2/28/10

සුදු බිත්තිය


හරි හරියට ඔප දමාපු
එක ගැට්ටක් වත් නොකැඩුණු
සුදු පිරුවට රැක බලාපු
අපේ ගෙදර සුදු බිත්තිය

හැම දෙනාගේ ඇස් වහලා
උසට බැඳපු වැට කඩලා
බලුරෑනක් ඇවිදිල්ලා
පදාසයක් කිළිටි කළා

පිරුවට යළි ඔප දැමුවා
පුසුඹත් තව නැත මැකිලා
මා වවුලෝ රෑ මැද්දේ
බිත්තිය උඩ වසුරු කළා

පිළිකුළ හංගා ගන්නට
පිල් වහලේ උදව් උණා
ඔප සූරාලා පාමුල
කුඹි ගඟක් යළි ඇදුණා

කරදර මදි කියා සිතූ
එහා ගෙදර රතු නැන්දා
බුලත් විඩක් හප කරලා
අලි කෙළ තලියක් ගහලා

සුදු පිරුවට හිනා වෙවී
හැඩට දිලුණු සුදු බිත්තිය
හිතා ගන්ට බැරි තරමට
ජරා වෙච්චි සුදු බිත්තිය....

ආයෙත් පිරියම් කරන්න
කොතැනින් නම් පටන් ගම්ද?
යට ලීයේ සිට යටටද?
අත්තිවාරමෙන් උඩටද?







2/24/10

අහන්න.....

අහස දුටිම්
තරු නොදුටිම්
වලාකුළේ
මෙහෙ ව‍‍‍‍‍රෙන්...

කවි කියනා
මිනිස්සුන්ට
කවි ලියනා
මිනිස්සුන්ට
මට ඇත කවියක්
කියන්න...
අසා ගෙන සිටින්



පිණි කඳුලක
බරක් තරම්
නුඹට උරුමයක්
නැති වූ....සඳ ,හිරු,තරු
කිසිම දෙයක...
නොලැබ ආදරේ.....

අදත් නිසල
බව දරාන
නිල් අහසේ


මට කියන්න.


හිනැහෙන්නේ
කෙලෙසද ඔබ
කිසිත්
සිදු නොවූ
විලසට

එකම වරක්..
කියන්න මට....


2/16/10

ඔබ රෝස රෝස මල...



















වැල නොකැඩී වැලන්ටයින් දා ගත් රෝස මල් පරව යන්නට පෙර රෝස මල ගැන කුඩා සඳහනක් කරන්න හිතුණා..ඇත්තටම රෝස මල මිනිස්සුන්ගේ ජීවිතයට මේ තරම් සමීප වුණු එක නම් හරිම පුදුමයක්...අනික් මල් අතර රෝස මට මේ තරම් ඉහලට ආවේ..රෝසමලේ ලස්සන නිසාද?ලස්සන සාපේක්ශයි...මම නම් කැමති ලිලී මලට.....රෝස මලට අකමැත්තක් නෑ..ඒත් රෝස මල් ජනප්‍රිය වැඩීයි...කොයි පාටින් පිපුණත් රෝස මලට රෝස පාටින් මිදෙන්න බෑ..එක අතකට පව්!!..ඒත් රෝසමල තරම් ඕපා දූපා දන්න වෙන කිසිම මලක් මේ ලෝකෙ නෑ...මල ගෙවල්, මගුල් ගෙවල්, ආදර පල හිලව්,උත්සව කොයි තරම්ද?....

රතු පැහැය පෙරට ගෙන
ලවන් යුග යා කරන
ආදරය ගෙන වඩින..
ඔබයි රතු රෝස මල.....

කඳුළු සාගරය මැද
කිමිදෙනා නේක දන
හද මඳක් සනසමින්
සුසානය සරසනා
ඔබයි සුදු රෝස මල

රුදුරු ඉසි ගිනි දවන
ලොවක් තුළ...රැවටෙන්න
එකිනෙකා ළඟ පුදා
වෙස් මුහුණු තිර කරන
මිතුරන්ට තෑගි දෙන
ඔබයි කහ රෝස මල

සදා කල් මල් ලොවේ
අග රැජින කිරුළ ලන
පෙති සුමුදු මුත් නිතින
කටු මාළිගේ ලගින
ඔබ රෝස රෝස මල........

2/15/10

කිසාගෝතමී ගේ වර්තමාන කතා වස්තුව


ගිනි පුලිඟු වන්
හිරේ තද චණ්ඩ රැස් කඳින්
පිළිස්සි ගිය සිරුර
වසාගෙන පාට ගිය
දුහුල් වැරහැලි කඩින්

දොරෙන් දොර බස් රියේ
ඇදෙන්නී ඈ මෙසේ..

මළ කඳක් නොවී මුත්
කරපිනා හොවා ගත්
බිලිඳියක් වේ අතේ
ටිකින් ටික මියැදෙනා..

