3/28/10

පිනි මල් කඳුළක් ( ‍‍‍‍‍‍තෙවන කඳුළ )

මට පොඩි කාලේ ඉඳන් හතිය තියෙනවා..හීතල හුළඟ ජනේලය තිර අස්සෙන් පපුව විනිවිද යද්දි මට අමාරුයි...අයියා ඒක දන්නවා..ඒ නිසා එයා ඉස්සෙල්ලාම ගිහින් ජනේලය වැහැවුවා."මට ඔයාට බොරු කියන්න බෑ"අයියා මගෙ ඔලුව අත ගෑවා....ඒත් මට පොරොන්දු වෙන්න ඕනේ..අම්මටවත්, පොඩි අයියාටවත් මුකුත් කියන්නේ නෑ කියලා.."අයියා කියන්න හදන්නේ භයානක කතාවක්ද?...ඇයි මේ කාටවත් කියන්න එපා කියන්නේ.. මට ඇත්තටම පුදුම හිතුණා.
"කාටවත් කියන්නේ නෑ..කියන්නකො දැන්වත්"මම කිව්වෙ ඇත්තටම මට ඒක දැනගන්න තිබිච්ච හදිස්සිය නිසාමයි...ඒත් මට තියෙන හදිස්සිය අයියාට නෑ.

"මම කෙල්ලෙකුට ආදරේ කළා..එයා මගේ යාළුවා එක්ක යාළු වෙලා..."
අයියා හිටියෙ දුකින්..මට ඇත්තටම හිතුණා අපේ අයියාට ඔහොම දෙයක් වෙයි කියලා ..කවදාවත් කාටවත් මුකුත් කියන්නේ නැතුව...හිතේ තියාගෙන ඉන්නවට හොඳ වැඩේ..කියලා හිතුණත්..මොහොතකින් අයියා ගැන ලොකු දුකක් වේදනාවක් ඇති උනා. මම අයියා දිහා මොහොතක් බලා උන්නා.. "ලෝකෙ ඉන්නේ එක කෙල්ලද? අයියා වෙන ලස්සන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. එතකොට හරි...මම අයියාට කිව්වා.. "ඒත් මම ආදරේ කළේ එයාටයි නංගෝ!! එයා ගිය තැන පාළුවට තව කෙනෙක් මට එපා..." අයියා මේ කියන්නේ මොකද්ද...මේ අපේ ලොකු අයියාට පිස්සුවක් හැදිලාවත් ද කියලා මට හිතුනා හීනෙක හිටපු කෙල්ලක් වෙනුවෙන් අපේ අයියා අනගාරික වෙයි කියලා මට නිකමට වත් හිතුනේ නෑ.
"ඔයා ඔය තරම් ආදරේ කරපු එයාගේ නම මොකද්ද?"
මම අහැව්වා.....
එයා ලස්සන කෙල්ලක්.....පුංචි සුරංගනාවියක් වගේ.."එයගේ නම...................

