1/31/12

ලොකූ| පාට‍ | රහස

මගේ නොවූ මගේ ලොකු අයියාට.....

ඇත්ත ලෝකෙ කුරිරු හින්දා
හීන ඇතුළෙ පිය මැන්නට
අඩමානෙට ජීවිතයේ
නොයෙක් ඉසව් ගැළපුවාට.....

උඹෙ අම්මාගෙ කුසේ නැතිව
අපෙ අම්මාට ඉපදුණාට
උඹෙ වගෙ රතු ලේ නොවයිද?
දුවන්නෙ මගෙ සිරුර පුරා!!

එකම හිනාවක දිව යන
සුන්දර මග දිග හරහට
පුංචි කටුක මග වලවල්
තියෙන නමුත් ලොව හෑරුව
 

දහසක් උන් හිනා වුණත්
හදවත් නැති මුහුණු වලින්
මමයි උඹේ ලොකු නංගි.......
උඹයි මගේ ලොකු අයියා!!!!


ඉතින්.....

ලොකු අයියේ ගෙදර එන්න...
මිනී රකුස් ඇහෙන් මිදී
අම්මා දොරකඩ ඉන්නවා
අප්පච්චී තවම නිදී...


රහස............
කොමන් කැන්ටිම වෙත
පිය නගන හැම දිනකම
දකින්නෙම් ඔබේ රුව
මඳ හිනාවක දැවටුන

ඔබේ ඇස් මත දුටුවෙමි
කියන්නට ප්‍රිය කළ
වැරෙන් හංගල ලද
පුංචි රහසක් ඇති බව

දල්වා තබමි පහනක්
කඩදාසියක් සමඟින්
විසි දෙවෙනි වසරෙත්
පෙර කළ පුරුදු විලසින්

ලියා යනවානම්
මේ අවුරුද්දදි වත්
හැමදාම නොකියන
ඒ රහස එක සැරයක්...!!

(ජ ‘පුර කොමන් කැන්ටිමට යන හැම දිනකම මම දකින .... මා සසල කරවන අඳුරු යුගයේ මරා දැමූ ගැමුණු යසස් සොහොයුරා ගේ සේයා රුවේ මන්දස්මිතයට පුංචි උපහාරයක්.... )
 
මේ කවිය රචනා කළ දින සිට දින කිහිපයක් ගතවීමට මත්තෙන් ශිෂ්‍ය කලහකාරී හැසීරීම් නිසා එය ඇතුළු සියලු සිසු විරු සේයා රෑ ගලවා දැමුණි... 
හැම පාටම එක වගේද? ..........
සඳ රෑට
තරු සාදයට
අඳින
නිල්පාට
සාරියට
ඉර දුන්න
මැණික් නුලෙන් මනා ...

නේක ගෙත්තම් දමා
පිළිවෙලින් රැළි තබයි...
සුමට කර සීරුවට
සුළං සන්නාලියා....

අත හැරී ඇදී ආ
සුදු පාට බෝඩරෙන්
එක සිප්පි කැටිත්තක්
කඩා ගත්තා කියා....

පුංචි දැරිවියකගේ
අහිංසක සුදු ගවුම
අඹරවා..ඇය සැණෙන්
සීතලෙන් තෙත් කළා...

ඉර දුකින් ඈ වැළඳ
උණුහුමින් තුරුළු කොට
වැලි පොඩිත්තෝ එක්ක
ගෙදර ගොස් ඇරලුවා....
 
 


1/30/12

මෙව්වා කවිද මන්දා....

|||ජෝන් ද සිල්වා රඟහල නෙළුම් පොකුණට කී කවිය|||

මිතුර මම වෙමි
වසර ගණනක්
රජකළේ මේ
කලා උල්පත

නොයෙක් නළු කැළ
දන මනස් කඳ
නොබා පොබ කළ
අඩි තුනක් උඩ

මකුණු කරදර
මදුරු හිරිහැර
වුණු කලක් වූ
පෙර අතීතෙද

අඩු නොවිණි
කිසි දොසක්
නොනැගිණිනි
සෙනඟ ඉතිරිනි
අසුන් පිට පිට

නුඹ විභූෂිත
වී දිලෙන සඳ
වීදියේ අද
සපිරිවර මැද

සිනා නැඟුනා
මගේ හද තුළ
සකිය සුන්දර
මගේ හෙට ගැන

නුඹට නොතරම්
මට තරම් වන
මිනිස් කැළ මට
ඉතිරි කරමින

අර්ථ දනු ඇති
කලාපති හා
නැරඹියන්
ඔබ වෙත
ඇදෙනු ඇත...


|||ඔබ සහ බැම්ම |||
 

බෝගම්බර වැව ළඟ
වලාකුළු බැම්ම උඩ
අනෙක් ඉවුරේ රඟදෙන
හංස පන්තියෙ සිරිය විඳ විඳ

හුදකලාවේ නලියන
මඳ පවන හා සමඟින
ගයන්නෙමි මම ගීතය
සිහිකොට ඔබේ දෙනයන.....

එති යැයි මඟ බලාගෙන
සිටියෙමි මවෙත දවසක
අවසන නිමා කෙරුවෙමි
ඔබ සහ ඔබේ සිහිනය


||| පුංචි කවියක් |||

දකින කොට
පාත්තයො
වලාකුළු
බැම්ම ළඟ
උහුලන්ට බෑ
සත්තයි....

දැනෙනවා
ඔබෙ සුවඳ
ගුඩ් ෂෙඩ්
එක පුරාම...........


||| සිසිරය කියන්නේ මෙයමදැයි? |||

හිරු උණුසුම් කබාය ගලවන
වලා පවුරක පොරවන..
මිහිමත සැතපෙන
හිම සළුවක දැවටෙන
හෙමි හෙමින් හෙමින්
ගිනියම දුරලන
වෙහෙස නිවාලන....
සැනහෙන හැන්දෑවක්...
ඔබ දුටුවද
හිම තැවරණ
මගෙ
කරත්තයේ.....
 

පාවෙනා සුළං කෝඩයට
හොරෙන්
හීතලම හීතලම
හිම කැටි
දෝතක් අරන්
පාවී යන්නට
හදනවා
අර ගිනි උඳුනට
ටිකක් විතර ඉහළින්..
හෙට හිවුඩු පිපෙන
නිල්පාට හිමිදිරියේ‍
සුදුපාට තවරනු පිණිසද
කොළ පාට කඳු මුදුනේ.....
මට කියන්න
හිම තැවරුණ
කරත්තයේ....



------------------------------------------------

මේක  නම් අනුන්ගෙ කවි මම කියපුවා.............ගොඩාක්ම චූටි කාලෙ අවුරුදු දෙකහමාරෙදි විතර

1/26/12

විචාරය ට පෙර | මම හා අනිත් අය


මම බ්ලොග් එකේ කවි ගොඩට නිර්මාණ 37  ක් විතර ලියා තියෙනවා.. (මම කවියැයි කියා සිතන නිර්මාණ 37ක් තියෙනවා.) ඒවාට කමෙන්ටුත් තියෙනවා.මම කවදාටත් ලොකුවට හිට් ලබපු කෙනෙක් නෙවෙයි.ලිපි ලියා තියෙන්නෙ 129 යි.මට ෆලෝවර්ස් ලා ඉන්නෙ 241 යි. කමෙන්ට් 1362 යි. එයින් 500ක් පමණ මගේ කියමුකො. ඒ කියන්නෙ මම අසාර්ථකයි..වසර තුනක් අහවර වෙද්දි ලිපි 129 ක් කියන්නෙ අද ඉන්න බ්ලොග් කරුවන්ගෙ හැටියට පොඩ්ඩක්.

මගේ බ්ලොග් එකට අනුව නම් මේ අසාර්ථකත්වයට පැහැදිළි හේතු තියෙනවා. නිරන්තරයෙන් බ්ලොග් එක විකෘති කිරීම,යූ ආර් එල් මාරු කිරීම, ආර් එස් එස් ෆීඩ් සංඛ්‍යාත වෙනස් කිරීම.බැලීමට අපහසු හා වැඩි වෙලා ලෝඩ් වෙන ටෙම්ප්ලේට් දැමීම..මේවාට බලපාපු සමහර හේතු කියලා කෙනෙක් ට හිතන්න පුළුවන්.ඒත් මම හිතන්නෙ නම්  මම හරියට නොලියපු එකයි මට බ්ලොග් තරුවක් වෙන්න බැරි වුණ ප්‍රධාන හේතුව..(ඒ කියන්නෙ අනික් අය තරු)

මම කවදාටත් හිට්ස් බලාගෙන ලිව්වෙ නැහැ. ඒත් මම ලිපියකට ප්‍රතිචාර 6ක් තරම් බලාපොරොත්තු වුණා.ඒ ගණන ලැබුණා. පස්සෙ මම හෙමින් ඊළඟ ලිපිය දමනවා.ඒ හැර කිසිම විදිහකින් කමෙන්ට් මතම පදනම් වූ ලිවිල්ලක් මම කවදාවත් කරන්නෙ නැහැ.

