6/27/10

යතාර්ථය , ෆැන්ටසිය හා හෘද සාක්ෂිය



ඔබ මේ යුගයේ නවකතා එකක් හෝ කියවා ඇතයි, මම විශ්වාස කරමි.මේ යුගයේ ටෙලි නාට්‍ය එකක් හෝ දැක ඇතැයි විශ්වාස කරමි. මා හට මේ ලිපිය සඳහා වස්තු බීජය සපයන්නේ මා වැනිම සොයුරියන් දෙදෙනෙකි.මම දින දෙක තුනකට පෙර බීම බෝතලයක් බීමට කඩයකට ගොඩ වැදුණෙමි.කඩයට හදිසියේ දිව ආ ඉහත කී සොහොයුරියෝ දෙදෙනා..සතිපතා පළවන නවකතා සඟරාවක මංගල කලාපයත්, දෙවන කලාපයත් ඉල්ලා සිටියෝය.මංගල කලාපය විකිණී අහවර බව කණගාටුවෙන් පැවසූ වෙලඳ මහතා ,දෙවන කලාපය ගන්න යැයි ඔවුන්ට කියා සිටියේය.ඉන් සෑහීමකට පත් නොවූ සොයුරියෝ..සඟරා ද්විත්වයම එකම ස්ථානයකින් සොයා ගැනීමට හැකි වෙතැයි සිතා වෙනත් කඩයකට ගියෝය.


යුගයේ ජනප්‍රියම නවකතා කරුවෝ බොහෝ වෙති...යුගයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කරුවෝද, චිත්‍රපටි කරුවෝද එසේමය. ඒවා නව රැල්ලේ කතා පුවත් යැයි සමහරු කියති..ඒවා මෙ ලෝ තලයේ සිදු නොවිය හැකි කතා පුවත් බව තවත් සමහරු කියති.කොයි කොහොම වෙතත් ඒවා ඉතා ඒකාකාරී බව පමණක් මම දනිමි....


මම නවකතා බොහෝමයක් කියවා ඇත්තෙමි..ටෙලි නාට්‍ය බොහෝමයක් නරඹා ඇත්තෙමි..චිත්‍ර පටද නරඹා ඇත්තෙමි..ඒවා කියවන මොහොතේද , නරඹන මොහොතේද අප සුන්දර ස්ථනයකට ගෙන යනු ලබයි...නමුත් අවසානයේ ඒ සාහිත්‍ය කෘතිය හෝ වීඩියෝ පටය තුළ සංවාදයකින් හෝ ආත්ම කථනයක් තුළින් රස විඳීමට යමක් ඇත්දැයි මට සිතුණු වාර අනන්තය...එකම වස්තු බීජ වළ, ස්ථාන හා නම් ගම් වෙනස් වී, සිධ්දීන් ගොඩ නැගීමක් පමණක් ඒවා තුළ තිබෙන බව ටික දුරක් කල්පනා කිරීමේදී පහසුවෙන් හැඟී යයි..


මේ යුගයේ ජනප්‍රිය නව කතා වල, නාට්‍ය වල, චිත්‍ර පට වල, ආදරය කරන්නේත් ආදරය ලැබෙන්නේත් එකක්ම කොටසකට අයත් වූ පිරිසක් පමණි.ආදර ලබන ගැහැණු ළමයා ලස්සන විය යුතුය.ඒ ලස්සන තුළ පහත සඳහන් ලක්ෂණ අන්තර්ගහ විය යුතුය.ඇය සුදු,පැහැපත් ,පුංචි, කෙට්ටු සහ සුන්දර කෙස් කළඹක් හිමි ගැහැණු රූපයක් විය යුතුය.....ආදරය කරන්නත්, ආදර ලබන්නත් ඔවුන් ට එය ප්‍රධානම සුදුසු කමක් වෙයි....


මෙය මම ලේකඛයන් බොහෝමයකගේ දකින් දුර්වල කමකි...ලස්සන යන්න සාපේක්ෂය...නමුත් යුගයක ලස්සනට අර්ථකථනයක් , එම යුගයේ සාහිත්‍ය හා කලාව විසින් ලබා දුනහූත් ඒ ලස්සන යැයි සම්මත වන කුලකයට අයත් නොවෙනා සර්වත්‍රයට සිදු වන්නේ කුමක්ද?


