා දෙයි.  පියල් ළඟාවීමට උත්සාහ කරන්නා වූ අධ්‍යාත්මයද, සිංහයා සොයන සාමාන්‍ය ජීවිතයද, ලොකු විජේ සොයන කාමභෝගී දිවිපෙවතද මෙහිදී ඒ මනස් ස්වභාවයන් තුන ඕස්සේ විස්තර වේ. 


මෙම කතාවේ අතුරු පස ලෙස දුන් කාන්තා ප්‍රකාශ තුන අතිශයින් ම වැදගත්ය. ඒ මනොභාවයන් හා බද්ධව ජීවත් වූ කාන්තාවන් නිසාම පමණක් නොව සමාජයේ ස්ථර තුනක කාන්තාව මැනවින් මේ පිටු කිහිපය ඔස්සේ විස්තර කර ඇත. 


උපමා, රූපක ආදියට අවධානයක් නොයෙදෙන මට්ටමක කතාව මිනිසා හා බද්ධ කරගැනීමේ සියුම් ඥාණයක් සහජයින්ම කෙටිකතා කරුවකුට හිමිය. කම්මැල්ලවීර යනු ද එවන් කෙටිකතා කරුවෙකි. භාෂාවේ සුන්දරත්වය, තම කතාව සමඟ හනා පාඨකයාට ඔහු ලබා දී ඇති අයුරු නම් අපූරුය. 


මධ්‍යම පන්තික කාන්තවගේ ජීවිතය සකල කලා මාධ්‍යනට ෆැන්ටසියක් වී, නවකතාවද එයම අනුකරණය කරමින් සිටිනා මෙවන් යුගයක කම්මැල්ලවීරයන් දුන් පිළිතුර අගය කළ යුතු බව පමණක් විචාරය අවසානයේ සිහි කැඳවිය යුතුය.

3/26/12

සිංහල බ්ලොග් කෙරුවාව සහ සුහද හමු / උත්සව


 මම මේ කතාව ලිව්වෙ මල්ලි කෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු දේකට.. කවුරුත් තම තමන් දන්න දේ කියන්න. සටහන් කරන්න.

මල්ලි මේක ටිකක් දිග කතාවක්.

මීට කාලෙකට ඉස්සර facebook එක ලංකාවෙ අයට ටිකක් දුර අත්දැකීමක්. මම ඔය මුහුණු පොතට ආවෙ 2009 වසර පටන් ගද්දි වගේ.

ඒ වෙනකොටත් සිංහල යුනිකේතකරණය ආරම්භ වෙලා තිබුණ මුල් අවධිය. එතකොට තමයි සිංහල බසින් අපට අන්තර්ජාලෙ පෙනී ඉන්න හැකියාවක් ලැබුණෙ. බ්ලොග්කරණය ආරම්භවෙන්නෙ ඉන් පස්සෙ.ප්‍රොෆයිල් බැජ් කියලා අදටත් ඔය මුහුණු පොතේ තියෙන උපාංගය හරහා තමයි මුල් කාලීන ව හිටිය කට්ටිය යමක් ලීවේ. නමුත් සිංහල යුනිකේත තරමක් ජනප්‍රිය වීමත් එක්ක බ්ලොග් හෙවත් වෙබ් + ලොග් කියන මේ ක්‍රමය බ්ලොග්කරණය නමින් නව කලාවක් බවට පත් වුණා.

පළමුව තාක්ෂණික ලිපි විතරක් ගිය මේ බ්ලොග් කලාව ඇතුළෙ තාක්ෂණික අය කලාව දකින විදිහ දැකගන්නත් අපිට හැකියාව ලැබුණා. දන්න කියන සිංහල බ්ලොග් ප්‍රමාණෙ සීයක් විතර වෙද්දි, පළවන පිරිසිදු සිංහල සින්ඩිකේටරය (සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය) විදියට කාලිංග ඇතුලත්මුදලි අයියලා, දසුන් සමීර අයියා ගේ ඩෝමේන් එකක මලින්ත මල්ලි , ඉන්දරේ අයියා (පසුව සම්බන්ධ වූ පට්ට ඩයල් එකකි) ,සුදාරක මල්ලිලා පටන් ගත්තා. මම අනෙක් අයගෙ නම් දන්නෙ නෑ.

මමත් මුල් කාලෙ බ්ලොග් කරුවන් අතර හිටිය තාක්ෂණය නොදන්න කෙනෙක්. බ්ලොග් කලාව ටික ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මුල් බ්ලොග් කරුවන්ට තිබ්බෙ සිංහල ව්‍යාප්ත කිරීම, මයික්‍රසොෆ්ට්  සමාගටම කියලා සිංහල ජාත්‍යන්තර කිරීමට බල කිරීම වගේ ගැටලු,මේ ගැන සාකච්චා කරන්න සහ කට්ටිය හඳුන ගන්න පුංචි හමුවක් තිබ්බා. (මම යන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් අසනීප වුණා)

මේ හමුවෙදි සිංහල බ්ලොග් කරණය ගැන කතා වුණා. 2009 දෙසැම්බර් 19 (එදා සහභාගි වුණ හැමෝම ඇඩ්මින්වරු කලා.. එතනදි ඔක්කොම කැඳ හැලියක් වුණා. දේශපාලන ලිපි සින්ඩියෙන් වෙනම ෆිල්ටර් කළා. ගැටලු ආවම ඇඩ්මින්වරු ගණන 6 ට බැස්සුවා.

2010 අප්‍රේල් මසේ බ්ලොග් මැරතන් එකක් තිබ්බා. ඒක කළේ සිංහල පෝස්ට් දැමීම එකම කාලයක් තුළ වැඩි කරන්න.ලාංකීය සිතුවිලි සින්ඩිය ආවෙ ඔය කාලෙ.

ඒක සාර්ථක වුණා. වසර අග වෙද්දි සිංහල බ්ලොග් ගණනින් 1500ත් ඉක්මවා තිබුණා.දෙවනි හමුව සංවිධානය කළේ මයික්‍රෙසාෆ්ට් ආයතනය අනුග්‍රහයෙන්මයි. ඒ 2011 12 19 . එදා ඒක සුහද හමුවකට වඩා යම් ඔෆිසියල් ගතියක් තිබ්බා.. ඒක ඒ වෙනකොට වැඩි වෙලා හිටිය සාහිත්‍ය, දේශපාලන බ්ලොග් කරුවන්ගෙ ප්‍රවාහයට ඉහිලුම් දුන්නෙ නෑ. හරියට මඩ වැටුණා.

