11/26/11

රික්තය | කඳුළට පෙර (කෙටි කතාව)


ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න පටන් ගත්තා. පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම හුස්ම ගුලිය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ මට තේරුණා. ඔව් .. මගේ ආත්මය දැන් මම ඉස්සරහ . මගෙ දිහා බලාගෙන ඉන්නවා.. 

 
"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම හයියෙන් කෑ ගැහුවා.

"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි. එහෙත් අව්‍යාජයි. මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්. ඇය මා එක්ක හිටියෙ පුදුම තරහකින්...

"ඇයි උඹ ඩිංගක්වත් මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ, කිසිම බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා නැහැ.  ඒ අතින් ගත්තම මේතරම් කල් ඇය මගෙ ළග හිටිය එක ම  ලොකු දෙයක්...

පුංචි කාලදි  ඇයට ඕනේ වුණා සහෝදරයෙක්.. මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...
ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න. මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...
ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි.  මගේ වටේ හිටි අය.. මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි කළේ.. අද වනතුරුම.

මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න සිද්ධ වුණා.. 

හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති. හදවතින් විඳවන්නත් වුණා.
අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක්....ඇගේ ගෙදරට.
අවුරුදු හයේ ඉඳන් අවුරුදු විසි හතර වෙනකන් ම ඇය රොබෝවරියක් වුණා. ඇගේ ගුරුවරුන් සහ සම වයසෙ ඇයගේම යාලුවො කියලා ලෝකය විසින් නියම කර තිබූ අයට.  
විසි එකේ ඉඳන් මේ වෙනකන් ඇය මෘදුකාංගයක්. (ඒ ඇ ගේ පෙම්වතාට හෙවත් පසු කාලීනව ඇගේ සැමියාට..සැමියාගෙ අඩිපාරෙ ගිය දරුවන්ට.

මම මගේ ආත්මය ඇතුළෙ ගුලිවෙලා දුක් විඳපු අහිංසක ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපී ගැහැණියක්“  කියලා මට හිතුණා. ඒත් එහෙම වුණා නම්,
මම අවිනීත දැරියක්. අකීකරු සිසුවියක්.චපල පෙම්වතියක්! පති වෘත්තාව කෙළසු ගැහැණියක්, නින්දිත මවක්.. කොටින්ම ගණිකාවක්...

මම මේ ඔක්කොම ඇයට කියා ගෙන කියා ගෙන  ගියා.
ඒත් මගේ ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..

මම වේදනාව උහුළගෙනම ඇයට කෑ ගැහුවා.


"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි..

මහත්තයාගෙ තත්වෙට හොඳයි. දරුවන්ගෙ අනාගතේටත් හොඳයි. වහ බිව්වා. එල්ලිලා මැරුණා කිව්වොත් ඒ  අයට නරකයි.  අනික හැමොම කියයි මේ වාසනාවන්ත මරණයක් කියලා. දුක් නොවිඳපු මරණයක් කියලා..

එක අතකට ඔවුන් හරි.


 "මරණය ජීවත් වීමට වඩා පහසුයි".ඇයට මම පහදන්නට පෙර ඇය මගෙන් සමුගෙන ගිහින්. යන්නම ගිහින්.
වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි. ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...



මම ජීවිත කාලයක් අඬපු මහන්සිය සදහටම අමතක කරන මොහොතට දැන් ඇවිත් ඉවරයි..සියලුම හැඟීම් අමතක කරන සුන්දරම මොහොත.මම රික්තයක්..
_________________________________________________________________________________
ප.ලි
සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

11/8/11

බිලියන හතේ හීන


පුවත් පත් වාර්තාවක්
අද රාත‍්‍රි දොළහට ලෝක ජනගහනය බිලියන හත ඉක්මවයි.
එබැවින් අද මධ්‍යම රාත‍්‍රියේ ඉපදෙන දරුවා හෝ දැරිය
බිලියන හතේ දරුවා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
ප‍්‍රකාශයට පත් කර ඇත. ප‍්‍රබල  රටවල් රැසක්
තම රටට බිලියන හතේ පළමු පුරවැසියා ලැබීමේ කීර්තිය
අත්කර ගැනීමට සීරුවෙන් සිටින අතර.....