පහුකාලීනව බ්ලොග් එක එහෙම්මම තියෙද්දි මම මුහුණු පොතටම සීමා වුණේ බ්ලොග් එකට වඩා මුහුණු පොතේ කමෙන්ට් දැමීම වේගෙන් සිදු වීමත්, අඳුනන බොහෝ අය බ්ලොග් කලාවෙන් මිදීමත් නිසයි.ඒත් මම එහෙමයි කියලා බ්ලොග් ලියන එක අත ඇරියේ ම  නැහැ....  හැම මසකටම අනිවාර්යයෙයෙන් මොනම මට්ටමේ හෝ ලිපියක් දෙකක්.. මගෙ අතින් පල වෙලා තියෙනවා. මම රෝස වලාකුල පටන් ගත් දා ඉඳන්.( 2009 සැප්තැම්බර් ඉඳන්.)

මගේ බ්ලොග් කරණය පටන් ගත්තෙ 2009 අප්‍රේල් වල .ඉන්පස්සෙ මම මාස හතරක් පමණ මේ ගැන හොයා බැලුවා...පුංචි බ්ලොග් හැදුවා...බ්ලොග් විසන්ධි කළා.. අන්තිමට තවමත් රෝස වලාකුළ පටන් ගත්ත තැන මම ඉන්නවා කියලා මට හිතෙනවා..මේක සිම්පල් තමා...කොහොමත් මට මේ බ්ලොග් එක හරහා සමාජ විප්ලවයක් කරන්න ඕනෙ වුණේ නෑනෙ..

මම රෝස වලාකුළ ටික කලක් ලියද්දි ඒක මට ම එපා වුණේ...දන්න හඳුනන අය ඇරෙන්න මෙහි කිසිවෙක් නොපැමිණීමත්...මම මුහුණු පොතේ නිර්මාණ බෙදා හදාගැනීමෙන් සතුටට පත්වීමත් නිසා..කවුරු හරි බැලුවා කීවාම සතුටක් ඇත්තට දැනෙනවා...(බලන්න කියලා හිතන් යමක් ලීවොත්)

දැන් සමහරු කියයි.. මුහුණු පොතේ ප්‍රසිද්ධම වචන ටික (පට්ට. මරු.සුපිරියි.අපූරුයි. ලස්සනයි.අගනා නිර්මාණයක්.) කමෙන්ට් විදිහට වැටෙද්දි, මම පට්ට කෑල්ලක් කියලා මම විහින්ම හිතාගෙන මම මුහුණුපොතට වෙලා හිටියා කියලා.. එහෙම දෙයක් බොහෝ අයට සිදු වුණත් මට සිදු වුණේ නෑ... මට ගුරුකුලයක් නැති වුණත් හොඳ ගුරුවරයෙක් ඉන්නවා.මම ලියන කරන ඕනෙම දෙයක වරදක් වෙතොත් අනිවාර්යයෙන් පෙන්වා දෙන....

නමුත් මම අදහන විදිහට නිර්මාණ වල ඇත්තටම වැරදි කියලා දෙයක් නෑ...(එය කල්පිතය සත්‍යය අතර දෝලනය වන නිසා.) පොඩ්ඩක් නිවි හැනහිල්ලෙ කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙයි.නිර්මාණයක් විචාරයෙදි අපි පාදක කරගන්න සමහර දේවල් වල ඇත්තටම අවුලක් තියෙනවා කියලා..අපි ගොඩක් නිර්මාණ දිහා බලන්නෙ වටපිට බහුබූත ඔක්කොම ඔළුවට අරගෙන. ඒක සමහර විට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඇති...උන් තමයි ඔක්කොම බහු බූත ඔලුවට ගන්නෙ. පේන්නෙ නැද්ද? (උන්ගෙ මෙගා නාට්‍යක් එක දවසක් බැලුවා නම් තේරෙයි)

හරි වට පිට කතා වලට නොගිහින් මගේ කතාවට ආවොත් මම ඇත්තටම බ්ලොග් ලියන එක අතෑරියා.(ලියන්නං වාලෙ ලිව්වා)..නමුත් මම පොඩි පරීක්ෂණයකට වෙන නමකින් ලියන්න පටන් ගත්තා පළවෙනි ලිපියට නොහිතූ තරම් ප්‍රතිචාර ලැබුණා. මෙතනදි මට දැනුනා බ්ලොග් එකකට නම බලපානවා වැඩියි කියලා. මම හිතුවා නම වෙනස් කරන්න. හැබෑවටම නම වෙනස් කිරීමෙන් පස්සෙ මම අලුත් වුණා..පරණ පාඨකයො හැලුණා..අල්ත් අය ආවා..සදාකාලික උන් සියල්ල බලා හිටියා.. ඒත් ඇත්තටම ගොඩක් බ්ලොග් කරුවන් වෙත තියෙන්නෙ ලිපියක වටිනාකමක් නොව පුද්ගලික වටිනාකමක් බවයි මගේ පෞද්ගලික හැඟීම.

උදා- අහ් මාරයා මොනා ලීවාද දන්නෙ නැහැ. ගිහින් බලන්න ඕනෙ...
        දිල් මේ දවස්වල දිය වෙලා වගේ ඇයි ද මන්දා
        සඳරුගෙ පෝස්ට් අඩු වෙයි ද බං..ඌ 7 බස්සනවාලු
        වත් දැන් වැඩියෙන් එන්නෙ එෆ් බී....සොඳරු ලියලාද?

මේ බලන්න...මට වුණත් මේ චරිත ඇයි සට සට ගාලා මතක් වුණේ ..අපි බ්ලොග් බලන්නෙ ලිපියේ වටිනාකමට නෙවී. පුද්ගල වටිනා කමට...මට නොවරදවා එන කමෙන්ටු වලින් මම දැන ගත්ත දේ...ඒ අයට ත් මේ විදියටම මගේත් යම්  පුද්ගල වටිනාකමක් තියෙනවා. ඒ නිසා මම කොයි තරම් කසඩ ලිපියක් ලීවත් මොනාම හරි කමෙන්ට් දානවා....ඒත් මම කොයි තරම් හොඳට ලීවත් අර තමන්ගෙ හීන බ්ලොග් කරුවන්ට කමෙන්ට් දාන අය මෙහෙ එන්නෙ නෑ.( මම මේ මාව උදාහරණයට ගන්නෙ...අත්තානං උපමං කත්වා වඩා හොඳ නිසයි.)

මම එක බ්ලොග් එකක් වත් අඩුවෙන් තකන්නෙ නෑ... මම උඩ සඳහන් කළේ මම නිතරම බලන බ්ලොග් ටික.හැම බ්ලොග් එකකම ගත යුත්තක් තියෙනවා.ඒ හැම දේකින්ම යමක් හදවතට එකතු වෙනවා..නැහැ කියලා කියන්න පුළුවන්ද? මෙගා නාට්‍යක් බලද්දි එන කලකිරීම වුණත් හදවතට යමක් ඇඩ් වීම කීවොත් නිවැරදියි නේද?

හරියට ලියන්න කියලා මම කියන්නෙ නැහැ.ඔබ කැමති විදිහට ලියන්න. හරසුන් කියලා දේවල් ලෝකෙ විරලයි.හරයක් තියෙනවා..හොයාගන්න ඕනේ.ඕනෙම නරක දෙයක් කෙළවර හොඳක් තියෙනවා.ඔබ යම් නිර්මාණයකින් අතෘප්තිමත් නම් ඒක පවසන්න...ඔහුට හෝ ඇයට.. නමුත් ඔබේ බාල්දිය ඇතුළෙ බැහැලා නෙවෙයි.ඒ ඒ අයගෙ සාක්කු දිහා බලලා... බලන කෙනෙක් බලන්න නොබලන අය නොබලන්න.. අනේ කවි ලියන්නෙ කාට බඩේ පාර ගහන්නද? ඉර අල්ලන්නද? නෑ.... අපි මේ හිතුවිල්ලක් දෙකක් ලියනවා... පොඩි ආතල් එකට...ඔය අතරෙ වෙනවානං සමාජයටත් වැඩක් වෙයි... ඔබේ නිර්මාණයෙන් ඔබ සතුටු වුණා නම්..ඔබේ නිර්මාණය අති සාර්ථකයි..