කොහොම හරි ඔය අතරෙ අභීත කියලා අයියා කෙනෙක් හීනයක් දැක්කා. එයාලා සයිබර් අවුරුදු උත්සවයක් පැවැත්තුවා. ඒ 2011 අප්‍රේල් මාසෙ. ඒක කොයිතරම් සාර්ථක වුණාද කියනවා නම් මේ අවුරුදුදෙ 2012 දි ඒ උළෙල අප්‍රේල් 22 පැවැත්වෙන්නට නියමිත කාල පරාසෙ ඇතුළත, ඒ කියන්නෙ පසුගිය අවුරුද් ඇතුළත සිදුවුණ ප්‍රාදේශීය බ්ලොග් හමුවීම් ගණන 10කට වැඩි ඇති.

කොහොමත් මේ පාර එක නම් කරන්නෙ අලුත් අය. ඒකට අපිත් එනවා.. කොහොම වුණත් බ්ලොග් නිසාම එක් වුණු අය BUZZ නිසා පටන් ගත්ත අපේ රේඩියෝ එකට සිහින යා මල්ලිගෙ ඉල්ලීමට මම වොයිස් කට් ටික හදනවා.. ඕකයි මම දන්න සයිබර් ඉතිහාසය හා වර්තමානය.

මේ අතරෙ දිලුම් කියලා කෙනෙක් ගැන කතාවක් තියෙනවා. කාටත් දුක. පුද්ගලයාව අමතක නොකර,ඔහු කොහෙද ගියෙ කියලා අමතක කරන්න ඔවුන් උත්සාහ කරනවා.මේ බොහෝ දේ මෙහෙම වුණේ ඔහු නිසා කියලා බොහෝ අය වගේම මමත් තදින් විශ්වාස කරනවා.

තවත් තොරතුරු හොයා ගන්න.. මේ මම දන්න දේ. හිතෙන දේ.. ඒවායෙ වැරැද්දක් තියේ නම් මට නොබැන ඇත්ත පහදන්න.

3/18/12

චුම්බන කන්ද කියවීම | Part 1

ඔයාලා පොත් කියවන්න කැමතියි නේද? මම ඒ නිසාම අද ඔයාලාට ලස්සන පොතක් ගෙනාවා. මේ පොතේ නම චුම්බන කන්ද. මට හිතෙනවා ගොඩක් අය මේ පොත කියවා ඇති කියලා. කියවලා නැති අය හොයාගෙන කියවන්න. මෙවර විදුදැය සම්මානයෙන් වගේම රාජ්‍ය සම සම්මානයෙනුත් මේ පොත පිදුම් ලැබුවා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙත් නිර්දේශිත වූ මෙම පොත හුඟක් පාඨක ප්‍රතිචාර ලැබුවා.ඉතින් මම හිතුවා මේ පොත මට දැනෙන විදියට විචාරය කරන්න. විචාරයක් කියන්නෙ නිකම්ම ආ ගිය තොරතුරු කියනවා වගේ නෙවී නිසා මම ඒක ලිව්වෙ ලියන බසින්. කොටසයි පළ කළේ. ඉතිරිය තවත් දවසක පළ කරන්නම්. හේතුව දිග වැඩි නිසා කියවන්න කම්මැලි හිතෙන්නත් වෙලාව මදි වෙන්නත් පුළුවන් නිසා. ඉතින් ඔබත් මේ පොත කියවා හිතෙන අදහස් ලියන්න. අපි මේ පොත හොඳින් විචාරමු.



කලකට පසු නවකතාවක්‌ රචනා කළ ජයතිලක කම්මැල්ලවීර නිර්මාණකරුවා තම හය වැනි  නවකතාව  නිර්මාණය කළේය. ඒ විඡේසූරිය ග්‍රන්ථකේන්ද්‍රයෙන් ප්‍රකාශනය ට පත් කළචුම්බන කන්දය. කම්මැල්ලවීරයන් යනු අප අතරසිටින්නා වූ විශිෂ්ට ශෛලියක්‌ පවතින අතිශූර කෙටිකතාකරුවෙකි. ඔහුගේ කතා කලාව සමාජීය වශයෙන්ද, කාලීන වශයෙන්ද, මානසික වශයෙන්ද, සංස්කෘතිකමය වශයෙන්ද ප්‍රබල කාරණා බොහෝමයක් පාඨකයාට පැහැදිළි කරයි. "චුම්බන කන්ද" ආරම්භයේ පටන් චිත්ත රූප මැවීම මුල් කරගෙන සංකේත රූප ගුණයේ බහුල ප්‍රබල භාෂා භාවිතයකින් ගෙතුණු වියමනක්‌ ලෙස ගලා එයි. එපමණක් නොව එය කෙනෙකුට එකවර කියවා නිම කළ හැකි ගතියකින්ද යුක්තය. හැම දයක් අවසනම අනික් ඡේදය කියවීමේ අත්‍යාවශ්‍යතාවය ලබා දී ඇත්තේ ලේඛකයා විසින්මය.

මෙම කතා වස්තුවට අයත් කාලය නිරවද්‍ය වශයෙන් පැවසිය හැකිය. 1971 සිට 1992 පමණ වකවානුව දක්වා ලංකාවේ සිදුවූ දේශපාලනික වෙනස්කම් මූලික කොට ගෙන වෙනස්කම් වලට භාජනය වූ, සමාජමය, ආර්ථික හා මනෝභාවයන් ගේ ක්‍රියාකාරකම් මෙම පොත තුළ විග්‍රහවේ. කර්තෘ කෘතියේ පෙර වදනේ මෙවන් සඳහනක් කරයි.