මා ගිය පන්ති වල, පාසල් වල කලු , මහත, ලස්සන හිස කෙස් නැති,ගැහැණු දරුවන්ට පිරිමි ළමයින් මෙන්ම ගුරුවරුන්ද අවඥාවෙන් සිනා සුණු අවස්ථා බොහෝ වෙති..වැදගත් කෙනෙක් පිළිගන්නට ඔවුන් කවදාවත් ගෙන යනු නොලබයි....ඔවුන්ට දිවියේ සොඳුරු අවස්ථා බොහෝ මඟ හැරී යයි..එය මම නිරන්තරයෙන් දැක තිබේ..ඔවුන් තුළ සිටින්නා වූ ආදරවන්තියට සමාජයේ ඉඩක් ලැබෙන්නේ කවදාදැයි ඔවුහූ නොදනිති.එක අතකින් මෙය සිතිවිලි වලින් කෙරෙන්න වූ දූෂණයකි..ලස්සන යැයි සම්මත කර ගත් දරුවන් වෙත ඉහත කී කැත යැයි සම්මත දරුවන්ගේ තරහව එල්ල වෙන්නේත් මේ හේතූ නිසාමය.


පිරිමි ළමයින්ටද මෙම තත්වය මේ අයුරින්ම බලපෑවත් කලා කරුවෝ මෙන්ම කලා කාරියෝද බොහෝ විට පුරුෂ පක්ෂයේ ලස්සන පිළිබඳ ස්ථිර නියමයන් ප්‍රකාශ නොකරති...


යුගයේ ලස්සන යැයි සම්මත කළ ලස්සන සොයා යෑමට බොහෝ කාන්තාවෝ සහ දැරියෝ වෙර දරති.අඩියක් අඩියක් පාසා පිහිටි බියුටි සැලෝන්ද, ව්‍යායාම ස්ථානද, එක එක වර්ගයේ සුදු වෙන ක්‍රීම් වර්ග ගැන කියවෙන වෙළඳ දැන්වීම්ද මෙයට හොඳම උදාහරණ සපයති.


ඉහත කී අයත් තම ආර්ථික වාසි නිසා මානසිකව අසරණ බවට පත් මේ අය තව තවත් ගොනාට අන්දති..වෙළඳ දැන්වීම්කරණය ඉගෙන ගන්න සිසුවියක වශයෙන් මම දන්නා කරුණක් ඔබට කීමට කැමැත්තෙමි...ඔය ඔබ ලස්සනට දකිනා ක්‍රීම් වර්ග වල පැකට් වල පෙනෙන්නට තියෙන සුදු වීමේ පියවර සියල්ල පරිගණකයෙන් ( පොටෝෂොප් ) ආධාරයෙන් නිර්මාණය කළ ඒවාය. වීඩියෝ වෙළඳ දැන්වීම්ද එවන්ම ඉෆෙක්ට්ස් භාවිතයෙන් කළ ඒවාය....ඒ මවා ගත් ලස්සන තුළ සිදුවන වෙළඳ දැන්වීම් කරණයට හසු නොවන මෙන් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


සුද්දියෝ කලු වර්ණයට කැමති නිසා අවුව තැපීමට අපේ රට වලට එති. අපේ ඈයෝ සුදු වීමට කැමති නිසා නොයෙක් ක්‍රීම් ගාමින් සිටිති.කෙට්ටු වීමට ජිම් යති...පුංචි වයසක් පෙන්වීමට බෙහෙත් ගනිති.එපමණක් නොවෙයි...වයසින් බාල අයට අක්කා , අයියා කියති..යුගයේ ජනප්‍රිය සාහිත්‍ය කරුවෝ ද ,නාට්‍ය කරුවෝද ,චිත්‍රපට කරුවෝද,මේ මෝඩ ඔලු ගෙඩි සෑදීම පසෙක ලා මේ අගාධයටම වැටීමට තව තවත් උල්පන්දම් දෙති. ජන මාධ්‍ය වුවද මීට වඩා සුභ සෙතක් ඇති නොකරයි...ඔවුන් ද ඒ කාරියමය..මුදල් මත දුවන සමාජයේ ඔවුන් ද මොවුන් අන්දති.
මේ නොමග ගිය ඔලු යතාර්ථයෙන් පුරවනු වෙනුවට,...මෝඩ වූ , ෆැන්ටසියක හීන දකිනා මිනිසුන්ට සාහිත්‍ය ද ජනමාධ්‍ය ද සහෘදයෝ වී ඇත...