නිර්දය විචාර පහසු තරමටම සහෘද විචාර අමාරුයි...ඒත් ඔය එක නිර්ධය විචාරයකින් පුළුවන් මිනිහෙක් කලාව එතනම බිඳලා දමන්න..හොඳ කලා කරුවෙක් වෙන්න තියෙන අංකුරයක් මරලා දාන්න..මොකද එක එකාට විචාර දිරවන්නෙ එක එක විදිහට.මෙතනදි වැදගත් වෙන්නෙ සන්නිවේදන භාවිතාවෙ දක්ෂතාවය..බොහොම සෙනෙහසින් පහදලා දුන්නා නම්..මේ මුළු ලොකෙ සිදුවුණු බොහෝ වැරදි කණපිට ගහන්න පුළුවන්...ඒ වගේ තමයි නිර්මාණ කරුවාගේ අනාගතය මරන්නත් උපදවන්නත් පුළුවන් විචාරකයාට... විචාරකයා පළමුවෙන් හොඳ රසවින්දකයෙක් විය යුතුයි. හොඳ රසවින්දකයා හොඳ මනුස්සයෙක් විය යුතුයි... කැත දේ ඇතුළත ලස්සන දකින....ධනාත්මක පරම්පරාවේ අලුත් තේරුම් මවන්නෙක් විය යුතුයි..
ලෝකය රසවින්දන භාවිතාවෙ සිදු කරපු ලොකුම වරද මොකද්ද? කියලා මම ඔබෙන් අහන්නද?

මේ සිතුවම් කාගෙද ?

මේ චිත්‍ර එදා ලස්සන සිතුවම් විදිහට පිළි ගැනුණා නම්, මුලු ලෝකෙම වෙනස් වෙන්න තිබුණා... මුලු ලෝකයම.. දැන් මේවා කැලැන්ඩර් වල ගහලා නම් වැඩක් නෑ....එදා ඒ වරද නොහදා...මේ චිත්‍ර ඇඳපු කොල්ලාව කැම්පස් එකට ගත්තා නම් ඌ අද නමක් තියල මිය ගිය කලා කරුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා...ඒත් අද.... ශත වර්ෂ ගණනාවක් යන තුරුත් ඇවිදින මල ගිය සෙවැනැළි වල සාපයක් හිමි කෙනෙක්...







ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්.............

කවි නොලියන ළමයින්ගෙ කවි


මම මේ ලියන්නෙ කවි නොවෙන්න පුළුවන්. ඒත් මේ කවි ටික මෙතන ලියන්න හිතුණා...කැමති කෙනෙක් කියවන්න... (මේක ඇත්තටම සංරක්ෂණය කරගන්න...දැම්මෙ.. මුහුණුපොතේ දාපු ස්ටේටස් වලින් කීපයක් කීවත් නිවැරදියි)

උදානය

ගඟක් වෙමි ගලා යන
උල්පතක හැඟුම් ගෙන
සුසුදු පෙණ අතුරමින
ඉවුරු සිඹ සනසමින

ගං දෑල වෙත පෙමින
මල් පොකුරු විසිකරන
තුරු වැලක ඉකිබිඳින
වියළි පත් තුරුළු වන

ඇල අසල මඟ බලන
ගොයම් ගස් නිල් නිලන
නිවා ගන්නට පවස
කරයි ඇරයුම් සවස

හතර කණිසම වදින
සොරොව්වෙන් හද රැගෙන
සරුබිමක් වෙත ගලන
දියවරකි සිනාසෙන

පුරන් බිම් තෙත් කරන
ඇළ වේලි මං තනන
සරු බිමට යා කරන
පැතුම් අරගෙන වඩින

එපා සමුදුරු විනිස
කලපු අව සඳ පහස
නැත පැතුම් මෝය අස
හැරෙමි ලෝ වැඩ පිණිස


අප්පචිචිගෙ කමිසය


ඒ කාලෙ හොර හොරෙන්
වටරවුම් වල පිපුණ
මැයි මලක සිරිගත්ත
අප්පච්චිගේ කමිසෙ

ළඟදි අල්මාරියෙන්
ගත්තා එළියට අම්මා..
කිට්ටුවට අහැ දමා
බැලූවෙමි ඒ දිහා

තෝර බේරා ගන්ට
නොහැකි වූ පාටකින්
කමිසෙ අවපැහැ වෙලා..
නිල් ටිකක් වැඩි වෙලා..!



 පේ නොවුණු ප්‍රේමය

පේ වෙච්ච දවස් වල
ඒ කාලෙ පෙරහැරට
නුඹ මාලු පිනි නොකා
උන්නු යස අපූරුව

සිහිවුණා ආයෙමත්
එළවලු බත් බාගෙ‍
ඉල්ලද්දි කැන්ටිමෙන්
මගේ උරය කිට්ටුවෙන්..



 වීදුරු / දාසී

තුරුළට “ඈ “ රැගෙන
වෙනත් අඟනන්ගේ
සුවහසක් රූ මහිම
දෙනෙතින් රසවිඳින

පෙම්වතකුගෙන් ඇසී...
ඇයි එවන් අඟනක්
පතිකුලයට නොගන්නේ...
සුන්දර ජය මඟුල් මැද

“විදුරු බඩු ලෙසින්
කබඩ් ඉබි යතුරු දා
සුරැකෙන්නියක කුමටද?
මගේ කුල ගෙදරට

අහෝ මට වැටහිණි
දැන්ම සිහිපත් කර ඇත
“ඈ “ තවත් හෙට ඔහුගෙ
දාසියක වන වග




ඉන්දරේ අයියාගේ හයිවේ බස් ගීය

අසුනක් හිමියි ගෙවලා තිහක්
බැඳ ගත්තා උදයෙම බත් මුලක්
මං හිතුවෙ ලක්ෂරි බස් දෙකක්
ඇයි ආවේ වයිකං බස් එකක්

අංකල් කෙනෙක් යයි තරහයෙන්
කොන්දත් ඇඟිල්ලක් දික් කරන්
ආසා නෑ වගේ ඇන්ටිලත්
මං ගත්තා හොරෙන්ම ෂොට් දෙකක්

ඕනැ තරම් වැරදී වෙතත්
ආ එකම ඇති මේ බස් එකත්
සලකා බැලූයෙමි මම තවත්
සාධාරණයි තුන්සීයටත්......



පෙම්වතියක් ව

එක බින්දු
මැද සරණ
නුඹේ program වල
තිතක් හෝ කොමාවක්
නොවෙමි මං

නිරන්තර හුදකලා
හීනයක තනි රකින
සොඳුරු සිරකාරියක්
වුණත් මං










1/23/12

විද්‍යාඥ විරිදු


අපෙ අප්පච්චි ගෙ අයිය මගේ ලොකු අප්පච්චි.හරිම කවිකාරයා..වැඩියෙන්ම කරන්නෙ පොතපත කියවන එක. මහාචාර්ය කෙනෙකුට වගේ හොඳ දැනුමක් තියෙනවා.පවුලෙ අයත් ඒ වග පිළිගන්නවා. උපාධියක් නම් තවම නෑ. ඒත් උපාධිකාරයො තුනක් පාලනය කරනවා...

අපිට පාඩම් වලට වුවමනා වෙන විද්‍යාඥයන්ගෙ නම් ලොකු අප්පච්චි අපූරුවට විරිදුවකට කැටි කරපු හැටි අද මම ලියනවා.මේ මගේ නිර්මාණයක් නොවුණත් ඔබේ අධ්‍යාපනයට මේක බොහොම වැදගත් වෙයි කියලා හිතනවා. අධ්‍යාපනයේදී සංගීත භාවිතාව ඇත්තටම ප්‍රාෙයා්ගික බව ලෝකෙම පිළි අරන් ඉවරයි.ඉතිහාසය ගීයකට ගන්න මම උත්සාහ කරන්නෙත් ඒ නිසයි. මට ලැබිලා තියෙන්නෙ ලොකු අප්පච්චිගෙ ආභාසය වෙන්නත් ඇති. මේ මම පොඩි දා පාඩම් කළ ලොකු අප්පච්චි ලියූ පුරෝගාමී විරිදුව.. මේක වැඩ සටහන් වල කීව. මාරුතී අයියා (ලොකු අප්පච්චිගෙ ලොකු පුතා) දැනට රජරට සරසවියෙ ඉගෙන ගන්න සිසුවෙක්. ඉතින් මේ පුංචි විරිදුව මට පොඩි කාලයෙ බොහෝ දේ මතක් කළ නිසා මතක හැටියට ලීවා.ඔබටත් කැමති නම් බලන්න. තව මේක දිගයි...මේ මතක හැටි...ලංකාවෙ සඳු ගැන.ගංගා ගැනත් ලොකු අප්පච්චි ලීවා...ඒ පොත මා ළඟ ඇති. ඒවාත් දමන්නම්කො....ඔයාලාට යමක් ඉගෙන ගන්න.