උපුටාගැනීම (කර්තෘ සටහන)

කතාව තුළ සමාජ, දේශපාලනික කාරණා ඇතත් ඒවායේ දිග පළල ගැන ඕනෑවට වඩා සිත නොවෙහෙසා මෙය පුහුදුන් මිනිසා පිළිබඳ ප්‍රබන්ධයක් බව සිහි තබා කියවන්නැයි පාඨක ඔබෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

උපුටා ගැනීම අවසන්

මෙවන් ප්‍රකාශයක් ඔහු සිදු කරන්නේ ,මෙය හුදු දේශපාලන අරමුණක් නොවන වග කීමට මිස, දේශපාලය නම් සාධකයෙන් විනිර්මුක්තව මෙම නවකාතාව කියවිය හැකි වගක් ඔහු සිතන නිසා යැයි නොසිතමි. කෙසේ වෙතත් මෙම නවකතාව පුරාම බොහෝ දේශපාලනික කරණු සංඛ්‍යාවක් සාකච්චා වේ.

මෙම නවකතාවේ පළමු කොටසේ පළමු වන පරිච්ඡේදය මෙන්ම දෙවන කොටසේ අවසාන පරිච්ඡේදයද ආරම්භ වන්නේ එකම ඡේදයකිනි. එමගින් හැඟෙන්නේ තමා කෘතිය ලේඛකයා විසින් පටන් ගන්නා ලද්දේ යම් තැනකින් ද අවසානයට පෙර එම තැනටම නැවත එය ලේඛකයා විසින් රැගෙන පැමිණ ඇති බවයි. සරලවම පාඨකයාට හැඟෙන පරිදී එය අතීතාවර්ජනයකි. හුදු අතීතාවර්ජනයකින් තොර ගම්භීර අතීත පුරාවෘත්තයක් තුළ සැරිසැරීමකි.

වර්තමානයෙන් අතීතයට ගමන් කර, විටින් විට වර්තමානය හා සම්බන්ධතාවක් පවත්වා ගන්නා මෙම කතාව අනාගතය කරා යම් අවිනිශ්චිත හැඟීමක් එකතු කර අවසන් වේ. වර්තමානය හා සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම එකම සිද්ධියක් පමණක් හිතට නැගේ. 

එනම්,

සිංහයා(විජේසිංහ සහෝදරයා) තමාට බදු ඔප්පුවකින් පැවරුණු ඉඩමක පිහිටි ගල්තලාවක හිඳ වැඩී එන තේක්ක ගස් දෙස බලමින් තම අතීතය සිහිපත් කරයි.
පැය කිහිපයක් තුළ ඔහු සරන්නේ වසර විසිපහක පමණ අතීතයකය.

උපුටා ගැනීම (පිටු අංක 09 හා පිටු අංක 171)

සිංහයා වනඅරණ මධ්‍යයේ පිහිටි ගල්තලාව මත තේජාන්විතව නැගී හිඳ අවට සිසාරා බැලුවේය.ඔහු ඉදිරිපස පෙනෙන තෙක් මානයේ අහසට සිනාසෙන ළමා තේක්ක හිස් මුදුන්ය. ඒවායේ ළා කොළ පැහැති පළල් පත්‍ර ඉඳ හිට යන්තමින් සෙලවෙන්නේ සෞභාග්‍යය නම් මේ යයි රහසින් කියන්නාක් මෙනි.

අද අහස ඊයේ තිබුණු අහසම දැයි සැක හිතෙන තරමට වෙනස්ය. ඊයේ එය, සැමියාගේ මළගමට පසුදින වැන්දඹු බිරියගේ මුහුණ මෙන් අඳුරුව තිබිණ. අද, ප්‍රේමසමිබන්ධතාවකින් විවාහයට එළැඹෙන මනාලියකගේ වත මෙන් පැහැපත්ව බබළයි.සුළඟ නම් ඊයේ මෙන් ම අදත් අලසය. තේක්ක දල්ලක් යන්තමින් සොළවනවාට වඩා වැඩි දාංගලයක් එහි නැත.

උපුටා ගැනීම අවසන්

1971 වසරේ දී ලංකාව තුළ සැබෑවටම දේශපාලන ඝට්ටනයක් සිදුවිය. සිංහයාගේ අතීත මතකය ආරම්භ වන්නේ එම ස්ථානයෙන් යැයි කිවහොත් නිවැරදිය. එම අතීතය එලෙස ආරම්භ වීමට බල පෑ හේතු සාධකද ඊට පෙර විග්‍රහ කළයුතුය.

එතරම් මිල මුදල් නොමැති, ගමේ අය විසින් අත් හරින ලද පවුලක සාමාජිකයෙක් වූ සිංහයා ට සැම විටම මිනිසුන් විසින් පහත්කොට සැලකීම, තරුණ විය වන විටම මහා ගැටලුවක් වන්නට ඇත. එය වෛරයක් බවට පෙරළි, තරුණ කණ්ඩායම් හා එක්වූ ඔහු එම උස් පහත් සමාජය බිහි කළ අයගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට උත්සාහ කරන්නට ඇත.

උපුටා ගැනීම (පිටු අංක 57)

මම ඉස්කෝලෙ යන කාලෙ උණත් යාළුවො ආශ්‍රට කරපු කෙනෙක් නෙවෙයිනෙ. මම ඉපදුණේ ගමේ කොන් වෙච්ච පවුලක නිසා ගමේ වුණත් යාලුවො කියලා මට හිටියෙ කවුද?

උපුටා ගැනීම අවසන්

දේශපාලනික විප්ලවය, ගරිල්ලා කැරැල්ලක් බවට පත්වීම නිසා අවසන ඔහුට ඉතිරි වූයේ නොණ්ඩියක් ද හිමි කකුලකි. එම කකුලට වෙඩි වැදුණු දින තමාට සෙවන දුන් චුම්බන කන්ද ට ඔහු මහත් ආදරයක් දැක්වීය. එය අයිති කරගැනීමේ ආශාව එයට හේතු වන්නට ඇත. මේ කන්ද චුම්බන කන්ද වීමට හේතු වන්නට ඇත්තේද සිංහයා මෙන්ද තව තව මෙහි පැමිණෙන බොහෝ අය මේ කන්දට ආසක්ත වීම යැයි හැඟේ. ඒ සෑම ආසක්ත වීමක්ම තමන්ගේ අරමුණු අනුව වෙනස් විය.