සමනළී.......
මගේ ලෝකෙම පාළු කරලා ගියා.......පාලු කනත්තක් කරලා ගියා......මට දුකයි පැටියො....ඔයාට මේව තේරෙන්නේ නෑ......" අයියා කියවගෙන ගියා.....කාමරේ දොර රෙද්ද වළලු සද්දෙකින් සර සර ගානාවා වගේ හැඟීමක් දැනුණු නිසා මම දොර දිහාව බැලුවා.......හරි....අම්මා දොර ළඟ..දැන් ඉතින්...බත් වලට කලින් අයියාට හොඳ කල්කයක රහ බලන්න පුළුවන් වෙයි කියලා නිකමට මට හිතුණා..මම හිතලා ඉවර වෙන මොහොතේම අම්මා අයියාට කතා කළාඅ......අයියා පුස් පැටියෙක් වගේ අම්මා පස්සෙන් ගියා..මමත් ගියා...අයියාගේ සහයට...මේක බොහෝ දුරට ශ්‍රේෂ්ඨාදිකරණයට අද හවස් වෙද්දි යනවා.ඒ කියන්නේ තාත්තාට....ඒ නඩුවලට පැමිණිළි කිරීමේ හැකියාව විතරයි..කොටින්ම අම්මාට තියෙන්නේත්..අම්මා ගොඩක් නඩු තාත්තාට දානවා...මගේ නඩු නම් හැම වෙලේම නිදොස් ඒවා...අයියලාට උණත් ඇපෑල් දාන්න හැකියාව තියෙන්නේ මට විතරයි.....ඒ තත්තා මට ආදරේ නිසා....ඉතින් අපේ අයියාට ඉන්න ලොකුම හයිය මම තමයි..කියලායි ම්ට හිතුණේ..ඒ නිසාම අම්මා පස්සෙන් අයියා කුස්සියට යද්දි මමත් කුස්සියට ගියා... ඒ අතරේ අපේ අයියා නිතර කියන දෙයක් මට මතක් වෙලා හිනා යන්නත් ආවා.
"නථ්ථි මේ සරණං අඥ්ඥං
නංගෝ මේ සරණං වරං"
ඒත් අද තියෙන්නේ පොඩි පොඩි දෙයක් නෙවෙයි..ලව් පලහිලව් වක් නිසා මන් උණත් ටිකක් බයේ උන්නේ.....අම්මා....මේක තාත්තට දැම්මොත් නම් මට වුණත් අයියාගේ පැත්ත ගන්න අමාරු වෙයි කියලා නිකමට හිතුණා..

ඉතිරියට ඊලඟ මොහොත ඉඩදෙන්න..

හිනාවක ආයේ පැටළිලා
වඩිනවා නම් සමනළී
මල් කිණිති අතරින්
සිනා මීදුම් සළු අරන්
සිහිල දෙන්නෙමි
සන්තොසින්.....



3/21/10

කිරි කැටියා ගඟේ ගියා...

ලෝ තුළ සා දුකින් හඬනා දරු කන්ද
ලය මැද හොවා කිරි දුන් මව්වරු නිබඳ
ගැහැණිය සතුව නිති ඇති දරු පෙම සබඳ
බිඳකුදු මෙකත තුළ නොවනට කිම වරද

බර නැත දෑතට පුතුනේ
ඔබේ නිසල පුංචි සිරුර
කඳුලැල්ලක සතපවලා
අද අවසන් ගමනක යන

ඒ කාලේ ලේන අම්ම,
මුහුදෙ වැටුණු පුතු ලබන්ට
ඇඬූ කඳුළු දැකපු
සක්‍ර දෙවියො ආපි බේර ගන්ට...

දෙවියො උණත්
පුතා බේර ගන්ට
ආවෙ පමාවෙලයි....

පුතා දිව්‍යලොකෙ
ගියේ...
මේ ලෝකය එපා වෙලයි....

අමිල පුතේ ඔයා වගේ
මේ ලෝකය එපා කරලා
තවත් පුතෙක් ඔහෙට ආවා
අද දවසෙම ලංකාවෙන්...
"එක දවසක් වයස පුතෙක්
ඒ අම්මත් ඇලට දාලා"

තම දරු පැටව් තනිකර යන නොමැති විළී
මව් නම කැළැල් කළ අය සමු ගද්දි ගිලී
අමිල සෙනෙහසින් පරදා කඳුළු ඇළී
රන් කැටි අපෙ පුතේ නුඹ ඉපදෙන්න යළී





3/14/10

පිනි මල් කඳුළක් ( දෙවන කඳුළ )
