ඉතින් අප ගොඩ ගත යුතුව ඇත...යුගයේ සාහිත්‍යද, මීඩියාවද අනාගත පරපුර ගිලගැනීමට පෙර හිස් මොළ පිරවීමේ කැරැල්ල අප තුළින්ම ඇරඹිය යුතුව ඇත.

6/26/10

පිනි මල් කඳුළක් ( අවසන් කොටස )

අපේ අයියාගේ ජීවිතේ ගිනි ගොඩක් කරපු සමනළී ඇවිත්....මට ආපු තරහට එයාව මරන්න හිතුණා. ඒත් පස්සෙයි මතක් වුණේ එයත් දැන් ලෙඩෙක් කියලා.හුඟක් දරුණු ලෙඩෙක් කියලා. මට දුකත් හිතුනා. ඔය අතරේම අයියාව ලස්සනට අන්දලා අරන් ආවා. පොඩි අයියා අද හරිම ලස්සනයි. මනමාලයෙක් වගේ. මට හිතුණේම එයාට නින්ද ගිහින් කියලා. එයා ලඟටම වෙලා මම හිටියා.... හෙල්ලෙන්නෙවත් නැතුව. මට බය හිතුණා කවුරු හරි ඇවිත් අයියාව අරන් යයි කියලා..... අපි කාටවත් කෑමක් තිබ්බෙවත් නෑ....දුක ටම ඇඟවල් වේලිලා ගිහින්.....

අපි හැමෝගෙම කඳුළු මැද්දේ පොඩි අයියා වළ දැම්මා.ලොකු අයියා හිටියෙ බලා ගත්තු අතේ බලාඅ ගෙන..බය වෙලා වගේ...එක පාරටම හත් දවසෙ දානේ දවසෙ එයා මහ දරුණු දෙයක් කිව්වා....ලොකු අයියා කිව්වා. එයාට මේ ගෙදර තවත් ඉන්න බෑ.. එයා කොහේ හරි යනවා කියලා.

අපිට වුනත් ඒ ගදර ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ නිසා අපි ඒ ගෙදර ඉක්මනට විකුනුවා. විකුනලා හැමතැනටම කිට්ටු පුංචි ලස්සන ගෙයක් ගත්තා. මේ හැම දේකටම දෙනෙත්ගෙන් ගොඩාක් උදව් ලැබුණා....


ඔය අතරෙදි අයියාට පුදුම සතුටු හිතෙන දෙයක් වුණා. ඒ තමයි සමනලී අයියාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ඒකට සමනලී ගේ ගෙදරින් විරුද්දයි. ඒත් අයියාට ඒවා ප්‍රශ්නයක් වුනේ නම් නෑ.ඔන්න ඔය අතරෙදි අපේ පොඩි අයියාගේ අවුරුද්දේ දානෙත් පහු වුනා...

අයියා මේ වෙනකොට කැම්පස් තේරිලා.. මාත් විභාගෙ කරනවා....අයියා සමනලී ගැන බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන හිටියා මේ වෙද්දි....පොඩි අයියා නැති දුක තමයි අපිට තිබ්බේ...ඒ වගේම සමනළී ගේ ජීවිතේ ගැනත් හිත යට බයක් තිබ්බා. අයියා කිව්වෙ සමනළී සනීප කරනවා කොහොමහරි...කියලා.....

මේ වෙන කොට දෙනෙත් අයියා එයාගෙම කියලා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් තිබ්බා... ඒ අතරේ එයා හැමදාමත් ආසාවෙන් හිටපු පත්තර වලට ලියන එකත් කරන් ගියා..... අයියා වගේම අපේ ගෙදරත් මේ අපේ ආදරේ ගැන දැනගෙන උන්නා. ඒත් ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බේ නෑ.

ඒත් සමනළීට නම් පොඩ්ඩක් වත් අපේ අම්මලා කැමති වුණේ නෑ. එකක් එයාලාගේ සල්ලි.... අනික සමනළී ගේ මාරාන්තික අසනීපෙ.. ඒත් අයියා පිස්සු නටන නිසා කවුරුත් සද්ද නැතිව හිටියා.