සිංහයා පොලීසියෙන් වෙඩි වැදී කන්දේ ලෙනක සැඟවී සිටින විට ඔහු වෙත පැමිණෙන ලොකු විජේ සහ පියල්, ඔහුගේ ආරක්ෂාව තම උර මතට ගනී. ඔහු ඔසවාගෙන යයි. කිහිලි කරු කපා දෙයි. රෝහලට ගෙන යයි. රෝහලට ගෙන යාම සඳහා වනයෙන් එළියට ආ නිසා සිංහයා සමඟ ඔවුන්ද විරුද්ධ පාර්ශවයට කොටු වේ. සිරබත් කයි. මේ නිසාම සිංහයාට පියල් හා ලොකු විජේ සහ ඔවුන්ගේ මත ද ප්‍රතික්ෂේප කළ නොහැක. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඒ තරමටම සිංහයා සංවේදී වෙයි. ඔවුන් නැති විණි නම් සිංහයාට කුමක් සිදු වේවිදැයි පවා කිව නොහැක.

ඉතිරිය ඉදිරියට 

3/15/12

වර්තමාන ආත්තම්මලා ට,

අගෞරව කිරීමේ අදහසකින් තොරව යොදා ගත්තකි
 මේ සියල්ල මගේම අත්දැකීම්. මගේ අත්තම්මා නැහැ. නමුත් ගෙදර අවට සිදුවන සිදුවීම් දැක්කාම මෙහෙම කවියක් ලියවුණා. බනින්නෙ නැති ව කෙරෙන හොඳ තර්ක ඕනෙ දෙයක් පිළිගන්නවා.

ආත්තම්මා වඳිනවා
දොහොත් තියා වඳිනවා
ඔසරි පොටේ රැළි හද හද
ආත්තම්මා වඳිනවා
එහා ගෙදර ඩල්සි මම්මා
එක්ක කාර් එකේ ගිහින්
ටයිල් පොළවෙ නළල ඔබා
ආත්තම්මා වඳිනවා..
ගමේ පුංචි බුදු ගේ තුළ
සුදු හුණු ගෑ බුදු පිළිමය
තුන් හිතින්ම අමතක කර
ආත්තම්මා වඳිනවා 
අඩි ගාණක් උසට හදපු
රනින් පැහැයෙන් ඔප දමාපූ
ගව් ගාණක් දුරින් හිඳින
බුදු කෙනෙකුන් සොයනවා..
පන්සල් වැට අද්දර හිඳ
ගමේ හැමට හිනා බෙදන
හාමුදුරුවො සිල්වත් නැති
බව කිය කිය වඳිනවා

අසපුවෙ සිට පැජරෝවෙන්
ඉවත වඩින හාමුදුරුවො
දිහා බලා ඈත සිටන්
පැජරෝවට වඳිනවා
ආත්තම්මා වඳිනවා
ගමේ කාට කාටත් පෙර
නිවන් පුරේ දෝර දකින්ඩ
හොර රහසින් මුමුණ මුමුණ
අත්තම්මා වඳිනවා..

 
 

 

3/13/12

මෙවර සයිබර් යෝගට් කිරුළ කාටද?

ලිෂාන් අයියාගෙන් කළ ඡායාරූප මං කොල්ලයකි.
දැන් සයිබර් යාළු යෙහෙළි කවුරු කවුරුත් සූදානම් වෙන්නෙ ළඟ එන බක් මහ උළෙලට නේද? ඔයාලා හැමෝගෙම හිතේ ඇත්තෙ මේ තරඟ වලට සහභාගි වෙන්න. සහභාගි වෙන හැමෝගෙම හිතේ දිනන්න ආසාවක් තියෙනවා.තරඟයකට සහභාගි වීම අගය කළ යුතුයි වගේ පඬි ටෝක් දෙන්නෙ පරාද වුණාමනෙ.

ඉතින් මමත් හිතුවා මගෙ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න.ඒ තමයි අවුරුදු උළෙල වල විතරක් තියෙන විශේෂ තරඟ ජය ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියා දෙන්න. හැම විභාගෙට ම පාස් පේපර්ස් පොත් තියෙන මේ කාලෙ හැම තරඟයකටම පෙරහුරු තියෙනවා. ක්‍රමවත් පෙරහුරුවක් නැත්තෙ අවුරුදු තරඟ වලට විතරයි. ඒ නිසාම බොහොම සද් සිතින් මම මේ කාර්යභාරය කරනවා.

යෝගට් කැවීමේ තරඟය දිනන්නේ කොහොමද?

ගියවර යෝගට් කැවීමේ තරඟයෙන් දින්නේ උෂාන් (අන්තිමයා) සහ මම. වාර්තාවකුත් එක්ක මම හිතන විදියට අපි දින්නෙ. අපි තරඟ අවසාන කරලා විනාඩියක් විතර යනකං දෙවනියො ආවෙත් නෑ.කොහොමද ඒ තරඟය දිනන්නෙ. ඒක පුංචි ක්‍රමයක්.දැන් අපි පිළිවෙලින් ඉගෙනගනිමු.

යෝගට් කැවීමේ තරඟ ස්වාභාවය

පිරිමි ළමයා අත් බැඳ සිටී
ගැහැණු ළමයා දෑස් බැඳ සිටී
ගැහැණු ළමයා අත යෝගට් එක වෙයි.
පිරිමි ළමයා සඥාවෙන් පසු පැමිණ, ගැහැණු ළමයා ලවා යෝගට් එක කවාගෙන, හිස් කෝප්පය අතැතිව ගැහැණු ළමයා සමඟ නැවත තරඟ ආරම්භයට යා යුතුයි.

තරඟ නීති

යෝගට් එක සම්පූර්ණයෙන් කවා තිබීම.
අත් අවසානයේ ලෙහෙන තෙක් බැඳ තිබීම
යෝගට් කවා අවසාන වී දුවන තුරුම ගැහැණු ළමයා දෑස බැඳ සිටීම.