ඔවුන් කතා කළේ කවුරු හරි ගැහැණු ළමයෙක් ගැන.දන්න තරමින් අපේ අයියාට කෙල්ලෙක් හිටියෙක් හිටියේ නෑ..හිටියා නම් මම දන්නවානේ...අනික පොඩි අයියාටයි මටයි හොරෙන් අපේ අයියා කොහොමද කෙල්ලක් එක්කලා යාළු වෙන්නේ....කියලා මට හිතුණා..තේක අරන් කාමරය ඇතුලට මම යද්දි අයියා හිටියේ මූණ හොඳටම දුක පුරවගෙන....
මට ඒ වෙලාවෙ ඇත්තටම දෙනෙත් අයියා එක්ක ආවේ ලොකු තරහක්..
ඔයා ගින්නක් අරන්ද ඉස් ඉස්සෙල්ලම ගෙදරට ආවෙ?
මම දෙනෙත් අයියා ගෙන් ඇහැවුවා.එයා වුණත් හිටියෙ සතුටකින් නෙවෙයි...
එයා මගෙ මූණ දිහා තප්පරයක් දෙකක් බලා උන්නා.අපේ අයියා කිසි සද්දයක් නෑ.
"ලැවු ගින්නක් වෙන්න කලින් නිවා ගන්න කියලා යන්න ආවෙ?"
එක පාරටම දෙනෙත් කිව්වා.
"මචං උඹ පිස්සු කෙළින්න එපා...මට කියන්න තියෙන්නේ එච්චරයි"
ඊළඟට අයියා දිහා බලල එහෙම කියලා යන්න හැරුණා.
"තේ එක?"මම යන්න හදන දෙනෙත්ගෙන් ඇහුවා..."ගින්දර අරන් ආපු එකාට දෙන්න ඕනේ උණු තේ නෙවෙයි.....කූල් වෙච්චි වතුර"
එයාගේ මුණේ හිනාවක් නැතත් මට හිනා ගියා...අයියා ගැන සැණින් සිහිපත් වුණා..ඒ නිසා මගේ හිනාව අතුරුදහන් වුණා.
දෙනෙත් ගෙදරින් යනකන් ඉඳලා මම අයියාට කිට්ටු වුණා..
"ඇයි අයියෙ දුකෙන්? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?කියන්නකො?"
මම ඇවිටිළි කළා..
අයියා හෝදා පාළු වෙලා ගිය මුණකින් මා දිහා බලන් ටිකක් වෙලා හිටියා.
එක පාරටම මාව බදාගෙන අඬන්න ගත්තා....අයියා අන එක නැවැත්තුවාට පස්සෙත් මම ගොඩක් වෙලා ඇඬුවා.හේතුවක් නැති වූණත් අයියා අඬපු නිසා ඇඬුනා...
මම කඳුළු එක්කම අයියාගෙන් ඇහුවා "කියන්න මොකද උනේ කියලා මගෙ අයියෙ"
අයියා අතීතෙටත්ත් වැඩිය නොහිතපු තරම් අනාගතේදි දුකබර වුණු එයාගේ කතාව දිග හැරියා...

ඉතිරියට ඊලඟ මොහොත ඉඩදෙන්න....

ඇතීතයේ ඔබ ගිය ලෙසින්
ගියාවේ නම් සදහටම පිටුපා
මේ තරම් දුක්
මගේ හද තුළ
නොයෙන්නට තිබුණා
පුංචි සමනළියේ...


3/10/10

මට ..තරු ..අතට ..එපා













මම අහස දැක්කා...
තරුත් දැක්කා...
ගොඩක් තරු මට එපා..
එකම එකයි ඕනෙ..
ඒත් මම අහසට යනකොට,
අහස තවත් දුරට ගියා..
..........
තරුත් අරන් දුරට ගියා..
මම කෑ ගහලා..
ගොඩාක් කෑ ගහලා..
මගේ පුංචි තරුව ඉල්ලුවා....
.........................!!!!..........................
අහස දෙන්න බෑ කිවුවා..
තරුව එන්න බෑ කිවුවා..
මම සදහටම
මගේ වලාකුළ උඩට ගියා...
කාටවත් පෙන්නේ නැතිව...
තරුවට මම ආදරේ කරනවා....

....................

තනියම ආදරේ කරනවා...
මට ඒ ඇති...
මහා මේරුව ළඟ
වැලිකැට දැකපු මිනිස්සු
ඉන්නවාද?..
නැහැ නේද?
ජීවිතේ හැමදාම අඬන්න බෑ..
මම රෝස වලාකුළට වෙලා හිනා වෙනවා..



3/7/10

හෙට විශ්ව කාන්තා දිනයයි...