යදින්නේ අබැට අහුරක්
නොවේ ඈ ඔබෙන්..
වේල පිරිමහගන්ට ගන්ට
තවත් එක රුපියලක්
?



2/4/10

සැට දෙවසරක කඳුළු

















අනගාරික ධර්මපාලතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා.එතුමා ගේ අප්‍රකට ලිපිවල, "කවදාහරි සුද්දො මේ රට දාලා යනවා.හැබැයි උන් යන්නේ ඒ වගේම කළු සුද්දො පිරිසක් මේ රටේ බෝ කලාට පස්සෙයි කියලා."මීට අවුරුදු හැට දෙකකට මත්තෙන් අපිට නිදහස ලැබුණා.එදා හැමෝම හුඟක් සතුටු වුණා සදාතනික නිදහස ලක් මාතාවට ලැබුණා කියලා.ඒත් අද එහෙම වෙලාතියෙනවා කියලා ඔබට හිතෙනවාද? අපේ අම්ම මට උගන්නලා තියෙනවා..අම්ම පුංචි කාලේ ඉගෙන ගත්ත ගීයක්!

"විසි දෙවසරකට පෙර ලැබූ
නිදහස් සුව වළඳවා
ලංකා මව සැනැහේ
තොල් පෙති මත
හසරැල් මවා....."

ඒ විසි දෙක...අද හැට දෙක!!1948 අවුරුද්දෙදි අපි නීත්‍යානුකූල නිදහසක් ලැබුවා වුණත් අපි ආධ්‍යාත්මික නිදහසක් ලබා තියේද?නැහැ නේද?1948 වසරේ ඉඳන් 1983 වනතුරු අපේ නීත්‍යානුකූල නිදහසවත් තිබ්බ...ගිය අවුරුදු තිහටම ඒකත් නැති වුණා වගේ වුණා නේද? කාටවත් හිතූ විදියෙන් නිදහසේ රට පුරා යන්නවත් බැරි වුණා.ත්‍රස්තවාදයෙන් රට මිදුණා.නීත්‍යානුකූලව නම් අපි දැන් ඕනාවටත් වඩා නිදහස්!!ඒත් තවමත් අපේ පරාදීන කම එතනමයි!! ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගෙ කවියක් නවය වසර පොතේ මෙන්න මෙහෙම තිබ්බ.

සාදු සිරිත් සිය දේසෙ
ඇතත් කැත වානරයන්ගෙ විලාසෙන්
මූදු තෙරින් එන නීච භයංකර
සංකර වූ හැම දේවල්
සාදු නදින් පිළි ගත්ත නිසා වුණු
ජාතික හානිය අයියෝ
මීදුමකින් කඳු සේ අප ආරිය
සැම සිරිත් යටපත් වී...

මෙ කවිය එදාට වඩා අදට වලංගුයි!!මම වැරදිද?අපිට තියෙන්නේ අපේ දේ අගයනවා අඩු සමාජයක්!පෙරහැරටයි,ඉස්කෝලෙටයි විතරක් දේශියත්වය සීමා නොකර අපි අපේ රටේ අය වෙමු!අල්මාරියේ රෙදි ගොඩෙන් නිදහස් දවසට ඇදලා ගන්න ජාතික කොඩිය, රෙද්දක් වැලේ වනන්නැහේ ගේට්ටු ඉස්සරහ එල්ලල දාපු පළියට අපිට ශ්‍රී ලංකිකයො වෙන්න පුලුවන්ද? ඔබම හිතා බලන්න.අපි තාමත් ප්‍රමාද නෑ...ස්‍රි ලංකාවේ නිශ්පාදිතයක් ගන්න...ශ්‍රී ලංකාවේ කෙනෙක් කියල කියන්න ලැජ්ජා වෙන අය අපි කොයි තරම් දැකලා තියේද?අපි ලැජ්ජ වෙන්න ඕනෙ අපි ගැන. පරාදීන ගති වලින් ඉක්මනනින් නොමිදුණොත්
අපි කවදා හරි අවසානෙට නිදියන මේ මව් බිමේ හතර රියනට අපි ණයයි!!
අන්න ඒක හොදින් මතක තියා ගන්න.

ලක් අම්මට සිනා ගෙනෙන
ලක් අම්මා ඉහල තබන
ලක් අම්මට ආල වඩන
දරු පැටියෝ හොයා දියව්!

පිට දෙස්සගෙ බසට යටව
ලක් අම්මට කඳුළු නොදෙන
ලක් අම්මා අගේ කරන
දැරියක් ම්ට හොයා දියව්!

ලක් අම්මගෙ කුසේ ඉපිද
ඇගෙන් දිරිය නුවණ ලබා
පිට දෙස්සගෙ රට නොපතන
දරුවෙකු මට හොයා දියව්!

ලොවේම නැණ විරිය එඩිය
ලක් අම්මා තුළට හොවා
ඈ තුරුළෙම සැනැහිය හැකි
දරු දැරියනි ඉපිද වරෙව්!