හරි. දැන් මේ තරඟය අපි දිනන්නෙ කොහොමද? ගොඩක් පිරිමි ළමයි තරඟයට එන්නෙ යෝගට් එකට තියෙන ආසාවට හා කෙල්ලෙක් සොයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒත් තරඟයකදි ආදරය කියන සාධකය ජයග්‍රහණයට බාධාවක්.හැම තරඟයකදිම. පෙම්වතුන් වී සිටින අය හෝ ආදරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන අයට මේ තරඟය ජය ගන්ඩ ටිකක් විතර අමාරුයි. හේතුව තමයි ලතා කෑමක් මේ තරඟයට නොගැළපීම.

දැන් අපි බලමු මුල ඉඳන් දිනන හැටි. එක උස ඇති ගැහැණු ළමයි හා පිරිමි ළමයි දෙන්නෙක් වීම මෙතනදී අනිවාර්ය සාධකයක්. අපේ පිරිමි ළමයි විවාහ වෙනන කැමති තමන්ගෙ උසය වඩා ටිකක් අඩු අයට නිසා මෙතනදි තමන් ආස කරන ගැහැණු ළමයි එක්ක තරඟය හිඳීම තුළන් ජයග්‍රහණයට බාධා වෙනවා. ගැහැණු ළමයා තරඟයට පෙර හොඳින් අත සෝදා හැන්ද වෙනුවට අත යෝගට් කැවීමට භාවිතා කිරීම මඟින් කාලය ඉතිරි කැ ගත හැකියි. දිව එන පිරිමි ළමයා ගේ කට තමාගේ කට මට්ටමට ඇති බව ඇස් පෙනෙන විටදි දැන ගන්න නිසා තරඟය පටන් ගත් වහාම සූදාන් ව ඉන්න ඕනේ. දුවගෙන එන පිරිමි ළමයා ගේ කට පළමුව සොයාගෙන යෝගට් කෝප්පය එතැනට කිට්ටු කර ඇඟිල්ල හෝ අත ආධාරයෙන්  යෝගට් ටික පිරිමි ළමයාගෙ කටට තල්ලු කරන්න. අවසන් වූ බව හැඟුණු වහාම පිරිමි ළමයා ඇයව ඇදදෙන දුවන්න.

කුඩා අත් ඇති ගැහැණු ළමයින්ට සහ, ලොකු උගුරක් ඇති පිරිමි ළමයින්ට මේ තරඟය ෆුඩ් සිට්යෙ කජු කනවා වගේ.

ප. ලි
 දැන් ඉතින් තමන්ගෙ කෙල්ල දාලා අනික් කෙල්ලන්ට යෝගට් කවන්න ගිහිං අමාරුවෙ වැටෙනවා නෙවී. කොහොමත් පෙම්වතුන්ට මේ තරඟෙ දිනන්න අමාරුයි. හැබැයි ඔකකොම පෙම්වතුන් නම් මොකෙක් හරි දිනයි. තරඟයක් කියන්නෙ මොකෙක් හරි දිනනවාටනෙ.

බි.පෙ.සි

වෙලාවට තාරක අයියාගෙ උසට කෙල්ලො නෑ.

ප.ප.ලි

මේ පාර තරඟ වෙලාවෙදිත් මම උපදෙස් දෙන්න ඒ අසලම ඉන්නවා. ගිය වර ජයග්‍රහණය සමරමින්.

3/10/12

හදිසියෙන් පුංචි ලියුමක්- රසිකයන්ට පමණයි.



තාරක අයියා මට ලැප්ටොප් එක පරිත්‍යාග කළාට පස්සෙ මම වත් පොතට යන එක හුඟක් ම අඩු වුණා. ඒකත් එක්කම අනික් එක තමා එයා ගෙනත් නිවසේ හයි කළ අලුත්ම අලුත් වයර් නැති රවුටරේ. මම ලැප්ටොප් එක ගෙදර කොතන දැම්මාත් දැන් ඒකට ඉන්ටනෙට් එනවා.ඩෙස්ක්ටොප් එකයි ලැප්ටොප් එකයි දෙකම දැන් එකම කනෙක්ෂන් එකෙන් වැඩ කළත් ඉන්නෙ මම විතරක් නිසා වැඩි ප්‍රමාද වීමක් නෑ. දැන් මම නිතරම බ්ලොග් ලියනවා කියලා මට හිතෙනවා. ඉස්සරට වඩා ආසාවෙන් ලියනවා කියලාත් හිතෙනවා.

ඔයාලා දන්නවානෙ මම ලියන වග ගෙදර අය දන්නෙ නෑ. ලියන ලියන හැමදේම ඒ අයට පෙන්වන්න මම ටිකක් ලැජ්ජයි. ඒ අය හැම දේටම හේතු අහනවා. මම බ්ලොග් එක පෙන්වන්න වැඩියෙන්ම කැමති තාරක ට. එයා කවදාවත් මගෙන් හේතු අහන්නෙ නෑ. මොකද හැම දේකට ම හේතු නැති වග එයා දන්නවා. දැන් මගෙ හීන වලට එයත් ටිකක් පුරුදු වෙලා. ඒ ගැන මට හරි සතුටුයි. ඉතින් කොහොම හරි මට කියන්න ඕනෙ වුණේ එයාගෙ ආදරෙයි, අනික් කරුණුයි එක්ක බ්ලොග් ලිවීම වැඩි වුණා.

අනික දැන් මට ඉස්සරට වඩා ලියන්න බොහෝ දේ තියෙනවා. මට තිබ්බ සහෝදර හීනය දැන් නැත්තටම නැති වෙලා. නැති දෙයක් ගැන ආසා නොකර තියෙන දේවල් වලට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනෙ. මම ඒක ඇත්තටම ඉගෙන ගත්ත දෙයක්.

ඇත්තටම ජීවිතේට තව දුරටත් මට අත්දැකීම් නම් ඕන කරන්නෙ නෑ. අත්දැකීම් කියන්නෙ ජීවිතේ වරදගත්ත තැන් වලට. අපි පාස් වුණ විභාග වලට කවදාවත් කියන්නෙ නැහැනෙ ඒක හොඳ අත්දැකීමක් කියලා. කොටින්ම අපි යමක් කරන්න ගිහින් ෆේල් වුණාම අනික් අයට අපි ට රිදුණෙ නැහැ කියලා පෙන්වන්න කරන තකතීරු කතාවක් තමයි ඒක.