හරියට වලාකුළු වගේ..පුංචි හුළඟේ පාවෙලා යනවා...ඒ වුණත් මහ කුණාටුවකකවත් බිමට වැටෙන්නේ නෑ...අහසේ හිටියාට අහසට අයිතිත් නෑ...පොළවෙ ඉන්නේ කියලා කියන්නත් බෑ....වෙලාවකට රෝස වලාකුළු වගේම හරිම ලස්සනයි...තව වෙලාවකට වැහි වලාකුළු වගේම බරයි....විදුලිය හංගාගෙන ඉන්නවා..ඉර එළියෙන් ලෝකෙ පිච්චෙන්න නොදී රැක ගන්නවා...වැහැලා පොළව සරුසාර කරනවා...කාන්තාව ඒ වගේ...පුෂ්පා නැන්දා ලියපු කාන්තා උපහාර ගීතය මට මේ මොහෝතේ මතක් වෙනවා.

ඒත් මම අද මගේ කවියක් අපි වෙනුවෙන් ලියනවා...

තරු රටා විසිර ගිය
නීල නිල් අහස් ගඟ
වලාවක් ලෙසින් පාවෙලා....
සදා හද විල් තෙරට
මල් තුහින වස්සවන
සදාදර ජීවිතේ....
සොයා ගිය අනන්තේ....
සියලු ලොව අම්මලා
අක්කලා, නංගිලා
දෝණිලා,දෝණිලගේ අම්මලා...
සදාකල් වාසනා මිහිතලේ...





3/6/10

පිනි මල් කඳුළක් ( පළවෙනි කඳුළ )














නිල් පාට මල් වැටුණු සුදුපාට ගවුමක් ඇඳගෙන ගේ ඉස්සරහ ලී බංකුව උඩ මම ඉඳන් හිටියා...පොතක් බල බල....ඈතින් අපේ අයියාගෙ වයසෙ කොල්ලෙක් අපේ ගේ දිහාවට හැරුණා..ලොකු අයියාගේ හරි පොඩි අයියාගෙ හරි යාලුවෙක් වෙන්න ඇති කියලා නිකමට හිතුණා....ඒ හින්දා ටිකක් අන්දන්න ඕනෙ කියන හුරතල් හිතිවිල්ලෙන් මම ගේ ඇතුළට දිවුවා...

අර අයියා ගේ දොරකඩට ආව...නම මොකක්ද කියලා එතකොට නම් මම දැනගෙන හිටියෙ නෑ...වට පිට දෙපාරක් විතර බලලා....ඉස්සරහ කුරුලු සීනුව ගහන්න පටන් ගත්තා...හරියට පන්සලට ගිය පොඩි එකෙකුට ඝාන්ඨාරෙ අහුවුණා වගේ...

මම ඒක කඩන්න කලින් එළියට දිවුවා....අප්පේ ලස්සන හිනාව මට තාම මතකයි..

"කාව හම්බවෙන්නද?" හිනාවට උත්තර දෙමින් මම ඇහුවා.."ගෙදර කවුරුත් නැද්ද?" එයා ඇහුවෙ ටිකක් හොල්මන් වෙලා වගේ...
"අම්මයි පොඩි අයියයි පොළට ගියා,
තත්තා වැඩට ගිහින්,
ඇයි?"කියලා ඇහුවාම,
මා දිහා එයා ඇමුතු විදිහට බැලුව...ඉන්පස්සේ සැරෙන් වගේ කතා කළා..
"නොදන්න මිනිහෙකුට ඔහොම විස්තර කියලා
මොකද්ද කරගන්න හදන්නෙ?"
කියලා මගෙන් ඇහුවා...
"මට තේරුණා එයාට හිතුණු දේ...මම වචන මොකෙක්ට හරි මේ විදිහට කිවොත් උන් මාව කයි කියලා එයාට හිතෙන්න ඇති...මට ඇත්තටම පුංචි හිනාවක් ගියා...
ඒ අතරම මම කිවුවා
"ඒ අය නැති වුණාට ලොකු අයියා ගෙදර ඉන්නවා"කියලා..
අපේ ගෙදරට ඒ ආපු අමුත්තා...දෙනෙත් සුරවීර....එයා මට වාසනාව අරන් ආවා..ඒත් අපේ ලොකු අයියාට එදා ඉඳන් හුඟාක් කාලයක් යනකල් අවාසනාවේ පාර කැපුණා...ඒ දවසෙන් පස්සේ අද වෙනකන් අපේ ගෙදර සිදුවුණු දේවල් වලින් සතුටට වඩා දුක වැඩියි....