වහගන්න මගේ නොදන්න කම ප්‍රශ්න ඇහැව්වා
අහගන්න අපේ අප්පච්චිගෙ උතතර මෙව්වා
ගහ දන්න මහත්වරු කොළ කඩ කඩ බොරු කිව්වා
රහ දන්න අයම සරසවියගෙ ලැම කිරි බිව්වා

බුදුන් වඳිනෙමි, අවසර අරන් ගණදෙවි
වඩින් සරසවී,මගෙ හිස උඩින් කරකැවී
ගුරුන් මගෙ දිවී,සමකොට බැතින් බර වෙවී
කියම් රස කවී,මහතුනි අසන් දුරු නොවී

දැනුම සොය සොයා යන්නට බැරිය කිය කියා
අඬනවලු එයා පොත් ලොරි ගණන් ලිය ලියා
කිරි සුවඳ සොය සොයා රැක බැලු මම නුඹේ පියා
මුළු ලොවම ගැන කියා දුන්නේ උකුළ උඩ තියා

දැනුම ඇත පොතේ මුළු විශ්වයම හිස මතේ
මිනිස් කම හිතේ නැකිනම් මොනවටද පුතේ
අකුරු මලපොතේ නොදත් අම්මලා නෙතේ
උණු කඳුලු මත පුතේ ලෝකය ඉදිවෙලා ඇතේ

විදුනැණයෙන් ලොව වනසන මහ බලවත්තූ
පොදුජනයට සෙත සලසන හොඳ ගුණවත්තූ
පුදුම හිතෙන අපි නොහිතන වැඩ කළ පුත්තු
මතු බුදුවන අම්මලාගෙ කිරි බිව් පුත්තූ

බොනාසලා පොල්පොය්ලා මුසෝලනීලා
නැපෝලියන් හිට්ලර් ලොව ලේ විලක් කළා
රොබට් ඔපන් හයිමර් පරමාණුව හදලා
හිරෝෂිමා නාගසාකි සමතලා කළා

වානරයාගෙන් මිනිහා පැවතෙනවාලු
මෙන්න චාල්ස් ඩාවින් ඒ බව පවසනවාලු
ඉර වටේට මහ පෘථිවිය කැරකනෙවාලු
නිකලස් කොපර්නිකස් මත්පැන් බීවේ නෑ යාළු

ඇපල් ගසක් යට අයිසැක් නිව්ටන් යනකොට
වැටුණා ඇපල් ගැට මේ එයාගෙ ඔළුවට
නටුව කැඩෙන කොට ඇයි එන්නේ පහළට
පොළවෙ ආකර්ෂණයට කියලා දැනුණා මොළයට

මහ පොළවේ ඉන්න එකම නොවෙයි ඉරණම
හිතලා රයිට් සොහොයුරන් අහසට ගැහුවා කරණම
දිලී දිලී අහස් තලේ නම රැන්ඳෙව්වා
ගැලීලියෝ දුරදක්නෙන් විශ්වය සෙව්වා

ගැලීලියෝ ගැලීලි ගැන කියලා දෙන්න
අපි නගිමු ඉතාලියෙ පීසා කුළුණ බලන්න
ගුරුත්වයෙහි ඝණත්වයෙහි වෙනස සොයන්න
ගෝල දෙකක් අත ඇරියාලු උඩ සිට මෙන්න

කල් බල බල ඔරලෝසුවෙ කටු කැරකෙනවා
අපට සිල් වෙස්ටර් පාප් තුමා ගැන සිහි වෙනවා.
එන්න උඟුරු කකා වතුර බිබී පීලි දිගේ යං
මෙන්න මිතුරුතුමා අපේ ජෝන් ස්ටීවන්සන්

ගුග්ලි එල්මෝ මාර්කෝනි තමා ඔහු ඉතාලියේ
ලොව පූජිත පියා වුණේ ගුවන් විදුලියේ
තෝමස් අල්වා එඩිසන් නව නිපැයුම් සොයා ගියේ
ග්‍රැමෆෝනය විදුලි බුබුල ඔහු අතේ තියේ.

රූපවාහිනිය හෙව්වලු මොනවටද කතා
ජෝන් ලෝගි බෙයාර් ගැන දන්නවාද පුතා
විදු දැනුම හොයා ගිය ගමනේ ලැබුණු ඉඩ කඩ
ඩයිනමෝව මයිකල් ෆැරඩේගෙ වැඩකිඩ

මේන් පන්හිඳ පුස්කොළය අතීතෙට විසි කෙරුවා
ගුටන් බර්ග් මුද්‍රණ යන්ත්‍රය බිහි කෙරුවා
මල්ලි වීර පුතුන් අතර හිටියෙ හොඳ වැඩ කරුවෝ
එඩ්මන්ඩ් හිලරි මහා එවරස්ට් කඳු තරණය කෙරුවෝ

දැන් ගන්නවා සමු . අපි ආයෙත් හෙට එමු
අපි හරි පාරට එමු.පස්සෙ හොඳ වැඩ පෙන්නවමු
ගුරු දෙගුරුන් නමදිමු. අපි හොඳ මිනිසුන් වෙමු.
අපි හොඳ මිනිසුන් වෙමු. අන්න එතනින් නවතිමූ.






1/20/12

හායි....ඩූ යූ නෝ සිංහල ?? ¿¿¿¿

මම සිංහල ගැන ලියාගෙන ගිය සරළ පුංචි ලිපිය දැන් ඔබට අමතක ඇති.ඒත් එය ඉවරයක් කළ යුතු නිසා මම අද එහි දෙවන කොටස ලියන්නට හිතුවා. පළවෙනි එක කියෙව්වෙ නැත්තම් කියවලාම එන්න. නැත්තම් සමහරවිට නොතේරෙන්න පුළුවන් නොදන්නම කෙනෙකුට ටිකක් නොතේරෙන්න පුළුවන්.

අපි අපේ කථාව අවසාන කළේ ද්වීතීක හෝඩියෙන්.හෝඩිය හෝඩිය  වශයෙන් වෙන් කළොත් අපට තව හෝඩි හතක් ගැන කතා කරන්න තියෙනවානෙ...උත්සාහ කරමුද ඉතුරු හතම අදම දැන කියාගෙන නිම කරන්න..


ඉතිරි හත
  • සිදත් සඟරා හෝඩිය
  • ශුද්ධ සිංහල හෝඩිය
  • මිශ‍්‍ර සිංහල හෝඩිය
  • ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය
  • සමකාලීන සිංහල හෝඩිය
  • ජාත්‍යන්තර සිංහල හෝඩිය
  • නව සිංහල හෝඩිය

සිදත් සඟරා හෝඩිය


සිංහල භාෂාවේ බොහෝ විමසා බැලීම් වලදී අපගේ අවධානය වැඩියෙන්ම යොමු වෙන්නෙ සිදත් සඟරාවට......  හෝඩිය ගැන  උගනිද්දිත් ඒ නිසා සිදතට අපෙන් මුල් ආසනයක් හමුවෙනවා.

“මහඳ ගඳ කිළි කැරැ
සව්නේ ගෙවා දත්හට
දුහුනන් දැනුම් සඳහි
කරනෙම් සිදත් සඟරා“

මෙය රචනා කරන ලද්දේ හුදෙක්ම කවි පබඳිනා දුහුනන් හෙවත් ආධුනියකන් වෙනුවෙනි. මෙහි කතුවරයාට අවැසි වූයේ අපට ආවේණික බසක් සෑදීම බව බොහෝ වියතුන්ගෙ මතය වෙලා තියෙනවා. පාලි සංස්කෘත වැනි භාෂාවන්ගෙන් මිදුණු අපේ ශුද්ධ සිංහල භාෂාව එබැවින් සිදත හෝඩියේ අඩංගු වෙනවා.  මේ සඳහා හෙළු බස, සියබස යන ව්‍යවහාර යොදන්නේ ඒ නිසාම විය යුතුය..  මේ හෝඩිය පද්‍යකරණය සඳහා සකස් කළ එකක් බවද කා අතරත් ප්‍රසිද්ධය. සිදතෙහි සම්පූර්ණ අකුරු සංඛ්‍යාව 30 ක් ලෙස අපට ගත හැකි ය.

        පණකුරු පසකි එද
        ලූහු ගරු බෙයින් දස වේ
        ගතකුරු ද වේ විස්සෙක්
        වහරට යුහු සියබසැ

ස්වර (පණකුරු )     -  
 අ, ඉ, උ, එ, ඔ - ලඝු
 ආ,ඊ, ඌ, ඒ,  ඕ - ගුරු

ව්‍යඤ්ජන (ගතකුරු)    -   
ක, ග, ජ
ට, ඩ, ණ
ත, ද,න
ප, බ, ම
ය, ර, ල, ව
ස, හ, ළ, අං

දීර්ඝ අක්ෂර භාවිතය ද,ලඝු ගුරු විභේදනයද, පණකුරු හා ගතකුරු ලෙසට ස්වර හා ව්‍යඤ්ජන දැක්වීම ඇ, ඈ යන අක්‍ෂර දෙක ඉවත් කිරීම ද මෙම හෝඩියේ  විශේෂම ලක්ෂණ වෙයි.සඤ්ඤක අකුරු ඉවත් කිරීම, අනුස්වාරය ඇතුළත් කිරීම තුළ සිංහල භාෂා ව පාලි සංස්කෘතයෙන් ස්වීය කරණයට ගත් උත්සාහයක් ලෙස සැලකිය හැක.මෙහි ප්‍රධානම ලක්ෂණය නම් අල්පප‍්‍රාණ ච අක්‍ෂරය ඉවත් කිරීමයි.
ච කාරය ජ කාරයෙන් හා ද කාරයෙන් නියෝජනය කරවිය හැකි බව මෙමගින් හඳුන්වා දුනි.