ඔහොම යද්දි දවසක් මහා පුදුම දෙයක් වුණා... අයියාට හිතා ගන්න බැරි විදිහට නිර්නාමික ලියුමක් ආවා.ඒකේ තිබ්බේ සමනළීට පිළිකාවක් නැහැ. ඒක බොරුවක් කියලා. එයා කොල්ලො අමාරුවෙ දදා යන කෙනෙක් කියලා මේ වෙනකොට කොල්ලො තුනක් මාරු කරලා...නරක ගමන් බිමන් පව ගිය කෙනෙක් කියලා. මේ ලියුම ලියන්නෙත් එයාගෙ කොල්ලෙක් වෙලා හිටිය කෙනෙක් කියලා....

එයා අපේ අයියාට පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කියලා තිබ්බා...ඒ ලියුම දැකලා අපේ අයියාට පිස්සු හැදුණා වගේ වුණා. බලාපොරොත්තු කන්දරාවම බිමට වැටුණා වුණා.. දෙනෙත් කොයි තරම් එයාව සනසන්න හැද්ව්වද?...ඒත් අම්මලා නම් ගොඩාක් සතුටු වුණා.. මේ දේ නතර වුණාට.

අයියා අන්තිමේ ඉවසලා ඉවසලා සමනළීගෙන් මේ ගැන ඇහුවා..සමනළී නොහිතපු විදිහට, මහා දරුණු විදිහට අයියාට බැන්නා.....ඒක මහා කැත විදිහක්....අනේ අපේ අයියාගේ ආදරේ සී සීකඩ ගියා....පිස්සෙක් නොවුණේ අයියා මේ දේවල් බලාපොරොත්තු වුණ නිසා....

ඔහොම්මම අයියා ඒ දුකින්ම ටික කාලයක් පාලුවෙන් හිටියා..අනේ අයියා ඇදිලා ගියා...සමනළී කොහොමද මෙහෙම දෙයක් අපේ අයියාට කළේ කියලා මට හිතුණා.එයාට ලෙඩක් නැතත් , එහෙම තියෙනවයි කියන ආරංචියටවත් අපේ අයියාගේ ආදරේ අඩු වුණේ නෑ. එහෙම ත්යෙද්දි එයා කළේ මහා නපුරු කමක් කියලා මට හිතුණ...

ඔය අතරෙදී හරිම සතුටු දායක දෙයක් සිදු වුනා. අපේ අයියාගේ සිතිවිලි වලට ගැලපෙන කෙනෙක් හමු වුණා... එයාගේ නම මලිති. අපි එයාව දැක්කෙ ෆේස් බුක් වලින්..පස්සෙ දාක අයියායි මායි එයා හම්බෙන්නත් ගියා...එයා රුහුණු කැම්පස් එකේ අක්කා කෙනෙක්.. අයියාත් පේරා නිසා... දෙන්නාට හම්බෙන්න කල් නොලැබුනත් ඒ දෙන්නා හොදින්න්ම ගැළ පෙනවා කියලා මට හිතුණා. මම අම්මාට ඒ ගැන ඇවිත් කිව්වා... එයා ගැන අක්මැති වෙන්න තරම් හේතුවක් නෑ කියලා තමයි අම්මා වුනත් කිව්වෙ!!

අයියා ඉන්නේ හරීම සතුටින් අනාගතේ බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන...තව මලී කෙනෙක් ගෙදරට එනතුරු තමයි මාත් බලා ඉන්නේ.... ඒත් ඒ මලී එන්නේ මේ මලී යද්දි.....කමක් නෑ....එක සතුටක්!!!

දෙනෙත් ළඟට මම ඉක්මනින්ම යන්නයි හිතා ඉන්නේ... එයා හදපු පුංචි ලස්සන මාලිගාවට ඉක්මනට මාව එක්ක යන්න එයා බලා ගෙන ඉන්නේ.....මේ ලෝකේ ඉන්න සුන්දරම කෙනාව මට හම්බුණා කියලා....අපේ ගෙදර හැමෝම ඉන්නේ....සන්තෝසෙන්... ඒක දෙගුණ වුනා අයියාටත් ඒවගේ ආදරයක් ලැබුණ එකෙන්....මේ හැම වෙලේම හිතෙන දයක් තියෙනවා.... ඒ පොඩි අයියා ත් හිටියා නම් කියලා.....