විද්‍යුත් නාලිකාවක් 
Voice -
බිලියන හතේ බබා ඇත්තටම කවුද?
පිලිපීනෙ කියන්නෙ බබා ලැබුණෙ ඒ ගොල්ලන්ටලූ ,
ඉන්දියාව කියනවා බිලියන හයේ බබා වගේම හතේ බබත් එයාලාගෙලූ .
ලංකාවෙ අපිටත් ලැබුණා බිලියන හතේ බබෙක්..
අම්මාගෙයි බබාගෙයි දෙන්නගෙම සුව දුක් බලන්න
අපේ අති ගරු ජනපති තුමාගේ ආර්යව ආවෙ මෙන්න මෙහෙම...
VTR

රෝහලේ ඒ මොහොතේ සිටි, 
තවම තම දරුවා මෙලොව එළිය නොදුටු ගැබිණි කාන්තාවක් 
තම සැමියාට

අපරාදෙ.. තව ටිකක් ඉක්මන් වුණා නම්, දරුවාගෙ වාසනාව තමයි.
තෑගි කන්දක්නෙ ..
අනික හොඳ ඉස්කෝලයක් වුණත් ලේසියෙන් ම අරගන්න තිබ්බා.
ඉස්සරහට  ඕවනෙ අනේ ප‍්‍රශ්න..
අපි මේක කලින් දන්නෙ නැහැනෙ.නේද?..
කලින් දන්නවානම් මෙහෙම වෙන්නෙ නැහැනෙ.

පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශයක්

අම්මේ මම තමයි බිලියන හත්වෙන්නා.
ඒත් මාව කවුරුවත් දකින්නෙ නැහැනෙ.
මට තෑගිත් නැහැනෙ.
ඒ මෙතන ගොඩක් කලූවර හින්දාද අම්මෙ..
ඇයි අම්මෙ මෙතන මේ තරම් ගඳ..
හුස්ම පපුවට වැටෙද්දිම හිර වෙනවා වගේ මට දැනෙනවා අම්මෙ..
මොනා කරන්නද අම්මෙ ලෝක ජනගහණය ආයෙ එකකින් පහළ බහිනවා..
එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
බඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

ලෝක ජන ගහණය බිලියන හත  අභිබවා ඇති බව
මේ වන විට ප‍්‍රකාශයට පත් වී ඇති වුවද,
ලෝක ජනගහනය
බිලියන හත ඉක්මවන්නේ 2012 වසරේ මාර්තු මාසයේ බව
මේ වන විට එක්සත් ජාතින්ගේ ජන සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.
දැනට ලොක ජනගහනය බිලියන 6.9 රැඳී තිබෙන අතර
එය බිලියන හත දක්වා වර්ධනය වීමට
ඉදිරි මස කීපය ගත වන බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි.

11/4/11

අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)


ජනේලය ඇරියාම උදේ පාන්දරම එන හීතල සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට බෝඩිං කාමරයටම තිබුණෙ එකම එක දොර පලූවක් විතරයි. හරහට වැටිච්ච රීප්ප හිල් අස්සෙන් හිරු එළිය ඇවිත් ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ හීන් ඉරි කෑලි වගේ..

ඊයෙ රෑ බත් කද්දි සිමෙන්ති කුහර අස්සට වැටුණු බත් ඇට තුන, හතරක්, නිදි මතේ කොස්සට මඟ ඇරිලා..
දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට..

මම දැන් තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එකත් නැති වෙන්න, ජීවිතේම මහා පාලූවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා අවුරුදු දෙකක්... ඇත්ත නම ශ‍්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සමනළී කියලා.. මේ දවස් වල ජනප‍්‍රියම නමක් නිසා රික්වෙස්ට් කෝටියයි..

වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැනෙ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසා මඟුල් යෝජනා තුනක්ම ආවා....

අක්කටත් ගමේ ගියාම කියන්න  ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ.....අනික හරියට කාව හරි අල්ලගත්තොත් පරම්පරාවම ගොඩ... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලූවා. මාව දකින්න ආසලු . කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවරයි. මම ඒ හින්දාම ලයිබ්‍රියට එන්න කිව්වා..අද නම් තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න වෙයි.. හිතයි මම තාම ඉගෙන ගන්නවා කියලා.. හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලූනෙ...පෙනුමට බර අත්තක්


මම නැගිට්ටා. දොර අගුල පැන්නුවා.. පයිප්පෙ ළඟ පෝළිමට ටින් බෙලෙක්, තීන්ත බාල්දි, කෑන්..

කපුටො රංචුවක්  ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

අර හවසට එනවා කීව කෙනා හාඞ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත‍්‍රීවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් වෙනවා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...

ඒ හිතිවිල්ලත් එක්කම විසාකා ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ  නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා උදේ කෑමත් නැතිව ගාටපු  ඒකීගෙ ඇස් ආවේ සිංගල් ඇඳ බදාගෙනමයි.

”අන්න ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. සුපයිසරය කිව්වා.. අද උඹට හත වෙනකන් වැඩ කියලා.. අපේ වැඩ තමා පහට ඉවර”

ඇගේ මුහුණෙ තිබ්බෙ අනුකම්පාවක්ද, ඉරිසියාවක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, අද මට හිතපු ගමන යන්න වෙන්නෙ නැති වග විතරක් තේරුම් ගියා.සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා.

මම ආයෙත් උලූවස්සෙන් එපිට බැලූවා.. ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.



--------------------------------------------------------------------------------------------

ප.ලි

සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)