උදා - වචන - වජන හෝ වදන

ච කාරය ස අකුරෙන් පෙන්වීම ද ඇරඹි අතර ඒ තුළ බොහෝ පාලි වදන් සිංහල කරණයට මග සැලසුණි.

උදා -
චිත්ත - සිත
චන්ද - සඳ
චම්ම -සම
චේතිය - සෑය
චත්ත - සත
චෝල - සොලී

සිදත් සඟරා හෝඩිය නිසා භාවිතා වූ වචන අදටත් සමාජය විසින් උකහාගෙන ඇතත් ඉන් පසුව භාෂාව තවත් ඉදිරියට ආවේය.


 ශුද්ධ සිංහල හෝඩිය    (අමිශ‍්‍ර සිංහල හෝඩිය)

    සිදත් සඟරාවේ අක්‍ෂර 30 වර්ණ මාලාව සම්බන්ධයෙන් නොයෙක් සංශෝධන කළ  පසුකාලින වියරණ උගත්තෝ  පාලි සංස්කෘත අක්‍ෂරයන්ගෙන් වියුක්ත වූ ශුද්ධ සිංහල හෝඩියක් නිර්මාණය  කරන්නට පෙළඹීම සිංල හෝඩිය විකාශනයේ ඊළඟ පියවර ලෙස අපට පෙන්වන්නට පුළුවන්.  මේ හෝඩිය හැදීමේ  අරමුණ වුණේ  සිදත් සඟරා හෝඩියෙන් ඉවත් කළ අනෙක් අකුරු එහෙම්මම ඉවතම තියලා “ඇ“ කාරය සහ “ඈ“ කාරය ඇතුළත් කරලා මෙම හෝඩිය සකසා ගැනීම තමයි.ඇත්තටම එය අපේ හෝඩියේ කළ හොඳම දෙයක් කියලා කියන්ට පුළුවන් .අපේ බසේ විතරයි නෙ ඔය ඇ කාරය තියෙනවා කියන්නෙ.ඒ අනුව මෙම හෝඩියෙහි ඇතුළත් අක්‍ෂර සංඛ්‍යාව සිදත හෝඩියට වඩා දෙකක් වැඩියි. ඒ කියන්නෙ 32 යි.
   
ස්වර - 12
                අ, ආ, ඇ, ඈ, ඉ, ඊ,
                උ, ඌ, එ, ඒ, ඔ,  ඕ,

ව්‍යඤ්ජන - 20
                ක, ග, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම
                ය, ර, ල, ව, ස, හ, ළ, අං


මේ ආකාරයෙන් කල් ගත වීමේ දි නැවත ගැදි පැදි රචනා වද්දී බස මදි වීමට පටන් ගත්තා. මහප්‍රාණ අකුරුවල උවමනාව තදින්ම රටට දැනෙන්න ගත්තා.

මිශ්‍ර සිංහල හෝඩිය

වචනයක් විදිහට ගත්තත් මිශ්‍ර කියන නාමයෙන් හඳුන්වන්නෙ කුමන හො අයුරකින් නොයෙක් පාර්ශව වලින් සංයුක්ත වී හැඳුන දෙයක්. එය ඕනෑම භාෂාවකට අනුව සොයා බලන එක හැබෑවටම වැදගත්. අපටත් තියෙනවා මිශ්‍ර හෝඩියක්. ඒ මිශ්‍ර සිංහල හෝඩියේ ස්වර 18 කුත් ව්‍යංජන 36කුත් දක්නට ලැබෙනවා.

ස්වර 18       
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ
සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ
ඔ,  ඕ, ඖ

ව්‍යඤ්ජන 42   
අං අඃ
ක,  ඛ,     ග,     ඝ, ඩ,      ඟ
ච,     ඡ,     ජ,    ඣ, ඤ, `ජ
ට,     ඨ,     ඩ, ඪ, ණ,     `ඩ
ත,     ථ,     ද, ධ, න,     ඳ
ප,     ඵ,     බ, භ, ම,     ඹ
ය, ර, ල, ව
ශ, ෂ, ස, හ, ළ, ෆ



ජාතික අධ්‍යපාන ආයතන හෝඩිය

මිශ්‍ර සිංහල හෝඩිය පුරාණයේ සිට සිංහල භාෂාවේ අවශ්‍යතා ඉටු කරමින් කාලයක් ගතවී තියෙනවා. ඒ සමග භාෂාවේ ජීව ගුණය රැකීමට සංශෝධන කළයුතු කාළය එළඹූණා.ඒක එහෙම සිදු නොවුණා නම් අපේ බස මල බසක් වීම වලකන්න බෑ... එයට අත ගැසුවේ අපේ ජාතික අධ්‍යාපන ආයතනයයි. ගද්‍ය පද්‍ය වල යෙදෙන සඥ්ඥක හෝඩියේ භාවිතයට ගැනීම,අනුස්වාරය හා විසර්ගය බලාත්මක කිරීම,හා උපධිමානී (උපත්මානී) සංකල්පය නිර්මාණය කිරීම මෙමගින් සිදු විය. ප යන්න සමඟ ඉංග්‍රීසි එෆ් අක්ෂරය භාවිතය එමගින් වලකා “ෆ“ අකුර භාවිතයට පටන් ගැනීම තමයි උපධිමානය ලෙස හඳුන්වන්නෙ.

මේ අනුව ජාතික අධ්‍යාපන හෝඩියේ අක්‍ෂර මාලාව 60 කි.

ස්වර 18       
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ
සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ
ඔ,  ඕ, ඖ

ව්‍යඤ්ජන 36   
අං අඃ
ක,  ඛ,     ග,     ඝ, ඩ,     
ච,     ඡු,     ජ,    ඣ, ඤ,
ට,     ඨ,     ඩ, ඪ, ණ,    
ත,     ථ,     ද, ධ, න,   
ප,     ඵ,     බ, භ, ම,    
ය, ර, ල, ව
ශ, ෂ, ස, හ, ළ,

සමකාලීන සිංහල හෝඩිය

තවත් කල්ගත වන විට භාවිතයට නුවමනා අකුරු හෝඩියට අනවශ්‍ය බව නිරන්තරයෙන් කථිකා වූණ අතර ඏ, ඐ, අයින් කර දැමීමට එමගින් සාකච්ඡා වුණා. කෙසේ වෙතත් සියලු අවැසි කම් වන ඇතුළත් කිරීම් ඉවත් කිරීම් කරලා තවත්  අකුරු 60ක්  අපි සමකාලීන හෝඩිය ලෙස පිළි ගෙන තියෙනවා.

ස්වර - 18
           අ, අ, අ, ආ, ඇ, ඈ, ඉ, ඊ
            උ, ඌ, සෘ, සෲ, එ, ඒ
            ඓ, ඔ,  ඕ, ඖ,
ව්‍යඤ්ජන - 42
            ක, ඛ, ග, ඝ, ඩ,   ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ඥ
            ට, ඨ, ඩ, ඪ, ණ,  `ඩ
            ත, ථ, ද, ධ, න,   ඳ
            ප, ඵ, බ, භ, ම,   ඹ
            ය, ර, ල, ව
            ශ, ෂ, ස, හ, ළ, ෆ, අං, අඃ

දැන් ඔබට ස්වර වල ඇති අයනු තුන සැබවින්ම ගැටලුවක් ඇති. එය කී බෝ(ර්)ඩයෙන් ටයිප් කළ නොහැකි අකුරක් නිසයි මා එළෙස දැක් වූවේ..

පළමු අ = සාමාන්‍ය අ = (ලියන ආකාරය -දැනට ලියන සාමාන්‍ය අ)
උදා -
අම්මා, අවට

දෙවන අ = සංවෘත කෙටි අ= (ලියන ආකාරය- අ අකුරට කෙටි ඉස්පිල්ල)
උදා-
අබවුට්,අවේ, වැනි වචන සඳහා භාවිතා වන්නේ මේ සංවෘත කෙටි අ අකුරයි

තෙවන අ = සංවෘත දිග අ= (ලියන ආකාරය- අ අකුරට දිග ඉස්පිල්ල)
උදා-
අර්නස්ට්, අර්ලි, අර්ජන්ට් වැනි වචන සඳහා යෙදෙන්නේ මේ සංවෘත දිග අ අකුරයි.