කඳුළු කතාවක් සතුටින් ඉවර වෙන්නෙ කලාතුරකින්.. ඒත් මේ කතාව එහෙම ඉවර වෙනවා....
ඉදිරිය ලස්සනයි.....
බලාපොරොත්තු වූ අවසානයක ප්‍රාර්ථනා කළ අරම්භය......

6/20/10

බ්ලොග් කෙරුවාවේ අවුරුද්දක් ?

මම රෝස වලාකුළු බ්ලොග් එක හැදුවේ දෙදහස් නවයේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා දවසක...මේ බ්ලොග් එක හදන්න කලින් මම නීනුගේ නිශාව කියලා බ්ලොග් එකක් කළා.ඒත් ඒකට එක එක දේ කරන්න ගින්හින් මගේ අතින්ම අක්‍රීය වුණා.

ඒත් කොහොම කොහොම හරි හොයා බලාගෙන යනකොට මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදලා තියෙන්නේ....දෙදහස් නවය අවුරුද්දේ අප්‍රේල් විසි හය වෙනිදාවක.... ඒක බ්ලොග් එකක් කියලාවත් මම එතකොට දන්නේ නෑ..මගේ මෆාස් කියන නොදුටු යාළුවෙක් තමයි. මට ඒ ගැන කියා දුන්නේ... එයා කිව්වෙ.."කවි ලියන්න පුලුවන් අයට තමන් විසින්ම කවි දාගන්න පුලුවන් සයිට් එකක් ෆේස් බුක් වලින්ම හදා ගන්න පුලුවන් profile badge කියලා දෙයක් තියෙනවා කියලා.. ඒක තමයි මේ මම හදපු පළවෙනි බ්ලොග් එක... 



බ්ලොග් එකක් කියලා දැන ගෙන නීනුගේ නිශාව හැදුවේ... ගිය අවුරුද්දේ මේ කාලෙදි.. ඒ කියන්නේ..පුෂ්පා නැන්දාගේ ...මග පෙන්වීම මත...නමුත් මම කවදාටත් ආදරේ කළේ රෝස වලාකුළු කියන මේ බ්ලොග් එකටයි.අනික් ඒවා පටන් ගත්තාට වැඩි දුරක් ගියේ නෑ...මම බ්ලොග් කීපයක් රෝස වලාකුලු වලට පසෙත් අත් හදා බැලුවත්, මගේ හිත යන්නේම රෝස වලාකුළු දිහාවටමයි.

මම දැනගෙනම කරපු හරිම බ්ලොග් එක රෝස වලාකුළු.. මම එකිනකාගෙන් එකතු කරගත් දැනුම පරීක්ෂා කළේ රෝස වලාකුළු..ඒ නිසාම මම රෝස වලාකුළට ආද‍රෙයි.දැනගෙන කරපු බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් වුණත් මට වැදගත් වෙන්නේ සැප්තැම්බර් තිස් වෙනිදා රෝස වලාකුළට පිරෙන අවුරුද්දයි.....නමුත්අවුරුද්දක බ්ලොග් කෙරුවාව ගැන සිහි කළ යුතු නිසා මෙසේ ලියා තබන්නට මට හිතුණා...

රෝස වලලකුළු බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දාට බ්ලොග් එකට උදව් කරපු හැමෝ ගැනම ලොකු ලිපියක් ලියනවා...

මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහලේ විෂය නිර්දේෂයටත් නව මාධ්‍ය වෙනුවෙන් බ්ලොග් එකක් කිරීම අනිවාර්ය වෙලා තියෙනවා...ඒ නිසා තමයි...මම
සත්‍යයේ සුයාමය කියන අලුත්ම බ්ලොග් එක පටන් ගත්තේ....තාම අලුත්....හදාගෙන යනවා....

ඉතින් මම බලා ඉන්නේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා වෙනකන්!!!


6/14/10

පසළොස්වක අන්ධකාරය


මහා මෙරු දහක් ළඟ
තනි වෙනා වැලි කැටය
කොයිතරම් නොතරම් ද
කියා සිත දැන දැනම


කිසි දිනක නොම හඬමි
ඔබට පෙම් කළ පවට
දුර ඉඳන් සිනා සෙන
මම ඔබේ තනි තරුව...


