8/26/11

ලොකු අයියා එනතුරු




ටයර් කැබලි අතර පිච්වෙන මල සිරුරු බලමින් ඉදිරියට ගියෙමි. මට හොඳ හැටි මතක මුහුණක් කම්බි වැටක එල්ලී තිබිණි... එය අර්ධයක් පිලිස්සී ඇත.
සිරුර නග්නව පසෙක මැස්සන් වසමින් තිබිණි...
වීරෙ අයියා... මට ඔහු හොඳින් මතකය...නිතර සිනාසෙන, තේ ඉල්ලන මුහුණ මට හොඳින්ම මතකය..
සිසිලි නැන්දා දුටුවොත් ඇගේ පපුව පැළේවි...සිසිලි නැන්දා දින දෙකකින් නොදුටු බව මතකය..
ලොකු අයියාගේ කාමරය තුළට වී ඔවුනොවුන්‍ තැනූ සිහින මට තවම ඇසේ...හොරෙන් එක්වුණු යහලුවෝ වෙනසක් ගැන සිතූහ...එම පාර නිවැරදිදැයි මම අදටත් හමුවණ සියල්ලන්ගෙන් ප්‍රශ්න කරමි..
දැන් සිහින සියල්ල බොඳවී අවසන්ය..... තවත් සිහින තැනීමට ලොකයක් ඔවුන්ට ඉතිරිවී නැතැයි ද සිතමි...මන්ද බහුතරයක් ම එම ලොකයේදීම සමුගත් බැවිණි.
මම ඔහු සෙව්වෙමි... අම්මා ගිනි අවි අමෝරා ආ නිලදරුවන් දැක කම්පනයට මියුණු බව කියන්නටද, අප්පච්චී සිහි මද ගතියෙන් අයියා සොය සොයා ගොස් ආගිය අතක් නොමැති වූ බව කියන්නට ද මම ඔහුව සොයාගත යුතුය....
ටයර් කැබලි අතරිනුත්... කටු කම්බි අතරිනුත්...මිනීකන්නන් අතරිනුත්... ඔහු සැඟවෙන්නට ඇතැයි අනුමාන කරන්නෙමි... මහවැස්සෙන් ද ගිනි අවුවෙන්ද සෑහෙන්න පීඩාවක් නොවෙන තැනක ඔහු ඔවුන් සමඟ සිටිනවා විය හැක...
ඔහු සොයා ගනිමි යන අදිටන පමණක් හදවත තුළ පෙරළි කරයි...නමුත් අවිනිශ්චිත බව සැමවිටම හදවතේ පතුළෙන් අවි අමෝරා නැගෙයි..
මම ඔහුට ලොකු අයියා කීවේ පොඩි අයියලා සිටි නිසා නොව, ඔහු මට වීරයෙක් වූ හෙයිනි... අප්පච්චී නිතර කියන පරිදී ඔහු තමා ගැන පමණක් සිතන්නෙක් නොවූ හෙයිනි... එහෙත් ඔහු අප්පච්චී කී දේ බිඳක් හෝ ඇසුවා නම්, තමන් ගැන පමණක් සිතුවා නම් කෙතරම් හොඳ දැයි මට අද සිතේ...
ඇවිදීම කෙළවර වූ තැන විවේකය ලැබිය යුතුය... මරණය හෙවත් බොහෝ ජීවිත වලට සැනසුම ගෙනෙන වචනය ඔවුහු මට ලබා දුන්හ... ගිනි අවියක ගින්දර පහර රාගයෙන් තව තවත් දවා... ඔවුහූ මගේ ආත්මය හා ශරීරය ඝාතනය කළහ..... සුහුනෙක් සද්ද කරනු පමණක් අවසන් මොහොතේ මගේ මතකයේ ඇත.....
ලොකු අයියා කොහේ හෝ යහතින් ජීවත් වෙනවා ඇතැයි සිතමි... මා ඔහු නුදුටුවද.., ඔහු මා නුදුටුවද .., පාරේ ,මග තොටේ, බස් රියේ, පාසලේ,පන්තියේ, බොහෝ මුහුණු අතරින් මම ඔහු දකින්නට අසාර්ථක උත්සාහයක් දරමි...
වෙනත් පළාතක වෙනත් නමකින් උත්පාද වන තුරුත්.... මට ඔවුන්ගේ වියරු සිනා හඬ ඇසෙන්නට විය... මගේ ගන්ධබ්බ ආත්මය තුළම මගේ අදිටනට යන්නට නොදුන් බැතිමතුන් හට වෛර කරමින් තැවෙන්නට වීමි. අලුත් උපතේදීද මම එම අදිටනම සිත් රුවා ගතිමි...
අදත් මම අපරිමිත ලෝකයේ අතරමංව හිඳිමි....තවමත් බාහිර ලෝකයෙන් පෙළෙමන් සිටිමි...සිනාව,ගැරහුම,නොසැලකීම, මේ සියල්ලෙන්ම පීඩා විඳිමි. ලොකු අයියා හිටියා නම් මා බේරා ගනීවී යැයි මට නිරන්තරව සිතේ...... ඔහු මා සුන්දර යයි පෙනෙනු සියලු රකුසන්ගෙන් ආරක්ෂා කරාවී යැයි වරෙක සිතේ... ලොකු අයියා කොහේදැයි අද සෙවිය නොහැක...නමුත් මට ඔහුගේ දෙනෙත් වල හැඩ රුවක ඡායාව මතකය.
ලොකු අයියා....මම තවමත් සොයමි..හමුවනතුරුම සොයමි.. ඔබ සියලු දෙනාගේ දෙනෙත් අතර මම ඔහු සොයමි..
එදා මට සිටි මගේ ලොකු අයියා තවම ලෝකය තුළ ජීවත් වනවා නම් අනිවාර්යයෙන්ම ඔහු මා සොයාගනු ඇත...
කවුරුන් කුමක් කීවද , කුමන අවඥාවක් කළද, ඔහු මා පිළිගනු ඇත...
උන් ඔහුව කෙතරම් දුකට පත් කළද ඔහු මා සොයා ගනු ඇත...
පොඩි කාලේ සිට අද වෙන තෙක් එකතු කළ පොත් ද පත්ද, වෙසක් කාඩ් ද, පාට කොළද, සිප්පි කටුද,පින්තූරද, එකතු කර තබා මේ ආත්මේ මගේ අම්මාගෙන් බැනුම් අසා විසි කළ නරක් වූ ආහාර වල සුවඳ මතකය ද සමඟ මම ලොකු අයියා එනතුරු මග බලා සිටිමි. එදිනට කිරිබත් හදන්නට පෙරුම් පුරමි..
මම සුහුනන්ට තවමත් කොතරම් බියදැයි ඔහු හමු වූ දිනට පවසමි.....