ජාත්‍යන්තර සිංහල හෝඩිය

ජාත්‍යන්තර ප‍්‍රමිති සංවිධානය විසින් සම්මත කරන ලද සිංහල අක්‍ෂර මාලාව ජාත්‍යන්තර සිංහල හෝඩිය වෙයි.  ක‍්‍රි.ව. 2000 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ The Unicode Consortium විසින් පළ කරන ලද The Unicode standard version 3.0 කෘතියේ මේ හෝඩිය දක්වා ඇති අතර  එහි මූලික අක්‍ෂර 61 ක්ද පිළි 19 ක්ද ඇතුළත්ය.අද ලොව පුරා සිංහල යුනිකේත ව්‍යාප්ත වී තිබෙන අතර  මේ ඔබ දකින්නේ ඒ යුනිකෝඩ් හෝඩියයි.අද ඔබ කියවන සියලු පරිගණික සිංහල අකුරු මෙම හෝඩියට අනුව සැකසී තිබෙනවා.

ස්වර -    18
            අ, අ ,අ, ආ, ඇ, ඈ, ඉ, ඊ
            උ, ඌ, සෘ, සෲ, එ, ඒ
            ඓ, ඔ,  ඕ, ඖ
ව්‍යඤ්ජන - 43
            ක, ඛ, ග, ඝ, ඩ, ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ඦ, ඥ
            ට, ඨ, ඩ, ඪ, ණ, ඬ
            ත, ථ, ද, ධ, න, ඳ
            ප, ඵ, බ, භ, ම, ඹ
            ය, ර, ල, ව
            ශ, ෂ, ස, හ, ළ, ෆ, අං, අඃ

    යුනිකේත ක්‍රමය විසින් සංවෘත දිග අ හා කෙටි අ පිළිගෙන ඇති නමුත් යුනිකේත මඟින් ඒවා තවම එම අක්ෂර පළ නොකෙරේ. මන්ද ලංකාවේ බහුතරයක් ලිවීමේ දී ඒ ද්විත්වයද සාමාන්‍ය අ සංකේතය ඇසුරෙන්ම ලිවීම පහසුවක් කොටගෙන ඇති හෙයිනි.

නව සිංහල හෝඩිය

    මෑත කාලය වනතෙක්ම සිංහල භාෂාවේ අක්‍ෂර මාලාව පිළිබඳ ගැටළු පවතී.  එහිදී ජාත්‍යන්තර රීතීන්ට අනුකූලව කවර ශබ්දයක් වුව නියෝජනය කිරීමට එක් සංකේතයක් යෙදිය යුතුය යන නිගමනය මත මෙම ගැටළුව විසඳීම සඳහා මහාචාර්ය විමල් ජේ. බලගල්ල, මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය ජේ.බී. සේනානායක, සිරි තිලකසිරි යන විද්වත්හු නව සිංහල හෝඩියක් සම්පාදනය කළහ.

ස්වර           අ, අ, අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ,
            සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ,
            ඔ,  ඕ, ඖ
ව්‍යඤ්ජන    - ක, ඛ, ග, ඝ, ඞ, ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ජ,
            ට, ඨ, ඩ, ඪ, ණ, ඬ,
            ත, ථ, ද, ධ, න, ඳ,
            ප, ඵ, බ, භ, ම, ඹ,
            ය, ර, ල, ව
            ශ,ෂ,ස,හ,ළ,ෆ
            අං අඃ
            ක්‍ෂ, ඥ,ළු

දැනටත් ඏ, ඐ මෙම අක්ෂර ද්විත්වය ඉවත් කිරීම කළයුතුය යන්න ගැන විවාද පවතී.එහෙත් තවම ඒවා සිංහල හෝඩියේ රැඳී තිබේ.

දැනට අධ්‍යාපනය විසින් හා බස් ඔස්තාර්වරු විසින් වර්ග කර ඇති හෝඩි පිළිබඳ විග්‍රහය මෙපමණයි..මේ ඔබ දකින්නෙ අති සරල (කියවන බසින් රචිත) සාරාංශකරණයක් වුණත් ඔබේ දැනුමට මේ මගින් යමක් එක් වුණායැයි මම සිතනවා...ඔබට දැන් හෝඩියේ අකුරු කීයද කියලා කෙනෙක්  ඇහුවොත් අහන එකා කැරකිලා වාඩි වෙන්න මේ හෝඩි සෙට් එකේ වෙනස් කම් සාරංශ ගතව මතක තබා ගන්න...එතකොට ආයෙ කවදාවත් කවුරුත් අපේ බස නොදන්නවා කියලා හිනාවෙන එකක් නෑ...අපි සිංහල දන්නෙ නැහැ කියලා කියන එකකුත් නෑ...අපේ බසට අපි නිරායාසයෙන්ම ගරු කරන්න මේ දැනුම ඇත්තටම අවශ්‍යයි... මොකද අපි දැනගන්න ඕනෙමයි නේද අපි කතා කරන ලියන මේ අකුරු කොහොම මේ කොටු පේළි ඇතුළෙ ගැළපුනාද කියලා...

වැදගත්ම අනාගත පරපුරට මේවා කියා දෙන්න අපි ඒවා ගැන දැනගන්න ඉන්නම ඕනේ....නැත්තම් අපටත් කියන්න වෙන්නෙ..

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් කියූ
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ


ර රට අර බල
න්තරාවක
දී ඇදී යත
තින් ඈතට
හමොළ මද නැති
ළඟ පරපුර
න්ගේ ලෝකය
රන් වූ හැටි

ක ග ජ ට ද න ත ද
පැන පැන යන විට
ය ර ල ව
පරලොව යන රඟ

උන් ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ

ගුරු තරුව වේදිකා නාටකයේ ගීයකි (මෙම වීඩියෝවේ මැද මෙම ගීය ඇත...නාට්‍යම යු ටියුබයෙන් කොටස් ලෙස නැරඹිය හැක. අධ්‍යාපනය තුළ භාෂාව හා සාහිත්‍ය, කලාව හා සෞන්දර්ය ගැන නිර්වචනය වන ලංකාවේ අධ්‍යාපනයට හිනාවෙන සුන්දරම රඟනළුවකි.


1/5/12

Poetic Chronicle | පරපුරක කතන්දර කවියෙන්



කඳු සානූ තැනිතලා
විල් නදී වැලිතලා
මිටියාවතේ පිපෙන
මල් පිරුණු තුරුලතා

හමා පිස ඇදෙන සඳ
සුවඳ ගඳ බෙද බෙදා
අතීතෙන් පටන් සිට
“මඳ පවන“ නම් දරා

අසිපත් ද වටාපත්
තල්පත් ද දිරාපත්
අතර පිය මැන තවත්
එකතු කළ නෙක පුවත්

අනාගත ලොකයට
ගෙන ඇවිත් මඟ බලා
නිහඬ නොපෙනෙන වතින්
ගොළුව කඳුලැල් සලා

මහ මුහුද දෙසබලා
ගල් කුළක තෙරපිලා
ඉහළ යනු බැරි දුකින
හඬයි කවියෙක් සොයා....

1/3/12

වසරක් වෙහෙසී මෙවන් අගනා උපහාරයක් ලබන්න ඔබත් කැමතිද?


 වසරක් අවසාන වුණා.. ඉතින් මට හිතුණා වසර අවසානය හා සම්බන්ධ වූ ලස්සන පුංචි පාසල්  මතකයක් සිහිපත් කරන්න.කථික හා විවාද සංගමය කියන්නෙ අපේ පාසලේ තියෙන විශිෂ්ටතම සංගමය කියලා කීවොත් පාසලේ කවුරුත් මා එක්ක අමනාප වෙන එකක් නෑ...

කොහොමත් ඉස්කොලෙ හොඳටම වැඩ කරපු සංගම් ටික (අපි ඉන්න කාලයෙ)

  • කථික හා විවාද සංගමය
  • නාට්‍ය සංගමය
  • මාධ්‍ය කවය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • විද්‍යා සංගමය

තව නා නා විධ සංගම් තිබ්බා... මේවාට අමතරව මමයි යාළුවොයි තව ඒවායෙත් හිටියා...අපි බොක්කෙන් බැහැලා හිටිය සංගම් හතර පහ තමා ඔය මම උඩ කිව්වෙ....

 කලින් කීවානෙ ඔය සංගම් වල නිල තල එහෙම අපි දරපු පිළිවෙල. ඔය සංගමි වල නිලධාරී රැස්වීම් බොහෝමයක් තියෙන්නෙ කැන්ටිමේ,ටොයිලට් එකේ, බත් කොලේ උඩ .....

සාමාජික රැස්වීම් නම් සෝමා ප්‍රේමරත්න අනුස්මරණ ශාලාවෙ තමා තියන්නෙ...ඒකෙ පිරිස වැඩියි.. අහ් දැන් මගේ පාසල් පම්පෝරිය නිකං පොරී සෙට් එකක් වෙන්න යනවා කියලා ඔයාලා හිතයි...දැං ටිකක් ලැජ්ජා බයට හිටියා වුණාට,ඒකාලෙ එහෙම දේවල් අපි දන්නෙවත් නෑ...