සදා කල් රැඳෙන මුත්
ඔබෙ සුවඳ මා අස ම
කල්පයක පාළුවක්
කෙලෙස නිම දකින්නද?


දැනෙයි සිත් තරුව යට
ඔබේ ඉමිහිරි මතක
අද කොහොම වෙතත් එය
ඔබ නො එන හෙට දිනට


සැණින් දැහැනින් මිදී
කොයි කොහේ ගියත් ඔබ
සුළඟ වාගේම එන්න
මතක ඉසිඹුව ළඟට...

පුන් සඳ ද මඟ කියන
තරු පිරුණු රැයක් වුව
කළුවරේ මං මුලා වූ
සෙයක් දැනෙන මුත්...

කුමක් කරමිද ඉතින්
වරම් නැති කල කිසිත්
සිතන්නටවත් සිතින්
දකින්නටවත් හදින්



නිරාමිස ප්‍රීතියක
ගිල්වමින් නයන යුග
ඔබේ නෙත් දකිමි මම...
සදාතන කවක් ලෙස


ඔබ යනෙන මග අසල
පිපෙන්නට නොහැකි වද
සදා සිත ළඟම හිඳ
සතපවමි සිහිනයක....


ඔබ නොදකිනා ඔබේ
හදවතේ කොණක හිඳ
ජීවිතය රැගෙන එමි
ගවු සියක් දුරට වුව...



6/7/10

කළම්බෝ...කළම්බෝ සහ ජීවන යථාර්ථය


කළම්බෝ කළම්බෝ ........මම මුල්ම වතාවට මේ වේදිකා නාට්‍ය නැරඹුවේ ඊයේ රාත්‍රියේ.ඒ ලයනල් වෙන්ඩ්ට් හී රෑ හතේ දර්ශන වාරයේ බැල්කනියේ සීයේ ටිකට් පතකිනි.මට ඒ සඳහා විචාරයක් ලිවීමට ඇති ප්‍රධානම සුදුසු කම ලෙස මට දැක්විය හැකි මහා කාරණා නොවූවත් සුළු සුළු කාරණා මෙසේ දැක්විය හැකිය.

1. කුඩා කල සිටම කොළඹ නගරයේ ජීවත් වීම.
පදිංචිය- බත්තරමුල්ල.
2. පාසල් ගියේ පුංචි බොරැල්ලේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට
3.මෙම නාට්‍ය එක වරක් නරඹා තිබීම.
4. වයස අවුරුදු 20ක් වීම.

මා කුඩා කල සිටම බත්තරමුල්ලේ සිට මරදානට එන විට පාරේ බොරැල්ල මංසංධිය පසු වේ.මට යමක් කමක් තේරේන අවධියේදී නිර්මාණය වූ බොරැල්ල උමං පධික මාරු වීම සැබවින්ම පුදුමාකාර ස්ථානයකි. නොයෙක් ආකාරයේ මිනිසුන් මොහොතකට හමුවන , මොහොතකින් වෙන්වෙන පාරවල් දැක දැක අතරමං වන, අතරමං වී පාර සොයන මිනිසුන්ගෙන් අදටත් එය පිරී ඇත.මහජන පුස්තකාලයට යන හැම වේලාවකම පසු කර යන, බත් කන්නට ඇතුළු වන, යාළුවන් සමඟ සෙල්ලම් කරන ,විහාර මහා දේවී උයනද අදටත් බංකුවක් හුදෙකලා වනතුරු බලා සිටිනා පෙම්වතුන්ගෙන් පිරී ඇත.කුඩා කාලයේ සිට අත් දකින මේ සිදුවීමද දැන් මට හුරු පුරුද්දක් වී ඇත. බොරැල්ලේ කනත්ත මල් වලින් සරසා පෙම්වතුන්ගේ උයනක් කිරීමේ සංකල්පයට සැබවින්ම ගෞරවය හිමි විය යුතුය.නිරන්තරයෙන් 135 බස් රියේ ගමන් ගනිද්දී මම දකින් කැඩුනු ජරා ජීර්ණ සොහොන් කොත් ඊට හේතුවයි. ඒවාට මලක් තියන්නටවත් කාලෙකින් කෙනෙක් ආ බවක් දැක ගන්නට නොමැත.මල් ශාලා ගැන නම් මට ඇත්තෙන්ම අත්දැකීම් අඩුය. මන්ද මා එතරම් අවමඟුල් සඳහා සහහාගි නොවූ කෙනෙක් හෙයිනි.නමුත් මෘත ශරීර අපයෝජනය නම් මම අසා ඇත්තෙමි. එහෙයින් මෙසේ කළම්බෝ කළම්බෝ හී විචාරය ආරම්භ කරමි.