අද මම මේ ලිපිය ලියන්න උත්සාහ කළේ ඇත්තටම මේ දේවල් ගැන ම ලියන්න නෙවී. අනාගතේ මම මොන මොන දේ ලියයිද කියලා මගේ සීමිත බ්ලොග් රසිකයන්ට දැනුම් දෙන්න. දහයක පහළවක ලොකු කියවන්නන් පිරිසක් ඉන්න නිසා ඇත්තටම මම ඉන්නෙ සතුටින්.

මම කමෙන්ට් සීය දෙසීය කවදාවත් හිතුවෙ නැති ඉලක්ක. ඒ ඉලක්ක වලට යන්න ඇත්තටම මට ඕනෙත් නෑ. මම කියන්නෙ නෑත ඒ ඉලක්ක වලට ගිය අය එහෙම උවමනාවෙන් ගියා කියලාත්. ඒ අයට එහෙම කමෙන්ට් ලැබෙන්නෙ තම තමන්ගෙ හැකියාව මත. මට කොයින්ද එාහම එකක්. මම ලියන විදිහ හා මගේ හැකියාව අනුව මට මේ ඉහටත් උඩින්.

වට පිට නොගිහින් මම ආයෙ කතාවට එන්නම්කො. මම සිංහල ගැන ලිව්ව ලිපි හෝඩියෙන් මඳකට නතර කළත්, ඉස්සරහට සිංහල ගැන වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කවියෙන් ඉතිහාසෙ ලියන්න ගත්ත උත්සාහයත් දිගටම ගෙනියන්න ඕනෙ.

ඇත්තටම මට මේ දවස් වල මුහුණු පොතේ දකින්නට ලැබුණා, පුදුම ජාත්‍යාලයක්. දේශානුරාගයක්. මේක මෙහෙම වුණේ මැච් එක නිසාද? ගිය මාසෙ නිදහස නිසාද? හදිසියෙ බරපතල ලෙස මේ වකවානුවෙ නැගී එන මුස්ලිම් විරෝධය නිසාද කියන්න ඇත්තටම තවමත් ටිකක් අමාරුයි. මම සතුටුයි මේ රට ගැන තියෙන හැඟීම අඩුම තරමේ වත් පොතේ වත් තියෙන එක.

කොහොම නමුත් මට පහවසරෙ ඉඳන්ම වගේ අපෙ රටේ ඉතිහාසෙ යම් අවුලක් ගැන තේරුණා. අපේ ලොකු අප්පච්චි කියන්නෙ දැනුම ආකරයක්.මට ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන ආදරයක් ඇති කළේ අපේ ලොකු අප්පච්චි.ඉතින් මට හිතුණා මහාවංශය මට දැනෙන විදියට විග්‍රහ කරන්න. මම මහ ලොකු උගතෙක් නොවුණත් මම හිතන්නෙ ඒක තමා දැන් සිදුවිය යුතුම දෙය.

තව මට සාහිත්‍ය ගැන හිතෙන දේ. කවිය, නවකතාව ගැන ගීතය ගැන, කෙටි කතාව ගැන හිතෙන දේත් ඉඩ තියෙන විදිහට ලියන්න බලාපොරොත්තු වෙනවා. ඇයි මට මම ගැන හිතෙන දේ. මගේ ඉස්කෝලෙ පහු ගිය විත්තිත් ලියන්න ඕනේ. හෙමින් නවකතාවක් ලියන්නත් ඕනෙ.

මගෙ විශ්ව විද්‍යාල තීසීස් එකටත් තාම නිර්මාණයක් හිතනවා. මම හිතුවා ඒකට ෂෝර්ට් ෆිල්ම් එකක් නොකරන්න. මොකද බහුතරයක් කොල්ලෝ ආයතන මට්ටමින් හදපු ඩොකියුමන්ටරි දෙනකොට හැන්ඩි කැම් එකකින් කරලා කොලිටි නැති වුණොත් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් නිසා ඒක සාර්ථක කර ගන්ඩ බැරි වුණොත් ඒක ටිකක් ලොකු අවුලක් වෙනවානෙ. කරන්න කලින් බය වෙලා කියලා හිතන අයට කියන්නෙ, ඒ මම හිතන විදිහට කියන් නෙ නිවට කම නොවේ ප්‍රායෝගිකත්වය.

ඔයාලාට කියන්ඩ බැරි වුණා. ඉර ඇහැරෙන ඉසව්වෙ හෙඩර් එක, සුනිල් ආරියරත්න මහත්මයා මුලු බලගල්ල ශාලාවටම ඇහෙන්න කියෙව්වානෙ. ඒක වුණේ මෙහෙමයි. අපට ලෙක්චර්ස් අතරමැද්දෙ සෙමෙස්ටරයකට වැඩමුලුවක් දෙකක් තියෙනවා. සංගීත වැඩමුළුවක් තියෙන වග කලින්ම දැනං උන්නත්, මට ඒකට කලින්දා යන්ඩ අසනීප වුණා. වැඩමුළුව දවසෙ තමා කෙළින්ම ගියෙ. යාළුවන්ගෙන් අවශ්‍ය දේවල් මොනවාද ආදිය ඇහුවත් මේ එළදෙන්නු මුකුත් කීවෙ නෑ. අන්තිම මොහොතෙ තමා දැන ගත්තෙ ලියපු ගීත ගෙනාවොත් හොඳම එක තෝරලා එදාම මෙලඩි දානවා කියලා.

අනේ ළමයි පුදුම ගීත තොගයක් ගෙනාවෙ. කොහොම කොහොමහරි එකකට සංගීතෙ දැම්මා. මට හරිම දුකයි. මට නිකමට වත් මගේ අවස්ථාව උරගා බලන්ඩ නොහැකි වීම ගැන. අන්තිමට ම මම කළේ. මට ඒ වෙලේ මතක් වුණු මේ හෙඩර් කවිය. නිකං කොළ කෑල්ලක ලියලා චිට් එකක් වගේ ඉස්සරහට යැව්වා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් ආරියරත්න තමා චිට් එක ගත්තෙ. සිංදු වලට ඒ මොහොතෙත් බැන බැන උන්නෙ. වචන නෙවී අර්ථය බර කරන්න කියලා කිය කිය උන්නෙ. මගෙ චිට් එක අරන්, අතේ උණ්ඩි කරපු මේ පද ටික හරිම ලස්සනයි කියලා මයික්  එකෙන්ම කීවා. පොර ටෝකක් නෙවී. මට හරි සතුටක් දැණුනා. කොහොම වුණත් ඒක ලීවෙ මම බව දැන ගත්ත අපේ උන්ට දුක හිතුණා. මට ආරංචිය නොකීවාට.