මම අද කියන්න යන්නෙ අපේ කථික හා විවාද සංගමය ගැන පුංචි සොඳුරු කතාවක්.

අපි හැම වසරෙම සංගමෙන් සංවිධානය කරනවා සුනේත්‍රා තල්දෙන අභියෝග ශූරතා කුසලානය... අපේ ඉස්කෝලෙ ඇතුලෙමයි ඕක තියන්නෙ.. ඉන්විටේෂන් දෙන විදිහ ඉතින් හරිම කාර්යාලීයයි...  ආනන්දෙටයි ,නාලන්දෙටයි විතරක් එන්න ඕනෙ ගනන දාන්නෙ නෑ.. අසල් වැස්සන් නෙ... සංග්‍රහ කරන එක ඉතින් අඩු පාඩුවක් නැතිව කරන්න...කවදාත් අපේ කෙවිනි දක්ෂයි. ඒ නිසා කට්ටිය කොයි තරම් වැඩි වුණත් කෑම පාර්සල් ටික ගාණට යවලා...මහන්සි වෙලා අන්තිමට එන අපේ සෙට් එකට කන්නත් හොඳවයින් පංඟුව කෙවිනි හංගලා තියන්නෙ හරියට අම්මා කෙනෙක් වගේ..

ඒ විතරක්ද, එක එකා ගෙනාපු පිඟන් ගැට්ටක්වත් නොකැඩෙන්න කෙවිනි පරෙස්සම් කළා වගේම, ඉස්කෝලෙ ඕනෙම ඔය වාගෙ දිනයක් තියෙන දාට කෙවිනිලැයි ගෙදර ඇත්තෙ කන්න ගන්න පිඟන් ටික විතරයි කියන එක,ඉස්කෝලෙම දන්න දෙයක්.

දවසක් කෙවිනි පිඟන් බෑග් එකට දාන කොට තාත්තා කන පිඟානත් ගෙනත් බෑග් එකට දාලා

“ අනේ පුතේ...මේ හතර විතරක් ගෙදර තියන් මක් කරන්නද? මේකත් අරන් යන්න කියලා“

ඒකි ට ලැජ්ජා හිතිලා.....පස්සෙ අපි කට්ටියම ට්ක ට්ක බඩු ගෙනත් හෝම් සයන්ස් කාමරේ තියලා තිබ්බා...ඩේ ඔක්කොම ඉවර වුණාම අරන් යන්න.... මගේ මතකෙ හැටියට අම්මාගෙ කොළ මපාය ජොග්ගුවයි ,ලස්සන වීදුරු 6 යි..බී බී 6 යි තාම ඉස්කෝලෙ.....අවුරුද්දකට සැරයක් වීදුරු අල්මාරි අස් කරනකොට අම්මා තාම බනිනවා....දැනට තුන් වතාවයි..... තව ඉස්සරහට..........මට බැරියෝ....

ඒ කතාව ඉවරයි...තවම නියම එක කීවෙ නෑ..ඔන්න බලන්න මම කියන්න ගත්තාම වැඩියෙන් කියන්නෙ වල් පල් ...ඒත් මේවා වල් නෑ නේද?

ඔන්න දැන් තමා කතාව... හැම අවුරුද්දෙම සියලුම වැඩ කටයුතු ඉවරවුණාම අපි ඉතිරි වන සල්ලි වලින් පුංචි උපහාර උත්සවයක් තියෙනවා...ඒක විශේෂ වෙන්නෙ ඒක දෙන්නෙ ගුරු වරුන්ට නෙවී....ළමයින්ට නිසා...හැම වසරකම අය අපට උදව් කරනවා..6 වසරෙ ඉඳන් 13 වසර වෙනකන් ම එක වගේ.... අපිට සමරුවට ඕනෙ කරන වෙළඳ දන්වීම්, ශ්‍රම සහය හුඟක් අයගෙන් ලැබෙනවා..එයින් ලොකුම කැපවීම් කළ අය තමා උපහාර ලබන්නේ....

උපහාර උත්සව කතාවත් වැදගත් -

ගුරුමැණිවරුනි, ඔබේ අතින් මේ ආශිර්වාදාත්මක උපහාර ලබන්නෙ අපේම සොයුරියො, මේ සඳුනි නංගි වැඩ කරද්දි අපට හිතුණෙ නැහැ...එයා හය වසරෙ කියලා...ඒ තරම් අප සමඟ උරෙන් උර ගැටෙමින් වැඩ කළා...රු 9000 ක වෙළඳ දැන්වීම් අපට හොයලා දීලා...අපේ කථක සංගමයට ලබා දුන්නෙ සුළු පටු උපකාරයක් නොවෙයි... ආදරණීය නංගියේ ඔබට ගොඩක් ස්තූතියි...ඔබේ මේ උනන්දුව මේ විදිහටම ඉදිරියට ගෙන යන්න..මේ වගේ අනාගත පරපුරක් සිටිද්දී පාසලේ අනාගතය ගැන අපි බිය විය යුතු නැහැ ගුරු මැණීවරුනි...
අද මේ උපහාර ලබන සියලු දෙනාම...සෙසු ඔබට ආදර්ශයක්....ඔවුන් මේ වටිනා ලෙස පිදුම් ලබන්නේ ....මේ අනගි තෑගි ලබන්නේ...ඔවුන් වසරක් පුරා කළ ඒ අපූර්ව මෙහෙයට ලබන ධෛර්යක් ලෙසයි...වැඩ කරන්න නංගියේ...සතුට ලබන්න....මෙසේ පිදුම් ලබන්න ඔබත් වැඩ කරන්න..

ධෂිකාගේ හඬ සභාව පුරා නින්නාද වෙද්දී අරුණි රූප රාජිණියක පරිදි ත්‍යාග බහාලු මංජුසා රැගෙන ශ්‍රීමති මිස් පසෙක සිට ගෙන සිටී. තෝරාගත්තෝ ත්‍යාග ලබති...සෙස්සෝ ඉරිසියාවෙන අත්පොලසන් දෙති.ලබන වර තෑග්ග ලබන්නෙමයැයි ප්‍රතිඥා දෙති....අවසන සභාපතිතුමිය තෙක්ම මිස්ගෙන් මැඩම්ලා ඉදිරියේ වැඩ්ඩෝ උපහාර ලබා අවසන...අරුණීද උපහාර ලබති....

සියලු දෙනා නිවෙස් වලට ගොස් ත්‍යාගය දිග හරිති....



තේ බොන මග් රාජයා



කිසිවෙක් මෙතෙක් දොස් නගා නැත. වැඩ නොකර සිටියේද නැත..උනන්දුව අඩු වූයේ නැත...වසර ගණනකට මෙම තෑග්ග වෙනස් වූයේද නැත.මෙය කිසිඳු විහිලුවකට ලක් වූයේද නැත...අපගේ සතුට අඩුවූයේ ද නැත... අපේ ගෙදරත් මේ වන විට මට ලැබුණ 10ක් පමණ ඇත...


ප.ලි - දැනට නිවසේ සියලු දෙනා තේ බොන්නේ මම වසරක් වෙහෙසී ගෙන ආ උපහාර වලය

ප.ප.ලි - තවත් උපහාර කිහිපයක් වීදුරු අල්මාරියේ තිබේ.

ප.ප.ප ලි - උපහාර සියල්ලම බොරැල්ල පේමන්ට් එකෙන් ගත් ඒවා නිසා වසරකට තවත් මේවා 11 ක් ගත් ඕනෑම අයෙකුට දුසිමක්  නිර්මාණය කරගත හැක..


අපි අපූරු නොවේද?

1/2/12

2011 සහ මම


2010 වසර නිමා වූයේත් 2011 වසර උදා වූයේත්, අවසන 2011 වසර අවසන්ව 2012 ලැබූවේත් ඉතාම ඒකාකාරීවය..යන්න මගේ අනුවය...2010 නිමා වද්දී මම රාවයෙන් වැඩ ඇරඹි අතර එහි 2011 සැප්තැම්බර් මස තෙක් සේවය කළෙමි.පසුව කැමිලස් ආයතනයට සම්බන්ධ වූයෙමි..... දැන් මම එහි සේවය කරමි.කාර්ටූන් නිර්මාණය කිරීමටම දැන් දවසේ වැඩි හරියක් ගතවේ.