ලොකු අයියා කාමරෙන් එළියට ආවා..."උඹ ඇයි මේ පැත්තේ" කියන් එළියෙ පුටුව දෙනෙත්ට පෙන්නුවා....
"බට්ටො තේකක්" අයියා මා දිහා බලලා කිවුවා...මම තේ හදන්න කුස්සියට ගියා...මට ඉස්තෝප්පුවෙ කතාව ඇහුණේ නෑ..ඒත් පස්සේ අයියා කාමරේට ආවා දෙනෙත් එක්ක.....කාමරේ තියෙන්නේ කුස්සියට කිට්ටුව...ඔවුන් කියපු දේ මට ඇහුණා...

ඔවුන් කතා කළේ......?

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න...

අහස ළඟ
තරු ගොඩක් හැඬුවලු
අහසෙ අයිතිය නෑ කියා......
පුංචි කොල්ලෙක්
පොළවෙ හැඬුවලු
ඔහුගේ සමනළි නෑ කියා......






3/5/10

කඳුළු ඇරඹුම




පෙරවදන.....................!!

මම අද ඉඳන් කතාවක් ලියනවා.මේ ලියන්නේ ඔයාගේ කතාව වෙන්න පුලුවන්. සමහරවිට ඔයාගේ යාලුවාගේ කතාව වෙන්න පුලුවන්....නමුත් මම මේ ලියන කතාව බොරුවක් කියලා අහක දාන්න නම් එපා..මේක ඇත්තම කතාවක්....මගේ නෙවෙයි...අයියාගේ...මම හිතුවෙ ඔයාලාට බොරු කියන්න...මේ මගේ අයියා කියලා...ඒත් මට අයියලා නෑ..සහෝදරයෙක්,සහෝදරියක් ලබන්න පින් කරපු කෙනෙක් නෙවෙයි මම...ඒත් මේ ලියන්නේ මගේ අයියා ගැන...එයා සහෝදරයෙක් තරම් මට කිට්ටු වෙලා...

කතාව ඔයාලාට රසවත් වෙන්න නම් ඒක ටිකක් රසවත්ව ලිය වෙන්න ඕනෙ..ඒ නිසා මම මගේ ආඛ්‍යානය භාවිතා කරන්නෙ..උත්තම පුරුෂයෙන්...මම එයාගේ නංගිගේ දෘෂ්ටි කෝණයේ ඉඳන් මේ කතාව ලියනවා... මේක ඇත්තම කතාවක්... පොඩි බොරුවක් වත් නෑ..මේ කතාව මට දුන්නු මගේම සහෝදරයක් වගේ මට ආදරේ මගේ නොවෙන මගේ අයියාගේ මුළු ජීවිතේම සැනසෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...එයා එයාගේ නමින් මේ කතාව ලියන්න කිවුවත්...මට ටිකක් දුර පෙනුනා...එයාලාගේ කතාව මම මට අනුව...ලස්සනට ලියන්නම්...මේ කතාව අවසානය මම වෙනස් කරන්නේ නෑ..ඒත් ඒ ගෑණු ළමයාගේ අනාගතේ වෙනුවෙන්, මම නම් වෙනස් කරනවා.ඉතින් රැඳී ඉන්න....කියවන්න....ඔවුන්ගේ කඳුළු කතාව...




පිදුම........................!!!

කාත් කවුරුවත්
අයියෙක් ,අක්කෙක් ,
නංගියෙක්,මල්ලියෙක්
නැති ව
පාළු වෙච්චි...
ලෝකෙක හිටපු
නීනු පැටියාට
බටු ඇටේ කිය කිය
පුංචි හිත ඇතුළ
මහ විසාල
අයියා කෙනෙක් වුණු
නීනුගෙම අයියා
නොවන
නීනුගේ එකම අයියාට...