මෙය වෙනත් නගරයක පෙන්වූවොත් සාර්ථක වන්නට ඇති ඉඩකඩ අඩුයැයි මට සිතේයි.කොළඹ ගැන දන්නා අයෙකුටත්, කොළඹ ගැන හීන මවන අයටත් මෙය ක්ෂණිකව ස්පර්ෂ වේ.නමුත් ගම්බදව එය කෙසේ වේදැයි මම නොදනිමි.ගම් වල සිටින් බොහෝ අයගේ සිහිනය තුළ කොළඹ ඇති නිසා ඔවුන්ටද මෙය සමීප විය යුතුයැයි, ඒ අනුව සිතීම උත්සාහ කරමි. ප්‍රේක්ෂකාගාරයෙන් එන තැනැත්තාගේ පළමු වදනම මිනිසා ඇඳ බැඳ ගන්නේ සෙල් ෆෝන් එක ගැන මතක් කිරීමෙනි.අපේ ජීවිතයට ඒ මොහොතේද දුවන්නට දෙමින්,මද පමාවක් අපව නතර කර....අපට යමක් කියන්නට ඔවුහූ වෙර දරන්නට ඇතැයි මට සිතේ. ඔවුන්ගේ භාෂාව අපිට හුරුයි.ඔහුගේ චර්යාව ද අපිට හුරුයි.එහි බියංකා නැමති මනෝ කල්පිත චරිතය තුළ සැබැවින්ම මම ජීවමාන වුණෙමි. අනෙක් අයටත් වඩා මට එය හුරුපුරුදු බව මම ඔබට ඉහතදී පැහැදිළි කළෙමි.ව්‍යංගාටත් වයස විස්සයි. මටත් වයස විස්සයි. බියංකා ත් බත්තරමුල්ලේ. මමත් බත්තරමුල්ලේ. ව්‍යංගාත් කෙල්ලෙකි. මමත් කෙල්ලෙකි.අද ව්‍යංගාට මරණය...හෙට? මමද? නැත්තම් ඔබද? ලේ වැකුණු දිනපොතේ අවසානයේ.....ඔහු මගෙන් මෙන්ම ඔබෙන්ද ඇසුවා. අපි මොහොතකට නළු නිළියෝ වුණා. අපේ ආත්මය අපිට කතා කළා. එහෙම දැණුනා.අපි තුළ සිටින යක්ෂයා හා අපි තුළ සිටින දෙවියා වෙන් වෙන්ව, අපිට කතා කළා.

ඊළඟ මොහොතේ නාට්‍ය ඉවර වෙලා අපි කවුරුත් ලාස්ට් බස් එක ගන්න දිවුවා.138 බස් එකේදී මේ නාට්‍ය බලාපු කෙල්ලන්ටම මේ නාට්‍යම බලපු කොල්ලො ම ජැක් ගහනවා මම දැක්කා.එතකොට මට හිතුණා.අපට පුරුදු වීරයා වැඩියා... වැඩක් වු‍‍ණේ නෑ. කළම්ඹෝ කළම්ඹෝ කියන්නේ...අපේ ජීවිතේ හරිම ඇත්ත කියලා. මිනිස්සු කාටත් හොඳ නරක තේරෙනවා. ඒත් අමතක වෙනවා. මෙච්චරයි කාරණේ. නාට්‍යට විවේකයක් තිබ්බෙ නෑ .කොළඹටත් අපේ ජීවිත වලත් විවේකයෙක් නෑ.මැරෙන තුරුම විවේකයක් නෑ. ජීවනය පිළිබඳ යථර්තය එක් වර පැය දෙකකට ගොනු කළාට ස්තූතියි. කළම්බෝ කළම්ඹෝ..මමත් දැන් යන්න ඔනේ... නැත්තම් මට රියැලිටි ෂෝ එක මිස් වෙනවා.