පසුගිය වසර තුළ යාපනයට විනෝද චාරිකාවක් ගියෙමි.එය විනෝද චාරිකාවකට වඩා දිගු බස් ගමනක් සේ හැඳින්වීම ගැළපෙයි.මන්ද යත් බොහෝ තැන් දැක බලාගන්නට වූයේ බස් එකේදීය. එය වැඩිහිටියන්ගේ විනෝදය පිණිස හේතු වූවක් මිස...දැන ඉගෙනීමට,අපේ ක්‍රමයට වූ එකක් නොවිණි... බසයෙන් බහින මොහොත තෙක් මා බලා සිටියේ එක දිගට මහ හඬින් වාදනය වූ රේඩියෝ සංගීතයෙන් මිදීමටය.එය වැදගත් ට්‍රිප් එකක් නොවේ...මම ජීවිතයේ ට්‍රිප් ගොස් ඇත්තේ අතක ඇඟිලි තරමට අඩුවෙනි...ඉන් එකක්වත් මට ආසා විදිහේ ඒවා නොවිණි...අනවශ්‍ය රැකවරණය මාව පීඩාවට පත් කිරීම මේ වසරේදීත් සිදු වී ඇත.

පොත් කියවීම අඩුවී ඇති වසරක් ලෙස 2011 හැඳින්විය හැක.නමුත් සිතිවිලි උත්පාදනය වැඩියෙන් සිදුවිය...සැලකිය යුතු බ්ලොග් පෝස්ට් ගණන සෑහෙන්න අඩු වූවත් මම මුහුණුපොතේ සෑහෙන්න කවි, කතා, සිතිවිලි,නිර්මාණ,ඡායාරූප ,චිත්‍ර ඉදිරිපත් කළෙමි.

පසුගිය වසරේ මට වසර විසි එකකට පසු මා සිතූ ආකාරයේ ගුරුවරයෙක් ලැබිණි. ඒ ගුරුවරයා නිසාම අදටත් මම තනිව ඉගෙන ගනිමින් සිටිමි.

2011 වසරේ අධ්‍යාපනික අවශ්‍යතා මත මට කෙටි චිත්‍රපට තුනක් හා වැඩසටහනක් කිරීමට දායක වීමට අවස්ථාව ලැබිණි.ඒ හතරේම තිරපිටපත් හා අධ්‍යක්ෂණයට දායක වීමට මට අවස්ථාවක් ලැබිණි.රඟපෑවෙමි.

මට මගේ අනාගත සැමියා මුණගැසිනි..(පෙම්වතා යැයි කිව නොහැක්කේ ප්‍රේමය කිරීමට තරම් කාලයත් ....අවකාශයත්...භූමියත් මේ වනතෙක් . ලෝකය විසින් අපට ලබා නොදෙන බැවිනි..සැම අතින්ම අධ්‍යාපනය,රුකියාව,ප්‍රදේශය හා පවුල විසින් සිරකොට ඇති බැවිනි..)

මම ගිය වසරේ ගත කළ ප්‍රීතියෙන් ගතකළ දිනක් වේද...ඒ සියලු දින වල තාරක අයියා මා අසල විය.

ඒකාකාරී බවක් ගත්තද, එය බොහෝ දේ සිදුවූ වසරකි..... කෙටියෙන් අනුපිලිවෙලින් ගත් කළ

  1. රාවයෙන් සේවය ඇරඹීම
  2. රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණ ඩිප්ලෝමාවක් නිම කිරීම (අධි සම්මාන ලැබීමි...විශිෂ්ට ගැනීමට ලකුණු පහක් මදි විය.)
  3. කෙටි චිත්‍රපට 3ක පිටපත් ලිවීම.අධ්‍යක්ෂණය [නාමිකව 1 යි -නිර්නාමිකව 2 යි {වෙන අයගෙ නම් දැම්මා..කණ්ඩායම් වැඩ නිසා}
  4. බහු මාධ්‍ය කුසලතා ඩිප්ලෝමාවක් ලැබීම.
  5. ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදනය හදාරමින් සිටින මේ මොහොතේ මගේ අවසාන නිබන්ධනයට කෙටි චිත්‍රපටයක් කිරීමට  සූදානම් වීම ඇරඹීම
  6. කවි නිර්මාණ කිරීම ඇරඹීම.
  7. චිත්‍ර ඇඳීම ඇරඹීම
  8. කෙටිකතා හතරක් පමණ රචනා කිරීම
  9. පළමු නවකතාවට නිමිති එක් කිරීම ඇරඹීම
  10. බ්ලොග් පෝස්ට් 37ක් රචනා කිරීම
  11. සිංහල භාෂා පර්යේෂණ විධිමත්ව ඇරඹීම.
  12. පළමු ගී පද රචනාව ගායනයට සම්පාදිත වීම.
  13. මගේ අනාගතය පිළිබඳ විශේෂම තීරණය වැඩිහිටියන් විසින් ගැනීම
  14. මම කාර්ටූන් නිර්මාණය මගේ මෙකල වෘත්තිය ලෙස තෝරාගැනීම.
  15. මම ඉරට ආදරය කිරීමට පටන් ගැනීම.
  16. මට මගේ නොවූවත් මගේ යැයි සිතිය හැකි සොයුරන් දෙදෙනෙක් හමුවීම.

ඒකාකාරී වුණාට හුඟක් දේ වෙලා නේද?

කොහොම වුණත් පෙර කළ වැරදි නැවත නොකර යහපත් දේ කරන්න හිතා ගන්නට දැන් කාලය එළඹ තිබේ.

2011 ලොවට මෙන්ම මට ද බොහෝ දේ සිදු වූ, බොහෝ දේ ලැබුණු, බොහෝ දේ අහිමි වූ වසරක් විය.

[මේ ලිපිය ලියන්නට සිටියේ 31 වනදා වුවද නොසිතු පරිද්දෙන් අන්තර්ජාල හා දුරකථන සබඳතාද බිඳ වැටුනු නිසා සියල්ල ඇණ හිටිණි. තවමත් නිවසේ දුරකථන හා අන්තර්ජාල වැඩ නොකරන අතර එය යථා තත්වයට පත්වන තෙක් ලිපියක් ලිවීම පමා කළ නොහැකි බැවින් අලුත් අවුරුදු වැඩ කටයුතු අස්සේ ලිවීම ආරම්භ කළෙමි.]

2011 වසර මට මහා පුදුම වසරක් විය. සිතූ බොහෝ දේට සාපේක්ෂව සිදුවූ නොපැතූ දේ සංඛ්‍යාව සැබවින්ම වැඩිය. එහෙත් ඉන් සමහර දේ නරකටද, සමහර දේ හොඳටද ,සමහර දේ දෙපැත්තටමද බලපෑව බව මතකයේ ඇත...( ඒ සාමාන්‍යයෙන් කෙනෙක් සිතන ආකාරයට අනුව ය.)

මම අදහන ආකාරය අනුව, සියලුම දේ සිදුවන්නේ විය යුතු හොඳම පිළිවෙලටය. අපි යමක් එසේ සිදුවීම ගැන වරෙක දුක් වුවද, එයම අපේ සතුටට මතු දිනක බලපවත්වන වග මගේ ප්‍රබල විශ්වාසයයි.

වැඩ කරන ආයතනයේ සිටියත්, කැම්පස් එකේ හිටියත්, වෙනත් පන්තියක සිටියත්,මම රෝහලේ හිටියත් , සිතන්නේ ඒ ලෙසයි.

කිසිම මිනිසෙකු ගැන ඒ ඒ මොහොතේ මගේ හිත තුළ යම් තරහක් හෝ ඉරිසියාවක් හෝ පළිගැනීමක් ඇතිවිය හැකිය. එහෙත් එය වහාම නැති වී යාම ඊට ඉක්මනින් සිදු වන දෙයකි.මම වගේ ක්‍රියා කිරීමට අනෙක් පාර්ශවය බොහෝවිට කැමති විය හැක. එමෙන් අකමැති විය හැක. එය මට කොයිතරම් අදාළ වුවද, මම එය දණහිසින් පහලට ගණන් නොගන්නේ, මගේ හා මා තදින් ළබැඳියන්ගේ ගැටළු හදවතට ගත යුතු බැවිනි.... ඉන් උඩට කිසි ගැටළුවක් ගෙන යෑමට මගේ සූදානමක් නැතිවා මෙන්ම, මතු මතුත් එයම අනුගමනය කිරීමට කැමැත්තෙමි.

මා තේරුම් ගත නොහැකි ලෝකය මට සිනාවෙන තාක් මම ලෝකයට සිනාසෙමින් සිටිමි.....නමුත් මියෙන තුරු මම ලොවට ආදරය කරමි...අඩු වැඩි වශයෙන් මිනිසුන්ට බොහෝ සේ ආදරය කරමි...ඒ මනුෂ්‍යත්වය යනු ලොව ප්‍රබලම බැඳීම බව මගේ ගුරුවරයා මට උගන්වා  ඇති හෙයිනි...



සයිබර් සැණකෙළියෙදී.......


 මම ෂෝර්ටි ෆිල්ම් එකේදී..........



 කෝච්චියෙ මම ගිය දවස......



දැන් ඉතින් 2012 වසර පැමිණිලා....බලාපොරොත්තු ප්ලෑන් කරන්න සතියක් ඕනේ..!!!