3/1/10

නීනුට සතුටුයි

මට ලියන්න ගොඩක් දේවල් තියෙනවා...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...ඒත් ඉස්සෙල්ලම මේ ටික කියන්නම්...මම ඉස්සෙල්ලම කොම්පියුටරය කියන දේ දැක්කෙ ඇලෙක් මාමලාගේ ගෙදරදි...ටිකක් අමුතු බඩුවක්...කියලා විටරයි මට හිතුණෙ..එතකොට මං හත වසරේ...ගොඩක් අය ඒ කාලෙ ටෙක් ශිෂ්‍යත්ව හම්බෙලා කොම් පන්ති ගියා...ඒත් මම ගියෙ නෑ...අම්මා යැවුවෙ නෑ...මටම කියලා මැෂින් එකක් හම්බුනේ එකොළහ පන්තියෙදි....අඩුම තරමේ දාන්න වහන්නවත් දන්නෙ නෑ මම එතකොටත්...ඉස්කොලේ ලැබ් එකේ අපිට කියලා දුන්නේ නැති එකේ පාඩුව තමයි...කොහොම හරි ඕලෙවල් ඉවර වෙලා මම පන්ති ගියා...ඒකත් එම් එස් ඔෆිස් එකක්...උසස් පෙළින් පස්සෙ මම මාස හයක් SLIIT ගියා...ඒ ගිය අවුරුද්දේ.. ඒ මාර්තු මාසෙදි තමයි....අපේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තේ..අදට අවුරුද්දක් විතර...ඉස්සෙල්ලම ගියෙ ෆේස් බුක්...2200ක් යාළුවො හිටියා..එපා වුණු නිසා පොඩි එකක් හැදුවා...අදටත් තියෙන්නේ ඒකා...බ්ලොග් ගැන ඉස්සෙල්ලම කිවේ මෆාස් කියලා මහනුවර යාලුවෙක්...එයා තමයි..යුනිකොඩ ගැන කීවෙ...නමුත් බ්ලොග් කියන්නේ මේ තරම් බලවත් දෙයක් බව මට කියලා දුන්නේ පුෂ්පා රම්ලිනී නැන්දා...මගේ කවි ලස්සනයි කියලා මාව දිරිමත් කළේ පුශ්පා නැන්දා...වෙඩී අයියා (මංජුල වෙඩිවර්ධන අයියා ) තමයි...මට බ්ලොග් වල තියෙන අලුත් කෑලි ගැන හොයන හැටි කීවෙ....ඒත් ඉන්පස්සේ මට ගොඩක් අය උදව් කළා....ඇත්තටම මම ඒ හැමෙගෙන්ම දැනුම හිඟා කෑවා..,කණිශ්ක අයියා ,රජරට අයියා,ගෙහාන් අයියා මට ගොඩක් උදව් කළා...බ්ලොග් එක ලස්සන කරන්න...ඒත් එයාලා කරපු දේවල් මට මැජික් වාගේ ..කිසිම දෙයක් තේරුණේ නෑ...ඒත්...පහු කාලීනව සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයේදි..එක එක්කෙනා නගන ප්‍රශ්න වලට උත්තර දෙන කාලිංග අයියා, ඉන්දරේ අයියාලාගෙ පොදු පණිවිඩ වලින් ම්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා... ඒත් මම ගොඩක් දේ ඉගෙන ගත්තේ මා විසින්ම බලහත්කාරයෙන් බ්ලොග් ගැන ඔලුවට ඔබ්බලා බ්ලොග් ලියන්න පොලඹවපු උෂන් ගෙන්...ඉතින් ...මට දැන් බ්ලොග් ගැන තනිවම ඕනෙ දෙයක් කරන්න පුළුවන්...මට පරිගණක විධිමත් දැනුමක් නැතත්...මම ටිකක් හොඳයි කියලා...පුංචි ආඩම්බරයක් දැනෙනවා...ඉතින් හැමෝටම ස්තූතියි...හැමදාම මා එක්කම ඉන්න...තාම මට විස්සයි... හැබැයි ඉගෙන ගන්නේ ජනමාධ්‍ය..ඒ වුණත් හැමදාමත් ගෙහාන් අයියා හැමදාම කියනවා වගේ තාම මම අඹ ඇටයක්...