කොහොම නමුත් අදට කියන්න තියෙන් ඔච්චරයි. මේක ඇත්තටම ලිව්වෙ මම විසින්ම මටම කියා ගන්ඩ ඕනෙ දේවල් ටික ඔබටත් කියලා දාන්න. එතකොට ඔබට පුළුවන් ඉස්සරහට ඉර ඇහැරෙන ඉසව්ව බලනවාද නැද්ද කියලා තීරණය කරන්න.


3/7/12

දල්වාලමු අපි එක ඉටි පහනක්



අම්මාගේ ආදරය නැති ලෝකයක්, සොයුරියකගේ දඟකාර කම් වලින් තොර සැහැල්ලුවක්, බිරිඳකගේ පෙම්වතියකගේ අගයකිරීම් වලින් තොර අනාගතයක්, දියණියකගේ සුරතල් වදන් නැති නිවසක්  හා  අත්තම්මා නොකියූ කතන්දරයක් තුළ මිහිරක් තිබේදැයි,සිතිය නොහැක. මැවුම්කරුවා ගේ සොඳුරුතම නිර්මාණය ගැහැණිය වන්නේ ඒ නිසා නොවේද? කාන්තාවක් මේ කුමන භූමිකාවක සිටියද,ඇය සතුව ඇති මව්වත් තම් ලෝකයට ප්‍රදානය කරන්නේ බොහෝවිට කඳුලම පමණක් උරුම කරගනිමිනි.

Wedu mavatath by Neranji Ekanayake

නීලා වික්‍රමසිංහ මහත්මිය

ඔබ ඉදිරියේ සිනාසෙන බොහෝ කාන්තා චරිත හදවත යටින් හඬා වැටෙයි. සමහරු එළිපිට හඬා තම කඳුල් ලාබ කර ගන්නා උන්ය. පිරිමියාට වඩා සමස්තයක් ලෙස ශරීරයෙන් දුර්වල ගැහැණිය, සැබවින්ම පිරිමියාට වඩා මානසික ශක්තියෙන් පොළව සේ දරා හිඳින්නීය. මම අද ගැහැණු ගැන කතා කරන්නේ මට තිබෙන්නේ ස්ත්‍රි ලිංගයක් නිසාම නොව මාර්තු 8 ලෝක කාන්තා දිනය යැයි නම් කර ඇති හෙයිනි.

එක්සත් ජාතීන් විසින් යම් කිසි වර්ගීකරණයක් උදෙසා දිනයක් නම් කරන්නේ එම කොට්ඨාසය යම් ගැටළුවක් සඳහා හෝ යම් අසාධාරණයක් සඳහා මුහුණ පා ඇත්නම් පමණි. ලෝක කාන්තා දිනය මාර්තු 8 ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ගැහැණියට යම් අසාධාරණයක් සිදුවන වගය. රැකියා අතින් ,සමාජමය අතින්, සංස්කෘතිය අතින් ,පවුල අතින් තවමත් ඇයට යම් අසාධාරණයක් සිදුවේ.

Dalvalamu api by Neranji Ekanayake

පුෂ්පා රම්ලනී මහත්මිය රචිත සමූහ ගායනයකි. (කාන්තා ගීතය)

බසයක ගමන් කරද්දී පිරිමියෙක් ගේ ජැක් ගැසීමකට හසු නොවූ තරුණියක් මේ රටේ ඇතැයි මම නොසිතමි. සිරුරෙන් පමණක් නොව  මානසිකවද අද වන විට සිදුවන ලිංගික හිංසන අති බහුලයි. ගැහැණු දරුවෙක් වීම නිසාම විනාස වන කලල කොතරම් ද කියා ඔබ නොදන්නවා ඇත. 

 මිශ්‍ර පාසලකදි ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණි පසු ගුරුවරුන්ගේ සොයා නොබලා කරන සමහර හැසිරීම් නිසා ඒ දරුවන් නැවත පාසලට යන්නෙ අධික ලැජ්ජාවෙන් ය. පාසල ඇතුළත දී ම ඇයව සුදු රෙදි වලින් වහගෙන, අමුතු සතෙක් වගේ එක්කරන් ගිහින් මේ කරන මනස්ගාත ගැහැණු දරුවෙක් ගෙ හදවතට මහ හුඟක් බලපානවා. පූජා භාණ්ඩ වගේ එන එන නෑයන්ව පිළි අරගන්නට ,අපේ කෙල්ලට දරුවෙක් වදන්න පුළුවන් කිය කියා ලෝකෙට අඬබෙර ගහන අරක්කු පාටි ඒ ගැහැණු දරුවාට ගෙන ආ හැඟීම ඔබට හිතන්නවත් පුළුවන්ද?

මුස්ලිම් ආගම් වල කාන්තාවන්ට වන හිංසන කොයිතරම්ද? ගෙයක් ඇතුළත බොහෝ ගැහැණු කොයි තරම් දුක් විඳීනවාද? ඇයට මිය යනතුරුම නිවනක් නෑ.

ආදරය නිසා දුක් විඳින්නෙත් ගැහැණු, පිරිමියා දාලා ගියත්,දික්කසාද කළත්,දරුවෙක් නොලැබුණත් දුක් විඳින්නෙ ගැහැණිය. පවුලට මුලින්ම දුවෙක් ඉපදෙන්නෙ වාසනාවට කියලා කීවාට, ඒක බොහෝ විට ඇගේ අවාසනාවට.මේවා ගැන ගොඩක් දුර විග්‍රහ කරන්න පුළුවන්.

ඒත් අපේ රටේ අනික් රට වලට සාපේක්ෂව ගැහැණියට ගරු කරන රටක්.හුඟක් ගරු කරන රටක්. ඒ ගැන මඟක් ආඩම්බර වෙමින් අපි ගැහැණියට තවත් ආදරය කරමු.ගැහැණු නිසා දුකට පත් පිරිමි අයත් ලෝකයේ කොතෙකුත් සිටින වගද අමතක කළ යුතු නොවේ. කෙසේ නමුත් කාන්තාව යනු ලොවටම පහනකි.

Kele mal pipi by Neranji Ekanayake

සුනිල් එදිරිසිංහ මහතා ගයන ලදි

3/5/12

සුභාවිත ගීතය සෙවීම | Part 1


ගීතය යනු ලෝකයේ නොයෙක් කලාවන් අතරින් කලා කරුවා විසින් සොයාගත් පුදුමාකාර දෙයක් විය යුතුය යන්න මගේ හැඟීමය. ගීතය තුළ ශබ්දය, සංගීතය, හඬ සහ අර්ථයද අසීමාන්තිකව ගැබ් කළ හැකි බව ඔබ දන්නවා ඇත. එපමණක් නොව අද වන විට ගීතය තුළ රූපයද සුන්දරව ගැබ් කළ හැක.

ගීතය නම් වූ කලා මාධ්‍ය  සියලු දෙනාටම අතිශයින් ම සමීපයැයි මම කිවහොත් ඔබ එය ප්‍රතික්ෂේප නොකරාවි. මවගේ නැළවිල්ලේ පටන්, කුඩා කල නි.ර ගයන කෙළි ගීයේ පටන්, විවාහයේ අෂ්ටක හා තහංචි කවි, ජය මඟුල් ගීතවල පටන්, මරණයේ දී ගැයෙන වෙස්සන්තර කාව්‍යයේ පටන්, වචන සමඟ සංගීතය මුසුව පැමිණි ගමන් මඟ තුළ කොහේ හෝ තැනක ගීතය නම් දෙයක් බිහි වන්නට ඇතැයි සිතමි.

ගීතය කවියකට තාලයක් දැමීම ම නොව ඉන් එහා ගිය දෙයක් වග වර්තමානය පිළිගෙන ඇත. ලංකාව සැම විටම චූල සම්ප්‍රදායේ සිටින වග අපි කවුරුත් කියන දෙයකි. ගීතයේ මහ සම්ප්‍රදාය උත්තර භාරතයයි කියන අපේ බොහෝ සංගීත විශාරදයන්ට, පෙරදිග, බටහිර මිටකට ගෙන සිංහල සංගීතය සමඟ එකට හනා පෙවූ කේමදාස මාස්ටර් මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

සංගීතය විශ්වයේම භාෂාව වී හමාරය. එයට ජාති වර්ග පාට හෝ භූමි බේදයක් නැත. ලොව පහල වූ සොඳුරු සංගීත කණ්ඩ බොහෝ තිබිය හැක. මම ගීත අසා ඇත්තේ බොහෝ අල්පයක් බව මම දනිමි. නමුත් ඒ ප්‍රමාණයද අසා නැති, එකම ගීයේ ගැලී... කොලවර් ඩී පමණක් රස විඳින අය වෙනුවෙන් ගී කිහිපයක් මතක් කරමි.

මේ දේවල් හෙමින් හෙමින් කියන්න, මට පෝස්ට් කිහිපයක් ම යාවි. ඒ නිසා මම යම් පිළිවෙළක් භාවිතා කරනවා. මම ගායකයා හෝ රචකයා හෝ සංගීතඥයා ආදී වශයෙන් නම් කර කර ගීත ගැන ඔබට කියන්නම්.

අපි අමරදේව මාස්ටර්ගෙ ගීත වලින් පටන්ගමු. ඔබ කැමති නේද?

පළවැනි ගීතය

මුහුද යනු ස්වභාවධර්මයේ අති උත්කෘෂ්ට නිමැවුමකි. ගොඩබිමට වඩා බොහෝ ඉඩ කඩක් මුහුදට ලැබී ඇත.එනම් මුහුදුට සුළු වේලාවකින් මුලු ගොඩබිමම ආක්‍රමණය කළ හැකිය. අප මෙම අත්දැකීමට 2004 දී මුහුණ දෙනතුරු අප මෙය දැක තිබුණේ, කැළණි විහාරයේ සෝලියස් මැන්දිස් මහතා ඇඳ තැබූ චිත්‍ර වලින් පමණි. නමුත් 2004 ට පෙර එයද බොහෝ විට සිදුවිය නොහැකි හිතලු ගොඩට අයත්ව තිබිණි. නමුත් මහගමසේකර රචිත මේ ගීතය හා එහි යොදා ඇති සංගීතය දෙස බලන්න. ඔබට දැනේවී. ගීතය සුනාමිය දුටුවේ කෙතරම් පෙර සිටද යන වග.

Amaradeva-Sinidu Sudu Mudu by Neranji Ekanayake


දෙවැනි ගීතය

අපි අපේ රට ගැන හිතන්නෙ පුදුම ආදරයකින්. ඒත් හැමදාම අපි එකම තැන පල්වෙන ජාතියක් නිය යුතුද? අපි අලුත් දේ හිතන්න ඕනේ.ඒ හිතන හැමදෙයක්ම නිවහල් වෙන්න ඕනෙ.හැම වෘත්තියකම කාටත් යටත් නැති චින්තනයක් පහළ විය යුතුයි. ඒ නිසා අපි අලුත් උදෑසන දෙස ප්‍රබෝධමත්ව බැලිය යුතුයි. අලුත් ගොයමක් දකින්නට, හදවතේ ප්‍රීතිය දකින්නට  මේ ගීතයත් ඔබ වෙනුවෙන්. අහලා නැත්තම් අහන්න. 

Niwahal Sithuvili by Neranji Ekanayake


එක දිගට නැතිව හෙට අනිද්දාම ඔබට තවත් සුභාවිත ගීත කිහිපයක් මම අහන්න දෙන්නම්. හරියටම මේ සද්කාරය බාර ගන්ඩ ඕනෙ ගුවන් විදුලියෙන් තමා..ඒත් අපේ සහෝදරයො කරන බස් රේඩියෝ එක තරම් තවමත් මහ ගුවන්විදුලි නාලිකා එම මග තෝරගෙන නැති එක දුකක්. කව ගීත එක්ක හමුවෙම්.